Friday, February 28, 2020

රජයේ මහජන කාර්යාලවල අවසානය





ඊයේ මගේ වාහනයේ වාර්ෂික ආදායම් බලපත්‍රය ලබා ගැනීමට නියමිතව ඇත්තේ, මාර්තු මස තුන්වන දිනට පෙර බව නිරීක්ෂණය කළෙමි. ඉන්පසුව රක්ෂණ සහතිකය පරීක්ෂා කරන විට එය දැනටමත් අවසන් වී ඇති බව ත්‍රාසයෙන්  යුතුව නිරීක්ෂණය කළෙමි. මේ අතරතුර කොළඹ පවා ගොස් පැමිණ ඇති බව සිහිවිය.. අමතක වීම දේවගතියක් බව සිතා හිත හදා ගත්තෙමි.

වහාම කුන්ඩසාලයට ගොස් කාබන් පරීක්ෂාව කරගෙන, ඉන්පස්සේ ඒ කිට්ටුවම තිබෙන රක්ෂණ ආයතනයේ කාර්යාලයට ගොස් රක්ෂණයක් කරගෙන ගෙදර ආවේ ඔන්ලයින් වාර්ෂික ආදායම් බලපත්‍රය ලබාගැනීමට අදහස් කරගෙනය.

කිහිප වතාවක් එය කර ගන්නට උත්සාහ කලද ප්‍රශ්න මතු වූ හෙයින්, ඔවුන්ගෙන් දුරකථනයෙන් විමසූ විට දැනගන්නට ලැබුණේ, මේ දවස් කිහිපය එම සයිට් එක වැඩ නොකරන තත්ත්වයක් ඇති බවත්, අද දහවල් 11.00 පමණ වන විට එය යථා තත්ත්වයට පත්වනු ඇති බවත්ය.

කිරි ගහට ඇන්නා සේ එසේම සිදුවිය. මම උදේ 11 ට පමණ වාහනේ වාර්ෂික ආදායම් බලපත්‍රය ඔන්ලයින්ම කර ගත්තෙමි.
මෙලෙස එම කටයුත්ත ඔන්ලයින් කරගන්නට ලැබීමෙන් මට සිදු වු පහසුකම් සිතින් ලැයිස්තු ගත කළෙමි. එසේ කරමින් සිටින අතරතුර මේ සම්බන්ධව කුඩා බ්ලොග් එකකුත් ලියන්නේ  නම් හොඳ යැයිද සිතුනි.

1.  ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට මගේ නිවසේ සිට දුර කිලෝමීටර් අටක් බව මම ගූගල් මැප් එකෙන් සොයා ගත්තෙමි. එසේනම් කිලෝමීටර් 8 ක දුර ගමන් කිරීමෙන් මා බේරී ඇත.
2. ඒ කියන්නේ රුපියල් 200 ක පමණ ඉන්ධන සඳහා වැයවන  මුදල තිරි වී ඇති බවයි.
3. පැය දෙකක් පමණ වෙලාව මට ඉතිරි වුණු අතර, එය යොදාගෙන writer app එකෙන් කෙටි කතාවක් ලියා බ්ලොග් එඅට දම්මෙම්.
4. සාමාන්‍යයෙන් රජයේ කාර්යාලයකට ගිය විට නොයෙක් වැරදි සහ පමාවන් දකින විට, ඇතිවන stress මට ලැබුණේ නැත.

5. වාහනයක් පැය දෙකක පමණ කාලයකට ජාතික ට්‍රැෆික් පද්ධතියෙන් ඉවත් කෙරිණ.


දැන් මෙය ජාතික වශයෙන් ස්කේල් කර බලමු.
ලංකාවේ මුළු වශයෙන් වාහන මිලියන 7.5 ක් තිබේ. ඒ සෑම වාහනයක්ම  ආදායම් බලපත්‍ර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යාමට සාමාන්‍ය වශයෙන් කිලෝමීටර් අටක් දුර යාමට ඇත්තේ යැයි උපකල්පනය කළොත් ඉන් වරදක් නැතැයි සිතේ. එසේ නම් මේ සඳහා වාහන කිලෝමීටර මිලියන හැටක් පමණ වසරකට ගමන් කරනු ඇත. නොයෙකුත් වර්ගයේ වාහන තිබෙන නිසා එය කාර් එකකට average කිරීමට ඒ මිලියන 60 මිලියන 30 කට අඩු කරමු (50%).
ඒ කියන්නෙ මේ මුළු වාහන ප්‍රමාණය මං ඔන්ලයින්  කළෝතින් වසරකට වාහන කිලෝමීටර මිලියන 30ක් පමණ නොදුවා ඉන්නට පුළුවන. එම වාහනයක් ලීටරයකට කිලෝමීටර් දහයක දුරක් කරන්නේ නම්, මේ ජාතියට ඉන්ධන ලීටර් මිලියන තුනක පමණ ඉතිරියකි.

එසේම වසරකට වාහන පැය මිලියන පහළොවක් පමණ ජාතික ට්‍රැෆික් පද්ධතියෙන් ඉවත් වෙයි.

