Tuesday, June 30, 2026

ඉන්දියානු රුපියල ලංකාවේ භාවිත කිරීමට ඉඩ දීම

 ඉන්දු - ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සහ ඉන්දීය රුපියල භාවිතය: ශ්‍රී ලංකාවේ ආර්ථික පිම්මට අත්‍යවශ්‍ය පියවරක් වනු ඇත.


​වත්මන් ගෝලීය ආර්ථික රටාව තුළ කලාපීය සහයෝගීතාවය යනු රටක පැවැත්ම සහ වර්ධනය තීරණය කරන ප්‍රධානතම සාධකයකි. ශ්‍රී ලංකාවේ සමීපතම සහ විශාලතම අසල්වැසියා වන ඉන්දියාව සමඟ පවතින නිදහස් වෙළඳ ගිවිසුම් (FTA) තවදුරටත් පුළුල් කිරීම සහ ශ්‍රී ලංකීය ව්‍යාපාර තුළ ඉන්දීය රුපියල (INR) සෘජුවම පිළිගැනීමට කටයුතු කිරීම අප රටේ ආර්ථික පුනර්ජීවනය වේගවත් කළ හැකි ඉතා ප්‍රායෝගික උපායමාර්ගයකි.


​මෙම පියවර ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් වීමට හේතු කිහිපයක් හඳුනාගත හැකිය:


​1. වෙළඳ පිරිවැය අවම වීම සහ ඇමරිකානු ඩොලරය මත යැපීම අඩුවීම


​සාම්ප්‍රදායිකව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුවන වෙළඳාම් කටයුතු සඳහා මධ්‍යස්ථ මුදල් ඒකකය ලෙස භාවිත කරන්නේ ඇමරිකානු ඩොලරයයි (USD). මෙහිදී රුපියල්, ඩොලර් බවටත් නැවත ඩොලර්, ඉන්දීය රුපියල් බවටත් පරිවර්තනය කිරීමේදී ව්‍යාපාරිකයන්ට විශාල විනිමය පිරිවැයක් (Exchange loss) දැරීමට සිදු වේ. "රුපියලෙන් රුපියලට" (INR-LKR) සෘජුවම ගනුදෙනු කිරීමේ ක්‍රමවේදයක් සැකසීම තුළින් මෙම අනවශ්‍ය පිරිවැය ඉවත් කර, භාණ්ඩ හා සේවා මිල අඩු කිරීමටත්, දේශීය ව්‍යාපාරවල ලාභීත්වය ඉහළ නැංවීමටත් අවස්ථාව ලැබේ.


​2. සංචාරක කර්මාන්තයේ දැවැන්ත පිම්මක්


​ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් බහුතරය ඉන්දියානුවන්ය. ශ්‍රී ලංකාවේ හෝටල්, ආපනශාලා සහ සිල්ලර වෙළඳසැල් තුළ ඉන්දීය රුපියල් (හෝ ඉන්දීය UPI වැනි ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද) සෘජුවම පිළිගැනීමට කටයුතු කළහොත්, එය ඉන්දීය සංචාරකයන්ට විශාල පහසුවක් වනු ඇත. මුදල් පරිවර්තනය කිරීමේ අපහසුතාවලින් තොරව නිදහසේ මුදල් වියදම් කිරීමට ඔවුන් පෙළඹෙන බැවින්, රට තුළට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය සෘජුවම ඉහළ යනු ඇත.


​3. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) ජාත්‍යන්තරකරණය වීම


​ඉන්දියාව යනු ලොව වේගයෙන්ම වර්ධනය වන දැවැන්ත වෙළඳපොළකි. නිදහස් වෙළඳ ගිවිසුම් සේවා සහ තාක්ෂණික අංශ දක්වා යාවත්කාලීන කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ඇඟලුම්, තොරතුරු තාක්ෂණ (IT), කෘෂිකාර්මික සහ සැපයුම් දාම (Logistics) ක්ෂේත්‍රවල නියුතු ව්‍යාපාරවලට ඉන්දීය වෙළඳපොළට ඇතුළු වීමට ඇති බාධා ඉවත් වේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඉන්දීය සමාගම් සමඟ සෘජු තාක්ෂණික සහ වාණිජ සහයෝගීතාවලට එළඹීමට මින් මඟ පෑදේ. 


​4. සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම


​දෙරට අතර පවතින වෙළඳ බාධක ඉවත් වී, මුදල් ගනුදෙනු පහසු වන විට, ඉන්දීය ආයෝජකයන් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන හා සේවා මධ්‍යස්ථාන ආරම්භ කිරීමට වැඩි කැමැත්තක් දක්වනු ඇත. මෙය රට තුළ නව රැකියා අවස්ථා බිහි කිරීමට මෙන්ම නවීන තාක්ෂණය රට තුළට ගලා ඒමට ද හේතු වේ.

Sunday, June 21, 2026

ගොවියන්ගේ වී ප්‍රශ්නය විසඳීම

 ලංකාවේ ගොවියන්ගේ වී විකුණා ගැනීම විශාල ප්‍රශ්නයක් වී තිබේ. ඔවුන් රුපියල් 150ක් වත් බලාපොරොත්තුවද දැනට වෙළඳපොළේ ඔවුන්ට ලැබෙන්නේ රුපියල් 80 ක් 90 පමණ වන බව පෙනේ. 

මෙයට විසඳුමක් ලබා දිය හැක්කේ රජයට පමණි. 

