Tuesday, October 31, 2017

සයිටම් සටන ; ජයග්‍රාහකයෝ සහ පරාජිතයෝ



සයිටම් සටන යයි බොහෝ දෙන හඳුන්වන ඇත්තෙන්ම රජයේ නොවන වෛද්‍ය විද්‍යාල මෙරට ඇතිකිරීමට විරුද්ධ ව වෛද්‍ය වෘතිය සමිතිය ප්‍රධානකොට තවත් බොහෝ පරදු දරන්නන් විසින් කරගෙන ගිය ව්‍යාපාරයට  යම් දුරකට විසඳීමක් ඇතිවී ඇති සැටියක් පෙනේ. මෙම ව්‍යාපාරයට පසු කලෙක එක්වූ කණ්ඩායම් බොහොමයක් විරුද්ධ බව පෙනුනද ඔවුනට GMOA නොමැතිව මෙම විරෝධතාවය පවත්වා ගැනීමට නොහැකි වන්නේ පහත කරුණු නිසාය.

  • වෛද්‍ය වරුනට  හැර සම්බන්ධ වී සිටින කිසිම කණ්ඩායමකට ජනතාවට දැනෙන වර්ජනයක් කරගැනීමට නොහැකි වීම.
  • වෛද්‍ය සිසුන්ගේ සමිතිද තම ජෙෂ්ටයන් වන වෛද්‍යවරුන්ට කන්දීම
  • වෛද්‍ය වරුන් සටනින් ඉවත් වූ විට මාධ්‍යයේ අවධානයද නැතිවීම
  • අන්තරය ඕනෑවට  වඩා කෑ ගසා ජනතාව ඉදිරියේ  ඔවුන්ගේ දේශපාලන ප්‍රාග්ධනය අවසන් කරගෙන සිටීම 
එහෙයින් මෙම සංකීර්ණ ප්‍රශ්නය විසඳීමට අඩි තාලම වැටි ඇතැයි පෙනේ.

දැන් අපි මෙම විසඳුම අවසාන විසඳුම වුවහොත් මෙම සටනේ සිටි නොයෙකුත් පරදු දරන්නන් අතර ජයග්‍රාහකයන් සහ පරාජිතයන් කවුදැයි බලමු.
ජයග්‍රාහකයන් -  

1. GMOA - ඔවුනට අවශ්‍යතාවය තිබුනේ සීමාසහිත රජයේ විශ්ව විද්‍යාල වලින් හැරෙන්නට පිටස්තර වෛද්‍ය විද්‍යාල වලින් වෛද්‍යවරුන් සෑදී ඔවුනට ඇතිවන තරඟය මඟහරිමටය. එය එසේම සිදුවිය. දැන් සයිටම් ආයතනය යම් අයුරකින් ලාභ නොලබන ආයතනයක් බවට පත් කලවිට අනාගතයේ කිසිම් ව්‍යාපාරිකයෙකු ලංකාවේ වෛද්‍ය විද්‍යාලයක් පටන් ගැන්මට සිතන්නට වත් හේතුවක්  නොමැත.
2.  ලංකාවේ සිසුන් අධ්‍යාපනය සඳහා යන රටවල පෞද්ගලික විශ්ව විද්‍යාල 
3. ඒවායේ මෙරට ඒජන්ත වරුන්
4. රජය - ලොකු හිසේ අමාරුවක් අවසන් වීම 
5. අන්තරේ සමහර නායකයන් - ඔවුන් ප්‍රිය කරන මාධ්‍ය ප්‍රසිද්ධිය මොහොතකට හෝ ඔවුන් වෙතට වැටීම.
6. අලුත්  වෛද්‍ය සභාව - ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ පුර්වකයන්ගේ අතපසුවීම් සහ දැකීමක් නොමැති වීම  නිසා ඔඩු ගොස් තිබූ මෙම ප්‍රශ්නය ඔවුන් ආ  විගස විසදාගන්නට හැකි වීම.  


පරාජිතයන් 
1. ජනතා විමුක්ති පෙරමුණ - ඉතිහාසයේ බොහෝ තැන්වල මෙන් ඔවුන් මෙවරත් වැරදි අශ්වයාට උදව් කළේය. අවසානයේ කෘතගුණ ලැබුනේ ප්‍රසිද්ධ අපහාසයකිනි.
2. අන්තරය - වැඩක් නැති බොරුවක් පසුපස ගොස් ජනතාව ඉදිරියේ තමන්ගේ යන්තම් හෝ තිබූ දේශපාලන ප්‍රාග්ධනය බරපතල ලෙස ජනතාව ඉදිරියේ ක්ෂය කර ගත්තේය
3. සාමාන්‍ය ජනතාව- 
(a ) අනාගතයේ රජයේ නොවන විශ්ව විද්‍යාල ඇතිවීම මේ විසඳුමෙන් කෙලින්ම නැවත්වෙන  බැවින්  රටේ බලවත් අවශ්‍යතාවයක් වන සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ වෛද්‍ය වරුන් තමන්ට වියදමක් නැතිව නිපදවා ගන්නට  තිබූ අවස්ථාව දැන් සයිටම් පමණකින් සැහීමකට පත්වන්නට සිදුවීම. 
(b) පිටරට  පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇදී  යන බිලියන ගණනක විදේශ විනිමය මෙරට රඳවා ගැනීමට තිබූ  අවස්ථාව නැති වීම.
(c) වෛද්‍ය අධ්‍යාපනය සඳහා පිටරට සිසුන් මෙරටට ගෙන්වා ගැනීමෙන් ලබා ගැනීමට තිබූ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් නැතිවීම. 
4. රජය - ඉහත ජනතාවට බලපාන හේතු සහ ජනතාව විසින් පත්කළ රජයක් වශයෙන් ජනතාවට හිතකර ප්‍රතිපත්ති ක්‍රියාවේ දීමට නොහැකියාව ප්‍රදර්ශනය වීම 
5. දාර වාමාංශිකයන් - සිසුන් කිහිප දෙනෙකු ගේ ජිවිත පරිත්‍යාග කර විදි සටන් කිරීමට තිබූ අවස්ථාව නැතිවීම 
6. විපක්ෂ කණ්ඩායම් - රජයේ කකුලේ තිබූ නිතර රිදුම් දෙන  කට්ටක් ඉවත්වීම 
7 . වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු - ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයන් බෝට්ටු රිටකින්  වත් අල්ලනු බිය වන ව්‍යාපාරයකට එඩිතරව  අත ගැසුවත් අවසානයේ එයින් ඉවත්වීමට සිදුවීම 
8. සයිටම් දෙමව්පිය සංගමයේ කොටස් -  අවසාන මොහොතේ මැදට පැන තම දරුවන්ටත් නිකං ඉතිරි ටික ඉගනගන්නට පුළුවන් දැයි බැලූවත් හරිගියේ නැත   

සමහර පරදු දරන්නන් කණ්ඩායම් දෙකේම සිටීම තරමක් අවුල් සහගත වුවත් ඔවුන්ට පරාජයන් සහ ජයග්‍රහණයන් දෙකම ලැබීම නිසා එසේ කරන්නට සිදුවිය.

Saturday, October 28, 2017

රජකු වනවානම් කොමියුනිස්ට් රටකය







'කියුබාවට අත නොතබනු' යනුවෙන් අප පාසල් යද්දී තාප්ප පුරා පෝස්ටර් ඇල වුනි. ලංකාවේ බොහෝ දෙනෙක් ; බොහෝවිට මේ පෝස්ටර් අලවන අය පවා ,  මේ කියුබාව  කොහේ තිබෙන්නේදැයි හරියට දැන සිටියේ නැත. දැන් එන තොරතුරුවල හැටියට කියුබාව අප හිතුවාට වඩා බොහෝ සිත්ගන්නාසුළු රටක් බව පෙනේ. වඩාත්ම සිත්ගන්නාසුළු බවක් පෙනෙන්නේ  විශේෂයෙන්ම විප්ලවවාදී  නායකයන්ටය. 

 ෆිදෙල් කස්ත්‍රෝගේ විවාහ ජීවිතය බොහෝ විචිත්‍රවත් එමෙන්ම සංකීර්ණ එකක් ලෙස පෙනේ. රටෙහි තිබුණු, තවමත් තිබෙන ප්‍රවෘත්ති වාරණය නිසා එතරම් එලි පෙහෙලියට නොපැමිණියත් බොහෝ කාලයක් සිට කියුබාව සහ ක්‍රස්තෝ පිලිබදව පරීක්ෂාවෙන් සිටින පුවත් පත් කලාවේදිනියක් වන ඈන් ලුවිස් බාඩච් ඔහුට දරුවන් කී දෙනෙකු සිටින්නේදැයි වැනිටි ෆෙයාර් සගරාව සදහා සම්මුඛ සාකච්චාවකදී ඔහුගෙන්  අසා සිටි විට ඔහු සිනහාසුනේය. ඉන්පසු

“සම්පුර්ණ  ගෝත්‍රයක්ම වාගේ.” 
යනුවෙන් පැවසුවේය.

මෑතකදී ඇය විසින් ලියන ෆිදෙල්ගේ සහ ඔහුගේ සහෝදරයාගේ ජීවිත ගැන පොතක මේ පිලිබදව පැහැදිලි විස්තරයක් සදහන් වෙයි.

1959 විප්ලවයට පෙර හා පසුව කඩවසම් ෆිදෙල්ට විප්ලවයෙන් , ඒ නිල ඇඳුමෙන් සහ කොහිබා කියුබානු සුරුට්ටුවෙන්  ලැබුණු ශෘංගාර පෙනීමත් ප්‍රසිද්ධියත්  නිසා විප්ලවය ජයග්‍රහණය කර හවානා නගරයට පැමිණෙන අවස්ථාවේ සහ මුල් කාලයේ ඇමරිකාවට පැමිණි විටද පියකරු තරුණියෝ ඔහු වටා රොක් වුහ.

ඔහුගේ පළමුවන බිරිද වූ මිර්ටා ගෙන් 1947 දී ලැබුණු පළමුවන දරුවා වූ ෆිදෙලිටෝ (කුඩා ෆිදෙල්) ගෙන් පසුව 1962 සහ 1974 ඔහුගේ පෙම්වතියක වූ ඩාලියා සොටෝ ඩෙල් වැලේ ගෙන් ඔහුට පුතුන් පස් දෙනෙකු ලැබිණ. ඔහුට මෙතරම් ලගින් සිටියද ඇය මුල් වරට රුපවාහිනියක දකින්නට ලැබුනේ 2003 වසරේදීය.

මෙයට අමතරව ෆිදෙල් වැරදුනු කැරැල්ලකින් පසුව සිරගත වී සිට 1955 නිදහස් කල අවදියේ ඔහුට දාව තරුණියන් තිදෙනෙකුට දරුවන් ලැබුණු බව සදහන් වෙයි. මෙයින් වඩාත් ප්‍රසිද්ධියට පත් වූ ධනවත් එමෙන්ම ඉහල පෙලේ පවුලක සාමාජිකාවක වූ අතිශයින් රූමත් නටාලියා රෙවුල්ටා, ෆිදෙල්ට දාව ඇය , ඇලීනා ෆර්නැන්ඩස් නම් දියණියකට උපත දුන්නාය. ඇය පසුව විප්ලවයේ ප්‍රධාන ආරක්ෂිකාවකද වුවාය.
1956 පන්චිටා පුපො සහ ජෝර්ජ් එන්ජල් නම් වලින්  ෆිදෙල්ට දරුවන් දෙදෙනෙකු බිහි වූ බවත් එයින් දෙවැන්නාගේ මව මරියා ලැබෝඩ් බව සදහන් වෙයි.

1960 ගණන් වල මුල 'සිරෝ' නැමැති පුතෙකු ෆිදෙල්ට දාව ඔහුගේ ලගම මිතුරියෙකු වූ සෙලියා සැන්චෙස්ගේ ලගම ඥාති, ඉතාම රූමත් නිල්  ඇස්  සහිත  තරුණියෙකුට ලැබුණි. මෙම මිතුරියද ෆිදෙල්ගේ පෙම්වතියක බවට ඕපාදුප එකල රටෙහි පැතිරිණ. මෙම පුතා ක්‍රීඩා වෛද්‍ය ක්ෂේත්‍රයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා කොමියුනිස්ට් පක්ෂයේ සුළු රාජකාරියක් කරන  නිලධාරිනියක හා  විවාහ වී හවානාහි සාමාන්‍ය ජිවිතයක් ගත කරයි. ෆිදෙල්ගේ  දරුවන්ගේ මුලු ගණන 11 ක් වන බවට විශ්වාශ කෙරේ. එහෙත් ඔහුගේ දරුවන්ට තමන්ගේ බලය පෙන්වීමට හෝ එම බලය අවබාවිත කරන්නට ඔහු ඉඩ දී නැත.


මෙයට හොඳම උදාහරණය ඔහුගේ ජෙෂ්ටම පුතා වූ ෆිදෙල්ටෝ ය. සියලුම දරුවන්ගෙන් වඩාත්ම ප්‍රසිද්ධියක්  ලැබුවේ ඔහුය. ඔහු රුසියාවේ පරමාණු බලය හැදෑරුවේය, 1970 සිට 1985 දක්වා පැවතුන එහෙත් අසාර්ථක වී අතහැර දැමුණු  කියුබාවේ න්‍යෂ්ටික බලශක්ති වැඩ සටහනේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය . සාර්ථක කර ගැනීමට නොහැකි වූ විට ෆිදෙල් ඔහු රැකියාවෙන් ඉවත් කලේ
“ ඔහුගේ නොහැකියාව නිසා ඔහු ඉවත්කලා,කියුබාවේ රජ පවුලක් නැහැ “ යයි කියමිනි.


නමුත් 2006 ෆිදෙල්ට බඩවැල් ආසාදනයක් වී තදබල ලෙස රෝගාතුර වූ විට ඔහු රටේ නායකයා ලෙස පත් කලේ ඔහුගේ බාල සහෝදරයාය. යාන්තම් රජ පවුලක් තිබී ඇති බව එයින් පෙනුනි.       

