Showing posts with label srilanka. Show all posts
Showing posts with label srilanka. Show all posts

Wednesday, April 12, 2017

අද්මිරාල් ස්පිල්බර්ගන් මහනුවරට පැමිණීම. part 1


                                       විමලධර්මසූරිය රජු සහ අද්මිරල් ජොස් වෑන් ස්පීල්බර්ගන්( පසුබිමේ යුධ පුහුණුව                                            ලබන ලාංකික හේවායන් පිරිසක් පෙනේ.)

1815 ට පෙර ශත වර්ෂ 04 ක් පමණ යුරෝපීය ජාතීන් හතරක් ශ්‍රී ලංකාවේ නොයෙකුත් ප්‍රදේශ වරින් වර පාලනය කලහ. මෙම ජාතීන් එම යුගයන්හි ලොව බලවත්ම නාවික හමුදා හා යුධ හමුදා බලයෙන් යුක්ත වූහ. කන්ද උඩරට රාජධානියෙහි වැසියන් අවුරුදු 200 කට වැඩි කාලයක් (1590-1815)  මෙම යුරෝපීයන් සමග සටන් කර තම ස්වාධීනත්වය රැක ගැනීමට සමත් වූහ. 

එම යුරෝපීය ජාතීන් හා සසදන කල නාවික බලයෙන් හා අවි ආයුධ වල තාක්ෂණික දියුණුව අතින් කන්ද උඩරට රාජධානිය ඉතා දුර්වල තත්වයක පැවතිණ. කදුවල සටන් කිරීමේදී ගරිල්ලා උපක්‍රම උසස් ලෙස යොදා ගැනීම හා අප්‍රතිහත ධෛර්ය හා නිර්භීත භාවයෙන් සටන් කිරීම නිසා මහනුවර රාජධානිය මෙලෙස ශත වර්ෂ දෙකක් ස්වාධීනව පැවතුනද ඒ සදහා එහි වැසියන් හට අතිමහත් ජීවිත පරිත්‍යාග කිරීමට සිදුවිය. මෙයට අමතරව යුරෝපීය ජාතීන් එකිනෙකාට විරුද්ධව සටන් කිරීමට පෙලඹ වීමෙන් ඔවුන්ගේ බලය දුර්වල කිරිම වැනි රාජ්‍ය තාන්ත්‍රික උපක්‍රමද මේ සදහා යොදා ගැණින. 

එකල මෙහි පැමිණි යුරෝපීයන් ගෙන් මුලින්ම පැමිණියේ පෘතුගීසීන්ය. ඔවූහූ කෝට්ටේ සිංහල රජු හා එකතුව මුහුදු බඩ රාජධානිය පාලනය කලහ. පෘතුගීසීන් ලංකාවෙන් පලවා හැරීමට මහත් වෙහෙසක් දැරූ වර්තමානයෙහි අවිස්සාවේල්ල යැයි අපි හදුන්වන, සීතාවක තම රාජධානිය කරගත් රාජසිංහ රජු 1592 වර්ෂයේ මිය ගියේය. ඉන්පසු සීතාවක රාජධානිය පෘතුගීසීන්ට අයත් විය. එකල කෝට්ටේ සහ සීතාවක රාජධානි ශ්‍රී ලංකාවේ ඉතාමත් ධනවත් රාජ්‍යයන් වූ අතර, එම රජවරුන් විශාල ධන සම්භාරයක් ඔවුන්ගේ රාජ්‍ය භාණ්ඩාගාර වල රැස්කර තිබුණි. එම ධනය, හමුදා සහ යුධ උපකරණපෘතුගීසිනට අඩු වැඩි වශයෙන් එකතු වුන හෙයින් පෘතුගීසිනට විශාල බලයක් ලැබුණි. 

මෙලෙස රටේ සෑහෙන ප්‍රමාණයක බලය ලබා ගත් පෘතුගීසීන්ට විරුද්ධව සිංහලයන් පෙල ගැසුනේ එකල මහනුවර රජකම් කල පලවෙනි විමලධර්මසූරිය රජු යටතේය. දරුණු සටන් කිහිපයකින් පෘතුගීසීන් අන්ත ලෙස පරාජය කල නමුත් පෘතුගීසීන් සතුව තිබූ අසීමිත සම්පත් නිසාත්, ඔවුන්ගේ විශිෂ්ඨ නාවික බලය නිසාත්, විමලධර්මසූරිය රජුට පෘතුගීසීන් රටින් පලවා හැරීමට නොහැකි විය. 

මේ සදහා කෙටි කාලීන ප්‍රතිකර්මයක් ලෙස වෙනත් යුරෝපීය මුහුදු බලයක් ගෙන්වා ගත යුතු යැයිද දීර්ඝ කාලීන විසදුමක් තමන්ටම කියා මුහුදු සටන් බලයක් තිබිය යුතු බවද කල්පනා කල විමලධර්සූරිය රජු නෙදර්ලන්තය යැයි වර්තමානයේ හදුන්වන එකල ඕලන්දය නමින් හැදින්වූ පෘතුගීසීන්ට විරුද්ධව නාවික අධිරාජ්‍යයෙන් උදව් ඉල්ලා පණිවිඩ අතර ඒ සමගම මහියංගනයේ මහවැලි ගඟේ යුධ නැව් කණ්ඩායමක් නිෂ්පාදනය කිරීමද ආරම්භ කලේය. ඒ පිළිබඳ විස්තරය පහත ලින්ක් එකට ගොස් කියවිය හැක.

http://lakshmanillangakoon.blogspot.com/2017/04/the-brave-fleet.html 



                   එකල නෙදර්ලන්තයේ සිට ලංකාවට මුහුදු මාර්ගය  

මෙම මුල් ඉල්ලීම පරිදි නෙදර්ලන්තයෙන් 1601 මැයි මස 05 වන දින අද්මිරාල් ජොරිස් වෑන් ස්පීල් බර්ගන් නමැති නාවික නිලධාරියා යටතේ රාම්, ශීල් සහ ලෑම්බ් යනුවෙන් නම් කරන ලද නෞකා තුනක් ශ්‍රී ලංකාව වෙත එවන ලදි. 

මෙම අද්මිරාල්වරයා එකල ප්‍රසිද්ධ නාවික නිලධාරියෙකු විය. ඔහු ඇන්ට්වර්ප් නගරයේදී 1568 උපත ලබා බොහෝ නාවික සංචාර සහ යුද්ධ වලට සහභාගි විය. 1596 ඔහු මුලින්ම අප්‍රිකාවට වෙළඳාම සදහා නැව් කණ්ඩායමක් සමග ගියේය. ඉන්පසු 1601 මැයි 05 වන දින වල්චරෙන් දූපතෙන් වෙරේ වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූයේය.



