Thursday, October 31, 2019

17 මගේ දඹදිව වන්දනාව 17 සී තගෙ ශාපය




මෙතනින් අප පිටත් වූයේ සුජාතාවගේ කිරිපිඬු දානය යැයි අප අසා ඇති බුදුන් දුෂ්කරක්‍රියා කර අවසන් වූ පසු, උන්වහන්සේට කිරිපිඬු දානයක් පූජා කල සුජාතා නැමති කාන්තාව වෙනුවෙන් පිහිටුවා ඇති දේවාලය නැරඹීමටයි. ඉන්දියානු මාර්ගෝපදේශකයන්ට අනුව සුජාතා ඒ අසල ගමක ජීවත් වූ යම් ගෝත්‍රයක නායකයෙකුගේ දියණියයි. ඇය වෙනුවෙන් සාදා ඇති දේවාලය සාමාන්‍ය ඉන්දියානු හින්දු දේවාලයක පෙනුම ගන්නා අතර, එහි බොහෝ යාචකයන් මුදල් ආධාර ඉල්ලන්නන් සිටිනු දැකිය හැකි විය; මෙම ප්‍රදේශ බොහෝ දුප්පත්ය.

මෙතැනදී අපට යම් හාස්‍යජනක සිදුවීමක් අත්දකින්නට පුළුවන් විය. අප එම ස්ථානය නැරඹූ අවසන එතනට, පොතක් රැගෙන අපගේ කණ්ඩායමේ කෙනෙකු සමග පැමිණි ගුරුවරයෙකු සේ පෙනුමක් ඇති පුද්ගලයකු, අපට පැහැදිලි ඉංග්‍රීසියෙන් ඔවුන් අවට ළමයින් සඳහා පාසලක් පවත්වාගෙන යන බවත්, ඒ සඳහා අපගේ ආධාර බලාපොරොත්තු වන බවත් පැවසීය. ඔහුත් සමඟ පැමිණි අප අපගේ කණ්ඩායමේ සාමාජිකයකු දැනටමත් ඔහුට රුපියල් සියයක් දී ඇති බව පෙනුණි. ඔහුගේ කතාව අවසානයේදී අපගේ කණ්ඩායමේ සිටි කෙනෙකු, එම පාසල කරන සමිතියෙන් ඔහුට දී ඇති යම් අධිකාරියක් හෝ එසේ නැත්නම් හැඳුනුම්පතක් වත් පෙන්වන ලෙස ඉල්ලා සිටියේය. එසේ නැත්නම් අපට යම් ආධාර මුදලක් එම ස්ථානයේ තබා ඇති ආධාර පෙට්ටියට දැමිය හැකි බව අප කියා සිටියෙමු.

ඔහුට එම ඉල්ලීම ඉටු කිරීමට පෙන්වීමට යමක් නොතිබුණු නිසා, ඔහු හෙමින්ම එතැනින් පිටවී ගියේය. මුලින් මේ පිළිබඳ කිසිවක් නොදැන ඔහුට රුපියල් සීයක් පරිත්‍යාග කළ අපගේ කණ්ඩායමේ සාමාජිකයන් තමන් අසුවුන බවට තේරී ලැජ්ජාවට පත්ව, ඔහු දුන්නේද රුපියල් 100 ම නොවන බවත්, ඉතිරි රුපියල් 80 ලබා ගැනීමට එතැන සිටි බවත් පැවසීය.

ඒ ස්ථානය කිට්ටුවම බුදුන්ට කුසතන මිටි අටක් දුන් සොත්ථිය බමුණා ගේ නිවාසය තිබුණු තැනද අපේ මාර්ගෝපදේශකයා විසින් අපට පෙන්වා දෙනු ලැබීය. මේ අසල තිබෙන නේරංජනා ගඟ ඇත්තෙන්ම ඉන්දියානුවන් හඳුන්වන්නේ ෆල්ගු ගංගාව ලෙසටය.
මෙම ගංගාව ඉතා පළල වුවද, එහි ජලය ගලන්නේ ඉතාමත් පටු වූ ප්‍රදේශයකය. ගංගාවේ ඉතිරි කොටස වියළී ඇති ආකාරයට වැලිවලින් පිරී ඇත්තේය.
මෙම ගංගාවේ ‘පින්ඩ්- දාන්’; අප ගේ වහරේ ඇති පිණ්ඩපාතය වචනය පැමිණ ඇත්තේ මෙයින් විය යුතුය, මෙහි විශාල පිරිසක් සහභාගි වන පූජාවක් ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. එය පුරුෂයන්ට පමණක් සීමා වන අතර, මෙයින් සිදුකරන්නේ තමන්ගේ මියගිය නෑදෑයන්ට එම ගං ඉවුරේදී දානයක් පූජාකර, ඔවුනට සදා ගැලවීම ලබාදීමයි. අප යන කාලයේදී මෙම පූජාව පැවැත්වෙන කාලයක් වූ අතර, බොහෝ පිරිමින් පූජකයන් මෙන් ඇඳුමක් ඇඳගෙන හිස බූ ගා ගෙන, ගඟේ ඉවුරේ මෙම පූජාව පවත්වන අයුරු අප දුටුවෙමු; මෙහි ඇති ගඟේ ඡායාරුපයේ ඈතින් පෙනෙන සෙනග එම පුජාවයි.