Wednesday, October 25, 2017

ගම තාක්ෂණයෙන් බලගැන්වීම ; නොකිරීම පුදුම සහගතය




අගමැති තුමා යන හැම රස්විමකම වාගේ තාක්ෂනය ගැන කතාකරනු දැකිය හැක. ඔහු කියන්නේ තාක්ෂනය දුප්පත් ජනතාවගේ සංවර්ධනය සහ ඔවුනට රැකියා සුලබ කිරීම සඳහා යොදාගන්නා බවය.  එතුමාට ඕනෑකම තිබෙන්නෙට පුළුවන. නමුත් තාක්ෂනය ජනතා සේවයට යොදවා ගත යුත්තේ ඇමතිවරුන්ය, දෙපාර්මේන්තු ප්‍රධානින්ය. ඔවුන් ඒ සඳහා උනන්දුවක් දක්වන්නේද යන්න නම් සැකයට කාරණයකි.

මක්නිසාද , තාක්ෂනය , විශේෂයෙන් ඩිජිටල් තාක්ෂනය ජනතාවගේ පහසුව සඳහා යොදවා ගන්නවා තියා ඒ පැත්තට යන්න හිතන බවක් වත් පෙනෙන්නට නැත.  ජනතාවගේ සුභසිද්ධිය සඳහා රජයකට අවශ්‍යතාවය තිබේනම් නොයෙක් ආකාරයෙන් ක්‍රියාකරන්නට පුළුවන. සිග්‍රගාමි මාර්ග , තට්ටු නිවාස , විශාල වාරිමාර්ග යනාදිය ගොඩනැංවීම  ජනතා සුභසිද්ධියට විශාල වශයෙන් දායකත්වයක් දැක්වුවද ඒවාට විශාල වශයෙන් ආයෝජන  අවශ්‍යය. 

අප හම්බකරනවාට වඩා වියදම් කරන රටක් නිසාත් අනාගතයේවත් ලොකුවට ඒ සමීකරණය අනික් පැත්තට හරවන්නට සැලසුමක් නැති හෙයින් මෙවැනි ව්‍යාපෘති සඳහා ආයෝජන කරන්නට එක්කෝ ආධාර ලන්බාගත යුතුය එසේත් නැත්නම් නය විය යුතුය, නය වන්නට වන්නට උගුල හිරවන බව කියන්නටත් දෙයක් නොවේ.

නමුත් අනික් පැත්තෙන් ඩිජිටල් තාක්ෂනය ජනතාවගේ ජිවිත පහසු කිරීම සඳහාත් රටේ අනෙක් බොහෝ ප්‍රශ්න වලින් ජනතාවට තිබෙන අපහසුකම් මඟහැරීම සඳහාත් රජයට ඉතාම අඩු ආයෝජනයකින් ඩිජිටල් තාක්ෂනය යොදාගත හැක ,එහෙත් ඒ පිළිබඳව කිසිම උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත. සමහරවිට ලොකු ආයෝජන නැත්නම් කරන අයට වාසි නැති නිසාදැයි දන්නේ නැත.

මම මිට පෙර මේ පිළිබඳව ලියු බ්ලොග් එකක් ලින්ක් කරන්නට කැමැත්තෙමි. 
 http://lakshmanillangakoon.blogspot.com/2016/07/blog-post_3.html

මේ ඉතාම සරල තාක්ෂනය මහජනයාගේ හිතසුව පිණිස සොච්චමක් මුදලකින් පාවිච්චි කිරීමයි. මෙලෙසටම හන්දි වල cctv සවිකිරීම ඒවායින් බලා වැරදි කරන අයට දඬුවම් කිරීම සතියකින් මහා මාර්ග අනතුරු 50%කින් අඩු කරනට මුල් වනවාට කිසිම සැකයක් නැත්තේය. දඩ ගැහැව්වේ නැතත් Hawtorne effect එකෙන්ම පමණක්ම සැහෙන ප්‍රමානයකටම පාරේ විනය හරියානු ඇත, අපරාධ කරුවන් අල්ලා ගැනීමද පහසු වනු ඇත. නමුත් කරනු බවක් නොපෙනේ.

අනෙක තමන්ගේ ප්‍රදේශයේ ඇති මංකොල්ල කෑමට ලක් විය හැකි ස්ථාන ; ඉන්ධන හල්, ස්වර්ණාභරණ සාප්පු වයි ෆයි හරහා එක ජාලයකට සවිකර සොරකමක් සිදුවන්නේ නම් බොත්තමක් එබූ පමණින් එය පොලිසියට දැන්විය හැකි ක්‍රම වේදයක් ගොඩනගන්නට ලක්ෂ පහ හයකින් පුළුවන , එසේ නොකරන්නේ ඇයි ? සිතා ගැනීමටවත් නොහැකිය.
මට මේ බ්ලොග් ඒක ලියන්නට අදහස් වුයේ මෙවැනි අත්දැකීමක් නිසාවෙනි. ඒ යම් අවශ්‍යතාවයක් සඳහා පොලිස් සහතිකයක් ලබාගැනීමට සිදුවූ විටකය. 

මම මුලින්ම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි සොයාගෙන ඇගෙන් පෝරමයක් පුරවා ගත්තෙමි. මේ සඳහා මට දින දෙකක් ගතවිය. ඉන්පසු මම මෙම පෝරමය පසුදින ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට ගෙන ගියෙමි. කිලෝ මීටර් 8ක් පමණ වන මෙම ගමන මම බසයක ගියා නම් බස් දෙකක පැය 4ක පමණ ගමනකි. මගේ පෝරමය පරික්ෂාකර නිලධාරිනියක එය අත්සන් කර දුන්නාය. ත්‍රි විලයක නම් රුපිය 700 ක් පමණ ගනු ඇත. මම එතනට දවසක් නාස්ති කරගෙන එතනට ගියේ ඇයි? ඔවුන් එහිදී මා පිළිබඳව කිසිවක් පරික්ශාකරන්නේ නැත. ග්‍රාම නිලධාරියාටම සහතිකය පොලිසිය වෙතට කෙලින්ම දී මගේ දවසක් ඉතිරි කර ගන්නටත් පාරේ වාහනයක් අඩු කරන්නටත් රජය ක්‍රම වේදයක් හදන්නේ නැත්තේ ඇයි?


ග්‍රාම නිලධාරියා කෙලින්ම පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත , අඩුතරමින් මුලදී  ග්‍රාමනිලධාරී කාර්යාල 3/4  බැගින් හෝ , ඩිජිටල් ලෙස සම්බන්ධ කර ප්‍රදේශයේ  පොලිස් වෙබ් සයිට් එකට ගොස් පොලිස් වාර්තාවක් ඉල්ලා සිටීමට ක්‍රම වේදයක් ඇතිකරන්නේ නැත්තේ ඇයි? අයදුම් කරු ගැන ග්‍රාම නිලධාරි සහතික වන්නේ නම් ප්‍රදේශයේ පොලිසියට කරන්නට තිබෙන්නේ පෙර වැරදි කර ඇද්දැයි පරික්ෂා කිරීම නම් ඒ සඳහා තාක්ෂණයත් තිබේ නම් පුරවැසියන්  මෙතරම් වටේ යවන්නේ ඇයි?
එලෙස කිරීමෙන් ශ්‍රමික දවස් දෙකක් හෝ තුනක්  ඉතිරිවෙයි. වාහනයක යන්නේ නම්  වාහන ධාවනය කිලෝ මීටර 40 ක් පමණ අඩුවෙයි, බස් වල යන්නේ නම්  සෙනග අඩුවෙයි, පොලිසියේ කාර්‍ය මණ්ඩලයේ කඩදහි වැඩ බොහෝ අඩුවී එම කාලය යම් ප්‍රයෝජනවත් රාජකාරියකට යොදවන්නට පුළුවන.


Sunday, October 22, 2017

බලය බෙදීම සඳහා ඉන්දියාව වැරදි උදාහරණයට ගැනීම


                    
                 ඉන්දියාවේ නොයෙකුත් ජාතින් නිසා බෙදා ඇති  අන්දම 

පසුගිය දවස් කිහිපයේ මම අවස්ථා  තුන හතරකම නොයෙකුත් පුද්ගලයන් විසින් මේ දවස්වල බොහෝ තැන කතාවෙන බලය බෙදීම පිළිබඳව, විශේෂයෙන්  එයින් ඇතිවිය හැකි නරක ප්‍රතිපල පෙන්වාදීමට ඉන්දියානු උදාහරණය ඉදිරිපත් කරනු දැක්කෙමි. ඇත්තෙන්ම බලය බෙදීමේ නරක ආදීනව පෙන්වා දීමට ඉන්දියාව හොඳ උදාහරණයක් නොවේ. ඉන්දියානු උදාහරණය පෙන්වා දෙන්නේ බලය බෙදීමේ ඇති හොඳ පැත්තයි.

ඉන්දියාව බටහිර ආක්‍රමනිකයින් පැමිණෙන විට රටවල් සිය ගණනකි. අබු සෆාර් බහදුර් ෂා ii ( 1776-1862)ඉන්දියාවේ අවසාන අධිරාජයා විය, එහෙත් උතුරු  ඉන්දියාවේ කුඩා කොටසකය. ඉංග්‍රීසින් විසින් මුලු ඉන්දියාවම එකම රාජ්‍යයක් ලෙස එකතු කළහ. ඉංග්‍රීසින්ගේ ඉන්දියාවට වර්තමානයේ පකිස්තානය , ඉන්දියාව සහ බංග්ලාදේශය අයත්විය. ඔවුන් ඇත්තෙන්ම අප එකල පරිපාලනයේ පහසුව සඳහා අපද ඉන්දියාවේ කොටසක් නොකිරීම පුදුම සහගතය.

ඉන්දියාවට නිදහස ලබාගැනීමට සටන් කරද්දී ඉන්දියාවේ හින්දු සහ අනෙක් ඉස්ලාම් නොවන  ආගම්  අදහන්නන් මුස්ලිම් මිනිසුන් සමඟ එකට එකතුව නිදහස සඳහා අරගල කළහ. එහෙත් අවසානයේදී මුස්ලිම් ජනතාව සඳහා වෙනම රාජ්‍යක් අවශ්‍ය බව මුස්ලිම් සංවිධාන විසින් තදින්ම ඉල්ලා සිටීම නිසා ඉංග්‍රීසින් විසින් මුස්ලිම් වරුන් වැඩියෙන් වාසය කල දැන් පකිස්තානය හා  බංග්ලාදේශය පකිස්තානය ලෙස ඔවුනට වෙන්කර දෙන ලදී.

බොහෝවිට මුස්ලිම් සංවිධාන මෙලෙස වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින්නට හේතුව නිදහස ලැබුණු පසු බහුතර හින්දු ජාතිකයන් මුස්ලිම් සුළුතරය පාගාගෙන පාලනය කරතියි යන බිය නිසාය. ඉන්දියාව නිදහස ලබාගත් පසු එහි නම වුවද හින්දුස්තාන් යනුවෙන් වෙනස් කරන්නට යන බවට ආරංචි පැතිරිණ. කෙසේ හෝ අවසානයේ ඉන්දියාව කොටස් දෙකකට බෙදින, ඒ බලය බෙදීමක් නොවේ , භෞතිකව රට බෙදීමකි.

ඉන්දියාවේ බලය බෙදීම සිදුවන්නේ රට ඇතුලතය. ඒ ඉන්දියාව ප්‍රාන්ත වලට බෙදිමෙදිය. ඒ භාෂා 100කට වැඩියෙන් කතාකරන  ජාතින් ද බොහෝ ගණනක් වන ඉන්දියානුවන්ට බලය බෙදා දීම සඳහාය.ඉන්දියාවේ ව්‍යවස්ථාවේ භාෂා 22ක් පිළිගෙන ඇති අතර මිනිසුන් 10000 කට වැඩියෙන් කතාකරන භාෂා 122 ක් වෙයි. මෙම ප්‍රාන්ත පද්ධතිය ෆෙඩරල් ක්‍රමයක් ලෙසද ඉන්දියාව ප්‍රාන්ත එකතු වී සැදුනු රාජ්‍යයක් ලෙසද අන්තර්ජාතිකව පිළිගැනේ. ඉන්දියාවේ බලය බෙදෙන්නේ මෙතැන දිය. එසේ නොමැතිව බොහෝ දෙන සිතා සිටිනා පරිධි 1947 පකිස්ථානය වෙන් කිරීමේදී නොවේ. 
ඉන්දියාවෙන් පකිස්තානය කදී යාමට එකල හින්දු මිනිසුන් විරුද්ධ වුහ. එහෙත් මුස්ලිම් මිනිසුන් හින්දු බහුතරය සැක කළහ. අවසානයේ ඉන්දියාවේ ඉතුරු වූ මුස්ලිම් මිනිසුන් ( ලෝකයේ දෙවෙනියට ලොකු මුස්ලිම් ජනගහනය ) කිසිම ප්‍රශ්නයක් නොමැතිව ලෝකයේ වැඩිම  වේගයකින් දියුණුවන බලගතු ආර්ථිකයකයේ ප්‍රධාන ධාවකයන්  ලෙස ඉන්දියාව ඉදිරියට ගෙන යයි.
මේ නිසා ඉන්දියාව ඇත්තෙන්ම බලය බෙදා රට බේරාගෙන සශ්‍රීකත්වයට රැගෙන ගිය රාජ්‍යයකට හොඳ උදාහරණයක් මිස බොහෝ දෙන සිතන පරිධි  එහි අනෙක් පැත්තට උදාහරණයක් නොවේ.

Thursday, October 19, 2017

කැලේ පැත්තක තබා ගස සෙවීම ; ලංකාවේ රුපවාහිනී කලාව








මේ ලඟකදී අප හිරු චැනලයේ රාත්‍රී ප්‍රවෘති බලද්දී ඉතාමත් ශෝඛනිය ප්‍රවෘති වාර්තාවක් බලන්නට ලැබුණි. ඒ වයස  70ක පමණ අම්මා කෙනෙකු සිය දිවි නසා ගන්නට රත්මලාන පැත්තේ මුහුදු වෙරළට ආ කතාවයි. 
පුතුන් දෙදෙනෙකුගේ මවක් වූ ඇයට දරුවන් කරදර කරන බව කියා ඈ මෙලෙස ජීවිතය නැතිකරගැනීමට පැමිණියද මුහුද අසලට ගියපසු තම ජීවිතය නැතිකර ගැනීම ආගමේ හැටියට ඉමහත් පවක් බව මතක් වී වෙරළෙන් ඉවත්වූ පසු ඒ අසල ලෑලි ගෙදරක ජිවත්වන කාන්තාවකට මුණ ගැසී ඇත.

