Showing posts with label ourproblems and solutions. Show all posts
Showing posts with label ourproblems and solutions. Show all posts

Wednesday, September 13, 2017

විභාග :- අතීතය වර්තමානය සහ අනාගතය.





අපි උසස් පෙළ විභාගය කරද්දී අපේ මිතුරන් කිහිප දෙනෙකුට ලොකු අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදුවිය. ඒ කොපි කිරීමක් නිසාය. මට මේ සිද්දිය මතක් කර දුන්නේ මේ ලඟදි උසස්පෙළ රසායනික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිළිබඳව ලංකාවේ පමණක්ම සිදුවිය හැකි  හාස්‍ය ජනක කොපි කිරීමේ සිද්දිය නිසාය. 

අපේ සිද්ධිය , මෙවර එක තරම්  විදග්ධද (sophisticated) නොවුවද ඒ තරමටම හෝ ඊටත් වැඩියෙන් හාස්‍යජනකය. එවර උසස් පෙළ ප්‍රශ්න පත්‍ර තුනක් විය ; බහුවරණ, කෙටි පිළිතුරු සහ රචනා ආකාර. මා කියන්ට යන දේ සිදුවුයේ මේ අතරින් කෙටි පිළිතුරු පත්‍රයේය. එහි එක ප්‍රශ්නයකට පිළිතුර වුයේ  මහාමාරිය නමැති රෝගයයි. හොඳින් විභාගයට පිළියෙළ වූ සිසුවෙකු පිටුපසින් ඒක දිගටම ඔහුගෙන් උදව් බලාගෙන අප පන්තියේම සිසුන් තිදෙනෙකු සිටියහ.

වැඩ හොඳ සිසුවාට (A) කෙලින්ම  පිටුපසින් සිටි සිසුවා මුලින්ම උදව් ඉල්ලුවේ මහාමාරිය ප්‍රශ්නයටය.  A ඉතාම ප්‍රවේශමෙන් කාටවත් නොපෙනෙන්නට පිළිතුර ඔහුට ලබාදුන්නේය. එහෙත් පරිසරයේ තිබූ භයානක තාවය නිසා හෝ කන් ඇසීම අඩු නිසා B ට උත්තරය ඇසුනේ මහාමාර්ගය ලෙසිනි. ඔහු මහාමාර්ගය යනුවෙන් පිළිතුර ලිව්වේය. ඔහු පසුපසින් සිටින තම මිතුරන් දෙදෙනාටත් පිළිතුර ලබා දුන්නේය. තවත් බොහෝ පිළිතුරු මෙලෙස ඒක දිශාවිකව ගලායන්නට පටන් ගත්තේය.

මොවුන්ගේ කරුමයකට මේ සියලු ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමට ලැබුනේ එක් මොලේ ඇති ගුරුවරයෙකුටය. ඔහුට සමහරවිට පළමුවර මහාමාර්ගය වැනි කිසිම ගැලපුමක් නොමැති පිළිතුරක් දුටු විය හිනායන්නට ඇත. නැවත දෙවෙනියට තවත් පිළිතුරු පත්‍රයක දකිනවිට එම සිදුවීම සන්නිපතිතයක් ( coincidence) යයි සිතෙන්නට ඇතත් යම් සැකයක් රෝපණය වන්නට ඇත.

ඇන්නෑවේ ! මහාමාර්ගය තුන්වන පිළිතුරු පත්‍රයේ දකිනවිට මෙතැන  අමුතු යමක් සිදුවී ඇති බැව් ඔහුට පසක් විය. පසුව මහාමාර්ගය නමැති පිළිතුර ඇති පත්‍ර වල අනෙක් පිළිතුරුද හොඳින් පරීක්ෂා කලවිට නිවැරිදි පිළිතුරුද එකිනෙකට බොහෝ සමාන බව පෙනී ගිය අතර මට මතක හැටියට සිසුන් තිදෙනෙකුගේ විභාග ප්‍රතිපල තහනම් කර අවුරුදු තුනකට විභාගයන්ට පෙනී සිටීමද තහනම් කෙරින.

මෙලෙස විභාග වංචා කිරීම් බොහෝ සිදුවන්නට ඇත. අසුවන්නට ඇත්තේ කිහිපයක් වන්නට ඇත. මෙය tip of the ice berg ප්‍රශ්නයකි. හතෙන් අටක්ම තිබෙන්නේ වතුර යටය.අසුවී නොමැත්තෝ ඕනෑතරම් ඒ කඩ ඉමෙන් ගොඩ දාගෙන ඉහල තැන්වල සාර්ථක ජිවිත ගතකරන බව නොඅනුමානය. ප්‍රශ්න පත්‍රයක්ම නොව  සමහරවිට ඒක ප්‍රශ්නයක් , එක හොඩුවාවකින් කෙනෙකු ගොඩ යන්නට පුළුවන් වනුයේ මේ විභාග එතරම්ම  තරඟකාරී නිසාය. ඒක ලකුණකින් මුලු ජිවිතයම වෙනස් කරන්නට පුළුවන්ය.

ඒ වෙනස සමහරවිට මුදලින් ගණන් හැදුවොත් ලක්ෂ 100 ක් පමණ විය හැක. මක්නිසාද ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි වුවහොත් එම දරුවාට මුදල් ගෙවා උපාධියක් ලබා දෙන්නට නම් එම දෙමව්පියන්ට රුපියල් ලක්ෂ 100 පමණ ; පිටරට විශ්ව විද්යාලයකදී නම් වැයවේ. 

මෙතරම් ලොකු මුදලක් පරදුවක් ලෙස  තිබෙන්නේ බොහෝ විට තුන්වන ලෝකයේ රටවලය. මක්නිසාද , දියුණු රටවල විශ්ව විද්‍යාල වලට තෝරා ගන්නේ මෙවැනි මාරාන්තික තරඟ විභාග වලින් නොවන හෙයිනි. ඒ හේතුවෙන්ම වෙනත් ක්‍රම වලින් , අසාධාරණ ලෙස තරඟය ජයගැනීමට බොහෝ ක්‍රම  හැකි අයවලුන් උපයෝගී නොකර සිටීවි යයි කෙසේවත් හිතන්නට නුපුළුවන. 

අනික් පැත්තෙන්  ඉදිරි අනාගතයේදී සන්නිවේදන තාක්ෂනය දියුණු වීම ඉතාම වේගයෙන් සිදුවීම අනාවැකි කියන්නට අවශ්‍ය දෙයක් නොවේ. 1965 දී ගෝඩන් මුවර් ධාරිතාවය වසර දෙකකට වරක් දෙගුණ වීම පිළිබඳව අනාවැකියක් ඉදිරිපත් කල අතර එය යම් අඩු වැඩි වෙනස් ඇතිව වුවද සත්‍යක් වී තිබේ. පසුගිය වසර කිහිපයේ මේ වේගය තරමක් අඩු වී ඇත්තේ වුවද මේ හේතුව නිසා ඩිජිටල් උපකරණ මාස 18 කට පමණ වරක් ප්‍රමාණය බාගයකින් පමණ අඩුවන ප්‍රවන තාවයක් දක්නට ලැබේ.

මේ සන්නිවේදන ක්ෂේත්‍රයේ මෙලෙස දියුණු වන එකම අංශය නොවේ. දත්ත හුවමාරු කිරීම ද මේ වේගයෙන්ම දියුණු වන අතර කරාඹුවකට, දත් අතර සැඟවූ කුඩා උපකරණයකට බොත්තමක, කමිස කොලරයක  හෝ උපැස් යුවලක සැඟවූ කැමරාවකින් ලබාගන්නා පින්තුර සැතපුම් දහස් ගණනක් දුර උත්තර පිළියෙළ කෙනෙකුට යවා පිළිතුර ගෙන්වා ගැනීමේ තාක්ෂනය දැනට මත්  ඇත්තේය. තවත් ඉදිරියට ගිය විට යම් ශරීරයේ ඇතුලත සවිකළ සන්නිවෙදකයකින් එසේත් නැත්නම් ඇඳුමේ කොටසකින්ම  කෙලින්ම දැනුම වලාකුලකට සම්බන්ද වී ඕනෑම ප්‍රශ්නයකට හොඳම පිළිතුර බාහිර කිසිවකුගේ උදව්වක් නොමැතිව ලබා ගන්නට හැකි වනු ඇත.

අපි දන්නා විභාග ක්‍රම සම්පුර්ණයෙන්ම කල් ඉකුත් වීමට තව අවුරුදු දහයක් වත් නැත. එහෙත් අපි වල අලි ප්‍රශ්නය මෙන් මේ ප්‍රශ්නයත් නොදැක්කා මෙන් තනි වරද කරුවන් අල්ල ගෙන ඔවුන්ට දඬුවම් කරන්නට උත්සාහ කරමින් සිටින්නෙමු. සත්‍ය තිත්තය , එහෙත් එයට මුහුණ දිය යුතුය. විවුර්ත පොත් සහ ඉන්ටර්නෙට් සහිතව පවත්වන විභාගයකදී  ප්‍රශ්න වලට ඉතාමත් නිර්මාණ ශීලි පිළිතුරු සෙවීම මෙම අලුත් විභාග ක්‍රමය වීමට බොහෝ ඉඩ ඇති බව මගේ හැඟීමයි.

 ජාතික සැලසුම් කරුවන් ; එහෙම කොටසක් මෙරට සිටින්නේ නම් , මේ දෙස බලන්නට කල් පැමිණ තිබේ. 



Friday, August 11, 2017

අනතුරු ඇඟවීම ; හැකි තරම් රජයෙන් ඇත්වී සිටිම ඔබගේ සෞඛ්‍යට හොඳය.



මේ ළඟකදී  මාස කිහිපයක් විදුලි බිල් පත් නොගෙවා තිබීම නිසා මගේ නිවසක විදුලිය විසන්ධි කෙරින. කලකට පසු ඒ නිවස කුලියට දීමට කෙනෙකු ලැබුන නිසා එහි ජල සහ විදුලි සැපයුම නැවත සන්ධි කර ගැනීමට වුවමනා විය. පරීක්ෂා කිරීමේදී ජලය විසන්ධි කර නොතිබූ හෙයින් විදුලිය පමණක් නැවත සන්ධි කිරීමට විදුලිබල  මණ්ඩල කාර්යාලය  වෙත යාමට සිදු විය.

මහනුවර ප්‍රදේශයේ දුරින්ම ස්ථාන ගත කර හැකි ස්ථානයක් මේ සදහා විදුලි බල මණ්ඩලය සොයා ගෙන ඇත්තේය. ඒ දිගන නගරයේ අනෙක් පැත්තේ කෙලවරේ කිලෝ මීටර් 6/7 ක් ඇතුලෙන්ය. මෙය කොතෙක් දුරට හංගා ඇත්දැයි කිවහොත් මට පාරේ වාහනය නවතා හතර වතාවක් දිශාවන් අහන්නට සිදු විය. අවසානයේ අපගේ නැවිගේෂන් හැකියාවන්  පරීක්ෂා කිරීමට මෙන් සගවා තිබු කාර්යාලය මට සොයා ගැනීමට හැකි වුවිට දැනුණු සතුට විදුලිය නැවත සන්ධි කරගත්තා හා සමාන විය. දිගන නගරය ලංකාවේ තිබෙන මාර්ග සොයාගැනීමට අවුල්ම නගරයකි. මෙය හරහා ගොස් කාර්යාලය සොයා ගැනීම පමණක්ම විදුලි පාරිභෝගිකයනට මහත් සතුටක් ගෙන දෙයි. එක්කෝ කාර්යාලය මෙලෙස සගවා ඇත්තේ අපට ඒ සතුට ලගාකර දීමටය. එසේත් නැත්නම් දිගනේ ත්‍රී වීල් කරුවන්ගේ සංගමය සතුටු කිරීමට විය යුතුය. මක්නිසාද දිගනට බසයකින් පැමිණි පසු මෙම කාර්යාලයට යෑමට අඩු තරමින් රුපියල් 150ක් වත් අයකරන බව නොඅනුමානය.

කාර්යාලය වායු සමනය කර සාදා තිබුනද දැන් ඒවා වැඩ කරන්නේ නැති බව විදුරු දොරවල් විවුර්ත කර තිබීමෙන් මම දැනගතිමි. කාර්යාලයට නමක්ද යොදා ඇත්තේය. එය e city නම් විය. සොයා ගැනීමට කොතරම් අපහසු වුවද මෙහි වැඩ ඉතාමත් කාර්යක්ෂම විය යුතු බව  එහි නාමය  නිසා තවත්  සතුටට පැමිණියෙමි.

මම ඇතුලට ගොස් එහි සිටි නිලධාරිනියකට මගේ පරණ විදුලි බිලක් දී මම පැමිණි කාරණය පැහැදිලි කලෙමි. ඇය මගෙන් විදුලිය විසන්ධි කරන වෙලාවේ ඒ සඳහා පැමිණියවුන් දුන් ලිපිය ඉල්ලා සිටියාය. මම එම නිවසේ ජිවත් නොවන නිසා මට එම ලිපිය නොලැබුණු බව මම කීවෙමි. එය තිබිය යුතුයැයි කි ඇය පසුව කොම්පියුටරයේද පරික්ෂාකර මා පැමිණ ඇත්තේ වැරදි තැනට බවත් විදුලි විසන්ධි කිරීම් නැවත සන්ධි කර ගැනීම සඳහා මා යායුත්තේ දිගන විලේජ් එක තුල පිහිටි වී බ ම කාර්‍යාලයට බවත් කියා සිටියාය.

කිලෝ මීටර කිහිපයක් නැවත නුවර දෙසට පැමිණ දිගන විලේජේ වෙත පැමිණි මම එහි ඇති වී බ ම කාර්යාලය සොයාගෙන ඒ වෙත ගියෙමි. පලදායීතාවය තෑගි සඳහා තරඟ කරන ඕනෑම  රජයේ කාර්යාලයක මෙන්ම සැම තැනම කාඩ්බෝඩ් දැන්වීම් වලින් මඟ පෙන්වා තිබුණු මෙම කාර්යාලයේ කාර්යාලිය සේවකයන්ට පමණක් නොවන ටොයිලට් එකක් ද දැක තරමක් පුදුමයට පත්වුනෙමි.

බෝඩ් වල නොමැති නිසා ආරක්ෂක නිලධාරියාගෙන් අසාගෙන ඉහල තට්ටුවේ ඇති නිලධාරිනියක හමුවී මගේ අවශ්‍යතාවය පැහැදිලි කලෙමි. ඇය පරික්ෂාකර මට ගෙවන්නට ඇති මුදල ගණනය කර දුන්නාය. යාන්තන් ඇති කියා සිතා මම ගෙවන්නට ලැහැස්ති වුනෙමි. 

අදොමය! මට එම මුදල එතනට ගෙවන්නට නොහැකි බවත් මම එය මහජන බැංකුවට ගෙවා එම රිසිට් පත මෙතනට ගෙවිය යුතු බව ඇය දන්වා සිටියාය. මම නිවස අසල බැංකුවට එය ගෙවන්නට සිතා මට මුදල් ගෙවා පසුදින පැමිණ රිසිට් එක දිය හැකි දැයි ඇගෙන් විමසුවෙමි. ඇය හැකිබව කිවූ නිසා එසේ කිරීමට හිත හදාගෙන වාහනයට යන අතරේ කුමක්දෝ වාසනාවකට දවසකට වරක් පමණක් පැමිණෙන ඒ වටිනා සිතිවිල්ල මගේ සිතට ආවේය. මම ආපසු ගොස් ඇයගෙන් මේ මුදල ඕනෑම මහජන බැංකුවකට ගෙවා රිසිට් එක රැගෙන පැමිණිය හැකි දැයි විමසුවෙමි. 

"නැහැ දිගනේ මහජන බැංකුවට පමණයි" ඇය පැවසුවාය. දැන් කරන්නට දෙයක් නැති නිසා ආපසු දිගන නගරයට ගොස් මහජන බැංකුව සෙව්වෙමි. මේ සඳහාද කිහිප දෙනෙකුගෙන් අසන්නට සිදුවූ අතර වරක් මා ග්‍රාමීය සමුපකාර මහජන බැංකුවක් වෙතද  යොමුකරන ලද්දේය.

අවසානයේ කුඩා බැංකු කාර්යාලයට ගිය විට එහි පාරිභෝගික කවුළු  තිබුනේ එකක් පමණක් වූ අතර 10 දෙනෙකු පමණ පෝලිමේ සිටියහ. මා මුදල් ගෙවන්නට පෝලිමේ සිටිද්දී කාන්තාවන් දෙදෙනෙකු පෝලිම මැදින් පෝලිමට අතුලුවන ආකාරයද බලා එපා වී හෙට වත් එන්නෙමි යි හිත හදා ගෙන බැංකුවෙන් පිටවුනිමි. දැන් නැවත වරක් කිලෝ මීටර 15 ක් ගොස් බැංකුවට මුදල් ගෙවා ආපසු දිගන විලේජ් එකේ කාර්යාලයට ගොස් එය පෙන්වා විදුලිය සන්ධි කර ගත යුතුය. 

