Thursday, May 28, 2026

රොබට් නොක්ස්

 අප රටට පැමිණි දේශගවේෂකයෝ - කපිතාන් රොබට් නොක්ස් 


රොබට් නොක්ස් ශ්‍රී ලංකාවට අතිශය වැදගත්කමක් සහිත පුද්ගලයෙකි. ඒ අපිට ඕනෑම වෙලාවක දාහත් වැනි ශත වර්ෂයට ආපසු ගොස්, රටේ අපේ මුතුන් මිත්තන් ජීවත්වූ ආකාරය හා ඔවුන්ගේ සංස්කෘතිය බලාගන්නට කාලයේ කවුළුවක් අප වෙත විවෘත කර දුන් නිසාය. 


 1641 වසරේ එංගලන්තයේ ලන්ඩන් නුවර උපත ලද රොබට් නොක්ස්ගේ පියා වෙළඳ නෞකාවක කපිතාන්වරයකු වූ අතර පියාගේ නම ද රොබට් නොක්ස්ම විය.


මෙකල ලෝකයේ සාගර වෙළඳාම ; රටින් රටට භාණ්ඩ වෙළඳ නෞකා මගින් ප්‍රවාහනය කර වෙළඳාම් කිරීම, ඕලන්ද සහ ඉංග්‍රීසි ජාතීන් විසින් පාලනය කෙරුණි. මේ වන විට මීට පෙර මෙම වෙළඳාම මුලින් පාලනය කරගෙන සිටි පෘතුග්‍රීසින්. දුර්වල වී සිටියහ. 


වයස 14 ක් වන තෙක් පාසල් ගොස් අධ්‍යාපනය හැදෑරූ කුඩා නොක්ස් දරුවා වයස දාහතරක් වූ විට ඔහුගේ පියා කපිතාන් ධූරය දැරූ “ඈන්” නැමැති නෞකාවේ සේවයට බැඳුණේය. 


ඔවුන්ගේ පළමුවැනි මුහුදු ගමන එංගලන්තයේ සිට ඉන්දියාවට වූ අතර එම ගමන තුළ ඉන්දියාවේ පර්සියාවේ සහ සුමාත්‍රාවල නොයෙකුත් වරායවල වෙළඳාම් කරමින් වසර දෙකක් ගතවිය. ඒ වන විට නෞකා මුහුදේ ගමනාගමනය කළේ රුවල් වලින් නිසා මෙලෙස මුහුදු ගමනකට බොහෝ කාලයක් ගතවිය. නැව්වලට වාෂ්ප එන්ජින් සවිකර මුහුදේ යාත්‍රා කරන්නේ තවත් අවුරුදු 150 කට පමණ පසුවය.


ඔවුන් පැමිණි “ඈන්” නෞකාව අඩි සියයක් පමණ දිග අඩි 25 ක් පමණ පළල, බඳ ලී වලින් සෑදූ, රුවල් වලින් සුළඟේ ආධාරයෙන් මුහුදේ ගමන් කළ නෞකාවක් විය. නැව සම්පූර්ණයෙන්ම වෙළඳා භාණ්ඩ වලින් පිරවූ පසු ජල මට්ටමේ සිට  අඩි දොළහක් පමණ ගැඹුරට නැවේ බඳ පහළට ගියේය.  

මෙම නැව තුවක්කු විස්සක, හයවන පන්තියේ නැවක් ලෙස රාජකීය නාවික හමුදාවෙන් වර්ගීකරණය කර තිබිණ. 


මෙලෙස වෙළඳ නෞකාවක් තුවක්කු ප්‍රමාණයෙන් වර්ගීකරණය කිරීම එකල සිදු වූයේ එවැනි වෙළඳ නෞකා වලට නිතරම, මුහුදු කොල්ලකරුවන්ගෙන් හා සතුරන්ගෙන් තමන් ආරක්ෂා කර ගැනීමට සිදුවූ නිසාය. 