මෙම කාන්තාව ඇයගේ කතාව අසා ඇය තම නිවසට රැගෙන විත් ඇයට සලකා තම නිවසේ නිදාගන්නටද සලස්වා පසුදින ඇය පිළිබඳව පොලිසියට දන්වා ඇත. පොලිසියෙන් පැමිණ ඇය පොලිසියට රැගෙන ගොස් මෙම කාන්තාවගේ බාල පුතාට දන්වා ඔහු පොලිසියට ගෙන්වා ඔහුට ඔහුගේ මව ගෙදරට ගෙන ගොස් බලාගැනීමට බාරදී ඇත. ඒ බාරදී ඇත්තේ ඇය ජිවිත් නැති කරගැනීමට කටයුතු සැලවූ පුතෙකු වෙතය.

මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවන්නේ හද්ද පිටිසර ගම්මානයක නොවේ, මේ අපි මෙගා පොලිස් හදන්නට යන අප අගනුවර ආසන්නයේ වීම මේ ප්‍රශ්නයේ බැරෑරුම් කෑම  තවත් වැඩි කරයි.

මෙවැනි ඛේදවාචනිය මව්පියන් බලාගැනීමේ ප්‍රශ්න අපට TV වල නිතරම දක්නට ලැබේ. සමහර චැනල් ප්‍රවෘති වල අග හරියට යන නරඹන්නන් ගේ හදවතට කතාකරන ප්‍රවෘති සඳහා මේවා පාවිච්චි කරනු ලැබේ. දුප්පත් එහෙත් හොඳට ඉගෙන ගන්නට පුළුවන් ළමයින්, කැලේ අයිනේ ටකරන් නිවෙස් හදා ගෙන ජිවත් වන අම්මල සහ දියණියන්, රියදුරුට නින්දගොස් පෙරලුනු වාහන, යනාදිය මේ කැටගරියේ ප්‍රවෘති වෙයි. අපිට මේ ප්‍රවෘති පෙන්නා මේවා සිදුවුයේ කෙසේදැයි කියනු ලැබේ. අපි ඒවා බලා කනගාටු වී දරුවනට, ස්වාමිපුරුෂයාට , රියදුරුට රජයට බැනවැදී නින්දට යන්නෙමු.

මෙය චක්‍රයකි, අකාරුණික චක්‍රයකි. මෙය අවසන් වන්නේ කවදාද? අපිට මෙය අවසන් කල හැක්කේ කෙසේද? මෙලෙස TV එකේ සිද්ධිය පෙන්වීමෙන් හා අප හදවත් ශෝකාකුල කිරීමෙන් මෙම ප්‍රශ්නය විසදේද ? මම නම් හිතන්නේ නැත? එසේනම් කලයුත්තේ කුමක්ද?
වාහනයේ රියදුරුට නින්ද ගොස් සිටිබව පොලිසිය දන ගත්තේ කෙසේද ? සොයාබැලිය යුතුය, සමහර විට මෙම ස්ථානයේ වංගුවක  ප්‍රශ්නයක් නිසා රාත්‍රියට වාහන එලවද්දී රියදුරුට දිශාවක් වරදිනවා වන්නට පුළුවන. මේ පිළිබඳව කලකට පෙර මා විසින් ලියන ලද බ්ලොග් එකක මෙය මෙලෙස පැහැදිලි කර ඇත.

 http://lakshmanillangakoon.blogspot.com/2016/08/blog-post_40.html

දැන් මේ දරුවන් විසින් අතහැර දමන ලද දෙමව්පියන් ගේ ප්‍රශ්නය පිළිබඳව ප්‍රවෘති පෙන්වද්දී ඕනෑම පුද්ගලයෙකුගේ හිතට එන සිතිවිල්ලක් තිබේ. ඒ, මේ දෙමව්පියන්ට මෙවැනි අවස්තාවක් උදා වූ විට යාමට වැඩිහිටි නිවාස  නැද්ද යන ප්‍රශ්නයයි. වයස්ගත වූ කෙනෙකුට සරණක් නැත්නම් නොමිලේ  නැවතීමට සමාජයෙන් තැනක් ලබාදී නැත්නම් ඒ සමාජයෙන් ඇති වැඩය  කුමක්ද? සැම දෙයම නොමිලේ දෙන රටකට තමන්ගේ අසරණ වූ අහිංසක දෙමව්පියන්ට නැවතීමට තැනක් දීමට බැරිනම් එම ජාතියෙන් ඇති වැඩය කුමක්ද?

TV චැනල් එවැනි ප්‍රවෘති පෙන්නන විට තව ටිකක් ගැඹුරට ගොස් මේවා සාකච්චා නොකරන්නේ මන්ද?

ජාතියක ප්‍රධානතම වගකීම එහි නොතේරෙන කුඩා දරුවන් සහ අසරණ වූ වැඩිහිටියන් බලා ගැනීම නොවන්නේද? අනෙක් නොමිලේ දෙන දේවලට පෙර මේ වගකීම් දෙක අප සපුරාලිය යුතු නේද ?


සමාජයට වියදම් නොවන පුද්ගලික අධ්‍යාපනයට දිවි නොතකා විරුද්ද වන වෘතිය සමිති සහ දේශපාලන පක්ෂ වලට ඇත්තෙන්ම සමාජයට තිබෙන මෙවැනි මුලික වගකීම් නොපෙනීම අප රටේ ජනතාවගේ ලොකුම අවාසනාවකි.

Wednesday, October 18, 2017

වකුගඩු වසංගතය ට හේතුව කුමක්ද ?




අපි දැන් මාස කිහිපයකට පෙර පොලොන්නරුව ප්‍රදේශයේ සංචාරයක යෙදුනෙමු. නැරඹිය යුතු ප්‍රධාන දේශීය සංචාරක ස්ථාන වලට අමතරව අපත් සමග ගිය පවුල කලකට පෙර පොළොන්නරුවේ රැකියා කරද්දී ඔවුන් දැන  අඳුනාගත් පවුල් කිහිපයක් බැලීමටද ඔවුන් සමග ගියෙමු. ඔවුන් සමග කතාකරද්දී  මේ ප්‍රදේශ වල දැන් පවතින වකුගඩු වසංගතය ගැන මා ඔවුන්ගෙන් අසන්නට උත්සුක වුනෙමි. 

විශේෂයෙන් මෙම වසංගත තත්වය නිසා එහි ජන ජිවිතයේ බොහෝ වෙනස්කම් පිටතින් පැමිණ දවසක් දෙකක් ගතකරන කෙනෙකුට හෝ පැහැදිලිව පෙනෙන්නට තිබේ. වතුර පෙරා විකුණන කඩ බොහෝ තැන්වල ඇතිවී ඇත. අප සෝමාවතිය කිට්ටුව නිවසකට ගිය පසු මම ඒ නිවසේ අය ගෙන් මේ පිළිබඳව විමසුවිට ඔවුන් එම ව්‍යාධිය ඒ අවට නොමැති බව පෙන්නන්නට විශේෂ උනන්දුවක් ගන්නා  හැටියක් ද මට හැඟුනි. ඒ එවැනි රෝගයක් තිබෙන ප්‍රදේශයක ජිවත් වීම ලැජ්ජාවට කරුණක් නිසාද එසේත් නැත්නම් අප ඒ ගෙදරින් තේ බිමට අදිමදි කරයිදෝ යන සැකයෙන්ද දන්නේ නැත. 

නමුත් ලංකාවේ මෙම වකුගඩු වසංගතය ඔඩු දුවන තත්වයකට පත්ව තිබේ. සෞඛය අමාත්‍යංශයට අනුව මේ වනවිට රෝගීන් 400000 පමණ අප අතර සිටිති. ගණනට වඩා  භයානක කාරණය මේ රෝගයට කාරකය තවම සොයාගෙන නොමැති වීමයි. අනෙක් සැම ප්‍රශ්නයකදීම මෙන් අපේ විසේසඥයන් නොයෙකුත් හේතු ගෙනහැර පාති. එහෙත් තවමත් හරි හේතුවක් විද්‍යාත්මකව පෙන්නාදී නැත්තේය.

බොහෝ දෙන මෙම වසංගත තත්වය ඇතිවී ඇත්තේ ගොවිතැනට  රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා යයි කියති. මේ හේතුව නිසා ග්ලයිපොසේට නමැති වල් නාශකය ලංකාවට ගෙන්වීමද තහනම් කෙරින. ඇමෙරිකාවේ නිපදවන මෙම වල් නාශකය තවමත් ලෝකයේම  තහනම් කර ඇත්තේ රටවල් හතරක  පමණි. ඒ මෝල්ටාව, ලංකාව, නෙදර්ලන්තය සහ ආජන්ටිනාවයි. අප හැරෙන්නට  මේ ඒක රටකවත් මෙය තහනම් කර ඇත්තේ වකුගඩු අසනීප වලට මෙය හේතු වන බව නිසා නොවේ, වෙනත් හේතුන් මතය.

යුරෝපයේ හා  බටහිර බොහෝ දියුණු රටවල්  කෘෂිකාර්මික කටයුතු වලට පමණක් නොව දුම්රිය හා මහාමාර්ග දෙපස වල් පාලනය කිරීමට යොදාගන්නේද මෙවැනි වල් නාශකය. එසේනම් එම නාශක වලින් මෙවැනි වකුගඩු වසංගතයක් ඇතිවන්නේ නම් ඔවුනට අපට පෙර එම වසංගත ඇති විය යුතුය. එසේනම් ප්‍රංශය වැනි දියුණු, පරිසර පක්ෂ බලගතු  එමෙන්ම ලිබරල් රටවල් මෙවැනි වල් නාශක පාවිච්චිය නැවත්වීමට වහා පියවර ගනු ඇත.ඔවුන් තවමත් එවන් පියවරක් ගෙන නැත්තේය.

ලංකාවේ මෙම වසංගත තත්වය ඇතිව ඇත්තේ අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වලය. මේ දෙකම ලංකාවේ අනෙක් ගොවිතැන් කරන දිස්ත්‍රික්ක වලට වඩා උෂ්නාධිකය, විවෘත අවකාශයේ මහන්සිවී වැඩකරන්නන් අධික ලෙස විජලනයට ලක්වේ. මේ ලෙස  නිතර විජලනය වීම වකුගඩු රෝග වලට නියත හේතුවකි. අපේ ගොවියන් ; වෙනත් බොහෝ මහන්සිවී වැඩකරන්නන් මෙන්ම, වැඩ කරනවිට ලඟින් ජලය බෝතලයක් තබාගෙන පානය කිරීමක් සිදුවන්නේද නැත. 
මම මේ ලඟකදී චීනයේ සංචාරයක් කලෙමි. එහි එකල උෂ්නත්වය මෙහි තරම් නොවුවද සැම මිනිසෙකුම පාහේ වතුර බෝතලයක් අතේ තබාගෙන සිටි බව මම දුටිමි. මම චීනයේ දවසකට කොතරම් ප්ලාස්ටික් බෝතල් පාවිච්චි වෙනවා ඇද්දැයි ඒ වෙලාවේ කල්පනා කලෙමි. සමහරවිට මෙය රජය විසින් ධෛර්යමත් කරන්නක් විය හැක.

ලෝකයේ  දැනට වකුගඩු වසංගත තත්වයට  පත්ව ඇත්තේ ප්‍රදේශ කිහිපයක් පමණි. ඒවා නම් අප උතුරු මැද , දකුණු  ඉන්දියාවේ ඔඩිෂා සහ  අන්ද්‍රා ප්‍රදේශය, ඉහල ඊජිප්තුවේ අල් මිනියා ප්‍රදේශය, එල් සැල්වදෝර්, නිකරගුආ සහ මැක්සිකෝ සමහර ප්‍රදේශය. මෙම ප්‍රදේශ  භූගෝලීය පිහිටීමේ යම් විශේෂයක් ඇත. එනම් ඒවා සමකයට රළු වශයෙන් සමාන දුරකින් සමකයට උතුරින්  පිහිටා තිබීමය. මේවායින් ඊජිප්තුව හැරෙන්නට අනෙක් සියලුම තැන් වල මෙම වසංගතයට අසුවී සිටින්නේ ගොවියන්ය. අප අර්ධද්වීපයේ වී ගොවියන්ය, මධ්‍යම ඇමෙරිකාවේ උක් වගා වල කම්කරුවන්ය. 

මේ ගොවියන් හෝ කම්කරුවන් දහවල අව්වේ වැඩ කරති. වතුර බෝතලයක් වත් දවසකට පානය නොකරති. බොහෝ දෙනෙකු හැන්දෑවට කසිප්පු බොති. http://lakshmanillangakoon.blogspot.com/2016/06/blog-post.html

මේ ලඟකදී නිකරගුවාවේ උක් වගාවල කම්කරුවන් යොදා ගෙන කරන ලද පරීක්ෂණයකදී හේතුව  මේ පැත්තට යොමුකරන නිරීක්ෂණයන් ලැබී තිබේ. උක් වගාවක  නොයෙකුත් වර්ග වල රැකියාවන් කරන පිරිස් උක් කපන වාරය අවසන් වූ පසු වකුගඩු පරීක්ෂණයකට භාජනය කල පසු දහවල කට්ට අව්වේ මහන්සියෙන් වැඩ කරන්නන් ගේ වකුගඩු අසනීප වීමට වඩා ප්‍රවනතාවයක් ඇතිවී ඇති බව නිරීක්ෂණය වී ඇත.

