Wednesday, April 22, 2020

අහිකුන්ටකයෝ දෙවෙනි කොටස , රැවටීම





මා විසින් දුන් නයාගේ විස දත්, අහිගුන්ටකයා විසින් ගලවනු මම බලා සිටියෙමි. ඔහු එය කලේ ඔහු ඒ සඳහාම තබාගෙන සිටින සාමාන්‍ය පැන පිහියකිනි. ලී කරුවකින් ඔලුව තද කරගෙන සිටියදී, නයාගේ උඩු තොල විවෘත කොටුවට හිරවී තිබියදී, පිහියෙන් විස දත් මුළුමනින්ම ගලවා දැමිණ. ඔලුව අනික් පැත්තට හරවා අනික් දතත් ගලවා දැමිණ. අහිගුන්ටකයා ඉන්පසු තම ඇඟිල්ලෙන් උගේ කට ඇතුල පරික්ෂාකර, යම් රළු ස්ථානයක් දැක එයද පිහියෙන් ගලවා ඉවත් කළේය. මෙයින් පසු ඔහු නාගයා නිදහස් කළේය. ඌ ඔහු පසුපස ඔහුට පහරදීමට පැමිණියේය. ඔහු නයාගේ පහර දීම පහසුවෙන්ම මඟ හැරි අතර, ටික වෙලාවකින් නාගයා මහන්සියට පත්වුණු අතර, මිනිසා ඌ කූඩයේ තැන්පත් කළේ ඊළඟ නයි නැටුමේදී පාවිච්චි කිරීම සඳහාය.
සමහරක් මේ මිනිසුන් බොරුවට නයින් අල්ලා පෙන්වන්නට ඉතාමත් දක්ෂයෝය. ඔවුන් නලාව පිඹ බොරුවට නයෙකු සැඟවී ඇති තැනකින් එලියට ගන්නා ආකාරයක් පෙන්වා, නරඹන්නන් ඔහු ඇත්තටම කැලයේ සිටින නයෙකු අල්ලන බව පෙන්වා රවට්ටති. මම මෙලෙස මා බලාසිටියදීම ඔවුන් ලවා මෙය කරවා ඇත්තෙමි. මම ඉතා ලඟට වී බලා සිටියද, ඔවුන් කොයි වෙලාවේ නයා අල්ලා ගත්තේ දැයි මට නිරීක්ෂණය කිරීමට නොහැකි විය. මෙම අවස්ථා දෙකේදීම මම එම අල්ලාගත් නයින්ගේ මුඛය පරීක්ෂා කර බැලුවෙමි. නයින් දෙදෙනාගේම විස දත් කලින් ගලවා ඇති බව නිරීක්ෂණය විය. මගේ අහිගුන්ටික මිතුරාද මට කිව්වේ, එම නයින් ඇල්ලීම අහිගුන්ටිකයන් ටික දෙනෙකුට පමණක් හැකියාව ඇති රැවටීමක් බවයි.
මෙම අවස්ථා දෙකෙහිම ඉනේ සිට කකුල් දක්වා පමණක් සරමක් ඇඳගත් ඇ, කැලයකට කිට්ටුව නලාව පිඹින්නට පටන් ගත්තේය. ඔහු ටික වෙලාවකට පසුව එක්වරම පඳුරු අතර නැමී නයෙකු අල්ලා ගන්නට උත්සාහ කරන ලෙස හැසිරුණේ, නයා ඔහුගේ උත්සාහය ව්‍යර්ථ කරන බවක් පෙන්නමිනි. ඔහු ටික වෙලාවක් නැවත නලාව පිම්බේය. එක්වරම නැවත පාත්වී අඩි 6 ක පමණ නයෙකු පඳුරු අස්සෙන් එලියට ගත්තේය. මුලින් වලිගයෙන් අල්ලා ගත් නයා ගේ කඳ දිගේ අත යවා, ඔහු උගේ බෙල්ල හිරකර අල්ලා ගත්තේය. බොහෝවිට මොහු පළමුවර නැමෙද්දී නයා එම පඳුරු අස්සට දමන්නට ඇත. ඉන්පසු දෙවන වර ඌ කැලය ඇතුලට යද්දී අල්ලා ගන්නට ඇත.
තවත් වරෙක නයා අල්ලා ගෙන කැලයෙන් එලියට එද්දී, ඔහුගේ අතේ මැණික්කටුව සහ ඇඟිලි අතර නයා දෂ්ට කල ආකාරය පෙන්වූ ආකාරයද අපුරුය. දත්වලින් ඇතිවූ සිදුරු දෙක සහිත තුවාලය, ඔහුගේ මුහුණෙන් පෙන්වූ වේදනාව යනාදිය මෙම සිද්ධියේ තාත්වික බාවය මොනවට පෙන්විය.
මෙලෙස නයා ගැසූ විස ඉවත්කිරීමට, මන්තර කිරීමක් සහ ජප කරන ලද වැලක් සහ හුණු බෝලයක් ඔවුන් යොදා ගනු ලැබේ. දෙවැන්න යොදාගන්නේ විස බැස යන ආකාරය පරීක්ෂා කිරීමටය. පළමුවැන්න විස තුවාලය වෙත ගෙන්වා ගැනීමටය. විස ගල් යනුවෙන් හඳුන්වන, කොටුවට කපන ලද අඟක කොටසක්, තුවාල වලින් විස ඇද්දවීමට යොදාගනු ලැබේ. මේවායේ එක පැත්තක් තරමක අවපාතයකින් යුක්ත වෙයි. මෙම ගල් තෙත ගතිය නිසා වායුගෝලීය පීඩනයෙන් තුවාලය තිබෙන ප්‍රදේශයට ඇලවෙයි. මෙම තුවාල ඔවුන් ඇතිකර ගන්නේ, ගැලපෙන දුරකින් එලෙස කටු තිබෙන කටු අත්තක් එතනට තබා, මහපට ඇගිල්ලෙන් තද කිරීමෙන් බව මට අසන්නට ලැබුණි.
මෙයින් ඇ එක් ළඟ ගමකට ගොස් එහි නයින් නොමැති යයි නිවැසියන් කියූ ගෙවල් තුනකින්, මෙලෙස නාගයන් අල්ලා ගත්තේය. එහෙත් අවසාන ඔහුගේ කූඩයේ සිටියේ නාගයන් දෙදෙනෙකු බව, මට එම ගම වැසියෝ කීවහ. ඒ මුලින් කැලයෙන් ඇල්ලුවා යැයි ඔහු කියූ නාගයන් දෙදෙනා විය යුතුය.
මෙම මිනිසුන් සතුටුදායක ලෙස ජීවත්වෙති. ඔවුන්ගේ ජීවන තත්වය සාමාන්‍ය ගැමියන්ට වඩා ඉහලය. එම කාන්තාවන්ට අලංකාර වීදුරු සහ පිත්තල ආභරණ පළඳිති. එක රැලක කාන්තාවක්; ඇය එහි ලස්සනම කාන්තාව විය යුතුය, මාල 16 ක් කළු වීදුරු වළලු 24 ක්, අතේ උඩ හරියේ රිදී වලලු 4 ක්, මුදු 6 බැගින් පැළඳ සිටිනවා මම දුටිමි. ඇය මුදු නැතුව සිටියේ අත් දෙකේම මැද ඇඟිලිවල පමණි.

