Saturday, May 30, 2020

වලස්මුල්ලේ අපුරු බාබර්




1903 වසරේ ලංකාවේ සේවය සඳහා පැමිණි ලෙනාඩ් වුල්ෆ් නැමති ලේඛකයා සහ  ඉංග්‍රීසි පරිපාලන නිලධාරියා ලංකා වේ සේවය කළේ අවුරුදු හයක් තරම් කෙටි කාලයකි . අප සියලුදෙනා කියවා රසවිඳ ඇති බද්දේගම පොත ඔහුගේ නිර්මාණයකි.

ඔහු ඒ කාලයේ යාපනයේ පරිපාලන සේවයේ කෙඩෙට්  නිලධාරියකු වශයෙන් ද මහනුවර කච්චේරියේ ඒජන්ත ගේ දෙවැනියා වශයෙන් ද ඉන් පසු වයස 26 දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ උප දිසාපති ලෙස ද සේවය කර ,ආ පසු නිවාඩුවක් සඳහා එංගලන්තයට ගොස් එහි දී සේවයෙන් ඉවත් විය . ඒ කාලේ යම්  උප දිසාපති වරයෙකු  සම්පූර්ණ දිස්ත්‍රික්කයක ම රාජ්‍ය පරිපාලනය සිදු කරන නිලධාරියා විය.
ඇත්තෙන් ම එකල උප දිසාපති වරයෙකු දැන් පළාත් ලේකම් කෙනෙකුගේ  වැනි දිස්ත්‍රික්කයක් අඩංගු  ප්‍රදේශයක දැන් රාජ්‍ය නිලධාරින් සිය දහස් ගණනක් කරන රාජකාරි සියල්ල  තනියම මෙන් ඉටු කළේය .


ඔහු  ඉංග්‍රීසි අධිරාජ්‍යයට සිනහසුණ පරිපාලන නිලධාරියෙකි .

හම්බන්තොට උප උප දිසාපති වරයාව සිටියදී වරෙක ඔහු වලස්මුල්ලෙ රාජකාරි කිහිපයක් සඳහා ගොස් එහි තානායමේ නැවතී සිටියේය. එලෙස තමන්ගේ බල ප්‍රදේශයේ ගම්මානවලට ගොස් එහි නඩු විසඳීම වෙනත් රජයේ කටයුතු සිදුකිරීම සිදු කිරීමයි එකළ උප දිසාපති වරුන්ගේ සිරිත විය .
ඔහු මෙලෙස වලස්මුල්ලේ වලස්මුල්ලේ තානායමේ  තම රාජකාරී කරමින් සිටියදී එහි මිදුල අවට විශාල පිරිසක් ඔහුගෙන් රාජකාරි ඉටු කර ගැනීම සඳහා  පැමිණ සිටියහ .
එක්වරම මෙම සෙනග මැදින්  රැවුල හරි අඩක් පමණක් කැපූ වයස්ගත පුද්ගලයෙක් ඔහු වෙත පැමිණියේ ය .
ඔහු එතැනට පැමිණ උප දිසාපති ට පැමිණිලි කර සිටියේ තමන් හන්දියෙ බාබර් ගෙන් රැවුල කැපීමට ගිය බවත් ඔහු රැවුලෙන් අඩක් කපාඉතිරි කොටස කැපීමට නම් ඊට පෙර  සත පනහක් ඉල්ලා සිටින බවයි.
උප දිසාපති වරයා බාබර් එතනට ගෙන්වාගෙන ඔහුට එතනදීම හඬක් රැවුල කැපී ඇති පුද්ගලයාගේ ඉතිරි කොටස කපන ලෙසට නියම කළේ ය
ඒ වෙනුවෙන් ඔහු කිසිම ගාස්තුවක් අය නොකළ යුතු බවත් කී ඔහු බාබර් එම පුද්ගලයාගේ මුහුණ තුවාල කිරීමට ඉඩක් තිබෙන හෙයින් හදිස්සියේ ඔහුගේ මුහුණේ කුඩා හෝ තුවාලයක් සිදු වුවහොත්බාබර් රැවුල කපා ගන්නා පුද්ගලයාට ශත 50 ක් ගෙවිය යුතු බවටත් නියම කළේ ය . එකල රැවුල කැපීමට සාමාන්‍යයෙන් අය කරන ගාස්තුව සත පහක් විය.
වලස්මුල්ල ට ම සිටියේ එක බාබර් කෙනෙකු නිසා මේ බාබර්  සමහර විට නිතර කරන දෙයක් විය යුතුය. ඔහුගේ තරම ගණන් කාරයෙකුගේ පෙනුමක් ද තිබුණු බව වුල්ෆ් කියයි