අප රටේද කාන්තාවන් මෙම රෝගයට ගොදුරු වීම බොහෝ පිරිමින් හා  සසඳනවිට  බොහෝ අඩු බව පෙනේ. මෙයත් ඉහත නිරීක්ෂණය ශක්තිමත් කරන බව පෙනේ.

එසේම උතුරු මැද ගොවියන් මෙයට ගොදුරු වීමටත් එවැනිම දේශ ගුණික තත්වයන් තුල ගොවිතැන් කරන උතුරේ ගොවියන්ට මෙයට ගොදුරු වීම අඩු වීමටත් හේතුව කුමක් විය හැකිද?

මම කලකට පෙර යාපනේ රාජකාරි කරද්දී හදිසි පරික්ෂාවකට කණ්ඩායමක් සමග ගියෙමි. යම් සැකයක් නිසා නිවාස කිහිපයක් වටකර නිවෙස් එකින් එක පරීක්ෂා කරද්දී එම ගමේ තැපැල් ස්ථානාධිපති වරයා ඔහුගේ වත්තේ  පැලවලට වතුර දමමින් සිටියේය.

 " ඔබ රෑත් වැඩද  ?" 

" ඔව් අපි හඳ එලියෙමුත් වැඩක් ගන්න ඕනෑ ( යර්ස් , වී මස්ට් මේක් යුස් ඔෆ් ද මුන් ලයිට් ටු  " ඔහු පෙරලා පිළිතුරු දුන්නේය.
මෙය මට මතක් වුනේ යාපනේ ගොවියන්ගේ වැඩ කරන ආකාරය අපේ ගොවියන්ගෙන් වෙනස් වන්නේ කෙසේදැයි කල්පනා කරන විටය. මම එකල උදේ පාන්දර ඇවිදින්නට යනවිට ගොවියෝ තම කෙත්වතු වලට දැමීමට  පාරේ වැටි ඇති ගොම එකතු කරති.

මට හැඟෙන විදිහට ඔවුන් උදේ පාන්දර සහ හවස වැඩ කර පට්ට දවාලට වැඩ කිරීම මඟ අරිති. එයි විජලනය වැළකෙයි. මා දන්නා හැටියට උතුරේ ගොවියෝ අපේ ගොවියන් තරම් හැන්දෑවට බොන්නෙත් නැත. ඒකටත් එක්ක බොන්නේ ධිවරයන්ය.

මේ සියල්ල දෙස බැලුවිට මේ වකුගඩු ප්‍රශ්නය විසදන්නට ජිවත්වන ක්‍රම වේද වෙනස්කිරීම බොහෝ ප්‍රයෝජනවත් විය හැකි යයි පෙනේ. එයින් මෙයට ගොදුරු වුන අපේ සහෝදර ලාංකිකයනට එයින් එතරම් ප්‍රයෝජනයක් නොවුනද තවත් පරම්පරාවක් එයින් බේරාගැනීමට අපට හැකි විය හැක.







Sunday, October 15, 2017

රුසියානු යුධ නැවක් මිලදී ගැනීමට හේතුවක් සෙවීම






ජාතියක ආරක්ෂාව ස්ථාපිත කිරීම ඕනෑම රජයක මුලික වගකීමකි. ජාතික ආරක්ෂාව යනු රජය එහි පාර්ලිමේන්තුවත් එකතුව තමන් සතුව තිබෙන දේශපාලන , රාජ්‍ය තාන්ත්‍රික ,ආර්ථික, හමුදා ශක්තිය සහ අනෙකුත් බලයන් යොදාගෙන රාජ්‍ය සහ එහි පුරවැසියන් ආරක්ෂා කර ගැනීමයි. 

දේශපාලන ,රාජ්‍ය තාන්ත්‍රික සහ  ආර්ථික හැකියාවන් වර්ධනය වනවිට රටක බලය වැඩි වෙයි, ඒ සමගම ජාතිය සහ දේශය ආරක්ෂා කරගැනීම පහසු වෙයි. ඒත් සමගම රටේ ජනතාවගේ ජිවන මට්ටමද ඉහල යයි. නමුත් හමුදා ශක්තිය වර්ධනය කර ගන්නා විට සැලසුම් කරන්නන් ප්‍රවේශම් විය යුතුය. ඒ හමුදා බලය වැඩි කරගන්නට යොදන මුදල් වලින් ජාතියේ හමුදාමය ආරක්ෂාව වැඩි දියුණු වුවද අනික් පැත්තෙන් ජාතිය දුප්පත් වන නිසාය.

guns or butter කතාවෙන් කියන්නේ මේ පරස්පරයය, එසේත් නැත්නම් සීමාවන්ය.  හමුදා වලට වියදම් කිරීමේදී බොහෝ සැලකිලිමත් විය යුත්තේ මේ නිසාය. ප්‍රවේශමෙන් සැලසුම් කලයුත්තේ මේ නිසාය, මක්නිසාද මේ වියදම් කරන මුදල් ජාතියේ සංවර්ධනය සඳහා ආයෝජනය  කල හැකි සම්පත්ය, පුරවැසියන්ගේ බදු මුදලෙන් එකතු කරගත් මුදල්ය.

සෝවියට් රුසියාව කඩා වැටෙන්නට ප්‍රධාන හේතුවක් වුයේද මේ පරස්පරයය. තමන්ගේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන ආකාරයට ආරක්ෂාවට වියදම් කිරීමය..මේ නිසා ආරක්ෂාවට වියදම් කිරීමේදී එය බොහෝ සැලසුම් සහගතව කලයුතුය. මේ සැලසුම් කරද්දී ප්‍රධාන වශයෙන්  පහත සඳහන් කරුණු ගැන සැලසුම් කරුවන් විශේෂ අවධානයක් යොමු කලයුතුය.

  • අපට ඇති තර්ජනයන් මොනවාද ?
  • ඒ තර්ජන වලට සාර්ථකව මුහුණ දිය හැක්කේ කෙසේද ?
  • එසේ මුහුණ දීමට අපට අවශ්‍ය හමුදා උපකරණ මොනවාද?
  • එම උපකරණ ජාතියට අඩුම පිරිවැයකින් ලබා ගන්නේ කෙසේද? 
අපට ඇති තර්ජනයන් සම්බන්ධව මා මිට කලින් ලියු බ්ලොග් එකක කොටසක් පහතින් උපුටා දක්වමි.

 http://lakshmanillangakoon.blogspot.com/2017/10/blog-post_8.html

"තදාසන්න රාජ්‍ය වලින් පැමිණිය හැකි යුධ තර්ජන. - ශ්‍රී ලංකාව අවට තිබෙන රාජ්‍යය කිහිපය පිළිබඳව පරීක්ෂා කර බලා යුද තර්ජනයක් පැමිණිය හැක්කේ කුමන රාජ්‍යයකින්ද, කවර හේතුවක් නිසාදැයි අප මුලින් පරීක්ෂා කර බලමු. මෙලෙස අප පරීක්ෂා කර බැලිය යුත්තේ මාලදිවයින, පකිස්තානය, ඉන්දියාව, ම්යන්මාරය, තායිලන්තය  සහ බංගලාදේශය පමණි. මේ රටවල් අතරින්ද, අප වරක් මියන්මාරය ආක්‍රමණය කර ඇති වුවත් මාලදිවයින, මියන්මාරය ,තායිලන්තය පකිස්තානය සහ බංගලාදේශය අපට සම්පූර්ණයෙන්ම මේ සමීකරණයෙන් ඉවත් කල හැක්කේය.   

එම රටවල් අප හා විරුද්ධවාදීව යුද්ධයක් කිරීමට කිසිම හේතුවක් ඇතිවීමට කිසිම ඉඩක්  නොමැති නිසාය. නමුත් ඉන්දියාව අප සහශ්‍ර දෙකකට වඩා කාලයක් වරින් වර ආක්‍රමණය කර ඇත්තේය. අවසාන සිද්ධිය ; ඉන්දියාව සාම හමුදා 1987 දී ශ්‍රී ලංකාවට පැමිණීම, ආක්‍රමණයක් යැයි කිව නොහැකි වුවද අප රටේ ස්වාධීනත්වය යම් ලෙසකින් ව්‍යතිකමනය කිරීමක් යැයි සලකන්නට පුලුවන. 

මෙලෙස ඉතිහාසයක් තිබෙන නිසා ඉන්දියානු සාධකය විශේෂයෙන් පරීක්ෂා කල යුතුය. බටහිර ජාතීන් ; විශේෂයෙන්ම ඉංග්‍රීසි ජාතිකයින්, හදිසියේ වත් අධිරාජ්‍යය ගොඩ නැගීමට එසේත් නැත්නම් වෙළඳාමට මේ කලාපයට පැමිණියේ නැත්නම් මේ තත්වය අපට මීට වඩා බොහෝ බැරෑරුම් ලෙස බලපාන්නට ඉඩ තිබිණ. ඒ ඉංග්‍රීසීන් නොපැමිණියේ නම් ඉන්දියාව බොහෝ විට රාජ්‍ය කිහිපයක් ලෙස දේශපාලනික වශයෙන් සංවිධානය වී තිබීමට තිබුනු ඉඩකඩ නිසාය. 

එසේ වූවානම් බොහෝ විට දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ රාජ්‍යයන් එකතු වී එක් ද්‍රවිඩ රාජ්‍යයක් ඇතිවීමට බොහෝ ඉඩකඩ තිබුණ. එවැනි බලගතු ද්‍රවිඩ රාජ්‍යයක් ඉන්දියාවේ දකුණු දෙස ඇතිවූයේ නම් අපද බොහෝ විට එහි කොටසක් වීමට ඉඩ තිබුනු බව ප්‍රකාශ කිරීම එතරම් සත්‍යයෙන් ඈත  නොවේ. විශේෂයෙන්ම ලංකාවේ උතුරු කරයේ ඒ කාලයේ සිටි දකුණු ඉන්දියානු සම්භවයක් ඇති පිරිස් දකුණු ඉන්දියානු රාජ්‍යයන් හා බොහෝ කිට්ටුවෙන් ගනුදෙනු කිරීම මේ තත්වය ඇති කරන්නට බොහෝ සේ උදව් වන්නට ඉඩ තිබුණි.


වර්තමාන ලෝකයේ රටවල් දෙකක් අතර යුද්ධයක් ඇතිවීම ඉතාමත් කලාතුරකින් සිදු වන්නකි. මෑත ඉතිහාසය දෙස බැලූ විට රටවල් අතර යුද්ධ ක්‍රමයෙන් අඩු වී එන බවක් පෙනී යයි. මේ අතර විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජයයන් අතර යුධ වැදීම් ඇත්තේම නැති තරමටම අඩු වි ඇත. මේ සියවසටම එවැනි යුද්ධයක් ඇතිවූයේ රුසියාව සහ යුක්‍රේනය අතර පමණය. මෙයිනුත් රුසියාව ප්‍රජාතන්ත්‍රවාදී රටකට වඩා ප්‍රජාතන්ත්‍රවාදය හා ඒකාධිපති පාලනයක් අතර තිබෙන රටකි.


ඒ අතරම ඉන්දියාව දිනෙන් දින වඩා විවෘත රටක් වන අතර ප්‍රජාතන්ත්‍රවාදයට හා ආර්ථික සංවර්ධනයට රටක තිබිය යුතුව ගුනාංගයක් වන මාධ්‍ය නිදහස ඉන්දියාවේ ඉතාමත් ඉහලින් තිබේ. සමහර විට ඉන්දියාවේ මාධ්‍ය නිදහස ලෝකයේ එම නිදහස ඉහලින්ම තිබෙන රටක් විය යුතුය. විශේෂයෙන්ම ඉන්දියානු පුවත්පත් වල තත්වය, එඩිතරභාවය සහ අපක්ෂපාතිත්වය ඕනෑම රටකට උදාහරණයකට ගත හැකිය. මම කිහිපවරක් ඉන්දියාවේ කාලය ගත කර ඇති අතර එයින් දෙවරක් වසර බැගින්ය. එහිදී මා දිගටම සතිපතා Blitz නමැති පුවත්පත කියවන්නට පුරුදුව සිටියෙමි. එය මා කිසිම රටකදී කියවන ලද එඩිතරම පුවත්පත යයි කටපුරා කිවහැක. එවැනි රටක් තම අසල්වැසි මිතුරු රටක් ආක්‍රමණය කිරීම කිසිසේත්ම විය හැකි සිදුවිමක් නොවේ."

ඉතිහාසය ගත්තත් අවුරුදු 195 කට පෙර  1812 වසරේදී ශ්‍රී වික්‍රම රජුගේ හමුදා හන්වැල්ලේ දී  අවසාන වරට කල සටනෙන් පසු අප කිසිම විදේශීය රටක හමුදාවක් සමග යුද්ධ කර නැත්තේය. කල හෝ මුහුණදුන් යුද්ධ හෝ කැරලි තුනම අභ්‍යන්තර වියවුල්ය.

එසේ යුද්යධක් වීමට ඉඩක් නැත්තේනම් අප හමුදාවන්ට මුහුණ දීමට ඇති බාහිර තර්ජන සහ ආරක්ෂා කිරීමට ඇති දෑ මොනවාද?
  • පිටතින් පැමිණෙන මත් ද්‍රව්‍ය සහ ආයුධ රටට පැමිණීම  වැලැක්වීම
  • නීතියට පිටින් රට තුලට පැමිණෙන්නන් වැලැක්වීම
  • රටේ දේශ සීමාවෙන් සැතපුම් 200 සිට 350 දක්වා දිවෙන EEZ ස්වෛරී ආර්ථික කලාපය සහ අනෙක් සාගර කලාපයන්හි  ආර්ථික සම්පත් ආරක්ෂා කරගැනීම 
ඉහත සිතියමෙන් පෙන්නුම් කරන්නේ එලෙස අප  විසින් පරීක්ෂාවෙන් සිටිය යුතු ප්‍රදේශයයි.මෙහි වට දුර ප්‍රමාණය කිලෝ මීටර 3000 ක් පමණ වෙයි. දැන් මේ කිලෝ මීටර 3000 ලොකු යුධ නැවකින් මුර සංචාර කරන්නේ යයි සිතමු. නැවේ වේගය පැයකට කිලෝ මීටර 20 ක් පමණ වෙන්නේ නම් මෙම මුලු දුර ප්‍රමාණය සම්පුර්ණ මුර සංචාරයක් කිරීමට පැය 170ක් පමණ ගතවෙයි. දවස් 7කි. ඒ කියන්නේ නැව ඒක දිගටම මුර සංචාරය කලත් නියමිත් ස්ථානයක් නැවත පසුකරන්නේ සතියකට පසුවය. හොරෙන්  මාළු ඇල්ලීමට ,මත්ද්‍රව්‍ය,ආයුධ සමග නීති විරෝධිව ඇතුළු වන්නකුට පරික්ෂාවකට බඳුන් නොවී ඇතුළු වන්නට දවස් 61/2 පමණ අවකාශයක් තිබේ.

