Showing posts with label random thoughts. Show all posts
Showing posts with label random thoughts. Show all posts

Monday, July 31, 2017

සමුපාකාර ක්‍රමයේ මගේ අන්තිම ඇනය





සමුපාකාර ක්‍රමය ගැන ලංකාවේ මගේ පරම්පරාවේ අයට බොහෝ කටුක අත්දැකීම් තිබේ. 70 බලයට පත්වුන සමගි පෙරමුණ රජය විසින් ඇතිවුන පෝලිම් යුගයේ නයිලෙක්ස් සාරී සහ නන් අයන් කලිසම් රෙදි ලොතරැයි දමා විකුනව්වේ ගමේ සමුපකාරයේදීය. පෞද්ගලික බසුත් තිබ්බේ නැති ඒ කාලේ ගමක හිටපු ලොකුම කෙරුමන් තිදෙනා සමුපාකාර මැනේජර්, ලංගම ඩ්‍රයිවර් සහ ගමේ බේකරි මුදලාලිය. බේකරි මුදලාලි මේකට අයිති වුයේ එක් පුද්ගලයෙකුට පාන් කාල බැගින් වූ පාන් සලාකය නිසාය. අප කුඩා කල සියලු දනා බොහෝ ආසාවෙන් කියවූ රිවිරැස පත්‍රයේ පළවූ චන්ද්‍ර අනගිරත්නගේ නරලොව හොල්මන් විශේෂාන්ගයේ වරක් කියූ පරිධි එකල වැඩියෙන්ම දැවැද්ද ලබාගත හැකි පුද්ගලයා වුයේද සමුපකාර මැනේජර් වරයාය; අප කුඩා කාලයේ විවාහ වන විට මනමාලියගේ දෙමව්පියන් දෙන තෑග්ග දැවැද්ද ලෙස හැඳින්වින.
චන්ද්‍ර අනගිරත්න මහතා; මෙතැනදී නොලිය බැරිය, මා හිතනා විදිහට ලංකාවේ ඉතාමත් අඩුවෙන් අගයකල ලියන්නෙකි. ඔහුගේ හාස්‍ය ලියවිලි වලට කිට්ටුවෙන් වත් යා හැකි ලියවිලි; එකක් දෙකක් හැරෙන්නට, මා නම් දැක නැත.
ගිනි පෙනෙල්ලෙන් බැට කෑ එකා කනාමැදිරියාටත් බිය විය යුතුය. නමුත් මා එසේ බිය නොවී මගේ ටෙනිස් ක්ලබ් එකේ මිතුරෙකු කී නිසා සමුපාකාර ඉන්ෂුවරන්ස් එකෙන් වාහනයට ඉන්ෂුවරන්ස් එකක් දමා ගතිමි.
සමුපාකාර ඉන්ෂුවරන්ස් යාමට ප්‍රධාන හේතුවක් වුයේ වාරිකයේ වටිනාකමයි. මුල් අවුරුද්දේ රුපියල් ලක්ෂයකට වැඩි වූ වාරිකය මේ සමුපාකාර ඉන්ෂුවරන්ස් එකේ රුපියල් 60,000 ක් පමණ වූ අතර මමත් ඉතා සතුටින් මේ සදහා එකග වීමි.
මගේ වාහනය ගෙදර නවත්තන්නේ නිවස පිටුපස නිවස සහ මෙවලම් මඩුව අතර තිබෙන අවකාශයේය. නමුත් එහි වහලයක් තිබෙන කොටසේ තවත් වාහනයක් තිබුන නිසා මම ගමනක් ගොස් ඇවිත් වාහනය පොඩ්ඩක් ඉදිරියෙන් නැවැත්තුවෙමි.  ටික වෙලාවකින් ඉඩවරයට වැටෙන කුරුම්බා ගෙඩියක් මඩුවේ වහලය මතට වැටී රෝල් වී කාරයේ වහලය මතට වැටී එහි කුඩා වලක් වැනි එබුමක් ඇතිවිය.
මේ පිළිබඳව හොට්  ලයින් එකට කතාකර දැන්වූ පසු පය කිහිපයකින් නිලධාරියෙකු පැමිණ පොටෝ ආදිය රැගෙන ගිය අතර තව පය දෙකකින් පමණ පැමිණි තක්සේරුකරු පෝරමයක් පිටපත් තුනකින් පුරවාදී එකක් මට තබාගෙන එකක් මා තෝරාගන්නා ගරාජයකට දෙන ලෙසට දන්වා ගියේය. ඔවුන් බොහෝ මිත්‍රශීලි වූ නිසා මම ඉතා සතුටට පත්වුනෙමි.
මම වාහනය මගේ මිතුරෙකුට අයත් ගරාජයකට ගෙනගියත් එහි පුලර් එකක් නොමැති නිසා නවීන උපකරණ සහිත ගරාජයකට යෑමට සිදුවිය. ඔවුන් වැඩය  බාරගෙන, නිමාකිරීමට  දවස් 3ක් පමණ ගතවෙයි කිවත් මට දවස් දෙකකින් ඔවුන් දන්වා සිටියේ වහනය සාදා අවසන් අතර එය ඉන්ෂුවරස් එකෙන්ද පැමිණ පරික්ෂා කර ඇති අතර මගේ කොපිය ඉන්ෂුරන්ස් එකේ කාර්යාලයට බාරදී වාහනය නිදහස් කරගත යුතු බවය.
මම ගෝලයකු අතේ සියලු ලියකියවිලි නුවර කාර්යාලයට යැව්වෙමි. ඒ සියල්ල බාරගෙන එම කාර්යාලයේ අයකු මට දුරකථන ඇමතුමක් දී කියා සිටියේ ; එදා බ්‍රහස්පතිදා විය, සිකුරාදා හෝ අපහසුම වුවහොත් සඳුදා වාහනය ලබාදෙන බවයි. එසේ කතාකරගත්තේ වුවද මගේ ලියකියවිලි රැගෙන ගිය තැනැත්තාට දුරකථන අංකයක් දී කියා තිබුනේ ඒ අංකයට සඳුදා 10 ට පමණ කෝල් එකක් දෙන ලෙසය. අද සඳුදා 10 සිට 12 වෙනතුරු ඒ අංකයට කෝල් 3/4 දුන්නෙමි. උස්සන්නේ නැත. ඉන්පසු මම නැවත හොට් ලයින් එකට කෝල් එකක් දී නුවර කාර්යාලයේ අංකය ඉල්ලා ගත්තෙමි. එයට කතාකර විස්තරය කීවෙමි. ඒ මට සඳුදා කථා කිරීමට උපදෙස් දී ඇති පුද්ගලයා අද නිවාඩු බව මට දැන්වින.
ටික වෙලාවක සාකච්චාවකින් පසුව මගේ ඉන්ෂුවරන්ස් එක ලියාපදිංචි කර ඇත්තේ මාලබේ කාර්යාලයේ බවත් මා වාහනය නිදහස් කරගැනීමේ කටයුත්ත සිදු කර ගත යුත්තේ එහෙන් බවත් දැන්වින. දැන් මෙය කියන්නේ දවස් හතරකට පසු සඳුදාය. මම කිසි දින මාලබේ කාර්යාලයට ගොස් නොමැති බවත් එය කලේ මහනුවර කාර්යාලයට පැමිණ බවත් මා කිහිපවරක් කියා සිටියත් හරි ගියේ නොමැති අතර ටික වෙලාවකින් මට මාලබේ කාර්යාලයෙන් කෝල් එකක් ලැබිණ.
මගේ ඉන්ෂුවරන්ස්  එක මාලබෙන් කෙරී ඇති බවත් වාහන නිදහස් කර ගැනීම ඔවුන් විසින් කරනු ඇති බවත් කී ඔවුහු මා දැන් ඔවුන්ගෙන් නිදහස් කිරීම කරගත යුතු බවත් කියා සිටියහ. මම එසේ කරන ලෙස ඉල්ලා සිටියෙමි.ඒ සඳහා මා ඔවුනට ලිපියක් දියයුතු බව ඔවුහු කියුහ. මම නුවර සිටින නිසා email එකක් එවීමට ඔවුන්ගේ විද්‍යුත් ලිපිනය ඉල්ලා සිටියෙමි. එය ලැබිණ . ලිපිය යවා ලැබුනාදැයි දැන  ගැනීමට නැවත කෝල් කලෙමි. ඔවුන්ගේ email වැඩ නොකරන බව කියා ටික වෙලාවකට පසු මා කරදර කල නිසා මට පුද්ගලික email ලිපිනයක් ලැබිණ.
මම එයත් යවා කෝකටත් නැවත කෝල් එකක් දුන්නෙමි. හොඳම පණිවුඩය දුන්නේ එවිටය. ” ඔබගේ වාහනය නිදහස් කරන්නට කොහොමත් තව දවස් 4ක් 5ක් යයි.” එවිට වාහනය හදා අවසන් යයි ගරාජය දන්වා සතියක් පමණ වෙයි .

