Wednesday, October 30, 2019

16 මගේ දඹදිව වන්දනාව 16 ත්‍රාසය







ඩුන්ගේශ්වරී යනු බුදුරජාණන් දුෂ්කරක්‍රියා කළ ස්ථානය පිහිටි තරමක කඳු ගැටයකි. මෙම පර්වතය මුදුනේ ගල් ගුහා කිහිපයක් තිබෙන අතර, ටිබෙට් රටෙන් කුඩා විහාරයක්ද කරගෙන යනු ලැබේ.



අපගේ මුළු දඹදිව වන්දනාවේම වඩාත්ම ත්‍රාසජනක අවස්ථාව, එසේත් නැත්නම් වඩාත්ම ත්‍රාසජනක වූ වන්දනාව මෙතැනදී සිදු වූ බව කිවහොත් එහි අතිශයෝක්තියක් නොමැත්තේය.
ඒ සඳහා මුල්වුණු මෙහි ජීවත්වන මිනිසුන් ඒ තරම් අධ්‍යාපනයක් නොමැති ගෝත්‍රික වැනි පිරිසක් බව අපට කලින්ම අනතුරු අඟවා තිබිණ.

අපගේ බසය  එතැනට ගොස් නැවැත් වූ වහාම අප කන්ද මුදුනට රුපියල් රුපියල් 200 කුලියකට රැගෙන යාම සඳහා දෝලා  කරුවන් අප වටා මි මැස්සන් රැලක් මෙන් එක්රොක් වුනී. ඔවුන් අප ළඟට පැමිණ මොහොතක් ගත වත්ම මෝටර් සයිකල් වලින් නැඟ ගත් තරුණයන් 25 දෙනකු පමණ අප අසලට පැමිණ එම බයිසිකලේක අප එක් අයකු බැගින් පටවාගෙන කන්ද මුදුනට යාමට රුපියල් සීයක් ඉල්ලා කරදර කරන්නට පටන් ගත්හ. ඔවුන් බයිසිකල් වේගයෙන් රේස් කරමින් අපේ ඇඟට ගොඩ වෙන්නට වාගේ අපව බයිසිකල් වලට දමා ගැනීමට උත්සාහ කළහ. කොයි මොහොතක හෝ අපගේ කෙනකු යට වන්නට ඉඩ තිබෙන බව පෙනෙන තරමටම මෙම ත්‍රාසජනක ක්‍රියාව ඔවුන් බොහෝ වෙලාවක් කරගෙන ගියහ.
අප ඔවුන්ගේ සේවය කොතරම් ප්‍රතික්ෂේප කලද, ඔවුන් එය ගණන් නොගත් අතර අප වටේ රංචුවක් ලෙස එලෙස අපිට තර්ජනාත්මකව හැසිරෙමින් කන්දෙන් බාගයක් පමණ අපත් සමග ගමන් කළහ. ඇත්තෙන්ම ඔවුන් යම් පිළිවෙලකට මේ වැඩේ කලානම් අප කිහිප දෙනෙකු එම බයිසිකල්වල යාමටද ඉඩ තිබිණ. නමුත් ඔවුන් එතැනදී හැසිරෙන ආකාරය, කන්ද උඩට දිව ගොස් පන බේරාගැනීමට සිතෙන තරමට භයානකය.
අප ටික දුරක් ගමන් කරන විට ටිබෙට් ජාතික සංචාරකයන් කණ්ඩායමක් පැමිණි නිසා, බයිසිකල් කරුවන්ගේ අවධානය ඔවුන් වෙතට ගිය හෙයින්, අපට තරමක අස්වැසිල්ලක් ලැබුනි.

තව පොඩ්ඩක් උඩට ගිය විට අප දුටුවේ කෙසේ වුවත් බයිසිකල්වලින් යාමට පුළුවන් දුර ඉතා ඉක්මනින්ම අවසන් වන බවයි. ඊට පස්සේ ඉතිරි ප්‍රමාණය පඩිපෙළ තිබුණු නිසා, බයිසිකලයක සේවය ලබා ගත්තද කොහොමටත් එතනින් බැස පයින් යාමට සිදුවන බව අපි දුටිමු.