මෙම ගඟ මෙලෙස වියළී තිබීමට හේතුව ලෙස හින්දුන් විශ්වාස කරන්නේ, මෙතැනදී රාමා සීතා සහ ලක්ෂ්මන් මෙලෙස පින්ඩ් දානය පැවැත්වීමට මෙම ස්ථානයට පැමිණි විට ඇතිවූ ඇති වූ සිද්ධියකි. මෙහිදී රාමා සහ ලක්ෂ්මන් එතැන නොසිටි අවස්ථාවක රාමාගේ මියගිය නෑදෑයන් පැමිණ සීතාගෙන් දානය ඉල්ලා සිටි බවත්, මෙය ප්‍රතික්ෂේප කරන්නට අකමැති වූ සීතා වැලිවලින් දානය දී එම ඉල්ලීම ඉටු කළ බවත්ය. එහෙත් මෙලෙස මියගිය නෑදෑයන් පැමිණ දානය ඉල්ලා තමන් එය පිළියෙල කර දුන් බව තම සැමියා පිළිගත්තේ නැත්නම්, සාක්ෂියට ඇය එතැන සිටි බ්‍රාහ්මණයෙකු, පූජාවට යොදා ගත් ගිනි මැලයක්, එතැන සිටි එළදෙනකුත්, ගංගාවත්, ගසකුත් සාක්ෂි වන ලෙසට ඉල්ලා සිටියාය.

එහෙත් සැමියා ආපසු පැමිණි පසු මේ පිළිබඳව සැක කර විමසා සිටි විට, ගස හැරෙන්නට අනිකුත් සියලුම සාක්ෂිකරුවන් ඇය එලෙස දානයක් දුන් බවට සාක්ෂිදීමට නොමැති විය. එයට හේතුව වූයේ නැවත රාමාගෙනුත් දානය ලබාගැනීමට ඇති බලාපොරොත්තුවයි.
සීතා මෙලෙස තමන් රැවටූ සාක්ෂිකරුවන්ට ශාප කළාය. නේරංජනා ගඟට ඇය කළ ශාපය නම් ඒ ගඟ හැමදාම වියලි ලෙසට තිබිය යුතු බවයි. ඒ නිසා දැනුත් ගඟේ වැඩි කොටසක් ජලය ගලා යන්නේ පොළොව යටින් බවත්, ගඟේ මතුපිට සෑම විටම වියලි වැලි ආකාරයෙන් තිබෙන බවත්, හින්දූන් විශ්වාස කරති.
මට මේ කතාව මතක තිබ්බේ අපගේ මාර්ගෝපදේශක සමග කතාබහකදී මහාභාරත් කතාව ප්‍රබන්ධයක් නොවේදැයි මම ඔහුගෙන් ඇසු පසු ඔහු සැමවිටම මට මහාභාරත් කතාවට සම්බන්ධ ඓතිහාසික ස්ථාන විශේෂයෙන් පෙන්වන්නට උත්සාහ දැරූ නිසාය.

Wednesday, October 30, 2019

16 මගේ දඹදිව වන්දනාව 16 ත්‍රාසය







ඩුන්ගේශ්වරී යනු බුදුරජාණන් දුෂ්කරක්‍රියා කළ ස්ථානය පිහිටි තරමක කඳු ගැටයකි. මෙම පර්වතය මුදුනේ ගල් ගුහා කිහිපයක් තිබෙන අතර, ටිබෙට් රටෙන් කුඩා විහාරයක්ද කරගෙන යනු ලැබේ.



අපගේ මුළු දඹදිව වන්දනාවේම වඩාත්ම ත්‍රාසජනක අවස්ථාව, එසේත් නැත්නම් වඩාත්ම ත්‍රාසජනක වූ වන්දනාව මෙතැනදී සිදු වූ බව කිවහොත් එහි අතිශයෝක්තියක් නොමැත්තේය.
ඒ සඳහා මුල්වුණු මෙහි ජීවත්වන මිනිසුන් ඒ තරම් අධ්‍යාපනයක් නොමැති ගෝත්‍රික වැනි පිරිසක් බව අපට කලින්ම අනතුරු අඟවා තිබිණ.

අපගේ බසය  එතැනට ගොස් නැවැත් වූ වහාම අප කන්ද මුදුනට රුපියල් රුපියල් 200 කුලියකට රැගෙන යාම සඳහා දෝලා  කරුවන් අප වටා මි මැස්සන් රැලක් මෙන් එක්රොක් වුනී. ඔවුන් අප ළඟට පැමිණ මොහොතක් ගත වත්ම මෝටර් සයිකල් වලින් නැඟ ගත් තරුණයන් 25 දෙනකු පමණ අප අසලට පැමිණ එම බයිසිකලේක අප එක් අයකු බැගින් පටවාගෙන කන්ද මුදුනට යාමට රුපියල් සීයක් ඉල්ලා කරදර කරන්නට පටන් ගත්හ. ඔවුන් බයිසිකල් වේගයෙන් රේස් කරමින් අපේ ඇඟට ගොඩ වෙන්නට වාගේ අපව බයිසිකල් වලට දමා ගැනීමට උත්සාහ කළහ. කොයි මොහොතක හෝ අපගේ කෙනකු යට වන්නට ඉඩ තිබෙන බව පෙනෙන තරමටම මෙම ත්‍රාසජනක ක්‍රියාව ඔවුන් බොහෝ වෙලාවක් කරගෙන ගියහ.
අප ඔවුන්ගේ සේවය කොතරම් ප්‍රතික්ෂේප කලද, ඔවුන් එය ගණන් නොගත් අතර අප වටේ රංචුවක් ලෙස එලෙස අපිට තර්ජනාත්මකව හැසිරෙමින් කන්දෙන් බාගයක් පමණ අපත් සමග ගමන් කළහ. ඇත්තෙන්ම ඔවුන් යම් පිළිවෙලකට මේ වැඩේ කලානම් අප කිහිප දෙනෙකු එම බයිසිකල්වල යාමටද ඉඩ තිබිණ. නමුත් ඔවුන් එතැනදී හැසිරෙන ආකාරය, කන්ද උඩට දිව ගොස් පන බේරාගැනීමට සිතෙන තරමට භයානකය.
අප ටික දුරක් ගමන් කරන විට ටිබෙට් ජාතික සංචාරකයන් කණ්ඩායමක් පැමිණි නිසා, බයිසිකල් කරුවන්ගේ අවධානය ඔවුන් වෙතට ගිය හෙයින්, අපට තරමක අස්වැසිල්ලක් ලැබුනි.

