Monday, December 23, 2019

පලිගැනීම






                         
                                            පලිගැනීම

මෙම කතාවේ සිටින පූසා සහෝදර සහෝදරියන් හතර දෙනෙකු සමග ඉපදුනේ නවයාලතැන්න දුම්රිය ස්ථානය අසල නිවසකය. බල්ලන් සහ පූසන් දහයකට වැඩි ප්‍රමාණයක් ජීවත් වූ එම නිවසේ ස්වාමියා, බල්ලන්ට සහ පූසන්ට ඉතාම ඇලුම් කළේය. විශ්‍රාමලත් රජයේ නිලධාරියකු වූ ඔහු බොහෝ විට නිවසේ සිටියේ තනියමය. බල්ලන්ගෙ සහ පූසන්ගේ වැඩ වලට අමතරව රූපවාහිනියෙන් ක්‍රීඩා තරග නැරඹීමත්, පොතපත කියවීමටත් ඔහුගේ අනිකුත් දෛනික කටයුතු විය.

ඔහුගේ තවමත් ආශ්‍රය කරන පාසල් මිතුරෙකු පූස් පැටියෙකු සොයා දෙන ලෙස ඉල්ලා මුහුණු පොතේ දමන ලද පෝස්ට් එකක් දැක, ඔහු තමන්ගේ එක පූස් පැටියෙකු එම මිතුරාට දීමට තීරණය කළේය.

   ඉන්පසු ඔහු මිතුරාට එම තීරණය දුරකතනයෙන් දන්වා, ඔහු පැමිණ පැටියා රැගෙන යාමට ඉදිරිපත් වුවද, තමන්ම පැටියා ගෙන ගොස් දුන්නොත් ඔහු වඩා හොඳට පුස් පැටියා බලාගන්නා බව සිතුණු නිසා, ඔහුම ගෙන ගොස් පැටියා තම මිතුරාට භාර දුන්නේය.


පූස් පැටියා පුරුදු පරිදිම බෞතීස්ම කෙරුනේ නිවසේ දියණිය විසිනි. ඇය ටිමි   යන නමින් ඌ නම් කළේය. ඇයගේ පියා එම නමට එතරම් කැමැත්තක් නොදැක්වූ නිසා, පූසාට ඔහු ජිමී යනුවෙන් ආමන්ත්‍රණය කරන්නට පුරුදු විය. ඇත්තෙන්ම පූසා ටිමි යන නමට වඩා ජිමී යන නමට වඩාත් සතුටෙන් ප්‍රතිචාර දක්වන බව ඔහුට සිතුණි.

පූසා ගෙදරට ගෙනෙන විට ගෙදර වයස අවුරුදු හයක් වන ෆ්‍රෑන්ක් නැමති ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බල්ලෙක් සිටියේය. ඔහු මීට කලින් නිවසේ පුසන් දෙදෙනෙකු සමග ජීවත් වී තිබුණි. ඔහුගේ ඔවුන් සමග තිබූ ආශ්‍රය ‘ඉවසීම සහ ආරක්ෂා කිරීම’ යන ප්‍රධාන කරුණු දෙක මත රැඳී තිබුණි.

ඒ කියන්නේ ඔහු නිවසේ පූසන් පිටින් එන තර්ජන වලින් ආරක්ෂා කළ අතර, ඔවුන් සමග වැඩි බජනයකට ගියේ නැත. පිටතින් එන තර්ජන වලින් පුසන් ආරක්ෂා කළත්, ෆ්‍රෑන්ක් ගේ දින චර්යාවේ එක් නිශ්චිත ක්‍රියාකාරකමක් සිදුවෙද්දී, එයට නිවසේ පූසෙකු හෝ කරදරයක් බාධාවක් කරන්නෙ නම්, ඔහු බොහෝ කෝපයට පත්විය. ඒ ඔහු හෝ නිවසේ අය ආහාර ගන්නා වේලාවන් විය.

ඔහු ආහාර ගන්නා අවස්ථාවේ ඔහුගේ දර්ශන පථයට පූසෙක් ඇතුල් වුවහොත්, ඔහු බොහෝ කෝපයට පත්වී පුසාට පහරදී තුවාල කරන්නට ඉඩ ඇත්තේය. එයට අමතරව ගෙදර අය කෑම කාමරේ කෑම කමින් සිටියදී එතනට ගොස් දිග හැරී ඉඳගන්නා ෆ්‍රෑන්ක්, පූසා ඒ පැත්තට පැමිණියහොත් තමන්වත් පාලනය කර ගැනීමට නොහැකි තරමට කෝපයට පත්වේ. පූසා වෙතට පැන ඌව තුවාල කරන්නටද ඉඩ තිබේ. තමන් හෝ තම හාම්පුතුන් ආහාර ගන්නා වෙලාවට එයට බාධා කිරීම ඔහුට ඉතාමත් කෝප ගෙන දුන්නේය.

නිවැසියන්ද මුලින්ම පූසා රැගෙන ආපසු ඔවුන් මේ දවස් වල නිවසේ නොමැති පවුලේ සාමාජිකයකුගේ කාමරයේ දමා, එය තුළට කෑම බීම දී මාසයක් පමණ ෆ්‍රෑන්ක් පූසා ගේ ගඳ පුරුදු වෙනතුරු සිටියහ. මාසයක් පමණ ගිය පසු හවසට නිවැසියන් රූපවාහිනිය නරඹද්දී පූසා එළියට රැගෙන විත්, බල්ලාට  පෙනෙන්නට හරින්නට ඔවුහු කටයුතු කළහ. මෙලෙස මාස දෙකක් තුනක් පමණ ක්‍රමයන් පුරුදු කිරීමෙන් පසුව පූසා කාමරයේ සිරභාරයෙන් මිදුණු අතර,  නිවසේ සංචාරය කරමින් ක්‍රීඩා කරන්නටත් තවත් ටික කලක් ගිය පසු නිවැසියන් මිදුලේ සිටිය දී මිදුලට පැමිණ ඔවුන් සමග කාලය ගත කිරීමටත් ජිමී පුරුදු විය.

නිවසේ කුස්සියෙ ෆ්‍රෑන්ක්ගේ පිඟානත්, ජිමීගේ පිගානත් තබා තිබුණේ කිට්ටුවෙනි. ඔවුන් දෙදෙනාටම වතුර බීමට තබා තිබුණේ පොදු වතුර භාජනයකි. කෑම කන විට මේ තරම් තමන්ගේ පෞද්ගලිකත්වය අපේක්ෂා කරන ෆ්‍රෑන්ක්ගේ පිඟාන පුසාගේ පිඟන් අසලින් තැබීම නිවැසියන් විසින් කරන ලද ලොකු වැරැද්දකි. මේ නිසා මේ දෙදෙනා අතර නොයෙක් වර ආරවුල් ඇතිවිය. ෆ්‍රෑන්ක් ගොරවාගෙන පැමිණ පූසා හපන්නට උත්සාහ කරන අවස්ථාවලදී, පූසා බේරාගෙන ෆ්‍රෑන්ක්ට  කෑ ගසා එම අවස්ථාව සමථයකට පත් කරනවා මිස, කෑම කන්න වේලාවේම ඔවුන් දෙදෙනා වෙන් කර තැබීමට මූලික අවධානය යොමු කරන්නට, මෙම නිවැයන්ට සිතුනේ නැත. සාමාන්‍යයෙන් ලංකාවේ බොහෝ දෙනෙකු සේ මොවුන්ද බැලුවේ ප්‍රශ්නයෙන් ඇතිවන ප්‍රතිඵල සමනය කර ගැනීම මිස, ප්‍රශ්න ඇති නොවීමට කටයුතු යෙදීම නොවේ.

 සාමාන්‍යයෙන් පිලිගත් මතයට අනුව ප්‍රශ්න විසඳීමේ මූලධර්මයන් අදියර හතරකට බෙදා ඇත.
එහි පළමු වැන්න ප්‍රශ්නය හරියට අර්ථ දැක්වීමයි, තේරුම් ගැනීමයි. මෙහිදී කරුණු, මතයන්ගෙන් වෙන් කර ගැනීම ඉතාමත් වැදගත්ය.
ඊළඟ අදියරේදී සිදු විය යුත්තේ මෙම ප්‍රශ්නය සඳහා විසඳුම් ලෙස සිතිය හැකි සියලුම විකල්ප විසඳුම් ලිවීමයි.
ඉන් පසු  එක් එක් විසඳුම එකිනෙකට සංසන්දනය කර වඩාත්ම හොඳ වඩාත්ම ගැළපෙන විසඳුම තෝරා ගත හැක. මෙතැනදී ඒ අවශ්‍යතාවය බල්ලා කෑම කන මොහොතේදී පූසා ඔහුට නොපෙනෙන තැනක තැබීමයි. වතුර භාජන සහ පූසාගේ කෑම පිඟාන X,Y,Z නමැති එකිනෙකට නොපෙනෙන ස්ථාන තුනක ස්ථාන ගත කරන්නේ නම්, ඔවුන් දෙදෙනා මේ වඩාත්ම සංවේදී අවස්ථාවේ හැකිතරම් දුරට මුණ නොගැසීමට පිළියෙල කර ගන්නට ඉඩ තිබිණ. නමුත් නිවැසියන් එසේ කළේ නැත. එසේ කළේ නම් මෙවැනි ශෝකාන්තයක් ඇති නොවන්නට බොහෝ දුරට ඉඩ තිබුණු බව අපට කතාව අවසාන වන විට තේරුම් යන්නට ඉඩ තිබේ.

මාස තුනක් හතරක් කාලයකදී මෙවැනි සමීප ඝට්ටන කීපයක්ම සිදුවිය. ඝට්ටන දෙකක් තරමක් බැරෑරුම් වූ අතර, එම අවස්ථා දෙකෙහිදීම පූසාට තුවාල සිදුවී බෙහෙත් දමන්නටත් අවශ්‍යතාවයන් ඇතිවිය.

