Friday, April 20, 2018

කුල බෙදයේ යතාර්ථය




මේ දිනවල බොහෝ දෙනෙකු කුල බේදය ගැන කත කරනු දක්නට ලැබේ. ඇත්තෙන්ම එය ඉතා හොඳ දෙයකි. මෙවැනි සාමාන්‍යයෙන් කතා නොකරන එහෙත් අප සමාජයේ තැනින් තැන විටින් විට නොයෙකුත් අවස්ථාවන්හි මතුවන මෙවැනි කරුණු විවෘතව සාකච්චා වීමම ඒවා සඳහා අත් පිළිගැනිම අඩුකරයි, ඒවායේ ඇති දුෂ්ට බාවය හෙලි කරයි.

අපේ ජාතිය පටන් ගත්තා යැයි කියන විජය කුමරුගේ මෙහි පැමිණීමේදී එම හත්සියයක් පිරිස පිලිබඳ විස්තරයේ කිසිම කුල බෙදීමක් ගැන දක්වා නොමැත. අප ජාතියට කුල හැඳින්වෙන්නේ විජයට දකුණු ඉන්දියාවෙන් රාජ්‍ය වංශයෙන් කුමරියක රැගෙන එන විටය. විජය රජුගේ ඇමැතියන්ගේ රජ කුමරියක සඳහා වූ ඉල්ලීම පිළිගන්නා මදුර පුරා රජු තම දියණිය සහ බොහෝ කුමරියන්ද බොහෝ වස්තුවද 18 කුලයකට අයත් පවුල් සිය ගණනක්ද මෙරටට එවිය.
එහෙත් ඈත අතීතයේ මෙම කුල අනුව බෙදීම ලංකාවේ එතරම් තදින් සමාජගතව තිබූ බවක් මහාවංශයේ නම් පෙනෙන්නට නැත්තේය. 

මට හිතෙන විදිහට මෙම කුල ක්‍රමය සහ ඒ සමග යන ධුරානුක්‍රමය ලංකාවේ පැලපදියම් වන්නට ඇත්තේ මහනුවර යුගයේ බවය. මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසි යටතට පත්වීමත් සමග යුරෝපීයයන් ඉහලම කුලය බවට පත්වන්නට ඇති බවට කිසිම සැකයක් නැත්තේය. ක්‍රිස්තියානි ආගම වැළඳ ගත් ස්වදේශිකයන් ඊළඟ කුලය බවට නිසැකවම පත්වන්නට ඇත. මක්නිසාද පෘතුගීසි ඔවුනට සමාජයේ විශේෂ ස්ථානයක් විවෘත කර දෙන්නට ඇත. ඒ ඔවුන් මෙහි පැමිණි ප්‍රධාන කාරණයක් ලෙස ඔවුන් කියා සිටියේ මෙම මිත්‍යා දෘෂ්ටිකයන්ට හරි මාර්ගය පෙන්වාදීමට බවය. 

මෙයට හොඳම උදාහරණයක් වනුයේ රන්දෙනිගල සටනට පැමිණෙන  ඩි සා  ගේ හමුදාවේ ප්‍රධාන කපිතාන්වරු හතර  දෙනෙකුම කතෝලික එහෙත් සිංහල මිනිසුන් වීමය; දොන් ඇලෙක්සිස්, දොන් බල්තසාර්, දොන් කැස්මුස් සහ දොන් තියෝදොසියස්. කපිතාන් රිබෙරියෝ ගේ විස්තරයෙහි කියන්නේ ඔවුන් හතර දෙනා කොළඹ ක්‍රිස්තියානි පවුල් වලට උපන් දුපතේ ඉහලම එසේම ධනවත්ම පවුල් හතරෙන් පැවත එන බවය.

සංසන්දනාත්මකව කන්ද උඩ පස්රට මේ අතර අවුරුදු ශත වර්ෂ තුනක් පමණ ස්වාධීනව පැවතියේය. මෙම ප්‍රදේශවල පහතරට ප්‍රදේශ වල මෙන් යුරෝපිය බලපෑමක් හෝ පාලනයක් නොතිබුණු බැවින් රටේ ඔවුන් ඒමට පෙර පැවතී කුල ධුරානුක්‍රමය එසේම පවතින්නට ඇත. එසේ පැවතී ධුරානුක්‍රමය පිළිබඳව හොඳම අදහසක් ගත හැකිවනුයේ ඔවුන් අතර ජිවත් වූ එසේම ස්වාධීන නිරීක්ෂකයෙකු විසින් ලියා තබන ලද ලියවිල්ලකින් බව ඇත්තෙන්ම කිවයුතු නොවේ. රොබට් නොක්ස්ගේ නිරීක්ෂණ මෙයට හොඳම උදාහරණය වෙයි.
ඔහුට අනුව කන්ද උඩරට තිබුණු කුල පද්ධතිය පහත පරිදිය.
1

.     ගොවිගම - රජු තම නිලතල සඳහා නිලධාරින් තෝරා ගන්න ප්‍රජාව. මෙම ප්‍රජාව තුල කොටස් දෙකකට බෙදී තිබුනද ඒ විවාහයන් සඳහා පමණි. අනෙක් සියලු දෑ සඳහා ඔවුන් සමාන වුහ. නම්වලින් ඇඳුමෙන් ඔවුන් අනෙක් කුල වලින්  වෙනස්විය. දනිහෙන් පහලට සහ ඉනෙන් උඩට ඇඳුම් අඳින්නට ඉඩ ලැබුනේ මෙම ප්‍රජාවට පමණි.
2.     ශිල්පියයන් - රන්කරු, කම්හල් කරුවන්, වඩුවන් සහ චිත්‍ර ශිල්පියන්
3.     කරනවෑමියන් -
4.     කුම්ලුන් - මැටි වැඩ
5.     රදා - රෙදි සොදන්නන්
6.     හකුරු තනන්නන් -
7.     පදු - සොල්දාදුවන් සහ විශේෂ ශිල්පයක් නොදන්නා කම්කරුවන්
8.     වියන්නන්, බෙර ගසන්නන් සහ හඳහන් ලියන්නන්
9.     පුටු වියන්නන්
10.    කින්නර - බුමුතුරුණු වියන්නන්

 මෙම කුල ක්‍රමය බොහෝවිට යොදාගෙන තිබුනේ යම් ශිල්පයක් සඳහා කුඩාකල සිටම පුහුණුකර ඉහල හැකියාවකින් ඇති වෘතිකයන් බිහිකිරීමට බව පෙනී යයි. මෙවැනි බෙදීම් එකල අවශ්‍ය වුයේ එම අවශ්‍යතාවය උදෙසාය. විශේෂ හැකියාවන් ජානවලින් පමණක් පරම්පරාගත වෙන්නේ යයි ඔවුන් එකල සිතන්නට ඇත. නමුත් මිත්‍යා විශ්වාස බොහෝ විශ්වාස කරන්නන් ලෙසට අප මෙය බොහෝ කාලයක් නිකරුනේ පවත්වා ගෙන ගොස් ඇතිබව පෙනේ.

බටහිර රටවලත් මෙම ක්‍රමය වෙනත් ආකාර වලින් තිබුණි. බොහෝවිට ඒවා හැඳින්වුණේ ගිල්ඩ් නමිනි. නමුත් අවශ්‍යතාවය අවසන් වූ විට එම ක්‍රමවේද ස්වභාවිකව මිය යන්නට ඇරුණි. අපි අනික් හැම දෙයක්ම මෙන් ඉතිහාසයේ එල්ලී සිටිමු.