Sunday, April 19, 2020

හෙන්රි පාකර් 1900 දුටු ලංකාවේ අහිකුන්ටකයෝ







අවුරුදු දෙකකට පමණ වරක් තෙලිඟු, කැඩිච්ච සිංහල සහ දෙමල කතා කරන අහිගුන්ටක කණ්ඩායමක් මාර්ගයේ පැමිණ, පාර අයිනේ වැවක් අසල එලිමහනක කඳවුරු බඳිති. ඔවුන්ගේ කුඩා කූඩාරම් සැදීම සඳහා යොදාගන්නා වේවැල් සහ තල් අතු බූරුවන් පිට රැගෙන එන අතර, අනෙකුත් ඉවුම් පිහුම් උපකරණ කාන්තාවන් සහ ළමයින්ගේ ඔලුව උඩ ගෙනෙති. මෙවැනි සමහර කණ්ඩායම් එළුවන් රංචුවක්ද රැගෙන පැමිණෙති.
ඔවුහු අඩි 4/5 පමණ උස කුඩාරම් ටික තෝරාගත් පිටියේ තනා  ඉවරවූ පසු, කුඩා  දරුවන් ළමයින්ගේ සහ වයසක කාන්තාවන්ගේ බාරයේ තබා, මුදල් සහ ආහාර එකතු කරන්නට අවට ගම් වලට යති. පිරිමි කළු පාට වේවැල් පෙට්ටියක් රෙද්දකින් කරේ එල්ල ගෙන යති. එහි නයෙකු හෝ දෙදෙනෙකු දමාගෙන යන්නේ නැටවීම සඳහාය. නටන බව කීවද එම නයි රවුම් ගැසී අඟල් 15 ක් පමණ තම පෙනය ඔසවාගෙන, නලාවක් පිඹිමින් ඉඳගෙන සිටින අයිතිකරු ගේ රිද්මයකට සොලවන දනිහට හෝ අතට, තම පෙනයෙන් පහරදීමට උත්සාහ කරති. කාන්තාවන් මේ අතර අල්ලේ රේඛා කියවමින් මිනිසුන්ගේ වාසනාව කියති.
මේ අතර තරුණ ලඳුන් හතරවෙනි හෝ පස්වෙනි වතාවට තමන්ට කඩවසම් හරකාබාන යහමින් ඇති කඩවසම් තරුණ සැමියෙකු ලැබෙන බව අසාගන්නට, මෙම සාස්තර කාරියන්ට ගෙවිය යුතු පැන්ස බාගයක් ගේ පුරා සොයති. වැඩිහිටියන් නයි නැටුම බලා සහල් ටිකක් දෙති. අසල ගම් වලින් යමක් එකතුකර ගැනීමේ හැකියාව අවසන් වූ පසු අහිකුන්ටකයන් පිරිස, වෙනත් තැනකට පිටත්වෙති. ආහාර සඳහා සතුන් අල්ලා ගැනීමට ඔවුනට උදව්වන බල්ලන් කිහිප දෙනෙකු ඔවුන් සමග සිටිති. කකුල් ඇති හෝ නැති කන්නට පුළුවන් ඕනෑම සතෙකු ඔවුන් ආහාරයට නොගෙන ඉන්නේ නැත. ලොකු කූඹින්, මීයන්, බකමුනන්, මුගටියන් සහ ගමකින් එලියට පැමිණි හොරෙන් අල්ලා ගන්නා කුකුලන්ද මේ අතර වෙයි.
මෙම අහිකුන්ටකයන් කෙනෙකුගේ සිත්ගන්නා පිරිසකි[1]. මම ඔවුන් සම්බන්ධව කුඩා විස්තරයක් කියන්නට සතුටුය. ඔවුන් මෙම දුපතේ ස්ථිර පදිංචි කරුවන් වන අතර, වැඩියෙන් දක්නට ලැබෙනුයේ නැගෙනහිර සහ උතුරු දිස්ත්‍රික්කවලය. සිංහල දිස්ත්‍රික්කවල ඔවුන් අමුතුම භාෂා ව්‍යවාහරයක් ගොඩනඟා ගෙන තිබේ. උදාහරණයකට තෙලිඟු භාෂාවෙන් කුකුලන්ට කියන්නේ කොල්ලු යන්නයි, සිංහලෙන් එය කුකුලා වන අතර ඔවුන් කියන්නේ ගුග්ලු යන වචනයයි.
යම් මුදලක් දීම නිසා මා සමග මිත්‍ර වූ අහිගුන්ටකයෙකු; පසුව පන පිටින් අල්ලා ගත් නයෙකු දීමෙන්, එම මිත්‍රත්වය තවත් වැඩි විය, ඔවුන් මෙතරම් දුෂ්කර ජීවිත ගත කලද, හොඳ සෞඛ්‍යයෙන් ජීවත් වන බව දැනගන්නට ලැබුණි. ඔවුන් මෙයට හේතුව ලෙස කියන්නේ නිතරම පානීය ජලය වරින් වර මාරු වීමත්, දවස් 7 කට වඩා එක් තැනක ජීවත් නොවීමත්ය. නැගෙනහිර ප්‍රදේශයේ සමහර කණ්ඩායම් හරක් 500 ක පමණ රැලක අයිතිකරුවන් වන අතර, එවැනි අය එක් තැනක් මාසයක් පමණ ජීවත්වෙති.
ඔවුන් තම සර්පයන් මසකට වඩා තමන් ළඟ, තබා ගන්නේ නැත. ඒ ඔවුන් කලක් යනවිට නටන්නට කම්මැලි වන නිසා බව කියති. තවත් වැදගත් හේතුවක් නම් එවැනි කාලයක් යනවිට සතුන්ගේ විස දත් නැවත වර්ධනය වීමය. සර්පයන්ට කෑමට දෙන්නේ කුකුල් බිත්තර වන අතර, ඉඳ හිට මීයෙකුත් ආහාරයට ඇතුළු වෙයි.
විස දත් නොගැලවූ නාගයන් මෙලෙස නැටවීම නොකළ හැක්කක් යැයි ඔවුන් කියති. මේ පිළිබඳව සර් බාට්ල් ෆ්රෙර් ගේ old Deccan days නම් පොතෙහි, 329 පිටුවෙහි විස දත් නොගලවා නයින් නැටවූ ළමයා ගැන කතාව කියවිය හැක. අවසානයේ ඔහු නටවන නයෙකු දෂ්ට කිරීමෙන්ම ළමයා මිය ගියේය.