තව පොඩ්ඩක් උඩට ගිය විට අප දුටුවේ කෙසේ වුවත් බයිසිකල්වලින් යාමට පුළුවන් දුර ඉතා ඉක්මනින්ම අවසන් වන බවයි. ඊට පස්සේ ඉතිරි ප්‍රමාණය පඩිපෙළ තිබුණු නිසා, බයිසිකලයක සේවය ලබා ගත්තද කොහොමටත් එතනින් බැස පයින් යාමට සිදුවන බව අපි දුටිමු.

මෙම කන්ද අවට ජීවත් වන මිනිසුන් තරමක මිලේච්ඡ ගෝත්‍රිකයන් වැනි පිරිසක් බව අපට කියූ  මාර්ගෝපදේශකයා, සාමාන්‍යයෙන් සවස් කාලය වන විට මෙතනට ඉන්දියානු සංචාරකයින් වත් නොපැමිණෙන බව දන්වා සිටියේය.

කෙසේ හෝ මේ කරදරෙන් බේරෙන්න උඩට නැඟුණු පසු, එහි ගුහාවක ඇති  බුදුන් දුෂ්කර ක්‍රියා කරන ආකාරය පෙන්වන පිලිමය සහ අනෙකුත් ගල්ගුහා වන්ද, ටිබෙට් බෞද්ධයන් කණ්ඩායමක් විසින් පවත්වාගෙන යන කුඩා විහාරයක්ද දැකිය හැකි විය. මෙතන යම් විදිහකින් ටිබෙට් බෞද්ධයන්ට විශේෂිත සිද්ධස්ථානයක් බව පෙනෙන්නට තිබුණි.




කඳු මුදුනේ පසෙක හින්දු ආගමේ යම් පූජනීය ස්ථානයක් වන්දනාමාන කිරීමට බොහෝ හින්දු භක්තිකයන්ද,  එම ස්ථානයට පැමිණෙන බව පෙනුණි. එම හින්දු භක්තිකයන් බොහෝ දුර සිට පැමිණෙන්නන් නොව සාමාන්‍යයෙන් එම ප්‍රදේශයෙන්ම වගේ වන්දනාකරුවන් බවද නිරීක්ෂණය කළ හැකිවිය. එයින් කියවන්නේ මෙම ස්ථානය හින්දු භක්තිකයන්ට ජාතික වශයෙන් වැදගත්වන ආගමික සිද්ධස්ථානයක් නොවන බවයි.
මෙම ස්ථානය නැරඹීමෙන් පසු තම පුත් කුමරු විසින් බිම්බිසාර රජු සිර කර සිටියා යැයි කියන ස්ථානයද සොන් බන්ඩාර නම් වූ බිම්බිසාර රජුගේ භාණ්ඩාගාරය තිබූ ගල් ගුහාවද නරඹා රාජ්ගිර් (අප දන්නා රජගහනුවර) ආපන ශාලාවකින් පෙර පරිදිම දවල් ආහාර ගෙන බුද්ධ ගයා වෙතට ගොස්  oaks හෝටලයේ රාත්‍රියට නැවතුනෙමු.

පසුදින උදේම අපි බුද්ධගයා නැරඹීමට ගියෙමු. ඇත්තෙන්ම මෙම ප්‍රදේශයේ නම ‘ගයා’ යන්නයි. බුදුරජුන් මුලින් ධර්මය ඉගෙන ගැනීමට උත්සාහ කළ නදී කාශ්‍යප ගයා කාශ්‍යප සහ උරුවෙල කාශ්‍යප තිදෙනාගෙන් ගයා කාශ්‍යප ජීවත් වී ඇත්තේද මෙම ප්‍රදේශයේය. ඒ අතරම දැන් බුද්ධගයා යනුවෙන් හඳුන්වන  බුදුන් බුද්ධත්වයට පත් වූ ස්ථානය මුලදී හඳුන්වා ඇත්තේ උරුවෙල යන නමිනි, බොහෝවිට උරුවෙල කාශ්‍යප තමන්ගේ ආශ්‍රමය පවත්වාගෙන යන්නට ඇත්තේ මේ හරියේ විය යුතුය.





Sunday, October 27, 2019

15 මගේ දඹදිව වන්දනාව 15 ගිජ්ජකුට





බිහාර ප්‍රාන්තයේ  මධ්‍යසාර විකිනීමේ සහ පාවිච්චි කිරීමට විරුද්ධව ඇති දඬුවම් ඉතාමත් තද ඒවාය. දෙවන වර අහු වුවහොත් අවුරුදු 5 ක සිර දඬුවමක්ද, රුපියල් 500000 ක දඩයක්, වාහන රාජසන්තක කිරීම වැනි දඬුවම් මෙයට ඇතුළු වෙයි.

එවැනි තද දඬුවම් තිබියදීත්, බිහාරය තුළ alcohol මිලදී ගැනීම එතරම් අපහසු කාර්යයක් නොවන බව අපට අත්දැකීමෙන් දැකගන්නට ලැබුණි. රුපියල් අටසියයක් වන ඉන්දියානු විස්කි බෝතලයක් හෝටලයක සේවකයකු පිටතට යවා රුපියල් 1200 කට අපට මිලදී ගැනීමට හැකිවිය. එහෙත් මෙලෙසම තවත් ටිකක් විහාරය තුළට ගිය පසු, පසු දින හෝටලයේ දී බෝතලයක් පිටින් ගෙන්වා ගැනීමට උත්සාහ කළ විට, එම උත්සාහය සාර්ථක වූයේ නැත.
ඒ කියන්නේ බිහාරයේ මධ්‍යසාර තහනම බොහෝ දුරට සාර්ථකව ක්‍රියාත්මක වන බවයි. වෙනත් ප්‍රාන්තවලින් බිහාරය ඇතුලට එන වාහන පරීක්ෂා කරන නිසාත්, මධ්‍යසාර ප්‍රාන්තය තුළට ගෙනැවිත් අසුවූවහොත් වාහනය රාජසන්තක කරන නිසා, වාහන අයිතිකරුවන්ද එසේ බෝතලයක් දෙකක් හෝ ගෙන යාමට කැමැත්තක් දක්වන්නේ නැති බව පෙනුණි.