Thursday, April 19, 2018

FBI අධ්‍යක්ෂක කෝමි සහ නිදහස් අධ්‍යාපනය




මම මේ දිනවල ජනාධිපති ට්‍රම්ප් විසින් මෑතකදී සේවයෙන් ඉවත්කරනලද FBI අධ්‍යක්ෂක කෝමි විසින් ප්‍රකාශිත ඔහුගේ ජිවිත කතාව වන A higher loyalty truth lies and leadership පොත කියවමින් සිටින්නෙමි. ඔහු ඇමෙරිකාවේ පසුගිය ඡන්දය කාලයේ හිලරි ගේ ආරක්‍ෂිත නොවන විද්‍යුත් තැපෑල පාවිච්චි කිරිම පිළිබඳව චන්දය කාලයේ පරීක්ෂණයක් ආරම්භ කිරීම නිසා ඇයගේ ඡන්ද ව්‍යාපාරයට අවාසියක් කලා යැයි චෝදනා ලැබූ අතර ඡන්දය අවසානයේදී ට්‍රම්ප් ගේ ජයග්‍රහණයට රුසියානු මැදිහත් වීමක් සිදුවුයේ දැයි පරීක්ෂාවක් පටන් ගෙන ට්‍රම්ප් කඳවුරද කෝපයට පත් කළේය.

මම තවමත් කියවන්නේ පොතේ මැද හරියය. මෙතෙක් කියවූ කොටස එතරම් රසවත් නොවුවද එහි ඇති සමහර විස්තර ඇමෙරිකානු සාමාන්‍ය ජීවිතය දෙමව්පිය දරු, ගුරු සිසු, සේව්‍ය සේවක සම්බන්ධතා පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්නට පුළුවන.
ඔහු කුඩාකාලයේ ඔහුගේ ගෙදරට හොරෙකු පැනීම, පාසලේදී ඔහුට දඩබ්බර සිසුන් කරදර කිරීම (bullying) , පාසලට යද්දී සවස් කාලයේ සුපර් මාකට් එකක සේවය කරද්දී ඔහු ලැබූ අත්දැකීම්; මෙහිදී ඔහු සේවය කල සුපර් මාකට් එකේ කළමනාකරු ඔහු මෙතෙක් දැක ඇති ඉහලම නායකත්ව ගුණාංග තිබූ පුද්ගලයා බව ඔහු කියයි, ඔහු පසුකලෙක නිව්යෝක් නගරාධිපති වූ සුප්‍රසිද්ධ රුඩි ගුලියානි යටතේ සේවය කිරීම  වැනි බොහෝ සිත්කළු විස්තර මා මෙතෙක් කියවූ කොටසේ අඩංගු වෙයි.

නමුත් මට එම පොත කියවද්දී මේ බ්ලොග් එක ලියන්නට සිතුනේ සම්පුර්ණයෙන්ම වෙනස් හේතුවක් නිසාය. ඒ එහි ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍ය යැයි හැඟෙන අධ්‍යාපනයක් ලබාගැනීමට ඇති හැකියාවයි. ළමයෙකුට අරමුණක් තිබේ නම් අධිශ්ඨානය ඇත්තේ නම් ඔහුට හෝ ඇයට ඒ අවැසි අධ්‍යාපනය සහ පුහුණුව ලබාගත හැකි වීමයි. එවැනි ප්‍රගතිශීලි නිදහස් අධ්‍යාපනයක් ඒ රටවල ඇතිකරන්නට හැකියාවක් අවස්ථාවක්  ඇතිකිරීමට ඒ රජයනට හැකියාවක් ලැබී ඇත්තේ, එවැනි හොඳ දෑ තිබෙනවාට විරුද්ධව පෙළපාලි යන කුහකයන් එම රටවල නොමැති නිසා විය යුතුය.

කතුවරයා කුඩා අවදියේ සිට අරමුණු කරගෙන සිටින්නේ වෛද්‍යවරයෙකු වීමටය. ඔහු මේ සඳහා විලියම් සහ මේරි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස ලියාපදිංචි වන්නේ රසායන විද්‍යාව ප්‍රධාන විෂය ලෙස තෝරාගෙනය. ඔහු දිනෙක විශ්ව විද්‍යාලයේ දැන්වීම් පුවරුවේ ‘මරණය’ යන වචනය සහිත දැන්වීමක් දකී. ඒ නිසා එම දැන්වීම පරීක්ෂා කරන ඔහු එය ප්‍රදර්ශනය කර ඇති ආගම් අධ්‍යයනය අංශයට යයි. එහිදී ඔහු ලොව ආගම් මරණය දෙස බලන ආකාරය ඉගෙන ගැනීමෙන් ඇතිවන උනන්දුව නිසා ආගම් අධ්‍යාපනය ඔහුගේ තවත් ව්ෂයයක් කරගනී. එහි ආචාර්යවරයෙකු බොහෝ වැරදි ඇති ලොව යම් තරමින් හෝ සාධාරණත්වය ඇතිකළ හැක්කේ රාජ්‍ය බලයෙන් බව කියයි. මේ අදහස තදින් හිතට වදින කෝනි රජයේ නීතිඥ වරයෙකු වීමට තරණය කරයි.

දැන් අප රටේ මෙන් ඒ සඳහා බාධාවක් නැත්තේය. ඔහු චිකාගෝ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට බැඳී නිතිය ඉගෙනගෙන නීතිඥයෙකු බවට පත්වෙයි. ඔහු ඔහුගේ දෙවන වසරේදී විනිසුරු වරයෙකුගේ ලිපිකරුවෙකු ලෙස රැකියාවකට ඉල්ලුම් පත් දමා ඉගෙන ගන්නා ගමන්ම රැකියාවද කරයි.

දශකයකට පමණ පසු ඔහු හෙලෙන් ෆහේ නමැති එක්සත් ජනපද ඇටර්නි වරියක් යටතේ සේවය කරයි. ඇයගේ අධ්‍යාපන පසු බිම ඔහුගේ එවන්නටත් වඩා අපුරුය. ඇය තමන්ගේ දරුවන් හදා වඩා ඉන්පසු යතුරු ලේඛිකාවක් වශයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ අවුරුදු 17 ක් සේවය කරන අතරතුර ඉගෙන ගත්තාය. ඇය උසස් පෙළ අධ්‍යාපනය සම්පුර්ණ කර තිබුනේ නැතිමුත් ඇයගේ රැකියා ඉතිහාසයත් ඇතුල්වීමේ විභාගයේ ඉහල ලකුණුත් සලකා බලා ඇයව නීති විද්‍යාලයට ඇතුලත් කරගෙන තිබුණි. ජේම්ස් කෝනි ඇය යටතේ වැඩ කරන කාලයේ ඇය එක ප්‍රාන්තයක රජයේ ප්‍රධානතම නීති නිලධාරිනිය වුවාය.

ඇත්තෙන්ම නිදහස් අධ්‍යාපනය කියන්නේ මෙලෙස තමන් විසින් ඉගෙන ගෙන තමන් කැමති රැකියාවක යෙදීමද එසේත් නැත්නම් රජය විසින් නියම කරන අධ්‍යාපනයක් ලැබ රජයේ රැකියාවක යෙදීමද යන්න අප ගැඹුරින් සාකච්චා කල යුතු කරුණක් නොවේද?       

