Showing posts with label great people. Show all posts
Showing posts with label great people. Show all posts

Thursday, July 6, 2017

නගර ගොඩනගන්නෝ සහ වින කටින්නෝ - 1






මහනුවර නගරය සෙංකඩගල නගරය ලෙස පටන් ගැනෙන්නේ 15 වන ශත වර්ෂයේ බව පෙනේ. ජයවීර අස්ථානගේ පුතෙකු සේනාසම්මත වික්‍රමබාහු (1473 - 1511)  සාමන්තයෙකු ලෙස කෝට්ටේ අධිරාජ්‍යයේ නාමික ප්‍රාදේශීය පාලකයෙකු ලෙස මෙය අගනුවර කරගත් බව පෙනේ. 

මොහුගේ නමට ඉදිරියෙන් ‘සේනා සම්මත‘ යනුවෙන් සඳහන් වීමෙන් එක්කෝ මොහු කැරලි කාරයෙකු ඒසේත් නැත්නම් සාමාන්තකයෙකුව සිට අධිරාජ්‍යයකින් වෙන්වුනු පාලකයෙකු බව පෙනී යයි. ඔහු රාජ්‍ය පාලනය කරන්නේ සේනාවේ අනුමැතිය මත මිස වෙනත් අයිතියක් නිසා නොවන බව හෝ එසේත් නැත්නම් ඔහුට රාජ්‍ය බලයට හිමිකම් කීමට ඇති ප්‍රධාන අයිතිය සේනාවේ ඔහුට ඇති අනුමැතිය බව විශේෂයෙන් පෙන්වා දෙයි. මොහු දුම්බර ජීවත් වූ බෝධි වංශයේ කුමරෙකු බව පොත්පත් කියයි. මෙවැනි ප්‍රාදේශීය රජවරු බොහොමයක් එකල වරින් වර දුම්බර විසූහ. පහල පිටියේ තුනයා සහ නාපාන ඈපා මෙවැනි නායකයන් ගෙන් දෙදෙනෙකි. 

මෙකල මහනුවර ඉතිහාසය විශේෂයෙන්ම, කරල්ලියද්දේ ජයවීර බංඩාර; අප ඉතිහාසයේ ප්‍රසිද්ධම චරිතයක් වන දෝන කතරිනා කුමරියගේ පියා, රජවන තෙක් එතරම් පැහැදිලිව ලේඛන ගතව නැත. මහනුවර නගරය පිලිවෙලකට රාජකීය අගනුවරක් වන්නේ (1590 - 1604) පලවෙනි විමලධර්මසූරිය රජුගෙන් පසුවය. ඔහු මහනුවර ආසියාවේ විශිෂ්ඨ අගනුවරක් බවට පත් කලේය. ඔහු සීතාවක රාජසිංහ රජු සහ පෘතුගීසීන් පිලිවෙලින් පරාජය කර කන්ද උඩරට රාජධානිය ලංකාවේ එකම රාජධානිය බවට පත්කර මහනුවර එහි අගනුවර බවට පත් කලේය. එපමනක් නොව ඔහු පෘතුගීසීන් හා බලන දී කල අවසන් සටනේදී මහනුවර රාජධානියට නියම හිමිකාරිය වූ වයස 14 ක් පමණ වූ දෝන කතරිනා කුමරිය සටන් බිමෙන්දීම විවාහ කරගෙන කන්ද උඩරට ඔටුන්නට දෙපැත්තකින් හිමිකම් ස්ථාපිත කර ගත්තේය.  

මෙකල ඕලන්දයෙන් ලංකාවට පැමිණි තානාපති වරයෙකු වූ අද්මිරාල් ස්පීල්බර්ගන් ඔහුගේ ගමන් විස්තරයේ මහනුවර ගැන කර ඇති ලියා ඇති සඳහනේ මහනුවර තිබෙන පූජනීය ස්ථාන යුරෝපයේ ප්‍රධාන දේවස්ථාන හා සමාන බවත්, රජුගේ මිදි වතු වලින් සාදන ලද වයින් ලෝකයේ හොඳම වයින් හා සමකල හැකි බවත් ලියා ඇත. 
                            ස්පීල් බර්ගන් හා විමලධර්මසූරිය රජු 

                                                         වැව සෑදීමට පෙර මහනුවර
 විමලධර්මසූරිය රජුගේ අකල් මරණය නිසා (මෙතරම් දේවල් ඉෂ්ඨ සිද්ධ කරගත් ඔහුගේ රාජ්‍ය කාලය අවුරුදු 14 ක් පමණක් විය.) මහනුවර නැවතත් දරුණු යුද්ධ කිහිපයකින් හෙම්බත් විය. ඉන්පසු රජ වූ විමලධර්මසූරියගේ ඥාති සොහොයුරු වූ සෙනරත් රජු බොහෝ විට තම රාජ සභාව පවැත්වැව්වේ කඳුකරයේ වනගතව සිටය. ඉන්පසු මහනුවර යම් අස්වැසිල්ලක් ලැබෙන්නේ දෙවෙනි රාජසිංහ රජු ඕලන්දයින් හා එකතුව පෘතුගීසීන් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් 1658 දී එලවා දැමුනු පසුවය.  

මෙලෙස මහනුවර නගරය අලංකාර ලෙස ගොඩනගන විමලධර්මසූරිය රජු ඒ සදහා බොහෝ විට යොදා ගත්තේ සටන් වලදී අල්ලා ගත් පෘතුගීසී සිරකරුවන්ය. සමහර විට ඔහු විසින් ගොඩනගන ලද ගොඩනැගිලි වල යම් යුරෝපීය ආභාෂයක් දකින්නට පුලුවන් වන්නේ මේ නිසාය. ඔහුගෙන් පසු යම් සුලු වෙනස්කම් මහනුවර සිදුවුවද ඔහුගේ රාජ පරම්පරාවේ කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ රජු දළදා මාලිගාවට අලුත් අංගයන් කිහිපයක් එකතු කරන තුරු නගරයේ එතරම් වෙනස් කිරීම් සිදුවූ බවක් නොපෙනේ. මෙයින් පසු රටේ අනෙක් බොහෝ තැන්වල මෙන් නගරය අවට වෙහෙර විහාර බොහෝ ගණනක් අලුතින් ගොඩනංවන්නේ කිත්සිරි රජුය. දෙගල්දොරුව, ගල්මඩුව වැනි විහාර ඔහු විසින් තැනුනු ඒවාය. 

මෙයින් පසු මහනුවරට අලුත් එළියක් එක්කරන්නේ එහි අවසාන රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය. ඔහු නගරයේ රජයට අයිත්ව තිබූ කුඹුරු යායක් 1807 දී හෙක්ටයාර් 19 ක වැවක් බවට පත්කරයි. වැවේ බැම්ම කිලෝ මීටර් 3.4 ක් දිග වෙයි. මේ වැවට පහලින් ඇති දෙයියන්නේ වෙල යැයි ප්‍රසිද්ධ භූමියෙහි තිබී ඇත්තේද රජුගේ කුඹුරු යායක්ය; දෙයියන්නේ වෙල (රජුගේ කුඹුරු යාය.) රජු මෙම වැව සාදන්නට ඇත්තේ කුමන හේතුවකට දැයි හරියටම සිතාගන්නට බැරි වුවත් එය පහත හේතු සාධක තුනෙන් එකක් විය යුතුය. 

1. රජයට අයත් දෙයියන්නේ වෙල කුඹුරු සදහා වාරි මාර්ගයක් ඇති කිරීමට; වැවේ සොරොව්වෙන් ජලය ගලා යන්නේත් දෙයියන්නේ වෙල හරහාය. 
2. මහනුවර නගරය අලංකාර කිරීමට; ඔහු මෙම වැව  කිරි මුහුද යැයි නම් කිරීම මෙලෙස හිතන්නට හේතු සාධකයක් වෙයි. 
3. රාජ මාළිගාව හා ඒ අවට ප්‍රදේශය සතුරන් ගෙන් ආරක්ෂා කිරීමට; නගරයේ බෝගම්බර පැත්තේ සිට දැන් පුෂ්පදාන විද්‍යාලය දක්වා  වැවක් සහ වගුරු බිමක් එකල තිබූ හෙයින් එම දිය අගල අම්පිටිය පැත්තට දීර්ඝ කිරීමට ඔහු බලාපොරොත්තු වූවා යැයි සිතන්නට පුලුවන. 

ඉහත කුමන හේතුවකට හෝ සාදන ලද මහනුවර වැව මහනුවර නගරයට විශේෂ අභිලක්ෂණයක් ගෙන දී ඇත්තේය. එහෙත් එයින් නගරයේ දැන් ජීවත් වන්නන්ට සිදුවන්නේ හොඳක්ද නරකක්ද  යන්න පැහැදිලි නැත. රථවාහන ගමනා ගමනය පැත්තෙන් බලන විට නම් මෙය නගර වාසීනට මහත් කරදරයකි.   to be continued....
   


Friday, June 2, 2017

තුආන් කිචෙල් නොහොත් පාර තනන්නා




කඩුගන්නාව දුර්ගයේ ගමන් කරද්දී එම මාර්ගය දැක විශ්මයට පත් නොවන්නකු සිටි දැයි සිතන්නට අපහසුය. උදලු, කැති, පොරෝ හැරෙන්නට  දැන් තිබෙන පාර සැදීමේ උපකරණ කිසිවක් නොමැතිව  1820 දී මෙම මාර්ගය සාදන ලද්දේ කිසිම ඉංජිනේරු පුහුණුවක් නොමැති වයස 16 ක තරුණයෙකු බව දන්නේ නම් අප තවත් කොතරම් පුදුමයට පත්වේද?අනික් විශ්මයජනක කාරණය නම් මේ පාර සැදෙන්නේ කොළඹ නුවර දුම්රිය පාර තනන්නට අවුරුදු 60 කට පෙර වීමය.

මෙම දුර්ග මාර්ගය ලෝකයේ 34 වෙනියට ලස්සන මාර්ගය බව බොහෝ කලකට පෙර මේ ප්‍රදේශය කිට්ටුව පදිංචිව සිටි ජෙනරාල් රණතුංග වරක් කිවූ බවත්, ඒ අවස්ථාවේ ඔහුගෙන් ඇසීම සුදුසු නොවුවත් ඒ තරම් දුරකට - 34 දක්වා , ලස්සනම පාර කෙසේ තෝරන ලද්දේ දැයි මම නිශ්ශබ්දව කල්පනා කල බවත් මට මතකය.