ගිණි පෙනෙල්ලෙන් බැට කැ මිනිහා කනාමැදිරියාට බය නැති වීමේ විපාක මේවාය.

Wednesday, June 21, 2017

මිරිස් සහ මිරිස් සැර මාපකය.




                            Carolina reaper
මට පසුගිය සතියේ මිරිස් ගැන සොයන්නට අදහසක් ඇතිවුනේ මා දන්නා කිහිප දෙනෙකු නයි මිරිස් වවන්නට පටන් ගෙන ඇති නිසාය. මම හොදින් දන්නා විශ්‍රාමලත් ඉංජිනේරුවරයෙකු ඔහුගේ ගෙවත්තේ නයි මිරිස් වවා කිලෝ එක රුපියල් 500 ගණනේ කඩේකට විකිණීමටද පටන් ගෙන ඇත. එය දැක අපිත් අපේ ගෙවත්තේ නයි මිරිස් වවා දැන් කෑමට යොදා ගන්නෙමු. මීට පෙර අපි නයි මිරිස් මිලයට ගත්තේ ග්‍රෑම් 100 රුපියල් 100 ගණනේය.  

මිරිස් ලෝකයට හදුන්වා දුන්නේ ඇමරිකානු මහාද්වීපය යැයි කියනු ලැබේ. ඒ යුරෝපීයන් ඇමරිකාවට යාමට බොහෝ කලකට පෙරය. මෙයට අවුරුදු 10,000 කට පමණ පෙරය. මිරිස් කැලයේ ගොවිපලවල ගෙනෙන්නට  පටන් ගෙන ඇත්තේ මෙයට අවුරුදු 6000 කට පමණ පෙර මැක්සිකෝවේදීය. 

මිරිස් ගස මුලින්ම දැකපු යුරෝපීයයෙකු වන්නේ ක්‍රිස්ටෝපර් කොළොම්බස්ය. ඔවුන් මිරිස් යුරෝපයට ගෙනවිත් ක්‍රිස්තියානි ආශ්‍රමවල වැව් පසු මිරිස් ගම්මිරිස් වෙනුවට ආහාර වලට යෙදිය හැකි කුලුබඩුවක් බව ඔවුනට පැහැදිලි විය. මෙය ඉතා වැදගත් සොයා ගැනීමක් වූයේ එකල ඉන්දියානු අර්ධද්වීපයෙන් යුරෝපයට රැගෙන ගිය ගම්මිරිස් කොතරම් මිළ අධික වූයේද යත් සමහර රටවල ගම්මිරිස් ඇට මුදල් ලෙස භාවිත වීම නිසාය. 

15 වන ශතවර්ෂයේ අප ප්‍රදේශ වලට පැමිණි පෘතුගීසීන් මගින් මිරිස් අපට ලැබුනේ යැයි සාමාන්‍ය බටහිර ලියකියවිලි වල සදහන් වෙයි. එහෙත්  මහා වංශයේ 26 පරිච්ඡේදයේ ලිය වී ඇති පරිදි මිරිසවැටිය චෛත්‍යය  දුටුගැමුණු රජතුමා  අභිෂේක උත්සවයෙන් පසු ජල ක්‍රීඩා සදහා තිසා වැවට ගොස් ජල ක්‍රීඩා අවසන ඔහුගේ කුන්තායුධය ආපසු ගැනීමට යන විට එය ගැනීමට අපහසු ලෙස පොලවට තද වී තිබුනු නිසා එය මැදිකර වෙහෙරක් සාදා, 

“වහන්ස! සංඝයා සිහි නොකොට මිරිස් කරලක් අනුභව කලෙමි. ඊට දඩුවම් වශයෙන් මෙම චෛත්‍යය ඉදි කලෙමි. මෙය පිලිගනු මැනව,“ යැයි පවසා එය සංඝයාට පූජා කල බවද පැවසේ. 

එසේ එකල මිරිස් ලංකාවේ භාවිතයේ තිබුනේ නම් ඇමරිකානු මහාද්වීපයෙන් මිරිස් සොයා ගත් යුරෝපීයයන් ආසියාවේ ඉන්දියාවට සහ අපට මිරිස් හදුන්වා දුන් බව කීම නිවැරදි නොවේ. 

අනෙක් අතට අපේ පැරණි ජනකතා ආදියේ මිරිස් ගැන එතරම් සදහන් වන්නේ නැත. මෙතරම් අපූරු බලයක් සහිත ආහාර වර්ගයක් උපමා කතා ආදියෙහි බොහෝ තැන්හි සදහන් විය යුතුය. එහෙත් අපට එවැනි මිරිස් පිළිබඳ කතාවන් අපේ ඉතිහාස කතාවල අසන්නට නොලැබේ. ඇත්තෙන්ම අපට මිරිස් ලැබුනේ පෘතුගීසි ගෙන් වත්ද? මහා වංශයේ සදහන් වන මිරිස් කරල පරිවර්තනයේ යම් වැරැද්දක් වත්ද? 