[1] වර්තමානයෙද මෙම අහිකුන්ටකයින් 25000 ක පමණ ජනතාවක් ලංකාවේ ජීවත්වෙති. එම ජනතාවට නායකයෙකුද සිටියි. ඔහුගේ නම කන්දසාමිගේ රමසාමිගේ අනවත්තු මසන්නා වෙයි. දැන් ඔවුන් අතර බෞද්ධයන් සහ ක්‍රිස්තියානි ආගම් අදහන්නන් සිටිති.ඔවුන් සියල්ලන්ම එකතුවන අවස්ථාවට වරිගසභා යයි කියනු ලබන අතර එය අවසන්වරට පවත්වා ඇත්තේ 2011 වසරේ රාජාන්ගනයේදීය.

Sunday, April 12, 2020

අවුරුදු 150 කට පෙර අවුරුදු කෑම




මෙම නිරීක්ෂණයන් අවුරුදු 130 කට පමණ පෙර හෙන්රි පාකර් නම් ලංකාවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වැඩකළ ඉංජිනේරුවෙකු විසින් ලියන ලද්දකි.

සාමාන්‍ය ගැමි ජීවිතය කිසිම විනෝදයක් නැති එකකි. ඔවුනට යම් හෝ සතුටක් ලැබෙන්නේ අසනීප සඳහා කෙරෙන බලි තොවිල්, ඉඳහිට ඇතිවන නඩු හබ සහ විවාහ මංගල්‍යය වලිනි. විවාහ උත්සව හොඳ ආහාර වේලක් ගන්නට, ඇඳුම් සහ ආභරණ ප්‍රදර්ශනය කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ වුවද, කුල ප්‍රශ්න සහ පවුල් අතර ඊර්ෂ්‍යාව නිසා ඉඳහිට ආරවුල් ඇති නොවන්නේද නොවේ.

ප්‍රසිද්ධ විහාරස්ථාන වලට වන්දනාවේ යාමද කණ්ඩායම් වශයෙන් සිදු කරති. එංගලන්තයේ මෙන්ම එවැනි කණ්ඩායමක සංයුතිය සාමාන්‍යයෙන් දහයෙන් නමයක් පමණ කාන්තාවන් වෙයි.

ගැමි ජීවිතයේ එක් ප්‍රසන්නම අවස්ථාවක් වනුයේ පවුල එකට එකතු වීමය. මෙය සිදුවනුයේ අප්‍රේල් මස 11 හෝ 12 වන දිනය. මේ සඳහා සියලු දෙන තමන්ගේ මහගෙදරට එකතු වෙති. ඒ සමගම ත්‍යාග හුවමාරු කර ගනිති. ඔවුන්ගේ මිතුරන් සහ නෑදෑයන් ගේ නිවෙස් වලට අලුත් ඇඳුමෙන් සැරසී යති. පිරිමි මෙලෙසටම තම ගම් ප්‍රධානින් හමුවන්නටද, ඔවුන් තමන්ගේ ඉහල නිලධාරින් හමුවන්නටද යති. සැතපුම් 90 ක් දුර දුවිලි සහිත මාර්ගයේ මෙවැනි හමුවක් සඳහා පවුල් පිටින් පයින් ගමන් කරන, පවුල් මම දැක ඇත්තෙමි.