මෙය සාමාන්‍යයෙන් සංචාරක බස් දෙකක් පමණ දිග බවත් බස් එකහමාරක් පමණ පළල බවත් සිතාගැනීමෙන්, එහි ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය එසේත් නැත්නම් නැව් මුළුව 48 දෙනකුගෙන් සමන්විත විය.


මේ ගමන් අතරතුර වරක් ලංකාව පසු කරද්දී ඈන් නෞකාව තදබල කුණාටුවකට අසුවිය. නෞකාවේ ප්‍රධාන කුඹ ගස කඩා වැටුණි. මෙය ඉතා විශාල අලුත් වැඩියාවක් වූ අතර එය කර ගැනීමට වරායකට ඇතුළු විය යුතුමය. නෞකාව  ඉතාමත් දුෂ්කර  ගමනකින් පසුව ත්‍රිකුණාමලයේ වරාය තුළට සේන්දු වුණි.




නැව වරායට එන්නේ 1659 දෙසැම්බර් මාසයේය. මෙය ඊසාන දිග මෝසම්  සුළං තදින්ම තිබෙන කාලයයි. ප්‍රධාන කුඹගහත් නොමැතිව ත්‍රිකුණාමලය වරායට මේ කාලයේ ඇතුළු වීම මහත් දුෂ්කරතාවයන් මධ්‍යයේ කරගන්නට ඇත.


සති කිහිපයක් ත්‍රිකුණාමලයේ නැවතී  කුණාටුවෙන් ඇතිවූ අලාභ හානි අලුත්වැඩියා කර ගන්නා අතරතුර, ඔවුන්ට ආහාර මිලදී ගැනීම වැනි පහසුකම් ලබාදීම ප්‍රදේශයේ වැසියන් සතුටින් කරති. 




එහෙත් මොවුන්  ත්‍රිකුණාමලයට පැමිණ සිටින්නේ සාමාන්‍ය කාලයක නොවේ. කන්ද උඩරට රජ වූ දෙවැනි රාජසිංහ මේ දිනවල කොළඹ සහ දකුණු පළාත්වල වෙරළාසන්න ප්‍රදේශ පාලනය කරන ඕලන්ද ජාතිකයින් හා දරුණු සටන් කරමින් සිටි. 


එවන් කාලයක බටහිර ජාතීන්ගේ නැවක් මෙසේ තම රාජ්‍යය ඇතුළට පැමිණ තිබීම සැකකටයුතු සිද්ධියකි. මේ නිසා රාජසිංහ රජු හමුදා කණ්ඩයක් ත්‍රිකුණාමලයට එවා නැව් කණ්ඩායම අත්අඩංගුවට ගනියි. අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ 1660 මාර්තු මාසයේය.




ඔවුන් පැනයාමට ඉඩ තිබෙන නිසා නැව් කණ්ඩායම කුඩා කොටස් වලට කඩා නොයෙකුත් ගම්මානවල තාවකාලිකව පදිංචි කරන ලද අතර  ඔවුනට ආහාර සපයා දීම රාජ නියෝගයකින් ඔවුන් පදිංචි කර සිටින ගම්වල ගම්වැසියන්ට පැවරේ. 

මේ අතර නෞකාවේ ඉතිරි වූ නාවිකයන් නෞකාවත් රැගෙන ආපසු ඉන්දියාව බලා පිටත් වූහ.


සාමාන්‍යයෙන් දවසකට වේල් දෙකක් ඔවුනට ලැබුණු අතර, සෑම වේලකටම ව්‍යංජන තුනක් සහිතව  බත් ඔවුනට ලැබුණි. ව්‍යංජන තුනෙන් එකක් මස් මාළු හෝ බිත්තර  විය.