තවත් වරෙක ඔහු තමන්ගේ දිස්ත්රික්කයේ ඈත කෙළවරක රාජකාරියට ගොස් එන්නට තිබූ දිනට දවසක් පෙර පැමිණියේය. ඔහු ප්‍රදේශය නොමැති නිසා  හම්බන්තොට නගරයේ ලොකු සූදුවක් පැවැත්වෙන බව ඔහුට දැන ගන්නට ලැබිණ .  ඔහු  තම ඔත්තු කරුට එම සුදු ව පටන් ගන්නා බව ඒ දුටු විට තමන්ට දන්වන ලෙස පවසා නිවසට වී සිටියේ ය . ඒ සමගම මේ පිළිබදව කල්පනාවෙන් සිටින ලෙසත් තමන්ට අවශ්‍යතාවයක් වුවහොත් ඉක්මනට පැමිණීමට ලැහැස්ති වී සිටින ලෙසට නැගෙනහිර ගිරුවා  පත්තුවේ  මුදලියාර් වරයා වු ඩුල් මහතාට දන්වා සිටියේය .

පාන්දර එක හමාරට ඩූල් ගෙන් පනිවුඩය ලැබුනු අතර ඔවුන් දෙදෙනා සුදු ව පැවැත්වෙන ගෙදර පිටුපස දොර ගාවට මිනිසුන් කිහිපදෙනකු යවා ඉදිරි දොරටුවෙන් නිවසට ඇතුළු වූහ .
නිවෙස ඇතුළේ අට දෙනකු අටදෙනකු සුදු පෙළමින් සිටි  අතර මේ අතර හම්බන්තොට පොලිසිය ප්‍රධානියා සහ එකම නිලධාරියා වන  වන සාජන් වරයාද තිස්ස විදානේ ආරච්චි වරයාද මුදලියාර්ගේ ලිපිකරු ද සිටියහ .
පසු දින උදයේ  පොලිස් සාජන් වරයා හැරුණු කොට අනෙක් සියලු දෙනාම ගම්සභා උසාවියේ චෝදනා කර දඩ ගසන ලද අතර පොලිස් සාජන් වරයාට දෙපාර්තමේන්තු පරීක්ෂණයක්  කරන්නට තීරනය කරන ලදී.

Tuesday, May 12, 2020

බුරුවා අශ්වයා සහ කොටළුවා - මිනිසාත් සතෙකි හි දෙවෙනි කොටස


ජීව විද්‍යාඥයින් ජීවීන්ව විවිධ විශේෂයන් වලට වර්ගීකරණය කර ඇත. එකිනෙකා සමඟ සංසර්ගය කර ඔවුන්ටත් පැටවුන් බිහි කල හැකි පැටවුන් බිහි කිරීමට පුළුවන් නම්, එම සත්වයින් එකම ජීවීන් විශේෂයකට අයත් යයි සැලකේ. අශ්වයින් හා බූරුවන් හට මෑතක දක්වාම පොදු මුතුන් මිත්තෙක් විය. එමෙන්ම අශ්වයින් හා බූරුවන් හට පොදු භෞතික ලක්ෂණ බොහොමයක් ඇත. නමුත් ඔවුන් එකිනෙකා කෙරෙහි දක්වන ලිංගික ආකර්ෂණය ඉතා අල්පය. ඔවුන් අතර සංසර්ගයක් ඇති වන්නේ ඔවුන්ව එය පෙළඹ වුවොත් පමණි. නමුත් කොටළුවන් නමැති ඔවුන්ගේ පැටවුන් වඳය. බූරුවන්ගේ DNA වල ඇතිවී ඇති වෙනස්කම් කවදාවත් අශ්වයින්ට මාරුවෙන්නේ නැත. එය අනෙක් අතට සිදු වන්නේද නැත. ඒ හේතුවෙන්  මෙම සත්ව වර්ග දෙක, වෙනස් සත්ව විශේෂ දෙකක් ලෙස සැලකේ. එමෙන්ම එම සත්ව විශේෂ දෙක පරිනාමය වීමේදී මාර්ග දෙකක් ඔස්සේ ගමන් කරයි. මීට හාත්පසින්ම වෙනස් සිද්දියක් සලකා බැලුවොත්, bulldog කෙනෙකු හා spaniel කෙනෙකු ඉතාම වෙනස් ලෙස දිස් වුවත්, ඔවුන් එකම සත්ව විශේෂයකට අයත් වෙයි. ඔවුන් හට පොදු DNA සංචිතයක් ඇත. ඔවුන් ඉතා කැමැත්තෙන් සංසර්ගය කරන අතර, ඔවුන් ගේ පැටවුන් හට තවත් සුනඛයන් සමඟ සංසර්ගය කර පැටවුන් බිහි කල හැක.

