Tuesday, November 29, 2022

සුළු මහසෙන්ලා

 



මේ දවස්වල මට ැල්ලවාය ප්‍රදේශයේ ග්‍රාමීය ගොවිපල කිහිපයක ඇවිදින්නට අවස්ථාවක් ලැබුණි. ඒවායේ තමන්ම සුළු මහසෙන් රජෙකු මෙන් තරමක වැවක් හදාගෙන අක්කර තිහ හතළිහක ගොවිතැන් කරගෙන ජීවත්වන මෙම ගොවියන් අතර පවතින නොයෙකුත් සහයෝගයෙන් ගොවිතැන් කිරීමේ ක්‍රම සිත්ගන්නා සුළුය.


මේ එක් ගොවියකු  තමන්ගේ ඉඩමේ වැව තනියම සාදා ගත් බවත් මෙය සාදා අවසන් වූ පසු එයට පහලින් ඇත කුඹුරුවල ගොවියන් රාළහාමිත් සමග පැමිණ එම වැවේ බැම්ම කඩා දමන ලෙසට ඔහුට දන්වා සිටි බවත් මට කීවේය. එසේ කඩා නොදැම්මොත් රජයට වාර්තාකර ඔහුගේ ඉඩම් අහිමි කරන බවත් ඔහුට දැන්වූහ.

එහෙත් එම තර්ජන වලට බිය නොවූ ඔහු මෙතරම් තමන් මහන්සි වී හදාගත් වැව කෙසේවත් කඩා දමන්නට ඉඩ නොදෙන බවට කියා සිටි විට ගොවියන් ආපසු ගිය බව ඔහු කීවේය. ඇත්තෙන්ම ඔහු වැව සාදා ඔහුගේ කුඹුරු ටික වැඩ කරන විට ජලය නැවත වරක් පහලට ගලාගෙන ගොස් ඒ ගොවියන්ගේ කුඹුරු වලට ගලන බව පසුව ඔවුන්ට වැටහී ඇති බවත් ඒ නිසා ඔහු සමග රණ්ඩු කිරීම නවතා දැමූ බවත් ඔහු සිතයි. මෙය සිදුවන්නට ඇත්තේ හැත්තෑ ගණන් වල ය.


එක් ගොවිපලක අක්කර දෙකක පමණ සරු රටකජු වගාවක් තිබුණි. කාන්තාවන් හය දෙනෙකු මෙම ගොවිපලේ වල් සුද්ද කරමින් සිටියහ. මම ඉඩම හිමි ගොවියා ගෙන් මේ රට වගාව ගැන ඔහුගෙන් ඇසුවෙමි.


ඔහු කිව්වේ ඔහුගේ දන්නා හඳුනන කෙනෙකුට එලෙස රටකජු වගා කර ගැනීමට ඔහු ඉඩම ලබාදී ඇති අතර ඔහුගේ කොටස අස්වැන්නෙන් 4න් එකක් වන බවයි. 


නමුත් අස්වැන්න කොපමණ තිබුණාදැයි ඔහුට නියමිත හතරේන් එක හරියාකාරව ලැබෙනවා දෑයි ඉඩම්හිමි ඔහු දැන ගන්නේ කෙසේදැයි මම ඔහුගෙන් ඇසුවෙමි.


ඔහු කීවේ රටකජු වවන ගොවියා රටකජු ලබාදෙන්නේ එක කඩේකට බවත් ඒ නිසා ඔහුට නියමිත මුදල කඩෙන් ලබාගත හැකි බවය. 


ඔහුගේ ඉඩමේම තවත් තැනක අක්කර 1 පමණ මුං ඇට වගාවක් තිබුණි. එය රටකජු වගාව තරම් සරු බවක් පෙනුනේ නැත. ඒ ගැනත් මම ඔහුගෙන් ඇසුවෙමි. මේවා තමන්ගේ මිතුරෙකු සමග අස්වැන්න දෙකට බෙදා ගැනීමේ එකඟතාවය මත වගා කරන බවත් එයට දෙදෙනාම හැකිතරමින් මහන්සි වන බවත් ඔහු කීවේය.