කපිතාන්වරයාට,  ඔහුගේ පුතාට සහ පියා විසින් මුහුදු ගමන අතරමගදී මිලදීගන්නා වහල් ළමයෙකුට නවතින්නට ලැබෙන්නේ වාරියපොල කිට්ටුව බණ්ඩාර කොස්වත්ත නම් ග්‍රාමයේය. ඔවුන් දෙදෙන ගැමියන්ගේද උදව්වෙන් බිත්ති නොමැති විවෘත නිවසක් සාදා ගනිති. බොහෝ විට මේ එංගලන්තයේදී ඔවුන්ට නුපුරුදු අධික උෂ්ණත්වය මඟහැර ගැනීමට විය යුතුය. පියාට පැදුරක් දමා නිදා ගැනීමට ඇඳක් ලැබුණු අතර පුතා පැදුරක් දමා බිම නිදා ගත්තේය. 


මෙහිදී එකල එම ප්‍රදේශයේ නිතරම ව්‍යාප්ත වුණ මැලේරියා උණ රෝගය  පිය පුත් දෙදෙනාටම සෑදෙන අතර එයින් කපිතාන්වරයා මිය ගියේය. මේ වන විට කනිෂ්ඨ රොබට් නොක්ස්ට වයස අවුරුදු 20 ක් විය. 


රජුගේ නියමයෙන් ඔවුනට ගමේ මිනිසුන් ආහාර ලබාදිය යුතු වුවද ඇඳුම් වැනි වෙනත් දේවල් ලැබෙන්නේ නැත. මේ සඳහා මුදල් සොයා ගැනීමට තරුණ නොක්ස් ගොවියකු බවට පත්වෙයි. කුකුළන්  ඇති කරයි. එයට අමතරව තොප්පි වියා ගැමියන්ට විකුණා ලාභයක් ලබා ගනී. නූල් වලට පැන්ස තුනක් වියදම් කර එක තොප්පියක් පැන්ස නමයට විකිණීමට පුළුවන් වීම නිසා මුලදී මෙය හොඳ ව්‍යාපාරයක් විය. මෙලෙස නැව් වලින් අල්ලා සිරකරගෙන සිටි, බොහෝ ගම්වල සිටි විදේශිකයන් තොප්පි විවීම පටන් ගත් නිසා සැපයුමට වඩා ඉල්ලුම අඩුවූ හෙයින් තොප්පි වල මිල ඉක්මනින්ම ඉතා අඩුවිය. 


මේ කාලය වෙද්දි ලංකාවේ රුපියල භාවිත නොවූ අතර මුලින්ම රුපියල ලංකාවේ හඳුන්වා දී ඇත්තේ සුරති රුපියල නමින් 1780 දීය.


ඔහු පිසූ කෑම වෙනුවට, ගම්වැසියන්ගෙන් අමුද්‍රව්‍ය ලබාගෙන ඔහුගේ ගෝලයාත් සමග උයන්නට පටන් ගත්තේය. මේ සඳහා තරමක් ලොකු නිවාසයක් ඕනෑ නිසා ඒ ගම කිට්ටුව තිබූ රජුගේ පොල් වත්තක නිවසක් සදන්නට පටන් ගත්තේය. ගම්වැසියන්ගේ සහයෝගයෙන් එය ඉක්මනින් අවසන් කර ගැනීමට හැකි විය. 


ඔහු නිවසක් සාදා අවසන්කර  

 බිත්තිවල හුණු ගා ගත්තේය. එසේ සාමාන්‍ය වැසියන්ගේ නිවෙස් වල බිත්ති වල හුණු ගෑම එකල තහනම් වුවද, මෙම විදේශිකයන් සඳහා රජුගේ තිබූ අනුකම්පාව නිසා තම ජීවිතය බේරුණු බව නොක්ස් කියයි. මන්දයත් එකල ගෙවල බිත්තිවල හුණු ආලේප කළහොත් මරණීය දණ්ඩනය පවා ලැබෙන බැවිනි.

