Friday, October 18, 2019

10 මගේ දඹදිව වන්දනාව 10 ; අපුරු දේශ සීමාව





කපිලවස්තු කිට්ටු  වන විට අප බසයේ සිටි පිරිසට වැසිකිළියට යාම සඳහා ලංකාවේ හාමුදුරු නමක් විසින් පවත්වාගෙන යන පන්සලකට අප රැගෙන යාමට මාර්ගෝපදේශකයා මහා මාර්ගය අයිනේ ගොඩනැගිල්ලක් ළඟ වාහනය නැවතීය. එය දෙතුන් සියයකට රාත්‍රිය ගත කිරීමට තරම් ඉඩ පහසුකම් තිබෙන ස්ථානයක් වූ අතර, තවදුරටත් එම ගොඩනැගිල්ල විශාල කිරීමට කටයුතු කරමින් යන බව පෙනුණි.

එම ස්ථානයේ වෙනත් ආගමික ගොඩනැඟිල්ලක් හෝ නටබුන් තිබෙන ස්ථානයක් පෙනෙන්ට නොතිබුණු අතර මෙම ආගමික ස්ථානය ලංකාවෙන් වන්දනාවේ එන නඩ සදහා පාවිච්චියටම සාදා ඇති බව පෙනුණි. ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන හෝ එවැනි නටඹුන් තිබෙන සෑම ප්‍රදේශයකම පාහේ මෙවැනි ලංකාවේ සහ වෙනත් බෞද්ධ රටවල විහාර පන්සල් පවත්වාගෙන යන බව පෙනේ. මහා බෝධිය අසල පමණක් මෙවැනි වෙනත් රටවල පන්සල් තිහක් පමණ තිබෙන බව අපගේ මාර්ගෝපදේශකයා අප හට පැවසීය.

කපිල වස්තු යයි ඉන්දියාවේ සැළකෙන ස්ථානයේ  සිට අපි නේපාල  දේශසීමාව වෙත ගමන් කළෙමු. ඒ මාර්ගය බෞද්ධ ඉතිහාසය කියනා පරිදි මහාමායා දේවිය සිදුහත් කුමරු ලැබීමට සිටියදී තමන්ගේ දෙමවුපියන් වෙත ගමන් කරමින් තිබු මාර්ගය විය යුතුය. එම ස්ථානයට කිට්ටුව මාර්ග පුවරුවක නේපාලයට කිලෝ මීටර 3 ක් යයි සඳහන්ව තිබුනද, මහා මාර්ගය කිලෝ මීටර 30 කටත් වැඩි විය.

එහෙත් මේ සියලූ පුරාවෘත්ත නිවැරදි දැයි දැන් සැකයක් පහළව තිබේ. ඒ නේපාලයෙ ඇතුළත ස්ථානයක කපිලවස්තුපුරය ඇති බවට කැනීම්වලදී කරන ලද සොයා ගැනීම් නිසාය. බෞද්ධ සංචාරකයන් මේ රටවල් දෙකටම විශාල ආදායමක් ගෙන දෙන නිසා, මේ රටවල් දෙකම බුදුරදුන්  හැදුනු වැඩුණු ප්‍රදේශය තිබෙන්නේ තමන්ගේ රටේ යයි ප්‍රසිද්ධ වෙනවාට බොහෝ කැමැත්තේය.

මේ ලඟකදී යුනෙස්කෝ ආයතනයෙන් එංගලන්තයේ විශ්ව විද්යාලයකින් යවන ලද පුරා විද්‍යාඥයින් දෙදෙනෙකු මෙම ස්ථාන පරීක්ෂා කර තීරණය කරන ලද්දේද කපිලවස්තුපුරය තිබෙන්නේ  නේපාලයේ දැනටමත් කපිලවස්තු යැයි හඳුන්වන ස්ථානය වන අතර, ඉන්දියාව කපිල වස්තුවයි කියන ප්‍රදේශය ඇත්තෙන්ම බුදුන් කල නිග්රෝධාරාමය වන බවයි.