මෙලෙස පුරවැසියන් වන අප කරදරයේ හෙලීම වැලක්වීමට කොතරම් දෑ මෙවැනි රජයේ ආයතන වලට කල හැකිද?

  • ඔන් ලයින් ක්‍රමයට මෙවැනි දෑ සදහා ගෙවීමට ක්‍රම වේද සකස් කිරීම. ඩිජිටල් යටිතල පහසුකම් සදහා අමාත්‍යාංශයක් ද  තිබෙන රටේ මෙවැනි දෑ  මුලින්ම කරගතයුතු දේවල්ය.
  • පාරිභෝගික ජන කේන්ද්‍ර ගත වී ඇති ආකාරය පරික්ෂා කර පාරිභෝගික සේවා පහසුකම් ඇතිකිරීම. මේ ප්‍රශ්නයේ අඩු තරමින් කාර්යාලය කුණ්ඩසාලේ වත් පිහිටුවිය යුතුය.
  • කාර්යාලය බැංකු පිහිටා ඇති ආසන්නයක පිහිටුවීම. එසේත් නැත්නම් කාර්යාලයේ හෝ මුදල් ඇය කරගත හැකි කාඩ්/ මුදල්  වලින් ගෙවීම වැනි ක්‍රම වේද ඇතිකිරීම.
රජයේ ආයතන පළමුවෙන් සිතිය යුත්තේ පාරිභෝගිකයන් ගැනය. එහෙත් මෙහි අප එනවා නම් එන්නේ , අන්තිම අග්ගිස්සටය.

ටොයිලට් එක ගැනත් යමක් කිව යුතුය. මෙවැනි තැනක පුරවැසියන්ට ඒවා පාවිච්චි කරන්නට ඉඩ තිබෙන්නේ කලාතුරකිනි. බොහෝ ඒවායේ ඒවා කාර්ය මණ්ඩල වලට පමණක් බව ලකුණු කර තිබේ. මේ නිසා කලාතුරකින් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට මම ටොයිලට් එකට ගියෙමි. කාන්තා හා පුරුෂ දෙපක්ෂයටම එක් කුටියක් තිබුණු අතර අගුල කැඩී ඇතුලෙන් වසාගැනීමට බැරි බව දැක්කේ ඇතුලට ගිය පසුය. 

මම දොර අතින් අල්ලා ගෙන ඉක්මනින් වැඩය කරගෙන එලියට පැන ගතිමි.

රාජ්‍ය සම්පත් විකුනන්න එපා කියමින් පාරේ දඟලන අපේ සම්පත් මේවාද? කියා කෙනෙකුගේ හිතට ලෙහෙසියෙන්ම ප්‍රශ්නයක් නැගුනොත් එහි වරදක් නැත්තේය 







Monday, July 31, 2017

සමුපාකාර ක්‍රමයේ මගේ අන්තිම ඇනය





සමුපාකාර ක්‍රමය ගැන ලංකාවේ මගේ පරම්පරාවේ අයට බොහෝ කටුක අත්දැකීම් තිබේ. 70 බලයට පත්වුන සමගි පෙරමුණ රජය විසින් ඇතිවුන පෝලිම් යුගයේ නයිලෙක්ස් සාරී සහ නන් අයන් කලිසම් රෙදි ලොතරැයි දමා විකුනව්වේ ගමේ සමුපකාරයේදීය. පෞද්ගලික බසුත් තිබ්බේ නැති ඒ කාලේ ගමක හිටපු ලොකුම කෙරුමන් තිදෙනා සමුපාකාර මැනේජර්, ලංගම ඩ්‍රයිවර් සහ ගමේ බේකරි මුදලාලිය. බේකරි මුදලාලි මේකට අයිති වුයේ එක් පුද්ගලයෙකුට පාන් කාල බැගින් වූ පාන් සලාකය නිසාය. අප කුඩා කල සියලු දනා බොහෝ ආසාවෙන් කියවූ රිවිරැස පත්‍රයේ පළවූ චන්ද්‍ර අනගිරත්නගේ නරලොව හොල්මන් විශේෂාන්ගයේ වරක් කියූ පරිධි එකල වැඩියෙන්ම දැවැද්ද ලබාගත හැකි පුද්ගලයා වුයේද සමුපකාර මැනේජර් වරයාය; අප කුඩා කාලයේ විවාහ වන විට මනමාලියගේ දෙමව්පියන් දෙන තෑග්ග දැවැද්ද ලෙස හැඳින්වින.
චන්ද්‍ර අනගිරත්න මහතා; මෙතැනදී නොලිය බැරිය, මා හිතනා විදිහට ලංකාවේ ඉතාමත් අඩුවෙන් අගයකල ලියන්නෙකි. ඔහුගේ හාස්‍ය ලියවිලි වලට කිට්ටුවෙන් වත් යා හැකි ලියවිලි; එකක් දෙකක් හැරෙන්නට, මා නම් දැක නැත.
ගිනි පෙනෙල්ලෙන් බැට කෑ එකා කනාමැදිරියාටත් බිය විය යුතුය. නමුත් මා එසේ බිය නොවී මගේ ටෙනිස් ක්ලබ් එකේ මිතුරෙකු කී නිසා සමුපාකාර ඉන්ෂුවරන්ස් එකෙන් වාහනයට ඉන්ෂුවරන්ස් එකක් දමා ගතිමි.
සමුපාකාර ඉන්ෂුවරන්ස් යාමට ප්‍රධාන හේතුවක් වුයේ වාරිකයේ වටිනාකමයි. මුල් අවුරුද්දේ රුපියල් ලක්ෂයකට වැඩි වූ වාරිකය මේ සමුපාකාර ඉන්ෂුවරන්ස් එකේ රුපියල් 60,000 ක් පමණ වූ අතර මමත් ඉතා සතුටින් මේ සදහා එකග වීමි.
මගේ වාහනය ගෙදර නවත්තන්නේ නිවස පිටුපස නිවස සහ මෙවලම් මඩුව අතර තිබෙන අවකාශයේය. නමුත් එහි වහලයක් තිබෙන කොටසේ තවත් වාහනයක් තිබුන නිසා මම ගමනක් ගොස් ඇවිත් වාහනය පොඩ්ඩක් ඉදිරියෙන් නැවැත්තුවෙමි.  ටික වෙලාවකින් ඉඩවරයට වැටෙන කුරුම්බා ගෙඩියක් මඩුවේ වහලය මතට වැටී රෝල් වී කාරයේ වහලය මතට වැටී එහි කුඩා වලක් වැනි එබුමක් ඇතිවිය.
මේ පිළිබඳව හොට්  ලයින් එකට කතාකර දැන්වූ පසු පය කිහිපයකින් නිලධාරියෙකු පැමිණ පොටෝ ආදිය රැගෙන ගිය අතර තව පය දෙකකින් පමණ පැමිණි තක්සේරුකරු පෝරමයක් පිටපත් තුනකින් පුරවාදී එකක් මට තබාගෙන එකක් මා තෝරාගන්නා ගරාජයකට දෙන ලෙසට දන්වා ගියේය. ඔවුන් බොහෝ මිත්‍රශීලි වූ නිසා මම ඉතා සතුටට පත්වුනෙමි.
මම වාහනය මගේ මිතුරෙකුට අයත් ගරාජයකට ගෙනගියත් එහි පුලර් එකක් නොමැති නිසා නවීන උපකරණ සහිත ගරාජයකට යෑමට සිදුවිය. ඔවුන් වැඩය  බාරගෙන, නිමාකිරීමට  දවස් 3ක් පමණ ගතවෙයි කිවත් මට දවස් දෙකකින් ඔවුන් දන්වා සිටියේ වහනය සාදා අවසන් අතර එය ඉන්ෂුවරස් එකෙන්ද පැමිණ පරික්ෂා කර ඇති අතර මගේ කොපිය ඉන්ෂුරන්ස් එකේ කාර්යාලයට බාරදී වාහනය නිදහස් කරගත යුතු බවය.
මම ගෝලයකු අතේ සියලු ලියකියවිලි නුවර කාර්යාලයට යැව්වෙමි. ඒ සියල්ල බාරගෙන එම කාර්යාලයේ අයකු මට දුරකථන ඇමතුමක් දී කියා සිටියේ ; එදා බ්‍රහස්පතිදා විය, සිකුරාදා හෝ අපහසුම වුවහොත් සඳුදා වාහනය ලබාදෙන බවයි. එසේ කතාකරගත්තේ වුවද මගේ ලියකියවිලි රැගෙන ගිය තැනැත්තාට දුරකථන අංකයක් දී කියා තිබුනේ ඒ අංකයට සඳුදා 10 ට පමණ කෝල් එකක් දෙන ලෙසය. අද සඳුදා 10 සිට 12 වෙනතුරු ඒ අංකයට කෝල් 3/4 දුන්නෙමි. උස්සන්නේ නැත. ඉන්පසු මම නැවත හොට් ලයින් එකට කෝල් එකක් දී නුවර කාර්යාලයේ අංකය ඉල්ලා ගත්තෙමි. එයට කතාකර විස්තරය කීවෙමි. ඒ මට සඳුදා කථා කිරීමට උපදෙස් දී ඇති පුද්ගලයා අද නිවාඩු බව මට දැන්වින.
ටික වෙලාවක සාකච්චාවකින් පසුව මගේ ඉන්ෂුවරන්ස් එක ලියාපදිංචි කර ඇත්තේ මාලබේ කාර්යාලයේ බවත් මා වාහනය නිදහස් කරගැනීමේ කටයුත්ත සිදු කර ගත යුත්තේ එහෙන් බවත් දැන්වින. දැන් මෙය කියන්නේ දවස් හතරකට පසු සඳුදාය. මම කිසි දින මාලබේ කාර්යාලයට ගොස් නොමැති බවත් එය කලේ මහනුවර කාර්යාලයට පැමිණ බවත් මා කිහිපවරක් කියා සිටියත් හරි ගියේ නොමැති අතර ටික වෙලාවකින් මට මාලබේ කාර්යාලයෙන් කෝල් එකක් ලැබිණ.
මගේ ඉන්ෂුවරන්ස්  එක මාලබෙන් කෙරී ඇති බවත් වාහන නිදහස් කර ගැනීම ඔවුන් විසින් කරනු ඇති බවත් කී ඔවුහු මා දැන් ඔවුන්ගෙන් නිදහස් කිරීම කරගත යුතු බවත් කියා සිටියහ. මම එසේ කරන ලෙස ඉල්ලා සිටියෙමි.ඒ සඳහා මා ඔවුනට ලිපියක් දියයුතු බව ඔවුහු කියුහ. මම නුවර සිටින නිසා email එකක් එවීමට ඔවුන්ගේ විද්‍යුත් ලිපිනය ඉල්ලා සිටියෙමි. එය ලැබිණ . ලිපිය යවා ලැබුනාදැයි දැන  ගැනීමට නැවත කෝල් කලෙමි. ඔවුන්ගේ email වැඩ නොකරන බව කියා ටික වෙලාවකට පසු මා කරදර කල නිසා මට පුද්ගලික email ලිපිනයක් ලැබිණ.
මම එයත් යවා කෝකටත් නැවත කෝල් එකක් දුන්නෙමි. හොඳම පණිවුඩය දුන්නේ එවිටය. ” ඔබගේ වාහනය නිදහස් කරන්නට කොහොමත් තව දවස් 4ක් 5ක් යයි.” එවිට වාහනය හදා අවසන් යයි ගරාජය දන්වා සතියක් පමණ වෙයි .

ගිණි පෙනෙල්ලෙන් බැට කැ මිනිහා කනාමැදිරියාට බය නැති වීමේ විපාක මේවාය.

Sunday, July 23, 2017

මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම වලක්වන්නේ කෙසේද?


from
http://lakshmanillangakoon.blogspot.com/2017/07/rathmalane.html

මම ඊයේ රත්මලානේ දකින්නට ලැබ අල්ලා ගත් කොකේන් කිලෝ 150 ගැන බ්ලොග් එකක් ලීවෙමි.මෙම සිද්ධියේ භයානක කම රට ඇතුලට මෙවැනි තහනම් මත් ද්‍රව්‍ය රැගෙන ඒම වැලක්වීමට පොදුජන මුදලින් නඩත්තුවන ආයතන සියල්ලෙන්ම මිදී මෙම කොකේන් තොගය සොයා දුන්නේ CWE  එකේ කම්කරුවන් කිහිපදෙනෙකු වීමයි.

මෙලෙස අවසානයේ රට ඇතුලට ආ පසු අහම්බෙන් කෙනෙකු දැක අසුවෙනවානම් අප ගසා  ඇති වැට වලින් ප්‍රයෝජනයක් වෙන බවක් නොපෙනේ. අනෙක මෙතරම් ලොකු තොගයකුත් මෙලෙස ආරක්ෂාවෙන් මිදී ඇතුලට එන්නේ නම් කුඩා සිල්ලර ප්‍රමාන වලට කොතරම් පහසුවෙන් ඇතුලට එන්නට හැකියාවක් ඇද්දැයි සිතාගන්නට පුළුවන.

මෙලෙස තොග ගනනේ කොකේන් ගෙන එමෙන් පෙනෙන්නේ  එක්කෝ ලංකාවේ අති මහත් ජනතාවක් මේකට ඇබ්බැහි වී ඇති බවය, එසේත් නැතිනම් අප රට කොකේන් බෙදාහැරීමේ ජාත්‍යන්තර  මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන බවය. මේ දෙකෙන් කෝකත් අති භයානකය. මෙය වැලක්වීමට වහාම පියවර ගත්තේ නැත්නම් අපට බොහෝ කනගාටුදායක ප්‍රතිපල අත්විදින්නට වනබව නොඅනුමානය. 

අපට මේ සඳහා කලහැක්කේ කුමක්ද? කලයුත්තේ අප වෙත ඇති සියලුම මෙවලම්, මෙම මත්  ද්‍රව්‍ය රට තුලට ඒම වැලැක්වීම සඳහා අතිශය සංවිධානාත්මකව  යෙදවීමයි. වෙනත් ජාතියකට වඩා අපට මෙතැනදී විශේෂ වාසියක් තිබේ. ඒ අප දීර්ඝ කාලින යුද්ධයක් අවසානකර සිටීමයි. ඕනෑම රටක් යුද්ධයක් අවසන් කල පසු යුද්ධයේදී පාවිච්චි කල උපකරණ සහ හමුදාවන්ගේ අතිරික්තයක් ඇතිවන බව නොකිවමනාය. එවැනි අතිරික්තයක් නැවත වරක් ජාතියේ ප්‍රමුඛ අවශ්‍යතාවයකට යොදාගන්නේ නැත්නම් එම මෙවලම් කොස්කොටන්නදැයි කෙනෙකුට අසන්නට පුළුවන. මෙලෙස කිසිම කරදරයක් නොමැතිව , වෙනත් කිසිම යෙදුමකට අවහිරයක් නොමැතිව එක්වරම යොදාගත හැකි සම්පත් කිහිපයක් තිබේ.

එහෙත් ඒ සියලු සම්පත් වලින් නිසි පල නෙලාගැනීමට නම් මුලින්ම එක් නිලධාරියෙකු සියලුම මත්ද්‍රව්‍ය රටතුලට ගෙන ඒම වැළක්වීමේ කටයුතු සංවිධානය සඳහා නම්කර ඔහුට සියලු බලතල ලබාදී රහස් තොරතුරු ඇතුළු සියලුම  සම්පත් ඔහුට යොදවාගත හැකි ආකාරයට නීති සකස් කිරීම අත්‍යඅවශ්‍යය. 


