Thursday, May 31, 2018

නාම් සංචාරය 2


මිට පෙර කොටස 




නයිජීරියාවේ ලාගොස් ගුවන් තොටුපල ලෝකයේ තිබෙන ඉතාමත් අවුල් එසේම වංචාවෙන් පිරුණු ගුවන් තොටුපල වීමට බොහෝ ඉඩ තිබේ. එහි ඇතුලත ගුවන් මගීන්ට වඩා තෑරවූ කරුවන් සිටින බවට නයිජිරියාවේ ප්‍රධාන පුවත් පතක ලිය තිබෙනවා මම වරක් දුටිමි. මේ ගමනේදී අප පස් හය දෙනෙකු ගුවන් යානයෙන් බැස ආගමන වීගමන ප්‍රදේශයට යන විට හොඳීන් ඇඳ පැළඳ ගත් තරුණයෙකු අප වෙත පැමිණ අපගේ නම් කියා අප පිළිගැනීමට පැමිණි  නියෝජිතයෙකු ලෙස ඔහු හදුන්වා දී අපගේ ගමන් බලපත් ඇතුළු සියලු ලිය කියවිලි ඉල්ලා සිටියේ අපට ඉක්මනින් එම ගුවන් තොටුපලේ කර ගැනීමට ඇති සියලු කටයුතු කරදීමටය. 


                                            ලාගොස් ගුවන්තොටුපල 
අපගේ සියලු ගමන් බලපත්‍ර තිබුනේ පසු පසින් පැමිණි කෙනෙකු අත නිසා මුලින්ම අප එකිනෙකා ඇත තිබූ යෙලෝ කාඩ් (කහ උණ සඳහා එන්නත් ලබාගෙන ඇති බවට සහතිකය; සමහර රටවල මෙම සතිකය රැගෙන පැමිණීම අනිවාර්යය වෙයි.) ඔහු වෙත දුන් විගසම අප පිළිගැනීමට ගුවන් තොටුපලට පැමිණි සිටි එහි හමුදා නිලධාරින් ඇතුළු කණ්ඩායමක් දුටු අප ඔවුන් සමග කතා කරන විටම පෙර තරුණයා එතනින් අන්ත්‍රස්දාන වී ඇති බව අපට වැටහුණි.

