Friday, May 31, 2019

2 ඇමෙරිකාව සමග මිලිටරි ගිවිසුම - 2





ඇමෙරිකාවට අපත් සමග මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමට ඇති අවශ්‍යතාවයන් කුමන ආකාරයේ ඒවා වියහැකිද? 

මේවා රටක් විසින් බොහෝවිට හෙළිකරන ඒවාට වඩා වෙනස් වන හෙයින්, අප ඒවා කුමන ආකාර විය හැකි දැයි පරීක්ෂා කර බැලීම වඩා සුදුසු බව ඕනෑම කෙනෙකු පිළිගනු ඇත. එසේ ලොව බලවෙතුකට අප රට හා ගිවිසුම් ගතවීමට දැනට ලොව තිබෙන දේශපාලනික ආර්ථික සහ තාක්ෂණික  දියුණුව සලකා බලන විට, කුමන හේතු අප මනසට එයිද? ඒවා කුමන හේතු නිසා පිළිගැනීමට අපහසුද?
1.      ඇමෙරිකාව අප රට යම් ආර්ථික වාසියක් සඳහා ඔවුන් නතු කර ගැනීමට උත්සාහ කරති - මෙය කිසිසේත්ම විය නොහැකිය. ඔවුන්ට අප රට අල්ලාගෙන කිසිම වාසියක් ලබාගැනීමට නොහැක. අනෙක් අතින් නවීන ලෝකයේ රටවල් අල්ලා ගැනීම නොකරන එමෙන්ම නොකළැකි දෙයකි. අපේ බරට රත්තරන් දෙනවා කිව්වත් රටක් අප බාර ගැනුමට කැමති නොවනු ඇත.
2.     මන්නාරමේ තෙල් තිබෙන නිසා ඇමෙරිකාව අප රට පාලනය කිරීමට උත්සාහයක් දරයි. මේක හරියට තෙල් තිබෙන නිසා නයිජීරියාව අල්ලා ගැනීම වැනි වැඩකි. ඊට වඩා බොහෝ පහසු ලෙස ඇමෙරිකාව තෙල් වෙළඳපොල පාලනය කර  ඇමෙරිකාව සමාගම් මුදල් හොයති. අනෙක තෙල් තව අවුරුදු 20 ක් පමණ වනවිට වැඩකට නැති දෙයක් බවට පත්වෙයි.
3.     ඔවුන්ගේ යුධ මධ්‍යස්ථානයක් ලෙස අප රට පාවිච්චි කිරීමට ඇමෙරිකාව සැරසෙයි - මෙම කාරණය ගැන සලකා බැලීමට පෙර, ඇමෙරිකාවට එවැනි අවශ්‍යතාවයක් තිබේදැයි පරීක්ෂා කල යුතුය.
a.     ඕනෑම රටකට යුද්ධයක් කිරීම නම් සතුරන් සිටිය යුතුය. අප රටෙහි යුධ බලයක් ස්ථාපිත කිරීමෙන් ඒ සතුරන් මර්ධනය කිරීමට යම් හැකියාවක් එම රටට ලැබිය යුතුය. අප ලඟම සිටින ප්‍රධාන රටවල් දෙක වන ඉන්දියාව සහ පකිස්තානය ඇමෙරිකාවේ ළඟ මිතුරන්ය. ඔවුන් නිසා නම් ඇමෙරිකාව මේ තරම් වියදම් කරගෙන මෙහි කඳවුරු ගසන්නට සිතන්නේ වත් නොමැත. ඊළඟ ප්‍රධාන අසියාතිකයා වන්නේ චීනයයි. බොහෝ ආරාවුල් පිටතින් පෙනුනද,  ඇමෙරිකාව සහ චීනය සෑම අතින්ම තදින්ම බැඳී ඇති රටවල් දෙකකි. මේ එක රටක් නොමැතිව අනෙකාට ජීවත්වන්නට බැරි තරමට ඔවුන් එකිනෙකා මත යැපෙති.  