මෙහි අනික් ප්‍රයෝජනය නම් එසේ බලපත්‍ර ලබාගැනීමට යන පිරිස්වල කාලය ඉතිරිවීමයි. ඔවුන් නිවසේ සිට ඒ කාලේ වෙනත් වැඩකට යෙදවීමට පුළුවන.

මෙලෙස මහජනතාව සහ රජය මුණගැසෙන සෑම අවස්ථාවක්ම එය අන්තර්ජාලය තුල සිදුවීමට ඉඩ හැරියොතින්, මිනිසුන් පාරට ඒමේ අවශ්‍යතාවය බොහෝ දුරට අඩු කරන්නට පුළුවන. ( මේ හා සමාන කතාවක් මා විසින් කලකට පෙර පරිවර්තනය කරන ලද අයිසැක් ඇසිමෝව් ගේ naked sun පොතේ තබේ) එසේ අඩු කරගෙන ගියහොත් කාලයක් යනවිට පාරේ මේ තරම් ට්‍රැෆික් ඇතිවීමටත්  අවශ්‍යතාවයක් නොවනු ඇති අතර,ලෝකයට ණය වී අලුතින් පාරවල් හදන්නටත් අවශ්‍යතාවයක් ඇති වන්නේ නැත.

මුණගැසී වැඩ කරන්නට අවශ්‍යතාවයක් නැති වීමෙන් පොඩි පොඩි පගා ගැසීමට නොහැකි වනු ඇති අතර, රාජ්‍ය සේවය මීට වඩා බොහෝ කාර්යක්ෂම වනු ඇත.

මේ සඳහා රජය කළ යුත්තේ මෙවැනි දේවල් කර ගැනීමට ඇප් සාදා ඒවා දුරකථන වලින් කරගැනීමට පහසුකම් සැලසීමයි. ඒ අතර  මෙලෙස අන්තර්ජාලයෙන් වැඩ කර ගැනීම ධෛර්යමත් කිරීමට, යම් රාජ්‍ය සේවයක් කාර්යාලයට ගිහින් හෝ අන්තර්ජාලයෙන් කර ගැනීමට  තීරණය කර ගැනීමේ හැකියාවක් තිබෙන විට, එය අන්තර්ජාලයෙන් කරගන්නේ නම් 10% ක පමණ ගාස්තුව අඩු කරන්නට පුලුවන.

මෙලෙස අන්තර්ජාලයෙන් ඇප් මගින් රාජ්‍ය සේවය කර ගැනීමට පුරවැසියන්ට වැඩි වැඩියෙන් අවකාශ ලබාදී, එය සියයට සියයක්ම තත්ත්වයට පැමිණිය හොත් මේ රට බොහෝ කාර්යක්ශම එසේම බොහෝ හරිත රටක් බවට පත් වනු නොඅනුමානය.

එකම ප්‍රශ්නය, එසේනම් රාජ්‍ය සේවයේ ආර්යාල තිබීමට ඇති අවශ්‍යතාවය කුමක්දැයි යමෙකු ට ප්‍රශ්න කල හැකි වීමයි

කිමිදුම


කිමිදුම

ඔහු උපන්නේ කාවේරි ගඟ හරහා බැඳ ඇති පෞරාණික කරිකාලන් බැම්ම අසල පිහිටි ගමකය. පවුල් 200 කින් පමණ සමන්විත ඒ ගමේ ප්‍රධාන පවුල ලෙස ගම්මුන් විසින්  සලකන ලද්දේ ඔහුගේ පවුලය. ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ ගොඩනඟා ඇති මෙම බැම්ම ගොඩනැගූ කාලයේ සිටම මෙම පවුල මෙහි සිටි බවද, ඔවුන් මෙම බැම්මේ භාරකාරයන් වූ බවද, එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ කාරණයකි.

එහෙත් මේ කාලයේ ඔවුන්ගේ පවුලට වැදගත්කමක් ලැබී ඇත්තේ මේ නිසාම නොවේ. ඒ ඔවුන් දැන් පරම්පරා කිහිපයක සිට මුතු බෙල්ලන් කැඞීම සඳහා කිමිදුම් කරුවන් ලෙස ප්‍රසිද්ධ වී ඇති නිසාය. ඔවුන්ගේ පවුලේ කිමිදුම්කරුවන් සාමාන්‍ය කිමිදුම් කරුවන්ද  නොවේ. නිවෙස අසල පිහිටි ජලාශයේ පතුලේ ඇති මට්ටි ඇහිලිමට පුරුදු වූ නිසා මෙලෙස කිමිදීමේ හැකියාව ඔවුනට ලැබෙන්නට ඇත.

වසර කිහිපයකට වරක් ලංකා දුපතේ  බටහිර වෙරළේ පැවැත්වෙන මුතුපර සඳහා කිමිදීම මාස දෙකක් පමණ කාලයක  කෙරෙද්දී, එහි දක්ෂතම කිමිදුම්කරුවා ලෙස පරම්පරා දෙකක් පමණ දැන් පිළිගෙන ඇත්තේ කල්‍යාණ සාමිගේ පවුලේ අයය.