බිහාර ප්‍රාන්තයේ මෙලෙස වියලි ප්‍රාන්තයක් ලෙස 2015 නීතිගත කර ඇත්තේ එම ප්‍රාන්ත රජය විසිනි. ඉන්දියාවේ ප්‍රාන්ත වල ප්‍රාන්ත රාජ්‍යයන්ට බලය බෙදා දී ඇති ප්‍රමාණයද මෙවැනි නීතියක් නීතිගත කිරීමට ප්‍රාන්ත රජයට ඇති හැකියාවෙන්ම පෙනේ. අනෙක් පැත්තෙන් ඉන්දියාවේ තිබෙන ප්‍රාන්ත 29 න් සාක්ශරතාවය අඩුම ප්‍රාන්තයද බිහාර ප්‍රාන්තයයි. එහි ලියන්නට කියවන්නට පුළුවන් මිනිස්සුන්ගෙ ප්‍රතිශතය 63% කි. ඉන්දියාවේ ඉහළම සාක්ෂරතාව තිබෙන අපට ලඟින් තිබෙන කේරල ප්‍රාන්තයේ එම ප්‍රතිශතය 93%කි.

මෙම alcohol තහනමෙන් බිහාරයේ සාමාන්‍ය ජනයාට බොහෝ ප්‍රයෝජනවත් ප්‍රතිඵල ඇති වී තිබෙන බවක් පෙනේ. මද්ධ්‍යසාර තහනමෙන් අවුරුද්දකට පසු මිනීමැරුම් සහ රංචු ගැසී හොරකම් 20% කින් අඩුවී තිබේ. කෝලාහල සියයට 13 කින්ද, මහා මාර්ග අනතුරු 10% කින්ද අඩු බව රජය කියයි.
ආර්ථික පැත්තෙන් නිවෙස් වල පාරිභෝජනය සඳහා කරන වියදම වැඩිවී ඇත්තේය. නිවෙස් වල කිරි මිලදී ගැනීම සියයට දහයකින්ද, චීස් මිලදී ගැනීම සියයට 200 කින්ද, මෝටර් බයිසිකල් සහ බයිසිකල් වැනි රෝද දෙකේ වාහන මිලදී ගැනීම 30% කින්ද, නිවෙස් වලට විදුලි උපකරණ මිළදී ගැනීම 50% කින්ද වැඩි වී ඇත්තේය.


පසු දින උදයේ අපි ගිජ්ජකූට පර්වතය බැලීමට ගියෙමු. මෙම පර්වතයට ගිජ්ජකූට යන නම යෙදී ඇත්තේ එය රාජාලියෙක් වූ තටු විහිදාගෙන සිටින ආකාරයෙන් ඈතට පෙනෙන නිසාය. ඒ කාලේ රජගහනුවර දැන් රාජ්ගිර්හි  පිහිටි මෙම කුඩා කන්ද, බුදුරදුන් තමන්ගේ පිරිවර සමග පැමිණ භාවනා වල යෙදීමත්, ආගම ගැන සාකච්ඡා කිරීමටත්, යොදා ගත් බව කියනු ලැබේ. මෙම කන්දේ මුදුනට යාමට කේබල් කාර් යොදාගත හැකි නමුත්, අප යන දවසේ එහි වර්ජනයක් තිබුන නිසා, අපට පයින්ම මුදුනට නැගීමට සිදු විය. අපේ තිබෙන කඳු වල හැටියට එය එතරම් ලොකු කන්දත් නොවුනත්, අප දඹදිව වන්දනාව සඳහා ගමන් කළ උත්‍රා ප්‍රදේශ සහ බිහාර් ප්‍රාන්තය සම්පූර්ණයෙන්ම වාගේ තැනිතලාවක්  වූ හෙයින්; මේ කන්ද මෙහිදී අප මුලින්ම දැකපු කන්ද වෙන්නට පුළුවන, මෙය අපේ මාර්ගෝපදේශකයාට යන්නට පෙර අප බය කිරීමට තරම්  අමාරු නැගීමක් විය.


කන්ද මුදුනට ගිය පසු පහල ඇති තැන්න සිසාරා යන සේ මනහර දර්ශනයක් වේදිකාවක සිට බලන සේ බලන්නට පුළුවන. මුදුනට තරමක් පහළින් ඇසෙන තෙක් මානයේ ආනන්ද කුටිය යැයි කියන ගල් ගුහාවක් එහි වෙයි. බුදුන් කඳු මුදුනේ සිට භාවනා කරන විට, ආනන්ද හාමුදුරුවන් එතැනට වී සිටි බව කියනු ලැබේ.

දෙව්දත් හාමුදුරුවන් විසින් බුදුන් වහන්සේ වෙත ගලක් පෙරලන ලද්දේද, මෙම කන්දට නඟිද්දී බවද කියනු ලැබේ.



මෙම කන්ද අසලම බුදු රදුන්ද එකල ප්‍රසිද්ධව සිටි බොහෝ පුද්ගලයන්ටද, රෝගී වූ විට ප්‍රතිකාර කළ ජීවක වෙදදුරු ගේ ඖෂධාලයේ නටඹුන්ද, පෙනෙන්නට තිබෙන අතර, මෙයින් පසුව අප නරඹන්නට ගියේ බුදුන් දුෂ්කර ක්‍රියා කළා යැයි පැවසෙන ඩුන්ගේශ්වරී පර්වතය ටයි.