විද්‍යාත්මකව බලන විට සාමාන්‍යයෙන් බල්ලෙකුගේ මොලයේ නියුරෝන  මිලියන 530 ක් පමණ තිබේ. පුසෙකුගේ  එම ප්‍රමාණය මිලියන 250 ක් පමණි. ඇත්තෙන්ම මස් කන සතුන් අතරින් ලෝකයේ වැඩියෙන්ම මොළයේ නියුරෝන තිබෙන්නේ බල්ලන්ගේය. නමුත් වැදගත් නියුරෝන; බුද්ධිය තිබීමට වඩාත් බලපාන නියුරෝන, මේ දෙවර්ගයේම තිබෙන්නේ දළ වශයෙන් එකම ප්‍රමාණයකි. එසේනම් මෙතැනදී වඩාත් මොලේ තිබිය යුත්තේ ෆ්‍රෑන්ක්ටය.

එහෙත් ජිමී සාමාන්‍ය පූසෙකු ලෙස පෙනුනද, ඔහුගේ මොළයේ නියුරෝන 350 ක් පමණ උපතේදීම ඇතිවුණු සාමාන්‍ය පූසෙකුට වඩා තරමක් වෙනස් පූසෙකි. ඔහුට තරමක් සැලසුම් කර වැඩ කරන්නට පුළුවන් හැකියාවක් මේ විකෘතියෙන් ලැබී තිබුනි.

අවසාන වර තමන්ට තුවාල සිදු කිරීමෙන් පසු, මේ බල්ලා නිවසෙන් ඉවත් කිරීමෙන් මිස, තමන්ගේ මනසට සාමයක් ඇති කර ගත නොහැකි බව ජිමීට සිතුනි.

ඌ ෆ්‍රෑන්ක් ගෙන් පළි ගන්නා ආකාරය සැලසුම් කළේය. මුලින්ම ඌ කල්පනා කළේ ෆ්‍රෑන්ක් කෑම කමින් සිටියදී, යම් වරදකට පටලවා ගෙදර නිවැසියන් විසින් ඔහුට දඬුවම් කරවීමටය. ඇත්තෙන්ම ගෙදර නිවැසියන් ඌට පෙනුනේ කකුල් දෙකේ ලොකු පුසාන් ලෙසටය.

මේ සඳහා ඔහු තෝරා ගත්තේ දවල් කෑම වේලාවය.  ඔහු දවල් කෑම කන අවස්ථාවේ ෆ්‍රෑන්ක්  කෑම කන තැන අසළ, මිරිස් ගල උඩ දහවල් කෑම සමගම පිළියෙල කරන ලද ඔහුගේ රාත්‍රී කෑම එක, තබා යෑම ගෙදර ස්වාමිදුවගේ සිරිත නිසාය.

ඇය මෙම භාජනය මිරිස් ගලේ නොයෙකුත් තැන්වල තබයි. ජිමී සෑම දිනම කුස්සියේ අනිත් මේසය මතට වී, ඇය මෙම කෑම එක මිරිස් ගලේ කෙළවරක තබන අවස්ථාවක් එනතුරු බලා සිටියේය. ඔහුට එතරම් දීර්ඝ කාලයක් බලා සිටින්නට සිදු වූයේ නැත. හය වන දවසේ මට එවැනි අවස්ථාවක් ලැබුණු අතර,  බල්ලා කෑම කා අවසන් වන විටම වාගේ මිරිස් ගල මතට පැන, ඔහුගේ රෑ කෑම එක බිමට පෙරළා පූසා එළියට පැන අසල නවතා තිබූ කාරෙක යට සැඟවෙන අයුරු ෆ්‍රෑන්ක් වත් දැක්කේ නැත.

කෑම භාජනේ මහා හඬක් නංවාගෙන බිමට වැටුණු අතර, එය කෑලි වලට කැඩෙන ශබ්දය නිවසේ සාලයේ සිටි නිවැසියන්ට මහා හයියෙන් ඇසුණි. ස්වාමිදුව දුවගෙන කුස්සියට පැමිණෙන විට, බල්ලා ඒ දෙස බලා සිටි අතර, කෑම භාජන බිම වැටී කැඩී විසිරී තිබිණ.

ඇයට හොඳින්ම තරහ ගියේය. මේ නිසාවෙන් කරන්නට තිබෙන වැඩ ලැයිස්තුව ඇයට එකින් එක මතක් විය. ඇය ෆ්‍රෑන්ක්ට හොඳින්ම බැන්නේය. එහෙත් වෙනත් දඬුවමක් ෆ්‍රෑන්ක්ට ලැබුණේ නැත.

ජිමී මෙම සැලසුමම නැවත වරක් ක්‍රියාවට නැගුවේ මාසයකට පමණ පසුවය. එහෙත් ප්‍රතිඵල මුල් පරිදිම විය. මෙයින් පසු නිවසේ කාන්තාව දවල් ඉතුරු වන බල්ලාගේ කෑම කොටස ගෙදර තිබුණු පරණ වැඩ නොකරන ශීතකරණයක් ඇතුලේ තබන්නට පුරුදු විය. මේ නිසා මෙම පළි ගැනීමේ සැලසුම නැවතත් ක්‍රියාත්මක කරන්නට ජිමීට හැකියාවක් ලැබුණේ නැත. මේ අතර නැවත වරක් ඌ කෑම කමින් සිටියදී, යම් වැරදීමකින් කුස්සියට පැමිණි ජිමීට නැවත වරක් තුවාල කළේය.

මේ නිසා ෆ්‍රෑන්ක් ගෙන් මීට වඩා දරුණු ලෙස පළිගත යුතු යැයි යන සිතිවිල්ල ජිමි ගේ මනසට  නිතරම ඇතිවිය. එහෙත් එයට සැලසුමක් සාදා ගැනීම පලිගැනීමේ චේතනාව ඇති වීම තරම්ම පහසු වූයේ නැත.

මාස දෙකකට පමණ පසු ඔහුගේ මොලේ සියලුම නියුරෝන ක්‍රියාත්මක වී තිබෙන දුර්ලභ මොහොතක ඔහුගේ මොළයට අපූරු අදහසක් පහළ විය. එහෙත් මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට බොහෝ ආයාසයක් ගත යුතු බව ඔහුට පැහැදිලි විය. දවසකට දෙතුන් වතාවක් ඔහු කුස්සියේ සිට හැකි වේගයෙන් දුව ගොස් ගේට්ටුවෙන් එළියට පැන පාරෙන් එහා පැත්තට දුව ගොස් , එහා පැත්තේ ඇති ඇලේ සැඟවුණේය. මෙය ක්‍රියාත්මක කිරීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ නිවසේ ගේට්ටුව විවෘත කර තිබීමය. සැලසුම ක්‍රියාත්මක කරන අවස්ථාවේ පාරේ වේගයෙන් වාහනයක් පැමිණීම තවත් ප්‍රධාන අවශ්‍යතාවයක් වුවද, එය සිදුවන තෙක් සැලසුම කිහිප වතාවක් ක්‍රියාත්මක කිරීමටද අවශ්‍ය වන්නට පුළුවන.

එක් දිනක් ගේට්ටු හැර තිබෙනවා දැක ජිමී එදින සැලසුම ක්‍රියාත්මක කරන්නට තීරණය කළේය. ෆ්‍රෑන්ක් කෑම කමින් සිටින අවස්ථාවේ සැඟවී සිට එතැනට පැමිණ, පිඟානෙන් මාළු කැබැල්ලක් රැගෙන හැකි වේගයෙන් ගේට්ටු පැත්තට දිව්වේය. බල්ලාට මෙය දරාගත නොහැකි තත්වයක් විය. ඔහු කෑ ගසමින් ගොරවමින් පූසා පසුපසින් දිව්වේය. පූසා පාරෙන් එහා පැත්තට පැන කානුවේ සැඟවිණි, බල්ලා ගේට්ටුව ළඟට ගොස් ඔහුට පුරුදු කර තිබෙන අන්දමට ගේට්ටුව ළඟ බ්‍රේක් ගසා ආපසු හැරී ගෙදරට ආවේය.

පූසා විසින් මෙවැනි අවස්ථාවක් ලැබුණු දෙවැනි දිනයේද සැලැස්ම ක්‍රියාත්මක කරන ලද අතර, බල්ලා ඌ පසුපස පන්නාගෙන ගොස් ගේට්ටු ලඟ නොනැවතී  පූසා පසුපස පාර හරහා පැන්නේය.
මහ හඬින් නලාව නාද කරමින් ආ  වේගයෙන්ම කන්ද ඇද ගන්නට උත්සාහ කරන බස් රථයේ රියදුරු බල්ලා දකින විටත් ඌ මියගොස් තිබුණේය.
නිවැසියන් කොතරම් කණගාටුවට පත් වූයේද යත් ඔවුන් දවස් දෙක තුනක් ගෙදර කෑම හැදුවෙත් නැත. විශේෂයෙන්ම ගෙදර ස්වාමිදුව සතියක් පමණ හැඬූ කඳුළෙන් ගත කළේය. එහෙත් කිසිවෙකුටත් ජිමී ගැන කිසිම සැකයක් ඇති වන්නට හේතුවක් තිබුණේද නැත.

මේ කතාව මෙතනින් අවසන් වන්නට යන බවක් ඕනෑම කෙනෙකුට සිතෙන්නට පුළුවන. 
නමුත් අවසානයේ සිදුවන්නේ තවත් මාසයකට පමණ පසුවය.