ඇමෙරිකාවට මේ වකවානුවේ ලෝකයේ සිටින්නේ එකම සතුරෙකු පමණි. ඒ ඉස්ලාම් අන්තවාදයයි. ඔවුහු ඇමෙරිකාවට යමක් කිරීමට කෙල හලමින් බලා සිටිති. ඇමෙරිකාවට අවැඩක් කිරීමට නොහැකි නිසා යුරෝපයට ඒවාටත් කරන්ට අපහසු නිසා, අපි වාගේ අහින්සකයෙකුටවත් පහරදීමක් කරන්නට බලති. ලංකාවේ හමුදා පහසුකමක් ස්ථාපිත කිරීමෙන් ඉස්ලාම් අන්තවාදයට කිසිම බලපෑමක් කරන්නට ඇමෙරිකාවට ලැබෙන්නේ නැත. මේ කරුණු සියල්ල සලකා බැලුවිට, ඇමෙරිකාවට සතුරන් හා යුධ වැදීමට ලංකාවේ හමුදා ස්ථාපිත කිරීමෙන් වැඩක් වෙන්නේ නැති බව පැහැදිලිය.
b.     සමහර දෙනෙකු ලෝකයේ මාධ්‍යය ලංකාව යයි සිතා සිටිති. එසේම ලංකාවේ සිට ලෝකයේ ඕනෑම තැනකට මිසයිල් විදීමට හැකියාවක් තිබේ යයිද, ඒ නිසා ලංකාව යම් විශේෂ රටක් යයි ඔවුන් සිතති. තැන යම් විශේෂ කෙනෙකු යයිද, තමන් මේ ලොවට පහල වී ඇත්තේ යම් විශේෂ හේතුවකටයි සිතීම හා සමානය. ගෝලයක අභ්‍යන්තරයේ ඇති කේන්ද්‍රය මිස, ගෝලයක් මත මාධ්‍යයක් තිබිය නොහැක. ඕනෑම රටකට තමන් ලෝකයේ මැද එසේත් නැත්නම් විශ්වයේ මැද  යයි සිතන්නට පුළුවන. අනෙක් කාරණය නම් එලෙස මිසයිල් ගසන්නට එලෙස ලෝකයේ මැද සොයාගෙන එතෙන්ට වී සිටිය යුතු නැත. න්‍යෂ්ටික බෝම්බ සහිත මිසයිල මුහුද යට සිට කිලෝ මීටර 10000 පමණ දුර ඉලක්කයකට මීටර් කිහිපයක් තුල පතිත කරන්නට හැකියාව ඇති න්‍යෂ්ටික සබ්මැරීන ලෝක බලවතුන් කිහිප දෙනෙකුටම තිබේ. මෙවැනි එක සබ්මැරිනයකට මිසයිල 150 ක් පමණ තිබේ. ඒවා 5 ක් පමණ නොයෙකුත් සාගරික ස්ථානයන්හි නවතා තැබුවේ නම්, ඕනෑම වෙලාවක ලෝකයේ ඕනෑම ස්ථානයක් විනාශ කිරීමේ බලය අයිති රටට ලැබේ. අනෙක් කාරණය මෙම මිසයිල විදින ස්ථානය භූමියක තබුනු විට සතුරන්ට ඒවා විනාශ කිරීමට පුළුවන. එහෙත් ඒවා ගැඹුරු මුහුදේ නොදන්නා ස්ථානයක තැබීමට සතුරාට එය දැනගෙන විනාශ කිරීමට නොහැකිය. ඇමෙරිකාවේ වැඩියෙන්ම ආරක්ෂා කරන රාජ්‍ය රහස වන්නේ මෙම සබ්මැරීන තිබෙන ස්ථානය වෙන්නේ මේ නිසාය.
c.      ඇමෙරිකාව කඳවුරු සදන්නට රටවල් හොයමින් සිටි - මේ වකවානුවේ ඔවුන් ඇත්තෙන්ම උත්සාහ කරන්නේ තියෙන කඳවුරුත් ගලවාගෙන වියදම් කපාහැ රිමටය. දැන් ඔවුන් කඳවුරු පවත්වාගෙන යනවාට සල්ලි ඉල්ලති. දකුණු කොරියාව ඒ සඳහා ඩොලර් බිලියනයක් මේ අවුරුද්දට දීමට පොරොන්දු විය. දැන් තිබෙන තාක්ෂණයත් සමග භෞතිකව ලෝකය සැමතැනම හමුදා තබාගන්නට කාටවත් අවශ්‍යතාවයක් නොමැත. ඇෆ්ගනිස්තානයේ බෝම්බ දමන මිසයිල විදින ගුවන් යානා පදවන්නේ ඇමෙරිකාවේ ගුවන් කඳවුරක සිටය. ලෝකයේ ඕනෑම තැනක සිදුවන දෙයක් සැනෙකින් බලාගන්නට චන්ද්‍රිකා මඟින් පුළුවන.