Friday, October 25, 2019

14 මගේ දඹදිව වන්දනාව 14 බිහාරය




ඊළඟට අප ගමන් කළේ සුප්‍රසිද්ධ නාලන්දා විශ්ව විද්‍යාලයේ නටඹුන්  බැලීමටය .
ක්‍රිස්තු වර්ෂ 400 පමණ පටන් ගෙන ඇති මෙම විශ්ව විද්‍යාලය ලෝකයේ පළමුවන සිසුන් නේවාසිකව සිටි විශ්වවිද්‍යාලය ලෙස සැලකේ. එය කොතරම් විශාල වූවාද යත් එහි සශ්‍රීකමත් කාලයේ එහි සිසුන් පහළොස් දාහක් පමණ සිටි බව සඳහන් වෙයි. දහතුන් වන ශතවර්ෂයේ තුර්කි සෙනවියෙකුගේ ආක්‍රමණයකින්; ඇත්තෙන්ම ඔහු සිතා ඇත්තේ මෙය බලකොටුවක් බවය, විනාශ වුණු මෙම විශ්වවිද්‍යාලය විසිවන ශතවර්ෂයේ කැණීම්වලින් නැවත මතුකර ගෙන, ඉතාමත් ඉහළ ආකාරයට පවත්වාගෙන යන බව පෙනේ.
මෙහි කැණීම්වලදී හමු වූ නොයෙකුත් පුරාවිද්‍යා වටිනාකමක් ඇති භාණ්ඩ, ඉතාමත් අලංකාර ලෙස ඒ අසලම පවත්වාගෙන යන කෞතුකාගාරයක ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබේ.



නාලන්දා විශ්වවිද්‍යාලයේ නටබුන් බලන්නට ගිය ඕනෑම ලාංකිකයකුට  පොලොන්නරුව නටඹුන් සිහියට නැගීම වළක්වා ගත නොහැකිය. ඒවා හැඩයෙන්ද පාටින්ද ප්‍රමාණයෙන්ද බොහෝ විට පොළොන්නරුවේ නටබුන්වල ලක්ෂණ පෙන්වයි. ඒ නටබුන් සමකාලීනය. නාලන්ද විශ්වවිද්‍යාලය තරමක් කලින් පටන් ගැනුණුද, පොලොන්නරුව ගොඩනැගුණු දහවන ශතවර්ශයේ නාලන්ද විශ්වවිද්‍යාලයේද දියුණු කාලයක් විය.

මෙම නටඹුන් පිළිබඳව අපට කරුණු පැහැදූ එහි සිටි මාර්ගෝපදේශකයා, මෙම විශ්ව විශ්වවිද්‍යාලයේ එකල බොහෝ ලංකාවෙන් පැමිණි සිසුන් සිටි බවද, එසේම වරෙක එම ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ශ්‍රී ලාංකික  හාමුදුරු වරයෙකු කටයුතු කළ බවත් කියා සිටියේය.

නමුත් මෙහි අධ්‍යාපනය කෙරුනේ මහායාන බුද්ධාගම නිසාත්, අපේ රටේ මුල් කාලේ සිටම ස්ථාපිත වී තිබෙන්නේ ථෙරවාද බුද්ධාගම නිසාත්, මෙම ප්‍රකාශයේ තරමක ගැටලුවක් තිබේ. සමහර විට මාර්ගෝපදේශකයා අපගෙන් වැඩිපුර සන්තෝසමක් ලබා ගැනීමට අපව ඇන්ඳීම සඳහා එසේ කීවාද, දන්නේ නැත. එසේත් නැත්නම් සමහර විට ඒ විශ්වවිද්‍යාලයට ගිය ශ්‍රී ලාංකික හාමුදුරුනමක් පසුව මහායාන ආගමට හැරී එම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුටුව තෙක් පැමිණියේදැයි කියන්නටත් බැරිය.

මෙම මාර්ගෝපදේශකයා ගැන කියන විට මට ඉන්දියාවේ එම සිද්ධස්ථානවල පවතින යම් නීතියක් මතකයට එයි. සමහරවිට එය රීතියක් වන්නටද පුළුවන. එනම් අප සමග යන මාර්ගෝපදේශකයාට අපට එම පුරාවිද්‍යාත්මක ස්ථානය තුලදී පැහැදිලි කිරීම් කරන්නට නුපුළුවන් වීමයි. විශේෂයෙන්ම මෙය බලපාන්නේ ඉන්දියානු මාර්ගෝපදේශකයන් අතරය. ඒ සඳහා එම ස්ථානයේ ලියාපදිංචි වී ඇති local guide කෙනකුගේ සේවය ලබාගත යුතුය. සමහර විට එසේ නීතියක් දමා ඇත්තේ එම ස්ථාන අසල ජීවත්වන මිනිසුන්ට මෙයින් යම් ප්‍රයෝජනයක් ලබා දීමට විය යුතුය.


මේ සඳහා සන්තෝෂම් ගෙවීමට අප ඉන්දියාවට ගිය ගමන්ම වගේ එක් අයෙකුගෙන් ඇමරිකානු ඩොලර් 15 බැගින් මුදලක් එකතු කර, අපගේ මුළු චාරිකාවට මාර්ගෝපදේශකයාට ලබා දුන්නෙමු. ඔහු එම මුදල යොදා ගෙන අපගේ මුළු ගමනේම සන්තෝෂම් ගෙව්වේය. ඇත්තෙන්ම මෙය ඉතාමත් හොඳ වැඩ පිළිවෙලකි. නැති නම් මේ සඳහා කීයක් ගෙවිය යුතුද, අප එකිනෙකා ශෙයා කර ගන්නේ කෙසේද යනුවෙන් නොයෙකුත් ගැටලූ මතුවිය හැකි නිසාය. මෙම ක්‍රමය මෙවැනි සංචාරයකදී සංචාරකයන්ට තිබෙන ලොකුම වගකීමක් එසේත් නැත්නම් මානසික බරක් ඔවුන් ගෙන් ඉවත් කරයි.