එක් පොදු මුතුන් මිත්තෙකුගෙන් පැවතගෙන එන ජීවීන් විශේෂ ‘ගණය’ නම් වූ කණ්ඩායමක් ලෙස හැදින්වෙයි. සිංහයන්, කොටින්, දිවියන්, ජගුවර්ලා, පැන්තෙරා නම් ඝනයට අයත් වූ සත්ව විශේෂ වෙයි. ජීව විද්‍යාඥයන් විසින් ජීවීන්ව කොටස් දෙකකින් යුතු වූ ලතින් නමකින් හදුන්වනු ලබයි. පළමු කොටස ඝනය වන අතර, දෙවන කොටස ජීවී විශේෂය වෙයි. උදාහරණයක් ලෙස සිංහයන්ව අමතන්නේ ‘පැන්තෙරා ලියෝ’ ලෙසය. එයින් අදහස් වන්නේ ඔවුන් පැන්තෙරා ඝනයේ ලියෝ නම් ජීවී විශේෂය බවයි. අනුමාන කර පැවසුවහොත්, මෙම පොත කියවන සියලු දෙනා ගේ නම ‘හෝමෝ සේපියන්ස්’ නම් වෙයි. එහි අර්ථය වන්නේ හෝමෝ නම් ඝනයේ සේපියන්ස් නම් ජීවීන් විශේෂය බවයි.
ඝන, ඒ ඇතුලත් නැවත වරක් පවුල් වලට වර්ග කර ඇත. උදාහරණ ලෙස පූස් පවුලේ   සිංහයන් චීටා ලා, නිවෙස් පුසාන් සුනඛ පවුලේ  වුර්කයින් නරින් හිවල්ලු ඇත. අලි පවුලේ  අලින්, mammoth ලා, mastodons ලා ඇත. මෙවැනි පවුලක සෑම දෙනෙකුම එකම පැවත එන්නෙකුට; පිරිමි හෝ ගැහැණු, උදාහරණයක් ලෙස කුඩාම පුසෙකුගේ සිට දරුණුතම සිංහයෙකු දක්වා සියලු පූසන් හට ඇත්තේ, අවුරුදු මිලියන විසි පහකට පමණ පෙර ජීවත් වූ, එකම පොදු මුතුන් මිත්තෙකි.

හෝමෝ සේපියන්ස් ලා ද පවුලකට අයත් වෙයි. මෙම වැඩකට නැති කරුණ ඉතිහාසයේ වැඩියෙන්ම රැකපු රහසය. බොහෝ කලක් යන තුරු හෝමෝ සේපියන්ස්ලා තමන්ව අනික් සතුන්ගෙන් වෙන් කර හැදින්වීමට කැමැත්තක් දැක්වුහ. ඒ, පවුලක් නැති, සහෝදර සහෝදරියන් නොමැති නෑයන් නොමැති ප්‍රධාන වශයෙන්ම දෙමව්පියන් නොමැති, අනාතයෙකු ලෙසිනි. නමුත් සත්‍යය එය නොවේ. කැමති වුවත් අකමැති වුවත් සත්‍යය වන්නේ  අප ‘මහා වඳුරා’ නමැති වූ විශාල හා  ශබ්ද සහිත පවුලක සාමාජිකයින් වීමය. දැනට ජීවත් වන, අපගේ සමීපම නෑයන් වන්නේ චිම්පන්සීන්, ගොරිල්ලාවන් සහ ඔරන් ඔටන්ලාය. සමීපතම නෑයන් වන්නේ චිම්පන්සීන්ලාය. අවුරුදු මිලියන හයකට පමණ පෙර එක් ගැහැණු වානරයෙකුට දියණියන් දෙදෙනෙකු සිටියහ. එක් අයෙකු චිම්පන්සීන් සියල්ලගේම මුතුන්මිත්තා වූ අතර අනිත් කෙනා අපේම මිත්තණියයි.