රුපියල් එකසිය පනහට වී මිලට ගත්තොත් සහල් කුමන මිලකට වෙළඳපොළට ලබා දිය හැකිද යන්න මුලින් සොයා බැලිය යුතුය. වී කිලෝ 100ක් සහල් කලහොත් සහල් ලැබෙන්නේ කිලෝ හැටපහක් පමණය. ඒ කියන්නේ වෙනත් වියදම් කිසිවක් ගණන් නොගත්තත් එකසිය පනහට මිලට ගත්තොත් සහල් කිලෝ එකක් (150×100)÷65 = 230 විය යුතුය. ලංකාවේ මේ දිනවල නාඩු සහල් කිලෝ එකක මිලත් මෙයට කිට්ටුය. 

ගොවියන්ට වී වලට රුපියල් 120 ගණනේ ලබා දුන්නොත් සහල් කිලෝ එකක් රුපියල් 185 කට වැටෙන පරිදි ලබා දුන්න හැක.


මෙයට අමතරව වී සහල් බවට පත්කරද්දී පහත සඳහන් අමතර නිෂ්පාදන ලැබේ. 

1.දහයියා- වී බරින් සියයට විස්සක් පමණ වන මෙය ගෙවල්වල ඉන්ධනයක් වශයෙන් සහ පොහොර ලෙස පාවිච්චි කළ හැක. 

 2. සහල් ඇටය වටෙන් තිබෙන දුඹුරු පොත්ත- වී බරින් සියයට අටක් පමණ වන මෙම bran බොහෝ ගුණවත් කෑමක් වන අතර නොයෙකුත් ප්‍රයෝජන තිබේ. 

 3. හූසල්- හූසල් බත් කෑමට හෝ පිටි කර ගැනීමට පුළුවන් වන අතර මධ්‍යසාර පිරීමටද  පාවිච්චි කරන්නට පුළුවන.


මම යෝජනා කරන්නේ ගොවියන්ට දැන් විකුණා ගැනීමට බැරිව තිබෙන වී ඒ කිට්ටුව තියෙන ගම්වල ( ප්‍රවාහන වියදම අඩුම වන පරිදි) අස්වැසුම ලබාදෙන පවුල් වලට ඔවුන්ගේ අස්වැසුම වටිනාකමින් 25% ක වටිනාකමට ලබාදීමයි. මසකට රුපියල් 17500 අස්වැසුම ලැබෙන පවුලකට 7500 වී වලින් ලබාදිය හැක. එවිට වී කිලෝ හැටක් පමණ ලැබේ. දවසකට මෙය සහල් කිලෝ 1.3 ක් වෙයි. පවුලේ ප්‍රධාන ආහාරය ඒ මගින් විසඳා ගැනීමට හැකි වෙයි. මෙයට අමතරව අතුරුපල වෙනත් ප්‍රයෝජනවත් වැඩකට යොදා ගැනීමට පුළුවන. 


මෙයින් ගොවියන්ට ද ලොකු ප්‍රයෝජනයක් ලැබෙන අතර අස්වැසුම සහනාධාර ලබන්නන්ටද අඩු මිලට සහල් ලැබීමෙන් ලොකු ප්‍රයෝජනයක් ඇතිවේ. 

එලෙසම රජයට ද මෙම ්‍යාපෘතියෙන් ම පහත් සඳහන් වාසි ලබා ගැනීමට පුළුවන. 

 1. මෙය පහසුවෙන් කුඩා ප්‍රදේශය කින් සිදුකර අඩුපාඩු නිරීක්ෂණය කර දියුණු කර ගැනීමට පුළුවන් නිසා නියම ව්‍යාපෘතියකින් පටන් ගැනීමට පුළුවන. 

 2. දිනපතා පාහේ සිදුවන ගොවියන්ගේ විරෝධතා අවසන් කරගත හැක. 

 3. එවැනි ව්‍යාපෘතියකින් අස්වැසුම ලාභීන්ට ද  යහපතක් සිදුවන අතර එම ගම්වල කුඩා වීමෝල් හිමියන්ටද අමතර ආදායමක් ලැබේ. 

 4. සහල් බ්‍රැන් යොදාගෙන අග්ගලා යනාදිය සාදා ගැනීමෙන් අස්වැසුම් පවුල්වලට ගුණයෙන් පිරි අතුරුපස සාදා ගැනීමටත් ගමේ වෙනත් අයට විකිණීමටත් පුළුවන.



Friday, June 5, 2026

1895 ලංකාව

 අත්දැකීම් බහුල සංචාරකයින්ගේ දෑසින් විදේශීය රටවල් දෙස බැලීමෙන් බොහෝ පාඨකයින්  තෘප්තියක් ලබන බව හොඳින් පෙනේ. මෙම ලිපි  ඔවුන් කතුවරයාගේ පෙර කෘතීන්ට දක්වන ලද ඇලුම්කම මැනවින් සනාථ කරයි. එබැවින්, එවැනි කෘතියක ප්‍රතිඵලය වනුයේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභයකි; කතුවරයා සහ පාඨකයා යන දෙදෙනාම ඉන් සතුටට පත්වෙති. ලේඛකයාට මහත් ආශ්වාදයක් ලබා දුන් දර්ශන නිරූපණය කිරීම සතුටකි, මන්ද සතුට යන්න බෙදාහදා ගැනීමෙන් දෙගුණ තෙගුණ වන බැවිනි—"ප්‍රීතිය උපන්නේ නිවුන් දරුවෙකු ලෙසය."