 ඔහු මේ බව කිවේ කඩුගන්නාව පාරේ  බැවුම පැත්තට බතලේගල දෙසට තිබු දර්ශනය වසා ගනිමින් කොළඹ සිට එනවිට පාරේ දකුණු පැත්තේ තිබු කඩ පෙළ අනික් පැත්තට ගන්නට ඔහු විසින් දෑරූ උත්සාහයක් විස්තර කරද්දීය. 

මේ විශ්මිත දුර්ඝ  මාර්ගය තැනීම, විශේෂයෙන්ම කඩුගන්නාව දුර්ගය හරහා යන සැතපුම් 11 සෑදීම බාරව කටයුතු කරන්නේ ලුතිනන් තෝමස් ස්කිනර්ය. 

1820 දී  බ්‍රිතාන්‍ය ලංකාවේ අග්‍රාන්ඩුකාරයා වුයේ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස්ය. ඔහු වයස 16 ක් වූ තෝමස් ස්කිනර් නම්  මේ හමුදා නිලධාරියාට කඩුගන්නාව දුර්ගයේ සැතපුම් 11ක් වූ දුර්ග මාර්ගය සාදන්නට උපදෙස් දුන්නේය. ඔහුට ලැබුණු අනෙක් උපදේශය නම් එම පාරේ නැගීම අඩි 20 කට එකකට වඩා සිග්‍ර නොවිය යුතු බවය - අහෝ ඛේදයකි ! ඔහු එය 1/10 යයි කිවේ නම් පාර මිට වඩා බොහෝ කෙලින් වන්නට ඉඩ තිබිණ.    

තෝමස් ස්කිනර් ගේ පියා ලංකාවේ සේවය කරන්නේ ඉංග්‍රීසි හමුදාවේ කර්නල් වරයෙක් ලෙසය. ඔහු ත්‍රිකුණාමලයේ සේවය කරද්දී වයස 14 ක් වූ තෝමස් එංගලන්තයේ සිට ලංකාවට පැමිණෙයි. පියා ඔහුව ඉගෙන ගැනීමට ආපසු එංගලන්තයට යැවීමට සුදානම් වුවද, ත්‍රිකුණාමලයේ සේවය  කරන නාවුක නිලධාරින් දෙදෙනෙකුගේ නිර්දේශ මත බ්‍රව්න්රිග්  ආණ්ඩුකාරයා මෙම දරුවා දෙවන ලුතිනන් වරයකු ලෙස අධිකාරයට පත්කරයි - ආණ්ඩුකාරයා 1949 ජිනීවා සම්මුතියට අනුව ළමා සොල්දාදුවෙකු බඳවා ගැනීමෙන් යුධ  අපරාධයක් කර ඇත්තේ වුවද මෙය සිදුවන්නේ 19 වන ශත වර්ෂයේ  නිසා ප්‍රශ්නයක් නැත.

මොහුට ලැබෙන පළමුවන  රාජකාරිය ලංකා රයිෆල් හමුදාවේ, 19 සහ 83  ත්‍රිකුණාමලයේ තිබු හමුදා කාණ්ඩය  අලුතින් අල්ලාගත් මහනුවර හරහා කොළඹට රැගෙන යාමය. පාරවල් නොමැති  ඒ  කාලයේ වනයේ අත්දැකීම් නොමැති වයස 16 ක තරුණයෙකුට මෙය දුෂ්කර රාජකාරියක් වීම පුදුමයක් නොවේ. ඔහු යටතේ සිටි හමුදා කාණ්ඩයේ මැලේ සොල්දාදුවන් බොහොමයක් සිටින්නට ඇත. ඒ නිසා ඔහුට තුවාන් කිචෙල් (කුඩා නිලධාරියා) යනුවෙන් නමක්ද පට බැඳිණ. මේ නම තිබු මා දන්නා කෙනෙකු නුවර වාසය කළේය. මේ සිංහලෙන් පොඩි මහත්මය වැනි මැලේ නමක් විය යුතුය


කඩුගන්නා දුර්ගයේ පාර කපන්නට ඔහු යටතේ සේවය කරන්නට ඔහුට ලැබුනේ අවට ගම් වලින් රාජකාරී ක්‍රමය යටතේ සේවය කරන ගැමියන් 200 ක් සහ ඔහුගේ අණු කණ්ඩයේ සිටි සොල්දාදුවන්ය. සිංහල රජකාලේ සිට පැවති රාජකාරී ක්‍රමය -  තම ඉඩම් වලට බඳු ගෙවීම වෙනුවට රජයේ මාර්ග, වැව් හෝ ජල මාර්ග වැනි ව්‍යාපෘති වලට වසරකට සති දෙක තුනක් සහභාගි වීම, 1802, දී ඉංග්‍රීසින් විසින් ඉවත් කර ඒ වෙනුවට ගැමියන්ගේ ඉඩම්වල නිෂ්පාදනයෙන් කොටසක් බඳු ලෙස ගෙවීමට නියම කරන ලදි. එහෙත් මෙයට ඇති වූ ජනතා විරෝධය නිසා නැවත එම රාජකාරී ක්‍රමය ඇති කලේ වුවද 1832 දී රාජකාරී බඳු ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලද්දේය. 

වසර 50 ක් රජයේ සේවයේ යෙදුනු මේජර් ස්කිනර් ප්‍රථම වරට පාරවල් සෑදීම වැනි ඉංජිනේරු ව්‍යාපෘති සදහා අර්ධ හමුදාමය සාමාජිකයන් 4000 කින් යුත් පුරෝගාමී බලකාය පටන් ගත්තේය.   

ඔහු පොදු වැඩවල යෙදෙද්දී ව්‍යාපෘතිය තිබෙන ස්ථානයේම තල් අතු පහකින් සෑදූ කූඩාරමක ජීවත් වූයේය. පාන්දර 4 සිට රෑ 8 දක්වා වැඩෙහි යෙදුනේය. තමන්ගේ ශරීර ශක්තිය ගැන බොහෝ උනන්දු වූ ඔහු බොන ජලය සහ ආහාර ගැනීම බොහෝ අඩුකර කාය ශක්තිය ගැන නොයෙකුත් පරීක්ෂණ කලේය. මොහුගේ මේ කාය ශක්තිය පිලිබඳ උනන්දුව දැනගත් එක් සිංහල ගම්පතියෙකු ඔහුට සමනල කන්ද මුදුනට නැඟ පහලට එන්නට තරඟයකට අභියෝග කලේය. එම තරඟයේ නගිද්දී ගම්පති තැන ඉදිරියෙන් සිටියද, අවසානයේ ජයග්‍රහණය කලේ ස්කිනර්ය. 

වසර 50 ක රාජ්‍ය සේවයේ, රාජ්‍ය මැනුම්පති හා මහා මාර්ග කොමසාරිස් ලෙසද සේවය කර පසුව මේජර් ස්කිනර් විශ්‍රාම ගෙන ආපසු එංගලන්තයට ගියේය. 


  



  



Tuesday, April 18, 2017

තාක්ෂණයෙන් අනාගතය දැකීම; 2030 වනවිට ලෝකය





අපේ ජාතිය පටන් ගැන්මේ සිටම පාහේ අනාගත ව්‍යක්ත මතම රැදුණු ඉතිහාසයක් ඇත්තේය. විශේෂයෙන්ම ඊලග රජු තෝරා ගැනීමේදී බොහෝ විට අනාගත ව්‍යක්ත කියන්නන්ට බොහෝ බලයක් තිබුනු බව පෙනේ.

සමහර අනාවැකි නිසා අනාගතය වෙනස් වූ සැයකුත් පෙනේ. ගෝඨාභය ඇතුලු රාජ නිලධාරීන් තිදනා මහියංගනයේ සිට පයින් යන විට අන්ධ අනාවැකි කියන්නා ඔවුන් තිදෙන යම් දිනෙක රජ වේයැයි කිවූ නිසාම ඔවුන් රජ වූයේදැයි අප නොදනිමු. කපටි ගෝඨාභය මිතුරන්ට හොරෙන් ආපසු ඇවිත් අනාවැකි කියන්නා ගෙන් කාගේ පරම්පරාව පවතින්නේදැයි ඇසූ විට ලැබුනු පිළිතුර වෙනස් වූයේ නම් අපට සිරිසඝබෝ කතාවත් නැති වන්නට ඉඩ තිබුණි.

එතරම් පැරණි කාලයේ නොව වර්තමානයේ අනාවැකි කියන්නන් නිසා රාජ්‍ය බලය අහිමි කර ගත්තෝ නැත්තේ නොවේ.

බටහිර සංස්කෘතියේද මෙවැනි පුරුදු සහ විශ්වාස ඉතා ඈත අතීතයේ තිබුනද (මැක්බත්) අපට පෙර ඒවා ඉවත් කර ගන්නට ඔවුනට පුලුවන් විය. එහෙත් මෑතක සිට වෙනත් භූමියෙහි ජීවත්වන අනාගතය කියන්නන් වර්ගයක් එහි ඇති වී තිබේ. නමුත් ඔවුන් පෙර අනාවැකි කරුවන්ට වඩා විද්‍යාත්මකය. අනෙක ඔවුන් අනාගත ව්‍යාක්ත කියන්නේ ක්‍රමවත්ව දැන් තිබෙන තාක්ෂණය කුමන ආකාරයට අප ජීවිත සහ අප ජීවත්වන ආකාරය වෙනස් කරන්නට පුලුන් කෙසේදැයි පරීක්ෂා කර බලාය. ඒවා පුද්ගලික අනාවැකි නොව මනුෂ්‍ය සංහතියට ඉදිරියට ඇති විය හැකි වෙනස්කම් පරීක්ෂා කර බැලීමයි.  

මෙම අනාගතය කියන්නන් අතර ප්‍රධාන තැනක් ගන්නේ ඇමරිකාවේ ගූගල් ආයතනයේ ඉංජිනේරු අධ්‍යක්ෂකවරයා සහ අනාගතය කියන්නා වන රේමන් කර්ස්වීල්ය. ඔහු කතුවරයෙක්, පරිඝනක ඉංජිනේරුවෙක්, නව නිපයුම් කරුවෙක් සහ අනාගතය කියන්නෙකු වෙයි. බොහෝ නව නිපයුම් ත්‍යාග දිනා ඇති අතර, ඔහු ලියා ඇති පොත් හතෙන් පහක්ම නිව්යෝක් ටයිම්ස් වැඩියෙන් විකුනුනු පොත් අතරට ගොස් ඇත. ඔහුගේ එක් පොතක් වන The age of spiritual machines දැනටමත් භාෂා නවයකට පරිවර්තනය වී ඇත.

