Sunday, June 30, 2019

වර්ල්ඩ් කප් - කෙටි කතාව





 සමරවීර සහ  චාමර මුහුදු වෙරළේ ඇති ඔවුන්ගේ මිතුරෙකුගේ ආපන ශාලාවේ බියර් එකක් බොමින් සතුටු සාමීචියේ යෙදී සිටියහ. ඔවුන් මෙලෙස නිතරම එකතු වී දැල්ලන් බයිට් එකක් දා ගෙන කතා කරන්නේ දේශපාලනයය, එසේත් නැත්නම් නව සොයා ගැනීම් පිලිබඳවය. නමුත් මේ දිනවල ඔවුන්ගේ සාකච්ඡාවේ මාතෘකාව අනිවාර්යයෙන්ම ක්‍රිකට් වෙයි. වෙන දෙයකින් පටන් ගත්තත් අවසානයේ කෙලවර වන්නේ ක්‍රිකට් වලිනි. ක්‍රිකට් මාතෘකාව මේසයට පැමිණෙන විට අනිවාර්යයෙන්ම තවත් කෙනෙකු මේසයට පැමිණෙයි. ඒ අන්කිසිවකු නොව ඔවුන්ගේ මිතුරෙකු වන ආපන ශාලාවේ අයිතිකරු නිමල්ය.
“උඹටත් ක්‍රිකට් කියන එක ඇහුනු විට ඉන්ට බැහැ නේද?”  සමරවීර ඇසුවේ සිනාසෙමිනි.
“නැතුව නැතුව ඒක, ලංකාවේ අපිට මොන ඉන්ටනැෂනල් ක්‍රීඩාව බලලා සන්තෝෂ වෙන්ටද?, අපි අන්තර් ජාතිකයට ගියේ මේ ක්‍රිකටුයි, තේයි, කුරුදුයි හින්දනේ, වෙන මොනවගෙන්ද ලෝකේ අපි ගැන දන්නේ.” ඔහු කීවේ සතුටකින්ද දුකකින්ද යන්න මුහුණෙන් සොයා ගැනීමට බැරි වන ආකාරයෙන්ය.
“ඒකනම් ඇත්ත නිමල් අයියා,” අවුරුදු 35 ක් වන එහෙත් 25 කවත් පෙනුම නොමැති  චාමර සිනාසෙමින් කීවේය. “ඉන්ටර්නැෂනල් චැනල් එකක ලංකාවේ එවුන් මොනවා හරි කරනවා පෙනෙන්නේ ඔය අපේ ක්‍රිකට් ටීම් එකයි, අර පීටර් කුරුවිටගේ කුකින් ප්‍රෝග්‍රෑම් එකයි විතරයි.” ඔහු එකතු කළේය. මග් එකට බියර් එකක් පුරවා ගත්තේය.
“නිමල් බ්‍රැන්ඩි ටිකක් ගන්ඩ තියෙයිද?” වයස 55 ක පමණ පෙනුම ඇති  සමරවීර බියර් බෝතලය අවසන් වෙනු දැක නිමල් ගෙන් ඇසුවේය.
“මේකයි එක මහත්තයා;  සමරවීර රජයේ වැදගත් රැකියාවක් කර ලඟදි විශ්‍රාම ගත් නිසා, නිමල් සැමවිටම ඔහුගේ නම අගට මහත්තයා යනුවෙන් ආමන්ත්‍රණය කරන්නට පුරුදුව සිටියේය. අපිට මෙතන ලිකර් ලයිසන් නැති නිසා එහෙම බෝතල් තියා ගන්න බැරි බව ඔයා දන්නවානේ. තියාගෙන හිටපු බෝතල් දෙක ඊයේ ගෙස්ට්ලා වගයක් ඉල්ලලා දුන්නා. ඕනනම් අපි එකක් ටවුමෙන් ගෙන්නා ගමු.
ත්‍රීවීල් කරුවෙකු අත රිට්ස් බ්‍රැන්ඩි බෝතලයක් ගෙන්වා ගනු ලැබූ අතර, පසුදින උදයේ ඔවුන් නිවසට ගිය අන්දමවත් ඔවුනට මතක තිබුනේ නැත. එහෙත් තිදෙනාට එතැනදී සාකච්ඡා කල එක කාරණයක් මතක තිබිණි. ඒ එක දිගටම අවුරුදු ගණනක් පරාජය වන ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම, ජයග්‍රහණය සඳහා යොමු කරන්නේ කෙසේදැයි ඔවුන් සාකච්ඡා කල ක්‍රමයයි.
“මේක හරියට කර ගත්තොත් අපේ ටීම් එක ගොඩම ගොඩ.” එදින අහම්බයෙන් ඇතිවුනු සාදයේදී, සමරවීර අවසාන වශයෙන් කියනවා තුන්දෙනාට හොදින් මතකයේ ඇඳි තිබුණි.
අවසානයේ ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්නට පුළුවන් විය. එය සෙන්සර් එකක ඇතුලට දමා  කොන්ටක්ට් ලෙන්ස් එකක් ඇතුලට දමාගෙන එය ඇහැ ඇතුලට සවිකර ගත යුතුය.  සමරවීර ගේ අයියාගේ පුතකුට අයත් වීරසිංහ ඔප්ටික්ස් ආයතනයෙන් මෙය කරගත හැකි විය. මෙහි ඇති අනතුරුදායක තත්වයද හොඳින් දැන සිටියද,  චාමර තමන්ගේ ඇසක එය සවිකර ගැනීමට ස්වේච්චාවෙන් ඉදිරිපත් විය.
මෙම ප්‍රෝග්‍රෑම් එකෙන් සිදුවුයේ බෝලය පන්දු යවන්නාගේ අතින් මිදුණු අවස්ථාවේ සිට, මීටර 3 ක් දුර ට්‍රැක් කර ඉන්පසු බෝලය කොයි අතට කොතරම් වේගයෙන් ගමන් කරයිද යන්න, සැම මිලි තත්පරයකටම ගණනය කරමින් කාචය පැළඳ සිටින්නාට බෝලයේ අනාගත ස්ථානය පෙන්වා දීමයි.
මේ අනුව පැයට හැතැප්ම 100 පමණ වේගයෙන් තමන් වෙතට පැමිණෙන බෝලයක, පිච් එක මැද හරියේ සිට අනාගත ස්ථානය පිතිකරුට හැකියාව ලැබෙන අතර, බෝලය තමන් අසල පිත්තේ සීමාවට ඒමට පෙර, එය තිබිය යුතු ස්ථානයට පහර එල්ල කර ලකුණු ලබාගැනීම මෙම ප්‍රෝග්‍රෑම් එකේ ක්‍රියාකාරිත්වයයි.
දැන් නව නිපැයුමේ අම්ල පරික්ෂාවයි දැන් නිපැයුම ප්‍රායෝගිකව ඔප්පු කල යුතුය.  සමරවීර සහ චාමර මේ සඳහා කුමක් කලයුතු දැයි දින ගණනක් කතා කළහ. චාමර බිරිඳ මේ දෙදෙනා නිතරම එක්ව සිටීමට කැමති වුයේ නැත, සිතුවේ චාමර මෙලෙස කාලය නාස්ති කිරීමෙන් ඔහු තම ව්‍යාපාරික කටයුතු වලට අවධානය යොමු කිරීම අතපසු වන බවය. කුරුඳු තෙල් ව්‍යාපාරය අයිතිකරුගේ අවධානය නොමැතිව ඔටෝ දුවන්නට පුළුවන් ව්‍යාපාරයක් නොවේ. ඇයගේ එම අදහසත් නව නිපැයුම් වලට බාධාවක් වුවත්, ලොකු වැරද්දක් ඇති බව කිව නොහැක.
අවසානයේ දෙදෙන කර්නල් වෙතට යාමට තීරණය කළහ. සමරවීර ගේ හොඳ මිතුරෙකු වූ ඔහු තරුණ කල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු විය. ටෙනිස්, බැ ඩ්මින්ටෝන්, ස්කොෂ් මේස පන්දු ඔහුගේ ක්‍රීඩාවන් විය. මෙයින් ක්‍රීඩා තුනකටම තම පොල් වත්ත මැද පිහිටි නිවස තුල හා අවට පහසුකම් හදාගෙන සිටි ඔහු, දැන් දිනපතා මේස පන්දු ක්‍රීඩා කළේය.
“අපි අලුත් වැඩක් පටන්ගත්තා, ඒකට පොඩි උදව්වක් ඉල්ලාගෙනයි ආවේ” සමරවීර තම මිතුරාට පැහැදිලි කලේ ආ ගිය ගමන් කතා කිරීමෙන් පසුවය.
“හරි ඒක කියන්ට ඉස්සල්ල කියමු, කෑම කාල යන්ට වෙලාව තියෙනවද?” කර්නල් ඇසුවේ කෑම ටිකක් ලැහැස්ති කිරීමට තම බිරිඳට කියන්නට පෙරය. කෑමට නවතින්නට තීරණය කරගෙන ඔවුහු සාකච්ඡාව ඇරඹුහ.  සමරවීර තමන් දෙදෙනා විසින් කරන ලද නව නිපැයුම පිළිබඳව පැහැදිලි කළේය. ඒ අතරතුර  චාමරද අතරින් පතර පැහැදිලි කිරීමට එකතුවිය. කර්නල් වරයා පැහැදිලි කිරීම මුල සිට අග දක්වා කිසිම බාධා කිරිමකින් තොරව අසා සිටියේය. විස්තරය 75%ක් පමණ අසා සිටින විට ඔහුට ඔවුන්ගේ සොයාගැනීම පිළිබඳව හොඳින් පැහැදිලි විය.
“හරි, මට තේරුනා, ඇති, මේක නියම වැඩක්. ඕගොල්ලෝ දන්නවද ක්‍රිකට් බෝලයක් බෝල් කරද්දී ගමන් කරන්නේ කොච්චර වේගයකින්ද කියලා”  සමරවීර සහ චාමර මාරුවෙන් මාරුවට එකිනෙකාගේ මුහුණු දෙස බැලුහ.
“සාමාන්‍යයෙන් ඒ වේගය පැයට හැතැප්ම; ඔහු තවම සිතන්නේ ඉම්පීරියල් ක්‍රමයටය, 100 ක් විතර වෙනවා, නමුත් ඒ වගේ වේගයකට ඕක ක්‍රිකට් පිච් එකක පරික්ෂා කරනවට වඩා පහසු ක්‍රමයක් මගේ ළඟ තියෙනවා,  අපි මේක ටෙස්ට් කරමු TT ගේමක් ගහලා, TT බොලේ සෙල්ලම් කරන කොට යන වේගය පැයට හැතපුම් 25 ක් විතර ඇති, හැබැයි මෙතෙන්දි ඕගොල්ලන්ගේ ගැජට් එකට වේගය මානාගෙන අනාගතයට ප්‍රක්ෂේපනය කරන්න තියෙන වෙලාව හුඟක් අඩුයි, මොකද TT මෙසේ දිග අඩි  9 යයි. ක්‍රිකට් පිච් එකේ දිග අඩි 66 යි. තේරුනාද?”
මිතුර දෙදෙනාම මිට පෙර මේස පන්දු ක්‍රීඩාකර නොතිබුණු හෙයින්, මුලින්ම චාමරට පැය බාගයක පමණ පුහුණුවක් ලැබිණ. ඉන්පසු කාචය සවිකර ක්‍රීඩාව පටන් ගත්හ. විනාඩි දහයක් යාමට පෙර චාමර කර්නල් වරයාව පරාජය කළේය. ඔහුට මෙය අදහාගත නොහැකි විය.
“වැඩේ හරි, තමුසෙලා යකාගේ වැඩක් කරලා තියෙන්නේ. හැබැයි මේකෙන් යම් දවසක රැකට් ගේම්ස් ලෝකෙන් නැති වෙලා යන්ටත් පුළුවන්” කර්නල් කීවේය. ........අවසාන කොටස මීළඟ බ්ලොග් එකෙන්  