 මේ නැව මේ මුර සංචාරයට යෙදවීම වෙනුවට තිබෙන විකල්ප පිළිබඳව දැන් පරික්ෂා කරමු. සාගර මුර සංචාරයක් සඳහා නැව් වෙනුවට ඇති විකල්ප දෙකකි. ඒ ගුවනින් මුර සංචාර සහ චන්ද්‍රිකා පරීක්ෂාවන්ය. චන්ද්‍රිකා පරීක්ෂාවන් මේ සඳහා යෙදවිය හැකි රටවල් ලෝකයේ තිබෙන්නේ කිහිපයකි. අපට සිතීමටවත් නොහැකිය. එහෙයින් ඉතුරුව ඇති කුඩා ගුවන් යානා විකල්පය දෙස පරීක්ෂාවෙන් බලමු.

අප මේ සඳහා මුහුදු සංචාරක ගුවන් යානයක් මිලදී ගන්නේ යයි සිතමු. සාමාන්‍යයෙන් මෙවැනි ගුවන් යානයක වේගය පැයකට කිලෝ මීටර 500ක් පමණ වෙයි. කිලෝ මීටර 3000 මුර සංචාරයක් කිරීමට ගත වන්නේ පැය 6කි. අලුත් තාක්ෂණ නිසා මුහුද මතුපිට වීඩියෝ දර්ශන , රේඩාර් දර්ශන විශ්ලේෂණය කිරීම සඳහා  කෙලින්ම රට තුල පිහිටි මෙහෙයුම් මැදිරියකට එවන්නට පුළුවන. මුර සංචාරක කාර්යක්ෂමතාවය 170/6 එනම් 28 ගුණයකින් නැවට වඩා වැඩිය.

දැන් ඉන්ධන කාර්යක්ෂමතාවය බලමු, දැන් මේ ගන්නට උත්සාහ කරනවා යයි කියන  නවීන ෆ්රිගේට් පංතියේ නැවක ඉන්ධන දහනය එක නාවික සැතපුමකට ලීටර 75ක් පමණ වෙයි. තරමක මුහුදු සංචාර ගුවන් යානයක් එය නාවික සැතපුමකට ලීටර් 3 ක් පමණ වෙයි. කාර්යක්ෂම තාවය 15 ගුණයකටත් වඩා වැඩිය,
යොදවාගන්නා කාර්ය මණ්ඩලයන් සංසන්දනය කළහොත් ; 250:3,  කාර්යක්‍ෂමතාවය  83 ගුණයකින් පමණ වැඩිය.

නඩත්තු කිරීම් සහ අනෙකුත් පසු වියදම් සංසන්දනය කළහොත් ඇත්තෙන්ම ඒවා අහසට පොලොව මෙන් වනු ඇත. නැවක්, අලියෙකු හා  සමානය,   මිලදී ගන්නට පහසුය , වත්තේ ගැට ගසාගෙන සිටීමත් ගෞරවයකි, එහෙත්  කන්ට බොන්ට දී බලාගන්නට ඉඩම් විකුනන්ට සිදුවෙන්නට පුළුවන.

දැන් අපි වියදම් සංසන්දනය කරමු. ප්‍රවෘත්ති වල හැටියට නැව රුපියල් බිලියන 22.5 ක් වෙයි. මෙය යුද්ධ නැව් සඳහා විශාල මුදලක් නොවුවද අප වැනි දුප්පත් රටකට ලොකු මුදලකි. මම කලින් සඳහන් කල ආකාරයේ ගුවන් යානයක මිල පරික්ෂා කර බැලුවෙමි. හොද තත්වයේ ඇති පාවිච්චි කරන ලද  එවැනි යානයක් රුපියල් මිලියන 500 කට පමණ මිලදී ගන්නට පුළුවන . සියලුම අවශ්‍ය තොරතුරු එකතු කිරීමේ සහ සන්නිවේදන උපකරණ තවත් මිලියන 150 කින් සවිකර ගන්නට පුළුවන . මුලු වියදම බිලියන දශම .65 ක් පමණ වෙයි. අලුත්ම මේ සඳහාම නිපදවූ යානයක් බිලියන 3.75 කට පමණ මිලදී ගන්නට පුළුවන උපකරණ සවිකිරීමෙන් පසුව බිලියන 4ක් පමණ වෙයි. නැව මෙන් 5 ගුණයකටත් වඩා කාර්යක්ෂමය.

නැව මිලදී ගැනීම නොකළ යුත්තේ මන්දැයි  තව බොහෝ කරුණු මට ලියන්නට පුළුවන, නමුත් මේ ලියා ඇති කරුණු හොදින්ම ප්‍රමාණවත් යයි සිතමි. 

මෙම නැව මිලදිගන්නට යන්නේ අපගේ මුහුදු සීමාවන් විශාල වූ  නිසා  බවද මම ඒ ප්‍රවෘත්තියේම දැක්කෙමි. එසේ නම් ඇත්තෙන්ම වහාම නැව ගැනීම අතහැර දමා මිලදී ගත යුත්තේ නැවෙහි මිලට වඩා ඉතාමත් අඩු ආයෝජනයකින් නැවෙහි කාර්යක්ෂමතාවයට වඩා දස දහස් ගුණයකින් කාර්යක්ෂමතාවය වැඩි සාගරික මුර ගුවන් යානා කිහිපයක් නොවේද?  

නැව් වල මදි කමක් අපේ නාවික හමුදාවට තිබෙන්නට බැරිය, පසුගිය කාලයේ නැව් සහ වේග ප්‍රහාරක යාත්‍රා මිලදී ගත විදිහට  හරියට ගණන් හදා බැලුවොත් ඒක පුද්ගල යුධ නැව් ප්‍රමාණයෙන් අප ලෝකයේ මුල්ම හරියේ තිබිය යුතු රටකි.







Thursday, October 12, 2017

ඍජු ප්‍රජාතන්ත්‍ර වාදය මෙරට ස්ථාපිත කිරීම ප්‍රායෝගිකද?






ඉන්දියාවේ බුදුන් උපදින කාලයේ යුරෝපයේ ඇතන්ස් හි අපුරු සොයා ගැනීමක් සිදුවෙයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදයයි. එය මුලින්ම පටන්ගන්නේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙසටය. කාන්තාවන් ,වහලුන් සහ විදේශිකයන් හැර අනෙක් සියලුදෙන නගර රාජ්‍යයේ තීරණ ගැනීම සඳහා සහභාගී වෙති.


අනෙක් සැම දෙයක්ම මෙන්ම ප්‍රජාතන්ත්‍ර වාදයද වෙනස් වෙයි. පුරවැසියන් සියලු දෙන සහභාගී වී තීරණ ගැනීමට යාමේදී බොහෝ කල් ගතවිමද තීරණ ගැනීමේදී ඇතිවන අවුල් සහගත තත්වයද නිසා ඍජු ප්‍රජාත්‍රන්තවාදය අප්‍රායෝගික බව ප්‍රත්‍යක්ෂ වෙයි. මේ සඳහා හොඳම පිළියම නියෝජිත ප්‍රජාත්‍රන්තවාදය බව පැහැදිලි වෙයි. එතැන් සිට ස්ථාපිත වන නියෝජිත ප්‍රජාත්‍රන්තවාදය මේ දක්වා කුඩා වෙනස්කම් ඇතිකරගනිමින් එහෙත් ප්‍රජාත්‍රන්තවාදයේ මුලික අංග  ලක්ෂණ එසේම තබාගනිමින් ඉදිරියට යන්නේ මනුෂ්‍යයන්ගේ දැනට සොයාගෙන ඇති එකම සාධාරණ හා ප්‍රායෝගික ස්වයං පාලන ක්‍රමය ලෙසය.

පසුගිය සියවසේ මුල් භාගයේ ප්‍රජාත්‍රන්තවාදයට විකල්පයක් ලෙස කොමියුනිස්ට් වාදය ලෝකයේ යම් කොටසක තෝරා ගැනුනද අවුරුදු 50ක් යාමටත් පෙර එම පාලන ක්‍රමය අසාර්ථක එමෙන්ම පසුව ඒකාධිපතිත්වයට මඟ පෙන්වන ක්‍රමයක් බව පෙනී ජනතාව විසින්ම ප්‍රතික්ෂේප කෙරින. නියෝජිත  ප්‍රජාත්‍රන්තවාදය සම්පුර්ණයෙන්ම නිවැරිදි එසේම සර්ව සාධාරණ ක්‍රමයක් නොවේ. එහෙත් තිබෙන  විකල්ප දෙස බලනවිට එම ක්‍රමවේදයට  පිළිමලුන් නොමැති බව පමණක් කිව හැක. 

තාක්ෂණයේ දැන් ඇතිවේගෙන යන වෙනස්කම් බලනවිට තව අවුරුදු 20කින් පමණ දියුණු රටවල නැවත වරක් ඍජු ප්‍රජාත්‍රන්තවාදය අත්හදාබලන බව මට නම් ලොකු විශ්වාශයක් තිබේ. සැම  පුරවැසියෙක්ම; අඩු ගන්නේ 95%ක් වත් ජාලගත නම් නැවත ඍජු ප්‍රජාත්‍රන්තවාදය යාම එක්වරම හිතට එන තරම් අපහසු නොවේ.

නමුත් මා මෙය ලියන්නට පටන්ගත්තේ ප්‍රජාත්‍රන්තවාදයේ අනාගතය ගැන සාකච්චා කරන්නට නොවේ. වර්තමානයේ අපේ නියෝජිත ප්‍රජාත්‍රන්තවාදයට සිදු වී ඇති සන්ත්‍රසිය ගැන කතා කිරීමටය. අපි නියෝජිත ප්‍රජාත්‍රන්තවාදය තුලින් අවුරුදු 5 කට සැරයක් පමණ කරන්නේ  කලින් තීරණය කරගත් නියෝජිතයන් ප්‍රමාණයක් අප වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට පාර්ලිමේන්තුවට පත්කර යැවීමටය. ඔවුන් පත්කර ගන්නා අවස්ථාවේ අප බොහෝ ප්‍රවේශමෙන් ඔවුන්ගේ සුදුසුකම්, අතීත හැසිරීම් යනාදී පරීක්ෂා කර බලා ඔවුන් තෝරා ගත යුත්තේ ඉදිරි අවුරුදු 5 කට පමණ අප වෙනුවෙන් තීරණ ගැනීම ඔවුන්ට පවරන නිසාය. 

අප විසින් නියෝජිත කණ්ඩායමක් තෝරා ගත් පසු ඔවුන් කරන කියන වැඩ නිසා  ජනතාවගේ යම් කොටසකට අසාධාරණයක් සිදු වන්නේ නම් අප කල යුත්තේ කුමක්ද? ඒ සදහාද නියෝජිත ප්‍රජාත්‍රන්තවාදයේ ක්‍රම වේද සකස් කර තිබේ. ඒ ක්‍රමවේදය තුල  නියෝජිත ප්‍රජාත්‍රන්තවාදයේ ප්‍රධාන ටැඹ තුන වන්නේ නියෝජිතයා, විධායකය සහ අධිකරණයි. පාර්ලිමේන්තුව හෝ විධායකය තමන් අපේක්ෂා කල ආකාරයට නොව  ජාතියට අලාභ හානියක් වන ලෙසට කටයුතු කරන බව  කෙනෙකුට සිතෙන්නේ නම් තමන් ජිවත් වන්නේ ඍජු ප්‍රජාත්‍රන්තවාදයක යැයි සිතමින් විදි වලට පැන පිස්සු කෙළින්නට පටන් ගත හොත් ඇත්තෙන්ම සිදු වන්නේ රටට තවත් අලාභ සිදුවීම මිස හොදක් සිදු වීම නොවේ. 

ඒ නිසා අප පත්කළ නියෝජිතයින් ගන්නා යම් තීරණ නිසා රටට හෝ ජාතියට යම් අවැඩක් සිදු වන්නේ යැයි පුරවැසි හෝ පුරවැසි කණ්ඩායමකට හැගෙන්නේ නම් අප ගත යුතු හොදම මාර්ගය අධිකරණය වෙත යාම නොවේද?   

උදාහරණයකට පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවේ ඇති කිරීමට අන්තරය විරුද්ධ නම් ඒවා ඇති කිරීමෙන් රටට හෝ ජාතියට අසාධාරණයක් හෝ පාඩුවක් සිදු වන්නේ යැයි ඔවුන් සිතන්නේ නම් ඒවා ඇති කිරීමට ඉඩ නොදෙන ලෙසට අධිකරණය වෙත යාම නොවේද?    

   

Wednesday, October 11, 2017

වැරදුනු ලියුම සහ කුණ්ඩසාලේ මාලිගාව


                                      උඩමළුවේ පන්සල
ශ්‍රී ලංකාවේ අවසාන සිංහල රජු වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාය (1707 - 1739). වයස 17 දී රජකමට පත් වූ ඔහු යකඩ දෝලියකගේ පුත් කුමරෙකු නිසා නොයෙකුත් වාසල කුමන්ත්‍රණ ඔහුට විරුද්ධව ගොඩනැගෙමින් තිබුණි. විශේෂයෙන්ම ඔහු රජ වුවහොත්  ඔහුගේ මවගේ පවුලට විශාල බලයක් හිමි වීමටත් ඒ මගින් බොහෝ විට රාජකීය උරුමයන්ද අනාගතයේදී එම පවුලට අයත් වීමට ඉඩ තිබෙන නිසා වෙනත් ප්‍රධාන පවුල් වලින්  මෙම විරුද්ධ වාදීකම් මතු වන්නට ඇත. 

