Sunday, April 14, 2024

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි. 


එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ නොයෙකුත් පාරවල් දිගේ ඇවිදින්නට පුරුදු වී සිටි බව මම කලින් කිව්වෙමි. 


මෙලෙස ඇවිදින විට මම වීදිවල වැඩියෙන්ම දුටුවේ ආපනශාලාවන්ය. ඒවා බොහෝවිට ඉන්දියානු හෝ චීන ඒවා වෙයි. ඊළඟට දුටුවේ spa ආයතනයන්ය. ඒවා සීයට සීයක්ම වගේ ම චීන ඒවා බව පෙනුණි. සාමාන්‍යයෙන් මසාජ් එකක් ඩොලර් පනහකට වාගේ මිලකර ඇති බවත් පෙනුණි. ඒ කියන්නේ රුපියල් දහතුන් දාහක් පමණ වෙයි.


මෙම ස්පාවල වැඩ කරන සියලුම දෙනා පාහේ සිහිනයෙන් සිංගප්පූරුවට පැමිණ තාවකාලිකව වැඩ කරන කාන්තාවන් බවත් දුටුවෙමි. 


ඒවාට අමතරව ව්‍යාපාරික ස්ථානයක් දුටුවිට මම ඒවා පිළිබඳව උනන්දුවෙන් බලන්නට පටන් ගත්තෙමි. මෙසේ දුටු එක් ක්‍රියාකාරික ස්ථානයක් හාඩ්වෙයා කඩයක් විය. එය විවෘත කර තිබුණු නිසා මම එය ඇතුලට ගියෙමි. කාන්තාවන් දහ දෙනෙකු පමණ ක්ම වැඩ කළ එම ස්ථානයේ එකදු පාරිභෝගිකයෙක්වත් සිටියේ නැත. 


මම ඇතුළට ගිය විට එතන සිටි සේවිකාවන් දෙදෙනෙකුම මා වෙත පැමිණ මා කුමක් මිලදී ගැනීම සඳහා පැමිණියේදැයි විමසා සිටියහ. මම භාණ්ඩ බැලීමට පැමිණිය බවත් උනන්දුවක් ඇතිවන යමක් දුටුවොත් මිලදී ගන්නා බවත් ඔවුන්ට පැවසුවෙමි. 


ටික වේලාවක් එහි නොයෙකුත් භාණ්ඩ බලා මම පඳුරු කපන කුඩා කතුරක් මිලදී ගත්තෙමි. එය මිලදී ගනිද්දී මම එහි කැශියර්වරියගෙන් එකදු පාරිභෝගිකයෙක්වත් දකින්නට නොමැති වීම ගැන විමසුවෙමි. 


ඇය මා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් සේවිකාවන් කිහිප දෙනෙකු කාඩ්බෝඩ් පෙට්ටිවල බඩු අසුරනවා පෙන්වා කියා සිටියේ මෙහි වෙළඳාමෙන් සියයට අනූවකටත් වඩා සිදුවන්නේ online බවය. 


සිංගප්පූරුවේ සිටියදී කිහිප වතාවක් අපි ලිට්ල් ඉන්දියා පැත්තට ගියෙමු. අතිවිශාල වෙළඳ සංකීර්ණය වන මොහොමඩ් මුස්තාපා පිහිටි වීදිය දිගට පිහිටා ඇති බොහෝ කඩවල් පසුගිය කාලේ ඉන්දියානුවන්ට අයිතිව තිබුණි. නමුත් දැන් ඒ පැත්තේ ලොකු වෙනසක් සිදුවෙමින් තිබෙන බව මට පෙනුණි. ඒ බංග්ලාදේශ  පිරිස් ඒ පාරේ අලුත් ව්‍යාපාර පටන් ගැනීමට යොමුවී තිබීමයි.