Tuesday, June 25, 2019

ඔටුන්න හිමි කුමාරයා - කෙටි කතාව




කැරැල්ල අවසන් වීමට තව එතරම් කලක් ගතවන්නේ නැති බව රාජසිංහ රජ්ජුරුවෝ විශ්වාස කළහ.

“ඔය පායලා තියෙන  වල්ගා තරුව බැහැපු ගමන්ම ඔවුන් එක එකා ඇන  කොටාගන්නවා, මං  දන්නැද්ද අපේ සිංහලයාගේ හැටි , අනික වල්ගා  තරුව බැස්සහම අපල  කාලේ ඉවරයි කියල මිනිස්සු රජ්ජුරුවෝ පැත්තට හැරෙනවා”  රාජසිංහ රජතුමා උඩගම්පහේ රාළට කීවේය.
“පස්වාන් දහසකට, උන් අපේ කුමාරයාට ඔටුනු පලඳලා  කියල ආරංචියක් පැතිරෙනව ” රජුට වඩා තරමක් මිටි එහෙත් ඔහුට වඩා තරුණ එමෙන්ම ශක්තිවන්ත පෙනුමක් ඇති, උඩගම්පහේ රාල පිළිතුරු දුන්නේය.
 මුහුණ පුරා තරමක් අව පැහැයට  වැවුණු රැවුලක් සහිත රාජසිංහ රජතුමා, දුර්වල දනිස් වලට අත් තබමින් හෙමින් තමන් ඉඳගෙන සිටි ගලෙන් නැගිට්ටේය. ඒ ලඟින්ම කෙලින් කටින් වාඩිවී සිටි උඩගම්පහේ රාල, එක්වරම කිසිම අපහසුවක් නොමැතිව නැගිට සිටියේය. රජුට පසුව නැගිටින්ට පටන් ගත්තත් ඔහු රජුට පෙර හිටගත්තේය.
“අපි දෙන්න එක පලොලේ නේද උඩගම්පහේ ?”  රාජසිංහ රජතුමා උඩගම්පහේ රාල පරීක්ෂාවෙන් බලන ගමන්  ඇසුවේය. “එහෙමයි මං අපේ දෙයියන්ට වැඩිය පෝය දෙකක් වැඩිමල් කියලා අපේ අප්පොච්චා කියනවා මට ඇහිලා තියෙනවා”
 රාජසිංහ රජතුමා කල්පනාවට වැටුනේය. “බලපන් දැන් උඹ නැගිටපු ආකාරෙ, ඊ ගහක් වාගේ, මම හිට ගන්නකොට උඹට තුන් පාරක් හිටගෙන ඉඳගන්ට තිබ්බා, මොකද ඒකට හේතු  කාරණේ උඩගම්පහේ  
“මගෙත් දනිස් පොල්කටු ගාවින් ඇදුම් දෙනවා ඩිංගක් වෙලා ඉඳගෙන ඉඳලා නැගිටිනකොට, ඒ වුනාට දෙයියන්නාන්සේ ඉස්සරහ එව්ව පෙන්නන්ට පුලුවනෑ” උඩගම්පහේ රාල ඒ පිළිබඳව කතා කිරීම මගහැරියේය. රාජසිංහ රජතුමා සමග කතාකරන විට බොහෝ ප්‍රවේසම් විය යුතුය. ඔහුත් සමග කතා කරමින් සිටින විට වචනයක් වැරදීමෙන් ජීවිතය නැති කරගත්  කිහිප දෙනෙකු ගේ මුහුණු ඔහුට සිහිවිය.
රජතුමා කියූ පරිදිම කැරැල්ල කැරලිකරුවන් විසින්ම මැඩ පැවැත්විනි. මේ අතර රජුගේ සහෝදරිය, කුමන්ත්‍රණ කරුවන් විසින් රජු වෙනුවෙන් ඔටුනු පැළඳවීමට පිළියෙළ කරමින් සිටි රජුගේ පුත් කුමරුද රැගෙන, සෙන්කඩගල රජ වාසලෙන් පැනගොස්, ගල උඩ පරණ  බලකොටුවේ සැඟව සිටි රජු හා එකතුවුවාය.
“තවත් පෝයක් යන්ට අරිමු, එතකොට උන් ටික එක එකා මරාගෙන ඉවර කොරගයි” රජතුමා ආපසු මහනුවරට යාමට ඔහු උනන්දු කරන රාජපාක්ෂික නිලධාරින්ට පිළිතුරු දුන්නේය.
මසකින් පමණ කැරැල්ලේ සැර අහවරව ගොස්, රාජසභාව නැවත අගනුවර ස්ථාපිත කෙරින. කැරලි නායක අඹන්වෙල රාල යදම් දමා ලන්දේසීන් වෙත පිටමන් කෙරුනේ, කන්ද උඩරට මෙතෙක් අසා නොමැති , නොදැක ඇත්තාවූ  දඬුවම් ඔහුට ලන්දේසින් මඟින් ලබාදීමටය.
“උඩගම්පහේ රාල, රජකම රජ පවුලෙන් උදුරාගන්ට හයියක් ඇති එකෙක් මේ රාජධානියේ ඇත්තේ නෑ, ඒ වුනාට රජ්ජුරුවෝ ඉවත් කරලා රජපවුලේ කෙනෙක් රජකමට පත්කරගන්ට පාරම්බාන එව්වෝ ඕනෑතරම් ඉන්ට පුළුවන්” ටික දිනකට පසුව රාජසිංහ රජතුමා උඩගම්පහේ රාල සමග සාමීචියේ පසුවන අවස්ථාවක කීවේය.
“පස්වාන් දහසකට, අපි දෙයියන්ට පන වාගේ විශ්වාස කොරන්ට පුළුවන් නිලමෙලා කණ්ඩායමක් දිසාවානි බාරව පත් කොරගන්ට ඕනෑ” උඩගම්පහේ රාල තරමක් කල්පනා කර පිළිතුරු දුන්නේය.
“උඩගම්පහේ රාල උඹට ඇත්තම කියන්ට, මට මේ කන්ද උඩ පස්රටම එහෙම විස්වාස කරන්ට පුළුවන් එව්වෝ දෙන්නයි ඉන්නේ, ඒ මහා වාසල අපේ අක්කන්ඩියි උඹයි විතරයි. වෙන එකෙක් වත් මට විශ්වාස නෑ”
“දැන් උඹ කියපන් මම අනාගතේට මේ පෙරලි  නවත්ත ගන්ට මොකක්ද කරන්ට පුළුවන් කියලා”  රාජසිංහ රජතුමා උඩගම්පහේ රාල දෙස ඇසිපිහ නොහෙලා බලා සිටියේය.