ඔහු උත්සාහ කරන්නට ඇත්තේ අපේ ගමන් බලපත්‍ර සියල්ල එකතු කරගෙන ඉන්පසු එය ආපසු දීම සඳහා කප්පමක් ලබා ගැනීම හෝ වෙනත් ඊටත් වඩා දරුණු අපරාධයකට විය යුතුය.
අතුරු කතා වලට ගියහොත් අපේ වියට්නාම් සංචාරයේ ට්‍රැවලොග් එක අනවශ්‍ය ලෙස දිග් ගැසීමට පුළුවන.
අපට දැන් විසා ලැබී ඇති හෙයින් අපි ආගමන හා  විගමන පෝලිම් වලට එක්වුයෙමු. වඩා ඉක්මනට එගොඩ වීමට අඩුවෙන් මගින් සිටින පෝලිම් හොය හොයා එකතු වුනද එතන සිටි නිලධාරියෙකු පෝලිම් කෙටි වන විට ඒවාට දිග පෝලිම් වලින් මගින් ඉතා කාර්යක්ෂම ලෙස මාරු කරමින් ඉතාම ජිවාත්මක ලෙස ඒ කටයුත්ත කරුණු දැක අපට එක්වරම සිහියට ආවේ අපේ ‘dead man walking’ ආගමන විගමන සේවයයි.
සාමාන්‍යයෙන් කුඩා රටකට ඇතුළු වීමට පෙර අප අත තිබෙන අන්තර් ජාතික මුදල් ඒකක වලින් ටිකක් මාරුකර ගැනීම නුවනට හුරුය. මක්නිසාද අපට රට ඇතුලත මුදල් මාරුකර ගැනීමට අවස්තාවක් ලැබෙන තෙක් රටේ ව්‍යවහාරික මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වීමට ඉඩ තිබෙන නිසාය. වියට්නාමයේ මෙම මුදල් ඒකකය ඩොන්ග් නමින් හැදින්වේ. අප ගුවන් තොටුපලේ සිංගප්පුරු ඩොලර් මාරුකර ගත්තේ එක සිංගප්පුරු ඩොලරයකට ඩොන්ග් 16400 ගනනේය. මෙම මුදල් අනුපාතය සිංගප්පුරුවට ඇතුළුවන ඕනෑම සංචාරකයෙකුගේ මනස අධික ප්‍රීතියට පත් කරනබව නොඅනුමානය. ඒ රටට ඇතුළුවන විටම ඔවුන් මිලියනියස්ලා බවට පත්වන නිසාවෙනි. ඩොලර් තුට්ටු දෙකකින් ඕනෑම කෙනෙකුට එහිදී ඩොන්ග් මිලියනියර්  කෙනෙකු වෙන්නට පුළුවන. ශ්‍රී ලංකාවේ රුපියලකට ඩොන්ග් රුපියල් 145.43 ක් වෙයි. රුපියල ඩොලරයත් සමග අවපාතවනවා වැඩි යයි කියන අයට වියට්නාමයේ මිනිසුන්ට මොනවා හිතෙනවා ඇත්දැයි සිතන්නට පුළුවන. විනාඩි දෙක තුනකින් අපි නියම වියට්නාමයට ඇතුල් වුනෙමු.
ලංකාවෙන් යන කෙනෙකුට එම ගුවන් තොටුපලට ගොඩ බැස්ස විගසම යම් අඩු පාඩුවක් දැනීම ස්වාභාවිකය. ඒ එම ගුවන් තොටුපලේ එරට ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් පැමිණෙන පිරිස් දෙස බලමින් විරාජමානව බලා සිටිනවා දක්නට නොතිබීමයි. එම රටවල ස්වාධිපතිබාවය  අප රටේ මෙන් බලවත්ව බැබලෙන්නේ නොමැති බව අපට හැගුණි.
පෙර කල මෙලෙස ගුවන් තොටුපලට පැමිණි විගස හෝ ගුවන් තොටුපලින් පිටතට පැමිණි විගස මා සොයන්නේ දුම් බිමට වෙන්කර ඇති ස්ථානයකි. නමුත් දැන් මා දුම් බිම නවතා අවුරුදු තුනක් ගත වී ඇති හෙයින් මට ගුවන් තොටුපලේ දුම් බිමට වෙන්කළ ස්ථානයක් තිබෙනවාදැයි බලා ගැනීමට මතක් වුයේ නැත.
ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ අප එකතු කරගත් අපගේ මාර්ග උපදේශකයා අප අට දෙනාට පමණක් වෙන් කරන ලද ඉතාමත් සුකෝපභෝගී බස් රථයක අප හෝටලය වෙත කැදවාගෙන ගියේය. තන් ලොන්ග්  ඔපෙරා  නම් වූ එම හෝටලය සියලු පහසුකම් වලින් යුත් ලංකාවේ නම් සාමාන්‍යයෙන් රුපියල් 10000/15000 පරාසයේ හෝටලයක් විය. අපි බඩගිනි නිසා ඉක්මනින්ම ලැස්ති වී පැය භාගයක් ඇතුලත අප එනතෙක් බලා සිටි බසය වෙත ගියෙමු.            