ඔවුහු කිමිදීම සඳහා දක්ෂ කිමිදුම් කරුවන් පමණක් නොවූ අතර, පෙනුමෙන්ද අනෙක් කිමිදුම්කරුවන්ට වඩා වෙනස් වූහ. දකුණු ඉන්දියාවෙන්, යාපනයෙන් සහ ඒඩනයෙන් පැමිණෙන අතිශය බහුතරයක් වූ කිමිදුම් කරුවන් මෙන්, ඔවුහු සමෙහි වර්ණයෙන් තද කළු පැහැයක් ගත්තේ නැත. ඔවුහු චවි වර්ණයෙන් වඩා සුදු පැහැයට බර වූ අතර, උසින්ද මස්පිඬුවල වැඩීමෙන්ද අනෙක් සාමාන්‍ය කිමිදුම්කරුවන්ට වඩා ප්‍රියමනාප පෙනුමකින් යුක්ත වූහ.

වයස 14 දී තම පියා සමග මුලින්ම මුතු සඳහා කිමිදීමට මරිච්චිකට්ටි වෙරළට ඉන්දියානු ලී බෝට්ටුවකින් ගිය කල්‍යාණ ස්වාමි, ඉන්පසු සෑම මුතු පර සඳහා කිමිදුම් කරන වසරකම ඒ සඳහා ගියේය. ඔවුන්කිමිදුමක් පැවැත්වෙන බව  දැන ගන්නේ  ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ රාමාපුරම් නගරයේ සිටින නෑදෑයෙකු මගිනි. ලංකා දූපතේ මුතු බෙල්ලන් කැඞීම, සිංහල රජවරුන්, පෘතුගීසින් සහ ලන්දේසි විසින් පාලනය කරද්දී, ඒ  පිළිබඳව ආරංචි වූයේ නොයෙකුත් කටකතා සහ රාජ්‍ය නිලධාරීන්ගේ පණිවිඩ මගින් වුවද, ඉංග්‍රීසි කාලයේදී මේ පිළිබඳව පුවත්පත්වල දැන්වීම් පළ කරන්නට යෙදුණි. දැන් මේ පිළිබඳව පැහැදිලිවම විස්තර කර පුවත්පත් දැන්වීම් පළ කරන නිසා, යාපනයේ සිට පර්සියානු බොක්ක දක්වාම මෙම ප්‍රවෘත්තිය ප්‍රසිද්ධ වන අතර, ඒ සෑම ප්‍රදේශයකින්ම කිමිදුම්කරුවන් මේ සඳහා පැමිණෙති.

එසේම පෙර කාලවල ඉතාමත් අපහසුවෙන් තමන්ගේම රුවල් යාත්‍රාවලින් මරිච්චිකට්ටි වෙත ගිය දකුණු ඉන්දියානු කිමිදුම්කරුවන්ට, මෙකල කෙලින්ම මදුරාසියේ සිට බ්‍රිතාන්‍යය දුම් නැවකින් මරිච්චිකට්ටි වෙරළ වෙත යාමට හැකියාව ලැබී තිබේ.

20
වන සියවසේ අවසාන කැඩීම විය හැකි මෙවර මුතු සඳහා කිමිදීමට, කල්‍යාණ ස්වාමි තම ගෝලයා සමග පිටත් වූයේ මදුරාසි වරායෙනි. ඒ ජනවාරි අග බ්‍රිතාන්‍ය සමාගමක්වූ බ්‍රිටිශ් ඉන්ඩියා ස්ටීම් නැවිගේශන්  කොම්පැනියට අයත් කුඩා දුම් නැවකිනි.

ඔහුගේ ගෝලයා පෙනුමෙන් ඔහුට වඩා හාත්පසින්ම වෙනස්ය. ඔවු තම ස්වාමියාට වඩා පැහැයෙන් බොහෝ කලු වූ අතර, මස්පිඬු වලින් පිරුණත් පියකරු පෙනුමක් තිබූ තම ස්වාමියා මෙන් නොව රෞද්‍ර පෙනුමක් ගත්තේය. ඔහු වවාගෙන සිටි ඝන උඩුරැවුල නිසා ඔහුගේ රෞද්‍ර පෙනුම තවතවත් තීව්‍ර විය.

මදුරාසි වරායෙන් පිටවී පැය විසි අටක් පමණ ගත වන විට, ඔවුනට දිවයන අසෙකු මෙන් වූ කුදිරමලේ කන්ද ඈතින් පෙනෙන්නට පටන් ගත්තේය. ඉන් පැය දෙකක් පමණ ගත වන විට මරිච්චිකට්ටි වෙරළට මීටර් 200 ක් පමණ දුරින් නැව නැංගුරම් ලෑවේය. නැව මෙතරම් කිට්ටුවෙන් නැංගුරම් ලෑමට ඔවුන්ට හැකිවූයේ, මේ දිනවල පවතින ඊසානදිග මෝසම් කාලය නිසාය. මේ කාලයේ මුහුදේ කුඩා රැල්ලක් දෙකක් හෝ ඇති වූයේ ඉතාමත් කලාතුරකිනි.