  • යුද්ධ කාලයේදී සියලුම හමුදාවෝ : යුධ,නාවික සහ ගුවන්, සුනඛ ඒකක ආරම්භ කළහ. යුද්ධය අවසානයෙන් පසුවත් ටික කාලයක් බිම් බෝම්බ ගොඩගැනීමට මේ සුනඛයන් යොදාගත්හ. මේ සුනඛයන්ගේ එකතුව බොහෝවිට 300 කටත් වඩා වැඩි විය යුතුය. ඊටත්  වඩා වටින්නේ මේ සුනඛ ඒකක සඳහා ගොඩ නැගු යටිතල ව්‍යුහයන්ය. බලු කුඩු වලසිට පශු වෛද්‍යවරු දක්වා මෙම ව්‍යුහයන් දිවෙයි. මේ ඒකක සියල්ල එක් පුද්ගලයෙකු යටතේ සංවිධානය කර සුනඛයන් මත් ද්‍රව්‍ය සොයාගැනීම සඳහාම  නැවත පුහුණුකර  සියලුම වරායවල සහ ගුවන් තොටුපලවල සේවයේ යෙදවීම.
  • මෙම සුනඛයන් යොදා ගෙන වරින්වර සැක සහිත ස්ථානයන් සහ පුද්ගලයන් පරික්ෂා කරවීම.
  • නාවික හමුදාව යුද්ධ කාලයේදී තමන්ගේ නොයෙකුත් පහසුකම් සහ කඳවුරු වල ආරක්ෂාව සඳහා සතුරන් එන බව කලින් දැන ගැනීමට රේඩාර් උපකරණ සවි කළේය. මෙවැනි රේඩාර් යන්ත්‍ර සිය  ගණනක් දැන් එකල තිබු අවශ්‍යතාවයන් නැතිවී අතිරික්ත වී ඇති බවට කිසිම සැකයක් නැත්තේය. උදාහරණයක් වශයෙන් දැන් වැලිගම නාවික හමුදා නිවාඩු නිකේතනය තිබුණු තැන යුද්ධය අවසන් වනතෙක් තිබුනේ ගාල්ලේ වරයා ආරක්ෂාකිරීමට යොදා තිබුණු රේඩාර්  යන්ත්‍රයකි. මෙවැනි උපකරණ මුහුදෙන් මත් ද්‍රව්‍ය ගෙනවිත් ගොඩ බාන්නට ඉඩ තිබෙන ප්‍රදේශ වල කිලෝ මීටර් 5 න් 5 හට සවිකළ හැක. ඒවා එක පද්ධතියකට සවි කිරීමෙන් සියලුම රේඩාර් රූප එක මධ්‍යම ස්ථානයක සිට බලා ගැනීමටද පුළුවන.
  • එකල නැගෙනහිර මුහුදේ ඇතින් තිබෙන  ආයුධ රැගෙන ඒමට උත්සාහ කරන  නැව් හා ට්‍රෝලර් යාත්‍රා අල්ලා ගැනීමට HF රේඩාර් යන්ත්‍රයක් නැගෙනහිර මුහුදේ සවි කෙරුණි. මෙම රේඩාර් යන්ත්‍රය කැනඩාවේ නිපදවුනේ ඇමරිකාව අයත් රේතියොන් ආයතනයෙනි. එකල ඉතාමත් නවීනතම රේඩාර් පද්ධතියක් වූ මෙවැනි රේඩාර් දැන් ඈත මුහුදේ රැලි පද්ධති වල විශාලත්වය හා වේගය මැන සුනාමි අනතුරු ඇගවීම් සඳහාද යොදා ගැනේ. මෙම යන්ත්‍රය මුහුදෙන් වඩාත්ම මත්ද්‍රව්‍ය ගෙන ඒමට අවදානය තිබෙන තැනින් සවිකළ හැක.


මේ එවැනි මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා යොදාගත හැකි අතිරික්ත වී ඇති සම්පත් කිහිපයකි. නිර්මානකාරි වනවා නම් මෙවැනි නොයෙක් ආකාර යෙදවීම් යොදා ගැනීමට පුළුවන.


Friday, July 21, 2017

රත්මලානේ කොකේන් ප්‍රශ්නයේ අනෙක් පැත්ත.




පසුගිය දිනෙක කොකේන් කිලෝ ග්‍රෑම් 150 රත්මලානේ රජයට අයත් සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ කන්ටේනර් එකකින් සීනි බාද්දී අල්ලා ගැනුණි. ඇත්තෙන්ම මෙය 'අල්ලා ගැනීම' කීවත් අල්ලා ගැනීමක්ම නොවේ. අල්ලා ගැනීමකට වඩා එය අහම්බෙන් නිරීක්ෂණය කරන ලද්දක් බව පෙනේ. 

ඒ කෙසේද යත් වරායේ හෝ ගුවන් තොටුපලේ මෙවැනි රට තුලට ගෙන ඒමට අවසරයක් නොමැති භාණ්ඩ රට ඇතුලට ඒමට නොදී අල්ලා ගැනීමට වගකීම ඇති රේගු දෙපාර්තමේන්තුව ඔවුන්ගේ සියලු රහස් තොරතුරු අංශයන් සහ නොයෙකුත් පරීක්ෂා කිරීමේ උපකරණ තිබියදීත් අසාර්ථක වූ නිසාය. ඒ අතරම පොලීසියේද විශේෂ මත් ද්‍රව්‍ය නිවාරණ අංශයක් බොහෝ කලක සිට ක්‍රියාත්මක වෙයි. ඔවුන්ද මේ ගැන කිසිම හෝඩුවාවක් දැන ගන්නට අසමත් වී ඇති බව පෙනේ. 

අවසානයේ මෙය රට ඇතුලේ බඩු බාන අංගනයකටම පැමිණ බඩු බාන කම්කරුවන් දකින තෙක් ඒවා සොයා ගෙන අල්ලා ගැනීමට පොදු ජන මුදලෙන් නඩත්තු කරනා කිසිම රාජ්‍ය ආයතනයකට හැකියාව ලැබෙන්නේ නැත. මෙය හරිම පුදුම සහගත එමෙන්ම ශෝක ජනක තත්වයකි. මෙම කන්ටේනරය සතොසට යෑම වෙනුවට වෙනත් ඕනෑම බඩු ගබඩාවකට යැවීමට කොකේන් ගෙන්වූ ව්‍යාපාරිකයිනට හැකියාව තිබිණ. ඔවූහූ එසේ කලා නම් මෙලහකට මෙම කුඩු,

  •  ලංකාවේ පරිභෝජනයට ගෙනාවේ නම් දැනටමත් ලංකාවේ වීදී වල විකිනෙමින් තිබීමට.
  • ලංකාව මධ්‍යස්ථානයක් ලෙස යොදා ගනිමින් වෙනත් රට වලට නැවත යැවීමට ගෙනාවේ නම් එලෙස යැවීමට සූදානම් කිරීම.


සිදුවෙමින් තිබෙන්නට ඉඩ තිබිණ. මක් නිසාද කොකේන් ගෙන්වූ තැනැත්තාට මේ තොගය රට ඇතුලට ගත් පසු ඕනෑම ඇඩ්‍රිස් එකකට යැවිය හැකි පරිදි මුලින් සංවිධානය කිරීමට අවකාශ තිබීමයි. මෙලෙස රුපියල් කෝටි 320 ක් වටිනා කොකේන් කිලෝ ග්‍රෑම් 150 කට වැඩි ප්‍රමාණයක් මෙතරම් අසන්විධානාත්මකව එවන්නට හේතු වූයේ යැයි සැක කරන්නට හේතු මොනවාද? 

කොකේන් යනු ගංජා වලට පසු ලෝකයේ වැඩියෙන්ම භාවිත වන මත් ද්‍රව්‍යයයි. අපි මත්ද්‍රව්‍ය කිව්වද අන්තර් ජාතිකව කියන්නේ විනෝදායන බෙහෙත් කියාය. මිලියන් 20 ක පමණ ජනගහනයක් මෙය භාවිත කරන අතර මෙය නිපදවන්නේ කොකා නැමති ශාඛයක පත්‍ර වලිනි. 

මෙම මත් ද්‍රව්‍යය නහයෙන් ඇදීම, දුමක් ලෙස ආඝ්‍රහනය කිරිම, එසේත් නැත්නම් දියරයක් ලෙස ලේ නහර වලට ඇතුල්කර ගැනීමෙන් මත් වීමට යොදා ගනිති.
 කොකේන් පල්පය කිලෝ එකක් සාදා ගන්නට කොකා ගස්වල කොළ ටොන් එකක් පමණ අවශ්‍ය වෙයි. කොලොම්බියාව වැනි කොකේන් නිපදවන මෙවැනි රටවල ගොවියනට කොළ ටොන් එකකට ලැබෙන්නේ ඩොලර් 400/500 වැනි මුදලකි. එම කොළ ටොන් එක කොකේන් පල්පය කිලෝ ග්‍රෑම් එකක් කල පසු එහි වටිනාකම $ 900 ක් පමණ වෙයි. මෙම කිලෝ එකක් උතුරු ඇමරිකාවට යන විට එහි වටිනාකම $ 10,000 සිට 20,000 දක්වා වෙයි. කුඩු බෙදා හරින්නන්ට මෙය ලැබෙනවිට කිලෝ එකක් $ 70,000 සිට 80,000 දක්වා වෙයි. එය ඇමරිකාවේ වීදීවල විකුණන විට එහි වීදි මිළ කිලෝ ග්‍රෑමයට $ 150,000 ක් පමණ වෙයි. ලංකාවේ පහුගියදා අසුවුනු කිලෝ ග්‍රෑම් 150 ද සිල්ලර මිළ කෝටි 320 ක් ලෙස පොලීසියෙන් ප්‍රකාශ කලේය. ඒ මිළද ඉතා කිට්ටු වෙන් ඇමරිකාවේ කොකේන් මිළ හා සැසැදේ. ඒ අනුව බලන විට ලෝකයේ ඕනෑම තැනක කොකේන් වල සිල්ලර මිළ එක සමාන බව පෙනේ. ඇත්තෙන්ම  purchasing power parity (PPP) අනුව ගණන් බැලුවහොත් මෙහි කොකේන් වල සිල්ලර මිළ ඇමරිකාවට වඩා බොහෝ වැඩි බව ආර්ථික විද්‍යාඥයෙකු ගෙන් මේ පිළිබඳව ඇසුවහොත් අපට පැහැදිලි කරනු ඇත. 

දැන් මේ අද්භූත ජනක කොකේන් හමුවීම නිසා පුරවැසිනයට ඇති වන ගැටලු මොනවාද?  

  • මෙලෙස එක කොකේන් තොගයක් අහම්බෙන් අසුවීමට නම් කොපමණ කොකේන් තොග මෙරටට ගෙන එනවා ඇද්ද? 
  • රේගුවට හෝ පොලීසියට කන්ටේනරයක තිබූ කිලෝ 150 ක් හොයා ගන්නට බැරි වූයේ නම් කිලෝ 10/15 සිල්ලර මලු කොතරම් කන්ටේනර් වල එනවා ඇද්ද? 
  • මෙතරම් කොකේන් පාවිච්චි කරන්නන් ලංකාවේ සිටින්නේද? 
  • මෙතරම් පහසුවෙන් ඇතුලට ගෙන ඒමට පුලුවන් නම් පිටට යවන එක මෙයට වඩා බොහෝ පහසු බවට සැකයක් නැත්තේය. එසේ නම් ලංකාව දැනටමත් කොකේන් බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවට සැකයක් නැත්තේය. 
  • එසේ අන්තර් ජාතික මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත්තේ නම් මෙය අපි හිතනවාටත් වඩා භයංකාර තත්වයකි. මක්නිසාද අන්තර් ජාතික මාෆියා වර්ගයේ දරුණු අපරාධ කණ්ඩායම් මේවා පාලනය කරනවා වෙන්නට පුලුවන. 
  • එවැනි තත්වයක් ඇත්තේ නම් මත්ද්‍රව්‍ය ව්‍යාපාර සමග ඉතා කිට්ටුවෙන් යන අන්තර් ජාතික ත්‍රස්තවාදී කණ්ඩායම්ගේ ක්‍රියාකාරිත්වයද මෙරට තුලට පැමිණෙනු ඇත. ලෝකයේ කොහේවත් නැති ක්‍රෝධ සහ වෛර දේශපාලනයක් ඇති ලංකාවේ දේශපාලනයට මෙවැනි බිහිසුනු අන්තර් ජාතික ත්‍රස්තවාදීන්ද අතපෙව්වහොත් කුමන ව්‍යසනයක් ඇතිවිය හැක්කේද?


මෙය ඩෙංගි හෝ ගංවතුර ප්‍රශ්න මෙන් නොව ඊට වඩා ඔඩු දුවන ප්‍රශ්නයක් බව නම් නොකිවමනාය.

ඊලග කොටස :- මත්ද්‍රව්‍ය මෙරටට ගෙනඒම වැලැක්වීම සදහා යෝජනා.
http://lakshmanillangakoon.blogspot.com/2017/07/blog-post_23.html         

Monday, July 17, 2017

ටෙලිඩ්‍රාමා දෙකකින් ජාතියේ ක්ෂණික ඡායාරූපයක්




මම ලංකාවේ රූපවාහිනියේ නිවුස් ඇරෙන්නට බලන වැඩසටහන් තුනක් තිබේ. මේ අන්තර් ජාතික CNN BBC ,   චිත්‍රපට චැනල්ය හා   history  චැනල් එකේ පෝන් ස්ටාර් වැඩසටහනට අමතරවය.

ලංකාවේ නරඹන වැඩසටහන් වන්නේ සතියේ දිනවල දෙව්ලියේ සහ හාර කෝටිය වන අතර සෙනසුරාදා සහ ඉරිදා දිනවල ධර්මාශෝකය. ධර්මාශෝක දැන් අවුරුද්දක පමණ සිට බලන්නෙමි. සමහර නැරඹ්ම් අව සානයේදී මෙතරම් බොලඳ, ලාමක සහ ඉතාමත් ඓතිහාසිකව වැරදි කතාවක් කුමට බලන්නේදැයි කෝපයට පත්ව නැවත නොනරඹන බවට ප්‍රකාශකර සිටියද මෙම කතාවේ ඇති භාෂාවේ පරිවර්තනයේ අලංකාරය සහ පසුබිම් දර්ශන වල අලංකාරය නිසා නැවත බලන්නට සිත්වේ. මේ කතාවේ කොතරම් අතාත්වික දේවල් තිබෙනවාද යත් වයස 13 ක පමන අශෝක කුමරු පාඨලී පුත්‍රයේ සිට අධිරාජ්‍යයේ හමුදාවත් සමග උතුරු ඉන්දියාවේ බටහිර පැත්තේ රට මැද ඇති තක්ෂිලා නගරයේ කැරැල්ලක් මැඩ පවත්වන්නට යන්නේ නැව් නැගය. සමහර විට අධ්‍යක්ෂක වරයාට නාවික යම් කිසිවකුත් කතාවට ඇතුල් කරන්නට සිතැඟියාවක් ඇති වන්නට ඇත.

ධර්මාශෝක කතාවේ මෙවැනි නොවිය හැක්කන් සමූහයකි. උතුරු ඉන්දියාවේ මෙවැනි අතාත්විතයන් චිත්‍රපටවල සාමාන්‍ය වෙයි. මෙය දකුණු ඉන්දියාවේ හැදුවා නම් කොතරම් ලස්සනට හදන්නට ඉඩ තිබුනේදැයි සිතුවිලි ඇතිවීම නොවැලැක්විය හැකිය.

මාතෘකාවට නැවත පැමිණ, දෙව්ලියේ සහ හාර කෝටිය දෙස බලමු. මේ නාටක දෙකම අභිරහස්, සිනහ උපදවන, තරමක පෙම් කතාවකුත් සහිත නිෂ්පාදනයන් වෙයි. 

මෙම කථා දෙකෙහිම අපි දකින සමහර දේවල් අපේ සමාජයේ ඇත්තටම සිදුවන දේවල් දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. පහත නිරීක්ෂණ දෙස බලන්න. 


  • මෙහි ජීවත්වන ප්‍රධාන චරිත එකක්වත් රැකියාවක් කරන්නේ නැත. එහෙත් හොදින් කා ඇඳ ජීවත් වෙති. එකදු හෝ රැකියාවක් කරන්නේ අම්මා කෙනෙකු පමණි. ඒත් සීයට තුනේ පාපිසි මසා විකිණීමය. 

  • ස්වාමිපුරුෂයා මිය ගිය හෝ නොමැති කාන්තාවකට වටේ පිටේ මිනිසුන්ගෙන් බේරිල්ලක් නැත. මදුරු බෙහෙත් ගහන්නට එන්නාද පොඩි උත්සාහයක් කරයි. 

  • පොලිසිය තිප්පොළක් වට කරන විට සොරුන් පැන යන තැන බලා ගන්නට කෙනෙකු යොදවන්නේ නැත. ඒ ඔවුන් පැනගිය පසු ලුහු බැද යාම වඩාත් ත්‍රාසජනක වන නිසා විය යුතුය. 

  • කතාවල සිටින තරුණ තරුණියන් දහා දෙනා ගෙන් පමණ එක් තරුණියක මැද පෙරදිග රැකියාවකට යයි. ප්‍රතිශතය බැලුවිටත් රටේ සාමාන්‍යට කිට්ටු  බව පෙනේ. 

  • තරුණියක ඉගෙන ගැනීමට ඕනෑ යැයි සිතෙන විට it පන්තියකට යයි. රුපියල් 60,000  පන්තියට ගෙවන අතර කුමක් අරභයා it ඉගෙන ගන්නේ දැයි දන්නේත්  නැත. පන්ති කට් කරන එකේ අඩුවකුත් නැත.   

  • කථා දෙකේම ලස්සන තේමා ගීත තිබේ. 

  • සෑම දෙබසක්ම වාගේ ඝට්ටනකාරීය. ප්‍රශ්නයක් ඇසුවොත් උත්තර දෙන්නෙත් ප්‍රශ්නයකිනි. බලාගෙන ඉන්නේ කොයි වෙලාවේ තවකෙකු සමග පැටලෙන්නේද කියාය. 