විශේෂයෙන්ම ධනවත් චීනය ජපානය තායිවානය තායිලන්තය වැනි රටවල බෞද්ධයන් මෙවැනි ස්ථාන වලට සහ ඒ අවට දියුණු කිරීමට බොහෝ මුදල් යොදවන නිසා, මෙවැනි ස්ථානයක් තමන්ගේ රටේ තිබෙන බව ප්‍රකාශ කිරීමට ඉන්දියාව සහ නේපාලය බොහෝ උනන්දුවක් ගනිති. උදාහරණයකට වර්තමානයේ නේපාලයේ ලුම්බිණිය සහ ඒ අවට මිනිසුන්ගේ ජීවන තත්වය නගා සිටුවීමට චීනය සහ යුනෙස්කෝ සංවිධානය එකතුව ඩොලර් බිලියනයක ව්‍යාපෘතියක් සිදු කරයි. අප යන විටත් ඒ ප්‍රදේශවල මහා මාර්ග සීඝ්‍රයෙන් දියුණු කරගෙන යන බවක් පෙනුණි.

ඉන්දියාවේ සිට නේපාලයට ඇතුළුවන දේශ සීමාව හරහා යන විට වරායක් නැති රටකට තිබෙන ප්‍රශ්න කොතරම් දැයි කෙනෙකුට සිහියට නැගෙන්නේය. ඒ දේශ සීමා මුරපොල හරහා ඉන්දියාවේ වරාය වලින් නේපාලය සඳහා පැමිණෙන නොයෙකුත් භාණ්ඩ රැගෙන යන විශාල ලොරි රථ පෝලිම කිලෝමීටර් පහකටත් වඩා වැඩි වන්නට ඇත. මේ ලොරියකට සාමාන්‍යයෙන් එම මුරපොළ පසුකර අනිත් පැත්තට යාමට දවස් දහයක් පවා ගතවන අවස්ථා තිබෙන බව ඒ අසල සිටි කෙනෙකුගෙන් මා ඇසූ විට දැනගන්නට ලැබුණි.





අපටද එම මුරපොළෙන් එහා පැත්තට යාමට බොහෝ වේලාවක් එතැන ගත කරන්නට සිදුවුණි. විශේෂයෙන්ම ඉන්දියාවේ ආගමන හා විගමන අංශය මෙම කටයුත්ත ඉතාමත් හෙමින් සිදු කරන බව දැනගන්නට ලැබුණි. මීට අවුරුදු කිහිපයකට පෙර මෙලෙස කිසිම ප්‍රමාදයක් නොමැතිව පිටවීමේ අවසරය ලබාගැනීමට පහසුකම් තිබූ බව දැනගන්නට ලැබුණි. එය සඳහා සෑම සංචාරකයෙකු වෙනුවෙන්ම රුපියල් හතළිහක්  අත අස්සෙන් ගෙවූ නිසා, මේ පිළිබඳව එම නිලධාරීන් විශේෂ උනන්දුවකින් කටයුතු කර, රටින් පිටවීමට අවශ්‍ය කටයුතු  ඉක්මනින් ලබා දීමට කටයුතු කළ බව දැනගන්නට ලැබුණි.

මේ පිළිබඳව යම්කිසිවෙකු ඉන්දියාවේ ඒ ප්‍රදේශයේ ආගමන විගමන පාලකවරයාට පැමිණිලි කළ පසු, එම පහසු ක්‍රමය නැවතී ඇති අතර නිලධාරීන් එම මුදල් නොලැබී ගිය නිසා තරහට ඉල්ලූම්පත් එකින් එක හෙමින් පරීක්ෂා කර, අකුරට වැඩ කරන බවද දැනගන්නට ලැබුණි.

වැඩිය වැඩකුත් නැති බෞද්ධ කටයුතු අමාත්‍යංශයට යම් දෙයක් කිරීමට මේ හොඳ අවස්ථාවකි. ඉන්දියානු රජයත් සමග කතාකර මෙතන ලාංකිකයනට වෙනම කවුළුවක් සාදා departure stamp ගැස්සවීමට ක්‍රමයක් දීමට ඉන්දියානු රජය ලෙහෙසියෙන්ම කැමති වනු ඇත.

No comments:

Post a Comment

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...