Wednesday, September 16, 2026

ළමයි පනහේ පාසල්

 ළමයි පනහකට අඩු පාසල් වසා දැමීම හොඳ යෝජනාවකි. 


කනිෂ්ට පාසලක වුවත් ගුරුවරු හත් අට දෙනෙක් සිටිය යුතුය. වසරකට එක පන්තියක් තිබුණද  වසර  පහක් සඳහා පන්ති පහක් තිබිය යුතුය. විදුහල්පතිවරයෙකු සහ සුළු සේවකයෙකු සිටිය යුතුය. එයට අමතරව ගොඩනැගිලි සහ යටිතල පහසුකම් නඩත්තු කළ යුතුය. ජලය සහ විදුලිය පාවිච්චි වෙයි. 

එසේම ළමයින් කුඩා ප්‍රමාණයක් පාසලක සිටින විට පාසලේ ක්‍රීඩා උත්සවයක්වත් හරියට සංවිධානය කර ගැනීමට නොහැකිය.


මේ සියල්ලට විශාල මුදලක් වැය වෙයි. 

මේ ළමයින් පනහ එසේත් නැත්නම් ඊටත් වඩා අඩු ප්‍රමාණය කිලෝමීටර් දහයක් විතර දුරින් තිබෙන ළමයි දහසක් පමණ සිටින පාසලකට අනුයුක්ත කළ හැක. ඔවුන් ඒ පාසලේ එම පන්තිවල බෙදී යන ආකාරයට අලුතෙන් පන්ති දැමීමක් හෝ ගූරුවරුන් වැඩි කිරීමක් අවශ්‍ය වන්නේ නැත. එසේම දැනටත් ඒ පාසලේ තිබෙන යටිතල පහසුකම් අලුතින් එන ළමුන්ටද පාවිච්චි කළ හැක.


අනෙක ළමුන් විශාල ප්‍රමාණයක් එක පාසලක සිටින විට සෑම ළමයෙකුටම ලබාගත හැකි පහසුකම් වැඩිවෙයි. වඩා හොඳ පුස්තකාල ්‍රීඩාගාර ගුරුවරු ....  ලැබේ.


එකම ප්‍රශ්නය වනුයේ මේ ළමයින් කණ්ඩායමට සෑම දාම උදයේ සහ හවස නිවසේ සිට වැඩිදුරක් ගමන් කිරීමට සිදුවීමයි. මෙයත් ඉතාම පහසුවෙන්  රජයෙන් අමතර වියදමක් දරන්නේ නැතිව විසඳා ගන්නට පුළුවන. 

ඒ ළමයින් සිටින ප්‍රමාණය අනුව ; මෙය සැම විටම පනහට අඩු වෙයි, එක් බසයක් හෝ වෑන් එකක් මෙම ප්‍රවාහනය සඳහා යොදා ගැනීමයි. 


මේ සඳහා මාසික කොන්ත්‍රාත්තුවක් ලබාදිය හැකි අතර වසා දමන පාසැල සහ ඒ ඉඩම යම් නිෂ්පාදන කාර්යයකට බදු දී එම මුදල බැංකුවේ දැමීමෙන් ලැබෙන පොලියෙන් වාහනය සඳහා ගාස්තුව පහසුවෙන්ම ගෙවිය හැක.


සමහර විට කුඩා පාසල් කිහිපයක් ප්‍රධාන පාසල් බවට පත් කිරීමටත්; ප්‍රදේශයේ පාසැල් විහිදී යාම සහ එකිනෙකා අතර තිබෙන දුර අනුව, සිදුවීමට පුළුවන.

Saturday, August 29, 2026

රොබට් නොක්ස්

 



එළදැත්තේ රොබට් නොක්ස් නැවතී ගොවිතැන්කළ  නිවස අසල පිහිටුවා ඇති ගල් කණුව

HEREABOUTS

DWELT

ROBERT KNOX

STEPHEN

RUTLAND

1670–1679

AND WITH THEM

UNTIL 1674

ROGER GOULD

RALPH KNIGHT

———————

ERECTED 1908

J. P. L.


erected in 1908 by John Penry Lewis (J.P.L.), a British civil servant and historian


පසුව ලියමි. රොබට් නොක්ස්ගේ හදාගත් දුව පිළිබඳව, කිහිප දෙනෙකු අසා තිබුණ බැවින් මම පහත කොටස එකතු කලෙමි.