මේ තරුණ තරුණියන් එකතුවූ විටද යම් වැඩකට ඇති දෙයක් ඉගනගන්නට හෝ අලුත් දෙයක් ගැන කරන්නට කථා කරන්නේ නැත ,  බටහිර මෙවැනි sitcom වල පවා චරිත  යම් රැකියාවක් කරන්නන්ය. එසේත් නැත්නම් කිසියම් දෙයක දී ඉන්නන්ය. එවැන්නක් බලන නරඹන්නන්ද ඒවායින් ආදර්ශයක් ගනිති 

මේවායේ චරිත වලින් එකක් දෙකක් හෝ යම් කාර්මික පුහුනුවක් හෝ ලබාගෙන ඒ  ජිවිතයෙන් ගැලවී ජිවිත සකසා ගන්න ආකාරයක් පෙන්නුම් කිරීමට මෙවැනි නාට්‍ය කරන්නන් උත්සාහ කල යුතුය. බන නොකියා එවැනි අදහස් තරුණ මනස වලට ඇතුල් කල හැක. inspirational  චිත්‍රපට වලින් කෙරෙන්නේ මෙවැනි දෙයකි. තමන් වැටී සිටින වලෙන් ගොඩට ඒමට මාර්ග පෙන්වා දී    ලබාදීමය . pursuit of happiness වැනි චිත්‍රපට මේ සඳහා උදාහරණ ලෙස ගත හැක. 

වල නරඹා සන්තෝෂ වීමට වඩා වලෙන් ගොඩ එන ක්‍රමයක් පෙන්න දීමත් අපේ වගකීමක් බව මට සිතේ 

      

Thursday, July 6, 2017

නගර ගොඩනගන්නෝ සහ වින කටින්නෝ - 1






මහනුවර නගරය සෙංකඩගල නගරය ලෙස පටන් ගැනෙන්නේ 15 වන ශත වර්ෂයේ බව පෙනේ. ජයවීර අස්ථානගේ පුතෙකු සේනාසම්මත වික්‍රමබාහු (1473 - 1511)  සාමන්තයෙකු ලෙස කෝට්ටේ අධිරාජ්‍යයේ නාමික ප්‍රාදේශීය පාලකයෙකු ලෙස මෙය අගනුවර කරගත් බව පෙනේ. 

මොහුගේ නමට ඉදිරියෙන් ‘සේනා සම්මත‘ යනුවෙන් සඳහන් වීමෙන් එක්කෝ මොහු කැරලි කාරයෙකු ඒසේත් නැත්නම් සාමාන්තකයෙකුව සිට අධිරාජ්‍යයකින් වෙන්වුනු පාලකයෙකු බව පෙනී යයි. ඔහු රාජ්‍ය පාලනය කරන්නේ සේනාවේ අනුමැතිය මත මිස වෙනත් අයිතියක් නිසා නොවන බව හෝ එසේත් නැත්නම් ඔහුට රාජ්‍ය බලයට හිමිකම් කීමට ඇති ප්‍රධාන අයිතිය සේනාවේ ඔහුට ඇති අනුමැතිය බව විශේෂයෙන් පෙන්වා දෙයි. මොහු දුම්බර ජීවත් වූ බෝධි වංශයේ කුමරෙකු බව පොත්පත් කියයි. මෙවැනි ප්‍රාදේශීය රජවරු බොහොමයක් එකල වරින් වර දුම්බර විසූහ. පහල පිටියේ තුනයා සහ නාපාන ඈපා මෙවැනි නායකයන් ගෙන් දෙදෙනෙකි. 

මෙකල මහනුවර ඉතිහාසය විශේෂයෙන්ම, කරල්ලියද්දේ ජයවීර බංඩාර; අප ඉතිහාසයේ ප්‍රසිද්ධම චරිතයක් වන දෝන කතරිනා කුමරියගේ පියා, රජවන තෙක් එතරම් පැහැදිලිව ලේඛන ගතව නැත. මහනුවර නගරය පිලිවෙලකට රාජකීය අගනුවරක් වන්නේ (1590 - 1604) පලවෙනි විමලධර්මසූරිය රජුගෙන් පසුවය. ඔහු මහනුවර ආසියාවේ විශිෂ්ඨ අගනුවරක් බවට පත් කලේය. ඔහු සීතාවක රාජසිංහ රජු සහ පෘතුගීසීන් පිලිවෙලින් පරාජය කර කන්ද උඩරට රාජධානිය ලංකාවේ එකම රාජධානිය බවට පත්කර මහනුවර එහි අගනුවර බවට පත් කලේය. එපමනක් නොව ඔහු පෘතුගීසීන් හා බලන දී කල අවසන් සටනේදී මහනුවර රාජධානියට නියම හිමිකාරිය වූ වයස 14 ක් පමණ වූ දෝන කතරිනා කුමරිය සටන් බිමෙන්දීම විවාහ කරගෙන කන්ද උඩරට ඔටුන්නට දෙපැත්තකින් හිමිකම් ස්ථාපිත කර ගත්තේය.  

මෙකල ඕලන්දයෙන් ලංකාවට පැමිණි තානාපති වරයෙකු වූ අද්මිරාල් ස්පීල්බර්ගන් ඔහුගේ ගමන් විස්තරයේ මහනුවර ගැන කර ඇති ලියා ඇති සඳහනේ මහනුවර තිබෙන පූජනීය ස්ථාන යුරෝපයේ ප්‍රධාන දේවස්ථාන හා සමාන බවත්, රජුගේ මිදි වතු වලින් සාදන ලද වයින් ලෝකයේ හොඳම වයින් හා සමකල හැකි බවත් ලියා ඇත. 
                            ස්පීල් බර්ගන් හා විමලධර්මසූරිය රජු 

                                                         වැව සෑදීමට පෙර මහනුවර
 විමලධර්මසූරිය රජුගේ අකල් මරණය නිසා (මෙතරම් දේවල් ඉෂ්ඨ සිද්ධ කරගත් ඔහුගේ රාජ්‍ය කාලය අවුරුදු 14 ක් පමණක් විය.) මහනුවර නැවතත් දරුණු යුද්ධ කිහිපයකින් හෙම්බත් විය. ඉන්පසු රජ වූ විමලධර්මසූරියගේ ඥාති සොහොයුරු වූ සෙනරත් රජු බොහෝ විට තම රාජ සභාව පවැත්වැව්වේ කඳුකරයේ වනගතව සිටය. ඉන්පසු මහනුවර යම් අස්වැසිල්ලක් ලැබෙන්නේ දෙවෙනි රාජසිංහ රජු ඕලන්දයින් හා එකතුව පෘතුගීසීන් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් 1658 දී එලවා දැමුනු පසුවය.  

මෙලෙස මහනුවර නගරය අලංකාර ලෙස ගොඩනගන විමලධර්මසූරිය රජු ඒ සදහා බොහෝ විට යොදා ගත්තේ සටන් වලදී අල්ලා ගත් පෘතුගීසී සිරකරුවන්ය. සමහර විට ඔහු විසින් ගොඩනගන ලද ගොඩනැගිලි වල යම් යුරෝපීය ආභාෂයක් දකින්නට පුලුවන් වන්නේ මේ නිසාය. ඔහුගෙන් පසු යම් සුලු වෙනස්කම් මහනුවර සිදුවුවද ඔහුගේ රාජ පරම්පරාවේ කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ රජු දළදා මාලිගාවට අලුත් අංගයන් කිහිපයක් එකතු කරන තුරු නගරයේ එතරම් වෙනස් කිරීම් සිදුවූ බවක් නොපෙනේ. මෙයින් පසු රටේ අනෙක් බොහෝ තැන්වල මෙන් නගරය අවට වෙහෙර විහාර බොහෝ ගණනක් අලුතින් ගොඩනංවන්නේ කිත්සිරි රජුය. දෙගල්දොරුව, ගල්මඩුව වැනි විහාර ඔහු විසින් තැනුනු ඒවාය. 

මෙයින් පසු මහනුවරට අලුත් එළියක් එක්කරන්නේ එහි අවසාන රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය. ඔහු නගරයේ රජයට අයිත්ව තිබූ කුඹුරු යායක් 1807 දී හෙක්ටයාර් 19 ක වැවක් බවට පත්කරයි. වැවේ බැම්ම කිලෝ මීටර් 3.4 ක් දිග වෙයි. මේ වැවට පහලින් ඇති දෙයියන්නේ වෙල යැයි ප්‍රසිද්ධ භූමියෙහි තිබී ඇත්තේද රජුගේ කුඹුරු යායක්ය; දෙයියන්නේ වෙල (රජුගේ කුඹුරු යාය.) රජු මෙම වැව සාදන්නට ඇත්තේ කුමන හේතුවකට දැයි හරියටම සිතාගන්නට බැරි වුවත් එය පහත හේතු සාධක තුනෙන් එකක් විය යුතුය. 

1. රජයට අයත් දෙයියන්නේ වෙල කුඹුරු සදහා වාරි මාර්ගයක් ඇති කිරීමට; වැවේ සොරොව්වෙන් ජලය ගලා යන්නේත් දෙයියන්නේ වෙල හරහාය. 
2. මහනුවර නගරය අලංකාර කිරීමට; ඔහු මෙම වැව  කිරි මුහුද යැයි නම් කිරීම මෙලෙස හිතන්නට හේතු සාධකයක් වෙයි. 
3. රාජ මාළිගාව හා ඒ අවට ප්‍රදේශය සතුරන් ගෙන් ආරක්ෂා කිරීමට; නගරයේ බෝගම්බර පැත්තේ සිට දැන් පුෂ්පදාන විද්‍යාලය දක්වා  වැවක් සහ වගුරු බිමක් එකල තිබූ හෙයින් එම දිය අගල අම්පිටිය පැත්තට දීර්ඝ කිරීමට ඔහු බලාපොරොත්තු වූවා යැයි සිතන්නට පුලුවන. 

ඉහත කුමන හේතුවකට හෝ සාදන ලද මහනුවර වැව මහනුවර නගරයට විශේෂ අභිලක්ෂණයක් ගෙන දී ඇත්තේය. එහෙත් එයින් නගරයේ දැන් ජීවත් වන්නන්ට සිදුවන්නේ හොඳක්ද නරකක්ද  යන්න පැහැදිලි නැත. රථවාහන ගමනා ගමනය පැත්තෙන් බලන විට නම් මෙය නගර වාසීනට මහත් කරදරයකි.   to be continued....
   


Monday, June 5, 2017

නාය යාමෙන් ජීවිත බේරාගත හැකි නිසැක ක්‍රමය.



අපේ ලංකාවේ නිතරම ගං වතුර ඇති වේ. ඒ බොහෝ ගං වතුර ඇතිවන අවස්ථාවල වැඩිපුර ජීවිත හානි වන්නේ ගං වතුර නිසා නොව අධික වැසි නිසා ඇතිවන නාය යෑම් වලින් බව පෙනේ.  

නාය යෑමක් යනු පස් කන්දක් හෝ ලොකු ගල් පර්වතයක් කඳු සහිත ප්‍රදේශයකින් ඇදවැටීම හෝ පහලට කඩාගෙන යාමය. මෙතෙක් ලෝක ඉතිහාසයේ දරුණුම නාය යෑම සිදු වී ඇත්තේ චීනයේ නින්ග්සියා ප්‍රදේශයේ 1920 දීය. එහිදී මිය ගිය ගණන ලක්ෂයකට අධිකය. ඊලගට 1999 වෙනින්සියුලාවේ වර්ගාස් ප්‍රදේශයේ 30,000 ක් මිය යෑම දෙවෙනි තැනට එයි. මෑතකදීම සිදු වූ මෙවැනි ඛේදවාචකය ඉන්දියාවේ 2013 උත්තරාකාන්ඩ් ප්‍රාන්තයේ 5700 ක් මෙලෙස මිය යාමය. 

දැන් අතුරුදහන් වී ඇතැයි කියන 75 ක් පමණ අපේ ජනයා හා මියගිය 202 න් ගං වතුරෙන් මිය ගිය ගණන 20 ක් පමන වන්නේ යැයි අනුමාන කල හැක්කේය. 250 ක් පමන මිය යන්නට ඇත්තේ නාය යෑම් වලින් බව පෙනී යයි. මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ගං වතුර ක්‍රමයෙන් වැඩි වන්නේ වුවත්, නාය යෑම් ක්ෂණිකව සිදුවන නිසාත් නිවසක් ඇතුලත සිටියදී නිවස නාය ගියහොත් නිවස පසට යටවීමය. 

මේ අනුව බලන විට ගං වතුරෙන් වන හානිය වැඩි වශයෙන් සිදු වන්නේ දේපලවලටය. නායයෑම් වලින් වැඩි හානියක් සිදු වන්නේ ජීවිත වලටය. ගං වතුර වලක්වන්නට නොයෙකුත් ක්‍රම තිබේ. එක් ක්‍රමයක් නම් යම් ජල පහරක ගං වතුර මට්ටමෙන් ඔබ්බට යාමට පෙර ඒ ජලය එම ජල මාර්ගයෙන් ඉවත් කර වෙනත් ජලය අඩු ජල මාර්ගයකට ගෙන යාම ගං වතුර අඩු කිරීමයි.

 ලංකාව වැනි කුඩා එමෙන්ම වර්ෂාපතනය නියමිත කාලයකට ලැබෙන මධ්‍යම කඳුකරයෙන් සියලුම ප්‍රධාන ජල පහර ගලා බසින රටක් භූගෝලීය වශයෙන් මෙවැනි ඉංජිනේරුමය ව්‍යාපෘතියකට සැලසුම් සහගතව භූගෝලීය වශයෙන් නිර්මාණය කර ඇති රටක් වැනිය. තරමක ආයෝජනයක් අවශ්‍ය වුවද මෙවැනි ව්‍යාපෘතියක් කිරීමෙන් ගං වතුර වැලැක්වීමට අමතරව තවත් බොහෝ ප්‍රයෝජන ලබාගත හැක්කේය. අවශය වන්නේ එඩිතර එමෙන්ම ඉංජිනේරුමය දැක්මක් ඇති නායකයෙකුය. 

අනෙක් පැත්තෙන් නාය යෑම වැලැක්වීම එතරම් පහසු කාර්යයක් නොවේ. එහෙත් නාය යෑමෙන් සිදුවන ජීවිත හානිය වලක්වා ගැනීම එතරම් අපහසු නැත්තේය. ඒ සදහා කල හැකි එකම ක්‍රියාව නාය යෑමට වැඩියෙන්ම ඉඩ ඇති ස්ථාන තෝරා ගැනීමයි. ඉන්පසු පහත සදහන් පියවර අනුගමනය කලහොත් වසරින් වසර නාය යෑමෙන් මියගිය හැකි මිනිස් ජීවිත ප්‍රමාණය 10%  බැගින් පමණ අඩුකර අවුරුදු 10 ක් පමන වන විට - ඒ කියන්නේ ඊලග ගං වතුරට පෙර නාය යෑමෙන් විපතට පත්විය හැකි ජීවිත ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වාගේ වලක්වා ගන්නට හැකිවනු ඇත. 


  • එක් එක් ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශවල වැඩියෙන්ම නාය යෑමට ඉඩ තිබෙන නිවාස 100 ඔවුන් අත ඇති සියලුම තාක්ෂණික හැකියාවන් යොදා මසක් ඇතුලත තෝරා දෙන ලෙසට ඒ සදහා වගකීම ඇති රාජ්‍ය ආයතන වලට නියෝග කිරීම. 
  • එම නිවාස වල අයිතිකරුවන්ට තව මාස හයක් තුල එම නිවාසවලින් ඉවත් වීමට දැනුම් දීම. 
  • නිවාස විස්සේ තට්ටු තුනේ තට්ටු නිවාස පහක් ප්‍රවේශම් තැනක ගොඩ නගා එම නිවාස අයිතිකරුවන්ට ලබාදීම. 
  • පවුල් ඉවත්කල ඉඩම් ඔවුනට ගොවිතැන් කිරීමට ඉඩ දී නිවාස සෑදීමට තහනම් කිරීම. 


මෙලෙස අවුරුදු පතා කිරීමෙන් සෑම අවුරුද්දකම බොහෝ විට නාය යන දිස්ත්‍රික්කවල නාය යාමට වඩාත්ම ඉඩ තිබෙන පවුල් 4000 ක් පමණ එම අනතුරෙන් ඉවත් වේ. මෙලෙස අවුරුදු 10 ක් ගියහොත් සම්පූර්ණ නාය යෑමට ඉඩ තිබෙන නිවාස සියල්ලම පාහේ එම අනතුරෙන් ඉවත් වේ. 

දැන් පිටරට වලින් ලැබෙන්නට තිබෙනවා යැයි නිතරම ටී.වී. වල කියන මුදල් මේ සදහා යෙදවිය හැකිය. ඊයේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ඇමරිකාවෙන් මිලියන 350 ක් ලැබෙන බව කියා සිටියේය. ඒ මුදල් සහ අනෙකුත් මුදල් දීමට අකමැති එහෙත් වෙනත් ද්‍රව්‍ය දීමට කැමති මෙම නිවාස ව්‍යාපෘතිය පිලිබඳව හොඳ යෝජනාවක් ලියා ඉදිරිපත් කරන්නේ නම් නිවාස 4000 ක් නොව 10000 ක් වක් සාදා ගැනීමට පුලුවන. 