සාමාන්‍යයෙන් තමන් කතා කරන පුද්ගලයා දෙස එක එල්ලේ නොබලා, ඔහුගේ ඔලුවට තරමක් ඉහල ලක්ෂයක් දෙස බලා කතාකිරීම, රාජසිංහ රජතුමාගේ පුරුද්ද වුවද  උඩගම්පහේ රාල සමග නිදහසේ කතා කරමින් සිටින විට ඒ රාජකීය සිරිත ඔහු අමතක කළේය.
සාකච්ඡාව යන අත ගැන උඩගම්පහේ රාලට කිසිම පැහැදීමක් නැත. එය යන්නේ යැයි ඔහු සිතන රජුගේ තර්කයත් සමග එකඟවිය හැකි අවසානය, ඔහුට අවබෝධ වනවිට ඔහුගේ කොඳු නාරටිය දිගේ පහලට සිතල දහඩිය බිඳක් ගලා යනවාක් මෙන් ඔහුට දැනුනි.
“කැරලි කාරයන්ට මම අයින්කොරලා  රජ කොරන්ට ගැලපෙන කුමාරයෙක් රජ පවුලේ නැත්තං?” ටික වෙලාවක් පිළිතුරක් බලා සිට එය නොලැබෙන විට, රජුම පිළිතුරු දුන්නේය. තමන්ගේ  දරුවාගේම වයසේ පසුවන රජුගේ පුත් කුමරාගේ අහිංසක මුහුණ උඩගම්පහේ රාල ගේ සිහියට ආවේය. රජවරු තමන්ගේ බලය රැකගන්නට නොකරන දෙයක් නැත. එය අතීතයේත් එලෙසම විය, අනාගතයේත් වෙනස් වන්නේ නැත. ඔහුට හොඳ අදහසක් සිතට ආවේය.
“පස්වාන් දහසකට, අපුරු අදහසක් නම් තියෙනවා,, අපි අස්තානේ කුමාරයා හංගමු, රාජධානියේ කිසිම කෙනෙකුට නොදැනෙන විදිහට” ඔහු කිවේය.
රජුගේ මුහුණ ආලෝකමත් විය.
 “ඕන් ඕකමයි මගේ හිතෙත් තිබ්බේ, අපි කුමාරයා හංගන්ට ඕනෑ, ඒ කොරලා පරසිද්ද  කරන්ට ඕනෑ, කුමාරයා මියගොහිල්ල කියලා. ආන් එතකොට මට මිය ඇදෙන තුරාවට කැරැල්ලකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ”
“එහෙමයි, මෙච්චර කාලෙකට එකක් ආවෙත් නෑ, මේකෙන් පස්සේ ආයේ එකක් එන්නෙත් නෑ” උඩගම්පහේ රාල රජු සිතන පැත්තට ඔහුව තවත් ධෛර්යමත් කළේය.
“එහෙනං උඩගම්පහේ  හෙට උදේ ගොම්මනටම කුමාරයත් ඇරගෙන, අලුත්නුවරට පිටත් වුනොත් හොඳයි, කුමාරයාට තමුන්ගේ දරුවට වාගේ අන්දලා එකතු කරගෙන ගිහාම කාටවත් තේරෙන්නේ නැහැ, අනික උඹේ දරුවත් මේ පලෝලෙම හින්ද තවත් හොඳයි, කවුරුහරි නිකමටවත් ඇහුවොත් කියන්ට පුළුවන් ඒ තමුන්ගේ දරුවයි කියලා, මොකද මේක එකෙක් හරි දැනගත්තොත් කටින් කට යනවා, පෝයක් යන්ට ඉස්සර මුළු රටම දැනගන්නවා, උඹ දන්නවනේ මුන්ගේ කටවල් වල හැටි” රාජසිංහ රජතුමා පැහැදිලි උපදෙස් ලබා දුන්නේය.
මහවාසලම නැවතුනු උඩගම්පහේ රාල, රාත්‍රී දෙකට පමණ පල්ලෙහා මාලේ කුමරාගේ කුටියට යනවිට, ඔහු නින්දෙන් අවදිකර ගමනට ලක ලැස්ති කර සිටි අතර, මව් බිසව හෝ වෙනත් කිසිවකු අසල මානයක සිටියේද නැත. එහෙත් දරුවා සමග කාමරයෙන් පිටවන විට, කාන්තාවක් කොරිඩෝවේ කෙළවරක සිට බලා සිටිනවා ඔහු දුටු  බව ඔහුට හැඟුනි. එහෙත් මේ හැඟීම් හෝ සැකයන් පසුපස සොයා යාමට වෙලාව නොවේ. දරුවා දකුණු අතින් අල්ලාගෙන වම් අතින් ඔහුගේ පන් මල්ලද රැගෙන, වේගවත් පියවරෙන් උඩගම්පහේ රාල බූ වාහල්කඩ දෙසට පියමං තැබුවේය. එදින රාත්‍රියේ මැද  මහනුවර උඩගම්පහේ රාලගේ  වැඩිමහල් සහෝදරියගේ නිවසේ ගතකල දෙදෙනා, පසුදින මහියංගන තොට වෙත ලඟා වුහ. ගඟ දුටුවිට මෙතෙක් වෙලා නිශ්ශබ්දව සිටි කුමරු
“උඩගම්පහ මාමණ්ඩි, මේ අපි කොහාටද යන්නේ” යනුවෙන් එක්වරම විමසුවේ සම්පුර්ණයෙන්ම බලාපොරොත්තු කඩවූ  ආකාරයෙනි. පසුගිය දවස් දෙකේම ඔහු කවර පළාතකට රැගෙන යන්නේද, කවර හේතුවක් සඳහා මෙලෙස යන්නේද, යන කිසිවක් කුමරා විසින් නොඇසීම ඇත්තෙන්ම උඩගම්පහේ රාලටද පුදුමයට කාරණයක් විය. කුමරු පසුගිය දිනවල සිදුවූ අසාමාන්‍ය සිදුවීම් වැල නිසා, බලවත් කම්පනයට පත්ව ඇතැයි උඩගම්පහේ රාල සිතුවේය.
“අපි මේ යන්නේ අලුත්නුවර පන්සලට, ගඟෙන් එගොඩට ගිය හැටියේ පන්සල ආයේ වැඩිදුරක් නෑ, පන්සලට ගිය ගමන්ම අපිට දවාලට බත් ඩිංගක් කන්ට පුළුවන්” උඩගම්පහේ රාල කුමරුන්ට බඩගිනි ඇද්දැයි අනුමාන කර, ඔහු සැනසීමට පිළිතුරු දුන්නේය.
“මට එහෙව්වට බඩගින්නක් නෑ” කුමරු පිළිතුරු දුන්නේය. එහෙත් පිළිසඳර එතනින් කෙලවර විය.
අලුත්නුවර පදුමජෝති හිමියන්ට කුමරු බාරදුන් උඩගම්පහේ රාල, රජුගේ උපදෙස් පැහැදිලි කළේය. උපදෙස් සාවධානව අසා සිටි හාමුදුරුවෝ
“හොඳයි උඩගම්පහේ රාල මට වැටහුනා, කුමාරයාට ලොකු අසාධාරණයක් වුනාට, මේ වාගේ අසීරු කාලයක එහෙම රාජධානියේ ආරක්ෂාව බලාගෙන වැඩ කොරන එක හොඳයි, රට වටේටම රාජධානිය විනාශ කොරන්ට ඒරොප්පෙ උන් බලාගෙන ඉන්නවා මදිවට, දැන් පස් රට ඇතුලෙත් හතුරෝ” කීවේය.
“කුමාරයාට මොන දීපන්කරේ පන්සලක ඉඳුම් හිටුම් සලස්සනවද කියලා, මට වත් නොකියා ඉන්න එක හොඳයි. තමුන්නැහේ සුදුසු විදිහක් කලොත් ඒ ඇති. එහෙනම් අපි ගොහිල්ලා එන්නම්” යැයි පැවසු උඩගම්පහේ රාල අසල කුඩා පුටුවක වාඩිවී සිටි කුමරු දෙසට ගොස්, ඔහුගේ ඔලුව අතගා හාමුදුරුවන්ට වැඳ කාමරයෙන් පිටවිය.
මාස හයකට පමණ පසු රජුගේ උපදෙස් මත කුමාරයාගේ තනි නොතනියට උඩගම්පහ රාලගේ පුතනුවන් ද බොහෝ රහසිගතව මහියංගනයට පිටත් කෙරින.
                                                            

                                                      2.
අඹන්වෙල රාල කොළඹට ගියපසු සිදුවූ දෙයින්, කුමාරයා රහසිගතව තබාගැනීම තවදුරටත් වැදගත් විය. ලන්දේසි අඹන්වෙල වැනි ප්‍රසිද්ධ කැරලි කාර නායකයකු තමන් අත තබාගැනීමේ ප්‍රයෝජන දැක, ඔහුට දරුණු වධ  දී මරා දමනු වෙනුවට, ඔහුට ඉඩකඩම් යනාදිය ලබාදී ඔවුනට හිතවත් ධනපතියෙකු ලෙස කොළඹ ජීවත්වීමට කටයුතු යෙදුවූහ. මොහු කොළඹ සිටිනතාක් කල්  රාජසිංහ රජතුමා නිරන්තර සැකයෙන් තබාගත හැකි බවද, මේ මඟින් යම් තරමකට රාජසිංහ රජතුමා පාලනය කල හැකි බවද, ඔවුනට පෙනීම මෙයට හේතුවයි.
ලොකු බලයක් සහිතව යම් පාලනයක සිටින පුද්ගලයෙකුට, තමන්ට එම ක්‍රියාකාරකම් වල යෙදෙද්දී යම් වැරදීමක් සිදුවී ඇති බව තමන් යටතේ සිටින්නන්ට හැඟීම  , පාලකයෙකුට දරාගන්නට බැරි අපහාසයකි. මීට පෙර ලන්දේසින් සමග ගනුදෙනු කිරීමේදී ඔහුට සිදුවූ මෙවැනිම මදිපුංචි කමක්, ඔහුගේ ජනයා අතරේ සාමාන්‍ය වහරේ ප්‍රස්ථා පිරුලක් බවට පත්විය. ඒ “ඉඟුරු දී මිරිස් ගත්තා වැනිය” යන කියමනයි.
අඹන්වෙල රාලගේ සිද්දියද එයට නොදෙවෙනි එකක් බව, රාජසිංහ රජතුමාට  පෙනුනේය. මේ නිසාවෙන් ඔහු කෝපයෙන් වියරු වැටුනේය.
සමහරවිට මේ නිසාවෙන්ම රාජසිංහ රජතුමා දියතිලක නුවර මාලිගාවේ සිටියදී,  රාජසිංහ රජතුමා රෝගාතුර වී ඇඳට වැටුනේය. දැනටමත් වයස 70 කට කිට්ටුව සිටි මොහු, තව වැඩි කාලයක් ජීවත්වන්නේ නැති බව කාටත් පැහැදිලි වුනි. ඔටුන්න හිමි කුමාරයකු නොමැතිවීම නිසා රාජසභාව කොටස් කිහිපයකට කැඩී, නොයෙකුත් රාජ්‍යත්වයට හිමිකම් ඇත්තන් ඉදිරියට ගෙන ඒමට තැත් කිරීම නිසා, මහත් බල අරගලයක් රහසින් ක්‍රියාත්මක විය. මෙලෙස ක්‍රියාත්මකවූ කල්ලි තුනටම සම්බන්ධ නොවී සිටි, එකම රාජ සභාවේ සාමාජිකයා වුයේ උඩගම්පහේ රාල පමණි.
උඩගම්පහ රාල රජු වැඩ හිටින මාලිගා සංකීර්ණයට ඇතුලුවන විට, මුරට සිටි හේවායන් දෙදෙනා ගෞරවයෙන් ඔහුට ඇතුලට යාමට ඉඩ දුන්හ. කොරිඩෝවක් සහ කාමර පේලියක් පසුකරගෙන යද්දී, ඔහු තවත් හේවා යුගල දෙකක් පහු කළේය. රජුගේ සයනාගාරයට ඇතුළුවන තැන සිටි මල්පිටියේ රාල, උඩගම්පහේ රාලට ආචාර කර ඇතුලට යාමට ඉඩ හැරියේය.
 “හකිම් වෙද රාලහාමි දැන් තමයි බැහැර වුනේ” ඔහු ද්වාරය අසලදී  උඩගම්පහේ රාලට කීවේය. පත්තුකර තිබු කුරුඳු තෙල් ඉටිපන්දම් සුවඳින් කාමරය පිරි තිබුනේය. රජු සයනයේ කකුල් දෙපසට දමා වහලය දෙස බලාගෙන නිසොල්මන්ව සිටියේය. උඩගම්පහේ රාල ටික වෙලාවක් රජු දෙස බලා සිටියද, ඔහු පැමිණි වග දුටු බවක් රජු පෙන්නුවේ නැත. ඔහු රජුගේ මුහුණ කිට්ටුවටම තම මුහුණ කිට්ටුකර පරීක්ෂාවෙන් බැලුවේය. රජු එක්වරම එක් අතක් ඇඳට තබා ඉහලට එසවී, එක අතකින් උඩගම්පහේ රාලගේ බෙල්ල අල්ලා ගත්තේය.
“උඩගම්පහ රාල මොකද කිට්ටුවෙල බලන්නේ, අන්තිම හුස්ම ටිකත්  ගිහිල්ලා කියලද?”   රාජසිංහ රජතුමා සිනහවන්නට පටන් ගත්තේය. “උඹත් බලාගෙන ඉන්නේ රජ්ජුරුවෝ මැරෙන කන්ද?” ඔහු වියලි කැස්සක් පටන් ගත්තේය, හුස්ම ගන්නට අපහසු වනතෙක් කැස්ස නවතාගත නොහැකිව, උඩගම්පහේ රාලගේ  අතක් අල්ලා ගත්තේය.
“උඹට කියන්ට උඩගම්පහේ රාල, මට ඉතුරු වෙල තියෙන්නේ තුන් හතර දොහක්, අපිට ආයේ වැඩි කාලයක් නෑ කුමාරයාට ඔටුනු පළඳවන්ට” ඔහු කීවේය. “කාටවත් නොදැනෙන්ට සඟරාජට දන්වල කුමාරයා හෙට අනිද්දම මෙහාට ගෙනෙන්ට ඕනෑ”
උඩගම්පහ රාල යමක් කියන්ට උත්සාහ කළේය. රජු අත උස්සා එය නවතා නැවත නින්දට වැටුනේය.