රොබට් නොක්ස් උඩරට සිරකරුවෙකුව සිටි කාලයේදී, තවත් ඉංග්‍රීසි ජාතික සිරකරුවෙකුට සහ සිංහල කාන්තාවකට දාව උපන් ලුසියා නම් අවුරුදු තුනක දැරියක හදා වඩා ගැනීමට භාර ගත්තේය. ඔහු ඇයට බෙහෙවින් ආදරය කළ අතර, ඇයට ඉංග්‍රීසි කියවීමට සහ ලිවීමටද ඉගැන්වීය.නොක්ස් 1679 දී එලදෙණියේ පිහිටි ඔහුගේ නිවසින් රහසිගතව පලා යන විට ලුසියාගේ වයස අවුරුදු හතක් පමණ විය. එම ගමන අතිශය අවදානම් සහගත වූ බැවින් ඇයව රැගෙන යාමට නොක්ස්ට නොහැකි විය. කෙසේ වෙතත්, ඔහු ඇය වෙනුවෙන් පහත දෑ සිදු කළේය:දේපළ පැවරීම: පලා යාමට පෙර නොක්ස් විසින් තමා සතු සියලු නිවාස සහ ඉඩකඩම් ලුසියා වෙත නීත්‍යානුකූලව පවරන ලදී.කොචින් සිට එවූ ලිපිය: ඔහු නැවත එංගලන්තයට යන අතරතුර ඉන්දියාවේ කොචින් (Cochin) හි නතර වී, ලුසියා වෙත ආදරණීය ලිපියක් එව්වේය. තමා ඇයව දමා ආවේ ජීවිතය බේරා ගැනීමට පලා යන නිසා බව ඔහු එහි සඳහන් කළේය.ඔහුගේ රුව රැගත් පින්තූරය: ඇයට තමාගේ මුහුණ මතක තබා ගැනීම සඳහා ඔහු ඇයට තෑග්ගක් ලෙස ඔහුගේ කුඩා රේඛා චිත්‍රයක් (Miniature Portrait) ද එවීය.ඔහු ලන්ඩනයට ළඟා වූ පසුවද ඇය පිළිබඳව සොයා බැලීමට උත්සාහ කළ නමුත්, එම ලිපි සහ දේපළ උඩරට රාජධානියේ දැඩි නීති රීති මධ්‍යයේ ඇය අතට පත් වූවාද යන්න ඉතිහාසයේ අභිරහසක්ව පවතී.

Sunday, August 23, 2026

වී ගොවියන්ගේ ප්‍රශ්නයට තවත් විසඳුමක්

 වී ගොවියන්ගේ ආදායම දා හතර ගුණයකින් වැඩි කර ගන්නේ කෙසේද? 


ලංකාවේ වී ගොවියන්ගේ ප්‍රශ්නය රටේ පවතින සදාකාලික ප්‍රශ්නවලින්  ප්‍රධාන තැනක් ගන්නා එකකි. 


ඒ පිළිබඳව කුමක් කළ යුතුදැයි කිසිවෙකුටත් තවමත් හිතා ගන්නටවත් බැරි බව පෙනේ. නොයෙක් විද්වත්තු  නොයෙක් දේවල් කියති. 


මමත් පාට් ටයිම් වී ගොවියෙකු නිසා මේ පිළිබඳව පුද්ගලිකවම උනන්දුවක් දක්වමි. 


මෙයට මා මෙතෙක් දුටු හොඳම විසඳුම ජපානයේ සොයා ගෙන ඇත. ඒ ජපානයේ ඉබරාකි ප්‍රාන්තයේ ,කමිස ප්‍රදේශයේ අවුරුදු හයක් පුරා කරන ලද පරීක්ෂණයකිනි. 


එම පරීක්ෂණය කර ඇත්තේ වී වගා කරන කුඹුරු උඩින් සෝලා පැනල් සවිකර විදුලිය උත්පාදනය කරන ගමන්ම වී ගොවිතැන් කිරීමයි. එකම කුඹුරු යායක  ඉඩමෙන් 27% ක් මත සෝලා පැනල් සවිකරන ලදී.


අවුරුදු හයකින් පසු ලැබූ ප්‍රතිඵල  පහත පරිදි වෙයි. 