මේ යෝජනාව කෙනෙකුට ආධාර කරන්නට සිතෙන සේ ඉහල තත්වයකින් ලියා ගත හොත් බිල් සහ මිලින්ඩා ගේට් වැනි පදනමකින් වුවත් ප්‍රධානයක් ලබා ගැනීමට බොහෝ ඉඩ තිබෙන බව මට හොඳටම විශ්වාසය. 


   

Wednesday, May 31, 2017

ලංකාවේ ආපදා කලමනාකරණය ; බස්තියන් පයින් යෑමක්ද?





ලංකාවේ ආපදා ඇතිවීම නිරතුරුවම සිදුවේ. ඒවා කොතරම් සිදු වන්නේද යත් අපට ඒ සදහා කැබිනට් අමාත්‍යවරයෙකුද සිටි. මා හිතන හැටියට ලෝකයේ ආපදා බොහෝ සිදුවන බංගලාදේශය, ඉන්දුනීසියාවේ හෝ ටහිටියේ වත් ආපදා කලමනාකරණයට ඇමතිවරයෙකු පත්කර නොමැත. 

ආපදා කලමනාකරණය යනු ගං වතුරක් පැමිණි විට අමුඩයක් ගසාගෙන එයට පැනීමවත්, කුණු ගොඩක් පෙරලෙන විට එය පෙරලෙන්නට නොදී උරිහ තබාගෙන සිටීමවත් නොවේ.  

ආපදා කලමනාකරණයේ ප්‍රධාන අරමුණක් විය යුත්තේ ආපදාවක් සිදු වන්නට නොදී නවතා ගැනීමය. උදාහරණයක් වශයෙන් පසුගිය දිනක කළුතර සිදු වූ බෝට්ටු අනතුර ගත හැක. මෙතනදී මේ බෝට්ටු පෙරහැර සෑම වසරකම සිදුවන්නක් නම් ආපදා කලමනාකරනයේ යෙදෙන්නන් විසින් සිදුකල යුතුව තිබුනේ,


  1. බෝට්ටුවට ආරක්ෂා සහිතව රැගෙන යා හැකි ප්‍රමාණයක් පෙර නිර්නය කර ඊට වඩා ගෙන නොයාමට කටයුතු කිරීම. 
  2. එම බෝට්ටු වල ඒ යන පිරිස් වලට අවශ්‍ය ප්‍රමාණයේ ආරෂිත උපකරණ තිබෙනවා දැයි සහතික කිරීම. 
  3. එම බෝට්ටු පදවන්නන්ට ඒවා පැදවීමේ හැකියාවක් සහ පුහුණුවක් තිබේදැයි පරීක්ෂා කර බැලීම. 


වැනි දෑ සිදුකර ආපදාවක් සිදු වන්නනට තිබෙන ඉඩකඩ හැකි තරම් අඩු කිරීමයි. 

එහෙත් සමහර ආපදාවන්, විශේසයෙන්ම ස්වාභාවික ආපදා වැලැක්වීම ප්‍රායෝගික නොවේ. ගිනි කඳු පිපිරීම්, භූ චලන, ජල ගැලීම් සහ නාය යෑම් වැනි උපද්‍රව මේ ගණයට අයත්ය. මේවායින් අපට බොහෝ විට බලපාන්නේ - මීතොටමුල්ල වැනි අපිම හදාගත් ඒවා නොවන්නට ගං වතුර සහ නාය යෑම්ය. මෙයින් ගං වතුර ඇත්තෙන්ම නොයෙකුත් ඉංජිනේරු ක්‍රම යොදා වලක්වා ගැනීමට පුලුවන. වැස්ස වැඩි වී උතුරන ගඟක් රටේ එක් පැත්තක තිබෙනවා නම් රටේ තවත් පැත්තක වැස්ස අඩු නිසා සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා ජල පරිමාව අඩු ගඟක් තිබේ නම්, මෙය සෘතුමය ආකාරයට සිදු වන්නේ නම් ජලය වැඩි ගංඟාවෙන් ජලය අඩු ගංඟාවට ගුරුත්ව බලයෙන් ජලය ගෙන යා හැකි ඉංජිනේරුමය ක්‍රමයක් ඇති කිරිම මෙයින් එක් ක්‍රමයකි. 

එහෙත් මෙවැනි ක්‍රම සදහා විශාල ආයෝජනයක් අවශයයයි. ඒ ආයෝජනයටත් වඩා එඩිතර, නිර්මාණශීලී එමෙන්ම දුර දක්නා නායකත්වයක් තිබිය යුතුය. හැම දෙනාම සතුටු කරන්නට උත්සාහ කරන නායකයන්ට මෙවැනි දේ කිරිමට හිත හදා ගැනීමටවත් නොහැකිය. ලී ක්වාන් යූ එසේත් නැත්නම් අඩු තරමින් මහාතීර් මොහොමඩ් වැනි වූ නායකයෙකුවත් සිටිය යුතුය. ලංකාවේ නම් මෙතෙක් සිටි නායකයන් ගෙන් එවැන්නක් හිතන්නටවත් පුලුවන්. ඩී.එස්. සේනානායක හෝ ගාමිණී දිසානායක වැන්නන්ය. 

පසු ආපදා කලමනාකරණය මෙයට වෙනස්ය. ගං වතුර හෝ නාය යාම් සිදු වූ පසු එයින් අසරණ භාවයට පත්වන පුරවැසියනට සහන කටයුතු සිදු කිරීම හා හැකි තරම් ඉක්මනට ඔවුන් පෙර සිටි තත්වයට පත් කිරීම ආපදාවේ මෙම අදියරේ ප්‍රධානතම පරමාර්ථය විය යුතුය. මෙම කාලයේ බොහෝ දෙන සිදු වූ අපදාව හා ඉන් ඇති වූ නොයෙකුත් මිනිස් පීඩා නිසා ව්‍යාකූල තත්වයට පත්වේ. එකිනෙකාට වැරදි පැටවීම ආපදා කලමනාකරණය නිසි අයුරින් ඉටු නොවන්නේ යැයි චෝදනා එල්ල කිරීම සහ තමන් හැකි පමණින් ආපදාවන්ට ගොදුරු වූවන්ට සහන සැලසීමට උත්සාහ කිරීම වැනි දෑ සිදු වන්නට පටන් ගනී. 

ඇත්තෙන්ම මේ අවස්ථාවේ මේ කිසිදේකින් නොසැලී සම්පූර්ණ ආපදා කලමනාකරණයම ඉටුකල හැකි යාන්ත්‍රණයක් අප සතුව තිබේ. ඒ අපේ ත්‍රිවිධ හමුදාවන් වෙති. ඒවායේ සාමාජිකයෝ නොයෙකුත් ආකාරයේ නොයෙකුත් රටවල මෙවැනි අවස්ථාවන් වලට මුහුණදීම සදහා පුහුණුවක් ලබා ඇත්තෝය. 

 සංග්‍රාම විද්‍යාව පුහුණුවන විට යුද්ධයෙහි මූල ධර්ම දහයක් මුල් කරගෙන එම අභ්‍යාසයන් කරනු ලබයි. 

  1.  අරමුණෙහි සිටීම.
  2. කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ උදව් උපකාර කර ගැනීම. 
  3. ඉක්මනින් වෙනස්වීමේ හැකියාව.
  4. ධනාත්මක චින්තනය පවත්වා ගැනීම.
  5. මෙහෙයුම්වල ආරක්ෂාව.
  6. සතුරා පුදුමයට පත් කිරීම.
  7. අවශ්‍ය තැනට තමාගේ බලය යෙදවීම.
  8. වඩාත්ම කාර්යක්ෂම ලෙස මෙහෙයුම් කටයුතු සිදු කිරීම.
  9. මෙහෙයුම් නොකඩවා පවත්වා ගැනීමේ හැකියාව.
  10. ආක්‍රමනික හෝ ධනාත්මක ලෙස මෙහෙයුම් කිරීම.

  

මෙම මූල ධර්ම මත පුහුණු වූ සංවිධානයක් ආපදා කලමනාකරණයට වෙසෙසින්ම නිර්මාණය කරන ලද්දක් ලෙස පෙනේ. ඇත්තෙන්ම  තොරතුරු එකතු කිරීමද මෙයට ඉතා වැදගත්ය. හමුදාවල බුද්ධි යන වචනය පාවිච්චි කලද intelligence යන වචනයේ තේරුම පාවිච්චි කල හැකි තොරතුරු යන්නයි. පසු ආපදා කලමනාකරණයේදී ප්‍රධානතම අවශ්‍යතාවයක් වනුයේ පාවිච්චි කල හැකි තොරතුරුය. හමුදා සාමාජිකයන් මේ සදහාද හොදින් පුහුණු කර තිබේ. 

මෙයට අමතරව ත්‍රිවිධ හමුදා සතුව මෙවැනි අවස්ථාවලට මුහුණදීම සදහා අවශ්‍ය තරම් උපකරණ තිබේ. විශේෂයෙන්ම අවුරුදු 30 ක දරුණු යුද්ධයකින් පසු එකතුවී ඇති ආම්පන්න සහ උපකරණ ඕනෑම රටක කුඩා හමුදාවකට ඊර්ෂියා උපදවන තරම්ය. මෙවැනි ත්‍රිවිධ හමුදාවක් මෙවැනි ආපදා කලමනාකරණයන් සිදු කරන්නට හොඳම සංවිධානය නොවන්නේ කෙසේද? පුහුණුව, නායකත්වය, උපකරණ සම්පාදනය සහ ගැලපීම ඉහටත් උඩින්ය. එහෙත් එම හමුදා මෙවැනි අවස්ථාවක යෙදවිම මිට වඩා මනා සංවිධානයකින් කල යුතුව ඇත්තේය.

උදාහරණයකට මෙවර ගං වතුනේ හා නාය යෑමෙන් ප්‍රධාන වශයෙන් විපතට පත්වූයේ රත්නපුර, කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කයන්ය. කොළඹ මෙවර එතරම් අපහසුතාවයට මුහුණ දුන්නේ නැති වුවද කොළඹත් මේ කණ්ඩායමට ඇතුලත් විය යුතුය.

මා යෝජනා කරන්නේ මෙම දිස්ත්‍රික්ක පහ ත්‍රිවිධ හමුදා හතරේ ආපදා කලමනාකරණය සදහා බෙදා දීමයි. කොළඹ සහ කළුතර නාවික හමුදාවටද, රත්නපුර සහ මාතර යුධ හමුදාවටද, ගාල්ල ගුවන් හමුදාවටද, ලබා දීම සුදුසු වන්නේ එම හමුදාවල ප්‍රධාන පහසුකම් එම දිස්ත්‍රික්කවල තිබීම සදහා සලකා බලාය.

එම හමුදාවනට මෙම දිස්ත්‍රික්ක සදහා සම්බන්ධීකරණ නිලධාරියෙකු පත් කල හැකිය. මෙවැනි ආපදා සිදුවන්නේ කලාතුරකින් බැවින් එම නිලධාරීන් එම දිස්ත්‍රික්කයේම සිටීම අත්‍යවශය නොවේ. උදාහරණයක් වශයෙන් නාවික හමුදාවේ බටහිර ආඥාපතිවරයා කොළඹ දිස්ත්‍රික්කයටද, දකුණේ ආඥාපතිවරයා කළුතර දිස්ත්‍රික්කයටද, යෙදවිය හැක. ඔවුනට තමන්ගේ දිස්ත්‍රික්කයේ තොරතුරු එක්රැස් කරමින් සන්නිවේදන ජාලයන් ගොඩනගමින් සම්මන්ත්‍රණ සහ සාකච්ඡා පවත්වමින් ආපදාවක් සිදු වූ විට එයට කෙසේ මුහුණ දෙන්නේ දැයි සැලසුම් සකස්කර කලින් කල පුහුණුවීම් සහ පෙර පුහුණු පවත්වමින් ආපදාවන්ට මුහුණදීමට සූදානම් විය හැක.

මෙවැනි සංවිධානයක් ඇති කිරීමෙන් පහත ප්‍රයෝජන ලබා ගැනීමට පුලුවන.

  1. ආපදාව පටන් ගන්නා විටම එයට මුහුණදීමේ ක්‍රියාකාරකමද පටන් ගනී.
  2. ආපදා කලමනාකරණ ක්‍රියාවලිය මනා සංවිධානයකින් පවත්වාගෙන යාමට එක් ස්ථානයකින් ක්‍රියාත්මක වෙයි.
  3. සෑම සියලු ක්‍රියාවක්ම එක් ස්ථානයකින් සම්බන්ධිකරණය වේ.  
  4. බොහෝ දෙනෙකු එකම දෙය කරන්නට යන්නේ නැත. එමනිසා නාස්තිය අඩුවේ.
  5. මුලු දිස්ත්‍රික්කයේම ක්‍රියාකාරකම් වලට වග කියන්නේ එක් පුද්ගලයෙකි.
  6. පිටතින් එන උපකාර හා ආධාර ප්‍රදේශය ගැන දන්නා එක් පුද්ගලයෙකු මගින් සම්බන්ධීකරණය වේ.
  7. ආපදාවට ලක්වන නොයෙකුත් ප්‍රදේශවල පුද්ගලයන් ගං වතුරකදී එකතුවිය යුත්තේ කොතැනකද? එම ස්ථානයේ සිටින රජයේ නිලධාරියා කවුද? ඔහු හා සම්බන්ධ වන්නේ කෙසේද? යන සියලු දත්ත දිස්ත්‍රික් සංවරධන නිලධාරියා ලග තිබේ.
  8. දිස්ත්‍රික්කයේ තිබෙන සියලුම පසු ආපදා කලමනාකරණයට යොදා ගත හැකි සම්පත් පිලිබඳ විස්තර එක් තැනක තිබේ.
  9. ආපදාවට ලක් වූවන්ට උදව් කිරීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට සම්බන්ධීකරණ කාර්යාලය හා සාකච්ඡා කර ක්‍රියාත්මක විය හැකිය.
  10. තම තමන්ගේ දිස්ත්‍රික්කයේ ආපදා කලමනාකරණය හොදින්ම කිරිමට ඇති උනන්දුව නිසා එම සම්බන්ධීකරන නිලධාරීන් අතර සෞඛ්‍ය සම්පන්න තරඟයක් ඇති වීම.  
  11. දත්ත ගබඩාවක්  ස්ථාපිත වීම - මෙය තුල ගං වතුරට යටවීමට ඉඩතිබෙන ගම් , ඒවායේ ජිවත්වන ප්‍රමාණයන් , එම ගමෙහි ඇති ජනතාවට ප්‍රවේශමෙන් සිටිය හැකි  උස් ස්ථාන , එම ස්ථානයන්ට ගමන් කල හැකි ආකාරයන් , එහි කටයුතු සම්බන්ධීකරණය කල හැකි කෙනෙකුගේ දුරකථන අංක යනාදිය තිබිය යුතුය. එවිට ගං වතුරෙන් වතුරට රෝදය නැවත නැවත සොයාගන්නේ නැතිව එක්වරම වැඩට බැසිය හැක.
  12. රජයට ජනතාවගෙන් අකාර්යක්ෂම යැයි බැනුම් නොඅසා සිටිය හැකි වීම- ඇත්තෙන්ම පාර්ලිමේන්තුවේ කාර්‍යබාරය නීති සම්පාදනය කිරීමය. නීති සැදීම යනු මෙවැනි දෑ සංවිධානය කර පිහිටවිමය. ඉන්පසු එම කටයුතු හොදින් සිදුවන්නේදැයි පරීක්ෂාවෙන් සිටීමය. එලෙස කටයුතු සිදුවන්නේ නම් ජනතාව ඇමතිවරයා කොහේ සිටින්නේද අගමැතිවරයා කොහේ යන්නේද සොයා බැලීමට අවශ්‍යතාවයක් ඇති නොවනු ඇත. 
මේවාට අමතරව තවත් බොහෝ ප්‍රයෝජන මෙවැනි යෝජිත දිස්ත්‍රික් සම්බන්ධීකරණ ක්‍රමවේදයකින් ලබාගත හැක්කේය. මෙවැනි ක්‍රමවේදයක් ඇති කිරීමට සමහර විට ප්‍රාදේශීය දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් අතර යම් අකමැත්තක් ඇති වන්නට ඉඩ තිබේ. ඒ නිලධාරීන්ගේ හා දේශපාලඥයින්ගේ ප්‍රදේශයේ බලයේ ඛාදනයක් ඇතිවේදැයි යන සැකය ඉස්මතු වීමයි. නමුත් එවැනි සුලු බල අරගල වලට වඩා අප සියලු දෙන උත්සුක විය යුත්තේ මෙවැනි ආපදා අවස්ථාවක එහි කෘරත්වයට මුහුණ දුන් ජනතාවට හැකි උපරිම අයුරින් උදව් කර ඔවුන්ගේ ජීවිත යතා තත්වයට පත් කිරිමයි.