උත්සවයට සති 3 කට පමණ පෙර සිට, මුළු ගමම මේ සඳහා ලක ලෑස්ති වෙති. නිවෙස් අලුත්වැඩියා කෙරෙති, කෙසෙල් කන් සහ සීනි; සමහරවිට බොහෝ දුර සිට, එකතු කරති. දෛනික වැඩ කටයුතු සියල්ල යටපත් වී, සියලු දෙන සිතන්නේ මෙම පැමිණෙන උත්සවය පිලිබඳවය. මේ කාලය නැකත් බලන්නන්ටද වැඩ අධික කාලයකි. ඔවුහු ලිප ගිනි මෙලවිමට, ආහාර පිසීමට සහ දවස් තුන හතරකට පසුව හිස තෙල් ගෑමට දිනයන් සහ වේලාවන් ගණනය කල යුතුය. මෙම උත්සවයට පිළියෙළ වෙද්දී වෙනත් කිසිම වැඩක් හෝ ගමනක් ආරම්භ කරන්නේ නැත.

බොහෝ ගම් වල කාන්තාවන් අඳුරු සැගවුම් ස්ථානයකින්, මේ කාලයට කුඩා අවපාත 14 ක් ඇති ලෑල්ලක් එලියට ගනිති. මෙම අවපාත සාදා තිබෙන්නේ 7 බැගින් පේලි දෙකකටය. පෞරාණික ක්‍රීඩාවක් වන ඔලිඳ නමැති ක්‍රීඩාව කරන්නේ මෙම ලෑල්ල මතය. ලෑල්ල දෙපස ඉඳ ගන්නා කාන්තාවන් දෙදෙනෙක්; මෙම ක්‍රීඩාව කරන්නේ කාන්තාවන් පමණි, රතු ඔලිඳ ඇට මෙම අවපාත මත දමති. ඔවුන් මෙම ක්‍රීඩාවේ අති දක්ෂ වන අතර, සමහර විට පැය 4 ක් පමණ එක දිගටම ක්‍රීඩා කරති. අවුරුදු උත්සවය අවසන් වූ පසු එම ලෑල්ල සඟවන ස්ථානයට ආපසු යන අතර, නැවත එලියට එන්නේ ඊළඟ අවුරුද්දටය. පහත රට බලපෑම ඇතිවී ඇති ගම්වල දැන් සුදු කෙලිම පැතිරී ඇති අතර, පිරිමි මෙයින් මහත් ආශ්වාදයක් ලබති.

අවුරුදු දෙකකට පමණ වරක් තෙලිඟු, කැඩිච්ච සිංහල සහ දෙමල කතා කරන අහිගුන්ටක කණ්ඩායමක් මාර්ගයේ පැමිණ, පාර අයිනේ වැවක් අසල එලිමහනක කඳවුරු බඳිති. ඔවුන්ගේ කුඩා කූඩාරම් සැදීම සඳහා යොදාගන්නා වේවැල් සහ තල් අතු බූරුවන් පිට රැගෙන එන අතර, අනෙකුත් ඉවුම් පිහුම් උපකරණ කාන්තාවන් සහ ළමයින්ගේ ඔලුව උඩ ගෙනෙති. මෙවැනි සමහර කණ්ඩායම් එළුවන් රංචුවක්ද රැගෙන පැමිණෙති.


ඔවුහු අඩි 4/5 පමණ උස කුඩාරම් ටික තෝරාගත් පිටියේ තනා  ඉවරවූ පසු, කුඩා  දරුවන් ළමයින්ගේ සහ වයසක කාන්තාවන්ගේ බාරයේ තබා, මුදල් සහ ආහාර එකතු කරන්නට අවට ගම් වලට යති. පිරිමි කළු පාට වේවැල් පෙට්ටියක් රෙද්දකින් කරේ එල්ල ගෙන යති. එහි නයෙකු හෝ දෙදෙනෙකු දමාගෙන යන්නේ නැටවීම සඳහාය. නටන බව කීවද එම නයි රවුම් ගැසී අඟල් 15 ක් පමණ තම පෙනය ඔසවාගෙන, නලාවක් පිඹිමින් ඉඳගෙන සිටින අයිතිකරු ගේ රිද්මයකට සොලවන දනිහට හෝ අතට, තම පෙනයෙන් පහරදීමට උත්සාහ කරති. කාන්තාවන් මේ අතර අල්ලේ රේඛා කියවමින් මිනිසුන්ගේ වාසනාව කියති.


Friday, April 10, 2020

අනර්ත්යා සෙන් සහ ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීමේ ප්‍රශ්නය




