Sunday, August 30, 2020

ෆෙඩ්රික් ෆෙන්ෆිල්ඩ් 1900 දුටු ලංකාව

 

පෙයාස් ගෙඩිය හැඩය ඇති ලංකාව ඉන්දියාවෙන් වෙන්ව ඇත්තේ ජලය සැතපුම් 50 කිනි. එය ප්‍රමාණයෙන් අයර්ලන්තය මෙන් තුන්කාලකි. එහි ජනගහනය 3600000 න් 75% ක් සිංහල වන අතර, ඔවුන්ගේ භාෂාව පටන්ගෙන ඇත්තේ සංස්කෘත භාෂාවෙනි. පෘතුගීසින් ඉතිරි කර ගිය කුඩා රෝමානු කතෝලික ලබ්දිකයන් පිරිසක් හැර, සිංහලයන් බොහොමයක් බුද්ධාගමේ වෙති.

මිලියනයක් පමණ වන දෙමල මිනිසුන් සිංහලයන් ගෙන් වෙනස්ය, ඔවුන් දුපතට පැමිණ ඇත්තේ දකුණු ඉන්දියාවේ තේ සහ කෝපි වතුවල කම්කරුවන් ලෙසටය. ඔවුන් සාමාන්‍යයෙන් හින්දු ආගමිකයන් වුවද, දහස් ගණනක් ක්‍රිස්තියානි ආගමට හරවා ඇත. මුවර් මිනිසුන් ලක්ෂ දෙක හමාරක් පමණ වෙරළාසන්නයේ ජීවත්වෙති. හමුදා සාමාජිකයන් ගණන් ගන්නේ නැතිව යුරෝපීයයන් 6500 ක් පමණ ජීවත් වෙති.

නගරවල ජීවත්වන සිංහල පිරිමි ගැහැනුන් මෙන් කොණ්ඩය වවන අතර, ඔලුව මුදුනේ අර්ධ වක්‍රාකාර කැස්බෑ කටු පනාවක් පළඳිති. සංචාරකයන්ට සාමාන්‍යයෙන් කියනා පරිදි එම පනාවෙන් ඔහුගේ කුලය හෝ ආගම පෙන්වන්නේ නැත, එයින් කියවෙන්නේ ඔහු කම්කරුවෙකු නොවන බවයි. කම්කරුවන් සාමාන්‍යයෙන් සහල් ගෝනි හෝ බඩු මලු ඔසවාගෙන යන්නේ ඔලුවේ තබාගෙනය. ලංකාවේ ජනයා ගෙන් බාගයක් වත් හිස් වැසුම් පළඳින්නේ නැත. සියයට 98% ක් වත් පාවැසුම් ගැන දන්නේ වත් නැත.

කොළඹ ජනගහනය 160000 ක් පමණ වෙයි. මුහුද අයිනට වන්නට ජීවත්වන ජනයා, අතු විහිදුනු වැව සහ සැතපුම් ගනනක් රට ඇතුලට දිවෙන කුරුඳු සහ පොල් වතු නගරය කඩවසම් කරයි. අග්‍රාණ්ඩුකාරවරයා ජීවත්වන ක්වීන්ස් හවුස් නිවාසය පැරණි අබලන් තැනකි. නගරයේ තිබෙන වඩාත් පෙනුමැති ගොඩනැගිල්ල තැපැල් කාර්යාලයය. එය අසල ඇති, කටුගෙය සහ ප්‍රින්ස් ක්ලබ් ගොඩනැගිලිද මනා පෙනුමෙන් යුක්තය. රතු පස් මතුපිටක් සහිත සැතපුම් ගණනක් දිග මාර්ග පොල්වතු තුලට දිවෙයි. ඒවා ලෝකයේ ඕනෑම තැනක පාරවල් හා සංසන්දනය කල හැක. රාජ්‍ය නිලධාරින් සහ වාණිජ කටයුතු වල යෙදෙන යුරෝපියයන් විශාල මල් බරවූ ගස් වැල් වලින් වටවුණු මනරම් බංගලා වල ජීවත්වෙති.