Wednesday, May 30, 2018

නාම් සංචාරය 1




අප පවුල් දෙකක අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගිය සතියේ වියට්නාමයේ සංචාරයක් සඳහා ගියෙමු.  8 දෙනෙකුට අඩු නම් ගණන ටිකක් වැඩිවන නිසා මෙම අංකය අයිඩියල් ප්‍රමාණය විය. 8 දෙනෙකුට අඩුනම් මේ සංචාරක ගාස්තුව වැඩිවේ.
කොළඹින් පිටත්වීමට තිබුනේ රාත්‍රී එකට නිසා අපි මහනුවරින් රාත්‍රී හත හමාරට පිටත් වීමට තීරණය කලේ ගුවන් ගමනට පැය දෙකකට කලින් ගුවන් තොටුපලේ සිටීමට සැලසුම් කරමිනි.
එහෙත් එදින පස්වරුවේ සිට  ආගමන  නිලධාරින්ගේ වර්ජනයක් සිදුවීමට ඉඩ තිබෙන බව දන්වා පැය තුනකටවත් කලින් ගුවන් තොටුපලට යන ලෙස පණිවිඩ ලැබුණු හෙයින් අපි ටිකක් කලින් එතනට ගියෙමු.
එහෙත් චෙකින් කර එතනට ගිය විට එම නිලධාරින් කළු පටි අතේ පැලඳ රාජකාරී කිරිම හා වෙනදා කුඩා පෝලිම් හයක් හතක් තිබෙන ආකාරය වෙනස් කර දිග පෝලිම් දෙකක් හරහා ගොස් අවසානයේ පෙර තිබූ කවුන්ටර් ගණනටම මගින් යොමු කිරීම හැරෙන්නට වෙනත් වෙනසක් තිබුනේ නැත. සමහර විට පෝලිම් ගසන ආකාරය මෙලෙස වෙනස් කරන්නට ඇත්තේ ඔවුන්ගේ වෘතිය ක්‍රියා මාර්ගය අතිශයින් සාර්ථක බව දිග පෝලිම් පෙන්වා ඔප්පු කිරීමට විය යුතුය. ඔවුන්ගේ ශාරීරික භාෂාවෙන්ද ඔවුන් කෝපයෙන් සිටින බවක් පෙනෙන්නට තිබිණ. සමහර විට අප රටේ මුළු රාජ්‍ය සේවයම පාහේ තිබෙන ජනයා සමග වැඩකරනවිට  මිත්‍රශීලි නොවිමෙහි කොටසක් වන්නටද පුළුවන.
පැය හතරක ගුවන් ගමනකින් පසු අපි සිංගප්පුරුවට ගිය පසු; මම මේ අතරේ අළුත් චිත්‍රපටි කිහිපයක් පරික්ෂා කර මෑතකදී ප්‍රදර්ශනය කල ‘බ්ලැක් පැන්තර්’ චිත්‍රපටය නැරඹුවෙමි; චිත්‍රපටය අවසානය තෙක් නරඹන්නට පුළුවන් වුවද එය මේ දවස්වල ඇමරිකාවේ තිබෙන කළු මිනිසුනට සහ කාන්තාවන්ට උඩගෙඩි දීමේ ප්‍රවණතාවයේ කෙළවරටම ගොස් එම ප්‍රවනතාවයෙන් ව්‍යාපාරික ප්‍රයෝජන ලැබීමට සාදන ලද චිත්‍රපටයක් යැයි මට සිතුනි.
සිංගප්පුරුවේ ගුවන් තොටුපලේ ටර්මිනල් හතරට අපි ගිය පසු අපගේ ගමනේ ඉතිරි කොටසට කුමන ටර්මිනල් එකේ කුමන ගේට්ටුව වෙත යා යුතු දැයි බලා ගැනීමට දර්ශන පුවරුවක් සොයා ගැනීමට දෙදිශාවට කණ්ඩායමේ දෙදෙනෙක් යැවීමට සාකච්චා කරමින් සිටියදී ගුවන් තොටුපලේ වයිෆයි සම්බන්ධතා ලබාගෙන සිටි අපගේ සාමාජිකයෙකුට මම නිකමට ෆ්ලයිට් අංකය ගූගල් කරන ලෙස නිකමට කීවෙමි. ඔහු එසේ ගූගල් කල විටම ගේට්ටුව එහි වැටුණි.
ඇත්තෙන්ම එය අප පැමිණ සිටි ගේට්ටුවට අල්ලපු ගේට්ටුව විය. ගූගල් නිසා මහත් හිස රදයකින් බේරීමට හැකි විය.
සිංගප්පුර් හැනෝයි කොටසද පැය තුන හමාරක් වූ අතර හැනෝයි ගුවන්තොටුපලට අප ගොඩ බැස්සේ එහි වේලාවෙන් පස්වරු එකට පමණය. මේ දිනවල වියට්නාමයේ ග්‍රීෂ්ම සෘතුව නිසා සාමාන්‍යයෙන් එහි උෂ්ණත්වය ලංකාවට බොහෝ සමාන විය; ඇත්තෙන්ම මෙම ග්‍රීෂ්ම සෘතුවේ හැකියාවක් තිබේ නම් වියට්නාම් සංචාර නොකළ යුතු වන්නේ එය එහි වර්ෂා අධික කාලයක් නිසාය. නමුත් අපේ වාසනාවට අපි එහි සිටින තාක් කල් වැස්සේ නැත; විශේෂයෙන්ම වියට්නාම් සංචාරයන්ගේ වැඩි කොටසක් බාහිර ක්‍රියාකාරකම් නිසා වැසි  කාලයක් අසු වුනොත් සංචාරයේ විනොදාස්වාදය ලබා ගැනීම බොහෝ දුරට සිමා විය හැක.
අපි විසා ගැනීමට බලාපොරොත්තුව සිටි අප ආගමන කොටසට යාමට පෙරම අපේ සංචාරක ආයතනයේ නියෝජිතයෙකු පැමිණ අප මුණ ගැසී අපේ මෙහෙන් අපි පුරවාගෙන ගිය විසා පෝර්ම ඉල්ලාගෙන අපෙන් විසා ගාස්තු සඳහා 115; ඩොලර් විය යුතුය, ඉල්ලා සිටියේය. එහෙත් එතනට එවෙලේ පැමිණි ආයතනයේ වෙනත් නියෝජිතයෙකු එම අයදුම්පත් ටික ඉල්ලාගෙන අප එසේ මුදල් ගෙවීමට අවශ්‍ය නොමැති බව කියා විසා ලබා ගැනීමට කටයුතු කළේය. විනාඩි පහක් දහයක් යන විට විසා ලකුණු කරන ලද ගමන් බලපත්‍ර අප වෙත ලැබුණි. මෙම කටයුතු ඉතාමත් සුහදශීලිව සහ වෘතිමය ආකාරයකින් සිදු වූ බව විශේෂයෙන් කිව යුතුය.
මට මෙතැනදී මතක් වුයේ වරෙක මා ඇවන්ගාර්ඩ් සමාගමේ සේවය කරද්දී නයිජීරියාවේ ලාගොස් ගුවන් තොටුපලට ගිය අවස්ථාවේදී සිදු වූ සිද්ධියකි. අප මෙලෙස නයිජීරියාවට ගියේ බටහිර අප්‍රිකාවේ ගිනි බෝක්කේ  පවතින මුහුදු කොල්ල කරුවන්ගේ ක්‍රියාකාරකම් නැවත්වීම සඳහා නයිජිරියානු රජයට යෝජනාවක් ඉදිරිපත් කිරීමටය. ඉතිරි කොටස  හෙට ......  