             The church in Veere, by Jan van der Heyden (1637–1712)

අද්මිරල් ස්පිල්බර්ගන් ගැන කෙටි සටහනක් මෙතනට යෝග්‍යය. මොහු මහනුවර රාජකාරියෙන් පසු 1607 ජිබ්‍රොල්ටා මුහුදු සටනට සහභාගි විය. 1614 නැව් 05 ක් රැගෙන ගොස් මැක්සිකෝවේ තිබූ ස්පාඤ්ඤ කොළණි ආක්‍රමණය කලේය. ඉන්පසු ඔහු ස්පාඤ්ඤ යුධ නෞකා සමග අකපුල්කෝහි මුහුදු සටන් කලේය. ඔහු ඒ අවුරුද්දේම ස්පාඤ්ඤ මුතු නැවක් වූ සැන්ප්‍රැන්සිස්කෝ අල්ලා ගත්තේය. ඉන්පසු පැසිපික් සාගරය හරහා මරියානා දූපත් වලට ගිය ඔහු එතනින් පිලිපීනය, ටර්නේට් සහ මලුකු දූපත් වලට පැමිණ 1616 වන විට පෘතුවිය වටා සම්පූර්ණ රවුමක් ගමන් කර 1617 ආපසු නෙදර්ලන්තයට පැමිණ 1620 දී  ඉතාමත් දුප්පත් මිනිසෙකු ලෙස මිය ගියේය.     
නෞකා තුන, මේ සූවස් ඇළ කැපීමට බොහෝ පෙර නිසා  , අප්‍රිකාව වටා සුභපැත්මේ තුඩුව පසුකර  පැමිනෙමින් ලංකාව දෙසට ගමන් කරන අතරතුර නෞකා දෙකක් කුණාටුවකට අසුවී මුහුදේ අතරමං විය. අද්මිරාල් ස්පිල් බර්ගන් පැමිණි නෞකාව 1602 මැයි මස 29 වන දින මඩකලපුවට පැමිණියේය. කොළඹ, ගාල්ල සහ මාතර වැනි ප්‍රදේශ තමන්ගේ සතුරන් වූ පෘතුගීසීන්ට යටත් යටත්වී තිබූ නිසා එම ප්‍රදේශ හරහා මහනුවරට පැමිණිය නොහැකි බැවින්, මඩකලපුව අසල නැංගුරම් දමා අද්මිරාල් ස්පිල් බර්ගන් තමන්ගේ පණිවිඩ කරුවන් කුඩා බෝට්ටුවකින් ගොඩබිමට යැවීය. 

පණිවිඩකරුවන් ගොඩබිමදී සොයා දැනගත් පරිදි තමන් වැරදීමකින් නැංගුරම්ලා ඇත්තේ මඩකලපුවේ නොව ඊට දකුණෙන් වූ වෙනත් ස්ථානයක බව අද්මිරාල්වරයා තේරුම් ගත්තේය. ඉන්පසු මඩකලපුවේ කලපුව අසල පසුදින නැංගුරම්ලා ගත්තේය. මෙසේ නැංගුරම් දැමූ පසු නෞකාව වෙත බෝට්ටුවකින් පැමිණිසිංහල නිලධාරීන් පිරිසක් නෞකාවට ඇති තරම් ගම්මිරිස් හා කුරුදු ලබාදිය හැකි බවත්, කන්ද උඩරට රජු වෙනුවෙන් එකල මඩකලපුව පාලනය කරන දිසාවේ තැන අද්මිරාල් ස්පිල් බර්ගන් මුණ ගැසීමට කැමැත්තෙන් සිටින බවත් අද්මිරාල්වරයා වෙත දැනුම් දුන්හ. 



                                එකල මඩකලපුවේ නැංගුරම් පොල.  

මේ සදහා පසුදින අද්මිරාල් ස්පිල් බර්ගන් තවත් සහයකයන් හතර දෙනෙකු සමග බෝට්ටුවකින් වෙරළට පැමිණියේය. ඔවුන් පිලිගැනීමට විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබුණි. මෙම පිලිගැනීමට විශේෂයෙන් පුහුණු කල අලි ඇතුන්ද යොදා තිබූ අතරම අද්මිරාල් ස්පිල් බර්ගන්ට ආචාර කිරිමටද මෙම අලි ඇතුන් යොදා ගැනුණි. මෙහිදී මඩකලපු ප්‍රදේශයේ රජුගේ ප්‍රාදේශීය පාලකයා තමා ස්වාධීන රජෙකු බව ප්‍රකාශ කරමින් අද්මිරාල්ට තමා වංචාකාරිව හදුන්වා දුන්නේය. ඔහු විසින් අද්මිරාල් ස්පිල් බර්ගන්ට වෙළඳාම සදහා ගම්මිරිස්, කුරුදු, මුතුථ මැණික් යනාදිය ලබාදෙන බවටද පොරොන්දු විය. ඉන් පසු දිනද අද්මිරාල් ස්පිල් බර්ගන් මෙම ඊනියා මඩකලපු රජු හමුවීමට ගිය අතර, එහිදී මිනිසුන් දෙදහසකින් සමන්විත හමුදා පෙළපාලියක් සහිතව ඊනියා රජතුමා අද්මිරාල් ස්පිල් බර්ගන් පිලිගත්තේය. 

මෙහිදී අද්මිරාල් ස්පිල් බර්ගන් නොයෙකුත් ත්‍යාග මඩකලපුව දිසාව වෙත පිරිනමන ලදි. ඔහු විසින් රැගෙන ගිය ඕලන්ද සංගීතකරුවන් විසින් දිසාවේ සහ ඔහුගේ පිරිසට නැරඹීම සදහා සංගීත සංදර්ශනයක්ද ඉදිරිපත් කලහ. මෙහිදී මෙම දිසාව තැන ඔහු මඩකලපුවේ ස්වාධීන රජු ලෙස ප්‍රකාශ කර නෙදර්ලන්තය සමග ගනුදෙනු කිරීමට කැමති බව දන්වා සිටියේය. මෙම අවස්ථාවේ මෙම පාලකයා විසින් අද්මිරාල් ස්පිල් බර්ගන් ගෙන් වෙළඳ ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම සදහා ඔහුගේ නෞකාවක් ගොඩබිම ආසන්නයට ගෙන එන ලෙසට ඉල්ලා සිටියේය. 

මෙය තමාගේ නැව් ගොඩබිම ආසන්නයට ගෙන මංකොල්ලකෑමට සැලසුමක් බව අද්මිරාල්වරයාට සැක සිතුණි. අද්මිරාල් දිසාවගේ නිලධාරීන් කිහිප දෙනෙකු සමග ආපසු නැවට ගොස් ඔවුනට ඔහු ලග තිබූ වෙළඳ ද්‍රව්‍ය පෙන්වා ඔහු දිසාවත් සමග වෙළඳාම් කිරීමට කැමති බවත්, ඒ සදහා හුවමාරු කිරිමට නෞකාවේ වටිනා වෙළඳ ද්‍රව්‍ය ඇති බවත් දිසාවේ වෙත දන්වා යැවීය. ඉන්පසු දිසාවේ විසින් බෝට්ටුවක දඩමස්, කුකුළන්, බටර් සහ පළතුරු අද්මිරාල්වරයා වෙත යවමින් ඔහුත් සමග වෙළඳ සම්බන්ධතා පැවැත්වීමට කැමති බව නැවත වරක් දන්වන ලදි. 

මෙම කටයුතු සිදුවන අතරතුර අද්මිරාල්වරයාට දැනගන්නට ලැබුනේ මෙම ප්‍රාදේශීය පාලකවරයා මහනුවර රජු යටතේ පාලනය වන බවත්, විටින් විට පෘතුගීසීන් බලවත් වන අවස්ථාවන්හිදී ඔවුන් සමග එකතු වන බවත්ය. මෙම ආරංචිය දැනගත් පසු අද්මිරාල් ස්පිල් බර්ගන් මේ පිළිබඳව මඩකලපුව ප්‍රාදේශීය නායකයාගෙන් විමසූ අතර, ප්‍රාදේශීය පාලකයා එය සත්‍යයක් බව පිලිගත්තේය.

to be continued     

Thursday, March 2, 2017

රුපියල බහින්නේ ඇයි? එහි පල විපාක සන විසඳුම් කවරේද?