​පහත අත්සන් තබන මාගෙන්, පුද්ගලිකව මෙන්ම ලිපි මගින් ද බොහෝ අය  මෙසේ විමසා ඇත: 


"ඔබ දැක ඇති සහ ලියා ඇති සියලුම ස්ථාන අතුරින්, වඩාත්ම සිත්ගන්නාසුළු යැයි ඔබ සලකන්නේ කිනම් ස්ථානයද, සහ මට නැරඹීමට ඔබ නිර්දේශ කරන්නේ කුමක්ද?" මෙයට පිළිතුරු දීම ඉතා අපහසු ප්‍රශ්නයකි, මන්ද පුද්ගල රුචිකත්වයන් එකිනෙකට බෙහෙවින් වෙනස් වන බැවිනි.


​කෙසේ වෙතත්, සූක්ෂ්ම ලෙස නිරීක්ෂණය කරන සංචාරකයෙකුට මීට වඩා විවිධාකාර ආකර්ෂණයන් ඉදිරිපත් කරන, සමකයට ආසන්න ජීවන රටාව වඩාත් සවිස්තරාත්මකව සහ චිත්‍රවත් ලෙස විදහා දක්වන, නැතහොත් කලාකරුවෙකුගේ, උද්භිද විද්‍යාඥයෙකුගේ, පුරාවිද්‍යාඥයෙකුගේ, පොදු විද්‍යාඥයෙකුගේ සහ ක්‍රීඩකයෙකුගේ (දඩයම්කරුවෙකුගේ) සියුම් ඇගයීමට මීට වඩා සෘජුවම ආමන්ත්‍රණය කරන වෙනත් කිසිදු ස්ථානයක් නොමැති බව පැවසීම නිවැරදිය—ඒ පෙරදිග මුතුඇටය වන ලංකාද්වීපයයි. ආරාබි කථාන්දරවල එන මෙම ප්‍රබන්ධමය දූපත තරම්, විදේශිකයෙකුට පහසුවෙන් ප්‍රවේශ විය හැකි, නැතහොත් ආරක්ෂාව සහ යහපත් සෞඛ්‍යය පිළිබඳ වඩාත් සාධාරණ සහතිකයක් ලබා දිය හැකි ආකර්ෂණීය ස්ථාන පෙරදිග ඇත්තේ ඉතා කිහිපයකි.


​මෙහි දේශගුණය සමතුලිත මෙන්ම අතිශයින්ම ප්‍රියජනකය; උෂ්ණත්වය සුවිශේෂී ලෙස ඉහළ මට්ටමක පැවතුණද, එය සැබවින්ම සදාකාලික ගිම්හානයකි, එය වෙනස් වන්නේ මැයි සහ ජූනි, ඔක්තෝබර් සහ නොවැම්බර් යන මෝසම් මාසවල වැසි නිසා පමණි. වෙරළබඩ ප්‍රදේශවල පවතින නිවර්තන උණුසුම උත්තරධ්‍රැවීය ප්‍රදේශවලින් පැමිණෙන අමුත්තන්ට තරමක් අපහසු විය හැකි නමුත්, දිනක ගමනකින් මධ්‍යම පළාතේ කඳුකරයට පැමිණ ඉන් සහනයක් ලබා ගැනීමට ඕනෑම අයෙකුට හැකියාව ඇත. එහි බොහෝ කාලවලදී සූර්යයා බැස ගිය පසු ගින්නක් දල්වා ගැනීම අවශ්‍ය වන තරමට සිසිල් බවක් පවතියි. ( මෙහි ජීවත්වන වැසියන් නම් මෙලෙස ගින්නක් නොදල්වා, වෙනත් පානයන් මගින් අධික ශීතල අඩුකර ගනිති 🤣)


​වියදම් අතින් බලන කල, මෙම රට ඕනෑම දිශාවක ගොඩබිම් සහ මුහුදු සංචාරවල සාමාන්‍ය වියදමට වඩා පිරිමැසුම්දායකය. ලංකාවේ ජීවන වියදම දකුණු යුරෝපයේ මෙන්ම තරමක් මධ්‍යස්ථ වන අතර, දැන් මෙම දිවයින පුරා දුම්රිය මාර්ග සහ විශිෂ්ට රජයේ මාර්ග පද්ධතියක් පවතින බැවින්, එහි දුර බැහැර දිස්ත්‍රික්ක නැරඹීමට යාමේදී මුහුණ දීමට සිදු වන දුෂ්කරතා පවතින්නේ ඉතා අඩුවෙනි.

M M B

1894

Thursday, May 28, 2026

රොබට් නොක්ස්

 අප රටට පැමිණි දේශගවේෂකයෝ - කපිතාන් රොබට් නොක්ස් 


රොබට් නොක්ස් ශ්‍රී ලංකාවට අතිශය වැදගත්කමක් සහිත පුද්ගලයෙකි. ඒ අපිට ඕනෑම වෙලාවක දාහත් වැනි ශත වර්ෂයට ආපසු ගොස්, රටේ අපේ මුතුන් මිත්තන් ජීවත්වූ ආකාරය හා ඔවුන්ගේ සංස්කෘතිය බලාගන්නට කාලයේ කවුළුවක් අප වෙත විවෘත කර දුන් නිසාය. 


 1641 වසරේ එංගලන්තයේ ලන්ඩන් නුවර උපත ලද රොබට් නොක්ස්ගේ පියා වෙළඳ නෞකාවක කපිතාන්වරයකු වූ අතර පියාගේ නම ද රොබට් නොක්ස්ම විය.


මෙකල ලෝකයේ සාගර වෙළඳාම ; රටින් රටට භාණ්ඩ වෙළඳ නෞකා මගින් ප්‍රවාහනය කර වෙළඳාම් කිරීම, ඕලන්ද සහ ඉංග්‍රීසි ජාතීන් විසින් පාලනය කෙරුණි. මේ වන විට මීට පෙර මෙම වෙළඳාම මුලින් පාලනය කරගෙන සිටි පෘතුග්‍රීසින්. දුර්වල වී සිටියහ. 