        

Wednesday, May 9, 2018

මහනුවර මඩකලපුව පාර ඇරීමට විරුද්ධ වීමට හේතු


මම පසුගිය දිනක මහනුවර මඩකලපුව ප්‍රධාන පාර වසා තිබීම පිළිබඳව පෝස්ට් එකක් දැමුවෙමි. බොහෝ දෙනෙකු මෙය විවෘත කලයුතු බවට ලයික් දැමීමෙන් සහ කමෙන්ට් දැමීමෙන් ප්‍රකාශ කලද සෑම මෙවැනි පොදු ප්‍රශ්නයකදීම මෙන් එයට විරුද්ධ කිහිප දෙනෙකුත් සිටින බව නිරීක්ෂණය විය. මේ පාර වසා තැබිය යුතු යැයි කීමට තර්කයන්; එසේ යමක් ඇත්තේ නම්, සොයා ගැනීමට මෙය හොඳ අවස්ථාවක් නිසා මම එහි විරුද්ධව අදහස් ප්‍රකාශ කර ඇති පුද්ගලයන්ගේ තර්ක පරික්ෂාකර බැලුවෙම්. එම තර්ක පහත ආකාරයට ගොනු කල හැකි බව පෙනේ.
1.     පාර ඇරීමෙන් ඒ පාරේ වාහන යන විට මාලිගාවට පැමිණෙන අයට නිසල මනසකින් වන්දනා කරගත නොහැක.  
ඇත්තෙන්ම මෙය පුදුම තර්කයකි. තදබද වෙලාවට පාර වසා තැබීම නිසා වැව වටා ගොඩ ගැසෙන වාහන දහස් ගණනකින් එන ශබ්දය හා පරිසර හානිය පාර ඇර එම ප්‍රදේශය නලා තහනම් ප්‍රදේශයක් කලානම් දැන් තිබෙන තත්වයට වඩා සියවාරයකට වඩා නිසල තත්වයක් වන්දනාකරුවන්ට ලැබෙනු ඇත.
තවදුරටත් වාහන දස දහස් ගණනක් පැය ගණන් හිරවී එලියට දමන විෂ දුම නිසා වන්දනාකරුවන් නොදැන විදින  දුක ගැන කවුරුත් කතාකරන්නේ නැත.