                                                 3
එක දිසාවක් හැරෙන්නට සියලුම දිසාව වරුන්ද, මහාධිකාරමද, තවත් වාසල නිලමේ වරුන්ද, ඇතුළුව නිලමේ වරුන් දහසය දෙනෙකු රජුගේ සයනය වටා ගෞරවයෙන් රැස්වී සිටියහ. වයෝවෘධ මහ තලේ  දිසාව හැරෙන්නට අනෙකුත් සියලු ප්‍රධානින් සිටියේ සිටගෙනය.
මේ සියලු දෙනාට අමතරව එදින රජුගේ සයනාගාරයේ සයනයට දකුණු පැත්තෙන් කාමරයේ කෙලවරට වන්නට වයස 15 වක පමණ ප්‍රසන්න පෙනුමක් ඇති තරුණයෙකු කාමරයේ සිටි සියලු දෙන දෙස  ඉතා උවමනාවෙන් බලා සිටියේය.
කුමක් වන්නට යන්නේදැයි අවිනිශ්චිත බාවයෙන් සභාවේ සිටි සියලු දෙන, රජතුමා ගේ ඉරියව දෙස බලාසිටියේය. ඔහුගේ නළලට තෙත සුදු පැහැති රෙදි කඩක් සෙමින් තැබූ හකීම් වෙද තැන, තම සහායකයන් දෙදෙනාගේද සහය ඇතිව රජතුමාගේ ඉහල කොටස තරමක් ඔසවා, ඔහු ගේ ඔලුව එසවෙන පරිදි කොට්ට දෙකක් කොන්දට තැබුවේය. සියලුදෙනා පෙනෙන තරමට තම හිස එසවුණු පසු, රජු එසවීම ප්‍රමාණවත් බව පෙන්වීමට සංඥාවක් කළේය.
“හොඳයි” රජු අමාරුවෙන් වචනය පිටකළ සැනෙන්ම වෙද රාල සහ ඔහුගේ ගෝලයන් කාමරයෙන් පිටවිය.
 රාජසිංහ රජතුමා තවත් ටිකක් කොට්ටය මත හරිබරි ගැසුනේය. “මගේ මේ අන්තිම කාලේ කියලා කියන්ට වැඩක් නෑ, අද තමුන් හැමෝටම  එන්ට කිව්වේ මයෙන් පස්සේ රජකමට අපේ පුත් කුමාරයා පත්කරගන්ට, ඕන් ඔතන ඉන්නේ කුමාරයා”, ඔහු ඇසෙන් තම දකුණු පැත්තේ හිටගෙන සිටි තරුණයා පෙන්වීය. “හෙට හොඳ නැකතක් තියෙනවා, හෙට කුමාරයට ඔටුනු පළන්දන්ට ඕනෑ, එහෙනම් මාතලේ, සියලු කටයුතු සංවිධානය කරන්න ඕනෑ” ඔහු මහත්  අපහසුවෙන් එහෙත් කටහඬ ලැබුණු වෙලේ කියා අවසන් කළේය.
ගම්පහේ රාල කලබල වී යමක් කියන්නට උත්සාහ කළේය. රාජසිංහ රජතුමා අත උස්සා එය නැවැත්විය. මුළු සභාවම කණ්ඩායම් කිහිපයකට වෙන්වී රහසින් කතා කරන්නට පටන්ගත්හ. රාජසිංහ රජු හොඳ සෞක්‍යයෙන් සිටියදී ඔහු ඉදිරියේ වචනයක් කතාකිරීමට බිය වූ  නිලමේ වරු, අද ඔහුගේ ලෙඩ ඇඳ  අසල ඒ බිය ඒ අයුරෙන්ම පෙන්වුයේ නැත.
“පස්වාන් දහසකට බුදුවන්ට, මුළු රටම මෙච්චර කාලෙකට හිතාගෙන හිටියේ කුමාරයා මිය ගිහිල්ලා කියලා, අපිට, යම් ලකුණක් නැතිව මේක පිළිගන්ට දුෂ්කරයි, මෙතන ඉන්න අපි ඔක්කොම ඒ මතයේ තමයි ඉන්නේ” පහලපිටියේ රාල රාජ සභාව වෙනුවෙන් තම අදහස් ප්‍රකාශ කළේය. පහලපිටියේ මෙලෙස  මෙම එඩිතර කමෙන් මුළු සභාවටම නව පණක් ලැබු අතර, රජුගේ සිතැඟි ඉටු කරගන්නට එතරම් පහසු නැති බව පෙනුනි. ඊළඟ රජු ලෙස තමන් කැමති කෙනෙකු පත්කර ගැනීමට සැලසුම් අඳිමින් සිටි කණ්ඩායම් තුනම, මේ අවස්ථාවේ ඔවුන්ගේ විරසක අමතක කර එකතු වුහ.
 රාජසිංහ රජතුමා අසල කනප්පුව මත තිබු කුඩා සීනුව නාද කළේය. වෙදරාළ සහ ඔහුගේ සහායකයන් කඩිනමින් ඇතුලට පැමිණියහ. වෙදරාළ ඔහුගේ කන රජතුමාගේ මුවට කිට්ටු කළේය. ඔහු යමක් කී පසු සහාකයන්ද සමග රජතුමා ඔසවාගෙන, කුමාරයා අසලට ගෙන ගියහ. රජතුමා සංඥා කල පසු ඔවුහු රජතුමා  කුමාරයා අසල බිම තැබුහ. රජතුමා ටික වෙලාවක් කුමරු දෙස බලාසිටියේය. ඔහු සිතට ධෛර්‍යයක් ගත්තේය.  කුමාරයා අසල එකත්පස් වී ඔහුට වැන්දේය.
සයනය අසල සිටි නිලමේ වරුන්ගෙන් ඇසට කඳුලක් නොනැගි කෙනෙකු නොසිටිය තරම්ය. ඔවුහු සියලු දෙනාද දණගසා රජතුමාට ආචාර කළහ.
පසුදින හිමිදිරියේ පැවති චාම් උත්සවයකින් කුමාරයා රාජත්වයට පත්කරන ලද්දේය.  ඔහු තම සීයා ගේ  සහෝදරයා විසින්  ශ්‍රී ලංකාවේ අගනුවර බවට පත්කරගත් , මහනුවරදී , දිවි ඇතිතෙක් පරසතුරන් ගෙන් එම රාජ්‍යය බේරාගන්නට සටන් කල විමලධර්මසුරිය නාමය, තමන්ගේ රාජකීය නාමය ලෙස තෝරා ගන්නා ලද්දේය.
 රාජසිංහ රජතුමාගේ අවමඟුල සෙන්කඩගල නුවරදී මහත් හරසරින් සිදු කෙරිණ. කුමන හෝ හේතුවකට; බොහෝවිට රාජ්‍ය තාන්ත්‍රික උවමනාවන් නිසා, කොළඹ ලන්දේසි අගනුවරද රජුට ගෞරව කර රාජ්‍ය උත්සවයක් පැවැත්වින.
අවමඟුල් උත්සවයට සෙන්කඩගල නුවරට පැමිණි පදුමජෝති හාමුදුරුවෝ  ආපසු යන ගමනේදී දුම්බර පිහිටි, උඩගම්පහේ රාලගේ නිවසට පැමිණියේය.
“මහරජතුමා මාස තුනකට සැරයක් මාව, උන්නැහේ බැහැදකින්ට ගෙන්නුවා, කුමාරයා ගැන අහන්ට. මම කුමාරයා ගැන විස්තර කියන කොට ඈත බලාගෙන අහගෙන හිටියා. බොහොම කණගාටුවකින් වාගේ, කුමාරයා හීනෙන් බයවෙන එව්වා, බලාගත් අතේ බලාගෙන ඉන්න එව්වා, එක පාරටම වෙව්ලලා වැටෙන එක, කටින් සෙම දාන එක ඔය ඔක්කොම මං කිව්වා, මට අන්තිම පාර මුණ ගැහුනම තමයි කිව්වේ”,

“එහෙනම් සාමි ඔය වැඩේ හරියන්නේ නෑ, කන්ද උඩ පස්රටට හතුරෝ  බොහොම වැඩියි, රටට ඕනෑ දක්ෂ පාලකයෙක්, කුමාරයත් එක්ක ගිය උඩගම්පහේ රාල ගේ දරුවා කොහොමද?”  උන්නාන්සේ මගෙන් ඇහුව.
ඇස්වහක් කටවහක් නෑ, බොහොම දක්ස දරුව, කල්පනා ශක්තියත් හොඳයි, කය වෙහෙසල වැඩක් පලක් කොරන්ටත් පුළුවන්” මං උත්තර දුන්නා
ඊට පස්සේ තමයි උන්නාන්සේගේ අදහස කිව්වේ, මට මුලින්ම තෙරුන් ගියෙත් නෑ, නමුත් මට තේරුණා ඔටුන්නට කා කොටා වැටෙන එක වලක්වන්ටයි, රාජ වංශයේ චිරස්තියටයි ඒක තමයි කොරන්ට තියෙන එකම වැඩේ කියලා”
“ඕන් ඔහොම තමයි උඹේ කොල්ල රජවුණේ, දැන් මේක දන්නේ උඹයි මමයි විතරමයි, දරුවා යහපත් පාලකයෙක් වෙන එක නම් මට විශ්වාසයි ”  පදුමජෝති හිමි කීවේය.