Friday, April 13, 2018

අග්‍රාන්ඩුකාරවරු සහ පිහිනුම් තටාක





 පෙරේදා  අග්‍රාන්ඩුකාරවරුන් කිහිප දෙනෙකු පත් කෙරින. ඊයේ  මොකක් හෝ පටලැවිල්ලක් නිසා දෙදෙනෙකුගේ පත්වීම් වෙනස්කර නැවත පත් කෙරින. බොහෝ විට යාපනේ දේශපාලකයන් හිටපු අග්‍රාන්ඩුකාරවරයාම  නැවත ඉල්ලා ඇති බවක් බැලූ බැල්මට පෙනේ.
මේ මගෝඩිය ප්‍රවෘති වල බලමින් සිටින විට මට එක්වරම කල්පනා වුයේ මේ අග්‍රාන්ඩුකාරවරුන්ට අප කරන වියදමට රටට, රටේ පුරවැසියනට ඔවුන්  කරන සේවය කුමක්ද කියාය. 
මොවුන් 9 දෙනෙකුට නිවාස, කාර්යාල, සේවකයන්, ආරක්ෂාව, වැටුප් යනාදිය බැලුවිට අඩු තරමින් අවුරුද්දකට මිලියන 50 ක් වත් වියදම් කරන බව නොඅනුමානය. 9 දෙනාට මිලියන 450 ක් එසේත් නැත්නම් බිලියන ½ ක් පමණ වෙයි.

මෙතරම් දුප්පත් ජනතාව වෙසෙන රටක ජනතාවගේ මුදල් මෙතරම් ප්‍රමාණයක් ආයෝජනය කරනවා නම් එම ආයෝජනයට සරිලන සේවයක් ආපසු ජනතාව වෙත ලබාදිය යුතුය. නමුත් මට පෙනෙන විදිහට නම් අග්‍රාන්ඩුකාරයන්ගෙන් කිසිම සේවයක් වන්නේ නැත. මේවයින් ඇත්තටම කෙරෙන්නේ ජනාධිපතිවරයාට තමන්ට උදව්කල එසේත් නැත්නම් තමන්ට යම් කලගුණයක් සලකන්නට තිබෙන කෙනෙකුට දෝත පුරා ෆුල් බෝඩ් තෑග්ගක් ලබාදීමයි. ඇත්තෙන්ම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නම් මේ කිසිම හේතුවක් නොමැතිව අපේ ධනය කාබාසිනියා කරන අග්‍රාන්ඩුකාරවරුන් ඉවත්කිරීමට කටයුතු කිරීමද රටේ අභිවර්ධනයට මහත් පිටුවහලක් වනු ඇත්තේය.

ජලභීතිකාව - අපේ රට ජලයෙන් වටවූ දුපතකි. නමුත් අපි අතිශය බහුතරයකට ජලභිතිකාවක් ඇත්තේය. මම ජීවත්වන්නේ; කුඩාකල සිට ජීවත්වුයේත්, මහවැලි ගඟ අසබඩය. අපි යහළුවන් සමග ගඟට ගොස් නෑමට, විශේෂයෙන් පිහිනන්නට පුරුදුව සිටියෙමු. පැය දෙක තුනක් මෙලෙස සතියකට දෙතුන් වරක් ගඟට යාමටත් ගඟේ දිය කෙලියේ යෙදෙන්නටත් පුරුදුව සිටියෙමි. මම මුලින්ම සිගරට් එකක් බිවෙත් මෙලෙස ගඟේ නාන්නට ගොස් සිටියදී බව මට මතකය.

මට මෙය මතක්වුයේ මේ දවස්වල අවුරුදු උත්සවයන්  ගැන කතාකල අවස්ථාවකදීය. එකල ලේවැල්ලේ පාලම අසල තිබූ අවුරුදු උත්සවයේ ප්‍රධාන අංගයක් වුයේ පිහිනීමේ තරඟයය. නමුත් දැන් එවැනි අංග කෙසේවත් අලුත් අවුරුදු උත්සව වලට ඇතුලත් වන්නේ නැත. මම හිතන පරිදි අප වතුරට බියවී වතුර අමතක කරන්නට උත්සාහ කරමින් සිටින්නාක් මෙන් පෙනේ. නමුත් පාරේ යන්නවුන් සහ වාහන එලවන්නන් ත්‍රාසයට පත්කරමින් කමිස ඉරාගෙන මෝටර් බයිසිකල්වල නැඟී මහපාරේ බයිසිකල් රේස් පවත්වන්නට කිසිදු බියක් නැත්තේය. ඒ සමුහයක් එකතු වුවිට ලැබෙන එඩිතරකම වන්නට පුළුවන.

අපට මෙම ජලයට ඇති අකමැත්ත තිබෙන්නේ බොහෝ කලක සිටය. යුරෝපීයයන් කුඩා නැව් වල නැඟ මේ පැත්තට පැමිණියේ ඔවුන් එලෙස වතුරට නොබියවූ නිසාය. ඔවුන් මේ පැත්තට ආවේ අඩි 100 කටත් අඩුවෙන් දිග කුඩා යුධ නැව් වලිනි. උදාහරණයකට වස්කෝද ගාමා ඉන්දියාවට ඒමට සැදු නැව් කණ්ඩායමේ ඔහුගේ ධජ නැව වූ සාවෝ ගේබ්‍රියල් හි දිග මීටර 26 ක් පමණි. ( නැව් කණ්ඩායමේ පාවිච්චියට කෑම ගණන් හදා තබුනු ආකාරය දුටුවිට එය නොලියා ඉන්නට බැරිවිය. ගමනට එක නැවියෙකුට දෛනිකව ආහාර ගබඩා කෙරුනේ පහත පරිදිය.)
බිස්කට් රාත්තල් 1.5
හරක් මස් රාත්තලක්
ඌරු මස් රාත්තල් 0.5
වතුර බෝතල් 3.75
වයින් බෝතල් 1.85

මෙයට අමතරව පිටි, පරිප්පු, සාඩින්, මිදී, ආමන්ඩ්, සුදු ළුණු, මස්ටාඩ්, ලුණු, මි පැණි, සීනි, අතරමඟදී අල්ලාගත් මාළු සහ දොඩම් මෙයට එකතු විය. (ඇත්තෙන්ම මෙය කියවනවිට පෙනෙන්නේ එකල නැවියන් කෑම පැත්තෙන් නම් හොඳින් බලාගෙන ඇති බවය.)

ඔවුන් පැමිණ අප රටවල් අල්ලා ගත්තහ. නමුත් අප; වරෙක මහනුවර සෙනරත් රජු මහියංගනයේ නැව් සාදා පෘතුගීසින් පරාජය කරන්නට කල උත්සාහය හැරෙන්නට, නැව් හදාගෙන මුහුදට යන්නට කිසිම උත්සාහයක් නොකළෙමු. පුදුමය නම් මෙම උත්සාහය සැහෙන දුරට සාර්ථක වීමෙන් පසුවත් එය අත්හැර දැමීමය.

දැන් නිතරම ජලයේ යටවී බොහෝ පිරිස්; විශේෂයෙන්ම ළමුන් මියයන බවට ප්‍රවෘති අසන්නට ලැබේ. මේ අසන දෙමව්පියන් ළමුන්ට පිහිනන්නට උගන්නන්නට උත්සාහ කරනවා වෙනුවට ඔවුනට ජලය පැත්තකට වත් යන්නට නොදී තබාගන්නට උත්සාහ කරති.