තවදුරටත් පැවසුවහොත්, මෙම පොතේ අන්තිම පරිච්චේදයේ දැකිය හැකි පරිදි, ඉතාම නුදුරු අනාගතයේදී අපට නැවතත් සේපියන් නොවන මිනිසුන් සමඟ තරඟ කිරීමට සිදු වනු ඇත.

යුවාල් නොආ  හරාරි විසිනි 





  


Sunday, May 10, 2020

මිනිසාත් සතෙකි


වැදගත්කමක් නැති සත්වයෙක්
වසර බිලියන 13.5 කට පමණ පෙර, පදාර්ථය, ශක්තිය, කාලය හා අවකාශය ඇති වුයේ ‘big bang’ නම් සිද්ධියෙනි. විශ්වයේ ඇති මෙම මූලික ලක්ෂණ වල කතාන්දරය භෞතික විද්‍යාව නම් වෙයි.
ඒවා ඇති වී වසර 300,000 කට පසුව පදාර්ථය හා ශක්තිය පසුව, පරමාණු නම් වූ සංකීර්ණ  ව්‍යූහයන් බවට එකතු වීමට පටන් ගත්තේය. අනු සහ පරමාණු  සහ ඒවායේ අන්තර් ක්‍රියා වල කතාන්දරය රසායන විද්‍යාව නම් වෙයි.
 වසර බිලියන 3.8 කට පෙර පෘථුවිය නම් ග්‍රහ ලෝකයක, සමහර පරමාණු එකතු වී ජීවීන් නම් වූ විශාල හා සංකීර්ණ ව්‍යූහයන් සාදන ලදී.  මේවායේ කතාව ජීව විද්‍යාව නම් වෙයි.
වසර 70000 කට පමණ පෙර, homo sapiens නම් වර්ගයට අයත් වූ ජීවීන්, ඊටත් වඩා සංකීර්ණ සංස්කෘතීන් නම් වූ තවත් ව්‍යූහයන් සැදීමට පටන් ගත්හ. මෙම මිනිස් සංස්කෘතීන් වල අනුක්‍රමික වර්ධනය ඉතිහාසය නම් වෙයි.
වැදගත් විප්ලවයන් තුනක් ඉතිහාසයේ ගමන එක වෙනස් කරන ලදී. චින්තන විප්ලවය  වසර 70,000 කට පමණ පෙර, ඉතිහාසයට ජවයෙන් පිරුණ වෙනසක් දුනි. වසර 12000 කට පමණ පෙර, කෘෂිකාර්මික විප්ලවය එය වේගවත් කළේය. වසර 500 කට පමණ පෙර පටන් ගත් විද්‍යාත්මක විප්ලවය, ඉතිහාසය නවත්වා සම්පුර්ණයෙන්ම වෙනස් යමක් ඇරබීය. මෙම විප්ලව තුන මිනිසුන් හා ඔවුන්ගේ සහෝදර ජීවීන් හට බලපෑ අයුරු පිළිබඳව කතාන්දරය මෙම පොත පවසයි.
ඉතිහාසය පටන් ගැනීමට බොහෝ කලකට පෙර සිට මිනිසුන් ජීවත්ව සිට ඇත. වසර මිලියන 2.5 කට පමණ පෙර, වර්තමාන මිනිසුන්ට බොහෝ සෙයින් සමාන සත්වයින් හටගෙන ඇත. නමුත් පරම්පරා ගණනාවක් යන තුරු ඔවුන් තමන් සමග සිටි අනෙක් සතුන් ගෙන් විශේෂයෙන් කැපී පෙනුනේ නැත. වසර මිලියන දෙකකට ඉහතදී නැගෙනහිර අප්‍රිකාවේ ගමනක් ගියා නම්, ඔබට හොදින් දැක පුරුදු මිනිස් චරිත හමු වීමට තිබිණ: තම බිලිඳුන් තුරුල් කරගෙන සිටින මව්වරුන් සහ මඩේ සෙල්ලම් කරන වගකීම් විරහිත දරුවන්. සමාජයේ රීති වලට යටවී අසහනයට පත් තරුණයන්, සහ පාඩුවේ  පැත්තකට වී සිටීමට අවශ්‍ය දුර්වල වී ඇති වැඩිහිටියන්, මේ සියලු වර්ග එහි සිටින්නට ඇත.