ඔහුගේ මා කැමතිම කියමන,

“දෙවියන් ඉන්නේද? යනුවෙන් කෙනෙකු මගෙන් ඇසුවොත් මගේ පිළිතුර 'තවමත් නැත' යන්නයි.“

පසුගිය කාලයේ මෙවැනි වෘතිය  අනාගතය කියන්නන් නොසිටි අතර එම කටයුත්ත තරමක් දුරට හෝ  කෙරුනේ විද්‍යා ප්‍රබන්ද කතුවරුන් විසිනි. මෙයිනුත් බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රී ලංකාවේ ජීවත්වූ ආතර් සි ක්ලාක් මහතා කැපී පෙනුනී. එහෙත් එම පරම්පරාවේ අනාගතය කියන්නන් ගේ අනාවැකි බොහොමයක් එතරම් නිවැරදි නොවුනේ බොහෝ විට ඔවුනට අන්තර් ජාලය පිලිබදව සිතාගන්නට නොහැකි වීම නිසා යයි මට සිතේ. අන්තර් ජාලය පිලිබදව නොදැන එතනින් එහාට යථාර්තික අනාවැකි කියන්නට නුපුළුවන් වනුයේ අන්තර් ජාලය අපේ තාක්ෂණයේ එතරම්ම වැදගත් සංධිස්ථානයක් වී ඇති නිසාය.


කර්ස්වීල් ගේ අනාවැකි ඇත්තෙන්ම වර්තමානයේ තිබෙන තාක්ෂණය කොයි දෙසට දියුණු  විය හැකි දැයි අනුමාන කර විද්‍යාව පදනම් කරගෙන කරන අනාවැකිය. නැතිනම ඔහුව ගූගල් සමාගමේ අනාගත අනාවැකි කියන්න ලෙසට වැටුපක් දී තබා නොගනු  ඇත. ඔහු විසින් අප ජීවත්වන  ලෝකය තාක්ෂණය නිසා වෙනස්වන ආකාරය පිලිබදව කර ඇති අනාවැකි මනස්කාන්තය, එමෙන්ම සිදුවිය හැකිය.

1. 2030 දී නැනොබෝට්ස් තාක්ෂනය අපේ මොලය කෙලින්ම දැනුම් වලාකුළු වලට සම්බන්ද කරනු ඇත. එවිට අපට ඒ අභෞතික අතත්‍ය  ලොවෙහි matrix ආකාරයට ජිවත් වන්නට පුළුවන් වෙයි. නැනොබෝට්ස් යනු meter , 1/1000000000 ට අඩු විශාලත්වයෙන්  නිපදවන යන්ත්‍රයි. 

2. එම නනොබොට්ස්ම අපගේ ස්වභාවික ප්‍රතිශක්ති අසිමිත ලෙස වැඩි කර අපට ඕනෑම ලෙඩක් , පිලික පවා , මනුෂ්‍ය සංහතියෙන් තුරන් කරන්නට හැකියාව ලබා දෙයි. ආයුෂ නොසිතු ලෙස වැඩි වෙයි.

3. එම නනොබොට්ස් අපගේ තර්ක  ඥාන ශක්තිය වැඩි කරනවා පමණක් නොව භාවාත්මක  ඥාණ ශක්තියද වැඩි කරයි. මෙය සිදුවනු ඇත්තේ අපට ඕනෑම දෙයක් සැනෙකින් මොහොතකින් දැනුම වලාකුලෙන් ලබා ගත හැකි නිසාය.

4.අපට ඕනෑම දෙයක 3D කොපියක්;  සද ගැනීමට පුළුවන් වනු ඇත. දැනටමත්  නිවාස  සහ ඉලඇට  කුඩු වැනි දෑ හි  3D කොපි සැදීම ප්‍රායෝගිකය. 

5.2030 දී අපට මිය ගිය කෙනෙකුගේ  අභෞතික අතත්‍ය ප්‍රතිරූපයක් සාදා  ගැනීමට පුළුවන් වනු ඇත. නනොබොට්ස් යන්ත්‍රයක් ඔහුගේ ජිවත්වන පවුල් සාමාජිකයන්  හා මිතුරන්ගේ  ගේ මොළ තුලට යවා ඔහු පිළිබද මතකයන් උකහා ගනු ඇත. එම මතකයන් සහ මිය ගිය අයගේ DNA සාම්පල එකතුකර ඉතාමත් පැහැදිලි අතත්‍ය ප්‍රතිරූපයක් ගොඩනගා ගත හැකි වනු ඇත.

6. 2045 දී සත්ව  පරිනාමයේ වේගය කෘතීම බුද්ධිය මගින් පරදවනු ඇත. එම අවුරුද්දේ කෘතීම බුද්ධිය මිනිස් බුද්දිය මෙන් බිලියන ගුණයකින් වැඩි වනු ඇත. අප ජිවිතයේ තේරුම,ව්‍යාපාර කරන ආකාරය ,ජිවිත කාලය ,මරණය යනාදිය පිලිබදව අපගේ දැක්ම සම්පුර්ණයෙන්ම වෙනස් වනු ඇත .

7. එකල වනවිට අපට අපගේ විඥ්ඥානය/ සිහිය අපට පරිගණකයකට අප්ලෝඩ් කිරීමට පුළුවන් වනු ඇත. මෙතැනදී අපට මරණයෙන් පසුවද ජිවත් වීමට පුළුවන් වනු ඇත.

8.අපට අතත්‍ය (virtual ) ශරීර කොටස් සවි කර ගැනීමට හැකිවනු ඇත. එය අයිති කරුට භෞතික ලෙස දැනෙන අතර අවැසි ලෙස සැලසුම් කර ගත හැකි වනු ඇත 

කර්ස්වීල් කියන්නේ ඔහුගේ මේ සියල්ල ඔහු කියන්නේ දැන් තිබෙන තාක්ෂනය පරික්ශාකර තාක්ෂනය දියුණු වන පැත්ත හා වේගය දෙස බල බවය. මෙය වරදිනවානම් වරදින්නට පුළුවන් තවත් මෙහි වේගය වැඩි වන ආකාරයටය. මක්නිසාද තාක්ෂනයට  නොසිතු ලෙස අලුත් දෑ එකතු විය හැකි නිසාය.





Thursday, April 13, 2017

කොනප්පු බංඩාර හෙවත්, දොන් ජෝන් ඔෆ් ඔස්ට්රියා හෙවත් විමලධර්මසූරිය රජතුමා. ( 1598 – 1612)










  

ක්‍රි :ව: 1580 දී සෙංකඩගල රජකම් කලේ කරල්ලියද්ද බංඩාර නම්  රජ කෙනෙකි. එවකට කන්ද උඩරට රාජධානියේ, පේරාදෙනියෙහි වීරසූරිය නම් ජන ප්‍රධානියෙක් වාසය කලේය. 

පෟතුගීසීන් සමග දීර්ඝ කාලයක සිට දරුණු සටන් වල නිරතව සිටි සීතාවක රාජසිංහ රජු කරල්ලියද්දේ බංඩාර, තමන්ට විරුද්ධව පෟතුගීසීන් සමග එකතුවේ යැයි සැකයෙන් හදිසියෙන්ම මහනුවර ආක්‍රමණය කලේය. මෙම ආක්‍රමණය සදහා කරල්ලියද්දේ රජුට පක්ෂපාතීව සිටි පේරාදෙනියේ වීරසූරියද තම පිරිස සමග රාජසිංහ රජුගේ හමුදාවට එකතු විය. 
කරල්ලියද්දේ රජු කතෝලික ආගම වැලඳ කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල සමග පැවැත්වූ කිට්ටු සම්බන්ධතාවයක්, මෙම කන්ද උඩරට ප්‍රධානීන් හා රජු අතර මත භේදයට තුඩු දෙන්නට ඇත. කරල්ලියද්ද රජු පෟතුගීසීන් සමග එකතුව කන්ද උඩරට පෟතුගීසීන්ගේ යටත් ප්‍රදේශයක් බවට පත් කරන්නට යන්නේ යැයි සැකයක්ද මෙකල පැවතින. කඩුගන්නාවේ බලන නම් ස්ථානයේදී ඇති වූ මෙම සටනින් පැරදුනු කරල්ලියද්දේ බංඩාර රජු තම දරුවන් සහ පිරිවරද කැටුව වන්නියට පලා ගියේය.  

කදුකරයෙන් පලා ගිය කරල්ලියද්දේ රජු හා පිරිස උතුරුකරයේ කටුපත නැමැති ස්ථානයේ, තාවකාලිකට ලැගුම් ගත්හ. ඉන්පසු ඔහුගේ බෑණා වූ, කෝට්ටේ ධර්මපාල රජු සහ පෟතුගීසීන්ගේ උදව් ඇතිව මන්නාරමේ පෟතුගීසී කොටුව වෙත පැමිණියේය. එම ගමනේදී කරල්ලියද්දේ බංඩාර රජු වසූරිය රෝගයෙන් මිය ගිය අතර තම සහෝදරියකගේ පුත් කුමරෙකු වූ යමසිංහ බංඩාර උඩරට සිංහාසනයට පත්විය යුතු බවට මරණ මංචකයේදී පැවසීය. 

රජු මිය යන විට අත දරුවෙකු වූ රජුගේ දියණිය වූ කුසුමාසන කුමරිය පෟතුගීසීන් අතර දෝන කතිරිනා යන නාමයෙන් ඇති දැඩිව පසු කලෙක සෙංකඩගල මහ රැජිණ බවට පත් විය. කරල්ලියද්ද රජුගේ බෑනා  වූ යමසිංහ බංඩාර කුමරුද පෟතුගීසීන් අතර ඇති දැඩිව පසු කලෙක කුසුමාසන කුමරියට පෙර ටික දිනකට කන්ද උඩරට ඔටුණු පැලැන්දේය. 

සීතාවක රාජසිංහ රජු විසින් යටත් කල කන්ද උඩරට රාජ්‍යයෙහි යුව රජු වශයෙන් පේරාදෙනියේ වීරසූරිය පත් කල අතර ටික කලකින් වීරසූරිය හා රාජසිංහ රජු අතරද, රාජ්‍ය තාන්ත්‍රික ගැටලු මතු මතුවන්නට පටන් ගැණිනි. වීරසූරිය විසින් කන්ද උඩරට ස්වාධීන රාජ්‍යයක් බවට පත් කරන්නට සැලසුම් කරන්නේ යැයි සැකයක් රාජසිංහ රජු තුල පැවතුන අතර, පෟතුගීසීන් හා නිතරම සටන් වැදුනු රාජසිංහ රජුට අවශ්‍ය සේනා සම්පාදනය කිරීමට සිදුවීම නිසා රාජසිංහ රජු කන්ද උඩරට ජනතාව අතර බලවත් අප්‍රසාදයකට පත්ව සිටියේය. 