ඒ මිරිස් කරලේ ඉතිහාසයයි. විද්‍යාත්මකව මිරිස් කෑ විට අපට දන හැඟීමක් දැනෙන්නේ මිරිස් වල ඇති කැප්සයිසින් නැමැති රසායනික ද්‍රව්‍යයක් නිසාය. මෙම රසායනික ද්‍රව්‍යය අපේ ඇගෙහි, විශේෂයෙන් දිවෙහි ගෑවුනු විට තාපය අධික වූ විට මොලයට පණිවිඩ යවන සෛල හා බැඳේ. මෙවිට එම සෛල මොලයට අධික තාපයක් ශරීරයේ එම ප්‍රදේශයට ලැබෙන බවට පණිවිඩ යවයි. මෙම පණිවිඩයට මොලය ප්‍රතිචාර දක්වන්නේ සාමාන්‍ය අධික තාපයක් දැනුනු විට ප්‍රතිචාර දැක්වෙන ආකාරයට හඳවතේ ගැස්ම, දහඩිය ගැලීම වැඩි කිරිමෙනි. මිරිස් කෑමට පුරුදු වන හිතට සතුට ලබාදෙන එන්ඩෝර්පින් නැමැති රසායනික ද්‍රව්‍යයට මොලයෙන් ස්‍රාවයක වන බව කියනු ලැබේ. එසේ යමක් තිබිය යුතුය, මක් නිසාද එසේ යම් සතුටක් ගෙන දෙන්නේ නැත්නම් මිරිස් වලට මෙතරම් මිනිසුන් ඇබ්බැහි වීමට හේතුවක් නැති නිසාය. 

දැන් මිරිස් වල සැර මනින්ට ඒකකයක්ද තිබේ. එය ස්කොවිල් සැර මාපකය (SHU) නමින් හැදින්වේ. පිරිසිදු කැප්සයිසින් වල ස්කොවිල් අගය මිලියන 16 ක් වෙයි. 

බෙල් පෙපර් හි එම අගය 0 කි. ලෝකයේ වැඩිම සැර මිරිස් වර්ගය ඇමරිකාවේ වැවෙන කැරොලිනා රීපර් (අපේ නයි මිරිස් මෙන් පෙනුම ඇති) ලෙස හැදින්වේ. එහි ස්කොවිල් අගය මිලියන 2.2 කි. සාමාන්‍ය මිරිස් කරලක එම අගය 0 සිට ස්කොවිල් 70,000 දක්වා පවතී. ඒ කියන්නේ කැරොලිනා රීපර් මිරිස් අප දන්නා සැර අධිකම මිරිස් කරලකටම වඩා 30 ගුනයක් තරම සැර බවය. ඉන්දියාවේත් බූට් ජොලොකියා නමින් ස්කොවිල් මිලියන 1.58 ක මිරිස් වර්ගයක් ඇත. 

මිරිස් ආර්ථික වශයෙන් බැලූ විට ප්‍රධාන නොවූවද සමහර රටවලට බොහෝ ආදායම් ගෙන දෙයි. ඉන්දියාව, චීනය, ස්පාඤ්ඤය, මෙක්සිකෝව, පකිස්තානය, මොරොක්කෝව සහ තුර්කිය පිලිවෙලින් ලෝකයේ වැඩියෙන්ම මිරිස් අපනයනය කරන්නන්ය. ඉන්දියාව සහ චීනය මුලු වෙළඳපොලෙන් 50% ක් අත්කරගෙන සිටී. අප අනෙක් පැත්තෙන් මිරිස් ආනයනය කරන රටක් වීම පුදුම සහගතය.           

Monday, June 5, 2017

නාය යාමෙන් ජීවිත බේරාගත හැකි නිසැක ක්‍රමය.



අපේ ලංකාවේ නිතරම ගං වතුර ඇති වේ. ඒ බොහෝ ගං වතුර ඇතිවන අවස්ථාවල වැඩිපුර ජීවිත හානි වන්නේ ගං වතුර නිසා නොව අධික වැසි නිසා ඇතිවන නාය යෑම් වලින් බව පෙනේ.  

නාය යෑමක් යනු පස් කන්දක් හෝ ලොකු ගල් පර්වතයක් කඳු සහිත ප්‍රදේශයකින් ඇදවැටීම හෝ පහලට කඩාගෙන යාමය. මෙතෙක් ලෝක ඉතිහාසයේ දරුණුම නාය යෑම සිදු වී ඇත්තේ චීනයේ නින්ග්සියා ප්‍රදේශයේ 1920 දීය. එහිදී මිය ගිය ගණන ලක්ෂයකට අධිකය. ඊලගට 1999 වෙනින්සියුලාවේ වර්ගාස් ප්‍රදේශයේ 30,000 ක් මිය යෑම දෙවෙනි තැනට එයි. මෑතකදීම සිදු වූ මෙවැනි ඛේදවාචකය ඉන්දියාවේ 2013 උත්තරාකාන්ඩ් ප්‍රාන්තයේ 5700 ක් මෙලෙස මිය යාමය. 

දැන් අතුරුදහන් වී ඇතැයි කියන 75 ක් පමණ අපේ ජනයා හා මියගිය 202 න් ගං වතුරෙන් මිය ගිය ගණන 20 ක් පමන වන්නේ යැයි අනුමාන කල හැක්කේය. 250 ක් පමන මිය යන්නට ඇත්තේ නාය යෑම් වලින් බව පෙනී යයි. මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ගං වතුර ක්‍රමයෙන් වැඩි වන්නේ වුවත්, නාය යෑම් ක්ෂණිකව සිදුවන නිසාත් නිවසක් ඇතුලත සිටියදී නිවස නාය ගියහොත් නිවස පසට යටවීමය. 

මේ අනුව බලන විට ගං වතුරෙන් වන හානිය වැඩි වශයෙන් සිදු වන්නේ දේපලවලටය. නායයෑම් වලින් වැඩි හානියක් සිදු වන්නේ ජීවිත වලටය. ගං වතුර වලක්වන්නට නොයෙකුත් ක්‍රම තිබේ. එක් ක්‍රමයක් නම් යම් ජල පහරක ගං වතුර මට්ටමෙන් ඔබ්බට යාමට පෙර ඒ ජලය එම ජල මාර්ගයෙන් ඉවත් කර වෙනත් ජලය අඩු ජල මාර්ගයකට ගෙන යාම ගං වතුර අඩු කිරීමයි.

 ලංකාව වැනි කුඩා එමෙන්ම වර්ෂාපතනය නියමිත කාලයකට ලැබෙන මධ්‍යම කඳුකරයෙන් සියලුම ප්‍රධාන ජල පහර ගලා බසින රටක් භූගෝලීය වශයෙන් මෙවැනි ඉංජිනේරුමය ව්‍යාපෘතියකට සැලසුම් සහගතව භූගෝලීය වශයෙන් නිර්මාණය කර ඇති රටක් වැනිය. තරමක ආයෝජනයක් අවශ්‍ය වුවද මෙවැනි ව්‍යාපෘතියක් කිරීමෙන් ගං වතුර වැලැක්වීමට අමතරව තවත් බොහෝ ප්‍රයෝජන ලබාගත හැක්කේය. අවශය වන්නේ එඩිතර එමෙන්ම ඉංජිනේරුමය දැක්මක් ඇති නායකයෙකුය. 