මුහුදු ගමන් ගැන කතා කරන්නට ගියවිට මම මාතෘකාවෙන් පිට පැන්නෙමි. ඒ මාද පෙර නැවියෙකු වී සිටි නිසා විය යුතුය.
කෙසේ වුවද මෙම ලිපියේ අග්‍රාන්ඩුකාරවරු සහ ළමයි ජල රකුසාට ගොදුරු වීම ඇති සම්බන්ධය මෙයයි. අග්‍රාන්ඩුකාර තනතුර ඉවත් කර ඉතිරිවන මුදලින් එක වසරකින් තරමක පිහිනුම් තටාක 150 ක් පමණ පුරවැසියන් සඳහා සාදාගන්නට පුළුවන් බවය. වසරින් වසර ඉතිරිවන මුදලින් තටාක 50 ගනනේ එකතු කරමින් තටාක 500 කට ගෙනෙන්නට පුළුවන. ඉතිරි මුදලින් තටාක නඩත්තු කරන්න පුළුවන. 

අවුරුදු 3 ක් පමණ යනවිට හැම පාසල් ළමයෙකුටම පිහිනන්නට හැකි කරන්නට පුළුවන. එහෙම නැත්නම් විනාඩි 10 ක් පමණ වතුරේ නොගිලී ඉන්නට පුහුණු කරන්නට පුළුවන. මෙලෙස තටාක පද්ධතියක් ඇතිකර දියේ ගිලී සිදුවන මරණ වලින් තරුණ ජිවිත 10 ක් බේරාගන්නට හැකි වන්නේ නම් වයසට ගිය දේශපාලඥයන් 9 දෙනෙකුට සැප දෙනවාට වැඩියෙන් මෙය කොතරම් පුණ්‍ය ක්‍රියාවක්ද ?

Wednesday, April 11, 2018

2020 ගෝඨා සහ 66.8




බොහෝ දෙනෙකු ගෝඨාභය රාජපක්ෂ ගේ 2020 අපේක්ෂකත්වය ගැන කතා කරති. මුලින් මෙය පදනම් විරහිත ඕපාදුපයක් යැයි සිතුවද පසුව මෙතරම් මේ ගැන කතා කිරීමට යම් හේතුවක් තිබිය යුතු යැයි මට සිතුනි. ඇත්තෙන්ම ටිකක් කල්පනාකර බලන විට ඊළඟ චන්දයට SLFP එකෙන් (මෛත්‍රී පිල දැනටමත් දියවී ගොස් ඇති නිසා; a spent foece) එසේත් නැතිනම් එම බල කඳවුරෙන් ඊළඟ ඡන්දය වනවිට ඉදිරිපත් විය යුත්තේ රාජපක්ෂ කෙනෙකි. වෙනත් එසේ ඉදිරිපත් විය හැකි කෙනෙකු ගැන පෙනෙන තෙක් මානයක වත් නොමැත.
මෙසේ ඉදිරිපත් විය හැකි රාජපක්ෂ වරුන් කවරහුද?

චමල් රාජපක්ෂ

ගෝඨාභය රාජපක්ෂ

බැසිල් රාජපක්ෂ

මෙයින් වඩාත්ම කැපී පෙනෙන චරිතයන්ය. මෙයින් සිංහල බෞද්ධ බහුතරයට වඩාත්ම ආකර්ශනීය චරිතය වන්නේ 2 නාය. එලෙස ඔහු මේ බල කඳවුරේ ප්‍රථම තේරීම වන්නට කරුණු කිහිපයක් සාධක වෙයි. ඒවා අතරින් ප්‍රධාන වන්නේ
·       
යුධ ජයග්‍රහණයට මහින්ද රාජපක්ෂට ලැබෙන ජනතා කැමැත්තට වැඩියෙන්ම ලඟින් සිටින්නේ මොහු වීම.

·        යුද්ධයෙන් පසු නගර සංවර්ධනයට ඔහු කල වැඩකටයුතු ගැන ජනතාව තුල ඔහු වෙත ඇති ප්‍රසාදය.

·        මේ දිනවල රටේ තිබෙන රටේ කඩාවැටී ඇති  විනය ඇතිකළ හැකි නායකයෙකු අවශ්‍යය වන්නේය යන මතය.

·        ඔහුගේ හමුදා පසුබිම (මෙය සමහරවිට ඔහුගේ කුරුසය වන්නටත් ඉඩ තිබේ. ඒ බව පසුගිය දින විශ්වාස භංගයේදී සරත් ෆොන්සේකා කල කතාවකින් පැහැදිලි විය.)
·      
  ඔහුගේ නමෙහි ඇති පෞරාණික  බාවය සහ ඕනෑම කෙනෙකුට එය නිතරම අසා  ඇති පුරුද්ද. ඇත්තෙන්ම ගෝඨාභය යන්නෙහි තේරුම ‘කොට අභය’ යන්නය. ගෝඨාභය (309 – 322)  කල  අනුරාධපුරයේ රජකළ මේඝවර්ණාභය  යන රජුට තිබූ අනවර්ථ නාමයකි. ඔහු රජවූ පසු මෙම නාමයේ අපහාසාත්මක බාවය නිසා  ඉතාමත් අකමැති වූ අතර මොහු මින්නේරි දෙවියන් යැයි ප්‍රසිද්ධ මහසෙන් රජුගේ පියාය.

මේ සියලු කරුණු කාරනා සලකා බලන ගමන්ම ලංකාවේ ඕනෑම ඡන්දයකදී  විශේෂයෙන්ම ජනාධිපති ඡන්දයකදී බලපාන තවත් සුවිශේෂිය සාධකයක් අප අමතක නොකළ යුතුය. ඒ අප ජනගහනයේ ඇති සුළු ජාතීන්ගේ සාධකයයි. සුළු ජාතික සාධකය සියලුම ජාතික ඡන්දයන් වලදී බලපායි, එහෙත් එය ජනාධිපති ඡන්දයකදී අතිශය වැදගත් සාධකයක් බවට පත්වෙයි. සුළු ජාතික ඡන්ද වල තිබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ඔවුන් කණ්ඩායම් වශයෙන් ඡන්දය පාවිච්චි කිරීමට බොහෝවිට පෙළඹීමයි.

ලංකාවේ 2011 වසරේ සිටි 1% ට වඩා සිටින  නොයෙකුත් ජාතීන්ගේ සංයුතිය පහත පරිදිය.
සිංහල 74.9
ලාංකික දෙමල 11.15
මුස්ලිම් ජාතිකයන් 9.3
ඉන්දියානු දෙමල 4.12

ඡන්ද දායකයන් ගේ ජන අනුපාතය ද මෙයට ඉතාම කිට්ටුවෙන් සමාන විය යුතුය.
මෙම ප්‍රතිශතයන් අනුව මුලු චන්ද ප්‍රමාණයෙන් 50.1 % ක ප්‍රතිශතයක් ලබාගැනීමට සිංහල ඡන්ද වලින් කුමන ප්‍රතිශතයක් ලබාගත යුතුද? එය 50. x 100/75 වෙයි. මේ අනුව සිංහල ඡන්ද වලින් පමණක් දිනන්නට නම් ලබාගත යුතු ප්‍රතිශතය 66.8% ක් වෙයි.  ඒ කියන්නේ යම් කෙනෙකුට සුළුතර ඡන්ද ලබාගත නොහැකි නම් ඔහුට ජයග්‍රහණය සඳහා සිංහල ඡන්ද වලින් 66.8%ක් වත් ලබාගත යුතු බවය. ඇත්තෙන්ම SLFP කඳවුරේ අපේක්ෂකයාට ඇත්තේ එවැනි තත්වයකි. සාමාන්‍යයෙන් සුළු ජාතික ප්‍රාදේශීය දේශපාලකයෙකු සම්බන්ධවන පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා පහල මැතිවරණයක හැර SLFP කඳවුරට සුළු ජාතික ඡන්ද ලබාගැනීම ඉතාමත් අපහසුය. ඒ ලංකාවේ පක්ෂ ඇතිවූ දා  පටන් ඇති තත්වයකි.