1796 වසර වන තෙක් මුහුදුබඩ ප්‍රදේශ පාලනය කලේ ඕලන්ද ජාතිකයන් විසිනි. නමුත් ඒ වසරේ ඉංග්‍රීසි ඔවුන්ගෙන් එම ප්‍රදේශ වල බලය ලබාගත් අතර, 1815 බොහෝ කාලයක් යුරෝපියනට මුහුදුබඩ ප්‍රදේශ වලින් ඉහලට එන්නට දෙන්නේ නැතිව සටන් කල උඩරට රාජධානියද අත්පත් කරගෙන මුළු දිවයිනේම බලය නතුකර ගත්තේය. ලංකාව බ්‍රිතාන්‍යට කරදරයක් හෝ ලොකු වියදමක් වුයේ නැත. යුධ උපක්‍රම සඳහා මෙම දුපත් වටිනාකම මිල කල නොහැක. කොළඹ ගොඩගසා ඇති විශාල ගල් අඟුරු කඳු සහ විශාල යුධ නැව් නඩත්තු කල හැකි නැව් තටාකය පාලනය කිරීමෙන්ම බ්‍රිතාන්‍යට විශාල ප්‍රයෝජනයක් ලැබිය හැක්කේය. සැතපුම් 400 ක් වන රජයේ දුම්රිය මාර්ග අති විශාල ලාභයක් ලබා ගනී. අපනයන සහ ආනයන බදු යටත් විජිත මුදල් පෙට්ටිය පුරවා තබයි.

අනෙක් ආසියානු රටවල් මෙන්ම මෙහි ප්‍රධාන ආහාරය බත්ය. නමුත් පුදුමය ලංකාව නිපදවන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවයෙන් බාගයක් පමණක් වීමය. එහෙයින් මලයාසියාවෙන් සහ ඉන්දියාවෙන් බුසල් මිලියන අටක් පමණ, ඩොලර් මිලියන 5 ක  පමණ මිලකට ගෙන්වා ගැනීමට සිදුවේ, අනෙක් පැත්තෙන් මෙම දුපත සැහෙන ප්‍රමාණයක් රබර්, පොල් තෙල්, පොල්, ඇමෙරිකාවට සහ එංගලන්තයට ඩොලර් මිලියන 21 ක පමණ වටිනාකමකට තේ ද අපනයනය කරයි. ලංකාවේ රබර් ලෝක වෙළඳපොලේ හොඳ මිලක් ලැබෙනු  සේම ඉතා සරුවට වැවෙන බවද පෙනේ. අලිද ලංකාවේ අපනයන ලයිස්තුවේ තවත් අංගයකි. මොවුන් බර ඇදීම සහ විනෝද කටයුතු සඳහා ඉන්දියාවට යැවෙයි.

ලංකාවේ ඉඩවර කාලයට සිදුවිය හැකි ප්‍රධාන සිදුවීම් දෙකක් වෙයි. මෙම සිදුවීම් කවර දවසක සිදුවේ දෝයි අනුමාන කිරීම රාජ්‍ය නිලධාරීන් ජීවත්වන ඕනෑම බංගලාවක නිතරම කතාවෙන ඒවාය. එකක් අග්‍රාණ්ඩුකාරවරයා සහ තවත් ලංකාවේ සංචාරය කරන විශේෂ පුද්ගලයන්ට ගස් මුදුනේ ආරක්ෂා සහිතව ඉදිකළ වේදිකාවක සිට නැරඹීම සඳහා පැවැත්වෙන අලි ක්‍රාල්[1] එකයි. වනයේ රජුන් පස් වලින් වැසූ උණගස් බොරුවලට කඩා වැටීමෙන් පසු අලි ක්‍රාල් එක අවසන් වෙයි. ඉන්පසු ඒ සඳහා බලය දුන් නිලධාරියෙකු ඉන්දියාවේ මහරාජා වරුන් සහ වෙනත් ඊට අඩු පුද්ගලයන්ට මොවුන් විකිණීම සඳහා සාකච්ඡා කරන තෙක් ඔවුන්ට රජයේ භාණ්ඩාගාරයෙන් නඩත්තු කරනු ලැබේ.