ඇත්තෙන්ම එසේනම් මෙම ගිවිසුම කුමකටද ?......... ඊළඟ බ්ලොග් එකෙන් 

Thursday, May 30, 2019

අමෙරිකාවත් සමග මිලිටරි ගිවිසුම


මේ දිනවල ඇමෙරිකානු රජය සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගන්නට යන හමුදා ගිවිසුමක් ගැන බොහෝ දෙනා කතා කරනු පෙනේ. එම සාකච්ඡාව කොතරම් තිර්ව වී ඇද්ද යත් අප රටේ ඇමෙරිකානු තානාපතිතුමිය, මල්වතු මහනායක හාමුදුරුවන් මුණගැසී ඒ පිළිබඳව පැහැදිලි කරන්නට තරම් එය දුරදිග ගියේය.

නමුත් අවාසනාවකට අප වැනි අවශේෂ ජනයාට මේ පිළිබඳව පැහැදිලි කරන්නට කෙනෙක් නැත්තේය.  පැහැදිලි කරගනු ලැබූ අයවලුන්ද එය අපට පැහැදිලි කරන බවක් පෙනෙන්නට නැත. මේ ගැන නිතරම රූපවාහිනිවල  කතා කරන අයද ඒ පිළිබඳව කිසිම දැනුමක් නොමැතිව තමන්ගේ දේශපාලන වෛර පිරිමසාගන්නට ගිවිසුම් යොදාගන්න සැටියක්  පෙනේ. අනෙක් පැත්තට රජය පැත්තෙන් යම් වගකිවයුතු ඇමතිවරයෙකු; විදේශ ඇමතිවරයා හෝ ආරක්ෂක ඇමතිවරයා, මේ පිළිබඳව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා පැහැදිලි කිරීමක් කරන බවක් පෙනෙන්නට නැත. එය ඇත්තෙන්ම ජනතාවට කලයුතු සේවයක් පැහැර හැරීමකි. රටේ පුරවැසියන් මෙලෙස අවුලෙන් අවුලට පත්කිරීමෙන් ඔවුන් යම් මානසික තෘප්තියක් ලබාගන්නවා දැයි සැකයක් ඇතිවන තරමට  ඔවුන් මෙලෙස පැහැදිලි නොකර සිටීම පුරුද්දක් කරගෙන සිටිති.

අවසානයේ මෙතන ඇත්තෙන්ම තියෙන දෙයට වඩා යම් දෙයක් තිබෙන්නේ දැයි සැකයක් පුරවැසියන් අතර ඇතිවෙයි. රජයට විරුද්ධ අය, විශේෂයෙන්ම පැරදී සිටින දේශපාලඥයන් සහ ඔවුනට උපකාර කරන මාධ්‍ය කරුවන් මෙය අවස්ථාවක් කරගෙන,  කුඩා ග්‍රහලෝකයක් ඇති තැන කළු කුහරයක් මවා පෙන්වති. දැන් රජය ප්‍රශ්නයේ යථා තත්වය පැහැදිලි කරන්නට උත්සාහ කරයි. එහෙත් දැන් පොරොවක් නොව යාන්ත්‍රික කියතක් වත් අවශ්‍ය වෙයි. සමහරවිට ඒ වනවිට අන්තරය කොළඹම නවතන පෙළපාලි දෙකක් වත් සංවිධානය කර අවසානය.
ප්‍රියම්බල් එක දැනටමත් දිග වැඩි නිසා මෙතනින් නවතන්නෙමි. 