මෙම ගමන පිටත් පිටත්වීමට පෙර ඔවුන්ගේ ගමේ ප්‍රධාන නක්ෂත්‍ර කරුවාගෙන් කරුණු විමසීමක් කිරීම, ගමනේම කොටසක් ලෙස සම්ප්‍රදායක් වී තිබේ. පැය හයක පමණ දේව පූජාව කින් පසුව නක්ෂත්‍රකරු කල්‍යාණ ස්වාමිගේ ජන්ම පත්‍රය කියවා බලා, මුතු කැඩීමටම මුහුදට බහින තෙක් මුහුදට බැස එක්වරම කකුල් දෙකම තෙමා  ගැනීම සුදුසු නොවන බව ඔහුට දන්වා සිටියේය.
නැව නැංගුරම් දමා අවසන් වෙද්දීම නැවේ තට්ටුවට පැමිණ වෙරළ දෙස බලා සිටී කල්‍යාණ ස්වාමී, වෙරළේ සිට නැව දෙස බලා සිටින්නන්ට අමුතුම දර්ශනයක් විය. සුදු පැහැති සරුවාලයක් පමණක් ඇඳ සිටි ඔහු, මුලු ඇඟ පුරාම පොල්තෙල් තවරාගෙන දිලිසෙන සිරුරකින් යුක්තව සිටියේය. නැවෙන් මුහුදට පැමිණෙන පඩිපෙලේ ඉහළ කෙළවරේ හෝ සිටගෙන සිටින විට, වෙරළේ සිටි ඔවුනට ඔහු පෙණුනේ දිව්‍ය ලෝකයෙන් පැමිණි දෙවි කෙනෙකු ලෙසටය. ඔහු වෙත පැමිණි ඔහුගේ ගෝලයා නක්ෂත්‍රකරු ගමේදි දුන් උපදේශය නැවත ඔහුට මතක් කළේය.

ඉන්පසු වෙරළට අත වනා වෙරළෙන් කුඩා හබල් ගාන මාළු බෝට්ටුවක් ගෙන්වා ගත් ඔවුන් දෙදෙනා සෙමින් බෝට්ටුවට නැග ගත්හ. හබල් කරු බෝට්ටුව ගෙනවිත් වෙරළට හැකි තරම් කිට්ටු කර තවත් වැල්ලට යාමට නොහැකි නිසා, කුඩා නැංගුරමක්දා නැවැත්වීය.

මෙලෙස කිමිදීම සඳහා පොල් අතු මඩු වලින් තාවකාලික නගරයක් මරිච්චිකට්ටි කුඩා වෙරළේ සෑදුණු විට, නොයෙකුත් ක්‍රියාකාරකම් සඳහා එතනට එකතු වන හතළිස් දාහක් පමණ වන පිරිසෙන්, හාරදහසක් පමණ කිමිදුම් කරුවන්ය වෙති. මෙම හතළිස් දහසක් වන ජනතාව අතරේ මේ කාලයේ තාරකාවන් වන්නේ කිමිදුම්කරුවන් බව පෙනේ.

ඒ අතරෙනුත් කල්‍යාණ ස්වාමි බොහෝ දිලිසෙන තරුවකි. සාමාන්‍යයෙන් වතුරේ යට කිමිදෙන කිමිදුම් කරුවෙකු විශේෂයෙන්ම ඉන්දියානු හෝ ලාංකික කිමිදුම්කරුවෙකු මුතු කැඩීම සඳහා පතුලට ගිය විට, වතුර තුළ කිමිදිය හැක්කේ විනාඩියකට අඩු කාලයකි. වඩාත් පළල් පපු ඇති අරාබි කිමිදුම්කරුවන් සමහර විට මෙයට වඩා තත්පර දහයක් පහළොවක් පමණ වැඩියෙන් ජලයේ ගත කරති. කල්‍යාණ ස්වාමිට මෙලෙස එම ජනතාව අතරේ විශේෂ පිළිගැනීමක් තිබෙන්නේ, ඔහු ඒ සියලු දෙනාටම වඩා තත්පර 10 ක් වත් වැඩිපුර කිමිදිය හැකි කිමිදුම්කරුවෙකු වීම නිසාය.