ෆ්‍රෑන්ක් මියගොස් හරියටම මාසයකට පසුව, රාත්‍රියට එළියට ගොස් පසුදින පාන්දර නිවැසියන්  ඒ සඳහාම විවෘතව තබන ජනේලයෙන් ජිමී  නිවස තුලට පැමිණ සිටියේ නැත. අවදි වී පැයක් පමණ ගිය පසු ඔහු මෙලෙස උදයේ නිවසට නොපැමිණීම අසාමාන්‍ය දෙයක් නිසා ස්වාමිදුව ඔහුට අඬගසා කතා කළද, ඔහු පැමිණියේ නැත. දහවල් වන විට ආපසු පැමිණ නොසිටි නිසා නිවැසියන් සියලු දෙන එකතුවී සොයා බැලූහ. දහවල් 2 ට පමණ යම් සතකු විසින් තුවාල කර මරා දමා සිටී ජිමිගේ මළ සිරුර නිවැසියන්ට හමුවුණේ නිවසට උඩින් තිබූ කුඩා කඳුගැටයක් වැනි ස්ථානයක දීය.

සාමාන්‍යයෙන් මරණයෙන් පසු නැවත ඉපදීම හෝ එසේත් නැත්නම් ස්වභාවයෙන්ම වැරදි වලට දඬුවම් ලැබීම සත්‍යයක් යැයි පිළිගන්නා මිනිසුන්ට නම්, බළලාගේ මිය යාමට මූලික වූ නිසා පූසාට මෙලෙස  දඬුවම ලැබී ඇතැයි සිතන්නට ඉඩ තිබිණ.

එහෙත් ඇත්තෙන්ම සිදු වූයේ කුමක්ද, එය ගැන දන්නා කිසිම කෙනෙක් නැත. නමුත් පුසාගේ මරණය සිදුවී ඇත්තේ බල්ලා මියගිය නිසා බව සැබෑවකි. එහෙත් එය යම් අද්භූත බලයක් නිසා සිදුවු බවයේ නම් කිසිම සත්‍යයක් නැත.

ෆ්‍රෑන්ක් මියගිය පසු ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේම තවත් බලු පැටවකු ගෙන එනවද නැද්ද යන සාකච්ඡාවේ නිවැසියන් පසුවූහ. අසල්වැසි නිවෙස් දෙකක ජීවත් වූ ෆ්‍රෑන්ක්ට බයේ සැඟවී සිටි පිරිමි පූසන් දෙදෙනකුම ටිකෙන් ටික ෆ්‍රෑන්ක්ගේ ගන්ධය අඩු වී යන බව වැටහුණ අතර, ඔවුන් ක්‍රමයෙන් ජිමී  සිටි නිවස පැත්තට දවසින් දවස කිට්ටු වන්නට එඩිතර වූහ.

පූසන් බල්ලන් මෙන් කලබල කාරයන් නොවේ. උන් යමක් කරන්නට පෙර බලා සිටින්නෙකුට වත් එපා වන තරමට වේලාව ගනිති. මහ දවාලක වුවත් දොරකින් එලියට යාමට පැමිණෙන පූසකු දොරේ පැත්තකින් සැඟවී, බොහෝ වේලාවක් අවට පරිසරය නිරීක්ෂණය කරයි. ඒ අවට පරිසරයේ තමන්ට යම් තර්ජනයක් විය හැකි සතෙකු හෝ වෙනත් චලනය වන යමක් තිබේදැයි දැනගන්නා තෙක්ය. ඒ අවස්ථාවේ ඔවුන් ගේ පෙනීම සහ නහය දෙපැත්තේ තිබෙන කෙඳි වලින් ලැබෙන අවට පරිසරය කම්පනයන් පිළිබඳව, තොරතුරු එකට එකතු කර සංසන්දනය කර පරීක්ෂා කරනු ලබයි. මෙම සංවේදක තොරතුරු පෙර තමන්ට ලැබුණු සංවේදක තොරතුරු හා සංසන්දනය කර, දොරෙන් ඒ අවස්ථාවේ පිටතට යාමේ අවධානමක් තිබෙන්නේ දැයි පරීක්ෂා කර බලයි. අපගේ ඇස් වල මෙන් හය ගුණයක් සංවේදී වන බළලාගේ ඇස් වලට පරිසරයේ සිදුවන වෙනස්කම්, අප මෙන් හය ගුණයක් හොඳින් අවබෝධ කරගන්නට පුළුවන.

මෙයට අවුරුදු මිලියන 11 කට පෙර අනෙක් මස් කන සතුන් ගෙන් ජානමය වශයෙන් වෙන් වූ පූසන්ට, අනෙක් බොහෝ සතුන්ට මෙන්ම දෙවැනි නාසයක් තිබේ. ජේකබ්සන් නාසය යනුවෙන් හැඳින්වෙන මෙම නාසයෙන් කෙරෙන්නේ වෙනත් සතෙකු තමන්ගේ පරිසරයට ඇතුළු වී ඇත්දැයි දැන ගැනීමයි. මෙම නාසයෙන් වෙනත් සතෙකුගේ ආඝ්‍රහණය කැටි කරගත් දියර ස්වල්පයක් සාදා, එය පුසාගේ කට ඇතුලට යවයි. එයින් තමන් අවට වෙනත් සතෙකු ඇත්දැයි දැනගැනීමටද එම සතා මිතුරෙකුද සතුරෙකුද ආහාරයක්ද එසේත් නැත්නම් ප්‍රේමවන්තයෙක් විය හැක්කේද යනුවෙන්, සොයා බැලීමට සහ තීරණයක් ගැනීමට පුළුවන. මිනිසුන්ටද මෙම ඉන්ද්‍රිය ඇත්තේ වුවද එය බොහෝදුරට අකර්මණ්‍ය වී ඇති බවක් පෙනේ.

එදින පාන්දර දෙකට පමණ නිවසේ වහළයේ නැගෙනහිර පැත්තට වන්නට මීයෙකු පිළිබඳ ආඝ්‍රහණය මෙම ග්‍රන්ථියෙන් ලැබී ජිමී සියලු සංවේදී ග්‍රන්ථයන් ඒ මත නාභිගත කර ගෙන, මුදුන් උළු වකට ආවරණය වී සැඟවී සිටියේය. අසල්වැසි නිවසක විසූ කළු තඩි පූසා ඔහු පිටුපසින් ළඟටම එන තෙක් ජිමීට දැනුණේ නැත. හරියටම 1982 වසරේ ෆෝක්ලන්ඩ් යුද්ධයේදී ෂෙෆීල්ඩ් යුධ නැවට සිදුවුවා සේය. කොතරම් සංවේදීක උපකරණ තිබුනත් මොහොතකට අවශ්‍යම තැන, තර්ජනය හඳුනාගැනීමට අවශ්‍යම තැන අවදියෙන් සිටියේ නැත.
 ජේකබ්සන් නාසය හරහා තර්ජනය දැනෙන විටත් ජිමී  අවසන් හුස්ම හෙළමින් සිටියේය.

Wednesday, December 18, 2019

ගස් වැවීම සහ තාක්ෂනය



අපගේ ගෙදර තිබෙන්නේ කන්දක සිට පාර දෙසට එන බෑවුමක කෙළවරට වන්නටය.  ගෙදරට පහලින් පාරට මෙහා පැත්තෙන් තවත් ගොඩනැගිල්ලක් තිබෙන නිසා, අපගේ උද්‍යානයේ ඒ පැත්තට කෙළවරේ තිබෙන කොස් ගස් හා එම ගොඩනැගිල්ලට අනතුරුදායක නිසා, කපා දමන්නට තීරණය කළෙමි.

මේ සඳහා ග්‍රාම සේවා නිලධාරි වෙත  දැන් වූ පසු ඇය පැමිණ එය පරීක්ෂා කර කපන්නට අනුමැතිය දී, කපන දිනයේ දී නැවත වරක් දුරකථනයෙන් ඇයට දන්වන ලෙසට උපදෙස් දුන්නාය.

මම දැන් ගහ කපන්නට කෙනෙකු සොයන්නට පටන් ගත්තෙමි. මා සිතා සිටියේ ගහ රුපියල් විසිපන්දාහකට පමණ විකුණා ගත හැකි බවයි. ගමේ ගස් මිලට ගන්නා කෙනෙකු නොමැති නිසා කිට්ටුව ගමක මිත්‍රයෙකුට කතා කළෙමි. ඔහු පසු දින උදෑසනම දෙදෙනෙකු අප නිවසට එව්වේය. ඔවුන් ගස පරීක්ෂා කර බලා එය තිබෙන තැන අනුව කපන්නට ලොකු මුදලක් වියදම් වන්නේ යැයිද, කොස් ලී වලට දැන් එතරම් ඉල්ලුමක් නැති නිසාත් එය මිල දී ගැනීමට තරමක මැලිකමක් දක්වන බව මට පෙනුනි. මගේ මිතුරාට  ඇති ගෞරවය නිසා එය එක් වරම කියන්නේ නැතිව, නිවසට ගොස් ගණන් හදා දුරකථනයෙන් මා වෙත කියන බව පවසා පිටව ගොස් නැවත දුරකථන පණිවිඩයක් දුන්නේ නැත. මෙය විකුණා ගැනීමට හැකියාවක් නොමැති බව පෙනුණු නිසා, මම මිතුරාට කතා කර ඒ ගස නොමිලේ කපා ගෙන යන ලෙස ගස් මුදලාලිට දන්වන ලෙසට කීවෙමි.

එම පණිවිඩය ලැබුනායින් පසුවත් ඔවුන් පැමිණියේ නැත. දැන් මේ ගස මගේ අතින් වියදම් කර කපා දැමිය හැකි තත්ත්වයකට පැමිණ ඇති බව, මට වැටහෙන්නට වැඩි කාලයක් ගියේ නැත.