Sunday, June 16, 2019

ආරච්චි පයින්ඩේ - කෙටි කතාව







                                               ආරච්චි පයින්ඩේ


ඔවුන් හතර දෙනාම නොතාරිස් රාලහාමිගේ නිවසට රාත්‍රී හත වනවිට එකතු වුහ. කරත්ත පාර අයිනේ මහා වංගුවට උඩින් තිබු ගරාදි ගැසූ නිවසේ සාලයේ සුදු සරමක් සහ බැනියමක් ඇඳ සිටි නොතාරිස් රාලහාමි, චිමිනි ලාම්පුවක එළියෙන් යමක් ලියමින් සිටියේය. ඔලුවේ පිටිපස්සට වන්නට පීරා කුඩා ගැටයක් ගැටගසා තිබුණු ඔහුගේ කොණ්ඩයේ, තරමක් සුදු පැහැ ගන් වෙමින් තිබුණු කෙස් රැල ලාම්පු එලියට දිලිසුණි.
“ලොකු  නිලමේ, ටිකිර මාමයි තව කට්ටියකුයි ඇවිල්ල ඉන්නව නිලමේ හම්බුවෙන්ට” ඔහුගේ මෙහෙකාරිය ඔහුට දැන්වූවාය. ඔහු ඉඳගෙන සිටි මේසයෙන් නැගිට සකස් කරමින් සිටි ලියවිල්ල මේසය ළඟ තිබු රාක්කය මත තැබුවේය.
“කිරී, එහෙනං දුවන් ගෙහුං පුංචි බණ්ඩා මලයටත්  එන්ට කියපන්” ඔහු ඉතාමත් හෙමින් කීවේය. ඒ ඔහුගේ ස්වභාවය වෙයි. කිසිවිටෙකත් තම ස්වරය වැඩිකර හෝ වේගයෙන් කතා නොකරන ඔහු, එසේ කතාකරන තැනක වැඩි වෙලාවක් සිටියේත් නැත. ඔහුට මෙම පුරුද්ද උපතින් ලැබුනක් නොවේ. ඔහු සේවය කර ඇති පෙරකදෝරුවන් සහ එම පෙරකදෝරුවන්ගේ මිතුරන්  ගේ එම පුරුදු දැක, බොහෝ උවමනාවෙන් පුරුදු කරගත් ඒවාය. නීතිඥ ලිපිකරුවෙකුව සිට පුරුදු කරගත් එම පුරුදු නොතාරිස් කෙනෙකු වූ විට තවත් තිව්ර විය.
“අපේ නොතාරිස් රාලහාමි අබ්බගාත් මහත්තයෙක් උනොතින් කතා නොකරම අරින්ට පුළුවන්” ගැමියෝ ඔහු නැති තැන, ඔහුට නොකියන බවට හොඳටම විශ්වාස කවුරුන් හෝ සමග කියා සිනාසුනහ.
වයස 35 ක පමණ පෙනුම ඇති, නොතාරිස් රාලහාමිට වඩා අඟල් හයක් පමණ උස සිහින් සවිමත් සිරුරක් ඇති පුංචි බණ්ඩා සාලයට ඇතුල්වුයේ “නොතාරිස් අයියා” කියමින් ගෞරවයෙනි.
“ඕන් ඔහෙන් ඉඳ ගනින්කෝ මලයා” කියූ නොතාරිස්, එතන තිබු හාන්සි පුටුවකට බර වුයේය. තමන්ට ඉඳ ගන්නට කිව්වත් නොතාරිස් වාඩිවන තුරු හිටගෙන සිටි පුංචිබණ්ඩා අසල තිබු කුඩා පුටුවක හරි බැරි නොගැහි ඉඳ ගත්තේ, තම මස්සිනා වුවත් වැඩිහිටි එසේම තත්වයෙන් ඉහල නොතාරිස් ගෞරවයක් ලෙසටය.
“ටිකිරයි අනික් තුන් දෙනයි ඇවිල්ල ඉන්නවා, උන්ටත් එන්ට කියන්ටද?” ඔහු ඇසුවේය.
“එපා අපි පිටිපස්සේ ගල උඩට යමු, අහල තියෙනවා නේද, දවල් කැලෙයි රෑ ගෙදරයි රහස් මන්ත්‍රණ කරන්ට එපා කියලා” නොතාරිස් නැගිට්ටේය. නිවස පිටුපස තිබු ගල් තලාව මතට ගියේය.
තවත් ගැමියන් හතර දෙනෙකු ගල්තලාව මතට පැමිණ, නොතාරිස් ගේ අවසරය ලැබුණු පසු නොතාරිස් සහ පුංචිබණ්ඩා ඉඳගෙන සිටි තැනින් පහතට වන්නට පහසු තැන් බලා, හෙමින් කතා කරන දෙයක් අසාගන්නට හැකි මානයෙන් ඉඳ ගත්හ.
“උඹල දන්නවද, ඇයි උඹලට මෙතන්ට එන්ට කිව්වේ කියල?” නොතාරිස් සියලු දෙනාගෙන්ම පොදුවේ ඇසුවේය.
“පුංචි බණ්ඩා නිලමේත් මෙතන ඉන්න හින්දයි ලොකු ආරච්චිල නිලමේ ලෙඩ ඇඳේ වැටිලා ඉන්න හින්දයි අපිට හාන්කවාසියක් නම් තියෙනවා, අපේ නිලමේ”  අවශේෂ පිරිසේ වැඩිහිටියා වූ ටිකිරා පිළිතුරු දුන්නේය. ඔහු ඕනෑම තැනක බයක් නැතුව කටහැර කතා කරන්නට ගැමියන් අතර ප්‍රසිද්ධියක් උසුලයි.
“හොඳයි, උඹලට තියෙන්නේ ලබන අඟහරුවාදා අම්බලමේ තියෙන සුද්දගේ රැස්වීමට ඇවිල්ල කිරිබණ්ඩා මලයට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කොරන එක, බීගෙන මිනිස්සුන්ට අල්ලාගෙන ගහන එක, අමුණුගම හොර ගෑනියක් තියාගෙන ඉන්න එක, ගිය අවුරුද්දේ අන්තිම පෙරහැර දවසේ ටවුමේ ගොරිල්ලා මාර්ක්  එක්ක ගහගෙන මහා කලබැගෑනියක් කොරපු  එක,  ඕන් ඔයවගේ දේවල් ඔක්කොම කියල ඒජන්ත උන්නාන්සේට පෙන්නන්ට ඕනෑ කිරි බණ්ඩා මහා එපා කරපු එකෙක්ය, ඒක නිසා අපේ මේ පුංචි බණ්ඩා මලයා තමයි ආරච්චි පයින්දෙට ටක්කෙටම හරියන මනුස්සය කියලා”
“නිලමේ ඕක කරන්ට පුළුවන්, මමත් කැමතියි, එක පාරක් උන්නැහෙටම මනමාලියක් බලන්ට එකතු කරගෙන ගිහිල්ල, වචනයක් වැරදුනා කියල මට අල්ලාගෙන ගහල තියෙනවා. හැබැයි අපි ඕව ප්‍රසිද්ධියේ කිව්වට පස්සේ කිරි බණ්ඩා නිලමේම ආරච්චි පයින්ඩේට පත්වුනොත් අපි මේ ගමේ ඉඳල නම් ඉවරයි.” ටිකිරා යතාර්ථය පැහැදිලි කළේය.
“කොහේ වරදින්නද බන්, කච්චේරියේ තෝල්ක ආරච්චිටත් කතාකොරලා තියෙන්නේ, උන්නැහේට යමක් පොරොන්දුත් වුනා. අනික මැණික්හින්නේ රොඩී ගුරා ගෙන්නලා ඇහුවා, ඌ පරල වෙලා එක පයින්ම කිව්වා, පුංචි බණ්ඩා මලයට මේ පාර ආරච්චි පයින්ඩේ හම්බුවෙනවා කියල, අඟහරුවාදා රැස්වීමට කලින් දොහේ ඌ මෙහෙ ගෙන්නලා තොවිලයකුත් අරිනවා, කිසි සැකයක් නෑ” නොතාරිස් ශපත කළේය. ඔහු තමා ළඟ තිබු කඩදහි මල්ලෙන් සීල් අරක්කු බෝතලයක් එලියට ගත්තේය.
“මේන් මේක බීලා පලයල්ලා එහෙනම්, අපි තව පාරක් මුණගැහෙමු අඟහරුවාදාට කලින්” කියූ ඔහු නැගිට නිවස තුලට ගියේය.
නිලමේට කියන්ට කච්චේරියේ තෝල්ක ආරච්චිගේ උදව් තියෙනවා කිව්වට වැඩිය, මට හිතේ විශ්වාසයක් ආවේ රොඩී ගුරා කිව්වා කියපු එකෙන්, අපි එහෙනම එක පයින්ම” ටිකිරා බෝතලය දෙස බලාගත්වනම කීවේය.
අඞුව කැඩුණු කෝප්පයක් පිරෙන්නට අරක්කු බෝතලයෙන් අරක්කු හලාගත් පුංචිබණ්ඩා, සගයන් ගෙන් සමුගෙන එතනින් පිටව ගියේය.
සඳුදා, ඒජන්තගේ විවෘත විභාගය පැවැත්වෙන දිනට පෙරදින රාත්‍රියේ, නොතාරිස් ගෙදර තොවිලයක් පැවැත්වින. තොවිලය බරපතල වුවද වැඩිපුර සෙනගක් හිටියේ නැත. ලොකුවට ශබ්ද කෙරුණේද නැත. පාන්දර තුනට පමණ පුංචිබණ්ඩාට නොතාරිස් ගේ කන්තෝරු කාමරයට එන ලෙසට පණිවුඩයක් ලැබිණ. ඔහු කාමරයට යනවිට නොතාරිස් හාන්සි පුටුවේ වාඩිවී, පැන්සලක් වැනි සබන් කූරක් නාසය අසලින් තබාගෙන එය ආඝ්‍රහනය කරමින් සිටියේය. රොඩී ගුරා ඔහු අසල කෙලින් කටින් ඉඳගෙන ඔහුගේ මුහුණ දෙස බලාගෙන සිටියේය.
“මලයා, මුන්දා දැන් අමුතු කතාවක් කියනවනේ” නොතාරිස් පුංචිබණ්ඩා කාමරයට ඇතුළු වනවිටම කීවේය.
“දෙයියෝ බුදුවන්ට” ගුරා පුංචිබණ්ඩා දෙසට හැරුනේය. “මගේ සාස්තරේට පේනවා, මෙතන පොඩි පටලැවිල්ලක් තියෙනවා කියලා, ඒක අයින්කොරලා මේක හරියටම කොරලා කැපිල්ල ඉවරකොරන්ට නම්, දැන්ම ගොහිල්ල මහා ගඟෙන් වැලි ගොට්ටුවක් ගේන්ට ඕනෑ කොරනවා”
“ඉතින් එක මහා වැඩක් නෙවෙයිනෙ” පුංචිබණ්ඩා කුඩා සිනහවක් මුවට නංවා ගනිමින් කීවේය.
“මේකේ පොඩි හුලහක් තියෙන්නේ මලයා” නොතාරිස් සබන් කූර නාසයෙන් ඉවතට ගනිමින් කල්පනා කළේය. “වැලි ගොට්ටේ ගඟට ගිහිල්ල ගේන්ට ආතුරයම යන්ට ඕනෑලු, ඒ කියන්නේ අපේ මලයම” ඔහු ගුරා දෙස බලාගෙනම පැහැදිලි කළේය.
“මං යන්නම්, ඒක ඒතරම් මහා වැඩක්  නෙවෙයිනේ” පුංචිබණ්ඩා ගණනක් නැතිව කීවේය.
“ආන්න ඒකනේ, ඒ වුනාට මලය මේකේ හුළහ තියෙන්නේ ආන්න එතන, ගඟට යන ආතුරය අමු නිර්වස්ත්‍රයෙන් තමයි මේ වැඩේ කොරන්ට ඕනෑ, මලය හිත එඩිතර කරගන්ට ඕනෑ මෙතෙන්දි” නොතාරිස් පැහැදිලි කළේය.
“අමුඩේ රෙදි කෑල්ලක් වත් නැතිව?” නොතාරිස් තිගැස්සුනේය.
නොතාරිස් කිසිසේත් මෙයට කැමති නොවිය. උපතින්ම තරමක් ලැජ්ජා කාරයකු වූ ඔහු නොයෙකුත් හේතු කියමින් මෙයින් මඟහැරීමට උත්සාහ කලද, අවසානයේ නොතාරිස්ට ඇති ගෞරවය සහ ඔහුගේ බලපෑම මත, මහත් අකමැත්තෙන් එකඟ වීමට සිදුවිය.
පාන්දර  පුංචිබණ්ඩා ඇඳුම් කිසිවක් නොමැතිව කුඩා වැටකෙයියා මල්ලකුත් රැගෙන නිවසින් පිටත්විය.
“හොඳ වෙලාවට අද හඳ  නෑ” සිතමින් ඔහු කරත්ත පාර දිගේ ගඟ පැත්තට ඇවිදින්නට පටන්ගත්තේය.