ඔවුන් පැමිණෙන දෙස බලා සිටී තුන් හාරසීයක් පමණ වූ මරිච්චිකට්ටි තාවකාලික පුරවැසියනට, අපූරු දර්ශනයක් එතනදී බලා ගන්නට හැකියාව ලැබුණි. බෝට්ටුවෙන් වතුරට බැසගත් ගෝලයා එහි අවර පැත්තෙන් කල්‍යාණ ස්වාමි සිටින ස්ථානයට ගියේය. බෝට්ටුවේ ඔහු සිටින ස්ථානයෙන් පිටතින් හිට ගත්තේය. කල්‍යාණ ස්වාමි බෝට්ටුවේ පැත්තකින් උඩට නැග තම ගෝලයාගේ උරස මත කකුල් දෙක දෙපැත්තට පහලට දමා ගෙන ඉඳ ගත්තේය. දැන් ගෝලයා  හෙමින් හෙමින් වැල්ල පැත්තට ගමන් කරන ආකාරය, වැල්ලේ සිටි සියලු දෙනා සිනාසෙමින් බලා සිටියහ. ගෝලයාගේ උරස මත සිටි කල්‍යාණ ස්වාමීගේ එක් කිහිල්ලක සුදු පැහැති රෙදි කුඩයක්ද අනෙක් අතේ සුදු පැහැති තුවායක් ද  විය.

ඔවුන් මරිච්චිකට්ටි වෙත පැමිණෙන විට එහි පොල් අතු නගරය ගොඩනැගී  අවසන් වී තිබුණි. මහා වීදියේ ගොඩ පැත්තට වන අවසාන හන්දිය අසල, ඒ තමන් වැඩ කරන බෝට්ටුවේ අයිතිකරු විසින් රුපියල් 50 ක් ගෙවා, රජයෙන්  බදු ගෙන, පොල් අතු මඩුවක් සාදා තිබූ ස්ථානයට කල්‍යාණ ස්වාමි සහ ඔහුගේ ගෝලයා  කෙලින්ම ගියහ.

රොටි දෙකක් ආහාරයට ගෙන නින්දට වැටුණේ ඊළඟ දවසේ කිමිඳුම් යාමට තිබෙන නිසාය. පසුදින ඔවුන් වෙරළට යන විටත් කිමිදුම් සඳහා යාමට තිබෙන බෝට්ටු, කඩි ගුලක් සේ මුහුදට යාමට පිළියෙල වෙමින් තිබුණි. විශාල බෝට්ටු තුනකුත්, කුඩා බෝට්ටු හතළිහක් පමණත්, මෙලෙස මුහුදට යාමට සූදානම් වෙමින් තිබුණු බෝට්ටු අතර වූහ.

කල්‍යාණ ස්වාමි සහ ඔහුගේ ගෝලයා සෑම වසරකම මෙන් මුහුදට ගියේ යාපනයේ මුදලාලි කෙනෙකුට අයිති බෝට්ටුවකිනි. එහි කිමිදුම්කරුවන් හත් දෙනෙකු පමණක් සේවය කළ අතර, ඔවුන්ගේ ගෝලයන් හත් දෙනාත්, නැවියන් පස් දෙනෙකුත්, තවත් අත් උදව් කරුවන් හතර පස් දෙනෙක් සිටියහ.

ඉතාමත් නිශ්චල මුහුදේ පය 6 ක පමණ කිමිදුමකින් පසු සියලු කිමිදුම්කරුවන්ට සතුටු විය හැකි මුතු බෙල්ලන් වාරයක් මෙවර උදාවී ඇති බවට සියලු දෙන සතුටු වුහ.

පස්වරු දෙකට පමණ කිමිදුම අවසන් වී , රජයේ බෝට්ටුවේ සිටි තැබූ වෙඩිල්ල ඇසුණු ගමන්ම වගේ, සියලුම යාත්‍රාවන් වහ වහා ගොඩට යාමට පටන් ගත්හ. ගොඩ යාමට මෙහිදී ඇතිවන්නේ තරඟයකි. එයට හේතුව යාත්‍රාවන් රජයේ බෙල්ලන් ගබඩාවට කිට්ටුවෙන් නවතා ගන්නට පුළුවන් වුවහොත්, බෙල්ලන් රජයට බාරදීමට පහසු වීම නිසාය. එසේ නැවතීමට ඉඩ ලැබෙන්නේ යන පිළිවෙළටය. සැම කිමිදුම් කරුවෙකුම ඔහු විසින් ගොඩට ගෙන එන බෙල්ලන් ගෙන් 2/3 ක් රජයේ පංගුව ලෙස ගෙවීමට රජයේ බෙල්ලන් කොටුවට බාරදිය යුතුවීම මෙයට හේතුව විය.

දින කීපයක් මෙසේ කිමිදීම සිදුවෙද්දී, අපූරු ආරංචියක් කඳවුරු පුරා පැතිර ගියේය. ඒ මීට කලින් වසර වල කොළඹ සිට මෙහි පැමිණෙන මුතු මිලදී ගන්නා සුළු මුදලාලි කෙනෙකුගේ වයස 17 ක පමණ පුතෙකු මෙවර පැමින  කිමිදුමේ යෙදෙන අතර, ඔහුට තත්පර සියයකට කිට්ටුව මුහුදු පතුලේ සිටින්නට හැකි බවයි. මෙය පැතිරෙන විගසින්ම කල්‍යාණ ස්වාමිගේ කණටද පැමිණියේය. ඔහු එය නොඇසුණත් මෙන් සිටියද යන සෑම තැනකම කතාබහට ලක්වන නිසා, ඔහුටද මෙම ආරංචිය ගැන හැර වෙනත් දෙයක් ගැන කතා කරන්නට කෙනෙකු සොයා ගැනීමටද නොහැකි විය.