ඉන්පසු මෙසේ මට ගසක් කපන්නට අවශ්‍යතාවක් ඇතිවී තිබෙන බව ආරංචි වුණු ගස් කපන පුද්ගලයෙකු පැමිණ, මේ ගස පිළිබඳව කතා කර ගස් කැපීම සඳහා මගින් රුපියල් අටදාහක් ඉල්ලා සිටියේය. රුපියල් පන්දාහකට පමණ එය කළ නො හැක්කේ දැයි මම ඔහුගෙන් ඇසුවෙමි.
"
එහෙනම් පන්දාහක් දෙන්න මහත්තයා කැපුවට පස්සේ බලලා තවත් කීයක් හරි දෙන්න" යනුවෙන් ඔහු කිව්ව නිසා ගණන රුපියල් 6000 යි කියා නිශ්චය කර ගත්තෙමි.
එහෙත් ඔහුත් සතියක් පමණ ආවේ නැත. මේ අතරේ මම දවසක් මිතුරෙකු සමග නගරයට ගොස් පැමිණෙන විට අපගේ ගේට්ටුව ළඟ තිදෙනෙකු රැඳී සිටියහ.
එහෙයින් මා අඳුනන අපේ ගමේ පුද්ගලයා වාහනය හරවන විට මා වෙතට පැමිණ මට ගසක් කපන තිබෙන බව ඔහුට ආරංචි වුණ බවත්, එය රුපියල් පන්දාහකට කපා දිය හැකි බවත් පවසා සිටියේය.
එසේනම් තව දවස් දෙකකට පමණ පසු ගස් කපන්නන් රැගෙන පැමිණෙන ලෙසට මා ඔහුට කීවෙමි. එහෙත් ඔහු කියා සිටියේ දැනටමත් ඒ දෙදෙනා ඇවිත් සිටින බවත්, දැන්මම ගස කපා දිය හැකි බවත්ය. මට ඒ වෙලාවේ වැඩ කිහිපයක් තිබුණ නමුත් ලැබුණු අවස්ථාව අතහරින්නට අකැමැති වූ නිසා, ඔහුට එසේනම් ගස කපන ලෙසට දන්වා සිටියෙමි.
කෙන්ගල්ලෙන් ත්‍රීවිල් එකකින් පැමිණ සිටී දෙමළ ගස් කපන්නන් දෙදෙනකු, ඉතාමත් වෘත්තීය ආකාරයෙන් ගස කපා බිම හෙළුවේය. ඔවුන් මීට පෙරද මගේ වැඩ කිහිපයක් සඳහා පැමිණි පුද්ගලයන් පිරිසක් බව මම දැක්කෙමි.

මේ සඳහා උදව් කළ ගමේ පුද්ගලයා මේ ගස කපන කියතෙන්ම පරාල කැපිය හැකි බවත්, රුපියල් 15,000 කට පමන කට පමණ පරාල විකිණිය හැකි බවත් මට කියා සිටියේය. ඒ සඳහා දික් අඩියක් කැපීමට රුපියල් 60 ක කුලිය වන බවද කියා සිටි අතර, මම එයටද කැමති වී මට ඉදිරි දින දෙකේදී කොළඹ යන්නට තිබෙන නිසා එදින අතහැර පැමිණෙන ලෙසට කීවෙමි. එහෙත් මගෙන් කිසිදෙයක් අසන්නේත් නැතිව, ඔවුහු  පසු දිනම පැමිණ ගස ඉරන්නට මගෙන් අවසර ඉල්ලා සිටියහ. එයටත් ඉඩ දුන්නෙමි.

පස්සේ මෝරපු පැත්තෙන් අවසාන කුට්ටිය පමණක් 3 x 4 පරාල කිහිපයක් ඉරා එහි දික් අඩි 50 ක් තිබෙන බව කියා, මගෙන් රුපියල් තුන්දාහක් ඉල්ලා සිටියහ. මම ඔවුන්ට රුපියල් තුන්දාහක් දුන්නෙමි.
දැන් පරාල ටික මා වෙත තිබෙන අතර විකුණා දෙනවා කියූ පුද්ගලයා නැවත පැමිණියේ නැත. මෙලෙසම ඒ පාර අයිනට තිබෙන නිසා අවුරුදු කිහිපයකට පෙර කපන ලද ගසක ටුනා ලී ද මෙලෙසම මඩුවක ගොඩ ගසා තිබේ.
මට පෙනෙන්නේ කොස් ලී ටිකට වෙන්නට යන්නෙත් ඒ සන්තෑසිය මය.

ඉස්සර සාමාන්‍යයෙන් කොස් ගහ හොඳට මෝරා එන විට ලී වෙළෙන්දන් පැමිණ, ගෙවල් වලින් එම කොස් ගස විකුණන්නේ දැයි අසති. එසේත් නැත්නම් අලුතින් ගෙවල් හදන මිනිසුන් පැමිණ අසති. සාමාන්‍යයෙන් දැන් අවුරුදු විස්සකට විසි පහකට පෙර, හොඳ කොස් ගහක් රුපියල් දහදාහකට පමණ විකුණන්නට හැකියාවක් තිබුනි. දැන් නිකන් දුන්නත් ගන්නේ නැත. මෙයට හේතුව කුමක්දැයි මම සොයා බැලුවෙමි.

පළමුවන හේතුව අන්තර් ජාතික වෙළදාම දියුණුවීම බව පෙනේ. පිලිපීනයෙන්, මැලේසියාවෙන්, ඉන්දුනීසියාවෙන්, පැමිණෙන red balau ලී වල ඉහල කොලිටිය සහ පාවිච්චි කිරීමට ඇති පහසුව. ඒවා රටේ සෑම තැනම පාහේ මිලදී ගැනීමට ඇති හැකියාව, මේ සඳහා ප්‍රධාන එක් හේතුවක් වී ඇති බව පෙනේ. මෙම ගස ගැන විපරම් කරද්දී මට දැනගන්නට ලැබුණු කාරණයක් නම් වඩුවන් කොස් ලී වලින් වැඩ කිරීමට අකමැති බවයි.

ගණන් වැඩි ලී වලට ඇති ඉල්ලුම අධික ලෙස අඩු වීම තවත් හේතුවක් බව පෙනේ. පෙර කාලයේ මෙන් මිනිසුන් තේක්ක, බුරුත, කොස්, වැනි ලී වලින් සාදන ගෘහ භාණ්ඩ සොයා යන්නේ නැත, ඔවුන් කෙළින්ම ගොස් දම්රෝ වැනි ආයතනයකින් ගෘහ භාණ්ඩ මිලදී ගන්නා අතර, ඒවා කිසිවක් මිල අධික බොරු සෝබන ලී වලින් නොව, පදම් කළ ලී ඉතාම අඩු ප්‍රමාණයක් දමා සාදන ඒවාය.

වහල සෑදීමට යකඩ පාවිච්චියත් ශක්තිමත් ලී වලට ඇති ඉල්ලුම අඩු කිරීමට හේතු තවත්සාධකයක්  වී තිබේ.

එසේම ප්ලාස්ටික් ඇලුමිනියම් වැනි දේවල් මෙයට කලින් ලී පාවිච්චි කළ කාර්යන් සදහා යොදා ගැනීමද,  මෙයට හේතුවක් වී තිබේ.

මේ සියල්ලම සිදු වී ඇත්තේ තාක්ෂණය දියුණු වීම නිසා බව පෙනේ. අපි විශේෂයෙන් ගස් වවන්නට එතරම් මහන්සි වෙන්න උවමනාවක් නැති බව පෙනේ, ඒ ඉදිරියේදී ගස් කැපීම කිසිසේත්ම අවශ්‍යතාවයක් නොවන තත්ත්වයට පැමිණෙන නිසාය.

දැනටමත් තේක්ක වැනි ගස් විකුණා ගැනීමට ඉතාමත් අපහසුය. වටිනාකම දහ ගුණයක් වේ යැයි විසි ගුණයක් වේ යැයි කියමින් විකුණූ තේක්ක වගාවන් සියල්ල බංකොලොත් වී හමාරය.
කොළඹ අධිමිල නිවාස සදා විකුණන මගේ මිතුරෙකු ගෙන් මම මේ පිළිබඳව ඇසුවෙමි. ඔහු කීවේ ඔහුට හොඳ ලීයක් අවශ්‍ය වූ විට පමණක් ප්‍රසිද්ධ ලී මඬුවට ගොස්, මුලතිව් සිට ගෙනෙන ලද තේක්ක අවශ්‍ය ප්‍රමාණයට කඳක් මිලදී ගෙන එය පාවිච්චි කරන බවය. අනෙක් ප්‍රදේශවලින් එන තේක්ක එතරම් ශක්තිමත් හෝ පෙනුම නොමැති බව ඔහු කීවේය.

මට පෙනෙන්නේ තාක්ෂණය නිසා ලී වලට තිබෙන ඉල්ලුම අඩු වී ගොස්, එය සැපයීමට වඩා අඩු වී අවසානයේ ගස් කැපීම බොහෝ දුරට අඩුවී යන බවය. අපේ රටේ බොහෝ ගස්  කිසි කෙනෙකුගේ උදව්වක් නැතුව නිකම්ම හැදෙන ඒවා නිසා, තවත් කාලයක් යන විට අපේ වතු  ස්වභාවිකව කැලෑ ලෙස හැදෙන්නට යන බවත් පෙනේ.