දේශීය රුවැත්තියන් නම්මා ගැනීම සඳහා පපු වලට අත් වලින් ගසා ගන්නා හැඩිදැඩි තරුණයන් සහ ඒ සියලුම දෑ දැනටමත් දැක ඇති බුද්ධිමත් වයස්ගත මැහැල්ලියන්. මෙම පුරාණ මිනිසුන් එකිනෙකා සමග  සමීප මිත්‍රතා ඇති කර ගත්හ, ඒවාට ඇලුම් කළහ, ක්‍රීඩා කලහ. එමෙන්ම ඔවුන් සමාජ තත්වය හා බලය සඳහා තරඟ කළහ - නමුත් චිම්පන්සීන්, බැබුන්  සහ අලින් ද එලෙසින්ම කළහ. මිනිසුන් පිළිබඳව කිසිම විශේෂ යමක් නොවීය.

ඔවුන්ගෙන් පැවත එන මිනිසුන් දිනෙක සඳ මත පා තබාවි යයි, පරමාණුව ඇතුලත් කුමක් තිබෙන්නේදැයි සයගනිවීයයි, ජාන සංකේත විවෘත කරාවි, හෝ ඉතිහාසය පිළිබඳව පොත් ලියාවි යයි ඔවුන් ගෙන් කිසිම අයෙකු, සිහිනෙකින්වත් නොසිතන්නට ඇත. පුරාණ මිනිසා පිළිබඳව දැනගත යුතු වැදගත්ම දෙය වන්නේ, ඔවුන් ජීවත් වන පරිසරයට ගොරිල්ලාවන්, ජෙලි මත්ස්‍යයින් හෝ කනාමැදිරියන්ට කරනවාට වැඩියෙන්  බලපෑමක් නොකරන නොවැදගත් ජීවීන් වූ බවයි. .............

යුවාල් නොආ  හරාරි විසිනි 


Wednesday, May 6, 2020

කොරෝනා මර්ධනයට තාක්ෂනය යොදා නොගැනීම



කොවිඩ් 19 වසංගතයට මුහුණදීම සඳහා ලෝකයේ පුරාම නොයෙකුත් ක්‍රමවේද පාවිච්චි කරනු ලැබේ. මෙයින් ප්‍රධානතම උපකරණය වන්නේ ලොක්ඩවුන් කිරීමයි. මෙමගින් වසංගතය පැතිරීමේ යම් පාලනයක් ඇතිවන බවේ ප්‍රශ්නයක් නැත. ආසාධිතයන් ආසාධිත නොවූ මිනිසුන් කිට්ටුවට යන්නේ හෝ ඇසුරු නොකරන්නේ නම් වසංගතය පැතිරීම වළක්වාගෙන දැනට ආසාධිත වී ඇති පුද්ගලයන්ට ප්‍රතිකාර කර පවුන් සුවකර ගත් විට ජාතියකට මේ ප්‍රශ්නය අවසන් කර ගත හැකි යැයි සිතිය හැක.

මෙම ක්‍රමවේදයේ ඇති ලොකුම ප්‍රශ්නය අසාධනය වූ සියලු දෙනාම සහ ඔවුන් ආසන්නයට ගිය සියලු දෙනා එකවර හඳුනා ගෙන ඒ සියලු දෙන පරික්ෂාවට ලක් කර පොසිටිව් වූ අය සමාජයෙන් වෙන කර ප්‍රතිකාර කිරීමට ඇති බාධාවන්ය.