මුතු බෙල්ලන් කැඩීමට, ව්‍යාපාරයට හෝ අතවැසියන් මෙන් පැමිණෙන පුද්ගලයන් පවා තරමක හෝ සූදු කරුවන් වෙති. මේ ගැන හොඳින් දන්නා යාපනෙන් පැමිණි මුතු ව්‍යාපාරිකයෙකු, එක් සවසක රජයේ සාගර ජීව විද්‍යාඥයා වූ  රෙන්ගසාමි මහතා හමුවිය. ඔහු සමග දීර්ග සාකච්චාවකට පසු  තමන්ගේ යෝජනාවට ඉතාමත් අපහසුවෙන් කැමැත්ත ලබා ගත්තේය.

ඒ මෙම අලුත් කිමිදුම්කරුවා සහ දැනට සිටින දක්ෂතම ප්‍රවීණ කිමිදුම්කරු වන කල්‍යාණ ස්වාමි අතරින් වැඩි වේලාවක් මුහුදූ  ජලය තුළ ගත කරන්නේ කවුරුන්දැයි තරඟයක්  පැවැත්වීමටයි. මේ සඳහා රෙන්ගසාමිගේ අනුමැතිය අවශ්‍ය වූයේ ඔහුගේ බාරයේ තිබෙන ,රජයේ පරීක්ෂණ යාත්‍රාව මුතු සදහා කිමිදෙන සෑම අවස්ථාවකම ඒ ඇසෙන පෙනෙන මානයේ තිබීමයි.

එදින රාත්‍රියේ කඳවුර පුරාම කතාබහට ලක් වූයේ මෙම තරඟයයි. කුඩා කාසියේ සිට ලක්ෂ ගණන් මුදල් මෙම තරගයේ ප්‍රතිඵල මත ඔට්ටු දැමීම මුළු රාත්‍රිය පුරාම සිදුවිය. මේ පිළිබඳව කන වැටුණු කඳවුරේ සිටි පොලිස් කරුවන් දෙසීය දෙනාගෙන් එක් කෙනෙකු එහි සාජන් වරයාට මෙම ආරංචිය දන්වන ලදුව, රජයේ ඒජන්තවරයා ගේ කණටද ගියේය. සාමාන්‍යයෙන් ආණ්ඩුකාරවරයාද මුතු කිමිදීම පැවැත්වෙන කාලයේදී මෙම නගරයට පැමිණෙන්නේ වුවද, මෙදින ඔහු එහි සිටියේ නැත. මේ නිසා මෙහි ප්‍රධානියා වශයෙන් සිටි රජයේ ඒජන්තවරයා මෙම පැවැත්වෙන්නට යන තරගය නොදැන සිටින බව පෙන්වීමට තීරණය කළේය. මේ අතරේ තරඟයනට  බොහෝ කැමති ඔහු මෙයට යම් වෙනසක්ද යෝජනා කළේය. ඒ කිමිදුම් තුනක් පවත්වා දෙකක් ජයග්‍රහණය කරන්නා නියම ජයග්‍රහකයා බව ප්‍රකාශ කළ යුතු බවයි.

එදින රාත්‍රියේ භයානක හීනයක් දැක ඇහැරුණු කල්‍යාණ ස්වාමි, තමා ගෝලයත් සමග දකුණු ඉන්දියාවෙන් පැමිණ සිටින තම පවුලේ ළඟම මිත්‍රයකු වූ පූජකවරයෙකු හමුවන්නට ගියේය. කරුණු පැහැදිලි කිරීමෙන් පසුව පැය දෙකක පූජාවක් පැවැත්වූ ඔහු, කල්‍යාණ ස්වාමි ලවා ජලයේ කිමිදෙන විට බරක් ලෙස යොදාගන්නා කැටයම් කළ කළුගල් පෝරුව උඩ පොල්ගෙඩි තුනක් ගසන්නට නියම කළේය. ඒ  තුනෙන් එකක් හෝ හරියට කැඩුණේ නැත්නම් කල්‍යාණ ස්වාමී තරඟයෙන් අනිවාර්තයෙන්ම පරදින බව  ඔහු කියා සිටියේය.

පොල් ගෙඩි තුන පුජකවරයා හතට හා හතරට සස විසි එකට ගනින විට  කල්‍යාණ ස්වාමි අතින්ම ගලේ ගැසුණු අතර, ගෙඩි තුනම ඉතා අලංකාර ලෙස හරි මැදින් බිඳී ගියේය. සියලු දෙනා බොහෝ සතුටට පත්විය.

එදින සාමාන්‍ය කිමිදුම් අවසන් වී තරඟය පැවැත්විණ. දෙදෙනාම එකම බෝට්ටුවකින් කිමිදී මුහුදු පතුලට ගොස් බෙල්ලන් කිහිප දෙනෙකුද රැගෙන මුලින් පැමිණෙන්නා පරාජය වන බවද, මෙලෙස කිමිදුම් තුනක් පවත්වා ඉන් දෙකක් ජයග්‍රහණය කරන්නා ජයග්‍රාහකයා බවත් එතැන සිට සියලු දෙනාට ප්‍රකාශ කෙරිණ.