2.     පාරේ වාහන යාමෙන් මාලිගාවට අගෞරවයක් සිදුවේ - එසේනම් ඒ අගෞරවය සිදුවන්නේ කොපමණ දුරකින් වාහන යනවිටද? ත්‍රස්තවාදීන් මාලිගාව පුපුරවන තෙක් මෙම අගෞරවය ගැන කවුරුත් සිතුවේ නැද්ද? මක්නිසාද මෙය වසා දමන ලද්දේ එසේ පිපිරවීමෙන් පසුව නිසාය. ඉන්පසු සාම  ගිවිසුම කාලයේද මෙම පාර ඇර තබන ලද්දේ එකල තර්ජනයක් නොතිබුන නිසාය.
3.     මෙම පාර ඇරියොත් කටුගස්තොට පැත්තෙන් එන වාහන වලට අපහසුවක් ඇතිවේ ;මෙය ඒ පැත්තෙන් නගරයට පැමිණෙන්නන් ගේ සිතලුවකි,- මෙය තාමත් ආත්මාර්ථකාමී එලෙසම කිසිම පදනමක් නැති තර්කයකි. නැගෙනහිරින් එන වාහන ඔතනින් නගරයට දැම්මද වාහන ගනනේ අඩුවක් සිදුවන්නේ වත් අනික් පැතිවලින් එන වාහන වලට අපහසුවක් වන්නේත් නැත. එහෙත් අම්පිටිය පාරෙන් එන වාහන වලට ඉමහත් පහසුවක් සිදුවේ.
4.     මෙය විවෘත කිරීම අන්‍ය ආගමිකයනට දිනුම දීමකි - මෙවැනි අදහසකින් කටයුතු කරන සුළු පිරිසකුත් සිටින බව පෙනේ. ඒ ඉතාම පටු එමෙන්ම කිසිම පදනමක් නැති තර්කයකි.
5.     කලයුත්තේ මෙය ඇරීම නොව විකල්ප මාර්ගයක් තැනීමයි - මෙවැනි විශාල නගරකය: මැද වැවකුත් තිබෙන, එවැනි විකල්ප මාර්ගයක් තැනීම ඉතා අධික වියදමක් දැරිය යුතු එමෙන්ම ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියකි. සතයක්වත් වියදම් නොවන කිසිවෙකු අපහසුතාවයකට පත් නොවන පාර ඇරීම මෙයට වඩා ඉතා පහසුවෙන් කල හැක්කකි. එසේම විකල්ප මාර්ගයක් කරන්නේ නම් ඒ පාරේ වැඩ අවසන්කර ක්‍රියාත්මක වන තෙක් මෙම මාර්ගය විවෘත කර තැබිය හැක්කේය.
6.     වෙනස්වීමට බිය පුද්ගලයන්- තිබෙන විදිහ හොඳ යයි සිතන පිරිස් මේ වර්ගීකරණයට අයත්වෙති. තිබෙන විදිහට ගැටගසාගෙන ජීවත්වීම වෙනස්වීමට උත්සාහ කිරීම අවධානමට වඩා පහසුදායක බව ඔවුන් සිතති.ඇත්තෙන්ම මේ දුර්වලතාවය අප රටේ දුප්පත්වීම යනාදී බොහෝ ප්‍රශ්න වලට මුල වෙයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ සංගා කියන දෙයට කන් දීම




මට පසුගිය කාලයේ රජයේ ආයතන කිහිපයක් සමග වැඩ කරන්නට සිදුවිය. ඒ සෑම අවස්ථාවකදීම බොහෝ සිත් තැවුල් සහ කලකිරීම් ඇති විය. මේවායින් සමහරක් පද්ධතිවල අඩුපාඩු වූ අතර සමහරක් ඒවා එම කාර්යාලවල වැඩ කරන සේවක සේවිකාවන්ගේ අඩු ලුහුඩුකම් සහ දුෂිත අදහස් නිසා ඇතිවිය.