තවත් වරෙක ඔහුගේම බෑනා කෙනෙකු  වට්ටක්කා අක්කර දෙකක් පමණ තවත් ස්ථානයක වවන බව මට කීවේය. ඔහු එලෙස වට්ටක්කා වවන්නේ තවත් මිතුරන් හතරදෙනකු සමග එකතුවී බවත් ඔහු කීවේය. 

එසේ පස් දෙනෙකු එකතු වී වට්ටක්කා වවන්නට හේතුව මම ඔහුගෙන් විමසා සිටියෙමි.

ඔහු කිව්වේ එම ්‍රදේශයට වල් අලි තර්ජනය ඇති නිසා රාත්‍රියට වට්ටක්කා වගාව සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට කිහිපදෙනෙකු සිටිය යුතු නිසා එසේ කණ්ඩායමක් එකතු වී වගාකරන බවය.


ඉහලට එසවූ අට්ටාලයක එක් රාත්‍රියකට හතරදෙනකු නිදා ගන්නා බවත්, වරකට එක් ගොවියෙකු, පැය දෙකක් අවදියෙන් විමසිල්ලෙන් සිටින බවත් ඔහු කියා සිටියේය.


Saturday, November 19, 2022

අපේ ගෙවතු වගාව බේරා ගමු

 


ඉත්තෑවන් විසින් කා දමන ලද පොල් ගසක්

අප කුඩා කාලයේ අපගේ ගෙවත්තේ මයියොක්කා බතල පාත්ති දමා වවා ගන්නා ලදී. ඉඩමේ ඊසානදිග කෙළවරේ අල කොල වැවිල්ලක් තිබුණි. හිතුන වෙලාවක ගොස් ඒ අලකොල පඳුරුවලින් අල කිහිපයක් ගලවා ගැනීමට හැකියාව තිබුණි. මාස කිහිපයකට සැරයක් ලොකු වැල්අල ගලවා ගත්තෙමු.


වර්තමානයේ මෙවැනි අල වර්ග සහිත බෝග වවා ගන්නට ක්‍රමයක් නැත. එයට හේතුව ගෙවත්තට පැමිණෙන වල් ඌරන් ඉත්තෑවන් සහ මුවන් නිසාය. කලකට පෙර සිරිසේන ජනාධිපතිවරයා විසින් වල් ඌරු මස් පිළිබඳ නීති ලිහිල් කිරීම නිසා යම් තරමකට වල් ඌරන්ගේ කරදරය දැන් අඩු වී තිබේ. එහෙත් ගෙවතු වල එසේත් නැත්නම් වතුවල ගොවිතැන් කිරීම ඉත්තෑවන් නිසා ඉතාමත් දුෂ්කර වී ඇත්තේ ය.


අප කුඩා කාලයේ මෙවැනි සතුන් දඩයම් කිරීම නිසා ගොවිතැනට ලොකු හානියක් සිද්ධ වූයේ නැත. නමුත් දැන් වල්ඌරන් හැරෙන්නට අනෙක් සතුන් කවුරුත් දඩයම් කරන්නේ නැත. එහෙත් ඒ සතුන් නිදැල්ලේ හැසිරෙන විට ගොවිතැන් කිරීම ඉතාමත් අපහසුය. විශේෂයෙන්ම ඉත්තෑවන් මරා ආහාරයට ගන්නා වෙනත් සතුන් මේ පරිසරයේ නොමැති හෙයින් ඔවුන්ගේ ගහනය බලාගෙන ඉද්දිම වැඩි වන බව පෙනේ. 


තමන්ගේ ගොවිතැනට හානි කරන සතුන් ගොවිතැනට පැමිණීම වලක්වා ගැනීමට නොහැකිනම් ගොවියන් ගොවිතැන් කිරීමෙන් වැඩක් නැත. ගෙවතු වගා සඳහා කොතරම් මහන්සි වුවත් වැඩක් නැත.