[1].සමුහ වශයෙන් අලි ඇල්ලීමට යොදා ගත් ක්‍රමය.

Sunday, August 2, 2020

කරෙයිනගර් හිදී කොන්දේ අමාරුව සුවකර ගැනීම - දෙවන සහ අවසාන කොටස



ඔහු සුදු පැහැය කමිසයකින් සහ සරමකින් සැරසී මා මුණ ගැසීමට පැමිණියේය. අඩි 6 කට කිට්ටුව උස ඔහු මුහුණ පුරා රැවුල වවා සිටියේය.

ඔහු සමග කථාවට වැටුනු පසු ඔහු බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයෙකු බව මට වැටහින. ගුරු රැකියාවෙන් කලට පෙර විශ්‍රාම ගෙන ඇති ඔහු තරුණ කාලයේ සිටම කරාටේ සහ yoga පිළිබඳව උනන්දුවක් ඇති වී, ඒවා ප්‍රගුණ කර දිනපතා පුහුණු කරන පුද්ගලයකු බවට පත්ව සිටියේය. ඒ අතරම ඔහු යම් ලෙසකින් ලලිත් ඇතුලත් මුදලි ඇමතිතුමාගේ ඇසුරට වැටී ඔහුගේ යෝග උපදේශකවරයා ලෙසද, පුද්ගලික ආරක්ෂකයෙකු ලෙසටද, කටයුතු කර ඇති බව  ඔහු මට කියා සිටියේය.

මේ සියල්ල සලකා බලන විට ඔහු ඉන්දියානු දෙමළ චිත්‍රපටවල ඉඳහිට සිටින, අමුතු චරිතයක් වැනි පුද්ගලයකු බව මට වැටහුණි. ඔහු පෙනුමෙනුත් ඒ ආකාරයම විය.

ඔහු මට මගේ කොන්දේ අමාරුව සුව කර ගැනීමට යෝග ව්‍යායාම තුනක් මා ඉදිරියේම කර පෙන්වා සිටියේය.

මම එකල කඳවුරේ ටෙනිස් ක්‍රීඩාව, මේස පන්දු, ටකරං මඩුවක සාදා ගෙන සිටී gymnasium එකට යාම, පිස්තෝල වෙඩි තැබීම් පුහුණුව, යනාදී මෙකී නොකී සියලුම ක්‍රියාකාරකම්වල යෙදුන හෙයින් හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් සිටි  නිසා මෙම යෝග ව්‍යායාම වහාම කරන්නට උත්සාහ කළදකොන්දේ අමාරුවත් සමග ඒවා එතරම් පහසු නොවන බව මට පෙනී ගියේය.

එහෙත් යෝග ව්‍යායාමවල, ඔහු මට කියා සිටියේ, හරි ව්‍යායාම්  දෙසට උත්සාහ කිරීමත්, බොහෝ ප්‍රයෝජනවත් වන බවය. මම එලෙස ඔහු කියූ පරිදි perfection අතහැර ඒ වෙත යාමට උත්සාහ කරමින් සති දෙකක්  පමණ එම ව්‍යායාම කළෙමි. එහි ප්‍රතිඵල මා පුදුමයට පත් කළේය. මගේ කොන්දෙ අමාරුව සති දෙකක් යන විට සම්පූර්ණයෙන්ම සුවයට පත් විය.

මා කොන්දෙ අමාරුව ගැන කලින් නොකියු නිසා ඒ පිළිබඳව මෙතැනදී හෝ යම් විස්තරයක් කිරීම හොඳ යැයි සිතේ. මට මෙම වේදනාව ඇති වූයේ Lumber region or loin
නැමැති කොටසේය. මෙය සිංහලෙන් කියනවා නම් තට්ටම් දෙකට මැදින්  තරමක් ඉහළින් පිහිටි ස්ථානයයි.