මෙතරම් ඡන්ද ප්‍රතිශතයක් ගෝඨාට ලබාගත හැකිද? SLFP බල කඳවුර වැඩියෙන්ම ඡන්ද ලබාගැනීමට ඉඩ තිබෙන සිංහල බෞද්ධ ග්‍රාමීය නියැදියක් අපට දැන් පරීක්ෂාකළ හැක්කේය. 

ඒ සඳහා සන්නාලි ඇනවුමකට නිර්මාණය කලාක් වැනි දිස්ත්‍රික්කයකි   මොනරාගල දිස්ත්‍රික්කය; එහි  සිංහල බෞද්ධ ප්‍රතිශතය 95%ක් වෙයි. පොහොට්ටුව අවසාන ඡන්දයේදී ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 53.88  කි. මෙයට මෛත්‍රී පිලට ලැබුණු ඡන්ද වලිනුත් 75% ක් එකතු කරමු. එවිට එම මුලු එකතුවෙ ප්‍රතිශතය 61.6 % කි. 2014 පළාත්සභා මැතිවරණයෙන්ද ඔවුන් ලබාගත් ප්‍රතිශතය වන 58.3% ට මෙය එතරම් දුර නැත. එයින් කියවෙන්නේ UNP විරෝධී අපේක්ෂකයාට ඔහුට වඩාත්ම වාසිදායක දිස්ත්‍රික්කයෙන් ලබාගත හැකිවන්නේද අවශ්‍ය ප්‍රමාණයට වඩා 5.2 % අඩුවෙන් බවය.

සාමාන්‍ය සිංහල දිස්ත්‍රික්කවල සාමාන්‍ය අගය මිට වඩා බොහෝ පහල අගයක් ගනී. මෙවර ඡන්දයේ සිංහල දිස්ත්‍රික්ක 14 ක; ඡන්ද දී සුළුතරය හෝ වෙනත් සාධක නිසා  ඡන්ද ප්‍රතිපලය වෙනස්කරන දිස්ත්‍රික්ක අත්හල විට, මෙම සාමාන්‍ය; මෛත්‍රී කණ්ඩායමේ ප්‍රතිශතයෙන් 75%ක්ද එකතු කලවිට, 55.53% කි. මුලු ඡන්ද ප්‍රමාණයෙන් 50.1 % ක් ලබාගැනීමට දැන් අඩුව 11.27 % ක් පමණ වෙයි.

මෙම ප්‍රතිශතය මුලු සුළු ජාතීන්ගේ ප්‍රතිශතයෙන් බාගයක් පමණ වෙයි. එසේනම් ගෝඨා හෝ එම කඳවුරේ අපේක්ෂකයා 2020 ජයගැනීමට නම් මෙවර මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණයට අමතරව සුළු ජාතීන්ගේ ඡන්ද වලින් හරි අඩක් ලබාගත යුතු බව පැහැදිලිය.


මෙය ඔවුනට ලබාගත හැකිද? ලබාගැනීමට ඔවුන් කලයුත්තේ කුමක්ද? ඊළඟ විශ්ලේෂණය 

http://lakshmanillangakoon.blogspot.com/2018/01/blog-post_56.html 

මේ මා විසින් පසුගිය පළාත් සභා ඡන්දය කුමන ප්‍රතිපලයකින් අවසන් වෙ දැයි ලියු අනාවකියයි. මගේ එම අනාවැකිය කොතරම් කිට්ටුවට පැමිණියේදැයි පෙන්වීම සඳහා අන්තර්ගත කලෙමි.


Thursday, April 5, 2018

විස්වාශ භංගයේ ප්‍රතිලාබයන් කවර ආකාරද ?


ඊයේ විශ්වාස භංගය ලංකාවේ රූපවාහිනි නරඹන්නන්ගේ රේටින් බලන රටක් නම් කාලයකට පසු වැඩිම රේටින් වැටුණු වැඩසටහනක් විය යුතුය. බොහෝ විට ඒක පුද්ගලව ඇමරිකාවේ ‘ බිග් බෑන්ග් තියරි (18.5 මිලියන නරඹන්නන් )’ අභිබවා ගියා වන්නට පුළුවන.
මමත් එය සජීවීව පෙන්වන බව දැනගත් පසු දිගටම වාගේ නැරඹුවෙමි. එහිදී කරන ලද නොයෙකුත් කතාවන් සාමාන්‍යයෙන් ලංකාවේ රූපවාහිනියේ තිබෙන බොහෝ වැඩසටහන් වලට වඩා මා සිත ගත්තේය. විශේෂයෙන්ම බොහෝ කථිකයන් කතාවල අන්තර්ගත කල හාස්‍ය රසය කෙනෙකුට මෙම විවාදය කම්මැලිකමකින් තොරව නරඹන්නට පහසු කළේය.
අපට කතාවලදී බාධා කරන්නන් කුමක් කියන්නේදැයි හරියට නොඇසෙන නමුත් සමහර බාධා කරන්නන්ට කදිම පිළිතුරු ලැබුණු බව නම් පෙනුනි.

විවාදය නැරඹීමෙන් යම් සතුටක් ලැබුවද එයින් පමණක් අපි සෑහීමකට පත් නොවිය යුත්තෙමු. දැන් මේ විශ්වාස භංගය අවසන් වී ඇති නිසා එයින් එයට සම්බන්ධ වූ කණ්ඩායම් හා නොයෙකුත් පුද්ගලයන්ට ලැබුණු ප්‍රති ලාභයන්; ධනාත්මක සහ ඍනාත්මක වශයෙන්, කවර ආකාරයේ විශ්ලේෂණය කිරීමද කලයුත්තේ වෙමු. එය සිතින්ම කර ගත්තා නම් පහසුය. එහෙත් මේ තරම් ක්‍රියා දුතයන් (actors) සිටින ක්‍රියාදාමයක ප්‍රතිපලයන් විශ්ලේෂණය කිරීම සිතින් කිරීමට නම් අඩු තරමින් රොකට් විද්‍යාඥයෙකුගේ මොලයක් වත් තිබිය යුතුය. එවැන්නක් ලැබීමට වාසනාවක් නොතිබූ අය කොලයක ලියාගෙන වත් මේ වැඩය කල යුතුය.