ඉන්දියාවේ ආර්ථික විද්‍යාඥයෙකු වන අමර්තයා සෙන්,  ලෝකයේ මේ කොනට  ඉතාමත් කලාතුරකින් ලැබෙන ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගත්තේය. ඔහු බංගලි ජාතිකයෙකු වුවද ,  දෙමව්පියන් කල්කටාවේ ජීවත් වූ නිසා තම පුරවැසියෙකුට මෙලෙස නොබෙල් තෑග්ගක් ලැබීමේ ගෞරවය බංගලා දේශයට හිමි නොවී, ඉන්දියාවට හිමිවීම බංගලාදේශ ජාතිකයන්ට මහත් කනගාටුවට කාරණයක් වන්නට ඇති බව සිතන්නට පුළුවන.
ඔහුට අමර්ත්‍ය යනුවෙන් නම තබන ලද්දේ රබින්ද්‍ර නාත් තාගෝර් බව කියනු ලැබේ.
එංගලන්තයේ සහ ඇමරිකාවේ බොහෝ විශ්ව විද්‍යාලවල ඉහල තනතුරු දැරූ ඔහු දැන්, හාවඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරයාද වෙයි. 1981 වර්ෂයේ සෙන් දුර්භික්ෂයන් සම්බන්ධව කරන ලද පර්යේෂණ සම්බන්ධව පොතක් ප්‍රකාශ කළේය. ඔහු එම පොතෙන් තර්ක කලේ දුර්භික්ෂය ඇති වන්නේ ආහාර හිඟයන් ගෙන් නොව, ආහාර බෙදා හැරීම සඳහා ඇති යාන්ත්‍රණයේ ඇති වී තිබෙන යම් අඩුපාඩු නිසා බවය.
දුර්භික්ෂයක්ම කියන්නට බැරි වුනත්, දැන් පවතින පුරවැසියන්ට තමන්ට අවශ්‍ය ආහාර ලබා ගැනීමට ඇති දුෂ්කරතාවය සහ නිෂ්පාදනය කරන්නන්ට, තමන්ගේ නිෂ්පාදනයන් පාරිභෝගිකයන් වෙත ගෙන යාමට නොහැකි වීම, යම් තරමකට අත්‍යඅවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයේ කඩා වැටීමක් බව පෙනේ.
සෙන් ඔහුගේ අධ්‍යයනයට යොදා ගත් බෙංගාලි දුර්භික්ෂය සිදු වන්නේ 1943 වසරේදීය. නමුත් අප දැන් ජීවත්වන්නේ 2020 වසරේය. මෙම කාල වකවානු දෙක අතරේ අවුරුදු 80 ක පමණ කාල වෙනසක් ඇත්තේය. මෙය අවුරුදු 80 ක කාලය පමණක වෙනසක් නොවේ. එම කාල වෙනස ලෝකයේ බොහෝ ශීඝ්‍ර අන්දමින් අප ජීවත් වන්නට යොදා ගන්නා තාක්ෂණ දියුණු විය, වෙනස් විය. විශේෂයෙන්ම සන්නිවේදනයේ දියුණුව කිසිම කෙනෙකු අනාවැකි පල නොකල, එසේම නොසිතු විරූ අයුරින් දියුණුවට පත් විය. විශේෂයෙන්ම මිනිසුන්ට තනි තනිව, තනියම කණ්ඩායමක් සමග සහ කණ්ඩායමක් අතර සන්නිවේදනය, ඉතාමත් පහසුවෙන් ක්ෂණිකව ඉතාමත් සුළු  මුදලකට එසේත් නැත්නම්, මුදලක් වියදම් නොකරම කරගන්නට හැකිවන තරමට දියුණු වී ඇත්තේය.
උදාහරණයකට මම සහ බිරිඳ මේ ලඟකදී (කොවිඩ් වසංගතයට පෙර) දඹදිව වන්දනාවේ ගොස්, එහි ගතකල දවස් 10 ටම නිවසට සහ පිටරට සිටින දුවට දිනපතා සන්නිවේදනය කිරීමට සත 5 ක් වත් වියදම් වුයේ නැත. අපි whatsapp සහ හෝටල් වල නොමිලේ wifi වලින්ම වැඩේ දුන්නෙමු.
අපේ රටේ රජයන් බොහෝ දියුණු රටවලට වඩා වෙනස් ආකාරයෙන් ආහාර සහ වෙනත් සැපයුම් සඳහා නිෂ්පාදකයන් සහ පාරිභෝගියන් අතර අතරමැදියෙකු වන්නට සැමවිටම උත්සාහ කළේය. වී අලෙවි මණ්ඩලය, සමූපකාර ව්‍යාපාරය, සතොස එසේම සේවා සඳහා දුම්රිය, ලංගම, ශ්‍රීලන්කන්, වැනි ආයතන හරහාද, එම භාණ්ඩ සහ සේවා සැපයීමට අතරමැදියෙකු වීමට උත්සාහ කළේය. මේවායේ දේශපාලනීකරණය වීමෙන් සහ දූෂණ වංචා, අප රට කාන්තාවන් බැල මෙහෙවරට පිටරට යැවීමට තරමට අප දුප්පත් විය.
දැන් අප මෙම කොවිඩ් වසංගතය මැඩපැවැත්වීමේ අරමුණෙන් මේ කරන්නාවූ lockdown එකෙහිදීද, ආහාර බෙදා හැරීමේ යාන්ත්‍රනය මෙවැනි අසාමාන්‍ය අවස්ථාවකට මුහුණදීමට වෙනස්කර ගන්නේ නොමැතිව, නැවත වරක් රජයේ යකඩ හස්තය යොදා ගැනීමට කල්පනා කිරිම, කිසිසේත්ම කරන්නට සිතිය යුතු නොවේ.
එසේනම් මේ සඳහා කලයුත්තේ කුමක්ද? අප වෙත ලැබී ඇති තාක්ෂනය මේ සඳහා පාවිච්චි කිරීමය. ඇත්තෙන්ම ඊමෙල්, වට්සැප්, වයිබර්, වැනි තාක්ෂණයන් යොදාගෙන, නිෂ්පාදකයන් සහ පාරිභෝගකයන් අතර පාලමක් එසේත් නැත්නම් දැන් කියනා පරිදි වේදිකාවක් හදා දීමය.
මේ සඳහා හමුදාව යෙදවීම, එසේත් නැත්නම් අතරමැදි වෙළෙන්දන් අල්ලා සිරගත කිරීම, වැනි දරුණු තදබල ක්‍රියාවන් කරන්නට කිසිම අවශ්‍යතාවයක් නැත. ආහාර නිෂ්පාදනය කරන්නන් සහ පාරිභෝගකයන් කතා කරන්නට සැලැස්වීම පමණි. ඔවුන් කතා නොකරන තාක් මේ ප්‍රශ්නය විසදෙන්නේ නැත. රජය කලයුත්තේ ඔවුනට කතාකර හෙට්ටු කර, දෙපැත්තටම සාධාරණයක් වන පරිදි ඔවුනට ගනු දෙනුවක් කරගන්නට ඉඩ සැලැස්වීමය. 
 මේ වැඩේ කරන්නට අමර්ත්‍යා සෙන් ගෙන්නන්නට අවශ්‍ය නැත. ඒ තරම් ලොකු මුදලක් වියදම් වෙන්නෙත් නැත. මට දෙනවා නම් මම මිලියන දෙකක පමණ මුදලකින් කර පෙන්වමි.