දෙදෙනාම ජලය මතුපිට බෝට්ටුවේ දෙපැත්තේ සිට තරඟය ඇරඹින. රෙන්ගසාමි මහතා විසිල් එකක් පිඹින විට කිමිදිය යුතු බවට කලින් දන්වා තිබුණි. ඒ වන විටත් කකුල් ගල් පුවරු වලට සවි කරගෙන බෝට්ටුවේ කන්ද අල්ලාගෙන සිටි දෙදෙන, විසිල් එක පිඹින විටම ජලය තුළට ගියහ.

එතැන සිටි කිමිදුම් කරුවන් සහ ඔවුන්ගේ ගෝලයන් අතර ජයග්‍රහණය සඳහා සියයට 90 ක් පමණම ඔට්ටු අල්ලා තිබුණේ කල්‍යාණ ස්වාමි ජයග්‍රහණය කරන බවටය. එහෙත් ඔවුන්ගේ සියලු බලාපොරොත්තු කඩකරමින් විනාඩියක් යාමටත් පෙර කල්‍යාණ ස්වාමි ජලයෙන් මතු විය. ඉන් ටික වේලාවකට පසු තරුණයාද මතුපිටට පැමිණියේය.

ඇත්තෙන්ම කල්‍යාණ ස්වාමි පළමු වෙනි වටයේදී කලින් ගොඩට පැමිණියේ තමන්ගේ හුස්ම ගැනීමේ ශක්තිය මුලින් ආරක්ෂා කරගෙන, ඊළඟ වට දෙකේදී වැඩිපුර පතුලේ සිට ජයග්‍රහණය කිරීමට බව එතැන සිටි බොහෝ දෙනකු සිතූහ. දැන් තරුණයා එක වටයක් ජයග්‍රහණය කර ඇත්තේය. ඔහුට දිනන්නට ඇත්තේ තව එක් වටයක් පමණි. කල්‍යාණ ස්වාමී වට දෙකම ජයග්‍රහණය කළ යුතුය.

දෙවන වටයේදී ගල් පුවරුව සමග පතුලට ගිය කල්‍යාණ ස්වාමී, ගල මුදා හරින්නේ නැතිව තරුණයා ඉහලට යන තෙක් බලා සිටියේය. තත්පර හැත්තෑවක් ගත වෙද්දී තරුණයා ඉහළට යාමට පටන්ගන්නවා  බලා සිටී කල්‍යාණ ස්වාමි, තම ගෝලයාට ලණුව සොලවා ඉහලට අදින ලෙස සංඥා කළේය. අතරමගදී තරුණයා යම් හේතුවකට නවතිනු දුටු කල්‍යාණ ස්වාමි ජලයේ තවත් ටික වෙලාවක් ගත කර, තරුණයා මතුපිටටම ගොස් මතුපිට බිඳෙන තෙක්ම බලා සිට හෙමිහිට ඉහලට ගමන් කළේය.

දෙවන වටයෙන් කල්‍යාණ ස්වාමී මෙලෙස ජයග්‍රහණය කළේය. දැන් දෙදෙනාටම ජයග්‍රහණය කිරීමට ඇත්තේ එක් වටයක් දිනා ගැනීම පමණි.

තෙවන වටය සඳහා පහළට යන විට දෙදෙනාගේම මුහුණුවල බලවත් අධිෂ්ඨානයක් ලකුණු වී තිබෙනු පෙනුනී. පතුලේදී පෙර පරිදිම කල්‍යාණ ස්වාමි තරුණයා ඉහලට යන තෙක්ම බලා සිටියේය. තත්පර හැත්තෑවක් පමණ යද්දී කල්‍යාණ ස්වාමිගේ පැත්තෙන් බුබුළු කිහිපයක් ජලය මතුපිටට පැමිණියේය. ඔහුගේ පැත්තට ඔට්ටු දමා සිටි බොහෝ දෙනකුගේ මුහුණු ශෝකාකූලත්වයට පත්විය.

මුහුදු පතුලේ කල්‍යාණ ස්වාමි බලවත් අපහසුතාවයෙන් තරුණයා දෙස බලා සිටියේය. දහවල නිසාත් අහසේ වලාකුලක් වත් නොතිබුණු මේ ඊසානදිග මෝසමේ මුහුදු පතුල ඉතා පැහැදිලිව තිබුණි.

තවත් තත්පර 10 ක් පමණ යනවිට තරුණයා ටිකක් කලබල වූ ආකාරයක් පෙනෙන්නට පටන් ගත්තේය. ඔහු කකුල් පොළොවට ගස්සා ලණුව දිගේ අඩි දෙක තුනක් ඉහළට ගියේය.