1.එක්සත් ජාතික පක්ෂය - විශ්වාස භංගයෙන් වැඩිම වාසියක් ලැබුවේ UNP යයි. මක් නිසාද එමගින්, විශේෂයෙන්ම ලබාගත් ඉහල වැඩි ඡන්ද ප්‍රමාණය නිසා පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ උදව් කරුවන් එක්සත් කර නව පණක් (galvanized) ලබාදුන් බව පෙනුනි. ඡන්දය අවසන් වුනු වහාම ඇසුණු රතිඥ්ඥා හඩින් පෙනුනේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කාලයක පසු රතිඥ්ඥා දැමීමට අවස්ථාවක් ලබා ඇති බවයි. එසේම එකම UNP මන්ත්‍රී කෙනෙක්වත් යෝජනාවට පක්ෂ නොවී තබා ගැනීමද එක්සත් ජාතික පක්ෂය ලැබූ තවත් ජයග්‍රහණයකි.

අවාසි - මෙතරම් ඉහල ජයග්‍රහණයක් නිසා ඔද වැඩි අගමැතිවරයා තමන්ට තවදුරටත් අගමැතිකමේ සහ පක්ෂ නායකත්වයේ රැදී සිටීමටද ඊලග ජනාධිපතිවරණයට ඉල්ලන්නට සැලසුම් කරන්නට ඉඩ තිබේ. මේ නිසා ඔහුට වඩා ලාංකීය ජනතාවට හිතට අල්ලන නායකයෙකු (එවැනි කෙනෙකු සිටින්නේ නම්) පක්ෂය මෙහෙයවීමට  සහ ජනාධිපතිවරණය ඉදිරිපත් වීමට ඉඩ නොලැබෙනු ඇත.

2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) - මෙම ක්‍රියාදාමයේදී ලොකුම පරාජිතයා SLFP එක සහ එහි වර්තමාන නායකයා වන ජනාධිපතිවරාය. ඇත්තෙන්ම මෙයින් මේ කණ්ඩායමට ලැබුණු වාසියක් සොයා ගැනීමට ඉතාමත් අපහසුය. මේ යෝජනාවෙන් එහි මන්ත්‍රීන් ගෙන් කොටසක් යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අතර කොටසක් ඡන්දය නොදී සිටියහ. මෙම අවස්ථාවේ ඡන්දය දීමෙන් වැළකීමෙන් ඇත්තෙන්ම පෙන්වා දෙන්නේ ඔවුන් මෙම යෝජනාවට විරුද්ධ බවය. මෙයින් පසුව ඔවුන් කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට බැඳීමටත් ඉඩ තිබේ. මක් නිසාද ඊලග මහා මැතිවරණයකදී පාර්ලිමේන්තුවට එන්නට කිසියම්ම බලාපොරොත්තුවක් තිබෙන කෙනෙකු SLFP මෛත්‍රී පිලෙන් ඉල්ලන්නට නම් සිතන්නේ වත්  නැති නිසාය.

3.SLPJ පෙරමුණ -   මෙයට ලැබුණු ලොකුම වාසිය ඔවුන්ගේ ප්‍රධාන සතුරෙකු වන SLFP එක අඩපන කර දැමීමය. එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කැඩීමට මෙම යෝජනාව සමත් විය. නමුත් ඒ හැරෙන්නට වෙනත් පෙනෙන වාසියක් නැත්තේය.

අවාසි - තමුන්ට අවසාන පළාත් ඡන්දයෙන් ලෑබි තිබුනු ගෞරවය අඩුවිය. තමන්ගේ ප්‍රධාන විකල්ප පක්ෂය වන unp එකට නව ජීවයක් වක්‍රාකාරයෙන් ලබා දුන්නේය. ඒ අතරම SLFP එකේ ප්‍රධාන දේශපාලකයන් කිහිප දෙනෙකුට  UNP ය හැරෙන්නට වෙන යන්නට තැනක් නැති තැනකට තල්ලු කළේය.

4. JVP - ඔවුනට විශේෂ යමක් මෙයින් සිදුවුයේ නැත. ඔවුනට රතු අලියා වැනි යෙදුම් මගින් UNP එකට ගැතිවී සිටින බවට විරුද්ධ වාදීන් ගේ අවලාද වලින් මෙයට පක්ෂව ඡන්දය දීමෙන් යම් තරමකට හෝ වලක්වා ගැනීමට අවස්තාවක් ඔවුනට ලැබුණි.

5. සුළු ජාතික පක්ෂ - ඔවුනට විශේෂ ප්‍රතිලාභයක් ලැබුණු බවක් පෙනෙන්නට නැති නමුදු යම් හෙට්ටු කිරීම් මගින් ඇමති තනතුරු යනාදියේ වැඩිවීමක් අනාගතයේ ඇතිවීමට ඉඩ තිබේ.

ජනතාව -
1.     එක් එක් පක්ෂවල සිතුම් පැතුම් සහ අදහස් උදහස් කෙටි කාලයක් තුල බලාගැනීමට ඉඩ ලැබුණි.
2.     එසේම සත්‍ය වශයෙන්ම පාර්ලිමේන්තුවේ බල තුලනය කොයි ආකාර වේදැයි බලාගන්නට ලැබුණි.
3.     විශාල බහුතරයකින් පවතින රජය ජයග්‍රහණය කිරීම නිසා රජයේ ස්ථාවර බාවය පිලිබඳ අන්තර්ජාතික සමාගම් අතර විශ්වාසයක් ඇතිවී  FDI යනාදියට හිතකර විය හැක.
4.     ඊලංග මැතිවරණය එන තෙක් දේශපාලන හැල  හැප්පීම් අඩු ව්‍යාපාර යනාදියට හිතකර පරිසරයක් ඇතිවීමට ඉඩ තිබේ.
5.     පාර්ලිමේන්තුවේ ඔලු පලාගැනීම් ආදියෙන් තොරව මෙය අවසන් කරගත් ආකාරය ගැන යම් ලෙසකින් තම නීයෝජිතයන් ගැන කලාතුරකින් සතුටුවීමට අවස්තාවක් ලැබීම.  

Wednesday, April 4, 2018

3 නිව් පොර්ට් නගරයෙන් නිවසක් කුලියට ගැනීම 3




අප ආසියානුවන් දෙදෙනා ; මා සහ මලෙසියානුවා, හැරෙන්නට අප නිවසේ සිටි අනෙක් නිලධාරින් දෙදෙනා අපට නිතර පාඨමාලාවලදී හෝ විදේශ සංචාර වලදී හමුවන රටවල නිලධාරින් නොවුහ.

ඔවුන්ගෙන් එක නිලධාරියෙකු පෝලන්තයේ නාවික හමුදාවේ වූ අතර අනෙකා යුක්රේනයෙන් පැමිණ සිටියේය.  බර්ලින තාප්පය කඩාවැටීමට පෙර නම් ඇමෙරිකාවේ පාටමාලාවකදී මෙම රටවල් දෙකේ හමුදා නිලධාරින් දෙදෙනෙකු මෙසේ මහුවිම දහවල් සිහිනයකදී වත් බලාපොරොත්තු විය හැක්කක් නොවිය. මක් නිසාද මෙම රටවල් දෙකම විශේෂයෙන් යුක්රේනය සෝවියට් රුසියාවේ කොටසක් ලෙස පැවතුන බැවිනි. ඉඳින් ශීතල යුද්ධය කාලයේ සොවියට අණසකයේ පවතින රටවලින් හමුදා නිලධාරින් පහුණුව සඳහා ඔවුන්ගේ පරම සතුරා වෙත කෙසේ පැමිණිය හැක්කේද?
මේ දෙදෙනා අතරින් වඩාත්ම කියන්නට රසවත් දෑ;කියන කාලයේ රසවත් සිදුවන කාලයේ අමිහිරි, යුක්රේන නිලධාරියාටය. ඔහු යුක්රේනයේ සිටියද රුසියාවෙන් එහි පැමිණ පදිංචි වූ රුසියානුවන්ය. මව වෛද්‍ය වරියක ව අතර පියා රජයේ සමුපකාර ගොවිපලක කළමනාකරුවෙකු විය. ඔවුන් වාසය කර ඇත්තේ කාමර දෙකේ නිවාස එකකයකය. එම නිවාස ඒකකයක නිවාස 5ක් තිබුණු අතර නිවාස 5 ටම තිබුනේ එක පොදු කුස්සියක් සහ වැසිකිලියකි. ජීවිතය ඉතාමත් දුෂ්කර වූ අතර තම සමුපාකාර ගොවිපලෙන් ලබාගන්නා නිෂ්පාදන ටිකක් අසල්වැසියන්ට නොදකින්නට ඉතාම දුර බැහැරකට ගොස් විකුණා එයින් අමතර ආදායමක් ලබාගන්නට පියා  පුරුදුව සිටියේය.