මේ දිනවල ඇමරිකානු ඩොලර් හා සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියලේ වටිනාකම බොහෝ සාකච්ඡාවට බඳුන්වන මාතෘකාවකි. ඩොලරයේ සහ රුපියලේ වටිනාකම් පිළිබඳව මුලින්ම යමක් කියවූයේ ශ්‍රී ලංකාවේ සිටි අන්තර් ජාතිකව ප්‍රසිද්ධ පොත් කතුවරයෙකු වූ ආතර් සී ක්ලාක් මහතාගේ පොතකය. 

මා එය කලකට පෙර මිලදී ගත්තද, දැන් එය කොතනක හෝ සැඟවී ඇත. මට මතක හැටියට එහි තිබුනේ ආතර් සී ක්ලාක් මහතාගේ ජීවිත කථාව වන අතර, එහි ඔහු ලංකාවේ පදිංචි වීමට තෝරාගෙන තමාගේ අම්මාට ලිපියක් ලියයි. එහිදී ඔහු 1956 වසරේ තමාගේ කොළඹ අලුත් නිවසට ගෘහ සේවකයෙකු බඳවා ගත් බවද, ඔහුගේ මාසික වැටුප, මට මතක හැටියට, රුපියල් පහක් බවද, එහි ඩොලර් වටිනාකම ඩොලර් දහයක් වන බවද කියයි. ඒ අනුව එකල රුපියලේ වටිනාකම ඩොලරයේ වටිනාකමට වැඩි බව පෙනේ. වසර 60 ක කාලයකින්, දැන් ඩොලරයේ අගය රුපියල් 153 කි. ඒ කියන්නේ 56 දී  සමාන අගයක් ගත්තත් අපේ රුපියල ඩොලරයට සාපේක්ෂව අඩුම තරමින් 153 ගුනයකින්වත් අඩු වී තිබේ. මේ කියන්නේ 15300% කින් අගය අඩු වී ඇති බවයි. මෙතරම් විශාල පසුබෑමක් පිලිගන්නටත් අමාරු නිසා එක්කෝ මට හෝ එසේත් නැත්නම් ආතර් සී ක්ලාක්ට මේ පිළිබඳ වැරැද්දක් වූවාදැයි සැක සිතෙන තරමට මේ පරිහානිය විශාලය. 

එය වැරදීමටත් බැරිය. 1980 දී ඩොලරයේ වටිනාකම රුපියල් 8 ක් බව මට හොඳට මතක මම මුලින්ම පිටරට ගියේ ඒ අවුරුද්දේ නිසාය.

මෙලෙස මුදල්වල වටානාකම අඩුවීම සිදුවන්නේ කෙසේද? මෙයට ප්‍රධානතම හේතුව අපි රුපියල් දී ඩොලර් මිලදී ගැනීමය. ඩොලර් මිලදී ගැනීමට වැඩි වැඩියෙන් උත්සාහ කරද්දී ඩොලරයට රුපියලට සාපේක්ෂව ඇති ඉල්ලුම වැඩිවෙයි. එසේ ඉල්ලුම වැඩිවන විට එහි මිලද අධික වෙයි. මෙය නිදහස් වෙළඳපොල මූලික ලක්ෂණයකි. අනික් අතට ලෝකයේ අනික් රටවල් ලංකාවේ නිපවන යම් දෙයක් මිලදී ගන්නට පොර කන්නේ නම් ඔවුන් එය මිලදී ගත යුත්තේ ඩොලර් වලින් රුපියල් මිලදී ගෙන එම රුපියල් වලිනි. එවිට රුපියල් වලට තිබෙන ඉල්ලුම වැඩිවෙයි. ඉල්ලුම වැඩි වුවද සැපයුම නියත නිසා රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ඉහල නගී. නැවතත් ක්‍රියාත්මක වන්නේ නිදහස් වෙළඳපොල මූලික සිද්ධාන්තයන්ය. 

උදාහරණයක් වශයෙන් අපි කාර් එකක් මිලදී ගන්නා විට මෙහෙ කාර් නිෂ්පාදනය කරන්නේ නැති නිසා පිටරටකින් ඩොලර් වලින් එහි වටිනාකම ගෙවා කාර් එක මිලදී ගත යුතුය. අපිට ඩොලර් නැති නිසා මේ සදහා ඩොලර් මිලදී ගත යුත්තේ එහි වටිනාකමට රුපියල් වලින් මුදල් ගෙවාය. එසේ මිලදී ගන්නා හැම ඩොලර් එකකටම රුපියලේ අගය සාපේක්ෂව ඉතා ස්වල්ප ප්‍රමාණයකින් අඩුවේ.  

අනික් අතින් අපේ මැද පෙරදිග ශ්‍රමිකයෙකු තමන්ගේ මාසික වැටුප වන ඩොලර් 500 ක් බදුල්ලේ ජීවත්වන තම පවුල වෙත එව්වොත් ලංකාවට එන විට ඔහු ඒ ඩොලර් විකුනා රුපියල් මිලදී ගනී. මෙලෙස රුපියල් මිලදී ගන්නා විට රුපියලට ඩොලරයට සාපේක්ෂව ඉල්ලුමක් ඇතිවේ. එවිට රුපියලේ වටිනාකම සාපේක්ෂව ඡායා මාත්‍ර ප්‍රමාණයකින් ඉහල යයි. මෙම ගනුදෙනු යම් සමබර තාවයකින් සිදුවන්නේ නම් මෙම මුදල් වර්ග දෙකේ සාපේක්ෂ අගයන් එතරම් විශාල ලෙස වෙනස් වන්නට නුපුලුවන.    

මෙලෙස මෙකල සිදු වෙමින් පවතින රුපියලේ අවපාතනයට කුමන හේතු කාරණා වී ඇත්දැයි බලමු. එවැනි කාරණා විය යුත්තේ අපි රුපියල් දී ඩොලර් මිලදී ගැනීම වැඩිවීමට තුඩු දී ඇති කාරනාය. පසුගිය කාලයේ නොතිබුනු දැන් සිදුවන එවැනි හේතු මොනවාද?  

  • වාහන වැඩිපුර මෙරටට ගෙන්වීම. ලංකාවේ දැන් දිනකට මෝටර් බයිසිකල්ම 1000 ක් පමන විකිනෙන බව මට සිතේ. 
  • අධ්‍යාපනය සදහා දරුවන් පිටරට යැවීම මේ සදහා ඉතා විශාල මුදලක් එක්වරම පිටරටට ඇදී යයි. වෛද්‍ය අධ්‍යාපනයට පිටරට යන සිසුවෙකුට ඔවුන්ගේ දෙමව්පියන් රුපියල් මිලියන 10 කට කිට්ටු ප්‍රමාණයක් ඩොලර් කරයි. සිසුන් 1000 ක් එසේ ගියොත් එය බිලියන් 10 කි.  
  • එයට අමතරව පිටරටට පදිංචි වීමට යන දරුවන්ට යවන මුදල්. විශේෂයෙන්ම ඕස්ට්‍රෙලියාව, නවසීලන්තය වැනි රටවල අධ්‍යාපනයෙන් පසු පදිංචි වන දරුවන්ට එහි නිවාස මිලදී ගැනීමට මෙහෙන් මුදල් යැවීම දැන් පුරුද්දක් වී තිබේ. එවිටද පහලට යන්නේ රුපියලේ වටිනාකමය.   
  • නොයෙකුත් උපාධි, ආයතන සහ අන්තර්ජාතික සමාජවල සාමාජික මුදල් සහ විභාග ගාස්තු යනාදිය. වසර පතා මේ හරහා මිලදී ගන්නා ඩොලර් ප්‍රමාණය මිලියන් සිය ගණනක් විය යුතුය. 
  • ශ්‍රී ලාංකිකයින් පිටරට සංචාරයට යාම මේ සදහාද රුපියල් වලින් ඩොලර් මිලදී ගත යුතුය.  
  • ජංගම දුරකථන, පරිඝනක ඇතුලු වෙනත් විද්යුත් උපකරණ මෙරටට ගෙන්වීමට මිලදී ගැනීම සදහා රුපියල් ගෙවා ඩොලර් මිලදී ගැනීම.