මේ හේතුව නිසා වීරසූරිය යුව රජ කන්ද උඩරට පාලනයෙන් ඉවත් කිරීමට, රාජසිංහ රජුට අවශ්‍ය විය. මේ සදහා ඔහු තමා වෙත ගෙන්වා ගැනීමට උපක්‍රමයක් ලෙස කරල්ලියද්ද රජු හා කල සටනින් ජය ගත් අවස්ථාවේ රාජසිංහ රජුට ලැබුණ කන්ද උඩරට රාජකීය වස්තු ලබා ගැනීමට, සීතාවකට පැමිණෙන ලෙසට රාජසිංහ රජු වීරසූරියට ආරාධනා කලේය. 
මෙම වස්තුව අතර කන්ද උඩරට රාජධානියේ ඔටුන්න ඇතුලු තවත් රාජකීය භාණ්ඩද තිබූ හෙයින්, වීරසූරිය තම පිරිවර සමග මේවා ලබා ගැනීම සදහා සීතාවකට පැමිණියේය. රාජසිංහ රජු නොයෙකුත් උපක්‍රම වලින් වීරසූරිය යුව රජු හා ඔහුගේ පිරිවර නිරායුධ කර අල්ලා ගෙන ඔහු කරවට තෙක් පොලවේ වලලා ලී වලින් තනන ලද බෝල වලින් පහර දී මරුමුවට පත් කලේය. 

මේ ආරංචිය සෙංකඩගලපුරට ලැබුණු පසු කන්ද උඩරට සංඝයා සහ ජන ප්‍රධානීන් එකතුව වීරසූරිය බංඩාරගේ පුතු වූ කොනප්පු බංඩාර නැමැති කුඩා දරුවා හේවාහැට හගුරන්කෙතට ගෙන ගොස් සැඟවූහ. මේ ආරංචිය ලැබූ රාජසිංහ රජු තම හමුදා යවා කොනප්පු බංඩාර ලබා නොදුනහොත් හගුරන්කෙත නගරය විනාශ කරන බවට තර්ජනය කලේය. නගර වැසියන් බියට පත්ව කොනප්පු  බංඩාර හා සමානකම් ඇති වෙනත් දරුවෙකු රාජසිංහ රජුට භාරදී රජු රැවැට්ටුවෝය. එහෙත් පසුව සත්‍ය  දැන ගන්නට ලැබී ඔහු රැවටූ බොහෝ පිරිස් සහ සංඝයා, රාජසිංහ රජු විසින් මරා දමන ලද බව එකල ලියවුන පොතක් වන ‘මන්දාරම්පුර පුවත‘ හි සඳහන් කර ඇත. 

මන්දාරම්පුර පුවත එය විස්තර කරන්නේ මෙසේය. 

ණැනැති දනන් හේවාහැට වැසි             සියලා
සිටිනා ලෙඩින් පෙලෙනා කුමරු           ලංවෙලා
එවැනි රුවින් සම අන් කුමරෙක් හු        බලා
ගෙන්න දෙමින් රැවටූ රජසිංහ               එකලා

එවිට නිරිඳු ඔහු මුරකරවා                      එදින
සැට ඇඳුතු ඔංඩුවක් සගුන්                    මරමින
සියලු වෙහෙර ගිණිලා පාලු                  කරමින
පලියගත්තු ඒ කුමරු නික්මු                  බැවින

මෙලෙස ජීවිතය බේරා ගත් කොනප්පු බංඩාර ආරක්ෂා සහිතව කොළඹ සිට පෘතුගීසීන් වෙත යවන ලදි. මන්දාරම්පුර පුවත ග්‍රන්ථයෙහි ඔහු එලෙස පෟතුගීසීන් වෙත යැවීම මෙලෙස විස්තර කෙරේ. 

රාජසිංහ නිරිඳු රැවටී මෙලෙස              ගියවර
ලක්දිව ඉසුරු ලැග සිටිනා කොළොම්   පුර 
පෟතුගාල් රජහු වෙත පඬුරුත් සමග      කර 
කොනප්පු බංඩාර හැරියෝ භාර           කර

 පෟතුගීසීන් විසින් කොනප්පු බංඩාර කුමරු දොන් ජෝන් ඔෆ් ඔස්ට්රියා (Don John of Austria) යන නමින් භෞතීස්ම කරන ලදි. ටික කලක් කොළඹ කොටුවේ පෟත්‍රගීසීන් සමග වාසය කල තරුණ කොනප්පු බංඩාර, එවකට කෝට්ටේ ධර්මපාල රජුගේ ප්‍රධාන නිලධාරියෙකු වන තම්මිටරාළ නැමැත්තාගේ දියණියක් සරණ පාවා ගත්තේය. ටික කලක් කොළඹ කොටුවේ වාසය කරන අතර තුර කොනප්පු බංඩාර හා ඔහුගේ ඥාති සහෝදරයෙකු වන සලප්පු බංඩාර නැමැත්තා සමග ඇති වූ ද්වන්ද සටනකදී සලප්පු බංඩාර මරණයට පත් වූ බව සඳහන් වේ. 

මෙම මිනී මැරුම නිසා අවමානයට පත් කරන ලද කොනප්පු බංඩාර, එකල පෘතුගීසීන්ගේ ආසියාවේ පිහිටි ප්‍රධාන බලකොටු නගරය වූ ඉන්දියාවේ ගෝවේ නගරය වෙත පිටුවහල් කර යවන ලදි. 

දක්ෂ රණශූරයෙකු වූ කොනප්පු බංඩාර ගෝව නගරයේ වාසය කරන අතර තුරදී එහි විසූ රණශූරයෙකු වූ පෘතුගීසි කපිතාන් වරයෙකු ද්වන්ද සටනකින් ජීවිතක්ෂයට පත් කලේය. මෙම මිය ගිය පෘතුගීසි රණශූරයා නිසා මෙම නගරයේ වැසියන් මහත් කරදරයකට පත්ව සිටි හෙයින් මෙම සටනින් පසු කොනප්පු බංඩාර ගෝවේ පෘතුගීසීන් අතර මහත් ප්‍රසිද්ධියට හා ජන ප්‍රසාදයට පත් විය. 

මෙම ක්‍රියාව නිසා මොහුට ලබා දී තිබූ දඬුවම ඉවත් කල අතර, නැවත වරක් කොළඹට ආපසු පැමිණීමටද පහසුකම් සැලසින. ඉන් පසු ටික කලක් පෘතුගීසීන් සමග කොළඹ කොටුවේ වාසය කල කොනප්පු බංඩාර, පසුව ඔවුන්ගේ හමුදාවේ ජේෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කලේය. සීතාවක රාජසිංහ රජු කොළඹ කොටුව වට කල අවස්ථාවේ එම කොටුවෙහි සෙබස්තියන් කෙලවරේ සිට ඇන්ටෝනියෝ කෙලවර දක්වා ආරක්ෂාව භාරව තිබුනේද කොනප්පු බංඩාර වෙතය.



                       මුල් කාලයේ කොළඹ  පෘතුගීසි බලකොටුව.

මේ වන විට දෝන කතිරිනා කුමරිය මන්නාරම් කොටුවේද, යමසිංහ කුමරු කොළඹ කොටුවේද, පෘතුගීසීන් සමග ජීවත් වූහ. පෘතුගීසීන්ගේ අනාගත බලාපොරොත්තුව වූයේ මෙම රාජකීයයන්ගේ රාජ්‍ය උරුමය හරහා කන්ද උඩරට රාජධානියේ අයිතිවාසිකම් ලබා ගැනීමටය. මෙම කුමරුට කන්ද උඩරට රාජ්‍ය ලබා දී, කන්ද උඩරට පෘතුගීසී රාජ්‍යයේ කොටසක් ලෙස තබා ගැනීමට කල්පනා කල පෘතුගීසීහු එම කටයුතු සදහා විශාල හමුදාවක් සම්පාදනය කලහ. 

මෙම වකවානුව වන විට සීතාවක රාජසිංහ රජු ඔහුගේ දරදඬු පාලනය නිසා, කන්ද උඩරට ජනතාව අතර බලවත්  අප්‍රසාදයට පත්වෙමින් සිටියේය. මෙම අවස්ථාවේ ගම්පොල දේවියගේ මුණුපුරෙකු වූ, ක්‍රිස්තියානි ආගම වැලඳගෙන සිටි දොන් ප්‍රැන්සිස්කෝ ඉලංගකෝන් මුදලි විසින් රාජසිංහ රජුට විරුද්ධව මහනුවර කැරලි ගසා, පෘතුගීසීන් අතර සිටි යමසිංහ කුමරුට කන්ද උඩරට රාජධානියට පැමිණෙන ලෙසට ආරාධනා කලේය. යමසිංහ කුමරු සහ පෘතුගීසි හමුදා මහනුවරට එන අතර මඟ මාතලේ වහකෝට්ටේ නම් ස්ථානයේදී දොන් ප්‍රැන්සිස්කෝ විසින් උඩරට රාජධානිය යමසිංහ කුමරුට පැවරූ අතර, යමසිංහ කුමරු කන්ද උඩරට රජු බවට ප්‍රකාශ කලේය.       

යමසිංහ කුමරු මහනුවර රජු බවට අභිශේක ලැබු පසු, පෘතුගීසින් විසින් කොනප්පු බංඩාර කන්ද උඩරට රාජ්‍යයේ සේනාධිපති ලෙස පත් කරන ලදි. මහනුවර ආක්‍රමණය සදහා දැඩි කැපවිමකින් කටයුතු කල කොනප්පු බංඩාර, මහනුවර රාජධානියේ අවසාන රජු වශයෙන් සිටියේ තම පියාවු වීරසුරිය නිසා කන්ද උඩරට රාජ්‍යයේ යමසිංහ කුමරුට නොව තමාට ලැබිය යුතුයැයි කල්පනා කලේය.

මේ අතර හදිසියෙන්ම දොන් පිලිපේ (යමසිංහ කුමරු) මියගිය අතර, කොනප්පු බංඩාර විසින් වසදී මොහු මරාදැමු බවට සැකයක් එකල පැවතුණි. යමසිංහ රජුගෙන් පසු පෘතුගීසින් විසින් ඔහුගේ කුඩා පුත් කුමරාවු දොන් ජෝහා අභිශේක කරන ලදි. එහෙත් මේ වනවිට කොනප්පු බංඩාරට කන්ද උඩරට ජනතාව අතර මහත් ජන ප්‍රසාදයකට පත්ව බලයක් ගොඩනගා ගැනිමට හැකියාව ලැබී තිබු හෙයින්, කන්ද උඩරට ජනතාවගේ ඒකමතික සහයෝගයෙන් ඔහු පළමුවන විමලධර්මසුරිය නමින් මහනුවර රජවිය. 