අනෙක් පැත්තෙන් නාය යෑම වැලැක්වීම එතරම් පහසු කාර්යයක් නොවේ. එහෙත් නාය යෑමෙන් සිදුවන ජීවිත හානිය වලක්වා ගැනීම එතරම් අපහසු නැත්තේය. ඒ සදහා කල හැකි එකම ක්‍රියාව නාය යෑමට වැඩියෙන්ම ඉඩ ඇති ස්ථාන තෝරා ගැනීමයි. ඉන්පසු පහත සදහන් පියවර අනුගමනය කලහොත් වසරින් වසර නාය යෑමෙන් මියගිය හැකි මිනිස් ජීවිත ප්‍රමාණය 10%  බැගින් පමණ අඩුකර අවුරුදු 10 ක් පමන වන විට - ඒ කියන්නේ ඊලග ගං වතුරට පෙර නාය යෑමෙන් විපතට පත්විය හැකි ජීවිත ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වාගේ වලක්වා ගන්නට හැකිවනු ඇත. 


  • එක් එක් ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශවල වැඩියෙන්ම නාය යෑමට ඉඩ තිබෙන නිවාස 100 ඔවුන් අත ඇති සියලුම තාක්ෂණික හැකියාවන් යොදා මසක් ඇතුලත තෝරා දෙන ලෙසට ඒ සදහා වගකීම ඇති රාජ්‍ය ආයතන වලට නියෝග කිරීම. 
  • එම නිවාස වල අයිතිකරුවන්ට තව මාස හයක් තුල එම නිවාසවලින් ඉවත් වීමට දැනුම් දීම. 
  • නිවාස විස්සේ තට්ටු තුනේ තට්ටු නිවාස පහක් ප්‍රවේශම් තැනක ගොඩ නගා එම නිවාස අයිතිකරුවන්ට ලබාදීම. 
  • පවුල් ඉවත්කල ඉඩම් ඔවුනට ගොවිතැන් කිරීමට ඉඩ දී නිවාස සෑදීමට තහනම් කිරීම. 


මෙලෙස අවුරුදු පතා කිරීමෙන් සෑම අවුරුද්දකම බොහෝ විට නාය යන දිස්ත්‍රික්කවල නාය යාමට වඩාත්ම ඉඩ තිබෙන පවුල් 4000 ක් පමණ එම අනතුරෙන් ඉවත් වේ. මෙලෙස අවුරුදු 10 ක් ගියහොත් සම්පූර්ණ නාය යෑමට ඉඩ තිබෙන නිවාස සියල්ලම පාහේ එම අනතුරෙන් ඉවත් වේ. 

දැන් පිටරට වලින් ලැබෙන්නට තිබෙනවා යැයි නිතරම ටී.වී. වල කියන මුදල් මේ සදහා යෙදවිය හැකිය. ඊයේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ඇමරිකාවෙන් මිලියන 350 ක් ලැබෙන බව කියා සිටියේය. ඒ මුදල් සහ අනෙකුත් මුදල් දීමට අකමැති එහෙත් වෙනත් ද්‍රව්‍ය දීමට කැමති මෙම නිවාස ව්‍යාපෘතිය පිලිබඳව හොඳ යෝජනාවක් ලියා ඉදිරිපත් කරන්නේ නම් නිවාස 4000 ක් නොව 10000 ක් වක් සාදා ගැනීමට පුලුවන. 

මේ යෝජනාව කෙනෙකුට ආධාර කරන්නට සිතෙන සේ ඉහල තත්වයකින් ලියා ගත හොත් බිල් සහ මිලින්ඩා ගේට් වැනි පදනමකින් වුවත් ප්‍රධානයක් ලබා ගැනීමට බොහෝ ඉඩ තිබෙන බව මට හොඳටම විශ්වාසය. 


   

Friday, June 2, 2017

තුආන් කිචෙල් නොහොත් පාර තනන්නා




කඩුගන්නාව දුර්ගයේ ගමන් කරද්දී එම මාර්ගය දැක විශ්මයට පත් නොවන්නකු සිටි දැයි සිතන්නට අපහසුය. උදලු, කැති, පොරෝ හැරෙන්නට  දැන් තිබෙන පාර සැදීමේ උපකරණ කිසිවක් නොමැතිව  1820 දී මෙම මාර්ගය සාදන ලද්දේ කිසිම ඉංජිනේරු පුහුණුවක් නොමැති වයස 16 ක තරුණයෙකු බව දන්නේ නම් අප තවත් කොතරම් පුදුමයට පත්වේද?අනික් විශ්මයජනක කාරණය නම් මේ පාර සැදෙන්නේ කොළඹ නුවර දුම්රිය පාර තනන්නට අවුරුදු 60 කට පෙර වීමය.

මෙම දුර්ග මාර්ගය ලෝකයේ 34 වෙනියට ලස්සන මාර්ගය බව බොහෝ කලකට පෙර මේ ප්‍රදේශය කිට්ටුව පදිංචිව සිටි ජෙනරාල් රණතුංග වරක් කිවූ බවත්, ඒ අවස්ථාවේ ඔහුගෙන් ඇසීම සුදුසු නොවුවත් ඒ තරම් දුරකට - 34 දක්වා , ලස්සනම පාර කෙසේ තෝරන ලද්දේ දැයි මම නිශ්ශබ්දව කල්පනා කල බවත් මට මතකය.

 ඔහු මේ බව කිවේ කඩුගන්නාව පාරේ  බැවුම පැත්තට බතලේගල දෙසට තිබු දර්ශනය වසා ගනිමින් කොළඹ සිට එනවිට පාරේ දකුණු පැත්තේ තිබු කඩ පෙළ අනික් පැත්තට ගන්නට ඔහු විසින් දෑරූ උත්සාහයක් විස්තර කරද්දීය. 

මේ විශ්මිත දුර්ඝ  මාර්ගය තැනීම, විශේෂයෙන්ම කඩුගන්නාව දුර්ගය හරහා යන සැතපුම් 11 සෑදීම බාරව කටයුතු කරන්නේ ලුතිනන් තෝමස් ස්කිනර්ය. 

1820 දී  බ්‍රිතාන්‍ය ලංකාවේ අග්‍රාන්ඩුකාරයා වුයේ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස්ය. ඔහු වයස 16 ක් වූ තෝමස් ස්කිනර් නම්  මේ හමුදා නිලධාරියාට කඩුගන්නාව දුර්ගයේ සැතපුම් 11ක් වූ දුර්ග මාර්ගය සාදන්නට උපදෙස් දුන්නේය. ඔහුට ලැබුණු අනෙක් උපදේශය නම් එම පාරේ නැගීම අඩි 20 කට එකකට වඩා සිග්‍ර නොවිය යුතු බවය - අහෝ ඛේදයකි ! ඔහු එය 1/10 යයි කිවේ නම් පාර මිට වඩා බොහෝ කෙලින් වන්නට ඉඩ තිබිණ.    