මෙම කන්ද අවට ජීවත් වන මිනිසුන් තරමක මිලේච්ඡ ගෝත්‍රිකයන් වැනි පිරිසක් බව අපට කියූ  මාර්ගෝපදේශකයා, සාමාන්‍යයෙන් සවස් කාලය වන විට මෙතනට ඉන්දියානු සංචාරකයින් වත් නොපැමිණෙන බව දන්වා සිටියේය.

කෙසේ හෝ මේ කරදරෙන් බේරෙන්න උඩට නැඟුණු පසු, එහි ගුහාවක ඇති  බුදුන් දුෂ්කර ක්‍රියා කරන ආකාරය පෙන්වන පිලිමය සහ අනෙකුත් ගල්ගුහා වන්ද, ටිබෙට් බෞද්ධයන් කණ්ඩායමක් විසින් පවත්වාගෙන යන කුඩා විහාරයක්ද දැකිය හැකි විය. මෙතන යම් විදිහකින් ටිබෙට් බෞද්ධයන්ට විශේෂිත සිද්ධස්ථානයක් බව පෙනෙන්නට තිබුණි.




කඳු මුදුනේ පසෙක හින්දු ආගමේ යම් පූජනීය ස්ථානයක් වන්දනාමාන කිරීමට බොහෝ හින්දු භක්තිකයන්ද,  එම ස්ථානයට පැමිණෙන බව පෙනුණි. එම හින්දු භක්තිකයන් බොහෝ දුර සිට පැමිණෙන්නන් නොව සාමාන්‍යයෙන් එම ප්‍රදේශයෙන්ම වගේ වන්දනාකරුවන් බවද නිරීක්ෂණය කළ හැකිවිය. එයින් කියවන්නේ මෙම ස්ථානය හින්දු භක්තිකයන්ට ජාතික වශයෙන් වැදගත්වන ආගමික සිද්ධස්ථානයක් නොවන බවයි.
මෙම ස්ථානය නැරඹීමෙන් පසු තම පුත් කුමරු විසින් බිම්බිසාර රජු සිර කර සිටියා යැයි කියන ස්ථානයද සොන් බන්ඩාර නම් වූ බිම්බිසාර රජුගේ භාණ්ඩාගාරය තිබූ ගල් ගුහාවද නරඹා රාජ්ගිර් (අප දන්නා රජගහනුවර) ආපන ශාලාවකින් පෙර පරිදිම දවල් ආහාර ගෙන බුද්ධ ගයා වෙතට ගොස්  oaks හෝටලයේ රාත්‍රියට නැවතුනෙමු.

පසුදින උදේම අපි බුද්ධගයා නැරඹීමට ගියෙමු. ඇත්තෙන්ම මෙම ප්‍රදේශයේ නම ‘ගයා’ යන්නයි. බුදුරජුන් මුලින් ධර්මය ඉගෙන ගැනීමට උත්සාහ කළ නදී කාශ්‍යප ගයා කාශ්‍යප සහ උරුවෙල කාශ්‍යප තිදෙනාගෙන් ගයා කාශ්‍යප ජීවත් වී ඇත්තේද මෙම ප්‍රදේශයේය. ඒ අතරම දැන් බුද්ධගයා යනුවෙන් හඳුන්වන  බුදුන් බුද්ධත්වයට පත් වූ ස්ථානය මුලදී හඳුන්වා ඇත්තේ උරුවෙල යන නමිනි, බොහෝවිට උරුවෙල කාශ්‍යප තමන්ගේ ආශ්‍රමය පවත්වාගෙන යන්නට ඇත්තේ මේ හරියේ විය යුතුය.





1 comment:

  1. මම ගිය වෙලාවෙදී ඔතනදි හම්බ වෙච්ච ටිබෙට් හාමුදුරු නමක් එක්ක කතා කළා. එයාල විශ්වාස කරන විදියට බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩිය කියන එක භෞතිකව වෙච්ච දෙයක් නෙමේලු. ඒ කියන්නේ සමහරවිට ඉර්ධි බලයෙන් ප්‍රක්ෂේපනයක් වගේ දෙයක් යවන්න ඇති කියල තමා එයාල විශ්වාස කරනවා කිව්වේ.

    ReplyDelete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...