ඔහු තමන් මහනුවර රජු බවට ප්‍රකාශ කරමින් පෘතුගීසීන්ට කන්ද උඩරටින් පිටව යාමට දින පහක් කල් දුන්නේය. පෘතුගීසීහු තමන්ගේ බලය පිරිහෙමින් පැවති හෙයින්ද, මහ ජනතාව කොනප්පු බංඩාර වටා එක්රොක්වූ හෙයින්ද, ඔවුන් වාඩිලාගෙන සිටි පේරාදෙනියේ ගන්නෝරුව අතහැර කොළඹ බලා යාමට පිටත්වූහ. 
පෘතුගීසීන් ඔවුන් විසින් රාජාභිෂේක කල දොන් ජෝහා කුමරු වහකෝට්ටේට හා එතැනින් කොළඹට රැගෙන ගොස්, කොළඹ පෘතුගීසි අධ්‍යාපන ආයතනයක් වූ, ෆ්රැ න්සිස්කෝ විදුහලට (Colegio S Francisco) අධ්‍යාපනය සදහා ඇතුලත් කරන ලදි. ඉන්පසු 1594 දන්තුරය සටනින් පෘතුගීසීන් මහත් පරාජයට පත් වූ හෙයින්, මෙම කුමාරයාගේ ආරක්ෂාව සදහා ඔහු ඉන්දියාවේ පෘතුගීසි පාලන මධ්‍යස්ථානයක් වූ ගෝව නගරයට යැවූහ. 

එහිදී ‘රජවරු තිදෙනාගේ විද්‍යාලය‘ (College of Three Kings) වෙත ඇතුල් කරනු ලැබූ මෙම කුමරු, 1610 දී පමණ පෘතුගාලයේ ලිස්බන් නගරයට යවන ලදුව” අධ්‍යාපනය සදහා ආගමික පාසැලකට (Convento de S Francisco) ඇතුලත් කරන ලදි. 


Convento de S Francisco

එහිදී මෙම කුමරුට කෘසඩෝස් (Crzados) 2000 ක වාර්ෂික දීමනාවක් ලබාදී වැඩිදුර අධ්‍යාපනය සදහා පෘතුගාලයේ කොයිම්බා නගරයෙහි රාජකීය විද්‍යාලයට ඇතුල් කිරීමට පෘතුගීසී රජයෙන් සැලසුම් කලද, මෙම කුමරු එය ප්‍රතික්ෂේප කර ලිස්බන් නගරයෙහි රාජ සභාවේ රාජකීයෙකු ලෙස ජීවත්වීමට කැමැත්ත පල කලේය. 


ඔහුගේ ඉල්ලීම පිට රජ කෙනෙකුගේ පැවැත්මට සරිලන පරිදි නිවාස සහ අනෙකුත් පහසුකම්ද, වාර්ෂිකව කෘසඩෝස් 4000 ක දීමනාවක්ද, පෘතුගීසි රජයෙන් ලබාදෙන ලදි. තමන්ට ලැබෙන පහසුකම් ඔටුන්න හිමි කුමාරයෙකුට තරම් නොගැලපෙන බව පවසා පෘතුගාලයේ රජු සමග සාකච්ඡා කර කුමරු කන්ද උඩරට වෙල්ලස්ස සහ සත්කෝරලය තමන්ගේ ඇති රාජකීය අයිතිය පෘතුගීසීන්ට පවරා දෙනු ලදුව, පෘතුගීසි රජ විසින් ස්පාඤ්ඤ වංශාධිපතියෙකු ලෙස බිෂොප්වරයෙකු හා සමාන තත්වයට පත් කරන ලදි. ඔහුට ලබා දෙන දීමනාවන්ද කෘසඩෝස් 8000 ක් දක්වා ඉහල දමන ලද අතර, ඉන්පසු ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර ස්පාඤ්ඤ රාජ සභාවේ වාසය කලේය. 







1642 වර්ෂයේ වයස 74 ක් ගත වී ලිස්බන් හිදී මියගිය මෙම කුමරුට ඩෝනා මරියාඩා කැන්ඩියා  නමින් දියණියක් සිටි අතර, කුමරු මියගිය පසු ඇය විලා ලොන්ගා කන්‍යාරාමයේ කතෝලික පූජකවරියක් බවට පත්ව එහි අවුරුදු 59 ක් ගත කිරීමෙන් පසු 1708 දී මියගියාය. බොහෝ විට කුමරු තම දියණියන්ට කැන්ඩියා යනුවෙන් නම් කරන්නට ඇත්තේ කන්ද උඩරට රාජධානියේ උරුමය නිසා වන්නට පුලුවන. පෘතුගීසීන් විසින් එකල කන්ද උඩරට රාජ්‍යය හදුන්වන ලද්දේ ‘කැන්ඩියා‘ යන නමිනි. 

මේ අතර කොනප්පු බංඩාර මහනුවර රජ වූ බවට ආරංචිය ලද සැනින් සීතාවක රාජසිංහ රජු මහත් කලබලයට පත්විය. ඔහුගේ පියා තමා අතින් මියගිය හෙයින්ද, කොනප්පු බංඩාරගේ රණශූරත්වය පිළිබඳව අසා තිබූ බැවින්ද, ඔහු මහනුවර සේනා සංවිධානය කිරීමට පෙර, ඔහු යටත් කරගත යුතු යැයි රාජසිංහ රජු කල්පනා කලේය. එහෙයින් ඔහු යටතේ සිටි ඉන්දියානු සේනාධිපතිවරයෙකු වූ අරිට්ඨ කීවෙන්ඩු පෙරුමාල් නැමැත්තා යටතේ බලවත් හමුදාවක් මහනුවර ආක්‍රමණය කිරීමට පිටත් කර හැරීය. 
                                      බලන කොටුව

බලන නම් ස්ථානයේදී මෙම හමුදාවට මුහුණ දුන් විමලධර්මසූරිය රජු,  ඔවුන්ට බලනින් ඇතුල්වීමට ඉඩ නොදුණි.

 මෙම සටනින් පසු තමන්ගේ හමුදාවේ ඉතිරි කොටසත් සමග පැමිණ මාවෙල නැමැති ස්ථානයේ කඳවුරු බැදගත් සීතාවක රාජසිංහ රජු, විමලධර්මසූරිය රජු වෙත පණිවිඩයක් යැවීය. 

එයින් කියවුනේ විමලධර්මසූරියට තම පියාට අත්වූ ඉරණම වූ කැබලි වලට කැඩී මියයාම ඉක්මනින්ම බලාපොරොත්තු විය හැකි බවයි. 

තම පියා තමා මෙන් කල්පනාවෙන් වැඩකලේ නම්, ඔහුට එම ඉරණම අත් නොවන බවත්, තම පියාට සිදු කරන ලද අපරාධයට පලි ගැනිමට තමාට දැන් අවස්ථාවක් ලැබී තිබෙන බවත් රාජසිංහ රජුට දන්වා යැවූ විමලධර්මසූරිය, තම කුඩා හමුදාවත් සමග රාජසිංහ රජුගේ හමුදාව වෙත කඩා පැන්නේය. 

මෙම සටනේදී ඉමහත් කාලයකට පසු විමලධර්මසූරිය රජු, පෙර සිංහල අධිරාජයන් සටන් බිමට පිවිසුනු සම්ප්‍රදායට අනුව, සුදු පැහැති මුතු කුඩ දෙකක් පෙරටු කොට ගෙන සටන අවසාන වන තෙක් සටන් බිමෙහිම සිට උස් හඬින් අණ දෙමින් පුද්ගලිකව සටන් මෙහෙයවීය. 

එම සටනින් පැරදුණු සීතාවක රාජසිංහ රජු ආපසු යන ගමනේදී කකුලේ උණ කටුවක් ඇණුනු අතර, පරාජය නිසා ඔහු කොතරම් කනගාටුවකට පත්ව සිටියේද යත්, තම කකුලට බෙහෙත් කරන්නට නොදී එයින් මියගිය බවටද, ඔහුගේ මුනුබුරෙකු විසින් කරන ලද කුමන්ත්‍රණයකින් විෂ ශරීර ගතකර මරා දැමූ බවටද ජනප්‍රවාද තිබේ.  කැලණි ගඟ දිගේ රුවන් වැල්ලට යාමට රාජකිය යාත්‍රාවට ගොඩවූ රාජසිංහ රජු, ඒ යාත්‍රාව තුලදීම මිය ගියේය



සීතාවක රාජසිංහ රජුගේ සොහොන.



රාජසිංහ රජු පරදා බලනේ සටන ජයග්‍රහණය කර ආපසු මහනුවරට පැමිණි කොනප්පු බංඩාර, කන්ද උඩරට අගරජ ලෙස විමලධර්මසූරිය නමින් රාජාභිෂේක ලැබීය. 

රාජසිංහ රජුගෙන් පසු සීතාවක රාජධානිය පෘතුගීසීන්ට යටත් වූ හෙයින්, මහනුවර සිංහල රාජ්‍යයේ අගනුවර බවට පත්විය. මෙලෙස ඔවුන් යටතේ සිටි, රජ පවුලකින් පැවත නොඑන මුදලිවරයෙකු, ඔවුනට විරුද්ධව මහනුවර රජවීම තමන්ට මහත් අවමානයක් බව සැලකූ පෘතුගීසීහු, කෙසේ හෝ විමලධර්මසූරිය රජු හා සටන් කොට මහනුවර අල්ලා තම යටතට ගැනීමට මහත් අධිෂ්ඨානයකින් උත්සාහ කලහ. 


මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සදහා එකල ඉන්දියාවේ සිටි පෘතුගීසී පාලකයා විමලධර්මසූරිය රජු හා කන්ද උඩරට රාජ්‍යයේ යටත් කර ගැනීම සදහා, කොළඹ පෘතුගීසීන් වෙත බලවත් පෘතුගිසී හමුදාවක් එවීය. 



                                       විමලධර්මසූරිය රජු. 


මෙම හමුදාවේ නායකයා වශයෙන් පෙරෝ ලොපෙස් ඩි සූසා නැමැති සටනෙහි දක්ෂ සෙනෙවියකු පැමිණි අතර, මෙම හමුදාව සහ සීතාවක රාජසිංහ රජුගේ සේවයේ නිලධාරියෙකු වූ අරිට්ඨකීවෙණ්ඩු පෙරුමාල් යටතේ තිබූ විශාල සිංහ හමුදාවක් මහනුවර බලා පිටත්විය. මෙම අරිට්ඨකීවෙණ්ඩු පෙරුමාල්, රාජසිංහ රජු මියගිය පසු ඔහුගේ වස්තුව බොහොමයක් අත්පත් කරගෙන විශාල හමුදාවක නායකයා බවට පත්ව ‘ජයවීර බංඩාර‘ යන නමින් ප්‍රසිද්ධව සිටියේය. මෙම සංයුක්ත හමුදාවට සොල්දාදුවන් 150,000 ක් පමණද, අලි ඇතුන් 1200 පමණද, භාණ්ඩ ඇදීම සදහා දස දහස් ගණන් ගොනුන්ද යොදා ගැණින.