අපට ඒ කාලයේ සොවියට් රුසියාව ටයර් කර්මාන්තශාලා පේෂකර්ම යනාදියට විශාල වශයෙන් ආධාර දුන්බව මා ඔහුට පැවසු විට ඔහු පුදුමයට පත්විය. ඔහු කියූ පරිදි රුසියානුවන් එකල අපටත් වඩා දුප්පත්ව සිටිය බව මටද පැහැදිලි විය. සෝවියට් රුසියාව තුන්වෙනි ලෝකයේ රටවලට ඔවුන් බටහිර දෙසට යාම වැලක්වීමට සහ තම බල පරාසයේ තබාගැනීමට තම ජනයාට වඩා  සංසන්දනාත්මකව පහසු ජිවිත ගතකරන රටවලට ඉතාමත් අමාරුවෙන් විශාල ආධාර ලබා දී ඇති බව පෙනේ. මෙයට එම රටවල කොමියුනිස්ට් පක්ෂ වලට සහයෝගය දක්වන්නන්ගේ දරුවනට ලබාදුන් විශ්ව විද්‍යාල ශිෂ්‍යත්වද ඇතුළුවිය. අපි A ලෙවල් කරද්දීද අපේ ගමේ වෘතිය සමිති ක්‍රියා කරුවෙකුගේ දුවක් මෙලෙස ලුමුම්බා විශ්ව විද්‍යාලයට ගිය බව මට මතකය.

මෙම නිලධාරියා නාවික හමුදාවට බැඳී පුහුණුවෙන් පසු ලුතිනන් වරයෙකු ලෙස වරෙක ව්ලෑඩිවස්ටෝක් ප්‍රදේශයට මාරු වීමක් ලැබී ඇත. මෙම ප්‍රදේශය රුසියාවේ චීන සහ උතුරු කොරියාණු දේශසීමා අසල පිහිටි වරාය ප්‍රදේශයක් වන අතර එය රුසියානු පැසිෆික් නෞකා මුළුවේ ස්ථිර වරායද  විය. ඔහු එහි සිටි අද්මිරාල් වරයාගේ ලේකම් වරයා ලෙස පත්වීම ලැබුවද එහි නාවික හමුදාව විසින් ඔහුට නවාතැන් සපයාදී නැත.

ඒ ඔහු එහි සේවය කරද්දී ඉන්දියානු නිලධාරින් පිරිසක් මාස ගණනක් ඔවුන්ගේ පවුල්ද සමග එහි පැමිණ වාසය කිරීම නිසාය. ඒ ඉන්දියාවට රුසියාවෙන් එකල මිලදී ගත් සබ්මැරීන කිහිපයක වැඩ කටයුතු සඳහාය. ඔවුනට ඒ ප්‍රදේශයේ නාවික හමුදාවට තිබූ නේවාසික පහසුකම් දීමට සිදුවූ නිසා බොහෝ කනිෂ්ට නිලධාරින්ට තමන්ගේ කාමර අතහරින්නට සිදුවී ඇත.

ඔහු රාත්‍රියට නිදාගෙන ඇත්තේ එම අද්මිරාල් වරයාගේ කාර්යාලයේ ඔහු දහවලට පාවිච්චි කරන මේසයේය. එහි ශිත කාලයේ උෂ්ණත්වය බොහෝ පහල යන අතර එම කාර්යාලයේ උණුසුම් කිරීමට ක්‍රමයක් තිබී නැත. ටික දිනකින් මෙම නිලධාරියාට කහින  විට ලේ පිටවන්නට පටන්ගත්තේ අධික ශීතල නිසාය. ඔහු දරාගන්නට බැරිම තැන ඒ අසල නගරයේ හෝටලයකින් නවාතැන් ගන්නට බැලුවද ඔහුගේ වැටුපෙන් එය කෙසේවත් කරන්නට නොහැකිය.ඔහු මෙලෙස බලාපොරොත්තු කඩවී  හෝටලෙන් පිටවන්නට යනවිට හෝටලයේ රැකියා ඇබැර්තුවකට දැන්වීමක් දමා තිබෙන බව දිටීය. එහි කියා තිබුනේ එම හෝටලයට දෛනික නඩත්තු කටයුතු සඳහා විදුලි කාර්මිකයෙකු අවශ්‍ය බවය. ඔහුගේ වාසනාවකට මෙන් මොහුට තරමක් නිවෙස් විදුලි කටයුතු ගැන දැනුමක් තිබිණ. නිලධාරියා ඔවුන්ගෙන් තමන්ට වැටුපක් අවශ්‍ය නොවන බවත් නවතින්නට උනුසුම්  කල කාමරයක් ලබාදෙන්නේ නම් තමනට රාත්‍රියේ ඔවුන්ගේ සියලු නඩත්තු කටයුතු කළහැකි බව කියා ඇත. එයට ඔවුන් කැමති වූ නිසා යන්තම ඔහුට ශිත කාලය නොමැරී ජීවත්වන්නට හැකියාව ලැබිණ.

ඔවුන්ගේ සබ්මැරීන ජිවිතයද බොහෝ කටුක විය. ආයුධ සහ අනෙක් උපකරණ මේවායේ තිබුනද කාර්‍ය මණ්ඩල පහසුව සහ ආරක්ෂාව ඉතාමත් කනගාටුදායක විය. ඔහුගේ මිතුරෙකු ඔවුන්ගේ සබ්මැරීනය වරායට පැමිණ තිබියදී ඔහුගේ ඇතිකරන ගිරවෙකු එම සබ්මිරිනය තුලට රැගෙන ගියේය. ටික වෙලාවකින් ගිරවා මියගියේය. ඒ නැව ඇතුලේ තිබූ විකිරණ ශීලි බාවය නිසාය. ඔහු සේවය කල මාස ගණනක් මුහුදු පතුලේ ගතකල  මෙම සබ්මැරින් යාත්‍රාවක් ගොඩබිමට පැමිණි පසු එහි කපිතාන්වරයා එලියට ගැනීමට නැවේ හැච් දොර කපා ඉවත්කර එයට වඩා විශාල කවුළුවක් හදන්නට ඔවුනට සිදුවී ඇත. ඒ කපිතාන් වරයා ඒ මුහුදු සංචාරය තුල එතරම් තරබාරු වී සිටි නිසාය.