මෙයින් ගැලවීමට උපක්‍රමයක් කල්පනා කල නරේන්ද්‍රසිංහ රජු තම මවගේ නෑදෑයන් ජීවත් වන පාත දුම්බර ප්‍රදේශයට ගොස් එහි ජීවත් විය. ඔහු ජීවත්වන මාලිගය කුණ්ඩසාල ප්‍රදේශයේ මහවැලි ගග අයිනේ ඉදිකර ගත්තේය. පිහිනුමට ඉතාමත් ප්‍රිය කළ ඔහු මෙලෙස ගග අයිනේ මාලිගය තනා ගැනීම පුදුමයට කරුණක් නොවේ. තම මාලිගය අසල තමන්ට නිතර යාමට ඒමට ඔහු මාලිගය අසල උඩමළුවේ පන්සල නමින් දැන් හැදින්වෙන විහාරයක්ද ගොඩ නගා ගත්තේය. මේ හේතුව නිසා නරේන්ද්‍රසිංහ රජු 'කුණ්ඩසාලේ ' එසේත් නැත්නම් 'සෙල්ලං රජ්ජුරුවෝ' යන අනවර්ථ නාම වලින්ද එකල හැදින්වින.  

මෙලෙස දුම්බර ජිවත් වුවද ඔහු රාජකාරි සහ උත්සව කටයුතු සදහා අගනුවර පිහිටි තම මාලිගය නිතරම පාවිච්චි කළේය. දැන් මහනුවර ලේවැල්ලේ මාලිගා තැන්නේ නටඹුන් වී ඇති රාජකීය පිහිනුම් තටාකයද ඔහුගේ කාලයේ සාදන ලද්දකි. කුණ්ඩසාලයේ සිට බෝධිගල කරත්තමඩ හරහා මාලිගා තැන්නට පැමිණ එතනින් ගගෙන් එගොඩ වී මහනුවර නගරයට ගොස් රාජකාරි කර ආපසු කුණ්ඩසාලය වෙත යාම ඔහුගේ චර්යාව විය. 

 ඔහු මියගිය පසු පළමුවන නායක්කර් රජු ඔටුනු පැළඳි නිසා නැවතත් තත්වය සමනයකට පත්ව රජුගේ වාසස්ථානය මහනුවර මාලිගාව බවට පත් විය. නරෙන්ද්‍රසිංහගේ  මාලිගාව කුන්ඩසාලයේ ගග අයිනේ ඉතාමත් දැකුම්කළු දර්ශනයක් වන්නට ඇත. විශේෂයෙන්ම ගගේ ගුරුදෙනිය පැත්තේ සිට බලන විට මෙම මාලිගාව කලාතුරකින් දකින දර්ශනයක් වුවාට කිසිම සැකයක් නැත්තේය. මෙය පිළිබඳව මා දැක ඇති එකම විස්තරය ලියා ඇත්තේ ඉංග්‍රීසි හමුදාවේ මේජර් ජොන්ස්ටන් විසින් 1804 දිය.

" ඔවුන්ගේ  කාල තුවක්කුවට යාර  200 පමණ පිටුපසින් මහනුවර රජුගේ ප්‍රියතම මාලිගාව තිබුණි. පෘතුගීසි,ඕලන්ද සහ ඉංග්‍රීසින්ගෙන් ලැබුණු නොයෙකුත් ත්‍යාග වලින් මොනවට අලංකාර තිබූ කදිම ගොඩනැගිල සංකීර්ණයකින් මෙය සමන්විත විය.( මේ ඔහු විස්තර කරන්නේ නරේන්ද්‍රසිංහ මිය ගොස් අවුරුදු 170 කට පසුවය )"

ඉංග්‍රීසි හමුදාවේ එක වැරදි ලිපියක් එසේත් නැත්නම් වැරදියට තේරුම් ගත් ලිපියක් නිසා අද අපට මේ මාලිගය බලන්නට ඉඩක් නැත්තේය. ඒ 1804 සැප්තැම්බර් 3 වන දින රාජකීය හමුදාවේ ජෙනරාල් වෙමිස්ගේ අධි සහායක මොව්බ්‍රේ නමැති නිලධාරියා විසින් 3 න් වන රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ජොන්ස්ටන් වෙත යවන ලද ලිපියක් නිසාය. ඔහුට එම ලිපියෙන් දන්වා තිබුනේ කොළඹින්, හම්බන්තොටින්, ත්‍රිකුණාමලයෙන්, මීගමුවෙන්, හලාවතින් සහ පුත්තලමින් මහනුවර ආක්‍රමණය කිරීමට ඉංග්‍රීසි හමුදාංක පිටත්වන බවත් තුන්වන රෙජිමේන්තුව 300 ක් භටයන් සමග මඩකලපුවෙන් පිටත් වී අනෙක් හමුදාංක සමග  මහනුවරදී එකතු වීමට පිටත්විය යුතු බවය. 

ඔවුහු සැප්තැම්බර් 20 වන දින මඩකලපුවෙන් පිටත් වී මහියංගනය පැත්තෙන් මහනුවර දෙසට ගමන් කළහ. 3 වන රෙජිමේන්තුව මෙලෙස මහනුවරට පැමිණෙන අතර අනෙක් පැමිණේ යයි ඔවුන් බලාපොරොත්තු වූ හමුදාවන් මහනුවරට පැමිණෙන්නේ නැත. සමහරක් හමුදා කොටස් මහනුවරට ඇතුළු වන්නට උත්සාහ කලද ඔවුන් පලවා හරිනු ලැබෙයි.එහෙත් 3වන රෙජිමේන්තුව බොහෝවිට ඔවුන් ඒ දිශාවෙන් පැමිණීමක් කෙසේ වත් බලාපොරොත්තු නොවුණු නිසා , බහුතරයක් තුවාල වී හෝ මිය ගියද මහනුවරටත් පැමිණ ඒ හරහා ත්‍රිකුනාමලයටත් යාමට පොහොසත් වෙයි.

මඩකලපු -මහනුවර  අතරමඟ  ගමනේදී  මොවුන් මාලිගා දෙකකටත් දිසාවකගේ නිවෙසකටත් ගිනි තබති  : ඒ රජුගේ මහියංගන මාලිගාව සහ කුණ්ඩසාලේ මාලිගාවයි.දැන් ඒවායේ නටඹුන් වත් සොයා ගන්නට නැත්තේය. මෙලෙස මෙම වැරදියට කියවූ ලිපිය නොවන්නට මේ මාලිගා දෙකම මහනුවර මාලිගාව මෙන් අනාගත පරම්පරාවලට ඉතිරි වන්නට බොහෝ ඉඩ තිබිණ. කුණ්ඩසාලේ මාලිගයෙන්  මේ ගින්නෙන් ඉතිරි වූ එකම කොටස පසුව මහනුවර මාලිගයට පිවිසෙන ස්ථානයේ දමා තිබූ සඳකඩ පහන බව මා අසා ඇත.         

දෙමව්පියන් වර්ග ; ජයග්‍රාහකයන් සහ පරාජිතයන්





දැන් පාසල් වලට ළමුන් ඇතුලත් කරගන්නා කාලයයි. දෙමව්පියෝ දස අ ත කල්පනාකරති,සුළුවෙන් හෝ උදව්වක් කළහැකි කෙනෙකු සිටිනවානම් යාලුවෙකුගේ යාලුවෙකුගේ යාලුවෙකුවත් මුණගැහෙන්නට  යති. දේශපාලන සම්බන්දතා මත, ඕල්ඩ් බෝයි කනෙක්ෂන් මත එහෙමත් නැත්නම් වෙන කුමන හෝ ක්‍රමයක සඹදතා මත ළමයා ඉස්කෝලයට දාගන්නට බලති. මුදල් සහ වෙනත් අල්ලස් හුවමාරු වෙයි. සමහර ඒවා ගන්නා අය ඇත්තටම උදව්වක් කරන්නට උත්සාහ කරති, සමහරු සාර්ථක වෙති, සමහරුනට කරගන්නට බැරිවෙයි. බොහෝ විට දුන් මුදල් ආපසු ලැබෙන්නෙත් නැත, සමහරවිට ගත් කෙනා එයින් කොටසක් වෙනත් කෙනෙකුට දී ඇත්තේය , ඔහුටත් එය ආපසු ලබාගැනීමට බැරිය.

මෙම සංග්‍රාමයේ ජය පරාජය සිදුවන්නේ පහත ආකාරයටය.


ජය 


  •  දෙමව්පියන්ගෙන් ලැබුණු මහා ගෙදර පාසල අසලම තිබෙන නිසා  විදුහලට ඉතාම කිට්ටුවෙන් පදිංචි වී සිටින දෙමව්පියන්
  • දිනෙන් දින මිල ඉහල යන ජනප්‍රිය පාසල් කිට්ටුවෙන් ඉඩමක් මිලදී ගෙන නිවසක් තනාගැනීමට මුදල් සහ උවමනාව තිබුණු දෙමව්පියන් ( උදාහරණයකට මහනුවර ධර්මරාජ විද්‍යාලය ට ළමයින් දා ගත හැකි දුර යනුවෙන් වෙනම ඉඩම් හා  ගෙවල් මාකට් එකක් ඇතිවී තිබේ. ඒවායෙහි මිල පාසල එතන තිබුනේ නැතිනම්ට වඩා දෙගුණයක් පමණ වෙයි)
  • ඉපදෙන්නට සිටින ළමයාගේ ලිංගය   ස්කෑන් කර හෝ එසේත් නැත්නම් අනාවැකි කියන්නේකුගෙන් දැනගත් වහාම ගැලපෙන පාසැල කිට්ටුව ගෙයක් අයිතිකරුවෙකු සොයාගෙන ඔප්පු ලියාගෙන , ග්‍රාම නිලධාරි අල්ලාගෙන ලෑන්ඩ් රෙජිස්ටරියේ කෙනෙක් අල්ලා ගෙන තමන් ඒ දේපලෙහි ජිවත්වන බව පෙන්නා ළමයි පාසලට දා ගන්නා දෙමව්පියන් ( මෙවැනි ග්‍රාම සේවා වසම් රටේ 14000ක් වූ ග්‍රාම සේවා වසම් අතර වැඩිම ඉල්ලුමක් ඇති වසම් වනවාට කිසිම සැකයක් නැත්තේය 
  • පියා හෝ මව ආදී ශිෂ්‍යන් වූ දෙමව්පියන්  ගෙන් ආදී ශිෂ්‍ය සංගමයට මුදලින් හා  වෙනත් ක්‍රම වලින් නොයෙකුත් උපකාර කර කැපී පෙනෙන ආදී ශිෂ්‍යයෙකු විය යුතුය.
  • පළාතේ ප්‍රධාන දේශපාලකයකුගේ ළඟ සම්බන්දතාවයක් ඇති කිහිපදෙනෙකු- මෙම කැටගරිය ලගදි විදුහල්පතිවරු කිහිපදෙනෙකුට  දුන් බරපතල  දඩුවම් නිසා  දැන් ක්‍රමයෙන් අඩුවී යනු පෙනේ.
පරාජය 
  • පාසලට කිලෝ මීටරයක් හෝ ඒක හමාරකට ඇතුලතින් තම දෙමව්පියන්ට නොසිතුනු හෝ  නොහැකි වුනු දෙමව්පියන්
  • එම කවය තුල නිවසක් මිලදී ගන්නට මුදල් නොමැති දෙමව්පියන් 
  • බ්‍රෝකර් , දේපල හිමි, රාජ්‍ය නිලධාරි යනාදී දුසිමක් දනට පගාව දී බොරුවට පදිංචියක් පෙන්වා ගැනීමට නොහැකි දෙමව්පියන්
  • ඔවුන්ගේ දෙමව්පියන්ද මෙම සටනෙන් පරාජය වූ නිසා ජනප්‍රිය පාසලකට යාමට නොහැකි වූ දෙමව්පියන් - ආදී ශිෂ්‍ය වර්ගීකරණයට ඇතුළු වීමට නොහැකි වීමෙන් 
  • මේ තරඟය දිනන්නට නොහැකි යයි සිතා මුලින්ම තරඟයෙන් ඉවත්වන දෙමව්පියන් 
  • පිටරට රැකියාවලට ගොස් සිටින දෙමව්පියන් හරියට මේවා පිලිබඳ නොදැන සිටීමෙන් සහ රටේ නොසිටීමෙන් 
අවසානයේ දිනන දෙමව්පියන් ට පැරදෙන දෙමව්පියන් ත්‍යාග වශයෙන් දෙන්නේ මොනවාද?

  • තමන්ගේ දරුවා පහසුකම් අඩු සමහරවිට වැසිකිලියක් වත් නැති පාසලක ඉගෙන ගනිද්දී  තමන්ගේ වක්‍ර සහ ඍජු බදු වලින් දිනු  කෙනෙකුගේ දරුවෙකුට අධික පහසුකම් ඇති පාසැලක අධ්‍යාපනය ලබාදීම 
  •  තමන් ගෙවන බදුවලින් එසේ වෙනත් සිසුන් අධ්‍යාපනය ලබද්දී තමන්ට මුදල් යහමින් තිබේනම් මසකට රුපියල් 20000ක් පමණ ගෙවා අන්තර්ජාතික පාසලක තම දරුවනට අධ්‍යාපන ය ලබා දීම.
වාසනාවට ළඟ පදිංචි වී සිටීම , ඇත මිට මුදල් තිබීම හෝ කපටි කෛරාටික කම free ride එකකට එසේත් නැත්නම් අනුන්ගේ මුදලින් තමන්ගේ වැඩ කරගැනීමට රුකුලක් වීම සමාජ සාධාරණයද ?















Monday, October 9, 2017

පොඩ්ඩක් ඉඳගෙන කල්පනා කරමුද ?