මේ සියලු වියදම් සදහා අප ඩොලර් සපයාගත යුත්තේ විදේශ ශ්‍රමිකයින්, මෙරටට පැමිනෙන සංචාරකයින් සහ තේ, පොල්. රබර්, ඇතුලු අපගේ සම්ප්‍රදායික අපනයන වලින් ලැබෙන සීමිත ඩොලර් ප්‍රමානයෙනි. 
අප රටක් වශයෙන් හම්බ කරන ඩොලර් ප්‍රමාණය වියදම් කරන ඩොලර් ප්‍රමාණයට අඩු වූ විට පැහැදිලිවම ඩොලර් සදහා ඉල්ලුම වැඩිවී ඩොලරයේ සාපේක්ෂ වටිනාකම ඉහල යයි, අපේ අහිංසක රුපියල පරිහානියට පත්වෙයි.  

බටහිර ආයෝජිකයින් ලංකාවේ ආයෝජනය කල මුදල් ආපසු ගැනීම හෝ අප ලබාගත් ණය වල වාරික ගෙවීම හැරෙන්නට වෙන ලොකුවට ඩොලර් එළියට යන ක්‍රමයක් හිතා ගන්නට අපහසුය. 

මෙයින් පෙනෙන්නේ අපිට එක් වරම රටේ ඩොලර් ආදායම වැඩිකර රුපියල පරිහානියට පත්වීම වලක්වා ගන්නට හදිසි ක්‍රමවේදයක් නොමැති බවයි. එසේ නම් ඒ සදහා ඇති එකම පිලියම ඩොලර් වියදම් අඩු කිරීමයි. ඒ සදහා කිසිම කරදරයක් නොමැතිව බිලියන ගණනක් ඉතිරි කරගත හැකි පහසුම ක්‍රමය රටතුල පුද්ගලික විශ්ව විද්‍යාලවලට ඉඩදීම බව පෙනේ.  


 

 ‍ෙ

Tuesday, February 28, 2017

කළුතර ජාතියේ කලු පැල්ලම; වගකිවයුත්තෝ කවරහුද?





පසුගියදා කළුතරදී සිදුවුනු ඛේදවාචකය මීට පෙර සිදුවූ එවැනි සිදුවීම් මෙන්ම තව ටික දිනකින් අමතක වී යනු ඇත. ආපසු මුලු ජාතියම මෙය අමතක කර නැවත වරක් සාමාන්‍ය ජීවිතයට ආපසු යනු ඇත. 

නමුත් මෙය එසේ අමතක කර දැමිය හැකි සුලු පටු කරුණක් නොවේ. මක්නිසාද රජයේ ආරක්ෂාව යටතේ රජයෙන් ආරක්ෂා කරන ස්ථානයක සිට තවත් රජයේ ආයතනයක් වෙත ගෙන යමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු මහ දවල් මහා මාර්ගය හරස් කර ස්වයංක්‍රීය අවි වලින් සන්නද්ධ වුනු දහ දෙනෙකුගෙන් පමණ පිරිසක් පැමිණ වෙඩි තබා මරා දැමීම සාමාන්‍ය අපරාධයක් නොවේ. එය ජාතියටම කලු පැල්ලමකි. ඇත්තෙන්ම රජයට රටේ ජනතාවට ආරක්ෂාව ලබාදීමට ඇති හැකියාව පිළිබඳව කෙනෙකුගේ හිතට ප්‍රශ්නයක් නැගෙන තත්වයකි. 

මෙම ප්‍රශ්නය තවත් බරපතල වන්නේ ශ්‍රී ලංකාව සාමාන්‍ය රාජ්‍යයක් නොවන නිසාය. මෙවැනි සිද්ධියක් පිළිබඳ කථාකරන විට අප සාමාන්‍ය රාජ්‍යයක් නොවන්නට හේතුව අපට මෙවැනි සිද්ධියක් වලක්වා ගැනීමට ලෝකයේ වෙන කිසිම රටකට වඩා හැකියාවක් තිබිය යුතු නිසාය. ලෝකයේ තිබෙන සියලුම රාජ්‍ය වලින් අපට වඩා ඒක පුද්ගල හමුදා භටයන් සිටින්නේ රටවල් 10 කටත් වඩා අඩු ප්‍රමාණයකි. එයිනුත් බහුතරයක් සිටින්නේ මැද පෙරදිග රටවල් වලය. අපේ සිවිල් ආරක්ෂක බලකාය පමණක් කෙන්යාවේ මුලු හමුදාව මෙන් දෙගුනයකි. පෘතුගාලය, උගන්ඩාව, ඔස්ට්‍රෙලියාවේ සහ කියුබාවේ රටවල මුලු හමුදාවම අපගේ සිවිල් ආරක්ෂක බලකායට සමාන වේ. 

එසේම අපි ලෝකයේ මෙතෙක් බිහිවූ දරුණුතම එමෙන්ම තාක්ෂණයෙන් ඉතා ඉහල තලයක සිටි බලවත් ත්‍රස්තවාදී හමුදාවක් අවුරුදු 30 ක දීර්ඝ කාලීන යුද්ධයකින් අවසන් කල ජාතියක් වෙමු. 

මේ සදහා අපි බොහෝ ආයුධ සහ ආම්පන්න මිලදී ගත්තෙමු. මෙම ආම්පන්න අතර හෙලිකොප්ටර් බොහෝ ගණනක් තිබිය යුතුය, තිබෙන බව අපි දන්නෙමු. 

මෙයට අමතරව යුද්ධයේදී බොහෝ දක්ෂකම් පෙන්වූ පොලීසියේ 6000 ක් පමණ වන එස්.ටී.එෆ් බලකාය දැන් නියමිත රාජකාරියක් නොමැතිව රූපවාහිනියේ පෙන්වන විදිහට කසල තේ කුඩු අල්ලමින් ගම්වල හොරට කපන ලද ලී අල්ලමින් කාලය ගත කරති. 

මේ සම්පත් පාවිච්චියට ගන්නේ නැත්තේ ඇයි? මෙවැනි බලවත් ආරක්ෂක තර්ජනයක් තිබෙන අවස්ථාවක ඒ සදහා ආරක්ෂාව ලබාදීමට සෑම ප්‍රධාන නගරයකම පොලිස් ස්ථානයකටම නිමේෂයකින් ප්‍රදේශයේ ඕනෑම ස්ථානයකට යැවිය හැකි විශේෂයෙන් පුහුණු කල කුඩා එස්.ටී.එෆ් කණ්ඩායමක් ස්ථානගත නොකරන්නේ ඇයි? 