කොස් ගස් බොහෝ විට පැළවන්නේ ඇට වැටීමෙනි. අවශ්‍ය නැති තැන්වල වතු අයිතිකරුවන් ඒවා ගලවා දමනු ලැබේ. එහෙත් එතරම් ඒ තරම් පාවිච්චියක් නොමැති ඇල්ල පල්ල වල් වල, වනාත වල, මේවා නිකම්ම වැවෙන්නට අරින අතර, කාලයක් යනවිට මහ ගස් බවට පත්වෙති. කොස් ලී විකුණා ගැනීමට නොහැකි නම් කපන්නට රුපියල් දහදාහක් පමණ වියදම් කරන්නේ කවුද, මේ යන විදිහට තාක්ෂණයක් දියුණු වන්නේ නම්, මෙලෙස ලී වලට ඇති ඉල්ලුම අඩුවීම තවත් සීඝ්‍ර වනු ඇත. මේ ලඟකදී ඉන්දියානු ඉංජිනේරුවන් පිරිසක් යකඩ තරම්ම ශක්තිමත් ප්ලාස්ටික් වර්ගයක් නිපදවා ඇති බව කියවන්නට ලැබුණි. එවැනි ප්ලාස්ටික් වර්ගයකින් ලී පරාල වලට ඇති ඉල්ලුම තවත් අඩු වන්නට බොහෝ විට ඉඩ තිබේ.

මේ අනුව මට නම් පෙනෙන්නේ වෙන කිසි හේතුවකට වඩා තාක්ෂණය දියුණු වීම නිසා, අපගේ කැලෑ සහ ගෙවතු වල මහ ගස් දැන් තියෙන ප්‍රමාණයටත් වඩා වැඩි වන්නට බොහෝ දුරට ඉඩ තිබිමය 

Saturday, December 14, 2019

පේර සහ උන්ඩුක පුච්චය






අප කුඩා කාලයේ අප ගෙවත්තේ හොඳට පලදාව ලැබෙන පේර ගස් කිහිපයක් තිබුණි. ඇත්තෙන්ම දැන් ඊට වඩා පේර ගස් තිබේ. මම දකින අමුතු පේර වර්ග වල ඇට හෝ පල ලබාගෙන, වර්ග කිහිපයක පේර ගස් වවා ගෙන ඇත්තෙමි.
අප කුඩා කාලයේ පේර කන එක වැරදි වැඩක් ලෙස මිනිසුන් අතර මතයක් තිබුණි. පේර කෑවිට බඩේ කැක්කුම හැදෙන බව මෙයට හේතුවයි.
නමුත් අපේ ගෙදර එය පළතුරක් නිසා කෑමට ඉඩ දී තිබුනද, ඒ එක් කොන්දේසියකට යටත්වය. එනම් කිසිම අවස්ථාවක පේර ගෙඩි වල ඇට කෑමට නොගත යුතු බවය. එයට හේතුව ලෙස කීවේ පේර ඇට කෑ විට ඇපෙන්ඩිසයිටිස් සෑදෙන බවය.
අපේ අම්මාගේ පාසලේ ටීචර් කෙනෙකුගේ සැමියා වෛද්‍යවරයෙකු වූ අතර, ඇපෙන්ඩිසයිටිස් සෑදී උණ්ඩුක පුච්චය කපා ඉවත් කල විට, ඒ ඇතුලේ තක්කාලි සහ පේර ඇට තිබෙන බව අයගේ සැමියා දැක ඇති බව, මේ ටීචර් අම්මාට කියා ඇත. මේ අනුව පේර ඇට සහ තක්කාලි ඇට කෑ විට මෙම ව්‍යාධිය වැළදෙන බව සක්සුදක් සේ එකල පැහැදිලි වී තිබුණි.
මෙලෙස කුඩා කාලයේ ඇතිවුණු පුරුද්ද මට ගිය මාසය වෙනකන් තිබුණි. පේර ඇට වලින් ඇපෙන්ඩිසයිටිස් වැළදෙන බවට මට කිසිම සැකයක් තිබුනේ නැත.
ගිය මාසයේ සිට මගේ ගෙවත්තේ ඇඹුල් පේර ගස් තුනකම ගෙඩි පිරි තිබෙන අතර, දැන් ඉදෙන්නට පටන්ගෙන ඇත. අනික් පේර මෙන් නොව ඇඹුල් පේරවල ඇට වලට පිටින් තිබෙන මස කා ඇට බෝලය විසිකරන්නට තාමත් අපහසු බව, ඇඹුල් පේර කෑමට පුරුදු අයට අලුත්  ප්‍රවෘත්තියක් නොවේ. මම මේ නිසා උදයේ නැගිට කෝපි කෝප්පයත් පානය කරමින් ගෙවත්තේ ගස් පරික්ෂා කරන විට ඇඹුල් පේර ගස ලඟට පැමිණි පසු, ඉදුණු ගෙඩි 10 ක් පමණ කන්නට පුරුදු වුයෙමි. එහෙත් ඒවායේ ඇට වෙන් කරමින්  ඉන්නට ඇති අපහසුව නිසා ගෙඩි පිටින්ම කන්නට පටන් ගත්තෙමි.
එහෙත් ඇට ප්‍රශ්නය මගේ සිතේ තදින් බලපෑවේය, මේ පිළිබඳව අන්තර් ජාලයේ පරීක්ෂා කල යුතු යයි සිතාගෙන සිටියද, දෛනිකව බලපාන වැඩක් නොවන නිසා දවසින් දවස කල් ගියේය.
එහෙත් අද උදේ මෙය කරන්නම ඕන වැඩක් නිසා, පේර කනවිටම එය මතක් වනවිට එතනදීම පේර ඇට ගැන ගූගල් කර පරීක්ෂා කලෙමි.
එම ප්‍රතිපල මා පුදුමයට පත් කළේය. ඉන්පසු මම උණ්ඩුක පුච්චයේ ඉතිරිවන පේර සහ තක්කාලි ඇට කතාව ඇත්තක් දැයි පරීක්ෂා කලෙමි. එහි ඇත්තක් තිබේ. එහෙත් එම ඇට නිසා ඇපෙඩිසයිටිස් හැදෙන්නේ නැත. ඒවායෙන් ඇපෙන්ඩිසයිටිස් හැදෙනවා යැයි කීම හරියට අර ලෙඩාගේ ඇඳ යට කොස් කටු දැක, කොස් නිසා බඩේ අමාරුව හැදුන බව කී වෙදමහතා වැනි කතාවකි.
කෙසේ වුවත් මෙම හොඳ ප්‍රවෘත්තිය එනම් පේර ඇට අප සෞඛ්‍යට ඉතාමත් හොඳ බවත්, අප කන හැම පේර ගෙඩියකම ඇට කා යුතු බවත්, එලෙස පේර ඇට කෑමෙන් පහත ප්‍රයෝජන ලැබෙන බවත් අප සිත්හි තබාගත් යුතුය.
ගුණ
රුධිර පීඩනය අඩුවෙයි.
බර අඩු කිරීමට උපකාරී වෙයි.
බඩ වියලීම අඩුකරයි (constipation).
රුධිර සීනි පාලනයට උදව් කරයි.
කොලෙස්ටරෝල් අඩු කරයි.
හදවතට හොඳයි.
ඊළඟ පාර පේර ගෙඩියක් කන විට ඇට ටිකත් හපා කන්න.  


Friday, December 13, 2019

ලෙමන් ගෙඩියට කල අසාධාරණය





මේ ලඟකදී මම ලෙමන් ගසක් පිළිබඳව යම් පොස්ට් එකක් දැමුවෙමි. එයට ලැබුණු කමෙන්ට් අතර මගේ මිත්‍ර එශාන්ත සිල්වා, එක්දාස් නවසිය  හැටගනන්වල  ‘පීටර් පෝල් සහ මේරි’ ගයන මෙම ගීතයේ ලින්ක් ඒක දමා තිබුණි. එය එතරම්ම ලස්සන නිසා එම ගීතය පරිවර්තනය කර පලකරන්නට  සිතුන මුත් මෑතක් වනතුරු ලෙමන් ගෙඩියට සිදුවී ඇති අසාධාරණය දැක ලෙමන්  වවන්නෙක් ලෙස බොහෝ කම්පාවට පත්වුනෙමි.
එකල ලෙමන් කොතරම් පහත ආකාරයෙන් සලකා තිබේදැයි මෙම ගීතයෙන් පෙනේ. සමහරවිට ඒ දොඩම් හා සසඳන කල ඒවායේ ඇති ඇඹුල් රසය නිසා විය යුතුය. ලෙමන් පහත තත්වයෙන් සැලකීම කොතරම් තදින් සිදුවීද යත් යම් වැඩකට නැති කෙනෙකුට හෝ දෙයකට ‘ලෙමන්’ යනුවෙන් කීමට ද ඇමෙරිකානුවන් පුරුදු විය.
නමුත් දැන් තත්වය එයට හාත්පසින්ම වෙනස්ය. දැන් මිනිස්සු ලෙමන් හොයා හොයා පානය කරති. ඒ ඒවායේ ඇති බව සැලකෙන  ශරීර සෞඛ්‍යට හොඳ යම් ලක්ෂණ නිසාය.