දැන් මේ ඇමෙරිකාව සහ අත්සන් කරන්නට තටමන ගිවිසුම කුමක්දැයි පොඩ්ඩක් අධ්‍යයනය කරමු. මෙම ගනයේ ගිවිසුම් වලට ඇමෙරිකාව කියන්නේ status of force agreemant (SOFA) යනුවෙනි.   ඇමෙරිකාව බොහෝ මෙවැනි දේවල් වලට මෙවැනි acronym සාදන්නට රුසියන්ය. එරට තිබෙන සෑම දෙයකටම යම් acronym තිබේ. ඔවුන්ගේ රටේ නම වුවද acronym එකකි (USA).  ඒ ආගන්තුක රට තුල ඇමෙරිකානු හමුදාවන්ට ඇති තත්වය ( විශේෂයෙන් ආගන්තුක රටේ නිත්‍යානුකුලව) පැහැදිලි කරගැනීමටය. එවිට පසුකලෙක යම් සිදුවීමක් සිදුවුවහොත්; උදාහරණයක් වශයෙන් ඇමෙරිකානු භටයෙකු අතින් මාර්ග අනතුරකදී සාමාන්‍ය වැසියෙකු මියගියහොත්) ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පැටලිල්ලක් නැත. එහිදී ගතයුතු ක්‍රියාමාර්ග SOFA එකේ පැහැදිලිව ලියා තිබේ.
මෙලෙස SOFA ගිවිසුමක් ගතවන්නේ ඇමෙරිකාවට එම රට තුල තමන්ගේ ආරක්ෂක හමුදා යම් අයුරකින් භෞතික ලෙස ස්ථානගත කිරීමක් කිරීමට අවශ්‍ය වේ යයි හැඟුන විටය. එම භෞතික ස්ථානගත කිරීම ඇමෙරිකානු යුධ නැවක් එම රටට සංචාරයක් සඳහා, එහි නැවියන් එම රටතුල සංචාරය කරන අවස්ථාවක සිට හදිසි යුද්ධයක් සඳහා ඇමෙරිකානු හමුදා බලඇණියක් ස්ථානගත කිරීම දක්වා පරාසයේ ඕනෑම තැනක සිදුවිය හැක.
ඇමෙරිකාව මෙවැනි SOFA ගිවිසුම් 100 කට වැඩි ප්‍රමාණයක් සමග දැනටමත් අත්සන් කර තිබේ. ඒවායින් 36 ක් පහත දැක්වෙන අතර ඉතිරිය අවශ්‍ය නම් ගුගල් කර බලාගත හැක.
1.     NATO රටවල් 26 සමග
2.     ජපානය
3.     දකුණු කොරියාව
4.     ඔස්ට්‍රේලියාව
5.     පිලිපීනය
6.     ගෞතමාලා
7.     හයිටි
8.     හොන්ඩුරාස්
9.     මාෂල් දුපත්
10.                        UK  .....................
මෙම ගිවිසුම් නොයෙක් හේතු නිසා ඇතිකරගත් ඒවා වෙති. එම හේතු අතර
1.බලඇණි ස්ථානගත කිරීම
2. කඳවුරු බැඳීම සඳහා දේපල බදු ගැනීම
3. යුධ අභ්‍යාස වැනි විශේෂ කාර්යයක් සඳහා
4. පුහුණු කිරීම් වැනි උදව් ලබාදීම සඳහා
5. මිලිටරි සහයෝගිතාවයන් සඳහා
6. මානුෂික මෙහෙයුම් යනාදිය සඳහා තාවකාලික සහාය දීම සඳහා
ප්‍රධාන වෙයි.
ඇමෙරිකාවට අප රට සමග SOFA ගිවිසුමක් අවශ්‍ය ඇයි? ඊළඟ කොටසෙන්