මෙයින් පළමු වැන්න ඇතිවුයේ ශ්‍රීලංකා ටෙලිකොම් සමාගම සමගය. පසුගිය සතියේ අපගේ නිවසේ දුරකථනය සහ දත්ත වයිෆයි සේවය හදිසියේම නැවතින. මෙම සේවාවන් සදහා මාසයකට අපි රුපියල් 3500 ක් පමණ ගෙවන්නෙමු; මා කුඩා කාලයේ රජයේ පාසැල් ගුරුවරියෙකු වූ අපේ අම්මාගේ වැටුප වුයේ රුපියල් 300 ක් බව මට මතකය, ලංකාවේ සිදු වී ඇති උද්ගමනය කොතරම් දැයි අපට සිතා ගත හැක.

අපි ටෙලිකොම් සමාගමේ 1212 අමතා බාධක දිවීමේ තරඟයක් වැනි රෙකෝඩින් පෙලකින් බේරී පැමිණිල්ල කලයුතු වූ තැනට ගියෙමි. බොහෝ මිත්‍රශීලි බවින් පැමිණිල්ල ලියා ගත් සේවිකාව එදිනම මෙම අලුත්වැඩියාව කරදෙන බවට පොරොන්දු වූ අතර ටික වෙලාවකින් මට කෙටි පණිවිඩයක්ද එවන ලදී.

එහෙත් එදින පසුදින ඉරිදා දිනයක් වූ අතර අලුත් වැඩියාව සිදු වුනේ නැත. පසු දින මගේ බිරිඳද; මෙම උපකරණ දෙකම ඇය එතරම් පාවිච්චි කරන්නේ නැති නමුදු, ඒවා ක්‍රියාකාරී තත්වයේ නොපැවතීම ඇයට මහත් හිසරදයකි, ටෙලිකොම් සමාගමට කතාකර මේ පිළිබඳව දන්වා සිටි අතර මෙම අලුත්වැඩියාව ඉතා ඉක්මනින් සිදු කරන බවට ඇයටද ප්‍රතිඥාවක් ලැබිණ.

ඊට පසුදින අපරභාගයේ ටෙලිකොම් ආයතනයේ සේවකයන් දෙදෙනෙකු ත්‍රිවිලයකින් අපේ නිවසට පැමිණියහ. පැමිණි පසු ඔවුන් දුරකථනය සහ එහි සම්බන්ධතා පරික්ෂා කර ටික වෙලාවකින් දුරකථන සම්බන්ධය ප්‍රකුර්ති තත්වයට පත් කළහ. එහෙත් ඔවුන්ට රව්ටරය අලුත්වැඩියා කිරීමට නොහැකි බවත්, එය දුරකථන රැහැනට සවිකර ඇති ස්පිලිටරය නැමැති උපකරණය පිච්චි ඇති බව කියා සිටියහ.

ඔවුන් තව දුරටත් කියා සිටියේ එලෙස ස්පිලිටරය අකර්මන්‍ය වී ඇත්තේ විදුලි  කෙටිමකින් වී ඇති නිසා එය මා විසින් අලුත්වැඩියා කල යුතු බවත්ය. අප මසකට රුපියල් 3500 ක් පමණ මේ සේවාවන් සදහා ගෙවන බවත් ඒ නිසා මෙම සේවා නොකඩවා පවත්වා ගැනීම ඔවුන්ගේ වගකීමක් බවත් මම ඔවුන්ට පැහැදිලි කලත් වැඩක් වුයේ නැත. ඇත්තෙන්ම ඔවුන් පහල ශ්‍රේණියක කාර්මිකයින් නිසා මම ඔවුන්ගෙන් සහනයක් බලාපොරොත්තු වීමද නොකළ යුත්තකි. ඉන්පසු මම දුරකථනයෙන් ප්‍රාදේශීය අධිපතිවරයාට මේ පිලිබඳ කතා කලද ඔහුද කියා සිටියේ එම කරුණුමය. කෙසේ වුවත් මාරුකරන ස්පිලිටරයේ වටිනාකම වන රුපියල් 150 අපේ ඊලග මාසයේ බිලට දැමීමට හැකි බව කී නිසා මම එලෙස කරන ලෙසට ඉල්ලා සිටි විට මේ දවස්වල ටෙලිකොම් සමාගමේ ස්පිලිටර් නොමැති බව ඔහු කියා සිටියහ.