අධ්‍යාපනයේ නිදහස සැම පුරවැසියකුගේම පරම අයිතියක් නිසා මමද සයිටම් ප්‍රශ්නයේදී සයිටම් වසා දැමීම නොව කලයුත්තේ අඩු පාඩුවක් තිබෙනවානම් එය සම්පුර්ණ කර ගැනීම යන අදහසෙහි මෙතෙක් කල් සිටියෙමි. විශේෂයෙන්ම මේ ප්‍රශ්නයේදී අප බොහෝදෙනෙකු අධ්‍යාපනයේ නිදහස අගය කරන්නන් වශයෙන් කලයුත්තේ සයිටම් වසා දැමීම  නොව එහි අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරිදි කරගෙන තවත් බොහෝ රජයේ නොවන වෛද්‍ය විද්‍යාල ඇතිව්මට ඉඩ ප්‍රස්තා ඇතිකිරීම බව නොපෙනෙන්නේ ජාතියේ කුමන අවාසනාවකටද?

මට මේ ලඟකදී නෑ ගෙදරකදී නැගෙනහිර යුරෝපයේ රටක මෙලෙස වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නා දියණියක හමුවිය.මම මේ ක්ෂේත්‍රය පිලිබඳ උනන්දුවක් දක්වන්නකු වශයෙන් ඇගෙන් ඇය ඉගනගන්නා විශ්ව විද්‍යාලය පිලිබඳ විස්තර අසමින් සිටියෙමි.ඒ විස්තර වලට අනුව ඇය ඉගෙනගන්න විශ්ව විද්‍යාලයේ සිටිනා ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝ දෙනෙකු ආසියාව සහ අප්‍රිකා මහාද්විපයෙන් පැමිණි සිසුන්ය. මේ අතරිමුත් වැඩියෙන්ම ශිෂ්‍යන් සිටින්නේ ඉන්දියාවෙන් සහ ශ්‍රිලන්කාවෙනි.

ශ්‍රී ලංකාවෙන් පමණක් එම විශ්ව විද්‍යාලයේ පමණක් සිටින සිසුන් සංඛ්‍යාව 200 ඉක්මවයි. මේ එක කුඩා නැගෙනහිර යුරෝපිය රටක ක විශ්ව විද්යාලයකය. මේ ගනනට අනුව ලංකාවේ නොයෙකුත් රටවලට  ගොස් වෛද්‍ය අධ්‍යාපනය හදාරන සිසුන් සංඛ්‍යාව පහසුවෙන්ම 10000 ඉක්මවිය යුතුය. එක සිසුවෙකුට දෙමව්පියන් වියදම් කරන මුදල මිලියන 10 ක් නම් මේ සිසුන් 10000 වියදම් වන විදේශ විනිමය ප්‍රමාණය රුපියල්  මිලියන 100000 වෙයි, ඒ කියන්නේ බිලියන 100 කි. කෝටි  1000කි. මෙවර අප ජාතියේ ආරක්ෂාව සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල කෝටි 650ක් පමණය. ඒ හා සංසන්දනය කර බැලුවිට මේ මුදලේ ප්‍රමාණය පිලිබඳ අවබෝධයක් පහසුවෙන් ලබා ගන්නට පුළුවන. මේ  නිකන් අපට අච්චු ගසා ගත හැකි රුපියල් නොවේ. ඩොලර් වලට මාරුකරන ලද විදේශ විනිමයයි. අපේ රටේ කාන්තාවන් මැදපෙරදිග බල මෙහෙවර කර සිය රටට එවන විදේශ විනිමයයි. 

අපේ රටේ මේ දරුවන්ට ඉගෙන ගැනීමට රජයේ නොවන වෛද්‍ය විද්‍යාල තිබුනේ නම් මේ සියලු මුදල් මෙහි ඉතිරි වෙයි. ඒ වාගේම එම විශ්ව විද්‍යාල වලට පිට රටින් සිසුන් පැමිණෙනවිට ඇත්තෙන්ම විදේශ විනිමය මෙරටට ගලා එයි. අප හරියට විශ්ව විද්‍යාල කිහිපයක් ස්ථාපිත  කළහොත් ඇත්තෙන්ම  දස දහස් ගණනක් සිසුන් ඉන්දියානු අර්දද්විපයෙන්ම අපේ විශ්ව විද්‍යාල කරා එනු ඇත.

එවැනි වෙනසකින් අප රටට කොතරම් වාසි ලබා ගත හැකිද? කෙලින්ම සහ වක්‍රාකාරයෙන් කොතරම් රැකියා අවස්ථා බිහිවනු ඇද්ද? සංචාරක ව්‍යාපාරයට  මෙයින් කොතරම් තල්ලුවක් ලැබෙනු ඇද්ද? එහෙත් මේ සියල්ල ගැන හොදින් දැනගෙන අප රටෙහි රජයේ නොවන වෛද්‍ය විද්‍යාල දැමීමට කණ්ඩායම් කිහිපයක් විරුද්ද වෙයි.

මේ කිසිවක් නොපෙනෙන ආකාරයෙන් පටු අදහස් වලින්  කටයුතු කරන පහත අයවලුන් නම් අපට හිතාගන්නට පුළුවන.

GMOA - ඔවුන් සිතන්නේ වෛද්‍යවරු වැඩි වුවහොත් ඔවුනට තරඟය වැඩිවී ව්‍යාපාර අඩුවී යන බවය. එහි යම් සතයක් තිබිය හැකි වුවත්  එවැනි හේතුවක් නිසා මෙවැනි පෙරටුගාමී ප්‍රතිපත්තියකට විරුද්ද වීම ජාති ද්‍රෝහී ක්‍රියාවක් නොවන්නේද?

වෛද්‍ය ශිෂ්‍යයන්- ඔවුන්ගේත් හේතුව ඉහත හේතුවම වෙයි. 

අන්තරය- වෛද්‍යවරුන් හා වෛද්‍ය ශිෂ්‍යන් සමග එකට පෙළපාලි යාමේ ආසාව සහ තමන් විප්ලව වාදීන් යයි පෙන්වා දීමේ ඇති ආශාව.
ඒකාබද්ද විපක්ෂය - තමන්ම පටන්ගෙන අවුරුදු ගණනාවක් පවත්වාගෙන ගිය ක්‍රමයකට බලය නැති වූ විට විරුද්ද වීම ඇත්තෙන්ම හාස්‍ය ජනකය. එහෙයින්ම මෙය අහේතුකව
කරණ විරුද්ද වීමක් බව පැහැදිලිය.

මට පුදුම මේ අහේතුකව එසේත් නැත්නම් පටු අදහසින් විරුද්ද වන්නන් නොවේ, ජනතා විමුක්ති පෙරමුණ වැනි මේ වකවානුවේ බොහෝ විට තමන්ට පාඩු වුවහත් හරි  පැත්තේ හිට ගන්නා පක්ෂයකුත් මෙලෙස රජයේ නොවන වෛද්‍ය විද්‍යාල වලට විරුද්ද වීමයි.

ජාතික ආරක්ෂාව සැලසුම් කිරීම ; සංස්කෘතිය සහ ඉතිහාසයේ බලපෑම



රටක පවත්නා සංස්කෘතිය ගැන කතා කිරීමට පෙර සංස්තෘතිය යනු කුමක්දැයි මුලින්ම අප පරීක්ෂා කර බැලිය යුතුය. සංස්කෘතිය යනු යම් සමාජයක කරන කියන දෑ සහ එම සමාජය තුල දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ වේ. එසේත් නැත්නම් යම් විෂයගත සමාජයක හෝ කණ්ඩායමක යම් කාල වකවානුවක් හා ස්ථානයක් තුල තිබූ හෝ තිබෙන විශ්වාස, පුරුදු, කලාවන්, චාරිත්‍ර සහ සම්ප්‍රදායන් වෙයි. 

පෙරද සදහන් කල පරිදි මෙවැනි සංස්කෘතියන් කාලයක් සමග වෙනස්  වෙයි. විශේෂයෙන්ම දැන් පවතින වේගවත් ගෝලීය කරණය නිසා මෙම සංස්කෘතියේ වෙනස්වීම්ද ඉතාමත් වේගයෙන් වෙනස් වෙයි. අන්තර් ජාලය සහ ඒ හා සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලා මෙම ගෝලීයකරණය තව දුරටත් ඉක්මන් කරන නිසා නොයෙකුත් කුඩා කණ්ඩායම් තුල පවතින සංස්කෘතියන් ක්‍රමයෙන් තනුක වී වැඩි දෙනෙකුට ගැලපෙන වැඩි දෙනෙකු පිලි ගන්නා සංස්කෘතියන් විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වීම තවත් සීඝ්‍ර කරයි.

මේ හේතුවෙන් ජාතියක සංස්කෘතිය ඉතා වේගයෙන් වෙනස් වන පසුබිමක නොයෙකුත් සංස්කෘතික ලක්ෂණයන්ට ගැලපෙන ලෙස ජාතික ආරක්ෂාව සැලසුම් කිරීම එතරම් නුවනක්කාර කටයුත්තක් නොවේ. සමහර විට මෙම අදහසට අනුකූල නොවන රාජ්‍යයන් කිහිපයක් තැනින් තැන තිබිය හැක. උදාහරණයක් වශයෙන් කාන්තාවන්ගේ කාර්ය භාරය පිළිබඳව බොහෝ ගතානු ගතිකව සිතන රටක සමහර විට එම කාරණය ජාතික ආරක්ෂාව පිළිබඳ සැලසුම් කිරීමේදී සිත්හි තබාගත යුතුවේ.


එහෙත් සංස්කෘතියම නොවූවත් රටක ජන සහ ආගමික වශයෙන් සංයුතිය ජාතික ආරක්ෂාව සැලසුම් කිරීමේදී ඉතාමත් වැදගත් කාරණයක් වෙයි. විශේසයෙන්ම ජන සංයුතියේ යම් එක් සුලු ජාතියක් හෝ ආගම් අදහන්නන් පිරිසක්  සිටින්නේ නම් එම සාධකය බොහෝ විට ආරක්ෂක ප්‍රශ්න වලට මුල් වන බව ලෝක ඉතිහාසයෙන් පෙනේ. මෙවැනි ජන සංයුතියන් ඇති එසේම දීර්ඝ ඉතිහාසයක්ද ඇති රටවල මෙම ප්‍රශ්නය සැමවිටම පාහේ මතුවන බව පෙනේ. 

අප රටෙහිද අවුරුදු 30 ක ඉතාම විනාශකාරී යුද්ධයකට මුල පිරුනේද මෙවැනි පසුබිමක් නිසාය. ඉන්දියාවේ, බංගලාදේශයේ, පකිස්තානයේ, තායිලන්තයේ මියන්මාරයේ වැනි බොහෝ රටවල මෙවැනි ජන සංයුතිය නිසා ඇති වන ආරක්ෂක ප්‍රශ්න වරින් වර හිස ඔසවයි.
මේ හේතූන් නිසා ජාතික ආරක්ෂාව පිළිබඳ සැලසුම් කරන්නන් මෙම සාධකය ඉතාමත් සංවේදීව පරීක්ෂා කර බලා එවැනි ප්‍රශ්න වලට මුහුණදීමට අවැසි ලෙස ජාතික ආරක්ෂාව සැලසුම්කල යුතුය.     
\

ඉතිහාසය

වර්තමානයේදී රටෙහි ඉතිහාසය හෝ සංස්කෘතිය ජාතික ආරක්ෂාව පිළිබඳ සැලසුම් කිරීමේදී එතරම් වැදගත්කමක් උසුලන්නේ යැයි එක්වරම කිව නොහැක. ලෝකයේ වරෙක බොහෝ බලගතු අධිරාජ්‍යයන් ලෙස තිබූ රටවල් හෝ ජාතීන් වර්තමානය වන විට ඉතාමත් සාමාන්‍ය ජාතීන් බවට පත්ව ඇත්තේය. ලෝකයේ සෑම මාර්ගයක්ම එදෙසට යනවා යැයි කලෙක  විස්තර කල  රෝම අධිරාජ්‍යය දැන් සාමාන්‍ය දෙවෙනි පෙල රටක් බවට පත්ව ජීවත් වෙයි. 16 වන ශත වර්ෂයේ ලෝක අධිරාජ්‍යයක් ගොඩ නැගූ පෘතුගාලයද වැටි ඇත්තේ ඒ තත්වයටමය. චීනයද අල්වා ගෙන ජපානයද ආක්‍රමණය කල මොංගෝලියානුවන් දැන් කොහි සිටින්නේදැයි බොහෝ දෙනෙකු දන්නේත් නැත.

මෙවැනි ඓතිහාසික කරුණු සලකා බැලූ කල යම් ජාතියක ඉතිහාසය හෝ සංස්කෘතිය ජාතික ආරක්ෂාව සැලසුම් කිරීමේදී එතරම් වැදගත් කාරණයක් දැයි කෙනෙකුට සිතන්නට අපහසුය.   

බොහෝ යුධකාමී ජාතීන් ශත වර්ෂ කිහිපයකින් සම්පූර්ණයෙන්ම වෙනස් වී සාමකාමී පිරිස් බවට පත්ව සිටී. පෙර කල යුරෝපය බිය වැද්දූ වයිකිං වරුන්ගෙන් පැවත එන්නන් දැන් ඩෙන්මාර්ක ජාතිකයින් දැයි සිතන්නටත් අපහසුය.

ඒ අතරම නොයෙකුත් දුර බැහැර රටේ සිට අලුතින් සොයාගත් රටකට නැව් නැග ගොස් සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයක ජීවත් වන්නට තරම් එඩිතර වූ පුද්ගලයන් ගෙන් සැදුම්ලත් ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ සුපිරි බලවතා බවට පත්විය. ඒ මෙතෙක් ලොව ඉතිහාසයේ විශාලතම එමෙන් බලගතුම ආර්ථිකයත් යුධ බලයත් නතුකර ගනිමිනි.