තවත් යුක්රේන තොරතුරු ඊළඟ එකෙන් ......

Monday, April 2, 2018

නිව්පෝර්ට් හි නිවසක් කුලියට ගැනීම 2





නිවස තිබුනේ නිව්පොර්ට් නගරයේ ප්‍රධාන වීදියක වූ අතර එහි නිවෙසක තුන්වෙනි තට්ටුවේ එක නිවාස ඒකකයක් ලෙසය. ඉස්තෝප්පුවක්, කුඩා සාලයක්, නිදන කාමර හතරක් සහ කුස්සියකින් නිවාසය  සමන්විත විය.
 මෙය අපට භාරදීමටවත් අයිතිකරු පැමිණියේ නැත. නිවෙස අපට සොයා දුන් බ්‍රෝකර් අපට යතුරු පාසැලට පැමිණ ලබා දුන්නේය. අපි නිවසට හවස ගිය විට නිවසේ අප දුටුවේ සම්පූර්ණයෙන් ගෘහ භාණ්ඩ සහිත එමෙන්ම නොයෙකුත් පොත්පත්, ආහාර ටින් වර්ග, වයින් යනාදී බීම වර්ග, තැන් තැන්වල දමා තිබුනු සැටිය. කුස්සියේද බොහෝ ආහාර කබඩ්වල තිබුණි. අප මේ පිළිබඳව බ්‍රෝකර්ට දැන් වූ විට ඔහු කියා සිටියේ ප්‍රධාන ගෘහ භාණ්ඩ ඇරෙන්නට අනෙක් සියලුම දේ ගැන ඔහුට වගකීමක් නැති බවත්, ඒවා අපට පාවිච්චි කල හැකි බවයි.
නිවසේ නිදන කාමර 4 ක් තිබුනද යාබද නාන කාමර තිබුනේ දෙකකට පමණි. අනෙක් දෙකටම තිබුනේ පොදු එක නාන කාමරයකි. කාමර බෙදා ගැනීමේදී මෙය ප්‍රශ්නයක් වූ බැවින් අපි ලොතරැයියක් ඇද කාමර තෝරා ගත්තෙමු. අවාසනාවට මෙන් නිවස සඳහා හෙට්ටු කිරීමේ කටයුත්තේදී ප්‍රධානියා ලෙස වැඩකළද මට ලැබුනේ පොදු නාන කාමරය පාවිච්චි කල යුතු කාමරයකි; වාසනාව අපට සලකන්නේ මහන්සි වූ ආකාරය ගැන කිසිම තැකීමක් නොමැතිවය.
මමත් මැලේසියානු නිලධාරියාත්, අපේ ආහාර පිළියෙල කරගන්නා ක්‍රම බොහෝ සේ සමාන වූ නිසා; ඔවුනුත් සම්බොල් වලට කියන්නේ සම්බොල්මය - දෙදෙනා එක්ව ආහාර පිළියෙල කර ගත්තෙමු. මට එතරම් සුප ශාස්ත්‍ර හැකියාවක් නොතිබුණු නිසා මම කැපීම් ශුද්ධ කිරීම් යනාදියද ඔහු අවසාන ඉවීමේ කටයුතු ද සිදු කළේය. අප දෙදෙනා මිට අවුරුදු ගණනකට පෙර ඉන්දියාවේ පාටමාලාවක් එකට කරතිබූ නිසා හොඳින් දැනගෙන සිටීමද මෙම ‘ඩිවිෂන් ඔෆ් ලේබර්’ වැඩය කරගෙන යාමට මහත් පිටුවහලක් විය. ඔවුන්ගේ භාෂාවත් අපේ බසට බොහෝ කිට්ටුය. මම හිතන්නේ ඒ දෙබසම ආරම්භ වී ඇත්තේ සංස්කෘත භාෂාවෙන් වීම නිසාය. නමුත් මැලේ භාෂාවේ අපුරු ලක්ෂණ දෙකක් මම හිතන විදිහට ලෝකයේ ඉතාම දුලබ ලක්ෂණයන් විය යුතුය. එයින්  එකක් නම් ඔවුන්ටම කියා අකරාදියක් නොමැති වීමයි. අනෙක නම් බහුවචනයක් පෙන්වන්නේ එකම වචය දෙවරක් ප්‍රකාශ කිරීමෙන් වීමයි. උදාහරණයකට ඔවුන් පොතට බුකු  කියති. පොත් කිහිපයක් නම් බුකු බුකු කියති.
   පෝලන්ත හා යුක්‍රේන ජාතිකයෝ තනි තනිව පිළියෙල කරන ලද ආහාර මිලට ගෙන රත්කර ආහාරයට ගත්හ. මෙලෙස එක් නිවසක ජීවත් වෙද්දී ඒ ලඟක් වනතුරු සෝවියට් දේශයේ ජීවත් වූ යුක්රේන නිලධාරියත් සමග සතුටු සාමීචියේ යෙදෙමින් සිටියදී ඔහු එකල සෝවියට් දේශයේ ජීවිතය පිළිබඳ බොහෝ දේවල් මට කීවේය. ඔහු එකල ඔවුන්ගේ ජීවිතය කොතරම් දුෂ්කර වූයේද, කොතරම් දුප්පත් වූයේද, යැයි කියමින් ඒවා පිළිබඳව දුන් උදාහරණ භයානක සිහින බදු විය. විශේෂයෙන්ම නාවික හමුදා සබ්මැරීන්වල ඔවුන් විඳ ඇති දුක පුදුම සහගතය. (මේ පිලිබඳ වැඩි විස්තර ඊළඟ බ්ලොග් එකෙන්) 
දැන් අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව රටේ ලොකු සාකච්චාවක් ඇති වී ඇති මේ කාලයේ අපට එහිදී සිදු වූ අකරතැබ්බයක් මතකයට එයි. නිවසේ අපද්‍රව්‍ය බැහැර කිරීමට ප්ලාස්ටික්, වීදුරු, යනාදී වශයෙන් වෙන් වෙන්ව වෙනස් වර්ණ මලු වලට දැමීමට නියමිතව තිබුනද, අපි නොදැනුවත් කමින් මෙම බැහැර කිරීම වරද්දා ගෙන තිබිණි. පසුදින මේ සදහා ඩොලර් 50 ක දඩයක් ගෙවන්නට සිදු වූ අතර නැවත වැරැද්දුවහොත් නඩු දමන බවට අනතුරු හැගවීමක්ද ලැබිණ.
අප හරියටම ග්‍රීෂ්ම සෘතුව පටන් ගන්නා දිනය බවට රජයෙන් නිකුත් කර ඇති දිනයේම නිවසින් ඉවත්වී ඉතිරි දින කිහිපය ගත කිරීමට නිලධාරී නිවාසයට ගියෙමු. අපි නිවසින් පිටත්වීමට පෙර බ්‍රෝකර්වරයා නිවසට පැමිණ එහි සෑම තැනම හොඳින් පරීක්ෂා කලේය. ඉන්පසු ඔහු කියා සිටියේ ඔහු එලෙස පැමිණ පරීක්ෂා කලේ අප විසින් අපගේ අනවශ්‍ය බඩු මුට්ටු කිසිවක් නිවසේ දමා යනවාදැයි පරීක්ෂා කිරීමට මිස, තිබුනු බඩු කිසිවක් අප රැගෙන යන බව බැලීමට නොවන බවය.  

ජපානෙත් එහෙමද