එසේ කිරීමට නම් අපි මේ සදහා අප සතුව ඇති හොඳම අවිය මුලු බලයම යොදා යෙදවිය යුත්තේය.      

Thursday, April 20, 2017

මිතොටමුල්ල කුනූ කන්දට විසදුමක් ඇත්තේම නැද්ද





මිතොටමුල්ල ඛේදවාචකය ලංකාවට අමුතු දෙයක් නොවේ. අපි ඛේදවාචකයෙන් ඛේදවාචකයට ජීවිතය ගෙවන ජාතියක් වෙමු. දැන් මාස කිහිපයකට පෙර කලුතර බෝට්ටු ඛේදවාචකය මුලු ජාතියම ශෝකයෙන් නැහැවීය. එහෙත් එම ඛේදවාචකය කාගේ වරදකින් සිදුවීද, ඔවුන්ට කුමන දඩුවම් දුන්නේද, එවැනි ඛේදවාචක අනාගතයේදී වලක්වා ගැනිමට කුමන පියවර ගත්තේද, අපි නොදනිමු.බොහෝ විට කිසිදු පියවරක් ගන්නට නැත. මේ ඛේදවාචකය කලමනාකරණය කරන්නට සුවිශේෂී වු අමාත්‍යංශයක් තිබෙන එකම රටේය.
ඇත්තෙන්ම දැන් පේන විදිහට ආපදා කලමනාකරණ අමාත්‍යංශය දැන් කැබිනට් ප්‍රොටෝකෝල් එකේ ඉතා ඉහලට පැමිණ ඇති බවට කිසිම සැකයක් නැත්තේය. සමහර විට එය මුදල් අමාත්‍යංශයට පමණක් දෙවැනි වී දෙවන ස්ථානයේ සිටින්නට පුලුවන.
ඛේදවාචක කලමනාකරණය මදකට පසෙකින් තබා මේ කුනු ප්‍රශ්නයට කුමන විසදුමක්   තිබේදයි බලමු.
කුනු කලමනාකරනය කිරීමට ඇත්තේ ක්‍රම 5 කි.
1.කුනු කොහාට හෝ ගෙනවිත් ගොඩ කිරීම - බොහෝ දියුනුවන  රටවල කෙරෙන්නේ මෙයයි.

2.ලෑන්ඩ් ෆිල් එකක් සාදා එයට කුනු දැමීම- ඇමෙරිකාව වැනි රටවල කෙරෙන්නේ මෙයයි- මේවා භූමියෙ ජලය අපිරිසිදු නොවන හා එමෙන්ම අසල්වැසියන්ට අපහසුවක් නොවන අන්දමින් සදා ඇති අතර කුනු මේවා ඇතුලට දමීමට ටොන් එකකට රුපියල් 6000 පමන මුදලක් අය කරනු ලැබේ.

3.කුනු විශාල දාහකයක් තුල පුලුස්සා දැම්ම.

4.කුනු පුලුස්සා එමගින් තාපය, විදුලිය, ලබා ගැනීම, - මෙම ක්‍රමය සුවිඩනය ඇතුලු යුරෝපා රටවල බොහෝ ප්‍රචලිත වුවද ඇමරිකාවෙ මෙමගින් සිදුවන පරිසර හානිය නිසා විවාදයක් පවතී. සුවිඩනයේ දැන් කුනු ඉවර වී එංගලන්තයෙන් කුනු අපනයනය කිරීමට කටයුතු සම්පාදනය කෙරේ.

5.කුනු ප්‍රතිචක්‍රිකරනය කිරීම- මෙම ක්‍රමය ලංකාවෙ බොහෝතැන්වල උත්සාහ කලද සෑම ව්‍යපෘතියක්ම පාහේ අසාර්තක වී ඇති බව පෙනේ.


මේවායින් නවතම හා වඩාත්ම තාක්ශනික ක්‍රමය වනුයේ කුනු පුලුස්සාවිදුලිය නිපදවීමය. එහෙත් ප්‍රශ්නය මූලික මුදල් යෙදවීමය. සාමන්‍යයෙන් එවැනි ජනකාගාරයකට රුපියල් මිලියන 6000 ක් පමන අවශ්‍යය. බොහෝ නගර මේවා පිහිටුවීමට ශාක්‍යකතා පරීක්ෂන කර අත්හැර දමා ඇත.ඇමෙරිකාවෙ ගුවන් හමුදාව මිලියන 7 ක් වියදම් කර ප්ලාස්මා ජනක ගාරයක් සාදා අසාර්තක වූ නිසා ටෙන්ඩර් කැඳවා ඩොලර් 25 කට විකුනා දමන ලද්දේය. කැනඩාවෙ එඩ්මොන්ටන් හි 2010 අවසන් කිරීමට තිබූ මෙවැනි ජනකාගාරයක් තවමත් මෙහෙයුම් තත්වයට ගෙන ඒමට බැරිව ලතවෙයි.
මෙවන් තාක්ෂනයෙන් සහා කලමනාකරන හැකියාවන්ගෙන් ඉතා ඉහල රටවලට තවමත් මේ තරම් ලොකුවට වරදින්නේ නම් නොරොච්චෝලේ මාස තුනක් එක දිගට දුවා ගන්නට බැරි අප ගැන කියනුම කවරේද?

ඒ නිස අප අපගේ හැකියාවනට හා තාක්ශනයට ගැලපෙන පරිදි මෙයට විසඳුමක් සොයාගතයුතුය. මේ විසඳුමට නොරච්චෝලෙ හා මීතොටමුල්ල එකතුකල යුතුය.

මීතොටමුල්ලලේ ජනන දාරිතාව MW 300 කි. MW 300 ක් දවසක් හදන්නට MWH 300 X24 ක් අවශ්‍යය. ඒ සඳහා ගල් අඟුරු  ටොන් 100ක් පමන අවශ්‍යය. මේ ශක්තිය ප්‍රමානයම හදන්නට කුනු ටොන් 700ක් පමන අවශ්‍යය. හරියටම කොලඹ නිපැදවන කුනු ප්‍රමානයටම සමාන ප්‍රමානයකි.

ගල් අඟුරු බලාගාරයක විදුලිය නිපදවන්නෙ ජලය රත්කර එම හුමාලයෙන් ටර්බයින් කරකැවීමෙනි. මෙම හුමාලය සෑදීම කුනු පිලිස්සීමෙනුත සිදුකල හැක. ස්වීඩනය වැනි රටවල විදුලිය නිපදවන්නේ මෙලෙසය.
එසේනම් අප නොරච්චෝලෙ හුමාලය නිපදවීමට කොලඹ කුනු ටොන් 700 පාවිච්චි නොකරන්නෙ ඇයි? අපට වෙනස් කරගතයුත්තෙ හුමාලය උනුකරන කොටස පමනී.
ඒ සඳහා අප විශ්ව විද්‍යාල වල සහය අපට ලභාගත හැක.

ගල්අඟුරු ආනයනය කරන්නට ඩොලර් යන්නේත් නැත . කුනු ප්‍රශ්නයත් අවසානය.
අකමැති වුවහොත් ඒ ගල්අඟුරු බ්‍රෝකර් ලා සහ ගල්අඟුරු ආනයනයෙන් ප්‍රයෝජන ලබන්නන් ය .


Thursday, March 2, 2017

රුපියල බහින්නේ ඇයි? එහි පල විපාක සන විසඳුම් කවරේද?






මේ දිනවල ඇමරිකානු ඩොලර් හා සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියලේ වටිනාකම බොහෝ සාකච්ඡාවට බඳුන්වන මාතෘකාවකි. ඩොලරයේ සහ රුපියලේ වටිනාකම් පිළිබඳව මුලින්ම යමක් කියවූයේ ශ්‍රී ලංකාවේ සිටි අන්තර් ජාතිකව ප්‍රසිද්ධ පොත් කතුවරයෙකු වූ ආතර් සී ක්ලාක් මහතාගේ පොතකය. 

මා එය කලකට පෙර මිලදී ගත්තද, දැන් එය කොතනක හෝ සැඟවී ඇත. මට මතක හැටියට එහි තිබුනේ ආතර් සී ක්ලාක් මහතාගේ ජීවිත කථාව වන අතර, එහි ඔහු ලංකාවේ පදිංචි වීමට තෝරාගෙන තමාගේ අම්මාට ලිපියක් ලියයි. එහිදී ඔහු 1956 වසරේ තමාගේ කොළඹ අලුත් නිවසට ගෘහ සේවකයෙකු බඳවා ගත් බවද, ඔහුගේ මාසික වැටුප, මට මතක හැටියට, රුපියල් පහක් බවද, එහි ඩොලර් වටිනාකම ඩොලර් දහයක් වන බවද කියයි. ඒ අනුව එකල රුපියලේ වටිනාකම ඩොලරයේ වටිනාකමට වැඩි බව පෙනේ. වසර 60 ක කාලයකින්, දැන් ඩොලරයේ අගය රුපියල් 153 කි. ඒ කියන්නේ 56 දී  සමාන අගයක් ගත්තත් අපේ රුපියල ඩොලරයට සාපේක්ෂව අඩුම තරමින් 153 ගුනයකින්වත් අඩු වී තිබේ. මේ කියන්නේ 15300% කින් අගය අඩු වී ඇති බවයි. මෙතරම් විශාල පසුබෑමක් පිලිගන්නටත් අමාරු නිසා එක්කෝ මට හෝ එසේත් නැත්නම් ආතර් සී ක්ලාක්ට මේ පිළිබඳ වැරැද්දක් වූවාදැයි සැක සිතෙන තරමට මේ පරිහානිය විශාලය. 

එය වැරදීමටත් බැරිය. 1980 දී ඩොලරයේ වටිනාකම රුපියල් 8 ක් බව මට හොඳට මතක මම මුලින්ම පිටරට ගියේ ඒ අවුරුද්දේ නිසාය.

මෙලෙස මුදල්වල වටානාකම අඩුවීම සිදුවන්නේ කෙසේද? මෙයට ප්‍රධානතම හේතුව අපි රුපියල් දී ඩොලර් මිලදී ගැනීමය. ඩොලර් මිලදී ගැනීමට වැඩි වැඩියෙන් උත්සාහ කරද්දී ඩොලරයට රුපියලට සාපේක්ෂව ඇති ඉල්ලුම වැඩිවෙයි. එසේ ඉල්ලුම වැඩිවන විට එහි මිලද අධික වෙයි. මෙය නිදහස් වෙළඳපොල මූලික ලක්ෂණයකි. අනික් අතට ලෝකයේ අනික් රටවල් ලංකාවේ නිපවන යම් දෙයක් මිලදී ගන්නට පොර කන්නේ නම් ඔවුන් එය මිලදී ගත යුත්තේ ඩොලර් වලින් රුපියල් මිලදී ගෙන එම රුපියල් වලිනි. එවිට රුපියල් වලට තිබෙන ඉල්ලුම වැඩිවෙයි. ඉල්ලුම වැඩි වුවද සැපයුම නියත නිසා රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ඉහල නගී. නැවතත් ක්‍රියාත්මක වන්නේ නිදහස් වෙළඳපොල මූලික සිද්ධාන්තයන්ය. 

උදාහරණයක් වශයෙන් අපි කාර් එකක් මිලදී ගන්නා විට මෙහෙ කාර් නිෂ්පාදනය කරන්නේ නැති නිසා පිටරටකින් ඩොලර් වලින් එහි වටිනාකම ගෙවා කාර් එක මිලදී ගත යුතුය. අපිට ඩොලර් නැති නිසා මේ සදහා ඩොලර් මිලදී ගත යුත්තේ එහි වටිනාකමට රුපියල් වලින් මුදල් ගෙවාය. එසේ මිලදී ගන්නා හැම ඩොලර් එකකටම රුපියලේ අගය සාපේක්ෂව ඉතා ස්වල්ප ප්‍රමාණයකින් අඩුවේ.  

අනික් අතින් අපේ මැද පෙරදිග ශ්‍රමිකයෙකු තමන්ගේ මාසික වැටුප වන ඩොලර් 500 ක් බදුල්ලේ ජීවත්වන තම පවුල වෙත එව්වොත් ලංකාවට එන විට ඔහු ඒ ඩොලර් විකුනා රුපියල් මිලදී ගනී. මෙලෙස රුපියල් මිලදී ගන්නා විට රුපියලට ඩොලරයට සාපේක්ෂව ඉල්ලුමක් ඇතිවේ. එවිට රුපියලේ වටිනාකම සාපේක්ෂව ඡායා මාත්‍ර ප්‍රමාණයකින් ඉහල යයි. මෙම ගනුදෙනු යම් සමබර තාවයකින් සිදුවන්නේ නම් මෙම මුදල් වර්ග දෙකේ සාපේක්ෂ අගයන් එතරම් විශාල ලෙස වෙනස් වන්නට නුපුලුවන.    

මෙලෙස මෙකල සිදු වෙමින් පවතින රුපියලේ අවපාතනයට කුමන හේතු කාරණා වී ඇත්දැයි බලමු. එවැනි කාරණා විය යුත්තේ අපි රුපියල් දී ඩොලර් මිලදී ගැනීම වැඩිවීමට තුඩු දී ඇති කාරනාය. පසුගිය කාලයේ නොතිබුනු දැන් සිදුවන එවැනි හේතු මොනවාද?  

  • වාහන වැඩිපුර මෙරටට ගෙන්වීම. ලංකාවේ දැන් දිනකට මෝටර් බයිසිකල්ම 1000 ක් පමන විකිනෙන බව මට සිතේ. 
  • අධ්‍යාපනය සදහා දරුවන් පිටරට යැවීම මේ සදහා ඉතා විශාල මුදලක් එක්වරම පිටරටට ඇදී යයි. වෛද්‍ය අධ්‍යාපනයට පිටරට යන සිසුවෙකුට ඔවුන්ගේ දෙමව්පියන් රුපියල් මිලියන 10 කට කිට්ටු ප්‍රමාණයක් ඩොලර් කරයි. සිසුන් 1000 ක් එසේ ගියොත් එය බිලියන් 10 කි.  
  • එයට අමතරව පිටරටට පදිංචි වීමට යන දරුවන්ට යවන මුදල්. විශේෂයෙන්ම ඕස්ට්‍රෙලියාව, නවසීලන්තය වැනි රටවල අධ්‍යාපනයෙන් පසු පදිංචි වන දරුවන්ට එහි නිවාස මිලදී ගැනීමට මෙහෙන් මුදල් යැවීම දැන් පුරුද්දක් වී තිබේ. එවිටද පහලට යන්නේ රුපියලේ වටිනාකමය.   
  • නොයෙකුත් උපාධි, ආයතන සහ අන්තර්ජාතික සමාජවල සාමාජික මුදල් සහ විභාග ගාස්තු යනාදිය. වසර පතා මේ හරහා මිලදී ගන්නා ඩොලර් ප්‍රමාණය මිලියන් සිය ගණනක් විය යුතුය. 
  • ශ්‍රී ලාංකිකයින් පිටරට සංචාරයට යාම මේ සදහාද රුපියල් වලින් ඩොලර් මිලදී ගත යුතුය.  
  • ජංගම දුරකථන, පරිඝනක ඇතුලු වෙනත් විද්යුත් උපකරණ මෙරටට ගෙන්වීමට මිලදී ගැනීම සදහා රුපියල් ගෙවා ඩොලර් මිලදී ගැනීම.


මේ සියලු වියදම් සදහා අප ඩොලර් සපයාගත යුත්තේ විදේශ ශ්‍රමිකයින්, මෙරටට පැමිනෙන සංචාරකයින් සහ තේ, පොල්. රබර්, ඇතුලු අපගේ සම්ප්‍රදායික අපනයන වලින් ලැබෙන සීමිත ඩොලර් ප්‍රමානයෙනි. 
අප රටක් වශයෙන් හම්බ කරන ඩොලර් ප්‍රමාණය වියදම් කරන ඩොලර් ප්‍රමාණයට අඩු වූ විට පැහැදිලිවම ඩොලර් සදහා ඉල්ලුම වැඩිවී ඩොලරයේ සාපේක්ෂ වටිනාකම ඉහල යයි, අපේ අහිංසක රුපියල පරිහානියට පත්වෙයි.  

බටහිර ආයෝජිකයින් ලංකාවේ ආයෝජනය කල මුදල් ආපසු ගැනීම හෝ අප ලබාගත් ණය වල වාරික ගෙවීම හැරෙන්නට වෙන ලොකුවට ඩොලර් එළියට යන ක්‍රමයක් හිතා ගන්නට අපහසුය. 

මෙයින් පෙනෙන්නේ අපිට එක් වරම රටේ ඩොලර් ආදායම වැඩිකර රුපියල පරිහානියට පත්වීම වලක්වා ගන්නට හදිසි ක්‍රමවේදයක් නොමැති බවයි. එසේ නම් ඒ සදහා ඇති එකම පිලියම ඩොලර් වියදම් අඩු කිරීමයි. ඒ සදහා කිසිම කරදරයක් නොමැතිව බිලියන ගණනක් ඉතිරි කරගත හැකි පහසුම ක්‍රමය රටතුල පුද්ගලික විශ්ව විද්‍යාලවලට ඉඩදීම බව පෙනේ.  