වී අස්වැන්න - සෝලා පැනල් සවිකල කොටසේ අක්කරයකට ටොන් 6.5

සෝලාපැනල් නොමැති කොටසේ අක්කර එකට ටොන් 8.5


මෙතෙන්ට පමණක් කියවූ විට අපට සිතෙන්නේ  සෝලාපැනල් සවිකරන එකේ ප්‍රයෝජනයක් නැත, එයින් වන්නේ පාඩුවක් පමණක් බවය.


නමුත් සෝලාපැනල්වලින් නිෂ්පාදනය වන විදුලියත් සමඟ ගණන් හැදුව විට සෝලාපැනල් නොතිබුනා නම් ලැබෙන ආදායම මෙන් 14 ගුණයක ආදායමක් ගොවියන්ට ලැබුණි. ඒ සහල් විකිණීමෙන් සහ විදුලි බලය විකිණීමෙනි.


අපගේ වී ගොවියන්ට බොහෝ ප්‍රශ්න තිබෙන වර්ෂාව අඩු වියලි කලාපයේ මෙම ආදායම තවත් වැඩිවීමට පුළුවන.

Monday, August 17, 2026

කුඹුරු කොම්පැනි කිරීම

 




කෘෂි ඇමතිවරයා කියූ පරිදි ගොවි සමාගම් ඇති කිරීම ඉතාමත් කාලෝචිත වැඩකි. 

එමඟින් පහත සඳහන් ප්‍රයෝජන ලබාගත හැකිය. 

1. කුඹුරු යාය කිහිපයක් එකට එකතු කර අක්කර සීයක පමණ ගොවිතැන් කරන විට මුළු ඒකකයේ කළමනාකරණය කිරීමට එක් දැනුමැත්තෙකු පත් කර ගත හැක. අක්කර එකක් දෙකක් සඳහා මෙවැනි කෙනෙකු ට වැටුප් ගෙවා ලබා ගැනීම තේරුමක් නැති වැඩකි. 


2. නොයෙකුත් අවශ්‍ය දෑ මිලදී ගැනීමේදී තොග ගණනේ මිලදී ගත හැකි නිසා පිරිවැය අඩුවෙයි. 


3. කුඩා ඒකක අයිතිකරුවන් නොයෙකුත් ප්‍රශ්න නිසා වගා කළ යුතු කාල වේලාවන් මගහැරගයි. මෙවැනි ඉඩම් එකතු කිරීමකින් පසු සියල්ල එකවර සිදුවෙයි. 


4. ජලය බෙදා ගැනීමේ දී ආරවුල් ඇති නොවේ. මුළු යායටම ඩාත්ම ප්‍රයෝජනවත් වන ආකාරයෙන් ම ජලය බෙදා ගත හැකිය. 


5. මෙය දීර්ඝ කාලීනව සිදු කරන්නට යොමු වුවහොත් අනවශ්‍ය නියරවල් කපා හැර විශාල ලියදි වගාවට යොදා ගත හැක. එවිට ඉඩම් නාස්තිය අවම වෙයි. නියර බැඳීමත් අවම වෙයි. 


6. මැෂින් හයර් කිරීමේදී එකම කටයුත්ත සෑම තැනම සිදුවන නිසා පිරිවැය සෑහෙන දුරට අඩු වෙයි. 


7. කුඩා ඉඩම් හිමියෙකුට ආයෝජනය කිරීමට නොහැකි සමහර උපකරණ වලට සමාගමක් ලෙස එකතු වී සිටින නිසා ආයෝජනය කළ හැක. 


තව මෙවැනි ප්‍රයෝජන බොහෝ ලියන්නට පුළුවන. මෙහි වඩාත්ම වටිනා ප්‍රයෝජනය මෙය පයිලට් ප්‍රොජෙක්ට් එකක් ලෙස පටන් ගෙන අවුරුදු කිහිපයක් පවත්වාගෙන ගොස් ව්‍යාපෘතිය ඇත්තටම කළ හැක්කක් දැයි පරීක්ෂා කිරීමට හැකිවීමය.

Saturday, August 15, 2026

ඩයස්පෝරාවෙන් ආයෝජන ගෙන්වා ගැනීම

 ඇමතිවරයෙක් ලංකාවට ආයෝජන ගෙන්වා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ගමනක පින්තූර  බොහෝ ගණනක් ෆේස්බුක් එකේ දැක්කෙමි. 


මේවා දැකීමෙන් පසු මට මගේ අත්දැකීම් දෙකක් මතක් විය. 