වයස 14 ක් වන තෙක් පාසල් ගොස් අධ්‍යාපනය හැදෑරූ කුඩා නොක්ස් දරුවා වයස දාහතරක් වූ විට ඔහුගේ පියා කපිතාන් ධූරය දැරූ “ඈන්” නැමැති නෞකාවේ සේවයට බැඳුණේය. 


ඔවුන්ගේ පළමුවැනි මුහුදු ගමන එංගලන්තයේ සිට ඉන්දියාවට වූ අතර එම ගමන තුළ ඉන්දියාවේ පර්සියාවේ සහ සුමාත්‍රාවල නොයෙකුත් වරායවල වෙළඳාම් කරමින් වසර දෙකක් ගතවිය. ඒ වන විට නෞකා මුහුදේ ගමනාගමනය කළේ රුවල් වලින් නිසා මෙලෙස මුහුදු ගමනකට බොහෝ කාලයක් ගතවිය. නැව්වලට වාෂ්ප එන්ජින් සවිකර මුහුදේ යාත්‍රා කරන්නේ තවත් අවුරුදු 150 කට පමණ පසුවය.


ඔවුන් පැමිණි “ඈන්” නෞකාව අඩි සියයක් පමණ දිග අඩි 25 ක් පමණ පළල, බඳ ලී වලින් සෑදූ, රුවල් වලින් සුළඟේ ආධාරයෙන් මුහුදේ ගමන් කළ නෞකාවක් විය. නැව සම්පූර්ණයෙන්ම වෙළඳා භාණ්ඩ වලින් පිරවූ පසු ජල මට්ටමේ සිට  අඩි දොළහක් පමණ ගැඹුරට නැවේ බඳ පහළට ගියේය.  

මෙම නැව තුවක්කු විස්සක, හයවන පන්තියේ නැවක් ලෙස රාජකීය නාවික හමුදාවෙන් වර්ගීකරණය කර තිබිණ. 


මෙලෙස වෙළඳ නෞකාවක් තුවක්කු ප්‍රමාණයෙන් වර්ගීකරණය කිරීම එකල සිදු වූයේ එවැනි වෙළඳ නෞකා වලට නිතරම, මුහුදු කොල්ලකරුවන්ගෙන් හා සතුරන්ගෙන් තමන් ආරක්ෂා කර ගැනීමට සිදුවූ නිසාය. 



මෙය සාමාන්‍යයෙන් සංචාරක බස් දෙකක් පමණ දිග බවත් බස් එකහමාරක් පමණ පළල බවත් සිතාගැනීමෙන්, එහි ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය එසේත් නැත්නම් නැව් මුළුව 48 දෙනකුගෙන් සමන්විත විය.


මේ ගමන් අතරතුර වරක් ලංකාව පසු කරද්දී ඈන් නෞකාව තදබල කුණාටුවකට අසුවිය. නෞකාවේ ප්‍රධාන කුඹ ගස කඩා වැටුණි. මෙය ඉතා විශාල අලුත් වැඩියාවක් වූ අතර එය කර ගැනීමට වරායකට ඇතුළු විය යුතුමය. නෞකාව  ඉතාමත් දුෂ්කර  ගමනකින් පසුව ත්‍රිකුණාමලයේ වරාය තුළට සේන්දු වුණි.




නැව වරායට එන්නේ 1659 දෙසැම්බර් මාසයේය. මෙය ඊසාන දිග මෝසම්  සුළං තදින්ම තිබෙන කාලයයි. ප්‍රධාන කුඹගහත් නොමැතිව ත්‍රිකුණාමලය වරායට මේ කාලයේ ඇතුළු වීම මහත් දුෂ්කරතාවයන් මධ්‍යයේ කරගන්නට ඇත.


සති කිහිපයක් ත්‍රිකුණාමලයේ නැවතී  කුණාටුවෙන් ඇතිවූ අලාභ හානි අලුත්වැඩියා කර ගන්නා අතරතුර, ඔවුන්ට ආහාර මිලදී ගැනීම වැනි පහසුකම් ලබාදීම ප්‍රදේශයේ වැසියන් සතුටින් කරති. 




එහෙත් මොවුන්  ත්‍රිකුණාමලයට පැමිණ සිටින්නේ සාමාන්‍ය කාලයක නොවේ. කන්ද උඩරට රජ වූ දෙවැනි රාජසිංහ මේ දිනවල කොළඹ සහ දකුණු පළාත්වල වෙරළාසන්න ප්‍රදේශ පාලනය කරන ඕලන්ද ජාතිකයින් හා දරුණු සටන් කරමින් සිටි. 


එවන් කාලයක බටහිර ජාතීන්ගේ නැවක් මෙසේ තම රාජ්‍යය ඇතුළට පැමිණ තිබීම සැකකටයුතු සිද්ධියකි. මේ නිසා රාජසිංහ රජු හමුදා කණ්ඩයක් ත්‍රිකුණාමලයට එවා නැව් කණ්ඩායම අත්අඩංගුවට ගනියි. අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ 1660 මාර්තු මාසයේය.




ඔවුන් පැනයාමට ඉඩ තිබෙන නිසා නැව් කණ්ඩායම කුඩා කොටස් වලට කඩා නොයෙකුත් ගම්මානවල තාවකාලිකව පදිංචි කරන ලද අතර  ඔවුනට ආහාර සපයා දීම රාජ නියෝගයකින් ඔවුන් පදිංචි කර සිටින ගම්වල ගම්වැසියන්ට පැවරේ. 