තෝමස් ස්කිනර් ගේ පියා ලංකාවේ සේවය කරන්නේ ඉංග්‍රීසි හමුදාවේ කර්නල් වරයෙක් ලෙසය. ඔහු ත්‍රිකුණාමලයේ සේවය කරද්දී වයස 14 ක් වූ තෝමස් එංගලන්තයේ සිට ලංකාවට පැමිණෙයි. පියා ඔහුව ඉගෙන ගැනීමට ආපසු එංගලන්තයට යැවීමට සුදානම් වුවද, ත්‍රිකුණාමලයේ සේවය  කරන නාවුක නිලධාරින් දෙදෙනෙකුගේ නිර්දේශ මත බ්‍රව්න්රිග්  ආණ්ඩුකාරයා මෙම දරුවා දෙවන ලුතිනන් වරයකු ලෙස අධිකාරයට පත්කරයි - ආණ්ඩුකාරයා 1949 ජිනීවා සම්මුතියට අනුව ළමා සොල්දාදුවෙකු බඳවා ගැනීමෙන් යුධ  අපරාධයක් කර ඇත්තේ වුවද මෙය සිදුවන්නේ 19 වන ශත වර්ෂයේ  නිසා ප්‍රශ්නයක් නැත.

මොහුට ලැබෙන පළමුවන  රාජකාරිය ලංකා රයිෆල් හමුදාවේ, 19 සහ 83  ත්‍රිකුණාමලයේ තිබු හමුදා කාණ්ඩය  අලුතින් අල්ලාගත් මහනුවර හරහා කොළඹට රැගෙන යාමය. පාරවල් නොමැති  ඒ  කාලයේ වනයේ අත්දැකීම් නොමැති වයස 16 ක තරුණයෙකුට මෙය දුෂ්කර රාජකාරියක් වීම පුදුමයක් නොවේ. ඔහු යටතේ සිටි හමුදා කාණ්ඩයේ මැලේ සොල්දාදුවන් බොහොමයක් සිටින්නට ඇත. ඒ නිසා ඔහුට තුවාන් කිචෙල් (කුඩා නිලධාරියා) යනුවෙන් නමක්ද පට බැඳිණ. මේ නම තිබු මා දන්නා කෙනෙකු නුවර වාසය කළේය. මේ සිංහලෙන් පොඩි මහත්මය වැනි මැලේ නමක් විය යුතුය


කඩුගන්නා දුර්ගයේ පාර කපන්නට ඔහු යටතේ සේවය කරන්නට ඔහුට ලැබුනේ අවට ගම් වලින් රාජකාරී ක්‍රමය යටතේ සේවය කරන ගැමියන් 200 ක් සහ ඔහුගේ අණු කණ්ඩයේ සිටි සොල්දාදුවන්ය. සිංහල රජකාලේ සිට පැවති රාජකාරී ක්‍රමය -  තම ඉඩම් වලට බඳු ගෙවීම වෙනුවට රජයේ මාර්ග, වැව් හෝ ජල මාර්ග වැනි ව්‍යාපෘති වලට වසරකට සති දෙක තුනක් සහභාගි වීම, 1802, දී ඉංග්‍රීසින් විසින් ඉවත් කර ඒ වෙනුවට ගැමියන්ගේ ඉඩම්වල නිෂ්පාදනයෙන් කොටසක් බඳු ලෙස ගෙවීමට නියම කරන ලදි. එහෙත් මෙයට ඇති වූ ජනතා විරෝධය නිසා නැවත එම රාජකාරී ක්‍රමය ඇති කලේ වුවද 1832 දී රාජකාරී බඳු ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලද්දේය. 

වසර 50 ක් රජයේ සේවයේ යෙදුනු මේජර් ස්කිනර් ප්‍රථම වරට පාරවල් සෑදීම වැනි ඉංජිනේරු ව්‍යාපෘති සදහා අර්ධ හමුදාමය සාමාජිකයන් 4000 කින් යුත් පුරෝගාමී බලකාය පටන් ගත්තේය.   

ඔහු පොදු වැඩවල යෙදෙද්දී ව්‍යාපෘතිය තිබෙන ස්ථානයේම තල් අතු පහකින් සෑදූ කූඩාරමක ජීවත් වූයේය. පාන්දර 4 සිට රෑ 8 දක්වා වැඩෙහි යෙදුනේය. තමන්ගේ ශරීර ශක්තිය ගැන බොහෝ උනන්දු වූ ඔහු බොන ජලය සහ ආහාර ගැනීම බොහෝ අඩුකර කාය ශක්තිය ගැන නොයෙකුත් පරීක්ෂණ කලේය. මොහුගේ මේ කාය ශක්තිය පිලිබඳ උනන්දුව දැනගත් එක් සිංහල ගම්පතියෙකු ඔහුට සමනල කන්ද මුදුනට නැඟ පහලට එන්නට තරඟයකට අභියෝග කලේය. එම තරඟයේ නගිද්දී ගම්පති තැන ඉදිරියෙන් සිටියද, අවසානයේ ජයග්‍රහණය කලේ ස්කිනර්ය. 

වසර 50 ක රාජ්‍ය සේවයේ, රාජ්‍ය මැනුම්පති හා මහා මාර්ග කොමසාරිස් ලෙසද සේවය කර පසුව මේජර් ස්කිනර් විශ්‍රාම ගෙන ආපසු එංගලන්තයට ගියේය. 


  



  



Wednesday, May 31, 2017

ලංකාවේ ආපදා කලමනාකරණය ; බස්තියන් පයින් යෑමක්ද?





ලංකාවේ ආපදා ඇතිවීම නිරතුරුවම සිදුවේ. ඒවා කොතරම් සිදු වන්නේද යත් අපට ඒ සදහා කැබිනට් අමාත්‍යවරයෙකුද සිටි. මා හිතන හැටියට ලෝකයේ ආපදා බොහෝ සිදුවන බංගලාදේශය, ඉන්දුනීසියාවේ හෝ ටහිටියේ වත් ආපදා කලමනාකරණයට ඇමතිවරයෙකු පත්කර නොමැත. 

ආපදා කලමනාකරණය යනු ගං වතුරක් පැමිණි විට අමුඩයක් ගසාගෙන එයට පැනීමවත්, කුණු ගොඩක් පෙරලෙන විට එය පෙරලෙන්නට නොදී උරිහ තබාගෙන සිටීමවත් නොවේ.  

ආපදා කලමනාකරණයේ ප්‍රධාන අරමුණක් විය යුත්තේ ආපදාවක් සිදු වන්නට නොදී නවතා ගැනීමය. උදාහරණයක් වශයෙන් පසුගිය දිනක කළුතර සිදු වූ බෝට්ටු අනතුර ගත හැක. මෙතනදී මේ බෝට්ටු පෙරහැර සෑම වසරකම සිදුවන්නක් නම් ආපදා කලමනාකරනයේ යෙදෙන්නන් විසින් සිදුකල යුතුව තිබුනේ,


  1. බෝට්ටුවට ආරක්ෂා සහිතව රැගෙන යා හැකි ප්‍රමාණයක් පෙර නිර්නය කර ඊට වඩා ගෙන නොයාමට කටයුතු කිරීම. 
  2. එම බෝට්ටු වල ඒ යන පිරිස් වලට අවශ්‍ය ප්‍රමාණයේ ආරෂිත උපකරණ තිබෙනවා දැයි සහතික කිරීම. 
  3. එම බෝට්ටු පදවන්නන්ට ඒවා පැදවීමේ හැකියාවක් සහ පුහුණුවක් තිබේදැයි පරීක්ෂා කර බැලීම. 