මෙහි වේදනාව විශේෂයෙන්ම ඇති වන්නේ ඉඳගෙන හෝ නිදාගෙන සිට නැගිටින විටය. විශේෂයෙන් නිදාගෙන සිට නැගිටින විට මේ වේදනාව කොතරම් දරුණුද යත්, ඇඳෙන් නැගිටීමට අඩුවෙන්ම වේදනා දෙන  කෝණයක් සොයාගැනීමට විනාඩි පහළොවක් පමණ ගතවේ. එහි දරුණුම කාලයේ මම ඇඳ ළඟ බිම  සාමාන්‍යයෙන් තබාගන්නා smg ආයුධය අසල පොල්ලක් තබා ගෙන සිටියෙමි. ඇඳෙන් නැඟිටින්නට ඕනෑ වූ විට එම පොල්ල අතට ගෙන, එය බිමට තබා එයට බරදී නැගිටීම අපහසු අඩුම ක්‍රමය බව මම සොයා ගතිමි. පුටුවක ඉඳගෙන නැගිටින විටත් අත් දෙක යොදා ගෙන, පුටුවේ ඇඳි වලට බර දී නැගිටින එක වේදනාව අඩුම ක්‍රමය බවද, මෙම වේදනාව විඳපු අයට රහසක් විය නොහැක.

මෙලෙස මම මෙම රෝගී තත්ත්වයෙන් මිදුණු පසු ඔහුටද ඒ පිළිබඳව දන්වා ස්තුති කර,  මෙලෙසම කොන්දේ අමාරුවෙන් නිතරම වද විඳි මගේ මිතුරෙකුට මා දුරකථනයෙන් මේ පිළිබඳව පැහැදිලි කළෙමි. ඔහුටත් මාසයකින් පමණ මෙම රෝගී තත්ත්වයෙන් මිදෙන්නට හැකියාවක් ලැබී මට බොහෝ ස්තුති කළේය.

මා කලකින් පසු කරෙයිනගර්හි එළාර නාවික හමුදා කඳවුරෙන් මාරුවීම් ලැබ, නාවික හමුදා මූලස්ථානයේ මාණ්ඩලික තනතුරකට ගිය පසු, මෙම යෝගි ගුරුවරයා ඔහුගේ දරුවෙකුට කොළඹ විශ්ව විද්‍යාලයකට යාම සඳහා නැවතීමට තැනක් සොයා දෙන්න යැයි පවසා මා වෙත පැමිණි අතර, ඒ උදව්ව මම ඔහුට කර දුනිමි. ඉන්පසු ඔහු මට මුණ ගැසුණේ නැත, නමුත් මම තවමත් කොන්දෙ අමාරුව මතක් වන විට ඔහුට ස්තූති කරමි.

මේ සම්පූර්ණ මතකය මේ ලඟකදී මත වූයේ මට නැවතත් කොන්දෙ අමාරුව හැදුනු නිසාය. කොන්දෙ අමාරුව සම්පූර්ණයෙන් සුව වී ඇතැයි සිතූ මම දැන් අවුරුදු කිහිපයකට පෙර, ඊට පෙර දිගටම දෛනිකව කළ මෙම යෝග ව්‍යායාම් 3 කිරීම අතහැර දැම්මෙමි. Taken for granted කියන්නේ මේ වගේ වැඩවලටය. ළඟකදි මේස පන්දු ගසද්දී ඈතින් යන බෝලෙකට අත දිගුකර එය ආපසු ගැසීමට උත්සාහ කරද්දී, මට නැවතත් කොන්දෙ අමාරුව වැළඳුනි.
යහළුවන් කිහිප දෙනෙක් මට නොයෙකුත් ප්‍රතිකර්ම සහ වෙදදුරන් නිර්දේශ කළහ. දෙදෙනකු ඔවුන් නිර්දේශ කරන තෙල් වර්ග ගෙනත් දුන්නාහ. තවත් යාළුවෙකු ඔහු දන්නා යටවර වෙද මහතෙකු වෙත මා ගෙන යාමට ගෙදරට පැමිණියේය.

ඒ අතර මේ ගැන කතාකරද්දී  මට දැනගන්නට ලැබුණේ මමද දන්නා හඳුනන කිහිප දෙනෙකුටම මෙලෙස කොන්දේ අමාරු තිබෙන බවත්, බටහිර වෛද්‍ය ක්‍රම වලින් ඒවා සුව නොවන නිසා නොයෙකුත් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වී ඇති බවත්ය.