Monday, April 6, 2020

2- ඉංග්‍රීසි ඉංජිනේරුවෙකු 1900 යේ දුටු කඳුරට ගමක් - 2



https://lakshmanillangakoon.blogspot.com/2020/04/1900.html සිට 


වනය සහ කැලෑව හරහා යන පාරේ නොයෙක් ආකාර ජීවිත වල ලකුණු දකින්නට පුළුවන. හුඹසක් තුලට තම දිග දිව ඇතුළු කර කෘමින් කමින් සිටින, අඩි 4 ක් පමණ දිග තලගොයෙකු අප දැක බියවී තුඹසේ පැත්තක ගුලකට රිංගයි. උසින් බොහෝ වැඩි ගසක මුදුනේ අත්තක සිට හීන් කොට්ටෝරුවෙකු  තම ඇඟ දෙපැත්තට වනමින් ටොක් ටෝක් හඬින් කෑ ගසයි. කොට්ටෝරුවෙකු මහ හඬින් කෑ ගසමින් පාර හරහා පනියි. ඌ තෙවරක් එසේ කෑ ගසයි. ඒ ඇරෙන්නට නිසලතාවය බිඳින්නට කිසිවක් සිදු වන්නේ නැත.
 මෙලෙස හේන් සඳහා ගිනි නොතැබූ වන ප්‍රදේශයකට පැමිණීම මහත් අස්වැසිල්ලකි. එහි වෘක්ෂලතා නොයෙකුත් විවිධාකාරයෙන් යුක්තය, උස ගස් පඳුරු කැලෑවෙන් බොහෝ ඉහලට උස්වී ඇත. ගිනිතැබීම් නිසා විනාශ වී ඇති කැලයෙන් මෙම කැලයට ඇතුලුවන විට දැනෙන්නේ මහත් සහනයකි.
මේ අලින්ගේ වාසස්ථානය බව විශාල පිය සටහන් වලින් සහ තැනින් තැන කඩා දමා ඇති කුඩා අතු වලින් පෙනේ. තරමක් පැත්තකට නැමුණු ගසක අලියෙකු තම පිට අතුල්ලා ඇති බව එහි තැන තැන හමගිය පොත්තෙන් පෙනේ.
තවත් හේන සඳහා සුද්ද කර ඇති කැලෑ ප්‍රදේශයක් පසුකල පසු මාවත ගමේ වැවේ එක බැම්මක් වෙතට දිවෙයි. මෙවැනි වැවක  සාමාන්‍යයෙන් අක්කර දෙකේ සිට සියය දක්වා ප්‍රමාණයක විසිරී ඇති; සාමාන්‍යයෙන් අක්කර 20 ක් 50 ක් පමණ වන, තුනී ජලය තට්ටුවක් දකින්නට පුළුවන.
වැව් බැමි වල මිටි තණකොළ වැවී තිබුණු අතර, බැමි සාමාන්‍යයෙන් සැතපුමකින් 1/8 සිට සැතපුමක් පමණ දිගින් යුතු විය. උසින් අඩි 9 සිට 16 දක්වා වූ මෙම බැමි මුදුනේදී පළලින් අඩි 6 ක් පමණ වූ අතර, ජලය පතුලේ මට්ටමෙන් අඩි කිහිපයක් ඉහලට එසවී තිබිණ.
අප මෙතෙක් පැමිණි පිළිස්සුනු බිම හා සසඳන විට වැව් දර්ශනය ඊට හාත්පසින්ම වෙනස් මනරම් දර්ශනයක් ලබාදෙයි. මේ හා සමකල හැකි අලංකාර දර්ශනයක් පෘතුවිය මත තවත් ඇත්තේදැයි කියන්නට නුපුළුවන. මෙහි කෙනෙකුට ගසක සෙවනේ ඉඳගෙන ස්වභාවික පරිසරය පිළිබඳව මෙනෙහි කරන්නට පුළුවන. ඝෝෂාකාරී කර්මාන්තශාලා, වේගයෙන් දුවන දුම්රිය සහ වාහන, ජනයාගෙන් පිරුණු, නගර වලින් පිරුණු, කලබල සහ පීඩනයෙන් පිරුණු කෘතීම ලෝකය, භයානක සිහිනයක් මෙන් සම්පුර්ණයෙන්ම නොපෙනී යන්නට හැරිය හැක.