මේ අතර නෞකාවේ ඉතිරි වූ නාවිකයන් නෞකාවත් රැගෙන ආපසු ඉන්දියාව බලා පිටත් වූහ.


සාමාන්‍යයෙන් දවසකට වේල් දෙකක් ඔවුනට ලැබුණු අතර, සෑම වේලකටම ව්‍යංජන තුනක් සහිතව  බත් ඔවුනට ලැබුණි. ව්‍යංජන තුනෙන් එකක් මස් මාළු හෝ බිත්තර  විය.


කපිතාන්වරයාට,  ඔහුගේ පුතාට සහ පියා විසින් මුහුදු ගමන අතරමගදී මිලදීගන්නා වහල් ළමයෙකුට නවතින්නට ලැබෙන්නේ වාරියපොල කිට්ටුව බණ්ඩාර කොස්වත්ත නම් ග්‍රාමයේය. ඔවුන් දෙදෙන ගැමියන්ගේද උදව්වෙන් බිත්ති නොමැති විවෘත නිවසක් සාදා ගනිති. බොහෝ විට මේ එංගලන්තයේදී ඔවුන්ට නුපුරුදු අධික උෂ්ණත්වය මඟහැර ගැනීමට විය යුතුය. පියාට පැදුරක් දමා නිදා ගැනීමට ඇඳක් ලැබුණු අතර පුතා පැදුරක් දමා බිම නිදා ගත්තේය. 


මෙහිදී එකල එම ප්‍රදේශයේ නිතරම ව්‍යාප්ත වුණ මැලේරියා උණ රෝගය  පිය පුත් දෙදෙනාටම සෑදෙන අතර එයින් කපිතාන්වරයා මිය ගියේය. මේ වන විට කනිෂ්ඨ රොබට් නොක්ස්ට වයස අවුරුදු 20 ක් විය. 


රජුගේ නියමයෙන් ඔවුනට ගමේ මිනිසුන් ආහාර ලබාදිය යුතු වුවද ඇඳුම් වැනි වෙනත් දේවල් ලැබෙන්නේ නැත. මේ සඳහා මුදල් සොයා ගැනීමට තරුණ නොක්ස් ගොවියකු බවට පත්වෙයි. කුකුළන්  ඇති කරයි. එයට අමතරව තොප්පි වියා ගැමියන්ට විකුණා ලාභයක් ලබා ගනී. නූල් වලට පැන්ස තුනක් වියදම් කර එක තොප්පියක් පැන්ස නමයට විකිණීමට පුළුවන් වීම නිසා මුලදී මෙය හොඳ ව්‍යාපාරයක් විය. මෙලෙස නැව් වලින් අල්ලා සිරකරගෙන සිටි, බොහෝ ගම්වල සිටි විදේශිකයන් තොප්පි විවීම පටන් ගත් නිසා සැපයුමට වඩා ඉල්ලුම අඩුවූ හෙයින් තොප්පි වල මිල ඉක්මනින්ම ඉතා අඩුවිය. 


මේ කාලය වෙද්දි ලංකාවේ රුපියල භාවිත නොවූ අතර මුලින්ම රුපියල ලංකාවේ හඳුන්වා දී ඇත්තේ සුරති රුපියල නමින් 1780 දීය.


ඔහු පිසූ කෑම වෙනුවට, ගම්වැසියන්ගෙන් අමුද්‍රව්‍ය ලබාගෙන ඔහුගේ ගෝලයාත් සමග උයන්නට පටන් ගත්තේය. මේ සඳහා තරමක් ලොකු නිවාසයක් ඕනෑ නිසා ඒ ගම කිට්ටුව තිබූ රජුගේ පොල් වත්තක නිවසක් සදන්නට පටන් ගත්තේය. ගම්වැසියන්ගේ සහයෝගයෙන් එය ඉක්මනින් අවසන් කර ගැනීමට හැකි විය. 


ඔහු නිවසක් සාදා අවසන්කර  

 බිත්තිවල හුණු ගා ගත්තේය. එසේ සාමාන්‍ය වැසියන්ගේ නිවෙස් වල බිත්ති වල හුණු ගෑම එකල තහනම් වුවද, මෙම විදේශිකයන් සඳහා රජුගේ තිබූ අනුකම්පාව නිසා තම ජීවිතය බේරුණු බව නොක්ස් කියයි. මන්දයත් එකල ගෙවල බිත්තිවල හුණු ආලේප කළහොත් මරණීය දණ්ඩනය පවා ලැබෙන බැවිනි.

ඔහු අලුත් නිවසේ ඌරන් සහ කුකුළන් ඇති කරන්නටද පටන් ගත්තේය. වත්තේ වැටෙන පොල් ඔහුගේ පාවිච්චියට ලැබුණ හෙයින් කෑම පිස ගැනීමටද පහසු විය.


මෙලෙස නොක්ස් ජීවත්වන අතර  එකල කන්ද උඩරට සිරකරුවන් ලෙස ජීවත් වූ බොහෝ යුරෝපීයයන්  අරක්කු පෙරා විකිණීම ව්‍යාපාරයක් ලෙස කළ බව සඳහන්වේ. 