මේ සමගම දෝනකතිරිනා කුමරියද මහනුවරට රැගෙන ගොස්, උඩරැටියන්ගේ කැමැත්ත ඇය තුලින් ඔවුන් වෙත ලබා ගැනීමට පෘතුගීසීන් සැලසුම් කලහ. ඒ සදහා අතරමගදී මෙම හමුදාව මන්නාරමේ එවකට නැවතී සිටි දෝනකතිරිනා කුමරියද ගෙන්වා ගත්හ. දෝනකතිරිනා කුමරිය කරල්ලියද්ද බංඩාර රජුගේ දූ කුමරිය වූ නිසා, කන්ද උඩරට ජනතාව මැයගේ රාජ්‍ය උරුමය පිළිගන්නා බව පෘතුගීසීන් දැන සිටියහ.

විමලධර්මසූරිය රජුට මෙයට විරුද්ධව සම්පාදනය කරගත හැකිවූයේ 30,000 ක පමණ හමුදාවක් පමණි. රජු දින කිහිපයක බලවත් සටන් වලින් පසු කැලෑවට පලාගිය අතර, පෘතුගීසීන් දන්තුරය හා මහනුවර යන ස්ථානවල කඳවුරු බැඳගත්හ.

දෝනකතිරිනා කුමරිය බලන නම් ස්ථානයෙන් ඇතුළු වී මහනුවරට පැමිණෙන තෙක්, මග දෙපස රැස්ව සිටි ජනතාව ඇය මහත් ගෞරවයෙන් සහ ආදරයෙන් පිලිගත්හ. කුමරිය මහනුවර නගරයට ඇතුළු වන අවස්ථාවේ පෘතුගීසී සෙන්පති දොන් පෙඩ්රෝ  සහ අනෙකුත් ජේෂ්ඨ නිලධාරීන් දණින් වැටී ගෞරව කර ඇය පිලිගත්හ. කන්ද උඩරට අනෙකුත් ජන ප්‍රධානීන්ද, කන්ද උඩරට රාජ්‍යයද පරම්පරාවේ අවසාන පුරුක වූ ඇය මහත් හරසරින් පිළිගෙන, ඇය වෙත ඇති තම රාජපාක්ෂකභාවය පිළිබඳ ප්‍රතිඥා දුන්හ.

ඇය දන්තුරේ සිට මහනුවරට ගමන් කරන තෙක් මග දෙපස රැස්ව සිටි ජනතාව සදහා රන් හා රිදී කාසි දෝලාවේ සිට විසිකරමින්, ජනතාවට ආචාර කරමින් මහනුවර දක්වා ගමන් කල බව සඳහන් වේ. දින 03 ක රාජකීය සැණකෙලි වලින් පසුව ඇය කන්ද උඩරට අගරැජිණිය ලෙස ඔටුනු පලඳවන ලද අතර, එම සම්පූර්ණ උත්සවය සදහා රත්තරන් ටොන් 19 ½ ක් පමණ වටිනා මුදලක් වැය වූ බව සඳහන් වේ.

මෙහිදී අරිට්ඨකීවෙණ්ඩු පෙරුමාල් හා පාතුගීසීන් අතර මතභේදයක් හට ගත්තේය. මෙම මතභේදයෙන් පසු පෘතුගීසී සේනාධිපතියා විසින් කුමන්ත්‍රණය කර ජයවීර බංඩාර මරා දමන ලද අතර, ජයවීරගේ හමුදා පෘතුගීසීන් අතහැර සටනින් ඉවත්වූහ.

මෙම මතභේදයට හේතුව හරිහැටි පැහැදිලි නැති නමුත්, අරිට්ඨකීවෙන්ඩු දෝනකතිරිනා විවාහ කර ගැනීමට හා ඉන්පසු පෘතුගීසීන් යටතේ, කදුරට යුව රජකමට පත්වීමට තිබූ බලාපොරොත්තුවට පෘතුගීසීන් විරුද්ධ වීම මෙයට මූලික හේතුව වන්නට පුලුවන. 

මෙම මතභේදයෙන් පසු අරිට්ඨකීවෙණ්ඩු සහ විමලධර්මසූරිය රජු අතර ලියුම් ගණුදෙනුවක් සිදුවිය. මෙකල මහනුවර අවට සැඟවී සිටි විමලධර්මසූරිය රජු පෘතුගීසීන් හා ජයවීර බංඩාර අතර මතභේදයක් ඇතිකිරිමට, ඔහු හා කුමන්ත්‍රණයක් සිදුවන බව පෙන්වීමට ලිපි දෙකක් පෘතුගීසීන් අතට ලැබීමට සැලැස්වූ බවද, එලෙස ලියූ ලිපි දෙක තම විශ්වාසවන්තයෙකු අත යවා එය පෘතුගීසීන් විසින් අල්ලා ගැනීමට ඉඩ තැබූ බවද, එකල පෘතුගීසී ලේඛකයන් පවසයි.

එම ලිපි වලින් අරිට්ඨකීවෙණ්ඩුගේ හමුදාව විමලධර්මසූරිය රජු සමග එකතු වීමටත්, පෘතුගීසීන් පරාජය කර ඔහුට විමලධර්මසූරිය රජු යටතේ සීතාවක රාජධානිය දීමටත් සාකච්ඡා විය.

එහෙත් මෙම සිද්ධියෙන් අධෛර්යමත් නොවූ පෘතුගීසීන් මහනුවර බලා ගමන් ඇරඹූහ. බලන දී පෘතුගීසී හමුදාව වටකර විමලධර්මසූරිය ඉතා දරුණු සටන් වලින් පසු මුලු පෘතුගීසී හමුදාවම සමූල ඝාතනය කල අතර, ජෙනරාල් දොන් පෙඩ්රෝද මරුමුවට පත්විය. එම අවස්ථාවේ තමාගේ දරුවා ඔහු විමලධර්මසූරිය භාරයට පත් කලේය.


මෙම බලන සටනෙහිදී පෘතුගීසී සමූල ඝාතනය කිරීමෙන් පසු, විමලධර්මසූරිය රජු පෘතුගීසීන් යටතේ පසු වූ දෝනකතිරිනා කුමරිය එම සටන් බිමේදීම විවාහ කර ගත්තේය. මෙලෙස කරල්ලියද්දේ රාජ පරම්පරාවේ අවසාන ඔටුන්න හිමි කුමරිය හා විවාහ වීමෙන්, කොනප්පු බංඩාරට උඩරට රාජධානිය සදහා හිමිකම් කීමට විශේෂ අයිතියක් ලැබුණි. මෙම විවාහ මංගල්‍යය උත්සවය ඉතා අලංකාර ලෙස දින 110 ක් පුරා මහනුවර නගරයේ පැවැත්විණ. මෙය කොතරම් ඉහලින් පැවැත්වුනිද යත්, එම උත්සවයට වියදම් කරන ලද මුළු මුදල පගෝදි 968,754 ක් විය.



                පෘතුගීසි සිරකරුවන් සෙංකඩගල මාලිගය ගොඩනැගීම.
පෘතුගීසින්ගෙන් ලබාගත් වස්තුව ද ආයුධ උපයෝගි කර ගනිමින්, කොළඹ හා ගාල්ල හැරෙන්නට ලංකාවේ මුලුමනින්ම තම අණසක යටතට ගත් විමලධර්මසුරිය රජු, ඉන්පසුව ශ්‍රී  ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරිමට කටයුතු සම්පාදනය කළේය.

තම රාජධානිය සතුරන්ගෙන් ආරක්ෂා කරගැනිමට ශක්තිමත් බලකොටු පද්ධතියක්ද,  සතුරන් පැමිණෙන බව කලින් දැනගැනිමට රාජධානිය වටා උස් ස්ථාන වල කුඩා කදවුරු විශාල ගණනක්ද ඇති කල විමලධර්මසුරිය රජු, සෙංකඩගල ප්‍රදේශයේදි මනරම් මාළිගයක්ද තැනවිය. මෙම මාළිගාව දිය අගල් හා බලකොටු සහිතව පිහිටවු අතර, එය තැනිම සදහා ප්‍රයෝජනයට ගන්නා ලද්දේ පෘතුගීසි සිරකරුවන්ය. මාළිගාව අවට අලංකාර කිරිම සදහා යුද්ධයේදි අල්ලා ගත් පෘතුගීසි ධජ යොදාගත් අතර, තම රාජ්‍ය කාලයේ නොයෙකුත් වෙහෙර විහාර හා බෞද්ධ පුජනීය ස්ථානද කරවිය. මහනුවර අවට දැන් තිබෙන අම්බලම් පද්ධතිය නිර්මාණය කරන ලද්දේද මොහු විසිනි.  



            අම්බලමක්.
තමන්ගේ දක්ෂතම ජෙනරාල්වරයාට හා හමුදාවට සිදු වු  දෙය  දැනගන්නට ලැබුනු ගෝවේ විසු පෘතුගීසි පාලකයා, දොන් ජෙරමින් අසවේදු නම් සටනේ ඉතා දක්ෂ, එමෙන්ම ඉතාම කෘර පෘතුගීසි නායකයෙකු යටතේ විශාල හමුදාවක් කන්ද උඩරට පරාජය කිරිම සදහා ශ්‍රී  ලංකාවට එවිය. දැන් පෘතුගීසීන් හට මහනුවර අල්ලා ගැනිම තමන් ආසියාවට පැමිණි ප්‍රධාන කාර්ය වු වෙළද හා ආගම් පැතිරවිමට වඩා, තමන්ගේ ආත්ම ගෞරවය පිළිබද  ප්‍රශ්ණයක් විය.