දැන් ඔවුන්ගේ ව්‍යාපාර බොහොමයක් ඒ පාරේ තිබේ. ඒවා බොහෝ විට රෙදිකඩවල්ය. ශ්‍රී ලංකාවේ කවුරුන් හෝ එලෙස ඒ පැත්තේ කඩවල් කරන්නේදැයි මම සොයා බැලුවෙමි. එකක්වත් නොමැති බව දැක මම කණගාටුවට පත්වුනෙමි. මේ තරම් ඇඟලුම් කර්මාන්තයේ ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාවේ ඇඳුම් ටිකක්වත් එහි විකුණා ගන්නට කඩයක්වත් කවුරුත් නොදා සිටීම පුදුම සහගතය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා සිංගප්පුරැ වෙළඳ ගිවිසුමකුත් තිබියදී එසේ නොමැතිවීම තවත් පුදුම සහගතය.

Tuesday, April 2, 2024

තනියම රටට එන සංචාරිකාවන්

 



තනියම කාන්තාවකට ඇවිදින්නට යන්නට ලෝකයේ හොඳම රට ලංකාව බවට පත්වෙයි. පහතින් දැක්වෙන්නේ අවස්ථාවට ඒ වෙබ්සයිට් එකෙන් ලියා තිබූ විස්තරයයි.


'ඉන්දියානු සාගරයේ  කුඩා කඳුළු බිංදුව   ඉන්දියාවේම කුඩා සාම්පලයක් හා අතිශයින් ම සමාන නමුත් එයටම අද්විතීය චමත්කාරයකින් යුක්ත වෙයි. දකුණු ආසියාවට සංචාරයකට යන්න කැමති කාන්තා සංචාරකයින් සඳහා ලංකාව පරිපූර්ණ පළමු නැවතුම බවට කිසිම සැකයක් නැත. 


එය බැක්පැකර්වරුන් අතර බොහෝ ජනප්‍රිය වන අතර සතියක් හෝ මාසයක් පුරාවට යුනෙස්කෝව ලැයිස්තුගත කර ඇති දඹුල්ල සහ සීගිරිය වැනි ස්ථාන ගවේෂණය කිරීමට හෝ නුවරඑළියේ තේ වතු නැරඹීමට ගත කළ හැකිය. ඒ සමගම  ප්‍රීතිමත් නිදහස්  කාලයක් සඳහා, ආරුගම්බේ බොක්ක, මිරිස්ස සහ හික්කඩුව රන්වන් වෙරළ තීරයන්, වෙරළ ඉදිරිපස නේවාසිකාගාර, සර්ෆින් සහ රසවත් දේශීය ආහාර මනා අගයක් එකතු කරයි.


මෙම විස්තරයෙන් ගම්‍යවන කරුණු මොනවාද, මම ඒවා ලැයිස්තුගත කරන්නට උත්සාහ කළෙමි.

1. අප කොතරම් නැහැයි කිව්වද පිට මිනිස්සුන්ට පෙනෙන්නේ අප ඉන්දියාවේම කොටසක් තරමට සමානකම් ඇති බවය.

2. සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට අපට තිබෙන ප්‍රධානම ආකර්ෂණ යට අවුරුදු දාහකට පෙර වාගේ හදපු ඒවාය.

3. ඉන්පසුව සෑදුණු ඒවාගෙන් සංචාරකයන් ආකර්ෂණය වන්නේ දුම්රිය සහ තේ වගාවන්ටත් බැක් පැකස්ලා වෙනුවෙන් වෙරළ තීරයේ සාදා ඇති හොස්ටල් පමණි.

4. අපේ කෑම පිළියෙල කරගැනීම්වලද ී සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් තිබේ. අපේ දේශීය ආහාර පිළිබඳව, එයට සංචාරකයන් යොමු කරගන්නේ කෙසේද යන්නත් ‍යයනය කර හොඳ ප්‍රෝග්‍රෑම් එකක් හැදුවොත් හොඳ බව පෙනේ.

5. ලංකාවේ පිරිමි පක්ෂයද මෙම රෑන්කින්වලට බොහෝ දායකත්වයක් දී තිබෙන බව පෙනේ. ඒ තනියම ලංකාවට එන සංචාරකියන්ට කිසිම කරදරයක් කරන්නට උත්සාහ නොකර රටේ ඕනෑ තැනක ඔවුන්ට ආරක්ෂා සහිතව ඇවිදීමට පරිසරයක් සකසා දීමයි.

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...