Sunday, September 30, 2018

ජපානයේ චාරිකාව - 3




දින දෙක තුනකින් ජපන් තානාපති කාර්යාලයෙන් කාන්තාවක් මා සමඟ දුරකතනයෙන් කතා කලාය. මගේ සංචාරය පිලිබඳ විස්තර කිහිපයක් ඇසු ඇය අවශ්‍ය වුවහොත් නැවත කතා කරන බව පැවසුවාය. සතියක් ගිය පසු තානාපති කාර්යාලයෙන් ලියකියවිලි ඔවුන් වෙත ලැබුණු බව පවසා ආයතනයෙන් එස්.එම් එකක් ලැබුණි. 

මම කොළඹ සිටින ඥාති පුත්‍රයෙකුට බලය දී ලිපියක් යවා මගේ ගමන් බලපත්‍රය ගෙන්වා ගතිමි.

11 වන දින ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් සිංගප්පුරුව බලා පිටත් වුනෙමි. මේ අප ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් කජු ප්‍රශ්නය ප්‍රසිද්ධියේ සාකච්ඡා කර තිබු කාලයයි. ඇත්තෙන්ම වෙනත් ඔහු කියන බොහෝ දේවල් හා එකඟ විය නොහැකි නමුත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මගීන්ට සැලකීම සහ වල් සතුන්ගෙන් ගොවිතැනට වන කරදරය ගැන නම් ඔහු හා සම්පුර්ණයෙන් එකඟ විය හැකිය. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මගීන්ට සලකන ආකාරය ආසියාවේ බොහෝ වෙනත් ගුවන් සමාගම් හා සසඳන කල ඉතාමත් පහල තත්වයක පවතී.

ආහාර වට්ටෝරුවේ චිකන් සහ ෆිෂ් තෝරා ගැනීමක් තිබුනද මා මෙම ගමනේදී ගමන් කළ ශ්‍රී ලංකා ගුවන්යානා දෙකෙහිම ෆිෂ් ඉල්ලා සිටියද ඒ වන විටත් ෆිෂ් කෑම අවසන් වී ඇති බවත් මට කියා සිටියහ. ඒ විතරක් නොව එම ගුවන් සේවිකාවන්ගේ ආකල්පයම මගීන්ට සැලකීමට නොව එයින් මග හැරීමට බව ඕනෑම කෙනෙකුට පැහැදිලිවම පෙනේ. කෑම බිම දීමට නොව නොදීමට දරණ වෙහෙස ඕනෑම මගියෙකුට පහසුවෙන්ම දැනෙයි. සේවය කොතරම් පහලට ගොස් ඇත්දැයි කියන්නේ නම් මට ලබා දුන් ආහාර වේලේ අතුරුපස භාජනය හිස්ව තිබුණි. මම ඒ පිළිබඳව ඔවුන්ට දැන්වීමටවත් උනන්දුවක් ගත්තේවත් නැත්තේ එය කිමටවත් මහන්සිවීමේ තේරුමක් නොමැති බව සිතුනු නිසාය.

සිංගප්පුරුවේ පැය 16 නැවතීමක්  තිබුණ නිසා ගුවන් තොටුපළෙන් පිටව නගරයට ගොස් රාත්‍රී ආහාර ගෙන ඥාති නිවසක රාත්‍රී ගතකර පසුදා උදෑසන ජපාන ගුවන් සමාගමේ ගුවන් යානයකින් ජපානය වෙත පියාසර කලෙමි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවාවන් සහ ආකල්ප කොතරම් පහල මට්ටමක පවතීදැයි සංසන්දනය වන්නේ ජපාන ගුවන් සමාගමේ සේවාවන් සහ සංසන්දනය කරන විටය. ඔවුන් එම සේවය කරන විට එය කරන්නේ ඉතා කැමැත්තෙන් බව එහි සේවක සේවිකාවන්ගේ ඉරියව් වලින් සහ හැසිරීමෙන් පැහැදිලිව පෙනේ. එම ගුවන් සේවිකාවන් කිසිම විටක මගීන්ගෙන් සැගවී සිටීමට උත්සාහ කරන්නේ නැත.