මට අවුරුදු දහයක් පමණ කාලයේ
කිවේය වරෙක  මගේ පියා  මට
"
එන්න මේ ලස්සන ලෙමන් ගස ළඟට,
ඉගෙන ගන්න එයින් පාඩමක්"
"
එපා කිසිදාක ආදරය විස්වාස කරන්න මගේ පුතා”
කීවේය මගේ පියා මට
"
ඔබට දවසක තේරෙයි ආදරයත් ලෙමන්  ගසක් වගේ කියා"


හරිම ලස්සනයි නේද ලෙමන් ගස
එහි පුෂ්පය හැඩයි ඊටත් වැඩිය
නමුත් පල, ඒ දුප්පත් ගසේ,
තබන්නටවත්,  බැරිය කටේ කිසි ලෙස

හරිම ලස්සනයි නේද ලෙමන් ගස
එහි පුෂ්පය ඊටත් වඩා හැඩයි
නමුත් පල ඒ දුප්පත් ගසේ,
තබන්නට බැරිය කටේ කිසි ලෙස


දවසක ඒ ලෙමන් ගස සෙවනේ
වැතිරී සිටියෙමු මමත් මගේ ආදරවන්තියත්
ඇය කොතරම් ලස්සනද කීවොත්
තරු පිපෙයි සිනාසෙන විට ඈ.
ඒ වසන්තය ගෙවූවෙමු අපි
මුසපත් වී ආදරයෙන්, ඒ ලෙමන් ගස යට
සංගීතයෙන් ඇගේ සිනහවේ, යටපත්විය පියා දුන්  උපදෙස


හරිම ලස්සනයි නේද ලෙමන් ගස
එහි පුෂ්පය ඊටත් වඩා හැඩයි
නමුත් පල ඒ දුප්පත් ගසේ
තබන්නට බැරිය කටේ කිසි ලෙස

හරිම ලස්සනයි නේද ලෙමන් ගස
එහි පුෂ්පය ඊටත් වඩා හැඩයි
නමුත් පල ඒ දුප්පත් ගසේ
තබන්නට බැරිය කටේ කිසි ලෙස


අඳුරෙහි හෙලා මා දවසක
ඇය ගියාය නොකියාම මට
තේරුම් ගත්තෙමි ඒ අඳුරේ සිටම
ඇය නොකියා ම ගියේ ඇයි කියා.
ගොස් ඇත ඇය වෙනත් තරුණයෙකු සමගින්.
මෙය බොහෝ තැන ඇසුනත්  කතාවකි එය සත්‍ය
සොවින් තැවෙන නමුත් දැනුමෙන් වැඩි කෙනෙකු ලෙස
මම දැන්  ගයන්නෙමි මේ ගීතය


හරිම ලස්සනයි නේද ලෙමන් ගස
එහි පුෂ්පය ඊටත් වඩා හැඩයි
නමුත් පල ඒ දුප්පත් ගසේ
තබන්නට බැරිය කටේ කිසි ලෙස

හරිම ලස්සනයි නේද ලෙමන් ගස
එහි පුෂ්පය ඊටත් වඩා හැඩයි
නමුත් පල ඒ දුප්පත් ගසේ
තබන්නට බැරිය කටේ කිසි ලෙස

Wednesday, December 11, 2019

දේශපාලන ප්‍රතිවාදී අවැසි තැනදී, ඒකරාශී - කෙටිකතාව




                                      දේශපාලන ප්‍රතිවාදී
                                අවැසි තැනදී, ඒකරාශී


ඇමැතිවරයා හාන්සි පුටුවේ ඉඳගෙන කකුල් දෙක පුටුවේ දිග හරින ලද අත් මත තබාගෙන සිටියේය. නිල් ඉරි සහිත සුදු සරමක් සහ සුදු අත් කොට බැනියමක් ඇඳ සිටි ඔහු, තමන් අතේ තිබූ විදුර බිමෙන් තැබුවේය. ඔහු එම හිස් විදුර කතා  කරමින්ම බිමින් තියන්නට හැදුවේ, බාගයක් පමණ ඉතිරිව තිබුණු ගල් අරක්කු බෝතලය සහ අලියා සෝඩා බෝතලයට මැදිනි. ඒ දෙක අතර ඉඩ තිබුනේද අසෝක විදුරට වඩා ඇඟිල්ලක මහතා පමණය. විදුර ඒ දෙකෙන් එකකට වදින්නට යන බව ඔහුට කියන්නට ශාලාවේ සිටි අනෙක් පුද්ගලයා උත්සාහ කරද්දීම, ඇමතිතුමා අහක බලාගෙන කිසිම ගාණක් නැතුව විදුර ඒ දෙකට හරි මැදින් තැබුවේය.

“නිමල් දන්නවනේ මම වෙන මොනවා තිබ්බත් බොන්නේ ගල් අරක්කු කියලා”, අනෙක් පුද්ගලයා ගල් අරක්කු බෝතලය දෙස බලනවා දුටු ඇමතිවරයා කුඩා සිනහවකින් යුක්තව කීවේය. “කොහේ හරි ලොකු හෝටලයකට ගියත්, පිට රටකට ගියත් මම ගල් අරක්කු බෝතලයක් අරගෙන තමයි යන්නේ, බැරිම තැනක් ආවොත් ග්‍රේ ගූස් කියලා විස්කි ජාතියත් තියෙනවා, ඒක අරක්කුවලට හුඟාක් කිට්ටුයි, ඒ බෝතලයක් තමයි සල්ලි වලට හරි ගන්නෙ” ඔහු ගල් අරක්කු බිම සාධාරණීකරණය කළේය.
ඔහු තමන්ට මෙතරම් ධනයක් තිබිය දීත් මිලදී ගන්නට පුළුවන් ලාබම අරක්කු වර්ගය පානය කරන්නේ ඇයිදැයි මේ තරුණයාට පැහැදිලි කල යුතුය.

මේ හවස්වරුවේ හාන්සි පුටුවේ වාඩි වී ගල් අරක්කු පානය කරමින් සිටින්නේ සමරනායක ඇමතිතුමාය. ඔහුගේ නිවසේ උඩ තට්ටුවේ මේ වෙලාවේ මෙතන සිටින කෙනෙකුට බොහෝ දුරකින් රත්තරන් පාට කඳු වළල්ලකින් බහිනා හිරු, ගල් අරක්කු නොමැතිව උනත් කිසිම කම්මැලි කමක් නොමැතිව බලා සිටින්නට පුළුවන. ඔහු ඉදිරියෙන් එතන ඔහු දෙස බලාගෙන හිටගෙන සිටින්නේ මටකලංමුදුන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාය. ඔහු වයස 35 ක් පමණ පෙනුම ඇති, තරමක් තරබාරු එහෙත් ප්‍රසන්න මුහුණක් සහිත පුද්ගලයකු වූ අතර, ඇමතිවරයා ඔහුට ඉඳගන්නට කිව්වත් හිටගෙනම සිටින්නේ ඉක්මනින් මෙතනින් පිටව යාමට අවශ්‍ය නිසාය. 

මම නිමල්ට කිව්වේ අන්න ඒකයි, අවංකකම කෙලින් වැඩ කරන එක හොඳ ක්‍රමවේදයක් තමයි, ඒ උනාට තමුන් දැනගන්න ඕනෑ මෙතනට තමුන් ඇවිල්ල තියෙන්නෙ ප්‍රදේශයේ මිනිස්සු දෙන ඡන්දේ නිසාම විතරක් නෙවෙයි කියලා, ඔතෙන්ට තමුන්ට එන්ඩ මග සලස්වපු කීපදෙනෙක් ඉන්නව කියන එක අමතක කරන්න හොඳ නෑ, ඕනනං මිනිහෙකුට ගම් සභාවක මන්ත්‍රී කෙනෙක් වෙලා, ඔන්න මට වැරදුනා, මම සභාපති කාලේ තිබ්බ ගම්සභානේ, ඒක නිසා මට ප්‍රාදේශීය සභා කියන එකට කොච්චරවත් කියවෙන්නේ ගම්සභා කියලා, මැරෙනකම්ම ගම් සභාවක මන්ත්‍රී කෙනෙක් වෙලා ඉන්න පුළුවන්, අවංක කමෙන් මිනිස්සුත් එක්ක හරියට වැඩේ කරල, හැබැයි ඉහලට යන්ඩ ඕන නම් තමන්ට ඉහළින් ඉන්න දේශපාලනඥයන්ගේ අවවාද වලටත් කන් දෙන්ට ඕනෑ, එතකොට තමයි ඒ දේශපාලනඥයන්ගේ පිහිටෙන් හිමිහිට ඉහළට යන්නට පුළුවන්” ඇමතිවරයා යමක් ව්‍යංගයෙන් කියන බව සභාපතිවරයාට ඉවෙන් මෙන් දැනුනි.

“මමත් ඉතින් බලන්නේ ඇමතිතුමන්ලා කියන දේ කරගෙන, ප්‍රාදේශීය සභාව වැඩ ටිකත් පිළිවෙලකට කරගෙන යන්න, එහෙම නැතුව මම තනියම වැඩ කරන්න කවදාවත් උත්සාහ කරලා නෑ කියල ඔබ තුමා හොඳින්ම දන්නවා” සභාපති වරයා කීවේය. “මගේ නෝනත් ඕකමයි මට කියන්නෙ, එයා හැමවෙලේම උදාහරණයට ගන්නේ එයාගෙ කුඩප්පච්චි”
සභාපති වරයා කුඩා තර්ජනයකුත් තමන්ගේ පිළිතුරට එකතු කළේය.
ඔහුගේ බිරිඳගේ පියාගේ වැඩිමහල් සහෝදරයා සමරනායක ඇමැතිතුමා තරම්ම, එහෙමත් නැත්නම් ඊටත් වඩා තරමක බලයක් තිබෙන්නෙක් බව සමරනායක ඇමැති වරයාට ඇඟට නොදැනිම ඔහු මතක් කළේය. සමහර විට තමා සමරනායක ඇමතිවරයාගේ බල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයාව සිටියද, එය සඳහා මූලිකව බලපා ඇත්තේ දේශපාලනික වශයෙන් බලගතු තමන්ගේ බිරිඳගේ කුඩප්පච්චි වන ගබඩාවත්තේ ඇමතිතුමා බව සමරනායක ඇමතිවරයාට දැන්වීමට, ඔහුට ඕනෑකමක් ඇති මුවා වෙන්නට පුළුවන.

“හොඳයි එහෙනම් නිමල් දැන් යන්ට, මම කියපු කාරණා ටික හිතේ තියාගෙන වැඩ කරන එක අපි කාටත් හොඳයි, අපේ පක්ෂෙටත් හොඳයි” ඇමැතිවරයා එසේ කියන ගමන්ම දකුණු අත පහලට යවා මුලින් ගල් අරක්කු බෝතලයද, දෙවනුව විදුරද උඩට ගත්තේය.