මෙහි පවතින්නේ නිශ්ශබ්ද වූ සාමයයි; අවුරුදු 2000 ක් පමණ වෙනසක් නොවූ, තවත් එවැනිම කාලයක් එලෙසම පැවතිය හැකි සාමයයි. කලබලයෙන් පිරුණු බටහිර ශිෂ්ටාචාරය එතරම් කාලයක් පැවතිය හැකිදැයි කෙනෙකුට සැක සිතෙයි. එය එහි තාපයෙන්ම පිලිස්සී ගොස් එයට පෙර තිබු මියගිය ශිෂ්ටාචාරය නැවත පැමිණෙන්නට පුළුවන.
අවට පරිසරය විසින් සිතට ඇතුලු කරන එවැනි දහවල් සිහින වලින් අවදිවන අප වටපිටාවට සිත යොමු කරමු. වැවේ දෙපැත්තේ සහ බැම්මේ පිට පැත්තේ මහා වෘක්ෂයන් වැවී ඇත. සමහරක් විශාල කඳන් වල ශක්තිය වැඩිකර ගැනීමට ඝන මුල් එම ශක්තිය අවශ්‍ය පැත්තෙන් වැවී ඇත. ඉර ආලෝකය ලබාගැනීමට විශාල අතු එක පැත්තකින් වැවෙන විට, එම අතු කඩා නොවැටෙන්නට මුල් වැනි ආධාරක බොහෝ ඝනකමට අඩි 10 ක් 15 ක් උසට වැවී තිබේ. හරියට ඉංජිනේරුවෙකු විසින් නිර්මාණය කලාක් මෙන් මෙවැනි අධික බරක් ඇති අතු නොවැටී තබාගැනීමට එවැනි මුල් දෙකක් පමණද අතු තිබෙන පැත්තට විරුද්ධ පැත්තේ කඳේ  උදව්වට තවත් එවැනි මුල්ද වර්ධනය වනු දැකිය හැක.
එහිද නොයෙකුත් වර්ගයේ සත්වයන් ගෙන් අඩුවක් නැත්තේය, වැවෙන් වතුර බීමට පැමිණි වඳුරන් රැලක් ගස් වල සිට, ආගන්තුකයන් වන අප  උනන්දුවෙන් නිරීක්ෂණය කරති. එසේත් නැත්නම් ගස්වල අතු මත නිවිසැනසිල්ලේ ඇවිදිති. සමහරක් වඳුරන්ගේ සිරුරේ පැටවුන්ද එල්ලී සිටිනු පෙනේ.
 සමහර වැව් වල මැද ඇති කළු ගල් මඩ පැහැති කිඹුලන්ට නිවාසයක් වෙයි. කුඩාම වැව් කිහිපයක හැරෙන්නේට අනික් සියල්ලේම පාහේ කිඹුලන් වාසය කරති. උන් අතරමංවූ පර බල්ලන් ලෙසට එම ගල් මත නිදාගෙන සිටිති. උෂ්ණත්වයෙන් බේරීමට මෙන් කටවල් අරගෙන සිටියද, එම උෂ්ණත්වයෙන් බේරෙන්නට ඔවුන් කිසිම උත්සාහයක් ගන්නා බවක් නම් නොපෙනේ.
කළු පැහැති ලොකු දියකාවන්  කිහිප දෙනෙකු සහ කුඩා රාජාලින්  දෙතුන් දෙනෙකු ඒ ගලේම තවත් පැත්තක විඩා  හරිති. ඒ අතරම කළු ඉබ්බන් කිහිප දෙනෙකු ; ආහාරයට ගන්නා දුර්ලභ කිරි ඉබ්බන් නොවේ, ජලයට කිට්ටුවෙන් සිටිනු දැකිය හැක. වතුරේ ඇති කෝටුවක ඉඳගෙන සිටිනා මාළු අල්ලන කුරුල්ලෙකු වතුර දෙස බලා සිටි. නයෙකුගේ මෙන් දිග බෙල්ලකින් යුත්, මාළු ගොදුරට වඩා වේගයෙන් පිහිනිය හැකි ඌ තම පළල පියාපත් අව්වෙන් වේලා ගනියි. උගේ සහකරු තම ඔලුව සහ බෙල්ල පමණක් ජල මට්ටමෙන් උඩට තබා ගනිමින් මාළුවෙකු පසුපස පිහිනයි.