යුද්ධයෙන් පසු ඉතිරි වී ඇති මෙවැනි අවස්ථාවකදී එසනින්ම යැවීමට රටෙහි අඩු ගණනේ ස්ථාන 7/8 ක හෙලිකොප්ටරයක් ස්ථානගත නොකරන්නේ ඇයි? 

දිවයිනේ ඇති ප්‍රධාන බන්ධනාගාර වලට ආරක්ෂක තර්ජනයක් හෝ මෙවන් ආරක්ෂක තත්වයක් ඇතිවිට පාවිච්චි කරන්නට 25 ක පමණ එස්.ටී.එෆ්. මුර පොලක් ඇති නොකරන්නේ ඇයි? 

මේ එක් යෙදවීමකටවත් අලුතින් මුදල් වියදම් කලයුතු ඒවා නොවේ. තමන් අත ඇති සම්පත් ස්මාට් ලෙස යෙදවීමට නොහැකියාව හෝ එසේත් නැත්නම් මැලි කමක් තිබෙන්නට ඇරෙන්නට අපට වෙන හිතා ගන්නට දෙයක් නැත. 

මෙවැනි ප්‍රශ්න බොහෝ ගණනක් අපට ඇතිවේ. ඒවා පිළිතුරු ආයාචනය කරමින් සිටිති.

ආරක්ෂක සැලසුම් සම්පාදනය කරන්නට අපේ මුදලින් වැටුප් බලන්නන් උත්සව භූමිවල කැරකි කැරකි ඉදීම සීමාකර රැකියාවේ ඇති වගකීම් පිළිබඳව මීට වඩා උනන්දු වුවහොත් මෙවැනි කොලොම්බියානු ස්ටයිල් තොග අපරාධවත් වලක්වා ගත්ත හැකි නේද? 

මෙවැනි දර්ශනයක් ටී.වී. එකකවත් දකින කෙනෙක් ලංකාවේ සංචාරයකට හෝ ආයෝජනයක් සදහා පැමිණීමට දෙවරක් නොව කීප වරක් නොසිතා සිටීද?     

Friday, February 24, 2017

සැබෑවින්ම ජාතියට ද්‍රෝහි වන්නන් කවරහුද?








දේශප්‍රේමය හා දේශයට ද්‍රෝහි වීම බොහෝ විට අපට අසන්නට ලැබේ. දේශප්‍රේමය යැයි කියන විට දේශය කියන්නේ කුමක්ද යන්න මුලින්ම සොයා බැලිය යුතුය. ඇත්තෙන්ම එහි රටෙහි ජීවත්වන ජනතාව ප්‍රධාන තැනක් ගන්නා අතර රටෙහි භූමිය සහ භූමියෙහි සහ ජනතාවට සතුටෙන් ජීවත්වීමට අවශ්‍ය දෑ මෙයට අයත් වෙයි. දේශප්‍රේමියෙකු නම් ජාතියේ සෑම සාමාජිකයෙකුටම, දේශයේ සෑම පුරවැසියෙකුටම අනෙකුත් තම සහෝදර සාමාජිකයිනට කරදරයක් පාඩුවක් නොවන ලෙසට සතුට සොයා යාමට ඉඩ ලබා දිමට සැමවිටම උත්සාහ කල යුතුය. 

මිනිසෙකුට සතුට සොයා යාමට කුමන දෑ තිබිය යුතුද? ඔහුට හෝ ඇයට මුලින්ම නිදහසේ, කාගේවත් පීඩනයකට ලක් නොවී ආහාර, ඇඳුම් පැළඳුම්, සෞඛ්‍ය පහසුකම් යනාදී  මූලික අවශ්‍යතා ලබා ගැනීමට ඉඩ තිබිය යුතුය. ඔවුන් ඒවා ලබා ගැනීමට උත්සුක වද්දී ඔවුනට සැනසිල්ලේ ඒවා සොයා ගැනීමට නීිතිය හා සාමය ක්‍රියාත්මක විය යුතුය. තමන්ට යම් අසාධාරණයක් හෝ වරදක් සිදු වුවහොත් යම් රාජ්‍ය යාන්ත්‍රණයක පිලිසරන පතන්නට හා ඉක්මනින් යුක්තිය පසදා ගැනීමට ක්‍රමවේදයක් තිබිය යුතුය. 

තමනට කැමති, තමනට හැකි යැයි සිතෙන රැකියාවකට පුහුණු වී එම පුහුණුවට ගැලපෙන රැකියාවක යෙදීමටද එසේත් නැත්නම් තමන් කැමති ව්‍යාපාරයක් කර ආදායම් උපදවීමට ඔහුට නිදහස තිබිය යුතුය. 

රටේ සියලු දෙනාටම එක තැනකට එකතු වී ජාතිය වෙනුවෙන් තීරණ ගැනීමට නොහැකි නිසා තමන්ට කැමති නියෝජිතයන් කණ්ඩායමක් තෝරා ගෙන එම නියෝජිතයින් කණ්ඩායම යම් කාල පරිච්ඡේදයක් තුල ජනතාව වෙනුවෙන් ජාතියේ කටයුතු කලමනාකරණය කිරීමද මෙහි අත්‍යන්ත කොටසක් වෙයි. එනමුදු මෙම නියෝජිතයින් කටයුතු කරන ආකාරය පිළිබඳව පරීක්ෂාවෙන් සිට ඔවුන්ගේ කටයුතු විවේචනය කිරීමට හා වරද පෙන්වා දීමට ජනතාවට සම්පූර්ණ නිදහස තිබිය යුතුය. එසේම කලා කටයුතු, ලිපි ලේඛන යනාදී .... සදහාද ජනතාවට සම්පූර්ණ නිදහස තිබිය යුතුය. ජාතියේ ආරක්ෂාව ජනතාව විසින් පත්කරගත් නියෝජිතයින් මත පැවරෙන වගකීමක් වන අතර, එය මනා ලෙස කලමනාකරණය කිරීමද ඔවුන්ගේ ප්‍රධාන වගකීම් වලින් එකක් වෙයි.    

යම් ජාතියක් දියුණු වන්නේ මේ සියලු කාරනා සම්පූර්ණ වූ කල්හිය. ලෝකයේ ඉහත දැක්වූ විධි විධාන නොමැතිව දියුණු වූ රටක් නැත්තේය. ඒවායින් සමහරක් පමණක් ඇතිව දියුණු වන රටවල්ද ක්‍රමයෙන් මේ සියලු කාරණා සම්පූර්ණ වන පාලනයක් දෙසට ගමන් කරයි. 

මෙවැනි සමාජ ක්‍රමයක් ඇතිකර ගැනීමට අකුල් හෙලන්නෝ ඇත්තෙන්ම ජාතියේ සත්‍ය ද්‍රෝහීන් යැයි හැදින්විය හැක. උහු, ජාතියට මෙලෙස ස්වාධීනව සාර්ථක රටක් ලෙස ලෝකයේ අනෙක් රාජ්‍යයන් ඉදිරියේ නැගී සිටින්නට ඉඩ නොදී ජාතියේ කකුල්වල එල්ලී ජාතිය මඩවලේම තබාගන්නට උත්සාහ කරති. 