මෙම බාධාවන් යම් තරමකට හෝ ඉවත්කර ගන්නට, ලෝකයේ බොහෝ රටවල් ඇප් හඳුන්වා දී තිබේ.

මේවායින් පළමුවන ඇප් එක භාවිතයට ගත්තේ සිංගප්පුරුව විසිනි. TraceTogether නමැති මෙම ඇප් එක යම් කොරෝනා වෛරසය ආසාධිතය වූ පුද්ගලයෙකු ඇසුරු කල හෝ අසලට ගිය අනෙක් පුද්ගලයන් පහසුවෙන්ම සොයා ගැනීමට පරිපාලනයට උදව් කරයි. මෙම ඇප් එකේ පාවිච්ච් වෙන්නේ බ්ලුටූත් සහ GPS  වෙයි. මෙම පහසුකම් දැනටමත් සාමාන්‍යයෙන් ඕනෑම ස්මාර්ට් ෆෝන් එකක තිබෙන පහසුකම්ය. එමනිසා මෙම ඇප් පාවිච්චි කිරීමට අමතර මුදලක් යන්නේද නැත.

මෙවැනි ඇප් දැනටමත් සිංගප්පුරුව, නොර්වේ රාජ්‍යය උතුරු මැසිඩෝනියාව, ඊශ්‍රායලය, ඉන්දියාව, ඝානාව, චෙක් ජනපදය, කොලොම්බියාව, චීනය, සහ බහරේනය අසාදිතයන්ට  කිට්ටු වූ පුද්ගලයන් සොයා ගැනීමට පාවිච්චි කරති.

මෙවැනි ඇප් අනිවාර්ය කිරීමෙන් රජයන්ට පුරවැසියන්ගේ පුද්ගලික තොරතුරු දැනගැනීමට අවස්තාවක් ලැබීමෙන් යම් ආකාරයකින් පුද්ගලික අයිතිවාසිකම් වලට යම් බලපෑමක් සිදුවිය හැකි යැයි කාරණය මෙවැනි ඇප් එකක් එංගලන්තයේ යොදා ගැනීමට සාකච්ඡා වෙද්දී විවාදයට බදුන් වෙනවා මම ලඟකදී දුටුවෙමි.

මෙවැනි ඇප් එකක් ඇත්තෙන්ම පාව්ච්චි වීමෙන් යම්, ආසාධිතයෙකු හඳුනා ගත් විට ඒ මොහොතේම අතීතයට දින 14 ක් තුල ඔහු අසලට පැමිණි සියලු දෙනාම, ඔවුන්ගේ දුරකථනවල සහ ආසාධිතයාගේ දුරකථනයේ මෙම ඇප් එක තිබුනේ නම් ඒ මොහොතේම හඳුනා ගැනීමට පුළුවන.

ඒ නිසා බුද්ධි අංශ මගින් ඉතාමත් දුෂ්කර දවස් ගණනක් යන මෙහෙයුම්  හරහා ඔවුන් සොයා යාමට අවශ්‍ය නැත. එසේම මිනිසුන් කණ්ඩායමක් කරනවාට වඩා මෙලෙස ඇප් එක මාර්ගයෙන් සොයා ගැනීම ඉතාමත් නිවැරදි වන අතර අනවශ්‍ය ලෙස කාලයක්ද ගත වන්නේද නැත.

සාමාන්‍යයෙන් ලංකාවේ ජනගහනයෙන්; විශේෂයෙන්ම නාගරික ජනතාවගෙන් 60% කට පමණ ස්මාර්ට් ෆෝන් තිබෙන බව මට සිතේ. අපත් මෙවැනි ඇප් එකක් යොදා ගත්තොත් contact tracing වලින් 60% කට යොදන ශ්‍රමය සහ වියදම අඩුකර ගත හැකි අතර වැඩේ පටන් ගන්නා විටම වැඩෙන් 60% ක් අවසන් වී හමාරය.