ඉත්තෑවන් පැපොල් පැළ කුඩා කාලෙදිම කා දමති. ගෙවත්තක පැපොල් පැළයක් වත් හදා ගැනීමට නොහැකිය.


වෙන රටවල නම් මෙවැනි කරදර කරන සතුන් ගොවියන් හෝ රජයේ ආයතන විසින් විනාශ කර දමනු ලැබේ.  අපේ ගොවියන්ට ඔවුන් හැදී වැඩුණු පරිසරය නිසා සතෙකු මරා ගන්නට, ඉතාමත් දුෂ්කරය. වගා නොකර සිටීම ඊට වඩා පහසු බව සිතති.


මට සිතෙන විදිහට, ලංකාවේ මයියොක්කා අලකොළ අල සහ බතල ගොවිතැන් කිරීම; විශාල පරිමාණයෙන් කරන්නන් හැර, සම්පූර්ණයෙන්ම වාගේ මේ හේතුව නිසා නැවතී ඇත.


මේ ප්‍රශ්නය කල්ගත වීමත් සමග තවත් උග්‍ර වනවා මිස අඩු වෙන බවක් පෙනෙන්නට නැත. කිසිම තර්ජනයක් නොමැති වීම නිසා ඉත්තෑවෝ ගහනය දවසින් දවස ඉහළ යාම වැළැක්වීමට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් ද පෙනෙන්නට නැත.


මේ සඳහා කරන්නට තිබෙන්නේ එකම පිළියමකි. ඒ  මෙම සත්වයන් පාලනය කිරීම, හමුදාවන්ට බාර දීමයි. වලක් හාරා උගුලක් සෑදීමෙන් ඉත්තෑවන් පහසුවෙන් අල්ලා ගන්නට පුළුවන. එසේ අල්ලා ගත් නිත්තෑවන් මරන්නට බැරිකම ගොවියන්ට ඇති ප්‍රශ්නයයි.


රටේ තිබෙන නොයෙකුත් හමුදා කඳවුරු වලට ප්‍රදේශ බෙදා දී  ප්‍රදේශයේ ගොවියන් සමග සම්බන්ධීකරණයෙන් ඔවුනට ඉත්තෑවන් අල්ලන උගුල් සාදන ක්‍රම පුහුණු කර ඉන්පසු උගුලට ඉත්තෑවා අහුවුණු පසු දුරකථනයෙන් හමුදා කඳවුරට දන්වා ඔවුනට සතා භාරදීමට ක්‍රමවේදයක් හදන්නට පුළුවන. 


ඉත්තෑවාගේ මස beef භෝ පෝක් හා සමාන මස් වර්ගයක් වන අතර කලාතුරකින් හෝ ලැබුණු විට  සාමාන්‍යයෙන් ගම්වල මා අසා ඇති පරිදි කිලෝවක් රුපියල් 1500 කට පමණ අලෙවි වෙයි.


මෙලෙස ලැබෙන ඉත්තෑවන් එසේ මස් කර විකිණිය හැකියි පුද්ගලයෙකුට භාරදීමෙන් රටට හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් ලැබෙන අතර පවුල් සිය ගණනකට ජීවිකාවක් ද ඇතිවනු ඇත.


මෙම ජනාව ක්‍රියාත්මක කළහොත් ලංකාවේ ආහාර නිෂ්පාදනය 25% කට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වනු ඇත.




පිහිල්ලට විසිකරපු අලකොල ටිම්බ

 විදේශයකින් නිවාඩුවකට පැමිණ සිටින නෑදෑයෙකුගෙ ආරාධනය මත ඊයේ උදේ regency හෝටලයේ උදය ආහාරය සඳහා ගියෙමි. අප එතනට යන විට නමය හමාර පමණ වී තිබූ අතර...