මේ අයුරින් බණ්ඩාර කොස්වත්තේ ජීවත්වන කාලයේ ඔහු ගෝලයා සමග ගමේ ඔයක මාළු අල්ලමින් සිටියදී, වයස්ගත මිනිසෙකු පෘතුගීසි යුද්ධයකදී අල්ලා ගන්නා ලද බයිබලයක් දුන්නේය. ආගම තදින් ඇදහූ එසේම කියවන්නට හා ලියන්නට ප්‍රිය කළ නොක්ස් තරුණයා මෙය ලැබීමෙන් කොතරම් සතුටු වන්නට ඇද්ද?




1669 වසරේ නොක්ස් මහනුවරට කිට්ටුව උඩුනුවර එළදැත්ත ග්‍රාමයේ පදිංචි කරවන ලදී. මෙලෙස කලින් කලට සිරකරුවන්ගේ පදිංචිය වෙනස් කිරීම ඔවුන් පැනයාම වැළැක්වීම සඳහා කරන ලද්දක් විය යුතුය. 


ඔහු අත මුදල් තිබුණ නිසා ඔහු එලදැත්ත ගමේ තරමක ඉඩමක් මිලදී ගත්තේය. එහි නිවසක් සාදාගෙන නොයෙකුත් වගාවන් එසේම කුකුළන් ඌරන් සහ එළුවන් ඇතිකර ධනවත් ගොවියකු බවට පත්විය. විශේෂයෙන්ම බිත්තර වී (වගා කිරීම සඳහා බීජ වී) 50% පොලියට ගම්වැසියන්ට ලබාදීම ඔහු ඉක්මනින් ධනවතෙකු කළේය. 




ඔහුත් සමඟ අත්අඩංගුවට පත්වූ බොහෝ නැවියන් ලංකාවේ කාන්තාවන් සමග විවාහ වී පවුල් ජීවිත ගත කළ නමුදු නොක්ස් තනිකඩ ජීවිතයක් ගත කළේය. 


එකල ඉන්දියාවේ සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් රාජසිංහ රජුට එවූ ලිපියක් නිසා තමන්ගේ රාජධානිය සිටින සියලුම ඉංග්‍රීසි සිරකරුවන් මහනුවරට ගෙන්නා ගන්නා ලද අතර එතන සිරකරුවන් විසිනම දෙනෙකු සිටි බව නොක්ස් විසින් සටහන් කර ඇත.


 ඔහු තමන්ගේ සගයෙකුගේ දියණියක් දරුකමට හදාගත්තේය. ඇයගේ නම ලුසී විය. ඇයට ඔහු ක්‍රිස්තියානි ආගම සහ ඉංග්‍රීසි භාෂාව  හොඳින් ඉගැන්වීය. එසේම ඔහුගේ සියලු දේපළ ඔහුගෙන් පසු ඇයට අයත් විය යුතු බවට ලියකියවිල්ලක්ද ඔහු විසින් ලියා තැබිණ.


1673 වසරේ නොක්ස් තමන්ගේ රටට ආපසු පැනයාමට සැලසුමක් සාදාගත්තේය. ගොවියකු ලෙස ගම්මානයක රැඳී සිටියොත් කවදාකවත් පැනයාමට නොහැකි වන නිසා ඔහු සංචාරක තොප්පි වෙළෙන්දෙකු  ලෙස රට පුරා ඇවිදින්නට පටන් ගත්තේය. දීර්ඝ කාලයක් මෙය කරන විට ඔහු දවස් ගණනක් ගෙදරින් පිටව සිටියත් අසල්වැසියන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට සැකයක් මතුවූයේ නැත. 




1679 සැප්තැම්බර් මස ඔහු සහ ඔහුගේ මිතුරා වූ රුට්ලන්ඩ් ඔවුන් සාමාන්‍ය තොප්පි වෙළඳාමේ යන ගමනක් ලෙසට පෙනෙන අයුරින් ගෙදරින් පිටත් වී අනුරාධපුරය දෙසට උතුරට ගමන් කළහ. අපරාධපුරයෙන් පසුව කන්ද උඩරට රාජධානියේ අවසාන මුරපොල මගහැර උතුරට ගිය ඔවුහු වියළී තිබුණු මල්වතු ඔය පතුල දිගේ ගමන්කර අරිප්පු වෙරළේ පිහිටි ඕලන්ද බලකොටුවක්  වෙත ළඟා වූහ. 


මාසයකට වැඩි කාලයක් ගතවූ මෙම  ගමන අති දුෂ්කර එකක් බව නොකිව මනාය. දේශසීමා ආරක්ෂකයන්ට අසුවේයැයි බියෙන් රාත්‍රිය ගස් උඩ ගත කරමින්, එසේම වැලිතලාවල ආපසු පැමිණි බව කෙනෙකුට හැඟෙන පරිදි අඩි සලකුණු අනික් පැත්තටද තබමින් ඔවුහු ගමන් කළහ.


සිංහල ගැමියන්ගේ ඇඳුමෙන් සැරසී  මුහුණ පුරා රැවුල වවාගත්, හොඳින් සිංහල කතා කරන මේ දෙදෙනා දැක බලකොටුවේ සිටි ඕලන්ද ජාතිකයින් පුදුමයට පත්වූහ.


ඔවුහු, මෙම ඉංග්‍රීසි ජාතිකයින් දෙදෙනා කොළඹට යවා එහි සිට එකල ආසියාවේ ඕලන්ද පාලක මධ්‍යස්ථානයක් වූ ඉන්දුනීසියාවේ බතාවියා නගරය වෙත යවා එංගලන්තයට යන නැවක යවන ලදී. 