ලංකාවට පැමිණි අසවෙදු හා ඔහුගේ හමුදාව ඉක්මනින්ම මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගත් අතර, ඔවුන් කඩුගන්නාව හරහා පැමිණ මහනුවරට ඇතුලු වීමට උත්සාහ කලහ. බලන සිට තම සටන් ඇරඹූ විමලධර්මසූරිය රජු කුඩා කණ්ඩායම් ලෙස මඟ රැක සිට සතුරාට පහර දීමට සංවිධානය කලේය. තමන්ගේ හමුදාවන් පෘතුගීසී හමුදාවන් හා සසඳන කල පුහුණුවෙන් හා අවි හරඹයෙන් දුර්වල බව දන්නා විමලධර්මසූරිය, එම අඩුව එඩිතර බාවයෙන් හා යුද්ධ ඥානයෙන් සපුරාලීය. පෘතුගීසීන් හට ඔවුන් සෑම තැනකම සිටින්නාක් මෙන් දැනෙන පරිදි යුද්ධය මෙහෙය වූ විමලධර්මසූරිය, ඉතාමත් දරුණු සටන් වලින් පසුව අසවේදුගේ පෘතුගීසි හමුදාව පරාජය කලේය. ඔවුන් කොළමට පසුබැස ගියහ. මෙම පරාජයෙන් ලැජ්ජාවට හා අසහනයට පත්වූ පෘතුගීසී හමුදා භටයන්, දොන් අසවේදු ඝාතනය කිරීමට උත්සාහ කල අතර, පෘතුගීසී පූජකවරයෙකුගේ මැදිහත්වීමක් නිසාම ඔහුට ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවිය.

මෙයින් පසු යුද්ධයෙන් පරාජය කල නොහැකි විමලධර්මසූරිය රජු කුමන්ත්‍රණයකින් මැරීමට පෘතුගීසීන් කල්පනා කලහ. මේ අනුව විමලධර්මසූරිය රජු යටතේ රාජකාරී කල පෘතුගීසී නිලධාරියෙකු වූ මැනුවෙල් ඩයස් නැමැත්තාට, විශාල මුදලක් හා විමලධර්මසූරිය රජු ඝාතනය කල පසු මහනුවර ප්‍රාදේශීය පාලක තනතුරද ලබාදෙන පොරොන්දුව පිට රජු මැරීමට සැලසුම් කලහ. පෘතුගීසීන් තම සෙබලුන් 05 දෙනෙකු කොළඹ කොටුවෙන් පැනගොස්, සිංහල රාජ්‍යයට එකතුවන ලෙස පෙන්වා රජු වෙත එවූහ. ඔවුනට උපදෙස් දී තිබුනේ අවස්ථාවක් ලැබුනු විට රජු මරණයට පත් කිරීමටය. මෙලෙස රජු මරණයට පත් කල විගසම එම තොරතුරු වෙඩිල්ලකින්  සංඥා කරන ලෙස ඔවුනට දන්වා තිබුණු අතර, ඒ විගසම මහනුවරට ඇතුලු වීමට තරමක පෘතුගීසී හමුදාවක් බලනට පහතින් කැළයේ සැඟවී සිටියහ.

මෙම උපක්‍රම පිළිබඳ සියලු විස්තර දොන් මැනුවෙල් ඩයස් රජු වෙත සැලකර සිටියේය. එම කුමන්ත්‍රණය ආපිට පෙරලා තමනට වාසියක් ගැනිමට විමලධර්මසූරිය රජු කල්පනා කලේය. එමසොල්දාදුවන් 05 දෙනාට කන්ද උඩරට රජුගේ සේවයට පැමිණෙන ලෙස දන්වා, රජු මරන්නට පැමිණි කණ්ඩායම බලනට පැමිණෙන විට තමන්ට විශ්වාස හමුදා භට පිරිසක් සමග බලනට ගොස් රජු, වහාම එම භටයන් සිරභාරයට ගෙන කැලෑවේ සැගවී සිටි පෘතුගීසී හට රජු මියගිය බවට දැන්වෙන සංඥාව නිකුත් කලේය. ඔවුන් බලන දූර්ගයට ඇතුලු වූ පසු සමූල ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ නමුත්, යම් අයුරකින් රජුගේ සැලැස්ම පිළිබඳ දැනගත් කඳවුරු බැඳ සිටි පෘතුගීසීහු, වහාම තම ආයුධ අතහැර කොළඹ බලා පලා ගියහ.

මෙයින් පසු විමලධර්මසූරිය රජු මියයන තෙක්ම පෘතුගීසීහු ඔහුගේ රාජධානියට ඇඟිලි නොගැසූ අතර, 1602 අද්මිරාල් ස්පිල් බර්ගන්ගේ ලංකාවට පැමිණීම, විමලධර්මසූරිය රාජ්‍ය සමයේ වූ විශේෂ සිද්ධියක් විය. පලවෙනි ඕලන්ද (නෙදර්ලන්ත) තානාපතිවරයා වූ ඔහු මඩකලපුව වෙත නෞකාවෙන් ගොඩ බැස, අනුගාමිකයන් පිරිසක් සමග සති කිහිපයක දුෂ්කර ගමනකින් පසු මහනුවරට පැමිණියේය.

පහත ලින්ක් එක හරහා ඒ තානාපතිවරයාගේ ගමන් විස්තරය කියවන්නට පුලුවන. 

http://lakshmanillangakoon.blogspot.com/2017/04/part-1.html


ඔහු, රජු හා පැවැත්වූ සාකච්ඡා තානාපතිවරයා සමග පැමිණි අයෙකු විස්තර කර ඇති අතර, එකල උඩරට රාජ්‍යයේ තිබූ දියුණු තත්වය එම විස්තර වලින් මනාව පැහැදිලි වේ. විශේෂයෙන්ම පෘතුගීසීන්ට විරුද්ධව මුහුදු සටන්හි යෙදීම සදහා කුඩා යුධ නැව් පවා මහියංගනයේ මහවැලි ගඟෙහි තැනෙමින් පැවැති බව යුරෝපීය සංචාරකයෙකු විස්තර කර ඇත.


අද්මිරාල්වරයා හා විමලධර්මසූරිය රජු අතර පැවැත්වූ සාකච්ඡාවන්ද, මහනුවරදී ඔහුට රජු විසින් දක්වන ලද ගෞරවය හා සංග්‍රහයන්ද, එම ගමන පිළිබඳ විස්තරයේ සටහන් කර ඇත. විමලධර්මසූරිය රජු කොතරම් පෘතුගීසීන් අප්‍රිය කලාද යත්, ඔහු අද්මිරාල් ස්පිල් බර්ගන් හා සාකච්ඡාවේදී එක් වරක් පවසා සිටියේ, නෙදර්ලන්ත ජාතිකයන් පෘතුගීසීන්ට විරුද්ධව ලංකාවේ බලකොටුවක් තනන්නේ නම්, එම බලකොටුව සදහා ගල් තමන් හා රාජකීය පවුලේ සාමාජිකයින් විසින් තම හිසින් පවා ඇදිමට කැමති බවයි.

අද්මිරාල් ස්පිල් බර්ගන් ගෙන් පසු තවත් නෙදර්ලන්ත අද්මිරාල්වරයෙකු මඩකලපුවට පැමිණි අතර, රජු ඔවුන් මුණ ගැසීමට එම ප්‍රදේශයට ගියේය. එහිදී රජු හා එම තානාපතිවරයා අතර අමනාපයක් ඇතිවූයේ, බීමත්ව සිටි එම තානාපතිවරයා රජුගේ බිසවට අවමාන වන පරිදි යම් ප්‍රකාශයක් කරන ලද බැවින්,

 “මේ බල්ලා බැඳ දමාපල්ලා“ 

යැයි රජු ප්‍රකාශ කර ඇත. මෙහිදී ඇති වූ අරගලයේදී නෙදර්ලන්ත තානාපතිවරයා හා ඔහුගේ 50 ක් පමණ පිරිස රජුගේ නිලධාරීන් අතින් මරුමුවට පත්විය. රජු කලකිරීමට පත්ව ආපසු මහනුවර බලා පිටත් වූ අතර, පිටත්විමට පෙර පහත පණිවිඩය මඩකලපුවේ නැංගුරම්ලා තිබූ, නෙදර්ලන්ත නෞකා වලට යැවීය.
“බීමත් වූ පුද්ගලයන් ප්‍රවේශමෙන් කටයුතු කල යුතුය. දෙවියන් ඔහුට දඬුවම් කර ඇත. නෙදර්ලන්තයට සාමය අවශ්‍ය නම් මම සාමයට කැමතිය. එහෙත් යුද්ධය අවශ්‍ය නම් මම යුද්ධ කරන්නෙමි.“

මෙයින් ටික කලකට පසුව විමලධර්මසූරිය රජු අසනීපයට පත්විය. ඔහුගේ ශරීරයේ තදබල දැවීමක් ඔහුට දැනෙන්නට වූ අතර, මෙය සදහා කොතරම් ප්‍රතිකාර කලද සුවයක් නොවීය. රජුගේ සිරුරෙහි ගිණිගෙන දැවෙන්නාක් මෙන් වූ අපහසුතාවය සමනය කිරීමට, එම රාජ්‍යයේ තිබූ ඉතාමත් ශීතලම ජලය සහිත බදුල්ලේ හල්ග්‍රමන් ඔයෙන් ජලය දිනපතා රැගෙනවිත් ඔහුට පානය කිරීමට සැලැස්වීය. එම ජලය කොතරම් ශීතල වුවත් ඉන් ඔහුගේ අපහසුතාවයට සුවයක් ගෙන දුන්නේ නැත. 

විමලධර්මසූරියරජු 1604 දී මියගිය අතර, ඔහු මියයන විට ‘මහස්ථානේ අදසිය‘ නමින් හැඳින්වූ පුත් කුමරු හා සූරිය අදසිය, කාන්ති අදසිය නමින් දූ කුමරියන් දෙදෙනෙකුද විය. 

එකල විදේශීය ලේඛකයන් විස්තර කරන අන්දමට විමලධර්මසූරිය රජු ඉතාමත් නිර්භීත හා අති දක්ෂ යුධ ශිල්පයෙකු වූ අතර, ඔහු සාමාන්‍ය ප්‍රමාණයට වඩා උස මනාව වැඩුණු තද පැහැයකින් යුත් සිරුරකින් හෙබි පුද්ගලයෙකු විය. තමද ඉතා ගැඹුරු කටහඬකින් සටනේදී අණදුන් ඔහු සැම විටම ප්‍රධාන සටන් පුද්ගලිකවම මෙහෙය වූ බව සඳහන් වේ. විශාල ධන සම්භාරයක් රාජකීය ගබඩාවට එකතු කල ඔහු තම රාජ්‍යයේ මගියන් සදහා අම්බලම් විශාල ගණනක් රාජ්‍යය තුල ඇතිකර ඒවා ඉතා හොදින් නඩත්තු කලේය.

රාජ්‍ය පාලනයේදී ඔහු වැරදි කරුවන්ට ඉතා දැඩි දඩුවම් ලබා දුන් අතර, පාලනයේ හා යුද්ධයේ දක්ෂයන්ට උසස් ත්‍යාග හා තානාන්තර ලබාදීමට අමතක නොකලේය. ඉතාමත් ඉහල පෙලේ පාලකයෙකු වූ ඔහු තම මිතුරන්ට ගෞරව කල අතර, තමා ඇතිකර ගත් ගිවිසුම් හා පොරොන්දු එලෙසම ඉටු කලේය. රාජ්‍ය පාලනය ආගම හා සම්බන්ධ කිරීම අප්‍රිය කල ඔහු තම රාජ්‍ය තුල සියලු ආගම් ඇඳහීම් සදහා පූර්ණ නිදහසක් දී තිබුනේය.