එකක් දැන් අවුරුදු තුනකට පමණ පෙර මම මිරිස් වගාවක් කළමනාකරණය කිරීම සඳහා වැල්ලවායට ගොස් සිටියදී දුටු දෙයකි. එහි කැලේ ඇතුලට වන්නට රජයට අයත් විශාල ඉඩකඩම් , මිනිසුන් අල්ලාගෙන සිටිති ;සමහර විට එසේ අල්ලාගෙන සිටින නිසා විය යුතුය, ඒවායේ හරි වගාවක් කරන බවක් පෙනෙන්නට නැත. වරක් හරක් කිහිපදෙනෙකු පමණක් සිටින අක්කර දෙසීයක ඉඩමක් මම දුටුවෙමි. 


අනෙක් අත්දැකීම, දැන් බොහෝ කලක සිට ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින මගේ පාසැල් මිතුරෙකු මගෙන් ඔහුට වගාවක් කිරීමට ලංකාවේ අක්කර 25ක් පනහක ඉඩමක් සොයා දෙන ලෙස ඉල්ලා සිටීමයි. ඔහු මෙරට නිතරම සිටින්නේ නැත්නම් එසේ ඉඩමක් වගා කිරීම පහසු නොවන කටයුත්තක් බව මම ඔහුට කියා සිටියද ඔහුව ඉතා උනන්දුවකින් මේ ඉඩම සොයමින් උන්නේය. 


මේ දෙක සම්බන්ධ කර බැලූ විට පිටරට ගොස් පදිංචිව සිටින ලංකාවේ ඩයස්පෝරාවට මෙහි ආයෝජන  දිරිමත් කිරීම ඉතාමත් පහසුවෙන් කළ හැකි ්‍රමවේදයක් තිබෙන බව පෙනී යයි. 


රජය කළ යුතු වන්නේ මෙලෙස රජයට අයත් වගා කළ හැකි ඉඩම් සියල්ල ඩේටා බේස් එකකට දමා ඒවා අවුරුදු පනහක වැනි දීර්ඝ කාලීන බදු වලට ඩොලර් වලට පමණක් ලබාදීමයි. 


මෙලෙස ලබාදීම විවෘත විනිවිද පෙනෙන ටෙන්ඩර් ක්‍රමයකින් ලබාදීමෙන් රජයට ඉහළම ආදායමක් ලැබෙන අතර ඒවාට ආයෝජනය කරන්නන්ට අසාධාරණයක් ද සිදු නොවේ. 


මෙවැනි ක්‍රමවේදයක් ඉතාමත් පහසුවෙන්  පණ ගන්වන්නට පුළුවන. ඉන්පසු එවැනි ආයෝජන අවස්ථාවන් තිබෙන බව සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර වෙබ් සයිට් එකක සියලු විස්තර දමා තිබෙන්නේ නම් ඒ ඒ රටවලට ගොස් ඩයස්පෝරාවට මේවා ගැන කියන්නට අවශ්‍යතාවයක් ඇතිවන්නේත් නැත. 


අනෙක මෙලෙස ආයෝජනය කරන අය තාක්ෂණිකව බලගැන්වුණු පුද්ගලයන් නිසා එවැනි ඉඩකඩම් හරවත් දේකට යොදා ගැනීමද එසේම කෘෂිකර්මික කටයුත්තක් වුණත් නවීනතම ඉහළම තාක්ෂණයෙන් ම සිදුවනු ඇත. 


මෙවැනි කටයුත්තකින් රටේ ආර්ථිකය හි සීඝ්‍ර දියුණුවක් ලබාගනු ඇති අතර බොහෝ තරුණ තරුණියන්ට රැකියා අවස්ථාවන් ද ලැබෙනු ඇත. එසේම තමන්ගේ රටට යම් සේවයක් කරන්නට යම් ආයෝජනයක් කරන්නට ආයෝජන අවස්ථා සොයමින් සිටින අපේ ඩයස්පෝරාවේ සහෝදර සහෝදරියනට මෙවැනි ආයෝජනයක යෙදී ම තමන්ගේ රටට යම් සේවයක් සිදුවන ආකාරය බලා සතුටු වන්නට ද පුළුවන. 