ඊයේ නගරයට ගොස් ස්පිලිටරයක් මිලට ගෙන එය සවිකර ගැනීමට නොතේරන නිසා නැවත වරක් ටෙලිකොම් සමාගමට දුරකථනයෙන් දන්වා සිටියෙමි. එය පැමිණිලි කලේ අද උදේ පාන්දරමය. මෙම ප්‍රශ්නය කල්පනා කරමින් උද්‍යානයේ වැඩක් කරමින් සිටින මට මෙම ස්පිලිටරය සවිකර ගැනීමට ක්‍රමවේදයක් සිහියට නැගුණි. ඒ උදේ දහයට පමණය. මම එලෙස ස්පිලිටරය සවිකර ගැනීමට පොහොසත් වුයෙන් නැවත දත්ත සම්බන්ධතාවය ක්‍රියාත්මක විය. ඒ දවස් හතරකට පසුවය. දැන් වෙලාව 17.25 වෙයි. නැවත වතාවක් රෙකෝඩින් බාධක දිවීම් හරහා යාමට ඇති කම්මැලිකම නිසා මම දත්ත සම්බන්ධතාවය ප්‍රකුර්ති තත්වයට පත් වූ බව ඔවුනට කීවේ නැත. ඔවුන්ද මට නොදෙවිනිය. ඔවුන්ද එය යතා තත්වයට පත් කිරීමට ආවෙත් නැත.  

මෙතරම් වෙළඳ දැන්වීම් වලට මුදල් වැය කරන ටෙලිකොම් සමාගම හැම මාසයේම අග හරිය වෙලාවට තමන්ගේ බිල ගෙවන පාරිභෝගිකයන්ට සලකන්නේ මෙලෙස නම් අපටත් සංගා කියන දේ කරන්නට සිතීමේ කිසිම වැරද්දක් නැතැයි මට සිතීම වලක්වාලනුයේ කෙසේද?  

ඇත්තෙන්ම ටෙලිකොම් සමාගම කල යුතුව තිබුනේ,
1. පෙරදින තදින් අකුණු ගැසූ නිසා අලුත්වැඩියා කරන්නට පැමිණෙන්නන් අත ස්පිලිටර් සහ පිළිස්සුන හැකි උපකරණ කිහිපයක් එවීම.
2. මෙවැනි සුළු වටිනාකමක් ඇති උපකරණ අලුත්වැඩියාවකදී යොදන විට ඒවාට ඔවුන්ගෙන් මුදල් නොඉල්ලීම. ඔවුන් විසින් සවි කරන ලද උපකරණ අපේ කිසිම වැරද්දක් නැතිව කැඩුණු විට අපෙන් මුදල් ඉල්ලීම ඉතාමත් අසාධාරණ බව මගේ හැගීමයි.
3. අලුත්වැඩියාව වාර්තාකරණ දිනයේම කිරීම.
වැනි සුළු ක්‍රියාවන් සැලසුම් සහගත ලෙස සිදු කිරීමයි.     


Wednesday, May 2, 2018

දීපිකා පදුකොනේ සහ වැන් ඩිසල්




අපි පොඩිකාලයේ හින්දි චිත්‍රපටි වලට බොහෝ ඇලුම් කළෙමු. රාජේශ් ඛන්නා, ධර්මේන්ද්‍ර, අමිතාබ් බච්චන්, ජයා බහදුර් වැනි නළු නිලියෝ අපේ ප්‍රියතමයන් වුහ. හින්දි චිත්‍රපටි වලට ඇති අපේ කැමැත්ත සඳහා යම් තරමකින් වත් තරගයක් දුන්නේ බටහිර ගොපලු චිත්‍රපටි පමණි. මම තවත් මිතුරන් දෙදෙනෙකු සමග පාසලෙන් කට්ටි පැන කටුගස්තොට සිගිරි ශාලාවේ ඒක් පුල් දෝ මාලි චිත්‍රපටිය බලන්නට ගොස් අසු වී මට විදුහල්පති හමුවීමට දෙමව්පියන්ද රැගෙන යාමට සිදුවිය.
කෙසේ වුවත් හින්දි සිනමාව සන්සන්දාත්මකව එක තැන පල් වෙද්දී හොලිවුඩ් සිනමාව දිගු පිමි වලින් ඉදිරියට ගියේය. අපි බොහෝ දෙනෙකු හින්දි චිත්‍රපටි අතහැර බටහිර චිත්‍රපටි වලට ලංවිමු. දැන් මම හින්දි චිත්‍රපටි බලන්නේම නැත. බටහිර චිත්‍රපට මසකට පහක් හයක් බලන අතර හිද හිට දෙමළ චිත්‍රපටයක් ලැබුනොත් අතහරින්නේත් නැත.
නමුත් මෙවර ටයිම් සඟරාවේ පසුගිය වසරේ ප්‍රසිද්ධම සිය දෙනා තෝරන ලද අතර එයින් හින්දි සිනමාවේ කෙනෙකු සිටිනවා දැක එය උනන්දුවෙන් කියෙව්වෙමි. එය ලියා තිබුනේ ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙකු සහ චිත්‍රපටි තනන්නෙකු වන වැන් ඩිසල් හෙවත් මාක් සින්ක්ලයා විසිනි.
එම ලියවිල්ල කොතරම් අලංකාරද කිවහොත් සහ එම ලිපියේ විෂයයා අප අසල්වැසියෙකු නිසා මට එය පරිවර්තනය කර බ්ලොග් එකක් කරන්නට සිතුනි.     