මෙලෙස විදේශීය ආක්‍රමණ වලට විරුද්ධව ශත වර්ෂ ගණනාවක් සටන් කර ලංකාවේ ස්වාධීනත්වය සහ සිංහල රාජ්‍යයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට සීතාවක රාජසිංහ රජු සහ විමලධර්මසූරිය රජු සමත් විය.
විමලධර්මසූරිය රජු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා උසස් ගණයේ රාජ්‍ය පාලකයෙකු වූ බව ඔහු පිළිබඳ සටහන් තබා ඇති විදේශිකයන්ගේ ලිපි ලේඛන වලින් සාක්ෂාත් වේ. 



                                   
                                      

Sunday, March 26, 2017

part 1 -කුරුල්ලන් බැඳි මාලය හෙවත් විජයපාල කුමාරයා part 1






                         Colombo port during Portuguese times 

කන්ද උඩරට කලකට පෙර පාලනය කරන ලද කරල්ලියද්දේ බංඩාර (1551-1581) නම් වූ රජ කෙනෙකුගේ දියණිය වූ කුසුමාසන කුමරිය,තම පිය රජුගේ රාජධානිය සීතාවක රාජසිංහ රජු අල්ලා ගැනීමෙන් අනතුරුව පිය රජු මියගිය හෙයින්, මන්නාරමේ පෟතුගීසීන් යටතේ ඇති දැඩි වූවාය. 

කන්ද උඩරට රාජ්‍ය අල්ලා ගැනීම සදහා එම ප්‍රදේශ වාසීන්ගේ උදව් ලබා ගැනිමට එම රජ පවුලේ කෙනෙකු අවශ්‍ය වූ නිසා, මන්නාරමේ පෟතුගීසි බලකොටුවේ ඇති දැඩි වූ කුසුමාසන කුමරිය පෟතුගීසීන් විසින් මහනුවරට රැගෙන එන ලදි. මෙම කුමරිය සමග කන්ද උඩරට බලය අල්ලා ගැනීමට පැමිණි පෟතුගීසි හමුදා හා මහනුවර විමලධර්මසූරිය රජු අතර බලවත් සටන් පැවතිණ.

 එම සටනින් පෟතුගීසීන් පරාජය කර මහනුවර බලය තහවුරු කර ගත් විමලධර්මසූරිය රජු, පෟතුගීසීන් රැගෙන එන ලද කුසුමාසන දේවිය විවාහ කරගෙන මහනුවර රාජධානිය සදහා තමන්ට ඇති අයිතිය තහවුරු කර ගත්තේය. මුලින් කුසුමාසන දේවිය නම් වූ ඇය පෟතුගීසීන්ගේ ආරක්ෂාවට පත් වූ පසු දෝන කතිරිනා  (පෘතුගීසි හා ස්පාඤ්ඤ ගරු නම්බු ආමන්ත්‍රණයක්) නමින් හැඳින්විණ.

1608 වර්ෂයේ වසර 12 ක රාජ්‍ය කාලයකින් පසු විමලධර්මසූරිය රජු මිය ගියෙන් ඔහුගේ ඥාති සහෝදරයෙකු වූ සෙනරත් කුමරු හා ඌවේ කුමරු අතර කන්ද උඩරට රජකම සදහා තරඟයක් ඇති විය. අවසානයේදී සෙනරත් කුමරු විසින් මහනුවර මහා වාසලදීම ඌවේ කුමරු ඝාතනය කර කන්ද උඩරට රජකම ලබා ගත්තේය.

සෙනරත් රජු රජකමට පත් වීමෙන් පසු, ඔහුට පෙර රජකල විමලධර්මසූරිය රජුගේ බිසව වූ දෝනකතිරිනා දේවිය තම බිසව කර ගත්තේය. මෙලෙස ඇය සෙනරත් රජු හා විවාහ වන විමලධර්මසූරිය රජුගෙන් දෝනකතිරිනා දේවියට දූ කුමරියන් දෙදෙනෙකු සහ පුත් කුමරෙකු සිටියේය. ටික කලකින් මේ කුමරා මිය ගියේය. තම දරුවනට රාජ්‍ය ලබාදීම සදහා විමලධර්මසූරිය රජුගේ පුත් කුමරු වස දී මරා දැම්මේ යැයි ජනතාව අතර සෙනරත් රජු කෙරෙහි අප්‍රසාදයක් ඇති වූ නමුත්, කලකින් එය පහව ගියේය.

දෝනකතිරිනා රැජිනට හා සෙනරත් රජුට කුමාරසිංහ, විජේපාල සහ මහා අස්ථාන යන නමින් පුත් කුමරුන් තිදෙනෙකු වූහ.

බොහෝ කලක් පෟතුගීසීන් යටතේ හැදී වැඩුණු හෙයින්, දෝනකතිරිනා දේවිය ක්‍රිස්තියානි ආගමට හා යුරෝපීය ගති සිරිත් වලට ලැදිකමක් දැක්වූවාය. එහෙයින් තමන්ගේ දරුවන්ටද අධ්‍යාපනයක් ලබාදීම සදහා, ඇය කතෝලික පූජකවරයන්ගේ සේවය ලබා ගැනිමට කටයුතු කලේය. විජේපාල කුමරුන් හට අධ්‍යාපනය ලබා දෙන ලද්දේ ෆ්රැන්සිස්කෝ නෙග්‍රෝවා (The Padre Frey/Francisco Negrao) නමැති පූජකවරයා විසිනි.

මෙම පූජකවරයාගේ ආභාෂයෙන් විජේපාල කුමරු, සිංහල රජකුමරෙකු ලෙස ජීවත් වනවාට වඩා පෟතුගීසි ගතිගුණ සහ හැසිරීම් අගය කරන පෟතුගීසි කුමරෙකු ලෙස ජීවත්වීමට කැමති පුද්ගලයෙකු බවට පත්විය.

මහා අස්ථාන කුමරුන්ගේ යුධ නිපුණතාවය සහ රාජ්‍ය තාන්ත්‍රික දක්ෂතා තේරුම් ගත් සෙනරත් රජු ඔහුගේ රාජධානිය බාලම පුත් කුමරා වන මහා අස්ථාන කුමරු වෙත පවරා දීමට තීරණය කරන ලදි. නමුත් පිය රජුගෙන් පසු රජකම හිමි විය යුත්තේ වැඩිමහල් පුත් කුමරු හටය. තම රාජධානිය වැඩිමහල් පුත් කුමරුට නොපවරා මහා අස්ථාන කුමරුට ලබා දීම සදහා, සෙනරත් රජු උපක්‍රමයක් යෙදූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

මේ අනුව තම රාජධානිය ඌව, මාතලේ  සහ මහනුවර යනුවෙන් කොටස් තුනකට බෙදා, කුමරුන් තිදෙනා හට පවරා දෙන බව  සැල කරන ලදි. රජුගේ අවශ්‍යතාවය වූයේ තම රාජධානියේ අගනුවර වන මහනුවර, මහා අස්ථාන කුමරු හට ලබා දීමටය. ඒ අනුව ඔහු උපක්‍රමයක් යෙදුවේය. එනම් මෙම රාජධානි තුන, කුසපත් ක්‍රමයකට බෙදා දීමට තීරණය කිරීමය. එහිදී පිය රජු විසින් තම බාල පුත් කුමරා හට මහනුවර රාජධානිය යනුවෙන් සඳහන් ඇති කුසපත් ලබා ගන්නා ආකාරය පිළිබද කුසපත් ඇදීමට පෙර රහසේ උපදෙස් දුනි.

ඒ ආකාරයටම වැඩිමහල් කුමරු වූ කුමාරසිංහ කුමරුට ඌවද, විජේපාල කුමරුට මාතලේද, මහා අස්ථාන කුමරුට, රාජධානියේ අගනුවර වූ මහනුවරද ලැබුණි.

කන්ද උඩරට රාජ්‍යයේ යුධ කටයුතු මෙහෙයවීම මෙම කුමරුන් තිදෙනාට බාර වූ අතර, 1630 වර්ෂයේ ඌවේහිදී ඇති වූ මහ සටනකින් එකල ලංකාවේ පෟතුගීසි ජෙනරාල් වරයා වූ කොන්ස්ටන්ටිනෝ නොරන්හා (Constantino de Say Noronha) ඇතුලුව මුලු පෟතුගීසි හමුදාවම සමූල ඝාතනය කිරීමට මේ කුමරුන් තිදෙනාට හැකියාව ලැබුණි.

1634 දී සෙනරත් මිය ගියෙන් රාජ්‍ය  පාලනය කුමරුන් තිදෙනාට භාර විය. කුමාරවරු තිදෙනා මහනුවර රාජ සභාවේ සිට සිය ප්‍රදේශ පාලනය කරමින් සිටියහ. මොවුන් අතරින් වැඩිමහල් කුමරා වූ කුමාරසිංහ කුමරු රාජාභිෂේක කරන ලද අතර, අනික් කුමාරවරු දෙදෙනා ඔහුගේ ප්‍රාදේශීය පාලකයන් ලෙස සැලකිණ. 1634 වර්ෂයේදී ඌව ප්‍රදේශය පාලනය කල කුමාරසිංහ කුමරු මිය ගියේය.

මේ අවස්ථාවේදී මීලඟට ජේෂ්ඨ කුමරු වූ විජේපාල කුමරු අභිෂේක කරනු ලැබිය යුතු වුවද, රාජධානියේ ප්‍රධාන නුවර වූ සෙන්කඩගල පාලනය කල මහා අස්ථාන කුමරු වැඩි බලයකින් යුතු වූ හෙයින්, රාජසිංහ නමින් රාජාභිෂේක ලැබීය. මිය ගිය කුමාරසිංහ කුමරුට අයිති වූ ඌව රාජ්‍යයද මහනුවරට ඈඳා යා කර ගත් රාජසිංහ රජු, කුමාරසිංහ කුමරුට අයිති වූ සියලු වස්තුවද තම සන්තකයට ගෙන, මුදල් පෙට්ටි දෙකක් පමණක් විජේපාල කුමරුට ලබා දුන්නේය.
to be continued..

http://lakshmanillangakoon.blogspot.com/2017/03/blog-post_26.html

The Story of Thomas Moore, the British Coffee Planter

My name is Thomas Moore, and I was born in Sussex, England, the eldest of seven children. My father owned four ships trading with the West I...