මෙලෙස මේ කාර්යය පහසුකර ගැනීමට තාක්ෂනය තිබියදී, මේ වසංගතය අප රටේ පාලනය කිරීමට උත්සාහ කරන්නන්, මෙවැනි නොමිලේ වගේ කරගත හැකි ක්‍රමවේදයක් පිළිබඳව නිශ්ශබ්ද වීම පුදුම සහගතය.

චෙක් ජනපදයේ මෙම ඇප් ඒක සාදා ගෙන ඇත්තේ සිංගප්පුරුවේ උදව්වෙනි. අපටත් මෙය හදා ගැනීමට හැකියාවක් නැත්නම් ලැජ්ජාවෙන් නොසිට ඔවුන්ගෙන් උදව් ලබා ගැනීමට පුළුවන.

graph by 

By Ferretti, Luca; Wymant, Chris; Kendall, Michelle; Zhao, Lele; Nurtay, Anel; Abeler-Dörner, Lucie; Parker, Michael; Bonsall, David; Fraser, Christophe - Ferretti, Luca; Wymant, Chris; Kendall, Michelle; Zhao, Lele; Nurtay, Anel; Abeler-Dörner, Lucie; Parker, Michael; Bonsall, David; Fraser, Christophe (2020-03-31). "Quantifying SARS-CoV-2 transmission suggests epidemic control with digital contact tracing". Science. doi:10.1126/science.abb6936. ISSN 0036-8075. PMID 32234805., CC BY 4.0, https://commons.wikimedia.org/w/index.php?curid=89120620


Tuesday, May 5, 2020

චිත්‍රපට කර්මාන්තයේ අදහස් අවසන් වීම - පැරසයිට්






මම පෙරේදා ඊයේ සහ අද චිත්‍රපට තුනක් බැලුවෙමි. පෙරේදා බැලූවේ ප්‍රංශ චිත්‍රපටියකි. Earth and blood නැමැති එම චිත්‍රපටයේ ලොකු ලී මඩුවක් අයිති පියෙකු සහ ඔහු ගේ දියණිය ගේ ලී මඩුවට, වැරදීමකින් හොරු කණ්ඩායමක් විසින් මංකොල්ල කන ලද මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් ගණනක් ලැබෙයි. එම හොර කණ්ඩායම එම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට විශාල ලී මඩුව වෙතට පැමිණෙයි. එහිදී පියා විසින් ඔවුන් පරදවා තමා ගොළු දියණියද බේරා ගන්නා ආකාරය චිත්‍රපටයේ මූලික තේමාව වෙයි. ඉතාමත් සරල කතාවක් වුවද සෑම නරඹන්නෙකුටම රස විඳිය හැකි ආකාරයෙන් තනා ඇත. චිත්‍රපටය පටන් ගන්නා විටම ලී මෝලේ අයිතිකරු පිළිකාවක් නිසා මිය යන්නට බලාපොරොත්තුවෙන් සිටින බව අපට පෙන්වයි. ඔහු ඒ නිසා තමන්ගේ ලී මෝල අසල් වැසි මෙම ව්‍යාපාරයම යෙදෙන කෙනෙකුට විකුණන්නට තීරණය කරයි. ඇක්ෂන් පටන් ගන්නේ ඊට පසුවය. දැන් බොහෝ චිත්‍රපට වලට මෙන්ම මෙහි ද එතරම් ලොකු කතාවක් නැත. ඇත්තේ සිදුවීම් පෙළක් පමණි. එහෙත් ඒවා පෙළ පෙළගස්වා ඇති ආකාරය සහ නලුවන්ගෙ සරල එමෙන්ම දක්ෂ  රඟපෑම් නිසා චිත්‍රපටයෙහි අමුතු ගතියක් තිබේ. නමුත් චිත්‍රපටය සාමාන්‍ය අදහසකි, එහි වූ විශේෂ දෙයක් නොමැත.

ඊයේ මම බැලුවේ කොරියන් චිත්‍රපටයකි. Time for hunting නැමැති එම චිත්‍රපටය 2009 වකවානුවේ දකුණු කොරියාවේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ ඩොලර් හොරකමක් කර, මුහුද අයිනේ පහසු ජීවිතයක් ගත කරන්නට සැලසුම් කරන යහළුවන් පිරිසකගේ කතාවකි, එයත් චිත්‍රපටයක් ලෙස ඉතා හොඳින් සාදා තිබුණ ද අපට එය බලද්දි ‘අහා’ අවස්ථාවක් එන්නේ නැත.