"දීපිකා  පදුකොනේ මගේ fast and furious සීරිස් ඒක සඳහා චිත්‍රපටයක් සඳහා පරීක්ෂණයකට පැමිණි අවස්ථාවක මා යම් විශේෂ පුද්ගලයෙකුගේ සමාගමයෙහි සිටින බව මට දැනුනි. ඇය කාමරයට ඇතුළුවූ ගමන්ම මට යම් ශක්තියක්, රසායනයක් එසේත් නැත්නම් යම් විශේෂ අහම්භයක් සිදුවන බවක් දැනුනි. ඒ හැඟීම මේ හමුවීමෙන් යම් විශේෂ දෑ ඉදිරියේදී සිදුවන්නට තිබෙන බවයි.
ඇයගේ කාල සටහන් මගේ චිත්‍රපටිය සඳහා ගැලපුනේ නැත. නමුත් මම එය අතහැරියේත් නැත. “xXx Return of the xandar cage චිත්‍රපටිය සැලසුම් කරන විට මුල්ම චරිතය අප ගොඩනැඟුවේ ඇය සඳහාය. “මට මේ චිත්‍රපටියේ රඟපෑමට කැමතියි, එහෙත් මම මේ චිත්‍රපටියට සම්බන්ධවනවා නම්, එය කිරීමට ඔබ ඉන්දියාවට පැමිණිය යුතුයි” ඇය කීවාය. මම එයට එකඟ වීම ගැන මම දෙවියන්ට් ස්තුති කරමි.
එම චිත්‍රපටිය කරද්දී දීපිකා කැපවීම වෙනම තලයකට ගෙන ගියාය. ඇය එවැනි කලාකාරියකි, ඇයට; ඇය පමණක් නොව  මුලු චිත්‍රපටියම, දිලිසෙන්නට, බැබලෙන්නට  ඕනෑ විය, එය කලාතුරකින් මේ ක්ෂේත්‍රයේ කෙනෙකු සිතන විදිහකි. ඇය කොතරම් හැඩ කාරද යන්න ගැන ඕනෑම කෙනෙකුට කතාකල හැක. ඇගේ හාස්‍යට හරියටම ගැලපෙන කාල මුහුර්තනය ගැන ඕනෑ තරම් කතාකල හැක. ඇය තරුවක් පමණක් නොවන බව කිව යුතුය. ඇය නළුවන්ගේත් නළුවෙකි. සම්පුර්ණයෙන්ම වෘතියට කැපවූ කලාකරුවෙකි.
මෙම විනෝදාස්වාද ක්ෂේත්‍රයේ අපට බොහෝ විට හමුවන්නේ එකායක රූපයන්ය. සමහරු සමහර වෙළඳ පොළට පමණක් හිරවෙති. නමුත් දීපිකා පෘතුවියට අපට දියහැකි උපරිමයයි. ඇය ඉන්දියාව නියෝජනය කරන්නේ නැත, ඇය නියෝජනය කරන්නේ ලෝකයයි".

මම ඇයගේ ච්ත්‍රපටයක් බලන්න තීරණය කලෙමි. වැන් ඩීසල් ට ඕනෑ වුනෙත් එය වන්නට පුළුවන.

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...