බැදපු මාළු කෑලි කිහිපයක් සහ තෙම්පරාදු කරන ලද සුදු ලූනු පීරිසය බැගින් රැගෙන, ඔහුගේ කුස්සියේ වැඩ කරන ටිකිරි බන්ඩා පැමිණියේය. ඇමැතිවරයා ඉදිරියේ කනප්පුවක් පිළියෙල කර ඒ මතින් පීරිස සහ අතපිසිනයක් තිබ්බේය.

“උඹ විදුරක් ගෙනාවාද? ඇමැතිවරයා ටිකිරි බන්ඩා ගෙන් ඇසුවේය.

ගන්ට බැරි වුණා, මං එලියට එනකොට ලොකු නෝනා කුස්සියේ හිටියා” ටිකිරි බණ්ඩා පිළිතුරු දුන්නේය.

ඇමැතිවරයා තමන්ගේ අතේ තිබූ අසෝකා විදුරේ බාගයක් පමණ තිබූ අරක්කු ටික එක්වරම කටේ හලා ගෙන, විදුර පිරෙන්ටම බෝතලයෙන් ගල් අරක්කු වක්කරැව්වේය.

“ආ එහෙනම් මේක බීපන්” ඔහු සිනාසෙමින් විදුර ටිකිරි බණ්ඩාට දුන්නේය. ටිකිරි බන්ඩා එය පානය කර අවසන් වී ශාලාවෙන් ගේ ඇතුලට යන විටම, සුදු මහත පියකරු පෙනුමකින් යුත් වයස 50 ක් පමණ වූ ඔහුගේ බිරිඳ ශාලාව ඇතුළට පැමිණ, ඔහුගේ හාන්සිපුටුව අසලින් තිබූ අනෙක් පුටුවේ ඉඳ ගත්තේය.

ඇය ඉඳගන්නා ගමන්ම ඇමතිවරයාගේ බයිට් පීරිස දෙස බැලුවේය.

“මාළු කෑලි ටික නම් ඉවරයි, සුදු ලූනු එකට අත ගහලත් නැහැ, ඒකෙන්නෙ පටන් ගන්ඩ තිබේ, සුදු ලූනු හැමදේටම හොඳයි කියලා කියනවා" පුටුවේ හරි බරි ගැහී ඇය නිරීක්ෂණය කළාය.

ඔහු සිනාසී සුදු ලූනු බික් දෙකක් අතට ගෙන කන්නට පටන් ගත්තේය. මෙවැනි දේවල් ගැන තමාට වඩා හොඳින් දන්නේ ඇය බව ඔහු විශ්වාස කළේය. පත්තරයක් ගත්තත් ඇය කියවන්නෙ එවැනි ලිපි වන අතර, ඔහු කවදාවත් එවැනි ලිපි කියෙව්වෙ හෝ ගුවන් විදුලියේ එවැනි දේවලට කන් දුන්නේ වත් නැත.

ඔහු, සුදු ලූනු සෞඛ්‍යයට බොහොම හොඳයි කියලා අපේ සෞඛ්‍ය ඇමැතිතුමා දසනායකත් මේ ලඟදි මට කිව්වා” ඔහු සිනාසුනේය.

“අනේ උන්නැහැ දන්න සෞඛ්‍ය විද්‍යාව” බිරිඳ සිනාසුනාය. “අර තේවත්තෙ නර්ස් ඊට වඩා සෞඛ්‍ය දන්නවා” ඇය තවත් සිනාසුනාය.

“අපේ ඇමතිතුමාට නම් හරියටම ගැලපෙන අමාත්‍යාංශයක් හම්බ උනේ, කුඹුරු ගොවිතැනින් පටන් ගත්ත මනුස්සයා අන්තිමට රටේම කෘෂිකර්මය භාර ඇමති තුමා වුණා” ඇය සිනාසුනාය.

ඇය තමන්ට හින්ට් එකක් යවනවාද, එහෙමත් නැත්නම් තමාව අගය කරනවද කියා ඔහු කල්පනා කළේය.

“ඒක නෙවෙයි අපි දැන් දුවගේ වැඩේට මොකද කරන්නේ” කෝකටත් කියා ඔහු මාතෘකාව පොඩ්ඩක් හරවන්නට උත්සාහ කළේය.

“ඇයි අපි ඒක තීරණය කරානේ ගිය සුමානේ, එයා යවමු එංගලන්තෙට, පුතාලා දෙන්නා වගේ” බිරිඳ වැඩි ගණනකට නොගෙන කීවාය.

මං හිතුවෙ එයා මෙහෙ හිටපුවාවයි කියලා" ඇමතිවරයා කීවට වඩා ඉල්ලා සිටි බව ඇය දනී.

“නැහැ මෙහෙ ඉගෙන ගෙන බැහැ එයත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගන්නට ඕනෑ එංගලන්තෙන්, අනෙක අපිට කාන්තාවන්ට වෙනසක් අසාධාරණයක් කරන්නටත් බැහැනේ, මමත් අපේ පක්ෂේ කාන්තා සංගමයේ කාන්තා විමුක්ති කොමිටියෙත් ක්‍රියාකාරී සාමාජිකාවක්නෙ”, ඇය තවත් විහිළුවක් එකතු කළාය.

“හරි මම එහෙනම් ඒ විශ්ව විද්‍යාල කිට්ටුවෙන් නවතින්ට තැනක් හොයන්නම්, මම හිතන්නේ ඔය හරියේ මගේ පරණ යාළුවෙක් ඉන්නවා” ඇමැතිවරයා කීවේය.

ඔහු අස්නෙන් නැගිට සිටි අතර බිරිඳ ඔහු හා රාත්‍රී ආහාර සඳහා පහල තට්ටුවට යාමට එකතු වූවාය.

පසුදින උදය වරුවේ කොළඹ අමාත්‍යංශ කාර්යාලයට ගිය ගමන්ම, ඔහු තම පුද්ගලික ලේකම්වරයාට කතා කළේය.

“මතකද ගිය සුමානෙ මම එංගලන්තෙට කෝල් එකක් ගත්තා, ආන් ඒකට අදත් මට කෝල් එකක් අරන් දෙන්න” ඔහු ලේකම්වරයාට කීවේය. විනාඩි දහයකින් පමණ ඔහුගේ දුරකථනය නාද වෙන්නට පටන් ගත්තේය. කෙටි සතුටු සාමීචියකින් පසුව; තමන් බිල ගෙවන්නේ නැතිවුනත් පිටරටකට කතා කරන විට, හැම වරකදීම ඉක්මනින් අවසන් කිරීමට හිතට නැගෙන සිතිවිල්ල ඔහුට පාලනය කර ගැනීමට නොහැකි විය.

“ආ ඒක හරි, මට හොඳ අදහසක් ඔළුවට ඇවිල්ලා තියෙන්නෙ, මේ සුමානේ කොහොමහරි වැඩේ කරන්න ඉන්නේ. ඔව් එයා දැන් තව සුමාන දෙකකින් විතර ඔහෙට එන්නයි ඉන්නේ, එයාගෙ වැඩ ඔක්කොම එහෙම නම් බලාගන්න පුළුවන් නේද, ආ නැහැ විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීම තානාපති කාර්යාලයෙන් බලාගන්නවා, මමම දාපු තානාපති කෙනෙක් නෑ ඔහේ ඉන්නේ, මිනිහා බොහොම උනන්දුවෙන් වැඩ කරනවා, හරි ඒ වැඩේ ඉවර වුණ ගමන් මම කෝල් එකක් දෙන්නම්”. ඇමතිවරයා කෙටියෙන් සාකච්ඡාව අවසන් කළේය.

සති අන්තයට ගමේ ගිය ඔහු සම්බන්ධීකරණ ලේකම්වරයා සමග ඉරිදා පොල්ගොල්ලේ පාර හදන එක බලන්නට ගියේය. ඔහු එතැනට පැමිණෙන බවද කලින් දන්වා තිබූ හෙයින්, එම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවරුන් තිදෙනාම එතැනට පැමිණ සිටියහ.

“අපරාදේ එක ඉංජිනේරු කෙනෙක් ආවා නං ඇතිනෙ, ඉරිදාත් වෙච්චි එකේ මොනවද කරදර වෙනවද” ඇමතිවරයා වාහනයෙන් බැස ගත් ගමන්ම ප්‍රධාන ඉංජිනේරුවා ගෙන් ඇසුවේ එතැන සිටි සියලු දෙනාටම ඇසිය හැකි පරිදි සාමාන්‍යයෙන් කතා කරනවට වඩා ටිකක් වැඩි හඬකිනි. එය එතැන සියලු දෙනාගේ පරිභෝජනය සඳහාය.

“මේක සර් අඩි 15 ක් තිබ්බ පාර, දැන් මේ ව්‍යාපෘතියෙන් පාරේ මැද ඉඳලා දෙපැත්තට 50 පනහ පනහ සීයක් වෙනවා, ඒ කරල කාපට් දාලා ගත්තහම කොළඹ-නුවර පාර වගේ තමයි” ප්‍රධාන ඉංජිනේරුවරයා ව්‍යාපෘතියේ මුලික සැලැස්ම කෙටියෙන් පැහැදිලි කළේය. “බොහොම හොඳයි කවද හරි මගේ ආසනේ මිනිස්සු කියයි අපේ ඇමැතිතුමා තමයි මේ තරම් ලොකු පාරක් අපිට හදලා දුන්නේ කියලා, මේක මේ පැත්තට ගන්න මම කොච්චර මහන්සි උනාද” ඇමතිවරයා සාමාන්‍ය ශබ්දයට වඩා ටිකක් ශබ්දයෙන් පැහැදිලි කළේ ඔහු පැමිණි බව දැක එතනට රොක්වී සිටි ගැමියන් ගේ ප්‍රයෝජනය සඳහාය.