                                                             2


පල්දෙනියේ අම්බලමේ පන්සල දිශාව පැත්තට වන්නට ලොකු පුටුවක සුදු රෙද්දක් දමා දිසාපතිවරයා වාඩි වී සිටියේය. ඔහුට දකුණු පැත්තෙන් දමා තිබු තවත් කුඩා පුටුවක පල්ලේ ගම්පහ රටේ රාල බුලත් විටක් හපමින් ඒජන්ත දෙස බලා සිටියේය. ඒජන්තට වම පැත්තෙන් බංකුවක පුංචි බන්ඩා ආරච්චිලගේ පුතා වූ කිරිබණ්ඩා තරමක් අපහසුතාවයකින් මෙන්, රටේ රාල දෙස බලා සිනහ වෙන්නට උත්සාහ කළේය. තවත් ගැමියන් 30 දෙනෙකු පමණ අම්බලමේ ඇතුලත සහ පිටත තුන් පැති බැම්මේ නිශ්ශබ්දව සිදු වන්නට යන දේ බලා සිටියහ.
ඉඳගෙන සිටි ගැමියන්ගෙන් වැඩි දෙනෙකු කොණ්ඩය පිටුපසට කර බැඳ සිටියහ. එයිනුත් 20 දෙනෙකු පමණ උඩුකය වැස්මක් නොමැතිව සිටියේ එකල සිරිතට අනුව, කුලයෙන් අඩු පුද්ගලයන්ට උඩුකය වැස්මක් ඇඳීමට සමාජ රීති වලට අනුව කල නොහැකි වූ නිසාය.
“දැන් මේ වසමේ සෑම ගෙදරකින්ම පවුලේ වැඩිහිටියා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවද?” රටේ රාල තම අසුනෙන් නැඟිට ඒජන්ත දෙස බලා ඔලුව නමා සභාවේ වැඩ කටයුතු ආරම්භ කළේය.
“එහෙමයි, ඔක්කොම වාගේ ඉන්නවා, ලෙඩ ඇඳේ ඉන්න පන්සල් ඉඩමේ පුන්චිකිරා වෙනුවටත් උගේ මලයා ඇවිල්ලා ඉන්නවා.” හිටපු ආරච්චිලාගේ පුත් කිරිබණ්ඩා පිළිතුරු දුන්නේය.
ඒජන්තට දෙබසේ සමහරක් වචන නොතේරුනේ වුවද, සිදුවන්නේ කුමක්දැයි වැටහෙන බව ඔහුගේ මුහුණින් පෙනුනි. ඔහු ඉදිරියෙන් තබා තිබු කුඩා මේසය මත තිබු අළු දුඹුරු පැහැ ඝන කවරයක් සහිත සි.ආර්. පොතක් දිග හැර ගත් ඔහු යමක් සටහන් කළේය.
“මෙතන ඉන්න හැම දෙනාම දන්නවා ඒජන්ත තුමා මෙතනට ඇවිල්ලා ඉන්නේ, බොහොම වැදගත් පරීක්ෂණයක් කරන්න කියලා, මේ ආරච්චි වසමේ අවුරුදු 40 ක් ආරච්චි පයින්ඩේ කරපු පුංචිබන්ඩා ආරච්චිල මිය ඇදුනහම, උන්නැහැගේ පුතා කළුබණ්ඩාට ඒ රාජකාරිය ලබා දෙන්න ඕන. නමුත් මේ වසමෙන් ලියුම් කඩදාසියක් ගිහිල්ලා තියනවා ඒජන්ත උන්නාන්සෙටම, මේ කිරිබණ්ඩා බීමට පුරුදු වෙලා ඉන්නවා කියලා, හපුවෙල රා විකුණන ගෑනියක් තියාගෙන ඉන්නවා කියලා, වසමේ මිනිස්සුන්ට නිකරුනේ අඩත්තේට්ටම් කරනවා කියලා, ඒකෙ විභාගය තමා මේ පැවැත්වෙන්නේ.” රටේ රාල පිරිස දෙස බැලුවේ උත්තරයක් බලාපොරොත්තු මෙනි.
කිසිවෙකු පිළිතුරු දුන්නේ නැත. එහෙත් ගැමියන් කිහිප දෙනකු තරමක් කලබලයට පත් වී ඇති බවක් පෙනුනි. ඔවුහු සභාවට නොදැනෙන්නට හෙමින් බෙල්ල කරකවමින් ගඟ දෙස සිට එන කරත්ත පාර දෙස බැලුහ.
“දැන් මේ සභාවේදී කිරිබණ්ඩට විරුද්ධව යමක් ඉදිරිපත් කරන්න තියෙනවනම්, දැන් ගම්කොරේ වැසියන්ට ඒජන්ත උන්නාන්සේ ඉදිරියේදී ඒ කාරනාව කියන්ට පුළුවන්” රටේරාළ නැවත ප්‍රකාශ කළේය.
විනාඩි 5 ක් පමණ නිශ්ශබ්දව ගෙවින. ටිකිරා සහ ඔහු සමග අම්බලමේ බැම්මේ ඉඳගෙන සිටි සගයන් අපහසුවෙන් වටපිට බැලුහ. දෙල්ගහකොටුවේ රම්බරනා නැගිට සිටියේය.
“අවසර, අපිට නම් කිරිබණ්ඩා නිලමේ ගැන එහෙම කියන්ට වරදක්  දෙයක් නැහැ, අපි කාගේවත් එහෙම විරුද්ධත්වයක් ඇත්තේ නැහැ, ඔය කියන අඩුපාඩු මෙතන ඉන්න හුඟකට තියෙනවා” කී ඔහු නැවත බැම්ම මත ඉඳගත්තේය.
තවත් විනාඩි 5 ක පමණ නිශ්ශබ්දතාවයකට පසුව, රටේ රාල නැගිට වෙනත් කවුරුන් හෝ අදහස් දක්වන්නට ඉදිරිපත් වන්නේ දැයි අසා සිටියේය. එම විමසීමෙන් පසු නැගී සිටි ටිකිරාද රම්බරනා ගේ අදහසට එකඟවිය.
සභාවේ සියලු අදහස් දැක්වීම් දිසාපතිවරයාට පරිවර්තනය කර දන්වා සිටින ලදුව, කිරි බණ්ඩා ආරච්චිල පදවියට පත්කිරීම අනුමත කෙරින.
                                                         