ඔහු අලුත් නිවසේ ඌරන් සහ කුකුළන් ඇති කරන්නටද පටන් ගත්තේය. වත්තේ වැටෙන පොල් ඔහුගේ පාවිච්චියට ලැබුණ හෙයින් කෑම පිස ගැනීමටද පහසු විය.


මෙලෙස නොක්ස් ජීවත්වන අතර  එකල කන්ද උඩරට සිරකරුවන් ලෙස ජීවත් වූ බොහෝ යුරෝපීයයන්  අරක්කු පෙරා විකිණීම ව්‍යාපාරයක් ලෙස කළ බව සඳහන්වේ. 


මේ අයුරින් බණ්ඩාර කොස්වත්තේ ජීවත්වන කාලයේ ඔහු ගෝලයා සමග ගමේ ඔයක මාළු අල්ලමින් සිටියදී, වයස්ගත මිනිසෙකු පෘතුගීසි යුද්ධයකදී අල්ලා ගන්නා ලද බයිබලයක් දුන්නේය. ආගම තදින් ඇදහූ එසේම කියවන්නට හා ලියන්නට ප්‍රිය කළ නොක්ස් තරුණයා මෙය ලැබීමෙන් කොතරම් සතුටු වන්නට ඇද්ද?




1669 වසරේ නොක්ස් මහනුවරට කිට්ටුව උඩුනුවර එළදැත්ත ග්‍රාමයේ පදිංචි කරවන ලදී. මෙලෙස කලින් කලට සිරකරුවන්ගේ පදිංචිය වෙනස් කිරීම ඔවුන් පැනයාම වැළැක්වීම සඳහා කරන ලද්දක් විය යුතුය. 


ඔහු අත මුදල් තිබුණ නිසා ඔහු එලදැත්ත ගමේ තරමක ඉඩමක් මිලදී ගත්තේය. එහි නිවසක් සාදාගෙන නොයෙකුත් වගාවන් එසේම කුකුළන් ඌරන් සහ එළුවන් ඇතිකර ධනවත් ගොවියකු බවට පත්විය. විශේෂයෙන්ම බිත්තර වී (වගා කිරීම සඳහා බීජ වී) 50% පොලියට ගම්වැසියන්ට ලබාදීම ඔහු ඉක්මනින් ධනවතෙකු කළේය. 




ඔහුත් සමඟ අත්අඩංගුවට පත්වූ බොහෝ නැවියන් ලංකාවේ කාන්තාවන් සමග විවාහ වී පවුල් ජීවිත ගත කළ නමුදු නොක්ස් තනිකඩ ජීවිතයක් ගත කළේය. 


එකල ඉන්දියාවේ සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් රාජසිංහ රජුට එවූ ලිපියක් නිසා තමන්ගේ රාජධානිය සිටින සියලුම ඉංග්‍රීසි සිරකරුවන් මහනුවරට ගෙන්නා ගන්නා ලද අතර එතන සිරකරුවන් විසිනම දෙනෙකු සිටි බව නොක්ස් විසින් සටහන් කර ඇත.


 ඔහු තමන්ගේ සගයෙකුගේ දියණියක් දරුකමට හදාගත්තේය. ඇයගේ නම ලුසී විය. ඇයට ඔහු ක්‍රිස්තියානි ආගම සහ ඉංග්‍රීසි භාෂාව  හොඳින් ඉගැන්වීය. එසේම ඔහුගේ සියලු දේපළ ඔහුගෙන් පසු ඇයට අයත් විය යුතු බවට ලියකියවිල්ලක්ද ඔහු විසින් ලියා තැබිණ.


1673 වසරේ නොක්ස් තමන්ගේ රටට ආපසු පැනයාමට සැලසුමක් සාදාගත්තේය. ගොවියකු ලෙස ගම්මානයක රැඳී සිටියොත් කවදාකවත් පැනයාමට නොහැකි වන නිසා ඔහු සංචාරක තොප්පි වෙළෙන්දෙකු  ලෙස රට පුරා ඇවිදින්නට පටන් ගත්තේය. දීර්ඝ කාලයක් මෙය කරන විට ඔහු දවස් ගණනක් ගෙදරින් පිටව සිටියත් අසල්වැසියන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට සැකයක් මතුවූයේ නැත. 