“ඉංජිනේරු මහත්තයා, මට තියෙනවා එක ප්‍රශ්නයක්, ඇයි මේ පාර හදන එක මේ තරම් ඇදෙන්නේ, අවසාන කරන්ඩ දිනය තිබ්බ දිනයට තව මාස දෙකයි නේද තියෙන්නෙ, වැඩේ දිනේට ඉවර කරගන්න පුළුවන් වෙයිද, මම අර කලින් කිව්වා වගේ එන මාසේ මාර්තු වෙනකොට මේකේ වැඩ ඉවරවෙලා, වාහන දුවන තත්වෙට එන්න ඕන" ඔහු අවසාන කෑල්ල කිව්වේ ඉංජිනේරුවන්ට පමණක් ඇසෙන්නටය, ඡන්දය මාර්තුවල තිබෙන නිසා ඒ කෑල්ල ඡන්දදායකයන්ට ඇහෙන්න කියන එක හොඳ මදි නිසාය.
මොන වගේ ප්‍රශ්න නිසාද මේක පරක්කු වෙන්නේ? ඔහු ඉංජිනේරුවා ගෙන් නැවත පරණ ස්වරයෙන් ඇසුවේය.

“මේ හරියෙ ඔක්කොම තියෙන්නේ ලොකු කඳු බෑවුම්, කපන පස් කඳු ඉවත් ක‍ර ගන්න තමයි ලොකු වෙලාවක් ගත වෙන්නේ" ඉංජිනේරුවරයා පිළිතුරු දුන්නේය.

“මේ කඳු ගැටය ඔක්කොම පස් කියුබ් කීයක් විතර තියෙයිද?”
ඇමතිවරයා ඉංජිනේරුවා ගෙන් උනන්දුවෙන් ඇසුවේය.


ඇමතිවරයා ටිකක් වෙලා කල්පනා කළේය. එතනට පැමිණ සිටි ගමේ පක්ෂ සංවිධානයේ සභාපතිවරයා දැක ඔහුට අඬ ගැසුවේය.

“පෙරේරා උන්නැහේ, මේ හරියේ ඒ තරමට පස්ගොඩක් දාගන්න මොකක් හරි වලක් වගේ එකක් තියෙනවද” ඇමැතිවරයා ඔහුගෙන් ඇසුවේය.
ඔහුත් ටික වෙලාවක් කල්පනා වැටුණේය. ඇමතිතුමා තමන්ගෙන් මහ සභාවක් මැද මෙවැනි ප්‍රශ්නයක් අසා තමන්ට කරන ලද්දේ මහත් ගෞරවයක් යැයි ඔහු සිතුවේය. සියල්ලන්ටම ඇසෙන සේ හොඳ පිළිතුරක් ලබාදිය යුතුය. ඇමැතිවරයා පාරෙන් එහා පැත්තේ තියෙන කුඹුරු යාය දෙස බලා සිටිනවා ඔහු දුටුවේය. අපුරු අදහසක් ඔහුගේ ඔළුවට ඇතුළු විය.
“සර් කිසි කරදරයක් නෑනේ, තල්ලු කරමු කෝ පස් ටික මේ කුඹුරු යායට, කොහොමටත් මේ කුඹුරු පුරන් වෙලානේ තියෙන්නේ” ඔහු කීවේය.
“ෂා එහෙම කරන එක හරි නෑනෙ, කුඹුරක් එහෙම ගොඩ කරල දාන එක” ඇමතිවරයා කීවේය.

“මේවා ඉතින් කුඹුරු වගේ තිබුනට සර් දැන් අවුරුදු හත අට කින් වැඩ කරලා නැහැ” පෙරේරාත් අත ඇරියේ නැත.
“අපිට පස් කියුබ් ලක්ෂයක් විතර මෙතන කැපෙනවා, ඒක මේ වලට තල්ලු කර ගන්න පුළුවන්නම්, පාරේ වැඩේ බොහොම ඉක්මනට ඉවර කර ගත්ත හැකි ඇමතිතුමා” සාකච්ඡාවට ඇතුළුවීමට ඉඩ කඩක් දුටු ඉංජිනේරුවරයාද පැවසුවේය.

මේක හරිගියොත් පස් ඉවත්කරන කොන්ත්‍රාත් එක ලබාගෙන ඇති KKS කොන්ස්ට්‍රක්ෂන් එකට පුද්ගලිකව කතා කල යුතුය. ඔහු සනිටුහන් කර ගත්තේය.

“කියුබ් එකක් කිව්වේ අඩි දහයේ අඩියේ අඩියේ පස් ගොඩක් නේද" ඇමතිවරයා ඇසුවේ වටේ සිටි පිරිසට ඔහුගේ ඉංජිනේරු දැනුමත් පෙන්නන්න ටය. "මමත් ඒ කාලෙ ගම් සභාවේ පොඩි ගොඩනැගිලි වැඩ කොන්ත්‍රාත් කරානේ ඕව තවමත් මතකයි" ඔහු එකතු කළේය.

“ගොවිජන සේවා එකෙන් මේකට අවසරයක් ගන්න වෙයිද, ඇමතිතුමා” ඉංජිනේරුවා ගෞරවයෙන් විමසුවේය.

“මම ඉල්ලීමක් ඉදිරිපත් කරන්නම්, ඔබතුමා පොඩ්ඩක් කතා කලොත් වැඩේ වෙයි” ඉංජිනේරුවාම පිළිතුරත් දුන්නේය.

“එහෙනම් මම ගිහිල්ල එන්නම්” ඔහු ඉංජිනේරුවාට කීවේය. “පෙරේරා උන්නැහේ හන්දියට යනවා නම් මගෙත් එක්ක ගිය හැකි” ඔහු පෙරේරා දෙසට හැරී කීවේය.

ඇමතිවරයා තමාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ඉදිරී අසුනට යවා, පෙරේරා තමාගේ වාහනයට දමා ගත්තේය.

“පෙරේරා උන්නැහේ කාගේද ඔය කුඹුරු යාය” ගමන පටන් ගත් පසු ඔහු පෙරේරා ගෙන් ඇසුවේය. ඕක ඇමතිතුමා skp පක්ෂෙ මෙහෙ සංවිධායක වරයා ගෙනේ, මිනිහ ගිය පාර පාර්ලිමේන්තුවට ගියත් හරි ඕක පුරන් වුණා” පෙරේරා කීවේය.

“තමුසේ මට ඕක කලින් කියන්න තිබ්බනෙ, එහෙමනම් මම දැන් මාස ගාණකට ඉස්සර ඕක පස් වලින් පුරෝල දාන්නෙ, මේක හරියට එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් වගේ, පාරක් විජහට කෙරෙනවා, අප්පුහාමිගේ කුඹුර ටත් කෙලවෙනවා" ඇමැතිවරයා සිනාසෙමින් කීවේය." තමුසෙගෙ හොඳ අදහස් තියෙන්නෙ, ඔය මොලෙන් ඔයිට වඩා වැඩක් ගන්න පුළුවන්"

දවස් දෙකකින් ගොවිජන සේවා කොමසාරිස් වරයා ඇමැතිවරයා හමුවී ඔහුට ඉංජිනේරුවාගේ ලැබී ඇති අයදුම්පත පිළිබඳව දන්වා සිටියේය.
“ඔව් ඕකට අපි අවසර දෙමු, මේ ගමේ වැදගත් සංවර්ධන කටයුත්තක්නේ" ඇමතිවරයා ඔහුට උපදෙස් දුන්නේය.

පෙබරවාරි අන්තිම වෙන්නට පෙර පාර සම්පූර්ණයෙන් සකසා අවසන් කෙරිණ. කපන ලද පස් කුඹුරු යායට තල්ලු කරන ලද අතර, පස් ප්‍රමාණය වලේ ප්‍රමාණයට වඩා වැඩි වූ හෙයින් පාර සෑදීමට ගෙනත් තිබූ ගල් රෝල යොදවා එම පස් තද කරමින්, අලුත් පස් සඳහා ඉඩ ලබා ගන්නා ලද්දේය.

එම මාසයේම මැද හරියෙ ඇමතිවරයා කාර්යාලයේ සිට නැවත වරක් එංගලන්තයට දුරකථන ඇමතුමක් ලබා ගත්තේය.

"
ඔහු මුලින්ම ටික වේලාවක් හෝ ඔහුගේ දියණියට කථා කරමින් සිටියේය. ඉන්පසු අප්පුහාමිට කතා කළේය. “ඔන්න ඉඩම වැඩේ සම්පූර්ණයෙන්ම හරි, පර්චස් එක රුපියල් පන්දාහකට වත් විකුණන්න බැරිව තිබුණු කුඹුර, පර්චස් එකක් ලක්ෂයක් විතර වෙන ගොඩ ඉඩමක් වුණා, එතන අක්කර දෙකක් විතර ඇති මයෙ හිතේ, එහෙම නේද” ඔහු තම දේශපාලන ප්‍රතිවාදියා ගෙන් ඇසුවේය.

“අපොයි ඔව් ලොකු උදව්වක් කෙරුණේ, ඒ ගානෙ වෙනසෙන් බාගයක් ලක්ෂ හැත්තෑවක් විතර වෙනව. දැනටමත් මට ඉල්ලුම් කාරයෝ දෙන්නෙක් කතාකරා. මුදල මම ඔබ තුමාට එවන්නම්” අප්පුහාමි බොහෝ සතුටින් කීවේය.

ඒක නම් මොනවද , ආයෙ ඕක එවන්න මහන්සි වෙන්ට ඕනැ නෑ, මගේ දුව ඔහේ ඉන්නවනෙ, එයාගෙ නමට ඔහේ බැංකුවක එකවුන්ට් එකක් ඇරලා ඒකට දාන්න, එයාගේ වියදමටත් හොඳයිනේ, තව මොනවා හරි ප්‍රයෝජනවත් දෙයක් තිබ්බොත් කියන්ටකෝ " කී ඇමතිවරයා නැවත දියණියට කතා කර දුරකථන ඇමතුම අවසන් කළේය.

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...