ඉන් පසු the lift boy නම් මලයාලම් චිත්‍රපටියක් බැලුවෙමි. එයත් අවසන් වනතුරු බලන්නට පුළුවන් වූ නමුදු, ඉස්සර චිත්‍රපටයක් බලද්දී අපට දැනෙන ඒ කික් එක  ලැබුණේ නැත. ඉංජිනේරු සිසුවකු වන තරුණයෙකු තමන්ගේ පියා වැඩ කරන සෝපාන ක්‍රියාකරු රැකියාවේ තාවකාලිකව වැඩ කරන ආකාරයත්, එහිදී හොඳ සහ අනුන්ට ආදරය කිරීම ඔහුට බෙදා ගැනීමට අවස්ථාවක් ලැබීමත් සරල වශයෙන් මේ චිත්‍රපටයේ දිග හැරේ.

මේ චිත්‍රපට තුනම සාමාන්‍යයෙන් අවසානය තෙක් නැරඹිය හැකි ඒවා වුවද,  ඒවායේ යම් අඩුවක් තිබෙන බව මට සිතුනි. සමහර විට දැන් චිත්‍රපට හදන්නන්ට චිත්‍රපට නිෂ්පාදනය කිරීම සඳහා අදහස් වල හිඟයක් තිබේ දැයි, මගේ හිත තුළ සැකයක් ක්‍රමයෙන් වර්ධනය විය.
මම පාසැල් යන සමයේ සිටම සිංහල, හින්දි, දෙමළ, ඉංග්‍රීසි චිත්‍රපටි බොහෝ සෙයින් නැරඹුවෙමි, එකල නුවර ඕඩියෙන් සහ රීගල් සිනමා ශාලා වල දවසෙන් දෙකෙන් බටහිර චිත්‍රපට මාරු කරන කාලයක් විය.
අපි ඒ හැම එකක්ම බැලු වෙමු, පාසල් හැරුණු පසු තෝසේ කඩයකට ගොස් සත හැටකට තෝසෙ දෙකක් කා, තවත් සත හැටක් වියදම් කර ගැලරියේ චිත්‍රපට රීගල් සහ odeon cinema වල මාරුවෙන් මාරුවට බැලුවෙමු. ඉන්පසුවත් මේ වනතුරුත් චිත්‍රපට නැරඹීම ජීවිතයේ කොටසක් වන මට, මෙලෙස චිත්‍රපට සාදන්නන් අදහස් අතින් බංකොලොත් වී ඇතැයි සිතීම පවා මහත් ශෝකයක් විය.  

මේ සියල්ලම නරඹා දින දෙකකට පසුව, මම ළඟකදි ඔස්කා සම්මාන දිනූ කොරියානු චිත්‍රපටයක් වන parasite බැලුවෙමි. එය නැරඹූ පසු මගේ සිතේ ඒ වර්ධනය වූ සැකය අහේතුක එකක් බව මට ප්‍රත්‍යක්ෂ විය.
අධ්‍යක්ෂකවරයාට ඕනෑකම සහ නිර්මාණශීලීත්වය තිබේ නම්, ඕනෑ තරම් අලුත් අදහස් තිබෙන ඒ බව මෙම චිත්‍රපටියෙන් මනාව පැහැදිලි වෙයි.

parasite මගේ ඒ කණගාටුව සම්පූර්ණයෙන් නැති කර දැම්මේය. එය මා මෙතෙක් බලන ලද චිත්‍රපට අතරින් වූ හොදම දහය ඇතුලට දාන්නටද  පුළුවන.
මෙයට පෙර මම ඔක්රා වැනි කොරියානු චිත්‍රපට කිහිපයක් නැරඹුවෙමි. චිත්‍රපට කර්මාන්තයේ අනාගතය කොරියාව බව දැන් මට සිතේ. අදහස් වලින් බංකොලොත්වී චිත්‍රපට කර්මාන්තය නැතිවී යාමට ඉඩ තිබෙන බව සිතා මට කනගාටුවන්නට  අවශ්‍යතාවයක් නැත්තේය.

ජපානෙත් එහෙමද