වැනි දෑ සිදුකර ආපදාවක් සිදු වන්නනට තිබෙන ඉඩකඩ හැකි තරම් අඩු කිරීමයි. 

එහෙත් සමහර ආපදාවන්, විශේසයෙන්ම ස්වාභාවික ආපදා වැලැක්වීම ප්‍රායෝගික නොවේ. ගිනි කඳු පිපිරීම්, භූ චලන, ජල ගැලීම් සහ නාය යෑම් වැනි උපද්‍රව මේ ගණයට අයත්ය. මේවායින් අපට බොහෝ විට බලපාන්නේ - මීතොටමුල්ල වැනි අපිම හදාගත් ඒවා නොවන්නට ගං වතුර සහ නාය යෑම්ය. මෙයින් ගං වතුර ඇත්තෙන්ම නොයෙකුත් ඉංජිනේරු ක්‍රම යොදා වලක්වා ගැනීමට පුලුවන. වැස්ස වැඩි වී උතුරන ගඟක් රටේ එක් පැත්තක තිබෙනවා නම් රටේ තවත් පැත්තක වැස්ස අඩු නිසා සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා ජල පරිමාව අඩු ගඟක් තිබේ නම්, මෙය සෘතුමය ආකාරයට සිදු වන්නේ නම් ජලය වැඩි ගංඟාවෙන් ජලය අඩු ගංඟාවට ගුරුත්ව බලයෙන් ජලය ගෙන යා හැකි ඉංජිනේරුමය ක්‍රමයක් ඇති කිරිම මෙයින් එක් ක්‍රමයකි. 

එහෙත් මෙවැනි ක්‍රම සදහා විශාල ආයෝජනයක් අවශයයයි. ඒ ආයෝජනයටත් වඩා එඩිතර, නිර්මාණශීලී එමෙන්ම දුර දක්නා නායකත්වයක් තිබිය යුතුය. හැම දෙනාම සතුටු කරන්නට උත්සාහ කරන නායකයන්ට මෙවැනි දේ කිරිමට හිත හදා ගැනීමටවත් නොහැකිය. ලී ක්වාන් යූ එසේත් නැත්නම් අඩු තරමින් මහාතීර් මොහොමඩ් වැනි වූ නායකයෙකුවත් සිටිය යුතුය. ලංකාවේ නම් මෙතෙක් සිටි නායකයන් ගෙන් එවැන්නක් හිතන්නටවත් පුලුවන්. ඩී.එස්. සේනානායක හෝ ගාමිණී දිසානායක වැන්නන්ය. 

පසු ආපදා කලමනාකරණය මෙයට වෙනස්ය. ගං වතුර හෝ නාය යාම් සිදු වූ පසු එයින් අසරණ භාවයට පත්වන පුරවැසියනට සහන කටයුතු සිදු කිරීම හා හැකි තරම් ඉක්මනට ඔවුන් පෙර සිටි තත්වයට පත් කිරීම ආපදාවේ මෙම අදියරේ ප්‍රධානතම පරමාර්ථය විය යුතුය. මෙම කාලයේ බොහෝ දෙන සිදු වූ අපදාව හා ඉන් ඇති වූ නොයෙකුත් මිනිස් පීඩා නිසා ව්‍යාකූල තත්වයට පත්වේ. එකිනෙකාට වැරදි පැටවීම ආපදා කලමනාකරණය නිසි අයුරින් ඉටු නොවන්නේ යැයි චෝදනා එල්ල කිරීම සහ තමන් හැකි පමණින් ආපදාවන්ට ගොදුරු වූවන්ට සහන සැලසීමට උත්සාහ කිරීම වැනි දෑ සිදු වන්නට පටන් ගනී. 

ඇත්තෙන්ම මේ අවස්ථාවේ මේ කිසිදේකින් නොසැලී සම්පූර්ණ ආපදා කලමනාකරණයම ඉටුකල හැකි යාන්ත්‍රණයක් අප සතුව තිබේ. ඒ අපේ ත්‍රිවිධ හමුදාවන් වෙති. ඒවායේ සාමාජිකයෝ නොයෙකුත් ආකාරයේ නොයෙකුත් රටවල මෙවැනි අවස්ථාවන් වලට මුහුණදීම සදහා පුහුණුවක් ලබා ඇත්තෝය. 

 සංග්‍රාම විද්‍යාව පුහුණුවන විට යුද්ධයෙහි මූල ධර්ම දහයක් මුල් කරගෙන එම අභ්‍යාසයන් කරනු ලබයි. 

  1.  අරමුණෙහි සිටීම.
  2. කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ උදව් උපකාර කර ගැනීම. 
  3. ඉක්මනින් වෙනස්වීමේ හැකියාව.
  4. ධනාත්මක චින්තනය පවත්වා ගැනීම.
  5. මෙහෙයුම්වල ආරක්ෂාව.
  6. සතුරා පුදුමයට පත් කිරීම.
  7. අවශ්‍ය තැනට තමාගේ බලය යෙදවීම.
  8. වඩාත්ම කාර්යක්ෂම ලෙස මෙහෙයුම් කටයුතු සිදු කිරීම.
  9. මෙහෙයුම් නොකඩවා පවත්වා ගැනීමේ හැකියාව.
  10. ආක්‍රමනික හෝ ධනාත්මක ලෙස මෙහෙයුම් කිරීම.

  

මෙම මූල ධර්ම මත පුහුණු වූ සංවිධානයක් ආපදා කලමනාකරණයට වෙසෙසින්ම නිර්මාණය කරන ලද්දක් ලෙස පෙනේ. ඇත්තෙන්ම  තොරතුරු එකතු කිරීමද මෙයට ඉතා වැදගත්ය. හමුදාවල බුද්ධි යන වචනය පාවිච්චි කලද intelligence යන වචනයේ තේරුම පාවිච්චි කල හැකි තොරතුරු යන්නයි. පසු ආපදා කලමනාකරණයේදී ප්‍රධානතම අවශ්‍යතාවයක් වනුයේ පාවිච්චි කල හැකි තොරතුරුය. හමුදා සාමාජිකයන් මේ සදහාද හොදින් පුහුණු කර තිබේ. 

මෙයට අමතරව ත්‍රිවිධ හමුදා සතුව මෙවැනි අවස්ථාවලට මුහුණදීම සදහා අවශ්‍ය තරම් උපකරණ තිබේ. විශේෂයෙන්ම අවුරුදු 30 ක දරුණු යුද්ධයකින් පසු එකතුවී ඇති ආම්පන්න සහ උපකරණ ඕනෑම රටක කුඩා හමුදාවකට ඊර්ෂියා උපදවන තරම්ය. මෙවැනි ත්‍රිවිධ හමුදාවක් මෙවැනි ආපදා කලමනාකරණයන් සිදු කරන්නට හොඳම සංවිධානය නොවන්නේ කෙසේද? පුහුණුව, නායකත්වය, උපකරණ සම්පාදනය සහ ගැලපීම ඉහටත් උඩින්ය. එහෙත් එම හමුදා මෙවැනි අවස්ථාවක යෙදවිම මිට වඩා මනා සංවිධානයකින් කල යුතුව ඇත්තේය.