මෙලෙස බොහෝ දුක් විදිමින් සිටිද්දී, එක් වරම මට කරෙයිනගර් වල සිදු වූ එම සිද්ධිය මතකයට පැමිණියේය. වහා එම යෝග ව්‍යායාම තුන කරන්නට පටන් ගත්තෙමි, හරියටම දවස් 10 කින් කොන්දෙ අමාරුව සම්පූර්ණයෙන්ම සුව විය.

හුදී ජන උපකාර පිණිස එම ව්‍යායාම තුන පහත පලකරමි.


 බුජන්ගාසනය - ගැඹුරු හුස්ම 15 



හුස්ම 15 ක් පමණ - මුනින්  අතට නිදාගෙන අත් ස්රුරේ දෙපැත්තට අල්ල ඉ හලට තබාගෙන කකුල් කෙලින් තබාගෙන හැකිතරම් ඉහලට එසව්ම 

හුස්ම 25 ක් පමණ - මුල් කාලයේ කකුල් දෙක ඉහලට තල්ලු කර දීමට කෙනෙක් සිටිය යුතුය 

Saturday, August 1, 2020

කරෙයිනගර් හිදී කොන්දේ අමාරුව සුව කර ගැනීම

මම පසුගිය සහශ්‍රයේ, 2000 වර්ෂයේ යාපනයේ කරෙයිනගර්  නාවුක කඳවුරේ අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කළෙමි. බටහිර යාපනේ දූපත් කිහිපයක්ද කරෙයිනගර් කඳවුරේ අණට යටත් විය. එසේම කඳවුරට බොහෝ දුරින් පිහිටි ඩෙල්ෆ් දූපත සහ කිලාලි නාවික කදවුරද කරෙයිනගර් අණදෙන නිලධාරිවරයාගේ වගකීමක් විය. එකල ඩෙල්ෆ්ට් දූපතේ පාලනය කරන ලද්දේ අප යටතේ  ඊපීඩීපී  සංවිධානය එතරම් දුර බැහැරක තිබුණු නිසා ඉතාමත් දුෂ්කර විය හැකිව තිබුණු  එම දූපතේ පාලනය, එතරම් අපහසුවකින් තොරව සිදුවිය. අනෙක එම දූපතේ පාලනය ඔවුනට එතරම් වැදගත් නොවුණු නිසා, එල්ටීටීඊය ද ඩෙල්ෆ් දූපත පිළිබඳව එතරම් උනන්දුවක් දැක්වූයේ නැත.

නමුත් කිලාලි නාවික අනුඛණ්ඩය සම්පූර්ණයෙන්ම වෙනස් කතාන්දරයක් විය. යාපනය කලපුවේ දකුණු දිශාවෙන් සිටි එල්ටීටීඊ කණ්ඩායම් වලට කලපුවේ  පාලනය තමන් යටතේ  තබාගැනීමට තිබුණු එකම තර්ජනය වූයේ කිලාලි නාවික හමුදා අනුඛණ්ඩය විය. ඒ නිසා මෙම අනුඛණ්ඩය වෙත නිතරම පහරදීම් සිදුවුණු අතර, විශේෂයෙන්ම සතුරු යාත්‍රා වලින් පැමිණ එම කදවුර වෙත වෙඩි තැබීම දෛනිකව වාගේ සිදුවිය. මෙම කඳවුරේ මෙහෙයුම් කටයුතු වගකීම දැරුවේ ද කරෙයිනගර් නාවික හමුදා කඳවුරේ අණදෙන නිළධාරීවරයා නිසා මට නිතරම කිලාලි කදවුර වෙත යාමට සිදුවිය.