එකල බතාවියා නගරය


දීර්ඝ කාලයක් ගතවූ එම ගමනේදීම තමන්ගේ අවුරුදු විස්සක අත්දැකීම ග්‍රන්ථාරූඩ කිරීමට රොබට් නොක්ස් උත්සුක විය. වයස 16 දී එංගලන්තයෙන් පිටත් වූ රොබට් නොක්ස් නැවත එංගලන්තයට ළඟාවන විට වයස තිස් නමයක් විය. 1681 වසරේ එළිදක්වන ලද ඔහුගේ ලංකාවේ ගත කළ ජීවිතය පිළිබඳ පොත An historical relation of island of Ceylon එකල බටහිර ලෝකයේ ජනප්‍රිය පොතක් වූවා පමණක් නොව  එම පොත රොබින්සන් කෲසෝ පොත සඳහා එහි කතුවරයාට අදහස ලබාදුන් බවද කියැවේ.

ඔහු එංගලන්ත ඔහු මුලින් සේවය කළ නැගෙනහිර ඉන්දියා සමාගමේ වෙළඳ නෞකා කපිතාන්වරයකු ලෙස 1701 දක්වා කටයුතු කර ඉන්පසු  විශ්‍රාම ගෙන 1720 දී මිය ගියේය.















Tuesday, March 31, 2026

My house is my castle




 මේ මගේ කාර්සල් එකට( my house is  my castle යන අර්ථයෙන්)ප්‍රවිශ්ට මාර්ගයයි. එහි එක් කෙළවරක් ද්විත්වාකාලයේ කඩාගෙන වැටුණි. 

සතියකට පමණ පෙර එතනට බැම්මක් ගසන්නට පටන් ගත්තෙමි. 

ඝනකම අඟල් හතරට ොන්ක්‍රීට් බැම්මක් දැමීමට කතාකරගෙන වර්ග අඩියකට රුපියල් 300 ගණනේ පෙදරේරු මහතෙකුට කොන්ත්‍රාත් දුන්නෙමි. 


මෙවැනි වැඩක අමාරුම ස්ටේජ් එකට මුහුණ දිය යුතු වන්නේ දැන්ය. ඒ හරියටම මේ වැඩේට වැය වන අමුද්‍රව්‍ය ප්‍රමාණය දැන ගැනීමය. අඩුවෙන් ම ඉල්ලුවොත් නැවත ගෙන්වා ගැනීමට transport වැඩිපුර ගෙවන්නට සිදුවේ,  වැඩියෙන් ගෙන්වා ගත්තොත් බොහෝ කාලයක් නොයෙකුත් ස්ථානයන්හි රැඳී ම් දකින්න දකින විට අපගේ ගණන් හැදීමේ හැකියාවට විහිළු කරයි. 


මේ නිසා මම මෙවර ක් අලුත්ම වැඩක් කලෙමි. හදන්න තිබෙන්න බැමි කොටස ක් දිග පළල මැන වර්ග ප්‍රමාණය සොයාගෙන එය තුනෙන් බෙදා බැම්මේ මුළු ඝන අඩි ගණන සොයා ගත්තෙමි. 

මෙම කොන්ක්‍රීට් ඝන අඩි ගණනට 1:2:4 ලෙසට සිමෙන්ති වැලි සහ metal කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ ද යන්න ගූගල් ජෙමිනායි ගෙන් ඇසුවෙමි. 

හරියටම ඒ ප්‍රමාණය ලැයිස්තු ගතකර  whatsapp මගින් උඩපිටිය hardware එකට යැව්වෙමි.


වැඩය පටන් ගෙන අවසාන දිනට පෙර දින පෙදරේරු පැමිණ න්නේ යම් ප්‍රමාණයක් මදිවෙන බව පවසා සිටියේය. ඉතිරි ප්‍රමාණය සහ කොන්ක්‍රීට් දමන්නට තිබෙන ඉඩ ප්‍රමාණය  මැන  මම නැවත වරක් ජෙමිනායි ගෙන් ඇසුවෙමි. ඔහු කීවේ කිසිම අඩුපාඩුවක් නොමැති බවය. දැන් වැඩේ කරගෙන යයි. අද හවසට ජෙබිනායිගේ හරි වැරදි මට බලාගත හැක.


Monday, March 23, 2026

කොළ පෑගීම

 අප කුඩා කාලයේ කුඹුරු වැඩ කරන ගෙවල්වල “කොළ පාගනවා” කියන එක මහත් උත්සවශ්‍රීයකින් යුක්ත වූ අවස්ථාවක් විය. පිරිමින් ගොයම් කැපීමට යොමු වූ අතර, කාන්තාවන් දහ දෙනෙකු පමණ එක්ව කිලෝ 25ත් 30ත් අතර බර ඇති ගොයම් මිටි ඔළුව මත තබාගෙන කිලෝමීටර භාගයක් පමණ දුරක් ගමන් කරමින් කමතට ගෙන ගියහ.

මෙම කමත සකස් කිරීම ගොයම් කැපීමට සති දෙකකට පමණ පෙර ආරම්භ කෙරුණි. මුලින් එය හොඳින් උදළු ගා, පසුව බෝලත්තෙන් අතුගා, හොඳින් වියළී ගිය පසු ගොම ගෑමේ පුරුද්දක් ද තිබුණි. කමතේ අළුවලින් විවිධ රටා ඇඳ, මධ්‍යයේ යකඩ කෑල්ලක්, කොහොඹ ලී කැටයමක් ලොකු ඇනයක් වැනි අද්භූත හා ආචාරාත්මක වටිනාකම් ඇති වස්තු තබන ලදී.