පැය 7 ක ගුවන් ගමනකින් මම චිත්‍රපට දෙකක් බලන්නට සැලසුම් කරගෙන සිටියෙමි. එහෙත් තිබූ නවතම හොලිවුඩ් චිත්‍රපට කිහිපයක්ම පරික්ෂා කර බැලු නමුදු හිතට ඇල්ලුවේ නැති නිසා අවසානයේ තෝරා ගත් මේස් රනර් චිත්‍රපටය තෝරා ගත්තේ නමුදු එයද භාගයක් බලන විට එතරම් නැගලා යන්නේ නැති බව පෙනුනි. ඒ නිසා එයද නවතා දමා ඉංග්‍රීසි සබ් හෙඩින්ස් සහිත ජපන් චිත්‍රපට එකිනෙක පරීක්ෂා කර බැලුවෙමි. ඒ අතරින් මා සිත්ගත් fly catcher නමැති චිත්‍රපටයක් බලන්නට තෝරා ගත්තෙමි.

ඉතාමත් අඩු පිරිවැයකින් සාදා තිබූ මේ චිත්‍රපටය අපුරු චිත්‍රපටයකි. පෙරදින  සමුරායි පසුබිමක නිපදවා තිබූ මෙම චිත්‍රපටයේ හාස්‍යය හා නොයෙකුත් මිනිස් හැගීම් මනාව පිළිබිඹු කර තිබුණි.

මෙම ගුවන් ගමනේදී මට ජපන් ජාතිකයන් ගැන බොහෝ දේවල් නිරීක්ෂණය කරන්නට අවස්ථාව ලැබුණි. එයින් පළමු වැන්න ඔවුන් බොහෝ දෙනෙකු අඳින ඇඳුම් ලා පාට ඒවා වීමය. තද පාට හෝ ඩිසයින් ඇති ඇඳුම් ඇඳගෙන සිටින්නන් සිටින්නේ කලාතුරකිනි.

ඔවුන් ගුවන් යානයේ ඉඳගෙන සිටිද්දී පවා හරි පිළිවෙලට ඉඳගෙන සිටිති. කකුලක් උඩ කකුලක් දැමු කෙනෙකු සොයා ගැනීමට අපහසුය.

සාමාන්‍යයෙන් අප බොහෝ දෙනෙකු; බොහෝ බටහිර ජාතීන් මෙන්ම ආසන තුනක මගින් නොසිටියහොත් එතනට ගොස් නිදා ගන්නට පුරුදුව සිටින්නෙමු. මටද එවැනි අවස්ථාවක් මෙහිදී ලැබූ තිබුණු නිසා එසේ නිදා ගන්නට කල්පනා කර වටපිට ටිකක් සොයා බැලුවිට දැක ගන්නට ලැබුනේ එවැනි ආසන තුන හිස් ස්ථාන කිහිපයක්ම තිබෙන නමුදු කිසිම කෙනෙකු ඒවාගේ නිදාගෙන නොමැති බවයි.

රෝමයට ගිය විට රෝමානුවෙකු මෙන් සිටිය යුතු නිසා මමද කකුලක් ඉදහිට එහාට මෙහාට කරනවා හැරෙන්නට ආසනය හරහා වැටි නිදා ගන්නට උත්සාහ නොකලෙමි.

මෙලෙස ගමන් කර නරිටා ගුවන් තොටුපලට පැමිණ එළියට පැමිණෙන විට මගේ මිතුරෙකු මා පිළිගැනීමට එහි පැමිණ සිටියේය.    
  

Friday, September 14, 2018

ජපානයේ සංචාරය ; getting there is half the fun

මම මෙතෙක් බොහෝ රටවල ඇවිද ඇත්තෙමි. ඇවිද පමනක් නොව ජීවත් වීද ඇත්තෙමි. මෙයින් ඉන්දියාවේ අවුරුදු දෙකක් , පකිස්තානයේ අවුරුද්දක් ඇමෙරිකාවේ අවුරුද්දක්  අඩු වැඩි වශයෙන් ද තවත් රටවල් 30 ක පමන  කෙටි  සංචාරකයන් ඇතුළත් වෙයි.

මෙයින් සංචාරයන් තුනක් හැරෙන්නට අනෙක් ඒවා මා වැඩකල ආයතන වල රාජකාරි සඳහා ගිය ඒවා බැවින් ඒවා සදහා වියදම් කරන ලද්දේ එම ආයතනයන් වලිනි.
මගේ මුදලින් මම කල සංචාර වන්නේ මියන්මාරය, වියට්නාමය සහ චීනයයි. ඒ මට ඒවාට කලින් යන්නට අවස්තාවක් නොලැබුනු නිසාත් මෙම රටවල් ගැන මට යම් හේතුවක් නිසා; බොහෝවිට පොත් කියවද්දි හෝ චිත්‍රපට බලද්දී ඇතිවූ උනන්දුවක් නිසා, යාමට උනන්දුවක් සිතේ පැලපදියම් වී තිබූ හේතුවත් නිසා වන්නට පුලුවන.
මෙවර මම යන්නට තීරණය කලේ ජපානයටය. එම තීරණයටද බොහෝ හේතු තිබුනද වඩාත්ම බලගතු හේතු තුන  වූයේ දහනායක බන්ඩාර නැමැති මගේ මිතුරෙකුත් අකිරා කුරසෝවා ත් එලිපන්ට් වැනිශස් පොත් ලියු කතුවරයා  වන හරුකි මුරකාමි යන තිදෙනාය.