Sunday, August 9, 2026

නිවිති වලින් යකඩ උරා ගැනීම

 ඊයේ පෙරේදා මම නිවිති පැළයක් පිළිබඳව පෝස්ට් දෙකක් දැම්මෙමි. එහිදී නිමිතිවල ඇති යකඩ පිළිබඳව සාකච්ඡාවක් ඇතිවූ අතර මෙතුළ මා මිත්‍ර වෛද්‍යවරයෙක්  නිවිති වල ඇති යකඩ රීරයට උරා ගත හැක්කේ ඉතාමත් සුළු ප්‍රමාණයක් යැයි කීවේය. 

පොඩි කාලයේ පොප් අයි කාටුන් වලින් නිමිතිවල ගුණාගුණ ඉගෙන ගත් මට මෙය පුදුමයක් විය


මේ නිසා ගූගල් වෙත ගොස් මේ පරීක්ෂා කර බැලුවෙමි. ඔහු කියා ඇති දෙය සත්‍යයකි. අප ශරීරයට නිමිති වල ඇති යකඩ වලින් උරා ගත හැක්කේ 1.7-5% ප්‍රමාණයක් පමණි. 

මස් මාළු වලින් නම් ඒවායේ තිබෙන යකඩවලින් 15-35%  දක්වා ප්‍රමාණයක් අප ශරීරයට උරාගත හැකි බවත් එහි කියා තිබුණි. 


තවදුරටත් කියවාගෙන යන විට නිමිති වලින් යකඩ වැඩිපුර ශරීරයට ලබා දීමට නම් එක්කෝ ඒවා තම්බා හෝ උයා කෑමට ගත යුතු බවත් එසේම කෑම උයා අවසන් වූ පසුව එයට ලෙමන් හෝ දෙහි බෑවක් මිරිකා ගැනීමෙන් අපේ ඇඟට උරා ගත හැකි යකඩ ප්‍රමාණය හතර පස් ගුණයකින් වැඩිකර ගත හැකි බව එහි ක්‍රියා තිබුණි. (ආහාර ජීරණය වන විට විටමින් සී  සමග තිබුණොත් නිමිති වලින් යකඩ උරා ගැනීම පහසු කෙරෙයි).


අපේ රටේ නිමිති බොහෝවිට කන්නේ පරිප්පු වලට දමා උයා ගෙන නිසා එතන ප්‍රශ්නයක් නැත. එසේ ඔයා අවසන් වූ පසු දෙහි හෝ ලෙමන් බෑවක් මිරිකා ගන්නේ නම් නිවිති වල තිබෙන යකඩ වලින් අමුවෙන්කනවාට වඩා හතර පස් ගුණයක් අපට ලබා ගන්නට පුළුවන. 


මෙය බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වන නිසා මෙසේ ලියන්නට සිතුණි.

Saturday, August 8, 2026

මන්ත්‍රී වැටුප

 අර්චුනාගේ මන්ත්‍රී පඩි පිළිබඳ ප්‍රකාශය ගැන මා පළකළ පෝස්ට් එකකින් පසුව කියවූ නොයෙකුත් කොමෙන්ට් නිසා මට ඇත්තටම මන්ත්‍රී කෙනෙකුට කීයක විතර වැටුපක් ලැබිය යුතුදැයි සිතුනි. 


අර්චුනා කීවේ ඔහුට ගිය මාසයේ ලක්ෂ හතරහමාරක් විතර ලැබුණ බවය. 


මම හිතන්නේ ලංකාව වැනි දුප්පත් රටකට මෙය ඉතාමත් වැඩි වැටුපක් බවය. ඔවුනට ලැබිය යුත්තේ ;  දැනට ලැබෙන වරප්‍රසාද වලට අමතරව, ලංකාවේ සාමාන්‍ය පාසලක විදුහල්පතිවරයෙකුට ලැබෙන වැටුපට කිට්ටු වැටුපක් බවය. 


ඔවුනට වාහන වරප්‍රසාද, දුරකථන හා බිල් ගෙවීම්, සේවක මණ්ඩලයක් යනාදියත් ලැබෙන බව මා සිතමි. 


මේ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

ළමයි පනහේ පාසල්

 ළමයි පනහකට අඩු පාසල් වසා දැමීම හොඳ යෝජනාවකි.  කනිෂ්ට පාසලක වුවත් ගුරුවරු හත් අට දෙනෙක් සිටිය යුතුය. වසරකට එක පන්තියක් තිබුණද  වසර  පහක් සඳහ...