කිමිදුම් කරුවන් දෙදෙනාට  අඩි 50 ක් පමණ දුරින් මිනිසෙකු තරම් දිග රාත්තල් 250 ක් පමණ බර වූ බුල් ෂාක් වර්ගයේ මෝරෙකු මේ සිද්ධිය බොහෝ ඕනෑකමින් බලා සිටියේය. ඔහුට පෙනීම එතරම් හොද මදි වුවත්, ජලයේ ඇතිවන චලන උගේ සමේ  ඇති සංවේදී ඉන්ද්‍රිය  මගින් දැනගැනීමට පුළුවන. ඒ අතරම අනෙක් සතුන්ගෙන් ජලය මුදා හැරෙන කුඩා විදුලි විභවයන් මගින්ද, මෝරුන්ට තමන්ගේ ගොදුරු සොයා ගැනීමට යොදා ගැනේ. තරුණයා ජලයේ මතුපිට අඩි විස්සක් පමණ තිබියදී මෝරා ඔහුට පහරදීමට තම සියලු අංග නාභිගත කර ගත්තේය. ඌ දැන් යුද්ධයකදී සම්පුර්ණයෙන්ම ඇද මුදාහරින්නට ඇති හීයක් සේය.

එහෙත් ඒ එක්කම මෝරාට ඊට ගැඹුරින් තවත් ගොදුරක් පිළිබඳව පණිවුඩ ලැබෙන්නට පටන් ගත්තේය. ගැඹුරේ සිටින ගොදුර වඩා  පහසු නිසා ඔහු ජලය මතුපිටට කිට්ටු ඉලක්කය තම පද්ධතියෙන් ඉවත් කර, ගැඹුරේ සිට  එන සංඥාවන්ට සංවේදී ඉන්ද්‍රිය යොමු කළේය.

එ තරුණයා මතු පිටට යනවා දුටු කල්‍යාණ ස්වාමි ඉහලට ඒමට පටන් ගන්නා විට ලැබුණු සංඥාවන් විය.

කල්‍යාණ ස්වාමි පතුලෙන් අඩි දහයක් පමණ ඉහළට එසවෙන විටම මෝරා ඔහුට පහර දුන්නේය.

ඉතාමත් උනන්දුවෙන් තම වීරයා වතුරෙන් මතුපිටට එන තුරු බලා සිටි ඔහුගේ ආධාරකරුවන්ට, විනාඩියකින් දෙකකින් පමණ ජලය මතුපිටට පැමිණි ලේ පැල්ලම් කිහිපයක් පමණි.

මේ අවුරුදු දහයකට පමණ පසු මරිච්චිකට්ටි මුතු පරයේදී සිදු වූ පහරදීමෙන් පසු මෝරෙකුගේ පළමුවෙනි පහර දීමයි. මීට කලින්ද මෙලෙස පහර දීමට ලක් වූයේ කල්‍යාණ ස්වාමීගේ ජාති සහෝදරයකු වීමද, පසුදිනවල , කිමිදුම්කරුවන් අතර බොහෝ කතාබහට ලක්විය.

කල්‍යාණ ස්වාමිගේ ගෝලයා පසු දින රාත්‍රියේ ඔහුගේ ස්වාමියාට දේව පිහිට සඳහා පූජාවන් කළ කපුරාළ හමුවීමට ගියේය. ජීවිත කාලය පුරාම තමා සේවය කළ තම ස්වාමියාගේ හදිසි වියෝවෙන් ඔහු බොහෝ ශෝකයට පත්ව සිටියේය.

"අර කොල්ලා කිසිම දේව පූජාවක් නැතිව ගිහිල්ලා අන්තිමට තරඟයෙන් ජයග්‍රහණය කළා, ඔහේ පැය ගානක් පූජා පවත්වලා අන්තිමට මගේ ස්වාමියාට මැරුම් කන්නත් සිද්ධ වුණා" ඔහු කඳුළු පුරෝගන ඇස් වලින් කියා සිටියේ තම කලවේ අඹුඩයට යටින්  බැඳගෙන සිටි කිණිස්සේ මිට තදින් අල්ලා ගෙනය.

"
මල්ලි දෙවියන්ගේ වැඩ ගැන කතා කරද්දී ඔය වගේ සරල විදිහට හිතන්නට බැහැ, අපි උන්නාන්සෙගෙන් ඉල්ලුවේ කල්‍යාණ ස්වාමි; උන්නැහැට මෝක්ෂ සුව අත් වෙන්න ඕන, මේ තරඟයෙන් දිනවන්න කියලා, වට තුනෙන් දෙකක්ම උන්නැහැ ජයග්‍රහණය කළා, අපි උන්නැහැ මෝරුන්ගෙන් ආරක්ෂා කරන පූජාව තිබ්බාද, ඩිංගක් ඔය පුංචි මොලේ යොදවලා කල්පනා කරල බලපන්" කපුරාළ හෙමින් එහෙත් බලවත් ලෙස කීවේය.

ගෝලයා ටික වේලාවක් කල්පනා කළේය. කපුරාළ කියන එකෙත් වැරැද්දක් නැත. ඔහු ආපසු වාඩියට ගියේය.






ජපානෙත් එහෙමද