දහනායක මට නිතරම මෙම ගමන මතක් කලේය. එයිනුදු නොනැවතී මම එරටට පැමිනිය හොත් ඔහුගේ නිවසේ නැවතී සිටීමට හැකි බවට සහතික කර ඔහුගේ පදිංචිය සහතික කරන යම් ලියකියවිලි කිහිපයක්ද මා වෙත එව්වේය. අනෙක් දෙදෙන එම රට ගැන මා සිත තුල ලොකු උනන්දුවක් ඇති කර තිබුනේ පොත් සහ චිත්‍රපට වලිනි.
මම අන්තර්ජාලයේ බලා අයදුම්පත පුරවා නොයෙකුත් අවශ්‍ය ලියවිලිද සමග එම වීසා ලබාදෙන කොල්ලුපිටියේ පිහිටි කාර්‍යාලයකට රැගෙන ගියෙමි. මෙම ලියවිලි අතර මගේ කසාද සහතිකයේ පිටපතක්ද ලබාදීමට මට සිදුවිය. සති දෙකක චාරිකාවක් සදහා මෙලෙස ලංකාවට පැමිනීමට වීසා ඉල්ලන ජපනෙකුගෙන් ඔහුගේ විවාහ සහතිකය ඉල්ලා සිටීයේනම්  ඔහුගේ ප්‍රතිචාරය කුමක් විය හැකි දැයි සිතාගන්නටත් බැරිය.
සමහරවිට ඒ රටේ ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට මෙය පත්වන්නට ඉඩ තිබේ.

මේ කාලයේ මගේ ජාතික හැඳුනුම්පත නැතිවී නව හැඳුනුම්පතක් අයදුම් කර මාස 10 ක් ගතව තිබුනී. මම සොයා බැලූවිට එය රැගෙන යා යුතුම බව මට වැටහුනී. මේ නිසා මම මේ පිලිබඳව  fb එකේ පෝස්ට් එකක් දැමුවෙමි.
මිතුරන් කිහිපදෙනකුම මේ පිලිබදව උනන්දු වු අතර මුහීඩ් ජිරාම් යන සමාජ  ක්‍රියාකරුවා ආයතනයේ ප්‍රධානියා ට කතාකර එම සතියේ සිකුරාදා තැපෑලෙන් එය ගෙදරට ලැබෙන්න සැලැස්වීය.

තවත් මිතුරන් කිහිපදෙනකුම මේ සදහා උදව් කරන්නට වෙහෙස ගත් අතර මේ අතර මා සමග නාවික හමුදාවේ වැඩකල දෙදෙනෙකු ද මගේ පෝස්ට් එක දුටු පුද්ගලයන් ලියාපදිංචි ආයතනයේ අධ්‍යක්ෂක වරයෙකුද විය.

මම ලියකියවිලි ද රැගෙන කෝල්ලුපිටියේ පිහිටි ඒවා බාරගන්නා පුද්ගලික ආයතනයක් වූ කාර්‍යාලයකට ගියෙමි. මනාව සංවිධානය වූ එම කාර්‍යාලයේ මා දුටු එකම අඩුව වූයේ වේටින්ග් ඒරියා එකේ කොතරම් හිස්පුටු තිබුනත් කලින් පැමිනෙන අයදුම්කරුවන් එයට පිටතින් ආරක්ෂක කවුන්ටරයක් අසල රඳවාගෙන සිටීම පමනී.
මගේ ලිපි චෙක් ලිස්ට් එකකට අනුව එම ආයතනයේ සේවිකාවක විසින් පරීක්ෂා කලාය. එකක් හැර අනෙක් ලියකියවිලි සියල්ල සම්පූර්ණ බව ඇය කිව්වාය.

අවසනාවකට වාගේ නැවතත් හෙනහුරාට හිටියේ මගේ nic එකය.

ජපානෙත් එහෙමද