 

 ‍ෙ

Tuesday, February 28, 2017

කළුතර ජාතියේ කලු පැල්ලම; වගකිවයුත්තෝ කවරහුද?





පසුගියදා කළුතරදී සිදුවුනු ඛේදවාචකය මීට පෙර සිදුවූ එවැනි සිදුවීම් මෙන්ම තව ටික දිනකින් අමතක වී යනු ඇත. ආපසු මුලු ජාතියම මෙය අමතක කර නැවත වරක් සාමාන්‍ය ජීවිතයට ආපසු යනු ඇත. 

නමුත් මෙය එසේ අමතක කර දැමිය හැකි සුලු පටු කරුණක් නොවේ. මක්නිසාද රජයේ ආරක්ෂාව යටතේ රජයෙන් ආරක්ෂා කරන ස්ථානයක සිට තවත් රජයේ ආයතනයක් වෙත ගෙන යමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු මහ දවල් මහා මාර්ගය හරස් කර ස්වයංක්‍රීය අවි වලින් සන්නද්ධ වුනු දහ දෙනෙකුගෙන් පමණ පිරිසක් පැමිණ වෙඩි තබා මරා දැමීම සාමාන්‍ය අපරාධයක් නොවේ. එය ජාතියටම කලු පැල්ලමකි. ඇත්තෙන්ම රජයට රටේ ජනතාවට ආරක්ෂාව ලබාදීමට ඇති හැකියාව පිළිබඳව කෙනෙකුගේ හිතට ප්‍රශ්නයක් නැගෙන තත්වයකි. 

මෙම ප්‍රශ්නය තවත් බරපතල වන්නේ ශ්‍රී ලංකාව සාමාන්‍ය රාජ්‍යයක් නොවන නිසාය. මෙවැනි සිද්ධියක් පිළිබඳ කථාකරන විට අප සාමාන්‍ය රාජ්‍යයක් නොවන්නට හේතුව අපට මෙවැනි සිද්ධියක් වලක්වා ගැනීමට ලෝකයේ වෙන කිසිම රටකට වඩා හැකියාවක් තිබිය යුතු නිසාය. ලෝකයේ තිබෙන සියලුම රාජ්‍ය වලින් අපට වඩා ඒක පුද්ගල හමුදා භටයන් සිටින්නේ රටවල් 10 කටත් වඩා අඩු ප්‍රමාණයකි. එයිනුත් බහුතරයක් සිටින්නේ මැද පෙරදිග රටවල් වලය. අපේ සිවිල් ආරක්ෂක බලකාය පමණක් කෙන්යාවේ මුලු හමුදාව මෙන් දෙගුනයකි. පෘතුගාලය, උගන්ඩාව, ඔස්ට්‍රෙලියාවේ සහ කියුබාවේ රටවල මුලු හමුදාවම අපගේ සිවිල් ආරක්ෂක බලකායට සමාන වේ. 

එසේම අපි ලෝකයේ මෙතෙක් බිහිවූ දරුණුතම එමෙන්ම තාක්ෂණයෙන් ඉතා ඉහල තලයක සිටි බලවත් ත්‍රස්තවාදී හමුදාවක් අවුරුදු 30 ක දීර්ඝ කාලීන යුද්ධයකින් අවසන් කල ජාතියක් වෙමු. 

මේ සදහා අපි බොහෝ ආයුධ සහ ආම්පන්න මිලදී ගත්තෙමු. මෙම ආම්පන්න අතර හෙලිකොප්ටර් බොහෝ ගණනක් තිබිය යුතුය, තිබෙන බව අපි දන්නෙමු. 

මෙයට අමතරව යුද්ධයේදී බොහෝ දක්ෂකම් පෙන්වූ පොලීසියේ 6000 ක් පමණ වන එස්.ටී.එෆ් බලකාය දැන් නියමිත රාජකාරියක් නොමැතිව රූපවාහිනියේ පෙන්වන විදිහට කසල තේ කුඩු අල්ලමින් ගම්වල හොරට කපන ලද ලී අල්ලමින් කාලය ගත කරති. 

මේ සම්පත් පාවිච්චියට ගන්නේ නැත්තේ ඇයි? මෙවැනි බලවත් ආරක්ෂක තර්ජනයක් තිබෙන අවස්ථාවක ඒ සදහා ආරක්ෂාව ලබාදීමට සෑම ප්‍රධාන නගරයකම පොලිස් ස්ථානයකටම නිමේෂයකින් ප්‍රදේශයේ ඕනෑම ස්ථානයකට යැවිය හැකි විශේෂයෙන් පුහුණු කල කුඩා එස්.ටී.එෆ් කණ්ඩායමක් ස්ථානගත නොකරන්නේ ඇයි? 

යුද්ධයෙන් පසු ඉතිරි වී ඇති මෙවැනි අවස්ථාවකදී එසනින්ම යැවීමට රටෙහි අඩු ගණනේ ස්ථාන 7/8 ක හෙලිකොප්ටරයක් ස්ථානගත නොකරන්නේ ඇයි? 

දිවයිනේ ඇති ප්‍රධාන බන්ධනාගාර වලට ආරක්ෂක තර්ජනයක් හෝ මෙවන් ආරක්ෂක තත්වයක් ඇතිවිට පාවිච්චි කරන්නට 25 ක පමණ එස්.ටී.එෆ්. මුර පොලක් ඇති නොකරන්නේ ඇයි? 

මේ එක් යෙදවීමකටවත් අලුතින් මුදල් වියදම් කලයුතු ඒවා නොවේ. තමන් අත ඇති සම්පත් ස්මාට් ලෙස යෙදවීමට නොහැකියාව හෝ එසේත් නැත්නම් මැලි කමක් තිබෙන්නට ඇරෙන්නට අපට වෙන හිතා ගන්නට දෙයක් නැත. 

මෙවැනි ප්‍රශ්න බොහෝ ගණනක් අපට ඇතිවේ. ඒවා පිළිතුරු ආයාචනය කරමින් සිටිති.

ආරක්ෂක සැලසුම් සම්පාදනය කරන්නට අපේ මුදලින් වැටුප් බලන්නන් උත්සව භූමිවල කැරකි කැරකි ඉදීම සීමාකර රැකියාවේ ඇති වගකීම් පිළිබඳව මීට වඩා උනන්දු වුවහොත් මෙවැනි කොලොම්බියානු ස්ටයිල් තොග අපරාධවත් වලක්වා ගත්ත හැකි නේද? 

මෙවැනි දර්ශනයක් ටී.වී. එකකවත් දකින කෙනෙක් ලංකාවේ සංචාරයකට හෝ ආයෝජනයක් සදහා පැමිණීමට දෙවරක් නොව කීප වරක් නොසිතා සිටීද?     

Friday, February 24, 2017

සැබෑවින්ම ජාතියට ද්‍රෝහි වන්නන් කවරහුද?








දේශප්‍රේමය හා දේශයට ද්‍රෝහි වීම බොහෝ විට අපට අසන්නට ලැබේ. දේශප්‍රේමය යැයි කියන විට දේශය කියන්නේ කුමක්ද යන්න මුලින්ම සොයා බැලිය යුතුය. ඇත්තෙන්ම එහි රටෙහි ජීවත්වන ජනතාව ප්‍රධාන තැනක් ගන්නා අතර රටෙහි භූමිය සහ භූමියෙහි සහ ජනතාවට සතුටෙන් ජීවත්වීමට අවශ්‍ය දෑ මෙයට අයත් වෙයි. දේශප්‍රේමියෙකු නම් ජාතියේ සෑම සාමාජිකයෙකුටම, දේශයේ සෑම පුරවැසියෙකුටම අනෙකුත් තම සහෝදර සාමාජිකයිනට කරදරයක් පාඩුවක් නොවන ලෙසට සතුට සොයා යාමට ඉඩ ලබා දිමට සැමවිටම උත්සාහ කල යුතුය. 

මිනිසෙකුට සතුට සොයා යාමට කුමන දෑ තිබිය යුතුද? ඔහුට හෝ ඇයට මුලින්ම නිදහසේ, කාගේවත් පීඩනයකට ලක් නොවී ආහාර, ඇඳුම් පැළඳුම්, සෞඛ්‍ය පහසුකම් යනාදී  මූලික අවශ්‍යතා ලබා ගැනීමට ඉඩ තිබිය යුතුය. ඔවුන් ඒවා ලබා ගැනීමට උත්සුක වද්දී ඔවුනට සැනසිල්ලේ ඒවා සොයා ගැනීමට නීිතිය හා සාමය ක්‍රියාත්මක විය යුතුය. තමන්ට යම් අසාධාරණයක් හෝ වරදක් සිදු වුවහොත් යම් රාජ්‍ය යාන්ත්‍රණයක පිලිසරන පතන්නට හා ඉක්මනින් යුක්තිය පසදා ගැනීමට ක්‍රමවේදයක් තිබිය යුතුය. 

තමනට කැමති, තමනට හැකි යැයි සිතෙන රැකියාවකට පුහුණු වී එම පුහුණුවට ගැලපෙන රැකියාවක යෙදීමටද එසේත් නැත්නම් තමන් කැමති ව්‍යාපාරයක් කර ආදායම් උපදවීමට ඔහුට නිදහස තිබිය යුතුය. 

රටේ සියලු දෙනාටම එක තැනකට එකතු වී ජාතිය වෙනුවෙන් තීරණ ගැනීමට නොහැකි නිසා තමන්ට කැමති නියෝජිතයන් කණ්ඩායමක් තෝරා ගෙන එම නියෝජිතයින් කණ්ඩායම යම් කාල පරිච්ඡේදයක් තුල ජනතාව වෙනුවෙන් ජාතියේ කටයුතු කලමනාකරණය කිරීමද මෙහි අත්‍යන්ත කොටසක් වෙයි. එනමුදු මෙම නියෝජිතයින් කටයුතු කරන ආකාරය පිළිබඳව පරීක්ෂාවෙන් සිට ඔවුන්ගේ කටයුතු විවේචනය කිරීමට හා වරද පෙන්වා දීමට ජනතාවට සම්පූර්ණ නිදහස තිබිය යුතුය. එසේම කලා කටයුතු, ලිපි ලේඛන යනාදී .... සදහාද ජනතාවට සම්පූර්ණ නිදහස තිබිය යුතුය. ජාතියේ ආරක්ෂාව ජනතාව විසින් පත්කරගත් නියෝජිතයින් මත පැවරෙන වගකීමක් වන අතර, එය මනා ලෙස කලමනාකරණය කිරීමද ඔවුන්ගේ ප්‍රධාන වගකීම් වලින් එකක් වෙයි.    

යම් ජාතියක් දියුණු වන්නේ මේ සියලු කාරනා සම්පූර්ණ වූ කල්හිය. ලෝකයේ ඉහත දැක්වූ විධි විධාන නොමැතිව දියුණු වූ රටක් නැත්තේය. ඒවායින් සමහරක් පමණක් ඇතිව දියුණු වන රටවල්ද ක්‍රමයෙන් මේ සියලු කාරණා සම්පූර්ණ වන පාලනයක් දෙසට ගමන් කරයි. 

මෙවැනි සමාජ ක්‍රමයක් ඇතිකර ගැනීමට අකුල් හෙලන්නෝ ඇත්තෙන්ම ජාතියේ සත්‍ය ද්‍රෝහීන් යැයි හැදින්විය හැක. උහු, ජාතියට මෙලෙස ස්වාධීනව සාර්ථක රටක් ලෙස ලෝකයේ අනෙක් රාජ්‍යයන් ඉදිරියේ නැගී සිටින්නට ඉඩ නොදී ජාතියේ කකුල්වල එල්ලී ජාතිය මඩවලේම තබාගන්නට උත්සාහ කරති. 

මොවුන්ට මෙලෙස කටයුතු කරන්නට හේතු කිහිපයක් තිබෙන්නට පුලුවන. 
  • හරි දෙය නොපෙනීම. 
  • තමන්ගේ සමාජ තත්වයට යම් තර්ජනයක් වේයැයි කල්පනා කිරීම. 
  • තමන් කරන ව්‍යාපාරයන්ට තරඟය වැඩිවේයැයි බියවීම. 
  • යම් ගතානු ගතික අදහස්වල මුරන්ඩු ලෙස එල්බ සිටීම. 
  • තමන් දරන දේශපාලන මති මතාන්තර නිරවද්‍ය බව පෙන්වීමට. 
  • සමාජයේ යම් කොටසක් තුල ජනප්‍රිය වීමට ඇති කැමැත්ත. 

එසේ නම් ජාතියක ද්‍රෝහීන් වන්නේ කුමන ආකාරයේ තැනැත්තන්ද? 

  • පොදු දේපල, ජනතාවගේ දේපල, අවභාවිත කරන්නන්. 
  • රාජ්‍ය බලයෙන් ජනතා සම්පත් දූෂිතව හා වංචනිකව පාවිච්චි කරන්නන්. 
  • රටෙහි විදේශ විනිමය අනවශ්‍ය ලෙස රටින් පිටවීමට ඉඩ අරින්නන් සහ ඒ තත්වයට රට පත් කරන්නන්. 
  • රටෙහි පුරවැසියන්ට තමන්ට කැමති දෙයක් ඉගෙන ගැනීමට ඉඩ නොදෙන්නන්. 
  • ජාතික ආරක්ෂාව පිළිබදව තමන්ට ලැබුනු වගකීම හරිහැටි ඉටු නොකරන්නන්. 
  • පොදු සම්පත් සියලු ජනයාට සමාන ලෙස බෙදා හැරීම වැලැක්වීමට කටයුතු කරන්නන්. 
  • මාධ්‍ය සහ කලා කටයුතු නිදහසට අකුල් හෙලන්නන්. 
  • ජනතාව වෙනුවෙන් තමන්ට පැවරී ඇති රාජකාරිය අකුරට ඉටු නොකරන රාජ්‍ය සේවකයන්. 
  • ලෝකයේ දියුණු රටවල් වැඩ කරන ආකාරයට අප ජාතියට වැඩ කිරීමට ඉඩ නොතබා එම දියුණුවට ඇට්ටර ලෙස අකුල් හෙලන කණ්ඩායම්. 
  • පුරවැසියනට තමනට රිසි අධ්‍යාපනයක් හෝ පුහුණුවක් ලබා ගැනීමට අකුල් හෙලන්නන්. 

තවත් මෙවැනි ද්‍රෝහීන් වර්ග කිරීම් තිබිය හැකිද? 
   



Monday, February 20, 2017

ආපදා කලමනාකරණය කිරීමට ආපදාවක් එනතුරු බලාසිටීම.




පසුගියදා කළුතර කටුකුරුන්දේ සිදු වූ ඛේදවාචකය ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකි. අනතුරු කොතරම් වැලැක්වීමට උත්සාහ කලද  ඒවා කෙසේ හෝ සිදුවන්නේ යැයි අපට මේ වගකීමෙන් වලකින්නට බැරිය. එලෙස වගකීමෙන් ගැලවෙන්නට බැරි හේතුව මෙවැනි අනතුරු වලක්වාලන්නට පොදුජනයාගේ මුදල් වියදම් කර අපි දැනටමත් ක්‍රමවේදයන් නියමිත ස්ථානයන්හි ස්ථාන ගතකර ඇති නිසාය. 

අපි කුඩා කාලයේ සිදු වූ "ආසයි බයයි" බෝට්ටුව මීට අවුරුදු 37 කට පෙර නිල්වලා ගඟ දිගේ වෙසක් බලන්නට ගොස් පෙරලී 36 දෙනෙකු මියගිය විට ඒ පිළිබඳ ශෝක වී ඇන්ටන් ජෝන්ස්ගේ සිංදුවක් කියා සිද්ධිය අමතක කරන්නට අපට හැකියාව තිබුනේ එකල මෙවැනි සිදුවීම් වලක්වන්නට ක්‍රමවේද නියමිත ලෙස ස්ථාන ගත නොකර තිබූ නිසාය. 

නමුත් දැන් තත්වය එසේ නොවේ. මුලු රට පුරාම ආපදා කලමනාකරණයට නිලධාරීන් යොදවා ව්‍යුහයක් ඇතිකර අප බොහෝ මුදලක් ආයෝජනය කර තිබේ. ඇත්තෙන්ම මේ සදහා ඇමතිවරයෙකුද අප විසින් පත් කරගෙන ඇත්තේය. ඔහුටද ලොකු අමාත්‍යංශයකුත් අමාත්‍යාංශ ගොඩනැගිල්ලකුත්, ලේඛම්වරු, අධ්‍යක්ෂකවරු වැනි මෙකී නොකී නිලධාරීන්ද පත්කර අපි ඔවුනටද වැටුප් ගෙවන්නෙමු. දැන් ආසයි බයයි සිදු වූ ලෙසටම ශෝකය පලකර, සිංදු කියා අවසන් කිරීම සුදුසු නොවේ. 