Friday, May 17, 2019

මහනුවර බුරියානි වර්ජනය

මේ දිනවල මුස්ලිම් කඩ සාප්පු වර්ජනය කිරීම පිළිබඳව ලොකු කතිකාවතක් අසන්නට, බලන්නට ලැබේ.
මට මෙම ප්‍රශ්නය නිසා පුද්ගලිකව ලොකු පාඩුවක් සිදුවිය. ඒ මහනුවර kandyan muslim හෝටලයෙන් බුරියානි මිලදිගන්නට ගොසිනි.අප කුඩාකාලයේ සිටම අපේ දෙමව්පියන් ඉඳහිට බුරියානි කමට සිතුනුවිට බුරියානි කෑවේ මුස්ලිම් හෝටලයෙනි. මුස්ලිම් හෝටලය හොඳ බුරියානි ජනතාවට ආහාරයට දුන්නා පමණක් නොව මස් කරී සහ රොටි කැමටද ජනප්‍රිය ස්ථානයක් විය. එය එකල හැඳින්වුණේ මුස්ලිම් හෝටලය යන නමිනි.
එහි නම kandyan muslim හෝටලය යනුවෙන් වෙනස්කර ඇත්තේ ළඟක දීද එසේත් නැත්නම් ඒ කාලයේම සිට නම මෙලෙස තිබුනද අප මුස්ලිම්භා විත කලේ  නමින් පහසුවටද යන්න මම නොදනිමි.
මේ ලඟකදී මම මේ කියන්නට යන ආපදාව මගේ මිතුරෙකුට කීවිට ඔහු කල කොමෙන්ට් එකකින් මම පුදුමයට පත්විය. ඒ මුස්ලිම් හෝටලය එකල ලංකාව පුරා කොතරම් ප්‍රසිද්ධ වී තිබුනේද යත් සමහර බුරියානි ලෝලීන් කොළඹ සිට කෝච්චියේ ඒ සඳහාම නුවරට පැමිණ මුස්ලිම් හෝටලයෙන් බුරියානි කා ආපසු කෝච්චියේ කොළඹ ගිය  බවයි. මෙහිද යම් සත්‍යතාවයක් තිබෙන්නට පුළුවන.
ඒ කාලයේ මුස්ලිම් හෝටලය ප්‍රසිද්ධ ව තිබුනේ කෑම සඳහාම පමණක් නොවේ. එයට අමතරව එය නුවර ටව්මේ මිනිසුන් මුණගැසෙන ස්ථානයක් ද විය. සමහරවිට දැන් එම කාර්ය සිදුවන්නේ KCC තුල වියහැක. 
උදාහරණයකට තලාතුඔය සිට සහ අමුණුගම සිට නෑයන් දෙගොල්ලක් යටිවාවල ප්‍රදේශයේ ජිවත්වන පවුලකින් කසාදයක් සඳහා තරුණියක් බලන්නට යනවා යයි සිතමු. එකල බොහෝ පවුල් වලට  ; ඉහලම මධ්‍යම පන්තියට එන තෙක්, වාහන තිබුනේ නැති නිසා ඔවුහු මුණගැසීමට දිනයක් දාගෙන මුස්ලිම් එකේදී යම් වෙලාවක් ; 18 වන අඟහරුවාදා වැනි,හමුවීමට යොදාගනිති. බස් වලින් පැමිණ මුස්ලිම් එකේදී මුණගැසෙන ඔවුහු මස් රොටි කා තේ එකකුත් බි බස් ස්ටෑන්ඩ් එක ළඟ ටැක්සි ස්ටෑන්ඩ් එකෙන් වාහනයක් කුලියට ගෙන යටිවාවලට යති.

මුස්ලිම්ම එකේ ඉතිහාසය ගැන තව බොහෝ දෑ ලියන්නට පුළුවන. ඒ කාලයේ නුවර අවට ගණිකා නිවාස කිහිපයක්ම තිබුණි. සමහර විට මුළු ගමක්ම වාගේ එම ව්‍යාපාරයේ යෙදුනු අවස්ථාද තිබුණි. මෙම ගණිකා නිවාස වලට කෙලින්ම යාමට නොහැකි පාරිභෝගිකයනට උදව් කර ජිවිත ගැටගහ ගන්නා කිහිප දෙනෙකු ඔවුන්ගේ රැකියා කලේද මුස්ලිම් හෝටලය අවට සිටය. එතැනදී ඩිල් එක කතාකරගෙන පාරිභෝගිකයා නරක ප්‍රසිද්දියක් ඇති නිවසට (house of ill reputation) ගෙන යාම ඔහුගේ සේවය විය. ඒ සඳහා ඔහුට දෙපැත්තෙන්ම ගතමනාවක් ලැබිණ.

මට සිදුවූ ඇබැද්දිය වෙනත් ආකාරයක එකකි. අපි ගෙදර කෑමට  සිටින 4 දෙනාට බුරියානි 3 ක් ද වැඩිපුර රොස්ට් කුකුලන් කොටසක් ද මිලදී ගත්තෙමු. ඒ බුරියානි එකේ බත් එක් අයෙකුට වැඩි නිසාය. ගෙදර ඇවිත් බුරියානි කම සඳහා ඇපර්ටයිසර් එකක් ලෙස  100 ක ෂොට් එකකුත් පානය කර කෑම සඳහා ඉඳ ගතිමු. 
අහෝ ඛේදයකි! බුරියානි එක කටේ තියන්නට බැරි තරමට ලුණු දමා තිබිණ. ලුණු වැඩිවී ඇත්තේ බත්වල පමණක් යයි සිතාගෙන රොස්ට් චිකන් කෑල්ල කන්නට උත්සාහ කලෙමි. එය ඊටත් අන්තය. බත්වල පොඩි වෙනසක්ද දැනුනි. ගෙදර තිබුණු පාන් කැල්ලක් ආහාරයට ගෙන බඩගින්න සන්සිඳවා ගත්තෙමු.