උදාහරණයකට මෙවර ගං වතුනේ හා නාය යෑමෙන් ප්‍රධාන වශයෙන් විපතට පත්වූයේ රත්නපුර, කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කයන්ය. කොළඹ මෙවර එතරම් අපහසුතාවයට මුහුණ දුන්නේ නැති වුවද කොළඹත් මේ කණ්ඩායමට ඇතුලත් විය යුතුය.

මා යෝජනා කරන්නේ මෙම දිස්ත්‍රික්ක පහ ත්‍රිවිධ හමුදා හතරේ ආපදා කලමනාකරණය සදහා බෙදා දීමයි. කොළඹ සහ කළුතර නාවික හමුදාවටද, රත්නපුර සහ මාතර යුධ හමුදාවටද, ගාල්ල ගුවන් හමුදාවටද, ලබා දීම සුදුසු වන්නේ එම හමුදාවල ප්‍රධාන පහසුකම් එම දිස්ත්‍රික්කවල තිබීම සදහා සලකා බලාය.

එම හමුදාවනට මෙම දිස්ත්‍රික්ක සදහා සම්බන්ධීකරණ නිලධාරියෙකු පත් කල හැකිය. මෙවැනි ආපදා සිදුවන්නේ කලාතුරකින් බැවින් එම නිලධාරීන් එම දිස්ත්‍රික්කයේම සිටීම අත්‍යවශය නොවේ. උදාහරණයක් වශයෙන් නාවික හමුදාවේ බටහිර ආඥාපතිවරයා කොළඹ දිස්ත්‍රික්කයටද, දකුණේ ආඥාපතිවරයා කළුතර දිස්ත්‍රික්කයටද, යෙදවිය හැක. ඔවුනට තමන්ගේ දිස්ත්‍රික්කයේ තොරතුරු එක්රැස් කරමින් සන්නිවේදන ජාලයන් ගොඩනගමින් සම්මන්ත්‍රණ සහ සාකච්ඡා පවත්වමින් ආපදාවක් සිදු වූ විට එයට කෙසේ මුහුණ දෙන්නේ දැයි සැලසුම් සකස්කර කලින් කල පුහුණුවීම් සහ පෙර පුහුණු පවත්වමින් ආපදාවන්ට මුහුණදීමට සූදානම් විය හැක.

මෙවැනි සංවිධානයක් ඇති කිරීමෙන් පහත ප්‍රයෝජන ලබා ගැනීමට පුලුවන.

  1. ආපදාව පටන් ගන්නා විටම එයට මුහුණදීමේ ක්‍රියාකාරකමද පටන් ගනී.
  2. ආපදා කලමනාකරණ ක්‍රියාවලිය මනා සංවිධානයකින් පවත්වාගෙන යාමට එක් ස්ථානයකින් ක්‍රියාත්මක වෙයි.
  3. සෑම සියලු ක්‍රියාවක්ම එක් ස්ථානයකින් සම්බන්ධිකරණය වේ.  
  4. බොහෝ දෙනෙකු එකම දෙය කරන්නට යන්නේ නැත. එමනිසා නාස්තිය අඩුවේ.
  5. මුලු දිස්ත්‍රික්කයේම ක්‍රියාකාරකම් වලට වග කියන්නේ එක් පුද්ගලයෙකි.
  6. පිටතින් එන උපකාර හා ආධාර ප්‍රදේශය ගැන දන්නා එක් පුද්ගලයෙකු මගින් සම්බන්ධීකරණය වේ.
  7. ආපදාවට ලක්වන නොයෙකුත් ප්‍රදේශවල පුද්ගලයන් ගං වතුරකදී එකතුවිය යුත්තේ කොතැනකද? එම ස්ථානයේ සිටින රජයේ නිලධාරියා කවුද? ඔහු හා සම්බන්ධ වන්නේ කෙසේද? යන සියලු දත්ත දිස්ත්‍රික් සංවරධන නිලධාරියා ලග තිබේ.
  8. දිස්ත්‍රික්කයේ තිබෙන සියලුම පසු ආපදා කලමනාකරණයට යොදා ගත හැකි සම්පත් පිලිබඳ විස්තර එක් තැනක තිබේ.
  9. ආපදාවට ලක් වූවන්ට උදව් කිරීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට සම්බන්ධීකරණ කාර්යාලය හා සාකච්ඡා කර ක්‍රියාත්මක විය හැකිය.
  10. තම තමන්ගේ දිස්ත්‍රික්කයේ ආපදා කලමනාකරණය හොදින්ම කිරිමට ඇති උනන්දුව නිසා එම සම්බන්ධීකරන නිලධාරීන් අතර සෞඛ්‍ය සම්පන්න තරඟයක් ඇති වීම.  
  11. දත්ත ගබඩාවක්  ස්ථාපිත වීම - මෙය තුල ගං වතුරට යටවීමට ඉඩතිබෙන ගම් , ඒවායේ ජිවත්වන ප්‍රමාණයන් , එම ගමෙහි ඇති ජනතාවට ප්‍රවේශමෙන් සිටිය හැකි  උස් ස්ථාන , එම ස්ථානයන්ට ගමන් කල හැකි ආකාරයන් , එහි කටයුතු සම්බන්ධීකරණය කල හැකි කෙනෙකුගේ දුරකථන අංක යනාදිය තිබිය යුතුය. එවිට ගං වතුරෙන් වතුරට රෝදය නැවත නැවත සොයාගන්නේ නැතිව එක්වරම වැඩට බැසිය හැක.
  12. රජයට ජනතාවගෙන් අකාර්යක්ෂම යැයි බැනුම් නොඅසා සිටිය හැකි වීම- ඇත්තෙන්ම පාර්ලිමේන්තුවේ කාර්‍යබාරය නීති සම්පාදනය කිරීමය. නීති සැදීම යනු මෙවැනි දෑ සංවිධානය කර පිහිටවිමය. ඉන්පසු එම කටයුතු හොදින් සිදුවන්නේදැයි පරීක්ෂාවෙන් සිටීමය. එලෙස කටයුතු සිදුවන්නේ නම් ජනතාව ඇමතිවරයා කොහේ සිටින්නේද අගමැතිවරයා කොහේ යන්නේද සොයා බැලීමට අවශ්‍යතාවයක් ඇති නොවනු ඇත. 
මේවාට අමතරව තවත් බොහෝ ප්‍රයෝජන මෙවැනි යෝජිත දිස්ත්‍රික් සම්බන්ධීකරණ ක්‍රමවේදයකින් ලබාගත හැක්කේය. මෙවැනි ක්‍රමවේදයක් ඇති කිරීමට සමහර විට ප්‍රාදේශීය දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් අතර යම් අකමැත්තක් ඇති වන්නට ඉඩ තිබේ. ඒ නිලධාරීන්ගේ හා දේශපාලඥයින්ගේ ප්‍රදේශයේ බලයේ ඛාදනයක් ඇතිවේදැයි යන සැකය ඉස්මතු වීමයි. නමුත් එවැනි සුලු බල අරගල වලට වඩා අප සියලු දෙන උත්සුක විය යුත්තේ මෙවැනි ආපදා අවස්ථාවක එහි කෘරත්වයට මුහුණ දුන් ජනතාවට හැකි උපරිම අයුරින් උදව් කර ඔවුන්ගේ ජීවිත යතා තත්වයට පත් කිරිමයි.