මක්නිසාද එසේ වුවහොත් අප විසින් ඒ ආයෝජනය කල මුදල් වලින් ජනතාවට ප්‍රතිඵලයක් ලැබී නොතිබීමය. ආපදාව සිදු වූ පසු ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ කෙනෙකු රූපවාහිනියට පැමිණ මියගිය අයගේ සහ තුවාල කරුවන්ගේ ප්‍රමාණයන් අපට දැන්වීමෙන් පලක් නැත්තේය. අප වුවමනාවෙන් අසා සිටින්නේ ඔවුන්ගේ ආපදා වැලැක්වීමේ ක්‍රියා තුලින් කොතරම් පිරිසක්ගේ ජීවිත බේරා ගැනීමට එසේත් නැත්නම් කොතරම් වටිනාකමක දේපලක් බේරා ගැනීමට ඔවුනට හැකි වූයේදැයි දැනගන්නටය. අප ඒ සදහා යොදවන මුදල් වලින් ප්‍රයෝජනයක් ඇත්දැයි දැනගැනීමටය. 

එසේ අපට යහපත් ප්‍රතිඵල අරගෙන දෙන්නට නම් එවැනි ආපදා කලමනාකරණයට යොදවා ඇති නිලධාරීන් තමන්ගේ ආපදා බල ප්‍රදේශයේ සිදුවන්නට ඉඩ තිබෙන ආපදාවන් ලැයිස්තුවක් සාදා ගත යුත්තේය. එම ලැයිස්තුවේ ඇති ආපදාවන් සිදුවීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව (likelyhood) මීට පෙර ඒවා සිදු වී ඇති ආකාරය (pattern) අනුව ශ්‍රේණි ගත කල යුත්තේය. ඉන්පසු එම ආපදාවන් වැලැක්වීමට කුමක් කල යුත්තේදැයි විශේෂඥයින් සහ අත්දැකීම් ඇත්තන් සමග සාකච්ඡා කර මෙහෙයුම් සැලැස්මක් (action plan) සාදාගත යුත්තේය. 

මෙවැනි සැලැස්මක් සෑදීමේදී අධික මුදලක් වැයවන හෙලිකොප්ටර් සහ දොඹකර වැනි ඒවා ඇතුලත් කිරීමට පෙර වියදමක් නොමැතිව කල හැකි ක්‍රියාදාම වලට ප්‍රමුඛතාවයක් දිය යුත්තේය. 

මෙවැනි ක්‍රමවේදයක් තිබුනේ නම් කළුතර ප්‍රදේශයේ අවුරුද්දකට වරක් මෙවැනි බෝට්ටු පෙරහැරකුත් තිබුනේ නම් මේ සදහා ආපදා වැලැක්වීමේ ක්‍රියා පිළිවෙල කුමන ආකාරයකින් ක්‍රියාත්මක වන්නට ඉඩ තිබුනාද? 

  • මෙම බෝට්ටු පෙරහැර ආපදාවක් වියහැකි ලැයිස්තුවේ ඉහලින්ම තිබේ. 
  • බෝට්ටු කුමන වර්ගයේ ඒවාදැයි වර්ගීකරණය කර මෙවැනි අවස්ථාවක විවිධ වර්ගීකරණයන් ගෙන් යුත් යාත්‍රාවල වන්දනා කරුවන් කීදෙනෙකු යා හැකි දැයි දැනමුත්තන් සමග සාකච්ඡා කර ලේඛන ගතකර තිබීම. 
  • බෝට්ටු වරායෙන් පිටත්වීමට පෙර ඒ නියමිත ගණනට වඩා සිටිනවාදැයි පරීක්ෂා කර අධිකව වන්දනාකරුවන් සිටින යාත්‍රාවලට මුහුදට යැවීමට ඉඩ නොදීම. 


මෙවැනි ක්‍රමවේදයක් තිබුනේ නම් ජීවිත 16 ක් ආරක්ෂා වනු ඇත. දැන්වත්  මෙවැනි දෑ වැලැක්වීමට දැනට තිබෙන ආයතන සහ සම්පත් වඩාත් කාර්යක්ෂම ලෙස සංවිධානය කල යුත්තේ අනාගතයේදීවත් මෙවැනි දෑ සිදුනොවීමටය.  

ඒ අතරම මෙම සංවිධානයන්ගේ නම ආපදා කලමනාකරණය නොව ආපදා වැලක්වීමේ හා කලමනාකරණය කිරිමේ සංවිධානය ලෙස නම් කලහොත් අඩු තරමින් දිනපතා නම දකිත්දීවත් අපට වැලැක්වීමේ වගකීමක් තිබෙන බව දිනපතා මතක්වනු ඇත.   

Friday, February 10, 2017

හාල් සහ පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්න.







මේ වකවානුවේ ලංකාවේ වැඩියෙන්ම කතා බහට ලක්වන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්නයයි. එය දෙවැනි වනවානම් දෙවැනි  වෙන්නේ හාල් මිල පිළිබද ප්‍රශ්නයට පමණි. 

හාල් මිල පිළිබද ප්‍රශ්නයත් පුදුම ප්‍රශ්නයකි. වෙන ඕනෑම ප්‍රශ්නයක ජය - ජය, ජය - පරාජය හෝ පරාජය - ජය, ලෙසට ප්‍රතිපලයන් ඇතිවිය හැක්කේය. එහෙත් මේ හාල් ප්‍රශ්නයේ ඉතාමත් පුදුම සහගත කාරණය  නම් සියලුම පරදු දරන්නන් පරාජය වී සිටීමය.

  • ගොවියෝ 
  • සිල්ලර කඩ හිමියන් 
  • තොග ව්‍යාපාරිකයන්  
  • වී මෝල් හිමියන් 
  • පාරිභෝගිකයන් 
  • පිටරටින් සහල් ගෙන්නන් 


යන සියලුම පාර්ශවයන් අසතුටට සහ කෝපයට පත්ව සිටින බව පෙනේ. මෙලෙස එක් ප්‍රශ්නයක පරදු දරන්නන් සියලු දෙනා තමන් නියෝජනය කරන සමාජ කොටස මෙම ප්‍රශ්නයෙන් පාඩු ලැබුවා යැයි සිතන්නට පුළුවන් වන විදිහට මෙවැනි ප්‍රශ්නයක් අවුල් කර ගත හැකි කළමනාකරුවන් පිරිසක් ලෝකයේ වෙන කොහේ සිටින්නේදැයි සිතා ගන්නටත් අපහසුය. 

මෙවැනි පසුබිමක මේ විශ්ව විද්‍යාල ප්‍රශ්නය දෙස නිවිහැනිල්ලේ බලමු. 

විශ්ව විද්‍යාල ප්‍රශ්නයේ පරදු දරන්නන් කවරහුද මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ලබැදීයාවන් කවරක් වන්නේදැයි දැන් අපි පරික්ෂා කර බලමු. 

1.පුද්ගලික විශ්ව විද්‍යාලවල දැනට ඉගෙන ගන්නා සිසුන්  - ඔවුනට මහත් අවිනිශ්චිත තත්වයක් ඇති වී තිබේ. ඉක්මන් විසදුමක් මේ තත්වය මග හරවයි. 
2.එම සිසුන්ගේ දෙමව්පියන් - දරුවන්ගේ හැගීම් වලට සමානය.
රජය - පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඉඩ දීම රජයේ ඕනෑකම විය යුතුය. 
3.අපි, පොදු ජනතාව -
මුදල් වියදම් නොකර වෛද්‍යවරු ජනතාවගේ සේවයට එකතුවීම.
සිසුන් පිටරට අධ්‍යාපනයට යාමෙන් සිදුවන බිලියන ගණනක විදේශ විනිමය විනාශවීම නැවතීම. 

 4.රජයේ විශ්ව විද්‍යාලවල ඉගෙනගන්නා සිසුන් - තමනට රැකියා වෙළද පොලේ තරගයක් ඇතිවේයැයි සිතුවිල්ල.
5.ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, රුසියාව, චීනය, ජෝර්ජියාව, යුක්රේනය .... වැනි රටවල රාජ්‍යයන් සහ ඒවායේ පුද්ගලික විශ්ව විද්‍යාලවල අයිතිකරුවන් - මෙහි පු.වි.වී. ඇතිවීමෙන් ඔවුන්ගේ රටට ගලාගෙන එන විදේශ විනිමය සහ ලාබ නැතිවීම.  
5.ශ්‍රී ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලවල අයිතිකරුවන් - වී වී මගින් ලාබ ලබාගැනීමට හැකි වීම.
6.ශ්‍රී ලංකාවේ අනාගත ශිෂ්‍ය පරම්පරාව - පෙර නොතිබූ ආකාරයෙන් අධ්‍යාපන අවස්තා ඇතිවීම. 
7.සමහර වුර්තිකයින් - තමන්ගේ ව්‍යාපාරවලට තරගය වැඩිවේයයි බිය. 
වාමාංශික දේශපාලන පක්ෂ - වාමාංශික වූ විට සියල්ල රජයෙන්ම කල යුතු යයි ඇති හණමිටි අදහස්. 
8.තාමත් ලෝකයේ කොමියුනිස්ට් වාදය ක්‍රියාත්මක කල හැකියැයි සිතන්නන් - සිහින ලෝක මවා ගැනීම. 
9.රජය අමාරුවේ දැමීමට අවස්තාවක් ලැබෙනතුරු බලා සිටින්නන් - ලංකාවේ මෙවැනි කණ්ඩායම් වලින් අඩුවක් නැත්තේය. 
10.රජයෙන් පමණක් අධ්‍යාපනය කල යුතුය යැයි සිතන අය - ලෝකයේ සිදුවන දෑ ගැන නොතකා සිටීම.
11.පුද්ගලික විශ්ව විද්‍යාල තිබෙන විට තමන්ට ඒවාට යාමට මුදල් නැති නිසා දුප්පත් ළමුන් දුක් වේයැයි සිතන bleeding heart liberals - ඇත්තෙන්ම මෙහි සිදුවන්නේ මෙහි අනෙක් පැත්තය. පු වී වී  ඇතිවීමෙන් බැංකු නය ක්‍රම වලින් හා ශිෂත්ව මගින් බොහෝ දුප්පත් දරුවනට අධ්‍යාපන අවස්ථා ඇතිවනු ඇත්තේය.    
  
මෙවැනි තවත් ලබැදියා කණ්ඩායම් තිබේද ?

Saturday, February 4, 2017

ජාතියේ කුලකය, උප කුලක සහ මහ කුලක.









මම අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගයට ඉගෙන ගන්නා කාලයේදී මොඩර්න් මැත්ස් නමින් අළුත් ගණිතය විෂයක් මුල් වතාවට අප විෂය මාලාවට ඇතුල් කෙරිණ. එයට අළුත් බයිනරි සහ කුලක, වෙන් ඩයග්‍රම් යනාදිය ඇතුලත් විය. මෙම විෂයේ කුලක ප්‍රධාන තැනක් ගත්තේය. ඉංග්‍රීසියෙන් සෙට් යනුවෙන් හැඳින්වෙන මේවාට සිංහලට කුලක ලෙස පරිවර්තනය කෙරුණි. 

මෙම කුලක ක්‍රමය අනුව කල්පනා කරන විට අපේ ජාතියත් අපිට කුලකයක් ලෙස සැලකිය හැක. අප සියලු දෙනා සිටින එම මව් කුලකය ඇතුලේ තවත් බොහෝ උප කුලකයන් ජීවත් වෙති. ලෝකයේ ඕනෑම ජාතියක් මෙන් නොයෙකුත් රැකියාවන් කරන්නන්, නොයෙකුත් මට්ටමේ අධ්‍යාපනය ලැබූවන්, නොයෙකුත් ආර්ථික තත්වයේ සිටින්නන්, යනුවෙන් සඟ, වෙඳ, ගොවි, ගුරු, කම්කරු, යනාදී වශයෙන් සියලු දෙනා එහි සිටිති. 

ලක්ෂ දා හතරක් ත්‍රීවිලර් තිබෙන නිසා බංඩාරනායක මහත්මයා මේ දවස්වල පොදු ජන බලවේගය පිහිටු වැව්වේ නම් සඟ, වෙද, ගොවි, ගුරු, කම්කරු සහ ත්‍රීවීලර් (එසේත් නැත්නම් විදේශිකයින් කියන විදිහට ටුක් ටුක්) යනුවෙන් ඔහුගේ සටන් පාඨය පිළියෙල කර ගන්නට ඉඩ තිබිණ. 

දැන් මේ ප්‍රධාන කුලකයේ සිටින සියලු දෙනාම කුඩා උප කුලක වලට අයත් වේ. උදාහරණයක් වශයෙන් ගුරුවරු එක් උප කුලකයක් වෙයි. එහෙත් එම උප කුලකය නැවත උප කුලක තුනක් වෙයි. ඒ රජයේ ගුරුවරු, ජාත්‍යන්තර පාසැල්වල ගුරුවරු සහ ටියුෂන් ගුරුවරු යනාදී වශයෙනි. අවශ්‍ය නම් මේ උප කුලක නැවත නැවතත් උප කරන්නට පුලුවන. රජයේ ගුරු කුලකය ඉංග්‍රීසි හා විද්‍යා උප කුලක වශයෙන් නැවත බෙදන්නට පුලුවන.    

මෙම කුලක සියල්ලෙන් සෑදුනු ජාතිය නැමැති මහා කුලකය ඇතුලේ සිටින අය පොදු ජනතාව ලෙස හදුන්වනු ලැබේ. යම් කරුණක් නිසා මෙම පොදු ජනතාව නැමැති මහා කුලකය ඇතුලේ සිටින කුඩා උප කුලකයක් ප්‍රධාන කුලකයෙන් එළියට ගොස් තමන් සිටිනා කුඩා කුලකයට යමක් වැඩිපුර ලබාදෙන ලෙස මහ ජනතාව නැමැති ප්‍රධාන කුලකයෙන් ඉල්ලා සිටිති. ඔවුන් එසේ ඉල්ලා සිටින විට එම උප කුලකය හැරෙන්නට අනෙක් උප කුලක සියල්ල එකතු වී මේ අවස්ථාවේ තාවකාලික පොදු ජනයා නැමැති මහා කුලකය බවට පත්වේ. පොදු ජනයා නැමැති සියලු දෙනාට බෙදා ගැනීමට තිබෙන සම්පතකින් තම  උප කුලකයට යමක් වැඩිපුර ලබාදෙන ලෙසට ඔවුන් ඉල්ලා සිටිති. 

එලෙස ඉල්ලා සිටින උප කුලකයට යමක් වැඩිපුර දුනහොත් මහා කුලකයේ සිටින සියල්ලන්ගෙන්ම කුඩා සම්පත් ප්‍රමාණයක් අඩුවෙයි. එහෙත් එහි සිටින බොහෝ දෙනෙකුට මෙය පැහැදිලි නැත. ඒ නිසා ඔවූහූ මේ අසාධාරණය නොදැක්කාක් මෙන් සිටිති. ඇතුලේ සිටින තවත් සමහරක උප කුලක ඔවුනුත් මෙවැනි අසාධාරණ ඉල්ලීම් මීට පෙර කර ඇති නිසා හෝ අනාගතයේ කරන්නට සැලසුම් කරන නිසා නොදැක්කා වාගේ සිටිති. සමහර විට පොඩි උඩ ගෙඩියකුත් දෙති. 

මෙවැනි මහා කුලකයෙන් එළියට පැන යම් යම් දෑ ඉල්ලා සිටිය හැක්කේ හොදින් සංවිධානය වුනු, එසේම එම කුලකය මහා කුලකයෙන් එළියට ගිය විට මහා කුලකයට යම් අපහසුතාවක් දැනෙන සහ එම උප කුලකයෙන් කරන කියන දෑ ඔවුන් නොමැතිව කරවා ගැනීමට අපහසු උප කුලක වලට පමණි. 

උදාහරණයක් වශයෙන් ජාත්‍යන්තර පාසැල්වල ගුරුවරු එවැනි උප කුලකයක් නොවේ. රජයේ ගුරුවරුද එසේමය.

 ඒ නිසා ඇත්තෙන්ම මෙලෙස උප කුලක එළියට පැනීම නැවැත්වීමට නම් ඉහත කරණු තුනෙන් අඩු තරමේ එකක් හෝ ඔවුන්ගෙන් ඉවත් කිරීමට ක්‍රමවේදයක් යොදා ගත යුත්තේය.   

නිවිති වලින් යකඩ උරා ගැනීම

 ඊයේ පෙරේදා මම නිවිති පැළයක් පිළිබඳව පෝස්ට් දෙකක් දැම්මෙමි. එහිදී නිමිතිවල ඇති යකඩ පිළිබඳව සාකච්ඡාවක් ඇතිවූ අතර මෙතුළ මා මිත්‍ර වෛද්‍යවරයෙක්...