අක්කර 50 ක පමණ ප්‍රදේශයක විහිදී ඇති මෙම විශ්ව විශ්වවිද්‍යාලීය නටඹුන් තිබෙන්නේ බිහාර ප්‍රාන්තයේ ය. අප උත්තර ප්‍රදේශයේ සංචාරය කර නේපාලයටද ගොස් දැන් මේ බිහාර ප්‍රාන්තයට ඇතුල් වන්නේ මුලින්මය. බිහාර් ප්‍රාන්තයට ඇතුළු වන තෙක්ම, අපි එම ප්‍රාන්තය බොහෝ දුප්පත් එතරම් දියුණු නැති ප්‍රාන්තයක් බව දැන සිටියද, එම ප්‍රාන්තයේ alcohol විකිණීම තහනම් බව දැන සිටියේ නැත. මෙම ප්‍රාන්තය ඇත්තෙන්ම ඉන්දියාවේ alcohol විකිණීම තහනම් වන එකම ප්‍රාන්තය වෙයි. මෙයට හේතුව එක්වරම කෙනෙකුට සිතෙන පරිදි ආගමික හේතුවක් නොවේ. එය සාමාජීය හේතුවකි. මෙම තහනම පටන්ගෙන ඇත්තේ 2015 වසරේය.



Wednesday, October 23, 2019

13 මගේ දඹදිව වන්දනාව 13 ; චුන්ද කුමාරපුත්‍ර , වෙජ් සහ නොන් වෙජ් තේරුම්ගැනීම





නේපාලයේ සිට පහළට එන විට ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ බෞද්ධ ඉතිහාසය හා සම්බන්ධ මුල්ම ස්ථානය හමුවන්නේ කුෂිනගර් නම් වූ කුඩා නගරයකදීය. එය කුඩා නගරයක් වන අතර බුදුරදුන් පිරිනිවන් පෑ ස්ථානය වන නිසාම නගරයක් වී ඇතැයි සිතන්නට පුළුවන.

ලුම්බිණි සිට එම නගරය දැන් කිලෝමීටර්150 ක් පමණ දුරින් පිහිටියේ වුවද, බුදුරදුන්ගේ කාලයේ එම දුර මීට වඩා බොහෝ අඩු වන්නට ඇති බව සිතන්නට පුළුවන. ඒ එකල මෙලෙසට පාරවල් නොතිබුණු නිසාත්, මිනිසුන් බොහෝ දුරට පයින් ගමන් කළ නිසා මෙම තැනිතලා ප්‍රදේශවල මාර්ග ඉතාමත් කෙටි විය යුතු නිසාය.

බුදුරදුන් තමන් වාසය කළ ජේතවනාරාමය වැනි ස්ථාන පිහිටි බිහාර් ප්‍රාන්තයේ සහ උත්තරා ප්‍රදේශයෙහි නැගෙනහිර පැත්තේ සිට, වයස්ගත වී අසනීපයෙන් සිටි නිසා තමන්ගේ නෑදෑයන් සිටින, තමන් තරුණ කාලේ දක්වා හැදී වැඩුණු කපිලවස්තු පුරයට යන්නට අදහස් කළා වන්නට පුළුවන. එසේ නැත්නම් කුශිනාරාවට එන්නට කිසිම විශේෂ හේතුවක් දක්නට නැත්තේය. වයස අවුරුදු 84 ක් වී සිටි බුදු රජුන් අවුරුදු 70 ක් පමණ වයස් වූ ආනන්ද හාමුදුරුවනුත්  සමග පයින්ම ඇවිදගෙන මේ දුෂ්කර ගමන එන්නට ඇත්තේ කිලෝ මීටර් 200 ක් පමණ දුර සිටය. බොහෝ වේලාවට ඔවුන් සැරයටිවල උදව්වෙන්  ඇවිදින්නට ඇති මට සිතුනි.

බුදුන් පිරිනිවන් පෑ එම ස්ථානය ඉතාමත් අලංකාර ලෙස, එමෙන්ම බුදු රජුන් ගැන කුඩා කාලයේ සිට අසා ඇති බෞද්ධයෙකුට බොහෝ සංවේදී වන ලෙසට සාදා තිබේ. එහි කුඩා චෛත්‍යයක්ද එසේම ඒ අසලින්ම බුදුන් පිරිනිවන් පෑ ආකාරය විදහා දැක්වෙන ප්‍රතිමාවන් සහිත කුඩා ප්‍රතිමා ගෙයක්ද සාදා ඇත. ඒවා ඒ තරම් පෞරාණික ඒවා යැයි සිතන්නට නුපුළුවන.
නමුත් එම ස්ථානවල දී විශේෂයෙන්ම බුදුන්ගේ පරිනිර්වාණය පෙන්වා දෙන ප්‍රතිමාව අසලදී බොහෝ බෞද්ධයන් විශේෂයෙන්ම වැඩිහිටි කාන්තාවන් සංවේදී වන බවක් පෙනෙන්නට තිබුණි. අප එතැන සිටිය දීද කාන්තාවන් හතර පස් දෙනෙකු කඳුළු වගුරමින් බිම දිගාවී හඬන අයුරු අප දුටුවෙමු.

බුදුන් මෙම ස්ථානයේ පරිනිර්වාණය කළ පසු ඔහුගේ සිරුර ආදාහනය කර එම ධාතූන් වහන්සේලා කොටස් අටකට බෙදා, එතනට පැමිණ සිටි පහත සඳහන් කණ්ඩායම් වලට ලබාදුන් බව සඳහන් වේ.
වයිශාල් හි ලිච්ඡවී රජවරු
මගධයෙහි රජවූ  අජාසත්ත රජු (මේ තම පියා මැරවූ අජාසත්තම විය යුතුය)
කපිලවස්තුවේ ශාක්‍යයෝ
අල්ලකප්පයෙහි බුලිස් වරු
රාම ග්‍රාමයෙහි කෝලිය වරු
විත්තිප් බ්‍රාහ්මණයා
පල්ලව සහ කුශිනගර් හි මල්ලවයන්
මෙම කණ්ඩායම් වලින් බාගයක් පමණ වර්තමානයේ නේපාලයේ සිට පැමිණි අය බව පෙනේ.