එසේ කිරීමට නම් අපි මේ සදහා අප සතුව ඇති හොඳම අවිය මුලු බලයම යොදා යෙදවිය යුත්තේය.      

Monday, May 29, 2017

මඩකලපු සරම් සහ ත්‍රීකුණාමලය




ලංකාවේ කුවේනිය ගෙන් පසු කපු වගාව සහ කපු වලින් රෙදි නිම කිරීමේ කර්මාන්තයක් තිබී ඇති බව මා දැනගත්තේ මේ ලඟදීය. පලමුවෙනි සිංහලයා වන විජය කුමරු කුවේනිය මුණ ගැසෙන විට කුවේනිය සිටියේ කපු කටිමින්ය. එහෙත් ඉන්පසු කපු කර්මාන්තය විශාල ලෙස සිදුවුනැයි මහා වංශයේ ඒතරම් සදහන් වන්නේ නැත. බොහෝ විට මෙය සිදු නොවන්නට ඇත්තේ ලක් පොලොවේ කපු වැවීම සාර්ථක ලෙස සිදු නොවන නිසා විය හැක. 

සාමාන්‍යයෙන් ලංකාවේ ස්වාභාවික දෑ හා කර්මාන්ත පිලිබඳව නිවැරදිව ලේඛන ගත වූයේ යුරෝපීයයන් මෙරටට පැමිණි පසු බව අප අකමැත්තෙන් වුවත් පිලිගත යුතුය. ඔවුන්ගේ වාර්තාවන් වලට අනුව 19 වන ශතවර්ෂයේ මුල් කාලයේ උතුරු ප්‍රදේශයේ හා මන්නාරමේ කපු වගාව බොහෝ සේ ව්‍යාප්තව තිබිණ.

 මෙය ඕලන්ද පාලකයන් විසින් බොහෝ  ධෛර්යමත් කල බව පැවසේ. 1887 බ්‍රිතාන්‍ය පාලකයන්ගේ වාර්තා වලට අනුව අත්යන්ත්‍ර පේශකර්ම ශාලා දකුණු ප්‍රදේශයේ 15 ක්ද, වයඹ ප්‍රදේශයේ 21 ක්ද, නැගෙනහිර ප්‍රදේශයේ 429 ක්ද - කලකට පෙර ප්‍රසිද්ධ වී තිබුනු මඩකලපු සරම් බොහෝ විට මෙහි ප්‍රතිපලයක් විය හැකිය. උතුරෙහි 575 ක්ද තිබුණි. 

නමුත් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන රෙදි වලින් ලැබෙන රේගු බඳු ප්‍රමාණය අඩු වන නිසා ලංකාවේ නිපදවන කපු රෙදි වලට 5% ක බද්දක් පැනවිණ. මේ නිසා ඉතාමත් සුලු ලැභයක් ලබමින් පවත්වාගෙන ගිය ලංකාවේ කපු වගාව සහ කර්මාන්තය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටිණ. 

ඉන්පසු ලංකාවේ කපු කර්මාන්තය ප්‍රධාන වෙනසක් වූයේ වැල්ලවත්ත පෙහෙකම්හල ඇති වීමය. 19 වන ශතවර්ෂයේ අග වැල්ලවත්ත ඇල අසල අතහැර දමන ලද කැලෑ ගත වූ කුරුඳු වගාවක  පටන් ගැනුනු මෙම කර්මාන්තශාලාව කපු කටින යන්ත්‍ර 1000 නුත්, රෙදි වියන යන්ත්‍ර 150 නුත් යුක්ත විය. පටන් ගත් වසරේදීම මෙම කර්මාන්තශාලාව සදහා කපු ටොන් 32 ක් යාපනයේ සිට දුම්රියෙන් කොළඹට ප්‍රවාහනය කෙරුනු අතර   සහ දෙවන වසරේ එය ටොන් 289 දක්වා වැඩි විය. 

මෙම ප්‍රමාණය වසරින් වසර වැඩි වී ටොන් දස දහස් ගණනක් වේයැයි ඉංග්‍රීසි පාලකයන් බලාපොරොත්තු වුවද එසේ සිදු වී ඇති බවක් නම් නොපෙනේ. මෙම කර්මාන්තශාලාවත් සමගම අනාත ළමයින්ට නොයෙකුත් රැකියාවන් පුහුනු කිරීමට නිවාසයක්ද ක්‍රිස්තියානි ආගමික නිකායන් විසින් ඇති කරන ලද්දෙන් කර්මාන්තශාලාවේ පුහුණු සේවකයන් බඳවා ගැනීමේදී මෙම පුහුනු පාසැලෙන් පිටවන තරුණයන් ඉමහත් පහසුවක් විය. 

පෙර සදහන් වූ පරිදි කොළඹ කොටුව අවට කුරුඳු වගා කිරීම විශාල වශයෙන් පැවතිණ. විශේෂයෙන් පෘතුගීසි කාලයේ කුරුඳු වෙළඳාම නිසා නොවේ නම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරාය වනුයේ ත්‍රීකුණාමල වරාය වන්නට බොහෝ ඉඩ තිබිණ. ගාල්ලේ මෙන් වරායට ඇතුල් වීමේදී ඇති අනතුරුදායක තත්වය එසේත් නැත්නම් කොළඹ වැනි කෝටි ගණනක් වියදම් කර විශාල දියකඩන දෙකක් සෑදීමේ අවශ්‍යතාවය ත්‍රීකුණාමල වරාය තෝරා ගත්තේ නම් ඇති නොවනු ඇත. ශත පහක් වත් වියදම් නොකර ත්‍රීකුණාමල වරාය තරම් ගැඹුරකුත් වසර පුරාම ආරක්ෂාව සහ ඒසා විශාලත්වයත් ලබාගත හැකි වරායක් ලෝකයේ තිබෙනවා නම් එය අතේ ඇගිලි ගානට වඩා අඩුවිය යුත්තේය. 

බොහෝ විට මෙලෙස ත්‍රීකුණාමල වරාය එකල ලංකාවෙි ප්‍රධාන වෙළඳ වරාය බවට පත් වූයේ නම් එය දැන් අපේ අගනුවර වීමට බොහෝ ඉඩ කඩ තිබිණ. අපට කුරුඳු වලින් කරන ලද බලපෑම කොතෙක්දැයි මේ කරුනෙන්ම හිතාගත හැක්කේය.     


කුඹුරු කොම්පැනි කිරීම

  කෘෂි ඇමතිවරයා කියූ පරිදි ගොවි සමාගම් ඇති කිරීම ඉතාමත් කාලෝචිත වැඩකි.  එමඟින් පහත සඳහන් ප්‍රයෝජන ලබාගත හැකිය.  1. කුඹුරු යාය කිහිපයක් එකට එ...