එකල යාපනය අර්ධද්වීපයේ මහා මාර්ග ඉතාමත් අබලන් තත්ත්වයෙන් තිබුණි. දශක කිහිපයකින් පාරවල් නඩත්තු නොකර තිබූ අතර, පාරවල් වල අඩියේ දෙකේ ගැඹුර වලවල් තිබුණි. විශේෂයෙන්ම කරෙයිනගර් සිට කන්කසන්තුරය දක්වා පාර ඒවායින් දුෂ්කරම පාරක් විය. මේ අතර එකල තිබූ බිම්බෝම්බ තර්ජනය නිසා වාහන වලට වලවල් මඟහරිමින් හෙමින් ගමන් කිරීමක් කරන්නටද නොහැකි විය. මම කිලාලි වෙත ගියේ ඩබල් කැබ් වාහනයකිනි. බිම්බෝම්බ අවදානම නිසා හිමින් යන්නට ද නොහැකි වුණු අතර, වේගයෙන් යන විට වලවල් වලට වැටීමද නො වැළැක්විය නොහැකි වූ නිසා, මෙම ගමන ඉතාමත් දුෂ්කර එසේම සිරුරට මහත් වද දෙන ගමනක් විය. තමන්ම එලවන විට වලවල් නිරීක්ෂණය කර ආසනය මත  සිරුර, වලට වැටීමේදී සිදුවන ගැස්සීමට අනුරූපි ලෙස සූදානම් කර ගැනීමට හැකි වන නිසා, බොහෝවිට වාහනය මමම එළෙව්වෙමි. නමුත් ටික දවසක් මෙසේ කරන විට මට බලවත් කොන්දේ වේදනාවක් හැදුනි.

වෛද්‍යවරුන් කීප දෙනෙකු හමු වුවද නොයෙකුත් ප්‍රතිකාරයන් කළද සුවයක් නො ලැබුණු අතර, ඒ සඳහා ශල්‍යකර්මයක් සිදු කළ යුතු බවද එහෙත් එහි සුවවීමේ සම්භාවිතාවය 50% ක් පමණ බවද දැනගන්නට ලැබුණි. නොයෙකුත් බාහිරෙන් කරන ප්‍රතිකර්ම සිදු කළද ඒ තරම් සුවයක් ලැබුණේ නැත.

එකල අර්ධද්වීපයේ කරෙයිනගර් ප්‍රදේශය සතුරාගෙන් මුදාගත් ප්‍රදේශයක්  නිසා, කරෙයිනගර් සහ එහි දූපත්වල රාජ්‍ය පරිපාලන කටයුතු සිදුකිරීමේ සම්බන්ධීකාරක නිලධාරියා වශයෙන් රජයෙන් පත් කර තිබුණේද මාය. මේ සඳහා රුපියල් 2500 ක අමතර දීමනාවක්ද රජයෙන් ගෙවන ලද බව මට මතකය. අධ්‍යාපනය ගොවිතැන් සෞඛ්‍ය ව්‍යාපාර ධීවර කටයුතු යනාදී වශයෙන් ප්‍රදේශය පරිපාලන කටයුතු පිළිබඳව රැස්වීම් වල මූලාසනය දැරුවේද මා හෙයින්, මට නොයෙකුත් විදිහේ පුද්ගලයන් එහිදී මුණ ගැසුණි.

මෙලෙස ව්‍යාපාරික රැස්වීමකදී මට මුණ ගැසුණු විශ්‍රාමික ගුරුවරයෙක් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මා සමඟ බොහෝ කිට්ටු විය. කන්දයියා නම් වූ  දුම්ර්ය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරියා කලකට පසු මම නාවුක මුලස්ථානයේ රාජකාරි කරද්දී මියගිය බව දැනගෙන, එකල මම ඩේලි නිව්ස් පුවත්පතේ appreciation පිටුවේ  Kandaiyaa of Karainagar යනුවෙන් කුඩා ලිපියක්ද ලිව්වෙමි.

 

 එක් දවසක් මෙවැනි රැස්වීමකට ගොස් මා කොන්දෙ අමාරුව නිසා  වාහනයෙන් බහින්නට කරන උත්සාහය දුටු මේ විශ්‍රාමික ගුරුවරයා රැස්වීම අවසානයේ දී මා වෙත පැමිණ මේ සඳහා ඔහු වෙත ප්‍රතිකර්මයක් ඇති බවද, කඳවුරට පැමිණ එය කියා දෙන්නට පුළුවන් බවත් මට කියා සිටියේය.


මීළඟ සහ අවසාන කොටස ඊළඟ බ්ලොග් එකෙන් ..........

ජපානෙත් එහෙමද