ඔවුනට එලෙස බෙදා දුන් අස්ථි ධාතු තමන්ගේ ගම් ප්‍රදේශවලට රැගෙන ගොස්,  නිධන්කර නොයෙකුත් ස්තූප සෑදූ බව කියනු ලැබේ.

පසු කලෙක අසෝක රජතුමා ඒවා සියල්ල ආපසු ගොඩට ගෙන, එම ධාතූන් නැවත කොටස් අසූහාර දාහකට බෙදා, ඉන්දියාව පුරා ව්‍යාප්තව තිබුණු තමන්ගේ අධිරාජ්‍යයේ සහ සමහරවිට ඉන් පිටතද නොයෙකුත් ස්ථානවල නිදන් කර, ස්ථූප කරවන ලද බව මම එහි කෞතුකාගාරයක තිබු සටහනක දැක්කෙමි.

ඒ ස්ථානය නරඹා දහවල් ආහාරයද ඒ අසල භෝජන ශාලාවකින් ලබාගෙන, පිටත් වූයේ වයිශාල් එසේත් නැත්නම් අපේ භාෂාවෙන් විශාලා මහනුවර වෙතටය. අප කුඩා කාලයේ පොතක විශාලා මහනුවර විලාපය නමින් කවි පන්තියකුත් තිබුණා මට මතක් විය. ඒ තිබෙන අපිරිසිදු කම නිසා දැන් වුවත් නැවත වරක් තුන්බිය ඇතිවීමට ඉඩ තිබෙන බව මගේ සිතට යම් හාස්‍යකුත් සමග නැගුණි.



                             ඔහුගේ ආහාර පිළියෙළ කිරීමේ තායිලන්තයේ පන්සලක චිත්‍රයක් 
බුදුරදුන් පිරිනිවන් පෑ ඒ ස්ථානයට කිට්ටුවෙන් එතුමාට අවසන් දානය දුන් චන්ධ කුමාරපුත්ත ගේ නිවස තිබූ පාවා අඹ වනයද, අපගේ මාර්ගෝපදේශකයා අපට පෙන්වා දුන්නේය. ඔහු කම්මල් කරුවෙකු වූ බවද මම දැනගතිමි. අප බොහෝ දෙනෙකු සිතා සිටින්නේ එම දානයෙහි ඌරු මස් අඩංගු වී තිබුණු බවය. එයට පරධාන හේතුව එහි බත්, කැවුම්, සහ සූකරමද්ධව නමැති අහරක්ද තිබුණු බව කියවේ. සූකරමද්ධව යන වචනයේ තේරුම

1.මෘදු ඌරු මස්
2.ඌරන්  කැමති කෑමක් (මඤ්ඤොක්කා, හතු වැනි )
යනුවෙන් තේරුම් ගත හැක.

බුද්ධාගමේ අනෙක් බොහෝ තැන්වල මෙන්ම මෙහිදීද ඉතිරි ටික අසන්නා තම සිහි බුද්ධියෙන් තේරුම් ගත යුතුය. හරියට පුනරුත්පත්තිය තේරුම් ගැනීම වැනිය.

Tuesday, October 22, 2019

12 මගේ දඹදිව වන්දනාව 12 ; කතා නොකළයුතු කතාවක්





පසුදින උදයේම ලුම්බිණියෙන් පිටත් වූ අප, නැවත වරක් ඉන්දියාවට ගියෙමු. ආගමන හා විගමන මුරපොළේ ඉන්දියාවෙන් පිට වීමට ගතවන කාලයට වඩා අඩු කාලයකින් ඉන්දියාවට ඇතුළුවීමට පුළුවන් වුණේ අප මහත් සතුටට පත් කරමිනි.

මෙම ස්ථානයේ සිට අපගේ ඊළඟ ගමනාන්තය වූ බුදුරදුන් පිරිනිවන් පෑ කුසිනාරා නගරයට කිලෝ මීටර් 150 ක් පමණ තිබුණු අතර, පාරවල් එතරම් හොඳ නැති නිසා පැය පහක පමණ කාලයක් ගතවන බව, අපට දැනගන්නට ලැබුනි. පැය දෙක තුනකට පසු අපට වැසිකිළි පහසුකම් ලබා ගැනීම සඳහා මහා මාර්ගය අයිනේ කුඹුරු යායක කෙළවර සාදා තිබූ  වැසිකිලියක් ලඟ අපේ බස් රථය නැවැත්වීන.

අපගේ සංචාරය පිළිබඳ කතාවේ නිතරම කියවෙන ඉන්දියාවේ වැසිකිලි පිළිබඳව මෙතන නැවතී යම් විස්තරයක් කර වැසිකිලි කතා අවසන් කිරීමට මෙය අවස්ථාවක් යැයි මම සිතමි. සාමාන්‍යයෙන් ඉන්දියාවේ වැසිකිලි පහසුකම් ගැන නොයෙකුත් කතාන්දර අප අසා තිබේ. ඉන්දියාවේ ජනගහණයෙන් සියයට පනහකට පමණ වැසිකිලි නොමැති බව මෙයින් එක් ප්‍රධාන කාරණයකි. වැසිකිලි ගැන බ්ලොක් බස්ටර් චිත්‍රපට පවා ඉන්දියාවේ සෑදෙන බව අප සියලු දෙනා දන්නෙමු.