මට හිතෙන්නේ මෙම වර්ජනය නිසා මුස්ලිම් කඩවල ආහාර ඉතිරි වී ඒවා ෆ්රිසර් වල දමා නැවත රත්කර දෙන්නට පටන්ගෙන ඇත.
මෙම අනුමානය සත්‍ය නම් මුස්ලිම් කෑම කඩවලට ඒ පිළිබඳව ලැබෙන ප්‍රසිද්ධියෙන් ලැබෙන ප්‍රතිපලය , කෑම  වර්ජනය කරන ලෙස කරන වැඩපිළිවෙලට වඩා භයානක වනු ඇත. 

Monday, May 6, 2019

රහස්‍ය




මා  ගුවන් ගමනක යෙදෙන විට මුලින්ම කරන්නේ ඉදිරිපස මල්ලේ ඇති සඟරා දෙක; ඩියුටි ෆ්‍රී සහ ගුවන් සමාගමේ මාසික සඟරාව, උඩින් පල්ලෙන් කියවීමයි. ඊටපසු චිත්‍රපට බලන්නට පටන් ගනිමි. පසුගිය දිනක මෙලෙස ගුවන් යානයක පැමිණෙන විට චිත්‍රපට බලන්නට පටන් ගන්නා විට ඉයර් පෝන් එක හරියට ඇසෙන්නේ නැති බව වැටහුණි. යන එන ගුවන් සේවිකාවක් අල්ලා ගෙන එය මාරුකර ගත්තෙමි. අදෝමය, එම ඉයර් පෝන් එක පෙර තිබු එකටත් අන්තය, නැවත වරක් ඉයර් පෝන් මාරුකිරීමට ඉල්ලා සිටීමට මට මැලිකමක් ඇතිවිය; මම මෙවැනි අවස්ථාවල assertive මදි බව මට පෙරත් පෙනීගොස් ඇත. මම චිත්‍රපට බැලීම අතහැර නැවත සඟරා කියවන්නට පටන් ගත්තෙමි.
එහෙත් ගුවන් යානාවල යද්දී මට චිත්‍රපට බැලීමේ addiction එකක් ඇති සැටියා මෙනි. මම නැවත වරක් චිත්‍රපටයක් දමාගෙන  talkies ඒමට පෙර නැරඹු ආකාරයට චිත්‍රපටයක් බලන්නට උත්සාහ කලෙමි. ටික වෙලාවකින් මෙය එපාවූ නමුදු මට අපුරු අදහසක් මතුවිය. ඒඉංග්‍රීසි  subheadings ඇති වෙනත් භාෂාවක චිත්‍රපටයක් නැරඹීමයි.
මුලින්ම හමුවූ එවැනි චිත්‍රපටය මලයාලම් එකක් විය. මම එය බලන්නට පටන් ගතිමි. පරම්පරා ගණනක් සැලසුම් කර ඉඩමක් මිලදී ගැනීමට උත්සාහ කරන ඈත දුෂ්කර කඳු මුදුනක පිහිටි එනසල් වත්තක පණිවුඩ කරුවෙකු පිළිබඳව වූ මේ කතාව ඉතාමත් සිත්ගන්නා ආකාරයෙන් සාදා තිබුණි. එනසල් වතුවල කම්කරුවන්ගේ දුෂ්කර ජීවිත, කොමියුනිස්ට් ආණ්ඩු නිසා ඇතිවී ඇති අවුල් කම්කරු සම්බන්ධතා, සුළු ඉඩම් හිමියන් මුහුණ දෙන ප්‍රශ්න, මිනිසුන් එකිනෙකා විශ්වාශ කිරීම් යනාදී බොහෝ ප්‍රශ්න වලින් පිරුණු; මෙම චිත්‍රපටිය මම ඉතාමත් ආසාවෙන් නැරඹුවෙමි.
නමුත් අවාසනාවකට මෙන් චිත්‍රපටිය අවසානවීමට පෙර යානය කොළඹට ළගා වුනු අතර මම එහි නම මතක තබාගැනීමට පෝන් එකෙන් ඡායාරුපයක් ගන්නට සිතා සිටියද එය අමතක වී ගෙදර පැමිණියෙමි.