මොවුන්ට මෙලෙස කටයුතු කරන්නට හේතු කිහිපයක් තිබෙන්නට පුලුවන. 
  • හරි දෙය නොපෙනීම. 
  • තමන්ගේ සමාජ තත්වයට යම් තර්ජනයක් වේයැයි කල්පනා කිරීම. 
  • තමන් කරන ව්‍යාපාරයන්ට තරඟය වැඩිවේයැයි බියවීම. 
  • යම් ගතානු ගතික අදහස්වල මුරන්ඩු ලෙස එල්බ සිටීම. 
  • තමන් දරන දේශපාලන මති මතාන්තර නිරවද්‍ය බව පෙන්වීමට. 
  • සමාජයේ යම් කොටසක් තුල ජනප්‍රිය වීමට ඇති කැමැත්ත. 

එසේ නම් ජාතියක ද්‍රෝහීන් වන්නේ කුමන ආකාරයේ තැනැත්තන්ද? 

  • පොදු දේපල, ජනතාවගේ දේපල, අවභාවිත කරන්නන්. 
  • රාජ්‍ය බලයෙන් ජනතා සම්පත් දූෂිතව හා වංචනිකව පාවිච්චි කරන්නන්. 
  • රටෙහි විදේශ විනිමය අනවශ්‍ය ලෙස රටින් පිටවීමට ඉඩ අරින්නන් සහ ඒ තත්වයට රට පත් කරන්නන්. 
  • රටෙහි පුරවැසියන්ට තමන්ට කැමති දෙයක් ඉගෙන ගැනීමට ඉඩ නොදෙන්නන්. 
  • ජාතික ආරක්ෂාව පිළිබදව තමන්ට ලැබුනු වගකීම හරිහැටි ඉටු නොකරන්නන්. 
  • පොදු සම්පත් සියලු ජනයාට සමාන ලෙස බෙදා හැරීම වැලැක්වීමට කටයුතු කරන්නන්. 
  • මාධ්‍ය සහ කලා කටයුතු නිදහසට අකුල් හෙලන්නන්. 
  • ජනතාව වෙනුවෙන් තමන්ට පැවරී ඇති රාජකාරිය අකුරට ඉටු නොකරන රාජ්‍ය සේවකයන්. 
  • ලෝකයේ දියුණු රටවල් වැඩ කරන ආකාරයට අප ජාතියට වැඩ කිරීමට ඉඩ නොතබා එම දියුණුවට ඇට්ටර ලෙස අකුල් හෙලන කණ්ඩායම්. 
  • පුරවැසියනට තමනට රිසි අධ්‍යාපනයක් හෝ පුහුණුවක් ලබා ගැනීමට අකුල් හෙලන්නන්. 

තවත් මෙවැනි ද්‍රෝහීන් වර්ග කිරීම් තිබිය හැකිද? 
   



Monday, February 20, 2017

ආපදා කලමනාකරණය කිරීමට ආපදාවක් එනතුරු බලාසිටීම.




පසුගියදා කළුතර කටුකුරුන්දේ සිදු වූ ඛේදවාචකය ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකි. අනතුරු කොතරම් වැලැක්වීමට උත්සාහ කලද  ඒවා කෙසේ හෝ සිදුවන්නේ යැයි අපට මේ වගකීමෙන් වලකින්නට බැරිය. එලෙස වගකීමෙන් ගැලවෙන්නට බැරි හේතුව මෙවැනි අනතුරු වලක්වාලන්නට පොදුජනයාගේ මුදල් වියදම් කර අපි දැනටමත් ක්‍රමවේදයන් නියමිත ස්ථානයන්හි ස්ථාන ගතකර ඇති නිසාය. 

අපි කුඩා කාලයේ සිදු වූ "ආසයි බයයි" බෝට්ටුව මීට අවුරුදු 37 කට පෙර නිල්වලා ගඟ දිගේ වෙසක් බලන්නට ගොස් පෙරලී 36 දෙනෙකු මියගිය විට ඒ පිළිබඳ ශෝක වී ඇන්ටන් ජෝන්ස්ගේ සිංදුවක් කියා සිද්ධිය අමතක කරන්නට අපට හැකියාව තිබුනේ එකල මෙවැනි සිදුවීම් වලක්වන්නට ක්‍රමවේද නියමිත ලෙස ස්ථාන ගත නොකර තිබූ නිසාය. 

නමුත් දැන් තත්වය එසේ නොවේ. මුලු රට පුරාම ආපදා කලමනාකරණයට නිලධාරීන් යොදවා ව්‍යුහයක් ඇතිකර අප බොහෝ මුදලක් ආයෝජනය කර තිබේ. ඇත්තෙන්ම මේ සදහා ඇමතිවරයෙකුද අප විසින් පත් කරගෙන ඇත්තේය. ඔහුටද ලොකු අමාත්‍යංශයකුත් අමාත්‍යාංශ ගොඩනැගිල්ලකුත්, ලේඛම්වරු, අධ්‍යක්ෂකවරු වැනි මෙකී නොකී නිලධාරීන්ද පත්කර අපි ඔවුනටද වැටුප් ගෙවන්නෙමු. දැන් ආසයි බයයි සිදු වූ ලෙසටම ශෝකය පලකර, සිංදු කියා අවසන් කිරීම සුදුසු නොවේ. 

මක්නිසාද එසේ වුවහොත් අප විසින් ඒ ආයෝජනය කල මුදල් වලින් ජනතාවට ප්‍රතිඵලයක් ලැබී නොතිබීමය. ආපදාව සිදු වූ පසු ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ කෙනෙකු රූපවාහිනියට පැමිණ මියගිය අයගේ සහ තුවාල කරුවන්ගේ ප්‍රමාණයන් අපට දැන්වීමෙන් පලක් නැත්තේය. අප වුවමනාවෙන් අසා සිටින්නේ ඔවුන්ගේ ආපදා වැලැක්වීමේ ක්‍රියා තුලින් කොතරම් පිරිසක්ගේ ජීවිත බේරා ගැනීමට එසේත් නැත්නම් කොතරම් වටිනාකමක දේපලක් බේරා ගැනීමට ඔවුනට හැකි වූයේදැයි දැනගන්නටය. අප ඒ සදහා යොදවන මුදල් වලින් ප්‍රයෝජනයක් ඇත්දැයි දැනගැනීමටය. 

එසේ අපට යහපත් ප්‍රතිඵල අරගෙන දෙන්නට නම් එවැනි ආපදා කලමනාකරණයට යොදවා ඇති නිලධාරීන් තමන්ගේ ආපදා බල ප්‍රදේශයේ සිදුවන්නට ඉඩ තිබෙන ආපදාවන් ලැයිස්තුවක් සාදා ගත යුත්තේය. එම ලැයිස්තුවේ ඇති ආපදාවන් සිදුවීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව (likelyhood) මීට පෙර ඒවා සිදු වී ඇති ආකාරය (pattern) අනුව ශ්‍රේණි ගත කල යුත්තේය. ඉන්පසු එම ආපදාවන් වැලැක්වීමට කුමක් කල යුත්තේදැයි විශේෂඥයින් සහ අත්දැකීම් ඇත්තන් සමග සාකච්ඡා කර මෙහෙයුම් සැලැස්මක් (action plan) සාදාගත යුත්තේය. 

මෙවැනි සැලැස්මක් සෑදීමේදී අධික මුදලක් වැයවන හෙලිකොප්ටර් සහ දොඹකර වැනි ඒවා ඇතුලත් කිරීමට පෙර වියදමක් නොමැතිව කල හැකි ක්‍රියාදාම වලට ප්‍රමුඛතාවයක් දිය යුත්තේය. 