                                                            3

නොතාරිස් රාලහාමි හවස් වරුවේ නිවසට එන විටත්, ටිකිරා ඇතුළු ඔහුගේ සගයන් ඔහුගේ නිවාස පිටුපස ගල්තලාවට පැමිණ සිටියහ. ඔහු තම සුදු කබාය ගලවා තබා සුදු සරම සහ බැනියම පිටින් ගල් තලාව වෙත පැමිණියේය.
“මට තොටුපලේදීම ආරංචි වුනා මලය සභාවට ආවේ නෑ කියලා, මොකක්ද වෙලා තියෙන්නේ?” ඔහු විමතියෙන් ඇසුවේය. වැලි ගෙන ඒමට ගඟට ගිය කතාව මොවුනට කියන්නට ඔහුට සිත දුන්නේ නැත.
මහවැළි ගඟේ තොටුපලින් කිලෝ මීටරයක් පමණ පහල, ‘යහන් ඇඳ’ ළඟ වම් ඉවුරේ පුංචිබණ්ඩා ගේ මළසිරුර ගොඩගසා ඇති බවට ආරංචිය ලැබුනේ අඟහරුවාදා හවසය. ඉදිමි තිබු ඔහුගේ නිරුවත් සිරුර මුලින්ම දුටු ගඟට දිය නමට ගිය කාන්තාවට, පසු දිනෙක තොවිලයක්ද කරන්නට සිදුවිය.
“අලුත් ආරච්චි මහත්තයට මුල්ම රාජකාරියට තමන්ගේම මස්සිනාගේ මලගමම කරන්ට සිදුවෙච්චි හැටි” ගැමියෝ සිද්ධියේ ඇති දෛවෝපගත හාස්‍ය පිළිබඳව කතා කළහ.
“කිරී, උඹට හිතෙන්නේ නැද්ද, මහා ගුරා පුංචිබණ්ඩා මලයට අර විදිහට වැලි ගේන්ට කිව්වේ, වහෙන්ඔරෝ වෙන් මේ වැඩේ කෙරෙන්නේ නෑ කියන එක වද්ද කියල?” නොතාරිස්, කිරී ගෙනත් දුන් සබන් කූරක් නහයට ඇතුළු කරමින් ඇසුවේය.

Saturday, June 15, 2019

සෞදි අත්අඩංගුවෙන් උගතහැකි කරුණු




ඊයේ පාස්කු ඉරිදා සිද්ධිය සිදුවුණා දා සිටම අහන්නට ලැබුණු හොඳ ප්‍රවෘතියක් අහන්නට ලැබුණි. ඒ සෞදි අරාබියෙන් අපට අල්ලා දුන් අන්තවාදී ත්‍රස්තවාදීන් පිලිබඳ තොරතුරයි. මෙම සිද්ධියේදී පාස්කු ඉරිදා පිපිරීම් වලට සම්බන්ධ යැයි සැක කරන ලාංකික මුස්ලිම් තරුණයන් 5 දෙනෙකු සෞදි ආරක්ෂක අංශ විසින් අල්ලා ගෙන ඇත්තේ අන්තර්ජාතික පොලිසිය හරහා නිකුත් කරන ලද රතු නිවේදනයක් හේතුකොට ගෙනය.

මෙම සැකකරුවන් ඊයේ (14 වනදින) ලංකාවට එවනු ලැබීය. මෙම සිදුවීම මෙතරම් ධනාත්මක සිදුවීමක් යයි අප සිතිය යුත්තේ මන්ද යයි අප කල්පනා කර බලමු.

සෞදි අරාබිය, එක්සත් ජනපදය සහ ඊශ්‍රායාල බුද්ධි අංශ වැඩකරන්නේ ඉතාමත් සහයෝගයෙනි. විශේෂයෙන්ම  මැදපෙරදිග සහ ඉස්ලාම් අන්තවාදය පිළිබඳව යම් පාලනයක් තබා ගන්නේ මෙම සහයෝගිතාවය නිසාය. ඇමෙරිකාවේ තාක්ෂණයත් විශ්ලේෂණ හැකියාවත් ඊශ්‍රායලයේ බුද්ධි අංශයන්ට අන්තවාදී කණ්ඩායම් තුලට ඔත්තු කරුවන් ඇතුල් කර තොරතුරු ලබාගැනීමේ ඇති හැකියාවත්, සෞදියේ තෙල් බලයත් එකතු වූ විට බුද්ධි ක්ෂේත්‍රයේ නොකළ හැක්කක් නොමැති තරමටම ශක්තිමත්ය. ඊශ්‍රායලයේ මෙම හැකියාව තවත් තිර්ව වන්නේ, ඔවුන්ගේ ජාතියේ සිටිනා නොයෙකුත් විස්තීරණ ජාතිකයන් නිසාය. 

උදාහරණයකට මම වරක් ඇමෙරිකාවේ පාඨමාලාවක් හදාරද්දී, මමත් සමග සිටි ඊශ්‍රායල නිලධාරිගේ මුලාරම්භය ලෙබනනයේය. මෙලෙස බොහෝ ජාතීන් අතර ඉන්දියානු සහ අප්‍රිකානු යුදෙව්වන්ද වෙයි.
ආපසු අප සාකච්ඡා කරමින් සිටි සිද්ධිය දෙස බලන විට, සෞදි අරාබිය පාලනය වන සෞදි නම්වූ පවුලට එහි බලය ලබාදෙන්නේ වහාබි ආගමික නිකාය විසිනි. ඒ සෞදිය වහාබි ක්‍රමයට පාලනය කලයුතු යයි යන එකඟතාවය මතය. අපගේ ජමාල් අන්තවාදින්ද වහාබි නිකාය දෙසට මෙරට මුස්ලිම් වරුන් ගෙන යන්නට උත්සාහ කරන අන්තවාදීන් පිරිසකි. එසේනම් සෞදිය වැනි වහාබි වාදයේ මහා කඳවුර තමන්ගේ ආගම් වාදය ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන කණ්ඩායම් අත්අඩංගුවට ගෙන ඔවුන් සොයමින් සිටින රටට ආපහු බාරදෙන්නේ ඇයි?

ඒ සඳහා පහත කරුණු වලින් එකක් හෝ ඉන් කිහිපයක් හේතු කාරණා වන්නට ඇති අපට සිතිය හැක.
1.    එහි සිටින බොහෝ විට මුස්ලිම් පිරිස් මොවුන් පිළිබඳව සෞදි ආරක්ෂක අංශ වලට දන්වන්නට ඇත.
2.    සෞදි අරාබිය මොවුන් අත් අඩංගුවට ගෙන අමෙරිකාවෙන් උපදෙස් ලබාගන්නට ඇත. මක්නිසාද මේ බුද්ධි ත්‍රිත්වයේ වැඩි බලයක් ඇත්තේ එරටට නිසාය.
3.    ඇමෙරිකාව ඔවුන් ලංකාවට යවන ලෙසට දන්වන්නට ඇත. එයින් පෙනෙනුයේ ඇමෙරිකාව මේ ප්‍රශ්නයේදී අපත් සමග සිටින බවය. මෙම කරුණ අප මේ කරන ත්‍රස්තවාදී සටනට බොහෝ රුකුලක් වනු ඇත.
4.    බොහෝ මුස්ලිම් රටවල් සෞදි අරාබිය කියන දේ අසති. ඒ විශේෂයෙන්ම ඔවුන්ගේ මුදල් නිසාය. සෞදි ඔටුන්න හිමි කුමාරයා පකිස්තානයට සංචාරයක් සඳහා පැමිණිවිට, ඔහු ගුවන්තොටුපලේ සිට රැගෙන ගිය වාහනය එලෙව්වේ ඉම්රාන් කාන් ය. ඔහුට ඇති සැලකිල්ල එයින්ම සිතාගත  හැක. සෞදි අරාබිය අපේ අන්තවාදීන් අල්ලා බාරදීම බලාසිටින බොහෝ රටවල් මෙයින් යම් අදහසක් ලබාගනු ඇත.
5.    අප හා ඉන්දියාව වැනි කුඩා ඉස්ලාම් ආගමිකයන් ප්‍රතිශතයක් සිටින රටවල, ඉස්ලාම් අන්තවාදීන් වන්නට පෙළඹවීමක් ඇති අයවලුන් තීරණයක් ගැනීමට දෙවරක් සිතනු ඇත. සෞදි අරාබියත් ඔවුනට විරුද්ධ වන්නේ නම් එසේ වීමෙන් ඇති පලය කුමක්ද?
6.    අනාගතයේදීද මෙවැනි පිටරටවල සිටින කුමන හෝ ශ්‍රී ලාංකික අන්තවාදීන් දෙස අප බුද්ධි අංශ නොකලත්, ලොව බලගතු බුද්ධි අංශයන් අවධානයෙන් සිටින බව අන්තවාදීන්ට දැනගන්නට හැකි වීම.
මෙලෙස මෙම සිද්ධියෙන් අපට පමණක් නොව, ඉස්ලාම් අන්ත වාදීන් ඇතිවීමට ඉඩ තිබෙන බොහෝ රටවලට යම් සැනසුම් සුසුමක් හෙලන්නට හැකිවනු ඇත.

Thursday, June 13, 2019

2 translation and serialization of my book 2


from following link 
http://lakshmanillangakoon.blogspot.com/2019/06/translation-and-serialization-of-my-book.html



Those days I enjoyed reading science fictions a lot, among the other genres like adventures and detectives . Once a month when I went back after my monthly leave turn; we used to take about five days leave of absence from duty station once in every month to be with our families, I used to buy about 5 science fiction books from old books shops in Maradana, near Gamini theater and the used  book shop in Kandy Torrington square. In these book shops, you pay amounts like 250 Rs and buy a book. When you give the book back after reading , before the deadline, they give you the rest of the money keeping only fifty or hundred rupees depending on the value and popularity of the book at the time. This arrangement enabled me to read books with minimum cost. Whilst doing it, I didn’t forget to buy some permanent books for the library in the bases where I worked.

From the science fiction authors of those times I liked Arther C Clarke and Issac Asimov the most. Here, though it s not the most appropriate place for that, I don’t feel like proceeding ahead without writing about an interesting story about these two great writers.

Those days  there was a big debate as to  who is the best science fiction author in the world. They discussed this in public in different forums and then finally two authors decided among themselves that the world’s best science writer to be isac Asimov and the best science fiction writer to be Arthur C Clarke. To make this very unusual private agreement, public, of course with some sense of humor, Clarke wrote the dedication  of the his book ‘report on planet three and other speculations’ like this

‘In accordance with the terms of the Clarke – Asimov treaty, the second best science writer dedicates this book to the second best science fiction writer’’

Among a batch of books I borrowed from the shop once, one book was the naked sun by Isac Asimov Russian born American science fiction writer. I liked the book so much I thought I should translate the book to Sinhala. The routine we followed in Karainagar base was tailor made for kind of work.