දැන් මේ අප නැවතුණු වැසිකිළිය පාර අයිනේ තිබුන වැසිකිලි සංකීර්ණයකි. සාමාන්‍යයෙන් විශාල නිවසක ප්‍රමාණයේ මෙම වැසිකිළිය පිළිබඳව එහි කළමනාකාර තැනගෙන් මම කරුණු විමසුවෙමි. මගේ එක් ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් ඔහු කිව්වේ, මෙම වැසිකිලි සංකීර්ණය ගොඩනැගීමට එහි අයිතිකරුට ඉන්දියානු රුපියල් ලක්ෂ පහළොවක් පමණ වියදම් වූ බවයි. වැසිකිලිනාන කාමර සහ ඇඳුම් ඇඳ ගැනීමේ කාමර වලින් සමන්විත මෙම සංකීර්ණය, කුඹුරු යායට උඩින් ගොඩනගා තිබුනී. එහි අපද්‍රව්‍ය කුඹුරු යායට පිටවන ලෙස සාදා තිබෙන බවට මට සැක පහළ වුනී. එහෙත් එම කුඹුරු යායේ අප එහි යන විටත් හොඳින් ගොයම් වගා කර තිබුණු අතර, කිහිප දෙනෙකු බිලි කොකු යොදාගෙන මාළු අල්ලන අයුරුද පෙනෙන්නට තිබුණි.

මෙවැනි වැසිකිළි සංකීර්ණ වලට සාමාන්‍යයෙන් නමක්ද යොදා තිබෙන අතර, ඉන්දියාවේ අප ගමන් කළ ප්‍රදේශය ප්‍රධාන මාර්ගවල මෙවැනි සංකීර්ණ එතරම් දුලබ දසුනක් නොවීය. මෙම ස්ථානයේ මෙලෙස වැසිකිලි  සංකීර්ණයක් සෑදිය යුතු යැයි තීරණය කර, එයට ලංකාවේ මුදලින් ලක්ෂ හතළිහක් පමණ ආයෝජනය කරන ව්‍යාපාරිකයකු කොතරම් එඩිතර ව්‍යාපාරිකයෙකු විය යුතුදැයි කල්පනා කර බලන්න.

මෙවැනි වැසිකිළි වර්ග වලට අමතරව ඉන්දියාවේ තවත් නොයෙකුත් වැසිකිලි වර්ග අප වැනි මගියන් සඳහා ඉදිකර තිබේ.
මෙයින් අලුත්ම වර්ගයේ වන්නේ අඩි 15x15 පමණ කොන්ක්‍රීට් එකක් උඩ ප්ලාස්ටික් වලින් තනා ටකරං ගැසූ වැසිකිලි වර්ගයයි.

වරෙක අපගේ බසය මෙවැනි වැසිකිලියක් අසල නැවැත්වූ අතර, එය ඉතා පිරිසිදුවට තිබුනා පමණක් නොව මුදල් අයකළේ නැත. මම අපේ මාර්ගෝපදේශකයා ගෙන් මේ පිළිබඳව ඇසූ විට ඔහු කීවේ, මේ අගමැති මෝඩි ගේ අදහසක් අනුව මිනිසුන්ට වැසිකිලි පාවිච්චිය පුරුදු කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් ලෙස ගොඩ නගන වැසිකිලි පද්ධතියෙන් එකක් බවය.

තවත් අපූරු වැසිකිලි අත්දැකීමකට අපට මුහුණපාන්නට සිදුවිය. ඒ අපගේ කණ්ඩායමේ කෙනෙකුට වැසිකිළියට යාමට අවශ්‍ය බව කියූ විට, අපගේ මාර්ගෝපදේශකයා විසින් කඩයක් ළඟ වාහනය නැවැත්වීමෙන් පසුවය. මෙසේ නැවතිමටත් සාමාන්‍යයෙන් පැයක් පමණ ගතවන්නේ පාරවල් වල පිරිසුදු ආපනශාලා වැනි ස්ථාන ඇත්තෙම නැති තරම් නිසාය.
ඔහු එය නැවැත් වූ ආකාරයෙන් මෙය ඔහුට පුරුදු වූ ස්ථානයක් බව පෙනුණි. එහෙත් අපගේ වැසිකිලි යාමේ අවශ්‍යතාව තිබුණු පුද්ගලයා එම තරමක නිවාසයක් වැනි ස්ථානයට ගිය විට එතැන එවැනි වැසිකිලියක් නොමැති බව එහි සිටි පුද්ගලයා කියා සිටියේය. අසල තිබූ කඩයකින් මේ පිළිබඳව අපගේ මාර්ගෝපදේශකයා ඇසූ විට, ඔවුන් කීවේ මෙම ස්ථානය පුරාවිද්‍යා නිළධාරීන් ගේ රාජකාරි නිවාසයක් වන අතර, ඔවුන් එම ස්ථානයට එන්නේ ඉඳහිට නිසා, එහි මුරට සිටින පුද්ගලයා මෙලෙස බස්වල බස් වල එන පිරිසට වැසිකිළි පාවිච්චි කිරීමට ලබාදී, ඔවුන්ගෙන් රුපියල් විස්ස බැගින් අය කරන බවයි. එහෙත් අපේ වෙලාවට එදින එම නිවසට පුරාවිද්‍යා නිලධාරින් පැමිණ සිටියහ.
මේ පිළිබඳව අපගේ මාර්ගෝපදේශකයාද දැන නොසිටි බව පෙනුණි.

වන්දනා ගමනක් ගැන කතා කරද්දී වැසිකිලි ගැන මෙතරම් කතා කිරීම එතරම් ගැලපෙන්නේ නැත. නමුත් ඉන්දියාවේ දඹදිව සංචාරයන් ගැන කතා කරද්දී වැසිකිලි ගැන කතා නොකර එය සම්පූර්ණ කළ හැකි නොවේ. කිලෝ මීටර් 2000 කටත් වැඩි ප්‍රමාණයක් ඉතාමත් දුෂ්කර සහ  අසංවිධානාත්මක මාර්ග හරහා ගමන් කරන විට, මෙහි ඇති වැදගත්කම ඇත්තම පැහැදිලි කිරීමට අවශ්‍ය නැත.
මීළඟට කුශිනාරාව

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...