ඉන්පසු ගොයම් කමත මත දමා, හරක් හතර හෝ පස් දෙනකු එකට ගැට ගසා, ඔවුන් ගොයම් ගොඩ වටා රවුම්ව එළවීම ආරම්භ විය. මෙය බොහෝවිට රාත්‍රියේ සිදු වූ අතර, කමත ආලෝකමත් කිරීම සඳහා එහි දෙපසට පෙට්‍රෝල් ලාම්පු දෙකක් එල්ලන ලදී. ඒවා පැයකට වරක් පමණ හුළං ගැසීම අවශ්‍ය විය.

මෙම හරකුන් අතර මැද සිටි හරකා “මුදුනා” ලෙස හැඳින්වුණු අතර, ඔහු ජ්‍යෙෂ්ඨ සහ පළපුරුදු සත්වයෙකි. ඔහුගේ අත්දැකීම් හේතුවෙන් අනෙකුත් හරකුන් පාලනය කරමින් නිසි ලෙස රවුමේ ගමන් කරවීමට හැකි විය. වෙනත් හරකෙකු එම ස්ථානයට පත් කළහොත්, හරක් රංචුව පාලනයෙන් පිටවී කමත පුරා දිව යාමට ඉඩ තිබුණි.

කොළ පාගෙමින් යන අතරතුර, නව ගොයම් ගොඩට එකතු කෙරුණි. මධ්‍යම රාත්‍රිය වන විට සාමාන්‍යයෙන් මෙම ක්‍රියාවලිය අවසන් විය. එයට ටික වේලාවකට පෙර සිට, රා ටිකක් බී බුලත්කමින් පැත්තක සිටි වැඩිමහල් ගොවියන් උකුණු ගස් රැගෙන පැමිණ, කොළ හොල්ලා ගොයම් ටිකෙන් ටික වෙන් කර එළියේ ගොඩ ගැසූහ.

රාත්‍රී දහයට හෝ එකොළහට පමණ, අවස්ථාවට ගැළපෙන ලෙස පිළියෙල කළ රසවත් ආහාරයක් සමඟ සියලු දෙනා විහිළු තහළු කරමින් සතුටින් භෝජනය කළහ. 


එසේ සකස් වූ කරල් වැටුණු ගොයම් සහ පිදුරු ගොඩවල් කමත අවට ගොඩ ගැසී තිබුණි. පසුදින උදයේ නැත ගොඩ ; ගොයමෙන් ලැබුන වී, මැනගන්නා තෙක්, ඒවා තනිකරන්නේ නැතිව, තැබීමට ගොවියන් දෙනෙකු කමතේ නිදාගත්ත.


පසුදින උදයේ පලපුරුදු ගොවියෙකු කුල්ලකින් එක ඉරක් දිගේ වී හලමින් ගිය අතර, තවත් ගොවියන් දෙදෙනෙකු කුල්ල දෙකකින් ඒ වැටෙන වී වලට හුළං ගසා බොල් ඉවත් කළහ. එසේ බොල් ඉවත් කරගත් තා වී මුසල් භාගයෙන් මැන ව කොපමණ අස්වැන්නක් ලැබුණේදැයි ගණන් තබා ගත්හ.


පසුව සති කිහිපයක් යනතුරු ගොංකරත්තකරුවන් පැමිණ ඒ පිදුරු ඔවුන්ගේ ගොනුන්ට මුදලට ආහාර ලෙස රැගෙන යාම ද සාමාන්‍ය දසුනක් විය.

Wednesday, February 11, 2026

මාතලේ රිළා උයන



 අක්කර 150ක් වන මේ භූමියේ ලොකුම ප්‍රශ්නය වන්නේ රිලවුන්ට ඇති තරම් කෑම සොයා ගැනීමයි. 

මොවුන්ට කෑම සොයා ගැනීමට පහසු ක්‍රමයක් මට යෝජනා කළ හැක. 

ලංකාව මන්ත්‍ර අපල බලි තොවිල් තවමත් ඉතාමත් ඉහළින් පිළිගන්නා එසේම ප්‍රායෝගිකව කරන්නා වූ රටකි. 

මිනිසුන්ගේ අපල උපද්‍රව වලින් ගැලවීම සඳහා රිලවුන්ට කෑම දීමෙන් පිටුවහලක් ලැබෙන බව උදේ ටීවී එකේ ජෝතිශාස්ත්‍රවරුන් ලවා කියවීමට පුළුවන. එසේම රිළා උද්‍යානයේ එක කෙළවරක, ප්‍රධාන පාරකට පේන තැනක, හනුමාන් සඳහා කුඩා  දේවාලයක් සෑදීමට පුළුවන. දවස් කීපයක් කවුරු හරි යොදවා දේවාලයේ පුදසුන මත පාරට පේන්නට නොයෙකුත් කෑම වර්ග පුද පූජා තබන බව පෙනෙන්නට ඇරියොත් තවත් බොහෝ මිනිසුන් එලෙස ගෙනැවිත් තබනු ඇත. ඒවා යම් යාන්ත්‍රික ක්‍රමයකින් උද්‍යානය ඇතුලට යැවීමට සෑදුවහොත් රිලවුන්ට ඇති තරම් කෑම ලැබෙනවා පමණක් නොව ෙයි ඔවුන් අධික තරබාරු තත්ත්වයට පවා පත්වීමට ඉඩ තිබේ. 


අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි සත්තයි!

ඉන්දියානු රුපියල ලංකාවේ භාවිත කිරීමට ඉඩ දීම

 ඉන්දු - ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සහ ඉන්දීය රුපියල භාවිතය: ශ්‍රී ලංකාවේ ආර්ථික පිම්මට අත්‍යවශ්‍ය පියවරක් වනු ඇත. ​වත්මන් ගෝලීය ආර්ථික රටාව ත...