මෙවැනි ක්‍රමවේදයක් තිබුනේ නම් කළුතර ප්‍රදේශයේ අවුරුද්දකට වරක් මෙවැනි බෝට්ටු පෙරහැරකුත් තිබුනේ නම් මේ සදහා ආපදා වැලැක්වීමේ ක්‍රියා පිළිවෙල කුමන ආකාරයකින් ක්‍රියාත්මක වන්නට ඉඩ තිබුනාද? 

  • මෙම බෝට්ටු පෙරහැර ආපදාවක් වියහැකි ලැයිස්තුවේ ඉහලින්ම තිබේ. 
  • බෝට්ටු කුමන වර්ගයේ ඒවාදැයි වර්ගීකරණය කර මෙවැනි අවස්ථාවක විවිධ වර්ගීකරණයන් ගෙන් යුත් යාත්‍රාවල වන්දනා කරුවන් කීදෙනෙකු යා හැකි දැයි දැනමුත්තන් සමග සාකච්ඡා කර ලේඛන ගතකර තිබීම. 
  • බෝට්ටු වරායෙන් පිටත්වීමට පෙර ඒ නියමිත ගණනට වඩා සිටිනවාදැයි පරීක්ෂා කර අධිකව වන්දනාකරුවන් සිටින යාත්‍රාවලට මුහුදට යැවීමට ඉඩ නොදීම. 


මෙවැනි ක්‍රමවේදයක් තිබුනේ නම් ජීවිත 16 ක් ආරක්ෂා වනු ඇත. දැන්වත්  මෙවැනි දෑ වැලැක්වීමට දැනට තිබෙන ආයතන සහ සම්පත් වඩාත් කාර්යක්ෂම ලෙස සංවිධානය කල යුත්තේ අනාගතයේදීවත් මෙවැනි දෑ සිදුනොවීමටය.  

ඒ අතරම මෙම සංවිධානයන්ගේ නම ආපදා කලමනාකරණය නොව ආපදා වැලක්වීමේ හා කලමනාකරණය කිරිමේ සංවිධානය ලෙස නම් කලහොත් අඩු තරමින් දිනපතා නම දකිත්දීවත් අපට වැලැක්වීමේ වගකීමක් තිබෙන බව දිනපතා මතක්වනු ඇත.   

Friday, February 10, 2017

හාල් සහ පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්න.







මේ වකවානුවේ ලංකාවේ වැඩියෙන්ම කතා බහට ලක්වන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්නයයි. එය දෙවැනි වනවානම් දෙවැනි  වෙන්නේ හාල් මිල පිළිබද ප්‍රශ්නයට පමණි. 

හාල් මිල පිළිබද ප්‍රශ්නයත් පුදුම ප්‍රශ්නයකි. වෙන ඕනෑම ප්‍රශ්නයක ජය - ජය, ජය - පරාජය හෝ පරාජය - ජය, ලෙසට ප්‍රතිපලයන් ඇතිවිය හැක්කේය. එහෙත් මේ හාල් ප්‍රශ්නයේ ඉතාමත් පුදුම සහගත කාරණය  නම් සියලුම පරදු දරන්නන් පරාජය වී සිටීමය.

  • ගොවියෝ 
  • සිල්ලර කඩ හිමියන් 
  • තොග ව්‍යාපාරිකයන්  
  • වී මෝල් හිමියන් 
  • පාරිභෝගිකයන් 
  • පිටරටින් සහල් ගෙන්නන් 


යන සියලුම පාර්ශවයන් අසතුටට සහ කෝපයට පත්ව සිටින බව පෙනේ. මෙලෙස එක් ප්‍රශ්නයක පරදු දරන්නන් සියලු දෙනා තමන් නියෝජනය කරන සමාජ කොටස මෙම ප්‍රශ්නයෙන් පාඩු ලැබුවා යැයි සිතන්නට පුළුවන් වන විදිහට මෙවැනි ප්‍රශ්නයක් අවුල් කර ගත හැකි කළමනාකරුවන් පිරිසක් ලෝකයේ වෙන කොහේ සිටින්නේදැයි සිතා ගන්නටත් අපහසුය. 

මෙවැනි පසුබිමක මේ විශ්ව විද්‍යාල ප්‍රශ්නය දෙස නිවිහැනිල්ලේ බලමු. 

විශ්ව විද්‍යාල ප්‍රශ්නයේ පරදු දරන්නන් කවරහුද මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ලබැදීයාවන් කවරක් වන්නේදැයි දැන් අපි පරික්ෂා කර බලමු. 

1.පුද්ගලික විශ්ව විද්‍යාලවල දැනට ඉගෙන ගන්නා සිසුන්  - ඔවුනට මහත් අවිනිශ්චිත තත්වයක් ඇති වී තිබේ. ඉක්මන් විසදුමක් මේ තත්වය මග හරවයි. 
2.එම සිසුන්ගේ දෙමව්පියන් - දරුවන්ගේ හැගීම් වලට සමානය.
රජය - පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඉඩ දීම රජයේ ඕනෑකම විය යුතුය. 
3.අපි, පොදු ජනතාව -
මුදල් වියදම් නොකර වෛද්‍යවරු ජනතාවගේ සේවයට එකතුවීම.
සිසුන් පිටරට අධ්‍යාපනයට යාමෙන් සිදුවන බිලියන ගණනක විදේශ විනිමය විනාශවීම නැවතීම. 

 4.රජයේ විශ්ව විද්‍යාලවල ඉගෙනගන්නා සිසුන් - තමනට රැකියා වෙළද පොලේ තරගයක් ඇතිවේයැයි සිතුවිල්ල.
5.ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, රුසියාව, චීනය, ජෝර්ජියාව, යුක්රේනය .... වැනි රටවල රාජ්‍යයන් සහ ඒවායේ පුද්ගලික විශ්ව විද්‍යාලවල අයිතිකරුවන් - මෙහි පු.වි.වී. ඇතිවීමෙන් ඔවුන්ගේ රටට ගලාගෙන එන විදේශ විනිමය සහ ලාබ නැතිවීම.  
5.ශ්‍රී ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලවල අයිතිකරුවන් - වී වී මගින් ලාබ ලබාගැනීමට හැකි වීම.
6.ශ්‍රී ලංකාවේ අනාගත ශිෂ්‍ය පරම්පරාව - පෙර නොතිබූ ආකාරයෙන් අධ්‍යාපන අවස්තා ඇතිවීම. 
7.සමහර වුර්තිකයින් - තමන්ගේ ව්‍යාපාරවලට තරගය වැඩිවේයයි බිය. 
වාමාංශික දේශපාලන පක්ෂ - වාමාංශික වූ විට සියල්ල රජයෙන්ම කල යුතු යයි ඇති හණමිටි අදහස්. 
8.තාමත් ලෝකයේ කොමියුනිස්ට් වාදය ක්‍රියාත්මක කල හැකියැයි සිතන්නන් - සිහින ලෝක මවා ගැනීම. 
9.රජය අමාරුවේ දැමීමට අවස්තාවක් ලැබෙනතුරු බලා සිටින්නන් - ලංකාවේ මෙවැනි කණ්ඩායම් වලින් අඩුවක් නැත්තේය. 
10.රජයෙන් පමණක් අධ්‍යාපනය කල යුතුය යැයි සිතන අය - ලෝකයේ සිදුවන දෑ ගැන නොතකා සිටීම.
11.පුද්ගලික විශ්ව විද්‍යාල තිබෙන විට තමන්ට ඒවාට යාමට මුදල් නැති නිසා දුප්පත් ළමුන් දුක් වේයැයි සිතන bleeding heart liberals - ඇත්තෙන්ම මෙහි සිදුවන්නේ මෙහි අනෙක් පැත්තය. පු වී වී  ඇතිවීමෙන් බැංකු නය ක්‍රම වලින් හා ශිෂත්ව මගින් බොහෝ දුප්පත් දරුවනට අධ්‍යාපන අවස්ථා ඇතිවනු ඇත්තේය.    
  