1679 සැප්තැම්බර් මස ඔහු සහ ඔහුගේ මිතුරා වූ රුට්ලන්ඩ් ඔවුන් සාමාන්‍ය තොප්පි වෙළඳාමේ යන ගමනක් ලෙසට පෙනෙන අයුරින් ගෙදරින් පිටත් වී අනුරාධපුරය දෙසට උතුරට ගමන් කළහ. අපරාධපුරයෙන් පසුව කන්ද උඩරට රාජධානියේ අවසාන මුරපොල මගහැර උතුරට ගිය ඔවුහු වියළී තිබුණු මල්වතු ඔය පතුල දිගේ ගමන්කර අරිප්පු වෙරළේ පිහිටි ඕලන්ද බලකොටුවක්  වෙත ළඟා වූහ. 


මාසයකට වැඩි කාලයක් ගතවූ මෙම  ගමන අති දුෂ්කර එකක් බව නොකිව මනාය. දේශසීමා ආරක්ෂකයන්ට අසුවේයැයි බියෙන් රාත්‍රිය ගස් උඩ ගත කරමින්, එසේම වැලිතලාවල ආපසු පැමිණි බව කෙනෙකුට හැඟෙන පරිදි අඩි සලකුණු අනික් පැත්තටද තබමින් ඔවුහු ගමන් කළහ.


සිංහල ගැමියන්ගේ ඇඳුමෙන් සැරසී  මුහුණ පුරා රැවුල වවාගත්, හොඳින් සිංහල කතා කරන මේ දෙදෙනා දැක බලකොටුවේ සිටි ඕලන්ද ජාතිකයින් පුදුමයට පත්වූහ.


ඔවුහු, මෙම ඉංග්‍රීසි ජාතිකයින් දෙදෙනා කොළඹට යවා එහි සිට එකල ආසියාවේ ඕලන්ද පාලක මධ්‍යස්ථානයක් වූ ඉන්දුනීසියාවේ බතාවියා නගරය වෙත යවා එංගලන්තයට යන නැවක යවන ලදී. 




එකල බතාවියා නගරය


දීර්ඝ කාලයක් ගතවූ එම ගමනේදීම තමන්ගේ අවුරුදු විස්සක අත්දැකීම ග්‍රන්ථාරූඩ කිරීමට රොබට් නොක්ස් උත්සුක විය. වයස 16 දී එංගලන්තයෙන් පිටත් වූ රොබට් නොක්ස් නැවත එංගලන්තයට ළඟාවන විට වයස තිස් නමයක් විය. 1681 වසරේ එළිදක්වන ලද ඔහුගේ ලංකාවේ ගත කළ ජීවිතය පිළිබඳ පොත An historical relation of island of Ceylon එකල බටහිර ලෝකයේ ජනප්‍රිය පොතක් වූවා පමණක් නොව  එම පොත රොබින්සන් කෲසෝ පොත සඳහා එහි කතුවරයාට අදහස ලබාදුන් බවද කියැවේ.

ඔහු එංගලන්ත ඔහු මුලින් සේවය කළ නැගෙනහිර ඉන්දියා සමාගමේ වෙළඳ නෞකා කපිතාන්වරයකු ලෙස 1701 දක්වා කටයුතු කර ඉන්පසු  විශ්‍රාම ගෙන 1720 දී මිය ගියේය.















රොබට් නොක්ස්

 අප රටට පැමිණි දේශගවේෂකයෝ - කපිතාන් රොබට් නොක්ස්  රොබට් නොක්ස් ශ්‍රී ලංකාවට අතිශය වැදගත්කමක් සහිත පුද්ගලයෙකි. ඒ අපිට ඕනෑම වෙලාවක දාහත් වැනි ...