Usually in military camps those days it was the common practice for the officers who didn’t have night watch duties to stay awake in the night and sleep during day time, instead. This routine those days had a nickname like most of the other things in the navy. I think the term  was moon routine. Staying awake at night was made necessary , to enable us to react without any time loss to any unusual situation in any of the minor facilities scattered far and wide ,within our area of responsibility.

I made use of these sleepless nights to translate the book few pages a day. The translation was completed within about two months. I posted the manuscript to MD Gunasena , the well known publisher to see whether they would accept it.  ............ 

Wednesday, June 12, 2019

translation and serialization of my book



I wrote a book of my times in the navy in 2017 ,4 years after I retired from the navy after 33 years of service. ‘සතුරා මුහුදේදී මුලාකිරිම සහ තවත් නාවික කතා’ is the name of the book. Recently having seen an extract from the book in my blog , a friend of mine from Australia  asked me whether I have English translation of this writing somewhere so that he too can read it.
This inquiry prompted  me to do this, to  translate the book to English and serialize it in my blog. In fact my daughter kindly agreed to translate it and I only proof read it. So the name of the English version will be ‘Deception of enemy at sea and other naval stories’
Preface

I worked as a officer in Sri Lanka navy for 33 years. That is from 1980 January to 2013 January. And during that time held ranks from a  one stripe sub lieutenant to two stars rear admiral.  When I retired, I was the commander of the eastern Naval Command headquartered in Trincomalee, largest naval command in the island, which  also includes most of the fleet of SLN. LTTE killed Police inspector  Bastian pille  in a jungle in 1978 and prabhakaran died in the coast of Vanni   in 2009. War started in the nineteen eighties and ended in 2009. Throughout these  three decades  I served  in the navy. I was able to hear and see many things that happened. And also I was able to actively participate in most of the things that  happened at sea and ashore , according to my rank and the  appointment , I happened to be  at the time.

Normally a person doesn’t, plan to write a book about his life from childhood and get ready for it, collecting whatever  information that would fit in when the book is written. Most of the time, you feel like writing a book, when lot of important and interesting incidents have already taken place, unfortunately. And since you were not planning to write a book you wouldn’t be looking for information that might come handy one day when you start writing about those times and happenings.

I had no idea at all to write a book about the things I saw, heard and experienced in the Navy. But I have written and published several books on many other fields because I like writing, just for the sake of writing.

The first book I wrote and published is the Sinhala translation of naked sun, a book written by the great science fiction author, Isac Asimow. Actually the ‘Karainagar island’ which is one of the key words in this book, is closely connected to my translating of the book ‘naked sun’. That is because, ‘nagna hiru’ the translation was written in 2000, when I was the commanding officer of karainagar navy base. S L N S Elara, probably the only military base in the world that has been named to honor an invader who ruled the country for 40 years and was thrown out by natives after mobilizing whole country in a war stretching about two years. That was more than two thousand years ago.-----------
next 

https://lakshmanillangakoon.blogspot.com/2019/06/2-translation-and-serialization-of-my.html

Tuesday, June 11, 2019

අපේ රාජ්‍ය නායයන්ගේ ලෙගසියන්


රටක නායකයෙක් රටක් පාලනය කරනවිට බොහෝ දෑ සිදුකරයි. ඔහුගේ දැනීමේ හැටියට වැඩකිරීමේ දක්ෂතාවයේ හැටියට ඔහුගේ හිතේ තම රට දියුණු විය යුතු එසේත් නැත්නම් වෙනස් විය යුතු ආකාරය අනුව, රට ඒ දෙසට ගෙන යාමට අවශ්‍ය කරුණු කරන්නට උත්සාහ කරයි. ඔහුගේ දර්ශනයේ හැටියට තම රට කුමන ස්ථානයට ගෙනයාමට අවශ්‍ය දැයි සිතා, ඒ සඳහා සැලසුම් සාදා එම සැලසුම් ක්‍රියාත්මක කරන්නට උත්සාහ කරයි.
ඔහුගේ මෙම උත්සාහයන් සාර්ථක වුයේ දැයි අපට පසු පස හැරී බලන්නට පුළුවන් වන්නේ,  ඔහුගේ ධුර කාලය අවසන් කල පසුය. ඔහු ජනතාවට දුන් පොරොන්දු ඉටුකලේද, ඔහුගේ තම රට පිළිබඳව තිබු සැලසුම් කොපමණ දුරකට සාර්ථක වුයේද යන්න බලන්නට, අපට ඔහුගේ දුර කාලය අවසන් වනතුරු සිටිය යුතුය.
සමහර පාලකයන්ගේ වැඩ නම් පටන්ගෙන ටික කලකින්ම ජනතාවට අදහසක් ගන්නට පුළුවන. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියා පෙර දැනුමැත්තන් කියා ඇත්තේ කට කසනවාට නොවේ. ඇමෙරිකාවේ ජනාධිපතිවරයෙකුට ඔහුගේ ධුරකාලයේ ඇති වැදගත්ම අංගයක් වනුයේ ඔහුගේ legacy එකය. ඒ කියන්නේ ඔහු ධුරයේ සිටිද්දී ඔහු කරන ලද පසුකලෙක ජාතියට මතක තිබෙන ප්‍රමුඛ ක්‍රියාවන්ය. උදාහරණයක් වශයෙන් රේගන් ජනාධිපතිවරයා දෙස බලමු. ඔහු ජනාධිපති කමෙන් ඉවත්වී දැන් අවුරුදු 30 ක් පමණ වෙයි. මියගොස් ද අවුරුදු 15 ක් පමණ වෙයි. ඔහු තම ජාතියට ඉතිරිකර ගිය අමතක නොවන දේවල් මොනවාද?
කොමියුනිස්ට් තර්ජනය ඉවත්කිරීම - ඇත්තෙන්ම මට හිතෙන විදිහට කොහොමටත් කඩා වැටෙන්නට තිබු සෝවියට් අධිරාජ්‍යයේ කඩාවැටීම ඉක්මන් කිරීම.
ඔහු බලයට එනවිට අභියෝගයට ලක්වෙමින් තිබු ඇමෙරිකානු බල පරාක්‍රමය නැවත පිහිටුවීම - මේ සඳහා SDA වැනි ආරක්ෂක සැලසුම් මුල් තැනක් ගත්තේය.
මධ්‍යම රජය කුඩා කිරීම - රජය හැකි තරම් කුඩා කර, එයින් පුරවැසියන්ගේ වැඩකටයුතු වලට බලපෑම හැකි තරම් අඩු කිරීම. මෙය පැහැදිලි කිරීම සඳහා 1986 වසරේ ඔහු විසින් කරන ලද මෙම ප්‍රකාශය හොඳටම ප්‍රමානවත්ය.
 “The nine most terrifying words in the English language are, ‘I’m from the government, and I’m here to help.
ඉහත විස්තර කලේ රේගන් ජනාධිපතිවරයාගේ legacy එකේ ප්‍රධාන කරුණුය.
දැන් අපි අපේ මෙතෙක් රට කල රාජ්‍ය නායකයන් ගේ legacies මොනවාදැයි පරික්ෂාකර බලමු. අපට එම නායකයාගේ නම කිවූ පමණින් මතක්වන්නේ මොනවාද?
DS සේනානායක (1947-1952) - ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය, නිදහස ලබාගැනීම, වියලි කලාපයේ ගොවි ජනපද ඇතිකිරීම.
ඩඩ්ලි සේනානායක - ( 1952 සිට වරින්වර 4 වරක්) -  අවංක එමෙන්ම රටට ආදරය කල මිනිසෙකි. ජාතිය වෙනුවෙන් කල දෙයක් එතරම් පෙනෙන්නට නැත.
ජෝන් කොතලාවල (1953-1956) - ධනවත් ජීවිතයක් ගතකල අතර, ධූර කාලයේදී ජාතියට එතරම් සේවයක් කල බවක් පෙනෙන්නට නැත. තමන්ට දරුවන් නැත්නම් නෑයෙකුට හෝ තම දේපල දෙන මෙවන් සමාජයක, බිලියන ගණනක් වටිනා තමන්ගේ දේපල හමුදාවට ප්‍රදානය කිරීම නිසාවෙන්නම් මුළු ජාතියම ඔහුට කෘතවේදී විය යුතුය.  
SWRD බණ්ඩාරනායක - (1956 -1959) - සිංහල පමණයි පනත, බස් ජනසතු කිරීම, අඳ ගොවි පනත වැනි ජනප්‍රිය ක්‍රියාවන්, මෙම කටයුතු වලින් රටට යම් සේවයක් සිදුවී දැයි පැහැදිලි නැත.
w දහනායක - (59-60) - ඉතාමත් කෙටි කාලයකි.  
සිරිමාවෝ බණ්ඩාරනායක (1960 සිට කිහිප  වතාවක්) - 71 ව්‍යවස්ථාව, සෝවියට් ක්‍රමයේ ආර්ථිකයක් උත්සාහ කිරිම, ආහාර පෝලිම්, සලාක ක්‍රම, අපට අවශ්‍ය දේ අපම නිපදවා ගැනීම සඳහා සැලසුම්. ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය වීමේ ගෞරවය.
JR ජයවර්ධන - (1977 – 1989) -  නිදහස් ආර්ථිකය, පිටරට රැකියාවන්, මහවැලි ව්‍යාපාරය, San Fransisco දේශනය සහ ඉන් ඇතිවූ ජපාන මිත්‍රත්වය.
R ප්‍රේමදාස - (1989 1993) - නිවාස සැදීම, කාපට් මංමාවත්, ගම් උදාව වැඩ පිළිවෙල මඟින් ගම්බද ප්‍රදේශ වැඩි දියුණු කිරීම, කොළඹ වතු ජනතාව එලියට ගැනීම.
DB විජේතුංග - (1993 – 1994) - ගැමි අවංක නායකත්වය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක - (1994 – 2005) - අපි බොහෝ සාකච්ඡා කල නමුදු legacy යක් සොයා ගැනීමට නොහැකි විය, රට පුරා පාසල්වල යම් දුරකට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ඇගේ කාලයේ පටන් ගැනින.
මහින්ද රාජපක්ෂ - (2005 – 2015) - යුද්ධය අවසන් කිරීම, අධිවේගී මාර්ග,
M සිරිසේන - ?
ඔබට යම් අදහසක් තිබේනම් එකතු කරන්න 

ජපානෙත් එහෙමද