මෙවැනි තවත් ලබැදියා කණ්ඩායම් තිබේද ?

Sunday, November 6, 2016

Socialism නොහොත් සමාජවාදී ආර්ථිකය ප්‍රායෝගිකද?










Socialism නොහොත් සමාජවාදී ආර්ථිකය ප්‍රායෝගිකද?

සමාජවාදය මිනිස් සමාජය තුල රාජ්‍ය පාලන ක්‍රමයක් ලෙස යොදා ගැනීම ප්‍රායෝගිකව කරන්නට පුලුවන් යැයි සිතා බොහෝ රටවල් එය උත්සාහ කලහ. නැගෙනහිර යුරෝපය, චීනය, රුසියාව, නැගෙනහිර ජර්මනිය වැනි රටවල් සම්පූර්ණ වශයෙන්ද ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ අප්‍රිකවේ බොහෝ රටවල් අර්ධ වශයෙන්ද සමාජවාදී ආර්ථික ක්‍රමය, එනම් රජය මගින් පාලනය කරන ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කරන්නට පසුගිය සියවසේ උත්සාහ කර, එය ප්‍රායෝගිකව කල නොහැකි දෙයක් බව ඉගෙන ගත්හ. දැන් අවසානයේ මෙයින් ඉතිරිව ඇත්තේ ඒකාධිපති, පවුල්වාදී, කෘර රජයක් බවට පත්ව ඇති උතුරු කොරියාව පමණි.

කියවන විට හා සාකච්ඡා කරන විට සෑම දෙනාටම සමාන ලෙස ජීවත් වෙන්නට පුලුවන් රටක් තිබෙන්නේ නම්, රටේ ජනතාව සියලු දෙනාටම ඉතා සතුටෙන් ජීවත් වන්නට පුලුවන. මෙවැනි සිහිනයෙන් පමණක් ඇතිකර ගන්නට පුලුවන් රාජ්‍යයනට උතෝපියානු රාජ්‍යයක් යැයි කියනු ලැබේ. ඒ ශ්‍රීමත් තෝමස් මෝර් ගේ 1516 උතෝපියා නැමැති ග්‍රන්ථයෙන් පසුවය.

මෙවැනි රාජ්‍යයෙන් ආර්ථිකය පාලනය කර නිෂ්පාදනය ලෙස ලැබෙන සේවා සහ භාණ්ඩ ජනතාව අතර සමාන ලෙස බෙදා හැරීම ප්‍රායෝගිකව කල හැකිදැයි පරීක්ෂා කිරිමට විශ්ව විද්‍යාලයක කරන ලද පරීක්ෂණයක් පිළිබඳව මට ලඟකදී කියවන්නට ලැබිණ.

එහිදී කරන ලද්දේ එක් පන්තියක සිටි සිසුන් 30 දෙනාටම විභාගයට පෙනී සිටි පසු ඔවුන් සියලු දෙනාගේම එක් විෂයක ලකුණු එකතුකර මුළු එකතුව 30 න් බෙදා සෑම ශිෂ්‍යයෙකුටම එම බෙදූ අඟයට ගැලපෙන ප්‍රතිඵලය ලබාදීමයි.

මුල් වාරයේ එලෙස ප්‍රතිඵල සකස් කලවිට සෑම ශිෂ්‍යයෙකුටම B සාමාර්ථයක් ලැබිණ. මහන්සි වී වැඩකල සිසුන් කනගාටු වූ අතර, මහන්සි නොවූ සිසුන් සතුටට පත්වූහ.

ඊලඟ වාරයේදී මහන්සි නොවන සිසුන් පෙර ලෙසටම වැඩ නොකර අතර, සාමාන්‍යයෙන් මහන්සි වන සිසුන්ද මෙවර එතරම් මහන්සි වූයේ නැත. මේ වාරයේ බෙදීගිය ප්‍රතිඵලය වූයේ D සාමාර්ථයකි. සියලුම සිසුන් නොසතුටට පත්වූහ.

ඊලඟ වාරයේ ප්‍රතිඵල තවත් පහලට ගොස් සෑම සිසුවෙකුටම F සාමාර්ථයකට ගැලපෙන ලකුණු ලැබුණි. ඒ තමන් වැඩකර අනුනට ප්‍රයෝජන ලබාදීමට එකදු සිසුවෙකුවත් අකමැති වූ නිසාය. මෙලෙස අවසාන විභාගයේදී සියලුම සිසුන් අසමර්ථ වූයේ ඕනෑම කෙනෙකු මහන්සි වී වැඩ කරන්නට කැමති වන්නේ එලෙස මහන්සි වී වැඩ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය උසස් වනවා නම් පමණි. මෙලෙස අවසානයේ සියලු දෙනා අසමර්ථ වූ පසු එකිනෙකා අතර ඝට්ටන සහ ආරවුල්ද ඇති විය.

මෙම පරීක්ෂණයෙන් අපට ගම්‍ය වන වැදගත් කරුණු පහක් තිබේ;

1. පොහොසතුන් ගෙන් නීති පනවා මුදල් ලබාගෙන නීතියෙන් දුප්පතුන් පොහොසතුන් කල නොහැක.

2. කෙනෙකු වැඩ නොකර යමක් ලබා ගන්නවා නම් ඔහුට එය ලබාදීමට වෙනත් කෙනෙකු වැඩකල යුතුය.

3. රජයකට වෙනත් කෙනෙකු ගෙන් ලබා ගන්නේ නැතිව තවත් කෙනෙකුට යමක් නොමිලේ දීමට නොහැකිය.

4. රටක සම්පත් බෙදීමෙන් වැඩිකර ගත නොහැක.

5. රටක භාගයක් ජනතාව තමන්ට වැඩ නොකර අනෙක් භාගය වැඩ කරන නිසා සැප පහසුවට ජීවත් වන්නට පුලුවන් බව සහ ඉතිරි භාගය තමන් වන මහන්සියේ ප්‍රතිඵලයෙන් භාගයක්ම වැය වන්නේ වැඩ නොකරන භාගය සැප පහසුව තබන්නට යැයි දැනගත් විට එය ඕනෑම ජාතියක අවසානය වෙයි.

මෙය කියවන විට අපට මතක් වන්නේ කුමන රටක්ද?    

බන්ධනාගාර කළමනාකරණය සම්පූර්ණයෙන් වෙනස් කරමුද

 බන්ධනාගාර ප්‍රතිසංස්කරණය: රාජ්‍ය වගකීම සහ පෞද්ගලික කාර්යක්ෂමතාව සුසංයෝග කරන "PPP" ආකෘතිය ​මෑතකදී මීගමුව බන්ධනාගාරය ආශ්‍රිතව වාර්ත...