Saturday, April 4, 2020

ඉංග්‍රීසි ඉංජිනේරුවෙකු 1900 යේ දුටු කඳුරට ගමක් - 1







ලංකාවේ උතුරු මැද සහ වයඹ ප්‍රදේශ ඉහල මුදුනක සිට නරඹන විට, පහතින් දිස්වන  දර්ශනය තද හරිත වර්ණ මුහුදක් සේ පෙනෙයි. ඒ හරහා සුළඟක් හමා යනවිට, ගස් මුදුන් එයට ඉඩදී නැමෙන විට, මහා මුහුදේ රැලි පෙරළෙනවා සේ පෙනෙයි. මෙම වන සාගරය සහ හිරු අතර වලාකුළු පාවෙන විට, තවත් තද කොලපාට වලාකුළු සෙවනැලි සීමාවක් නැති සාගරය මත එකිනකා පසුපස යන්නාක් මෙන් දිස්වෙයි. භුමියේ උසෙහි වෙනස්කම් නොපෙනී යන අතර, තැනින් තැන ඉහලට එසවී ඇති දුපත් ලෙස පෙනෙන කළුගල් පර්වත හැරෙන්නට, මුළු වනයම එකම උසක තිබෙන, එසේම දිය රැලි ඒ මත ගමන් කරන සාගරය ලෙස පෙනෙයි.
අපට පහතින් එසේම  ඉදිරියෙන් තිබෙන කඳු, අඟුටු මිට්ටන් වී පෙනෙන අතර, අපට පසුපසින් තිබෙන අපට වඩා උස කඳු තවත් විශාල වී පෙනෙයි. අපට කිට්ටුව තැනින් තැන වටේ වනයට වඩා, කොළ පැහැයෙන් අඩු, කුඹුරු ඉඳ හිට දකින්නට පුළුවන් අතර, ගමක වැව මතට වැටුණු හිරු එලිය ලා නිල් පැහැයෙන් පරාවර්තනය වනවා දැකිය හැක. නමුත් දුරට යනවිට වනයේ, සාගර පෙනුම එලෙසම පවතී. නිවෙස්  කිසිවක් නොපෙනෙන අතර නිශ්ශබ්දතාවය රජයයි, ඉදිරියෙහි ඇති මුළු දර්ශනයම මිනිසුන් පදිංචියක් නොමැති වන ප්‍රදේශයක් බව ඕනෑම කෙනෙකුට සිතේ.
එවැනි උස් කණු මුදුනෙන් පහතට බැස, හරිත සාගරය, හොඳින් නිරීක්ෂණය කරමු. මගේ මේ පොත කියවන්නා මමත් සමග කඳුකර ගමකට පැමිණෙන බව මම උපකල්පනය කරමි. එහිදී අපට  එකතුව ඔවුන්ගේ ජීවිත, ජිවත්වන ආකාරය සහ අදහස් පරීක්ෂා කර බලන්නට ඉඩ ලැබේ.
අප ගමන් කරන්නේ පස් මතුපිටක්‌ ඇති වංගු ගහන වූ, තනන්නන්ට වැරදීමකින් නොවන්නේ නම්, භුමියේ ස්වභාවය නිසා,යාර 100 කට වඩා දිගට  කෙලින් කොටසක් නොමැති මාර්ගයකය. අඩි 12 ක් දෙපැත්තට සුද්ධ කර දෙපැත්තේ තණකොළ වැවී තිබුණු මෙම මාර්ගය, අවුරුදු 30 ක් මෙහි සේවය කරද්දී නිතරම මුණගැසුණු දෙපැත්තෙන් පාරට නැමුණු අතු යනාදිය නිසා, කොන්ද නමාගෙන ඇඳුම් ඉරාගෙන යාමට සිදුවන පාරවලට වඩා  වෙනස්ය.
අප බොහෝ දුරක් තද හිරු අධිකඋෂ්ණත්වයෙන් පීඩා විඳිමින් ඇවිද්දෙමු. මෙලෙස දවසේ මධ්‍යම යාමයේ  මෙහි ඇවිදින විට කොතරම් හිරු දෙස නොබලා සිටියත්, එහි පීඩාව දැනේ. තාර දමා නොමැති පාරෙන්ද, හිරු රශ්මිය නැවත ඉහලට පරාවර්තනය වෙයි. පාර දෙපැත්තේ කැලයෙන්, ඉඳ හිට ඇති ගස් සහ අඩි 10 ක් 15ක් උසට වැවුණු කටු සහිත වැල් වලින් වලක්වන  නිසා, දෙපැත්තෙන් එන සිසිල් මඳ පවනෙන් ලැබෙන සහනයද ගමන් කරන්නන්ට නොලැබෙයි. මෙම සුළු වනය බොහෝවිට අවුරුදු කිහිපයකට හේන් ගොවිතැන සඳහා එළිපෙහෙළි කරන  ලද කැලෑව විය යුතුය. තවත් අවුරුදු කිහිපයකින් මෙම ඉඩම හේන් ගොවිතැන සඳහා යලි  කපා හෙලනු  ඇත.
ලඟකදී එලි කරන ලද මෙවැනි කැලෑවක් අපි දැන් පසුකරන්නෙමු. ගිනිගත් ලොකු ගස් කිහිපයක් තැනින් තැන තිබෙන මෙම හේනෙහි කුරහන් වගාකර තිබේ. මෙම ඉඩම වටා ලොකු කණු කිහිපයක් අතර කුඩා කණු සිටුවා වැටක් බැඳ තිබෙන්නේ වගාව ඌරන්ගෙන්, මුවන්ගෙන් සහ මී හරකුන්ගෙන් බේරා ගැනීම සඳහාය.
මෙම හේනේ මැද පිහිටි උස ගස් දෙකකට අසලින් කණු දෙකක් සිටුවා ඒ මත අඩි දහයක් පමණ උසින් ලී සහ වියලි අතු යනාදිය යොදාගෙන, කුඩා පැලක් සාදා ගෙන තිබේ. පැලේ පතුලේ මැටි දමා තලා වියලෙන්නට හැර, ගිනිගැනීමේ අවධානමක් නොමැතිව  කුඩා ගිනි මැලයක් පත්තු කර ගැනීමට පුළුවන් ලෙස හදාගෙන තිබේ. මේ ශීතල දිනවල උණුසුම් වීම සඳහාය.මෙම කුඩා පැලෙහි මිනිසෙකු හෝ දෙදෙනෙකු රාත්‍රියට වැට බිඳගෙන ගොවිතැන පාලු කිරීමට ඇතුලට එන සතුන් එළවීමට රාත්‍රිය ගත කරයි.
මෙවැනි හේන්වල සාමාන්‍යයෙන් වගා කරන්නේ කුරහන්ය. එයට අමතරව මුං, අබ සහ නොයෙකුත් පලාවර්ග වගා කරන අතර, හුඹස් අසල සරු පසෙහි බඩ ඉරිගු, මිරිස්, කැකිරි වැනි භෝග වගා කෙරේ. කුඩා ගස් වල එල්ලී වැවෙන අමුතු පෙනුමක් ඇති බෝතල් වැනි හැඩයක් ඇති කරවිල නම්  ගෙඩි, එම වැල් වල එල්ලී තිබෙනු දක්නට පුළුවන.

ඊළඟ කොටස 

https://lakshmanillangakoon.blogspot.com/2020/04/2-1900-2.html

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...