ඒ නිසා රටක ඉතිහාසය වර්තමානයේ එම රටෙහි ජාතික ආරක්ෂාව පිළිබඳ සැලසුම් කිරීමේදී විශාල වැදගත්කමක් උසුලන බවක් නොපෙනේ. මේ සදහා වඩා වැදගත් වන්නේ විෂයගත රාජ්‍යයේ වර්තමානයේ ඉරියව්ව එසේත් නැත්නම් අංග වින්‍යාසය බව පෙනේ. අන්තර් ජාතික සම්බන්ධතා සහ ලෝක ආර්ථිකය සීඝ්‍රයෙන් වෙනස් වීම මෙයට ප්‍රධාන හේතුවක් විය යුතුය. ලෝක ආර්ථිකය පසුගිය දශක කිහිපයේ කොතරම් වෙනස් වී ඇත්ද යත් ලෝකයේ විශාලතම ආදායම් ලබන ආර්ථික ඒකක 100 අතරින් 69 ක්ම ව්‍යාපාරික ආයතන වෙයි. ඒ අනුව ඒ 100 යේ කණ්ඩායමේ ඒකක  ලෙස රටවල් තිබෙන්නේ 31 ක් පමණි.පහතින් දක්වා ඇත්තේ එම ලයිස්තුවේ මුල් දහයයි.



.   ඇමරිකා එක්සත් ජනපදය
1.     චීනය
2.     ජර්මනිය
3.     ජපානය
4.     ප්‍රංශය
5.     එක්සත් රාජධානිය
6.     ඉතාලිය
7.     බ්‍රසීලය
8.     කැනඩාව
9.     වෝල්මාට් සුපිරි වෙළඳසැල් ආයතනය


මෙලෙස ලෝකයේ ආර්ථික ඒකක අතර 10 වෙනි තැනට පැමිණීමෙන් වෝල්මාට් ආයතනය ආදායමෙන් ඔස්ට්‍රෙලියාව, දකුණු කොරියාව හෝ ඉන්දියාවේ රාජ්‍යයන්ට  වඩා විශාල බව පෙන්නුම් කරයි. මින් පසු 14, 15, 16, 18, 21, 22, 23, 25 සහ 27 යන ස්ථානවල සිටින්නේද පුද්ගලික වානිජ ආයතනයි. ටොයෝටා ආයතනය හෝ වොක්ස්වගන් ආයතනහි ආදායම ඉන්දියානු රජයේ ආදායමට වඩා වැඩිය. මෙවැනි ආර්ථික භුමි  දර්ශනයකින් පෙනෙන්නේ ලෝකය දැන් කොතරම් වෙනස් වී ඇත්ද යන බවයි. එහෙයින් මෙයට අවුරුදු 50 කට හෝ 100 කට පෙර යම් රටක හැසිරීම හෝ යම් සිදුවීම් වලට මුහුණු දුන් ආකාරය අනුව වර්තමානයේ ජාතික ආරක්ෂාව සැලසුම් කරන්නට යාම එතරම් නුවනට හුරු නොවන බව පෙනේ.  

Sunday, October 8, 2017

අසල්වැසි රාජයයන් ගෙන් ඇති තර්ජන ; අපේ ලොකුම බාහිර සතුරා ඉන්දියාවද?






ජාතියට ඇති තර්ජන විශ්ලේෂණය කිරීම.
ජාතික ආරක්ෂාව පිළිබඳ සැලසුම් කිරීමේදී එම ජාතියට දැනට තිබෙන සහ මෑත අනාගතයේ සහ ඈත අනාගතයේ ඇතිවිය හැකි තර්ජනයන් කුමන ආකාරයේ ඒවාදැයි දැන ගැනීම ඉතා වැදගත්ය. හරියටම තර්ජනය කුමක්දැයි දන්නේ නම් එම තර්ජනය මැඩ පැවැත්වීමට සූදානම් විය හැක. 

එසේම තර්ජනය අනාගතයේ ඇතිවන්නට ඉඩ තිබෙන එකක් නම් එම තර්ජනය ඇතිවීම වැලැක්වීමට කටයුතු යොදන්නට සැලසුම් කරුවන්ට හැකියාව තිබේ. අනෙක හරියටම තර්ජන මොනවාදැයි දැනගත් විට එම තර්ජන වලට පමණක් මුහුණදීමට ලක ලෑස්ති වීමෙන් අඩු පිරිවැයකින් නාබිගත ආරක්ෂාවක් සම්පාදනය කර ගැනීමට පුලුවන් වීමය. එවිට ගුවන් යානයක් ඕනෑ තැනකට නැවක් මිලදී ගැනීම හෝ එහෙම නැත්නම් රේඩාර් පද්ධතියක් ඕනෑ තැනකට අනුකන්ඩ සමුහයක් ස්ථානගත කිරීම සිදුවන්නේ නැත.

ජාතික ආරක්ෂාවට ඇති තර්ජන මූලාශ්‍ර වශයෙන් රටට පිටතින් සහ ඇතුලතින් පැමිණිය හැකි ඒවා ලෙස වර්ගීකරණය කල හැක. පිටතින් පැමිණිය හැකි තර්ජන නැවත වරක් පහත ආකාරයට වර්ගීකරණය කරන්නට පුලුවන.

තදාසන්න රාජ්‍ය වලින් පැමිණිය හැකි යුධ තර්ජන. - ශ්‍රී ලංකාව අවට තිබෙන රාජ්‍යය කිහිපය පිළිබඳව පරීක්ෂා කර බලා යුද තර්ජනයක් පැමිණිය හැක්කේ කුමන රාජ්‍යයකින්ද, කවර හේතුවක් නිසාදැයි අප මුලින් පරීක්ෂා කර බලමු. මෙලෙස අප පරීක්ෂා කර බැලිය යුත්තේ මාලදිවයින, පකිස්තානය, ඉන්දියාව,බංග්ලාදේශය , ම්යන්මාරය,සහ තායිලන්තය  සහ බංගලාදේශය පමණි. මේ රටවල් අතරින්ද, අප වරක් මියන්මාරය ආක්‍රමණය කර ඇති වුවත් මාලදිවයින, මියන්මාරය ,තායිලන්තය පකිස්තානය සහ බංගලාදේශය අපට සම්පූර්ණයෙන්ම මේ සමීකරණයෙන් ඉවත් කල හැක්කේය.   

එම රටවල් අප හා විරුද්ධවාදීව යුද්ධයක් කිරීමට කිසිම හේතුවක් ඇතිවීමට කිසිම ඉඩක්  නොමැති නිසාය. නමුත් ඉන්දියාව අප සහශ්‍ර දෙකකට වඩා කාලයක් වරින් වර ආක්‍රමණය කර ඇත්තේය. අවසාන සිද්ධිය ; ඉන්දියාව සාම හමුදා 1987 දී ශ්‍රී ලංකාවට පැමිණීම, ආක්‍රමණයක් යැයි කිව නොහැකි වුවද අප රටේ ස්වාධීනත්වය යම් ලෙසකින් ව්‍යතිකමනය කිරීමක් යැයි සලකන්නට පුලුවන. 

මෙලෙස ඉතිහාසයක් තිබෙන නිසා ඉන්දියානු සාධකය විශේෂයෙන් පරීක්ෂා කල යුතුය. බටහිර ජාතීන් ; විශේෂයෙන්ම ඉංග්‍රීසි ජාතිකයින්, හදිසියේ වත් අධිරාජ්‍යය ගොඩ නැගීමට එසේත් නැත්නම් වෙළඳාමට මේ කලාපයට පැමිණියේ නැත්නම් මේ තත්වය අපට මීට වඩා බොහෝ බැරෑරුම් ලෙස බලපාන්නට ඉඩ තිබිණ. ඒ ඉංග්‍රීසීන් නොපැමිණියේ නම් ඉන්දියාව බොහෝ විට රාජ්‍ය කිහිපයක් ලෙස දේශපාලනික වශයෙන් සංවිධානය වී තිබීමට තිබුනු ඉඩකඩ නිසාය. 

එසේ වූවානම් බොහෝ විට දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ රාජ්‍යයන් එකතු වී එක් ද්‍රවිඩ රාජ්‍යයක් ඇතිවීමට බොහෝ ඉඩකඩ තිබුණ. එවැනි බලගතු ද්‍රවිඩ රාජ්‍යයක් ඉන්දියාවේ දකුණු දෙස ඇතිවූයේ නම් අපද බොහෝ විට එහි කොටසක් වීමට ඉඩ තිබුනු බව ප්‍රකාශ කිරීම එතරම් සත්‍යයෙන් ඈත  නොවේ. විශේෂයෙන්ම ලංකාවේ උතුරු කරයේ ඒ කාලයේ සිටි දකුණු ඉන්දියානු සම්භවයක් ඇති පිරිස් දකුණු ඉන්දියානු රාජ්‍යයන් හා බොහෝ කිට්ටුවෙන් ගනුදෙනු කිරීම මේ තත්වය ඇති කරන්නට බොහෝ සේ උදව් වන්නට ඉඩ තිබුණි.


වර්තමාන ලෝකයේ රටවල් දෙකක් අතර යුද්ධයක් ඇතිවීම ඉතාමත් කලාතුරකින් සිදු වන්නකි. මෑත ඉතිහාසය දෙස බැලූ විට රටවල් අතර යුද්ධ ක්‍රමයෙන් අඩු වී එන බවක් පෙනී යයි. මේ අතර විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජයයන් අතර යුධ වැදීම් ඇත්තේම නැති තරමටම අඩු වි ඇත. මේ සියවසටම එවැනි යුද්ධයක් ඇතිවූයේ රුසියාව සහ යුක්‍රේනය අතර පමණය. මෙයිනුත් රුසියාව ප්‍රජාතන්ත්‍රවාදී රටකට වඩා ප්‍රජාතන්ත්‍රවාදය හා ඒකාධිපති පාලනයක් අතර තිබෙන රටකි.


ඒ අතරම ඉන්දියාව දිනෙන් දින වඩා විවෘත රටක් වන අතර ප්‍රජාතන්ත්‍රවාදයට හා ආර්ථික සංවර්ධනයට රටක තිබිය යුතුව ගුනාංගයක් වන මාධ්‍ය නිදහස ඉන්දියාවේ ඉතාමත් ඉහලින් තිබේ. සමහර විට ඉන්දියාවේ මාධ්‍ය නිදහස ලෝකයේ එම නිදහස ඉහලින්ම තිබෙන රටක් විය යුතුය. විශේෂයෙන්ම ඉන්දියානු පුවත්පත් වල තත්වය,එඩිතරභාවය සහ අපක්ෂපාතිත්වය ඕනෑම රටකට උදාහරණයකට ගත හැකිය. මම කිහිපවරක් ඉන්දියාවේ කාලය ගත කර ඇති අතර එයින් දෙවරක් වසර බගින්ය. එහිදී මා දිගටම සතිපතා Blitz නමැති පුවත්පත කියවන්නට පුරුදුව සිටියෙමි. එය මා කිසිම රටකදී කියවන ලද එදිතරම පුවත්පත යයි කටපුරා කිවහැක. එවැනි රටක් තම අසල්වැසි මිතුරු රටක් ආක්‍රමණය කිරීම කිසිසේත්ම විය හැකි සිදුවිමක් නොවේ.

ඉන්දියාවෙන් ආක්‍රමණයක් ඇතිවීමට ඇති ඉඩකඩ තවත් අඩුවීමට හේතුවක් වනුයේ චීනය සහ පකිස්තානයයි. චීනය සමග ඉන්දියාව මීට පෙර දේශ සීමා ගැටලු නිසා යුද්ධයක් කර ඇත. ඒ 1961 දීය. ඉන්පසු ඉන්දියාව හා චීනය අතර සබදතා ක්‍රමයෙන් හොඳ අතට හැරී ඇත. එලෙසම මේ රටවල් දෙකම ලෝකයේ වර්ථමාන ආර්ථික හා දේශපාලනික වශයෙන් බොහෝ කරුණු වලට එකඟ වන රටවල් දෙකකි[1]. රටවල් දෙකම විශාල ආර්ථිකයන් සහිතව සීඝ්‍රයෙන් දියුණු වන ලෝකයේ විශාලතම ජනගහනයන් ගෙන් යුක්ත රටවල්ය.


ඉන්දියාවේ වයඹ දෙසින් පිහිටි පකිස්තානය මේ සමීකරණයට ඇතුලු වන්නේ ඉන්දියාවට සිටින ප්‍රධානතම සතුරා ලෙසය. ඉන්දියාව සමග මෙතෙක් තුන් වරක් යුධ වැද ඇති පකිස්තානය න්‍යෂ්ඨික අවි වලින්ද සන්නද්ධ රාජ්‍යයකි. සන්සන්දනාත්මකව ඉන්දියාවට වඩා සන්නද්ධ බලයන් ගෙන් අඩු වුවද පකිස්තානය ඉන්දියාවට විරුද්ධව ඕනෑම වේලාවක සටන් වැදීමට සූදානමින් සිටින රාජ්‍යයකි. 

මෙයට හොඳ උදාහරණයක් මට පුද්ගලික අත්දැකීමකින් ඇතිවී තිබේ. මම වරෙක පකිස්තානයේ පුහුණුවක සිටියදී මගේ පවුලේ උදවියද මා සමඟ සිටියහ. මගේ දරුවන් එම නිලධාරීන්ගේ දරුවන් පිරිසක් සමඟ හින්දි ගීත ගයමින් සිටියදී ඒ ඇසි එතනට පැමිණි පකිස්තානු නිලධාරියෙකු තම දරුවන් එතනින් ඉවත්කරගෙන ගියේ මහත් කෝපයෙනි.  චීනය සමග ඇති දැඩි මිත්‍රත්වය හා න්‍යෂ්ඨික අවි සතුව තිබීම මේ එඩිතර භාවයට බොහෝ විට හේතු වේ.   


මේ පසුබිමේ ඉන්දියාව කෙසේවත් අසල්වැසි රාජ්‍යයක් ආක්‍රමණය කිරීමට සිතන්නටවත් ඉඩක් නැත. ඒ නිසා ඉන්දියාවෙන් ආක්‍රමණයක් පැමිනේයැයි සිතා ජාතික ආරක්ෂාව සැලසුම් කිරීම කිසිසේත්ම නුවණැති කටයුත්තක්  නොවේ.        



[1]  රටවල් දෙකම BRIC සහයෝගිතාවයේත් සාමාජිකයන්ය.

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...