ගෙදර පැමිණි පසු මෙම චිත්‍රපටිය යු ටියුබ් එකෙන් සොයාගෙන ඉතිරි කොටස බැලීමට සිතා සිටියද එහි නම හරියට දන්නේ නැතිව එය සොයාගැනීම එතරම් පහසු නොමැති බව මට පෙනී ගියේය. වචන තුනක් වූ චිත්‍රපටයේ නමේ තුන්වන වචනය ‘මලෙයි’ බව මට මතක තිබුණි. මේ අතර මට මිතුරෙකු නිර්දේශ කල නිසා 1000 රුපි නෝට් නම් ඉන්දියානු ප්‍රධාන ධාරාවේ නොවන චිත්‍රපටයක් netflix චැනලයේ බැලුවෙමි.
දුප්පත් කාන්තාවකට ඡන්ද කාලයේ දේශපාලඥයකු විසින් දෙන ලද රුපියල් 1000 නෝට්ටුවක් නිසා ඇයට විඳින්නට සිදුවන කරදර මාලාවක් තුලින් ඉන්දියානු සමාජයේ ඇති අසාධාරනකම් පෙන්වාදෙන මෙම චිත්‍රපටිය ඉතාමත් කලාත්මක අයුරෙන් නිපදවා ඇත. ඉතාමත් අඩු වියදමකින් නිපදවා තිබුනද තේ එකක් බොන්නවත් ඇස අහකට ගන්න සිතුනේ නැති චිත්‍රපටයකි.
netflix චැනලයේ අපි චිත්‍රපටයක් තෝරාගත් විට එයට යටින් ඒ හා යම් අයුරකින් සමාන වන චිත්‍රපට 10 ක් පමණ යටින් පෙන්වයි. මගේ වාසනාව මතුවුයේ මෙතනදීය. කුමන හෝ හේතුවකට; බොහෝ විට ඉන්දියානු චිත්‍රපටයක් නිසා වෙන්නට පුළුවන, මට ගුවන් යානයේදී කොටසක් අතහැරුණු, මා සොයමින් සිටි චිත්‍රපටය දක්නට ලැබුණි. ඒත් එහි තුන්වන වචනය ‘මලෙයි’ ලෙස දුටු නිසාය.  
මෙම චිත්‍රපටිය පෙර කිව්වාක් මෙන් ඉතාමත් සිත්ගන්නා සුළු එකක් වූ අතර මෙය බලද්දී එය හා සම්බන්ධ චිත්‍රපටි 10 ස්ක්‍රීන් එකේ වැටුණි. මෙයින් නැරඹීමට වඩාත් සුදුසු යැයි සිතුනු තවත් චිත්‍රපටයක් වූ රහස්‍ය නම් චිත්‍රපටය ඊළඟ දවසේ බැලීමට තෝරාගෙන මගේ ලිස්ට් එකට දමා ගත්තෙමි.
මෙම චිත්‍රපටිය 2008 වසරේ සත්‍ය සිද්ධියක් ඇසුරෙන් නිපදවා ඇති බව මම චිත්‍රපටිය බලා අවසන් වූ පසු ගුගල් එකෙන් ඉගෙනගතිමි.
මම කුඩා කලසිටම රහස් පරීක්ෂක කතා කියවන්නටත් එම චිත්‍රපට බලන්නටත් මහත් ලොල් කමක් දැක්වුවෙමි. ටින් ටින් (මෙය උච්චාරණය කල යුත්තේ ටන් ටැන් ලෙස බව අපේ 8 පන්තියට ඉංග්‍රීසි ඉගැන්වූ ජයසිංහ මහත්මයා කිවූ බව මතකය) ගේ රහස් පරීක්ෂණ වලින් පටන්ගත් මෙම බැඳීම් පෙරී මේසන්, ජේම්ස් බොන්ඩ් ( my name is Bond, James Bond) ,  ජේමිස් බන්ඩා ( ඩිමන් ආනන්ද), ඩිකී වීරකෝන්, ෂර්ලොක් හොල්ම්ස් යනාදී වශයෙන් ව්‍යාප්ත විය ............ 500 පැන්න නිසා ඊළඟ බ්ලොග් එකට     

ජපානෙත් එහෙමද