Saturday, February 23, 2019

4 කුඩු ඛේදවාචකය - ප්‍රවාහන විකල්ප








මෙතැනදී කෙනෙකුට පකිස්තානයෙන් ඉන්දියාව හරහා ගොඩබිමින් ගෙන ඒම පහසු නොවේදැයි සිතෙන්නට පුළුවන. ඇත්තෙන්ම අප පැමිණිය හැකි සියලු මාර්ග පරීක්ෂා කිරිම සහ එම සැම මාර්ගයකම තිබෙන දුෂ්කරතා සහ පහසුකම් සංසන්දනය කලවිට කුඩු මුදලාලිලා කුමන මාර්ගයක් තෝරාගැනීමට වඩාත්ම ඉඩ තිබෙන්නේදැයි දැනුවත්  අනුමානයන්  කරන්නට පුළුවන.
ඉන්දියාව හරහා පකිස්තානුවන්ට කුඩු ගෙන ඒම ඉතාමත් අපහසු කාරණයකි. එයට ප්‍රධාන හේතුව නම් ඉන්දියාවේ ඕනෑම රාජ්‍ය ආයතනයක හෝ පිවිසුම් ස්ථානයකදී පකිස්තානුවන් විශේෂ අවධානයකට ලක්වීමයි. ඉන්දියානුවන් පකිස්තානයට යාමත් ඉතාමත් අඩුය. පකිස්තානයත් ඉන්දියානුවන්ට වීසා නිකුත්කරන්නේ බොහෝ සීමාවන් මධ්‍යයේය. හරියට ලංකාවේ කෙනෙකුට සංචාරයක් සඳහා සංවර්ධිත රටකට යාමට විසා ගන්නට දමා ඇති සීමාවන් වගේ යැයි කීවාට ලොකු වරදක් නැත. පකිස්තානයේ සිට ඉන්දියාවටත් එසේමය.
මෙවැනි තත්වයන් යටතේ රටවල් දෙක හරහා ගුවනින් හෝ එසේත් නැත්නම් දේශසීමාව හරහා කුඩු ගෙනයාමට තැත්කිරීම් බොහෝ අඩුවන බව එසේම එවැනි උත්සාහයක දීම ඉතාමත් අනතුරුදායක වීම ස්වභාවිකය. එසේම ගොඩබිම හරහා කුඩු ගෙනයාම තවත් අපහසු වනුයේ නැවත එම භාණ්ඩ මුහුදු මාර්ගයෙන් දකුණු ඉන්දියානු වෙරලකින් මුහුදු යාත්‍රාවකින් ලංකාවට ගෙන ආ යුතු වීමය. මේ සඳහා රටවල් කිහිපයක ප්‍රදේශ කිහිපයක සංවිධාන කටයුතු සිදුකල යුතු වෙයි. බොහෝ ගණනක් ව්‍යාපාරිකයන් සහ පාතාලයන් සම්බන්ධ කරගත යුතුය. පාතාලයන් ගණන වැඩිවන විට ලාභ අඩුවෙයි. අසුවන්නට තිබෙන අවධානම වැඩිවෙයි. මේ නිසා කෙලින්ම මුහුදු මාර්ගයේ පාතාලයන් දෙදෙනෙකු පමණක් එකතුවී කරන මෙහෙයුමක අවධානම සංසන්දනාත්මකව බොහෝ අඩුවෙයි, ලබාගත හැකි ලාබය බොහෝ වැඩිවෙයි. ඒ නිසා පකිස්තානයේ සිට මුහුදු මගින් ගෙනවිත් ගැඹුරු මුහුදේදී ලාංකික මුහුදු යාත්‍රාවකට මාරුකර ඉන්පසු එම යාත්‍රාවෙන් ගොඩබිමට ගෙන ඒම පහසුම එමෙන්ම වඩාත්ම ලාභදායි මාර්ගය බව පෙනෙයි.
මෙලෙස පකිස්තානයේ හෝ ඉරානයේ සිට පැමිණිය හැක්කේ කුමන වර්ගයේ යාත්‍රාවක්ද? මෙය දීර්ඝ මුහුදු ගමනක් නිසා; මුහුදු සැතපුම් 1600 ක් පමණ, කුඩාම යාත්‍රාවක් පාවිච්චි කල නොහැක. අඩු තරමින් ලංකාවේ බහුදින ධිවර යාත්‍රාවක් ප්‍රමාණයේ යාත්‍රාවක් වත් මේ සඳහා පාවිච්චි කල යුතුය. 4/5 ක යාත්‍රිකයන් ප්‍රමාණයක් වත් සිටිය යුතුය. සාමාන්‍යයෙන් මෙම මුහුදේ නිතරම දකින්නට පුළුවන් වර්ගයේ යාත්‍රාවක් විය යුතුවන්නේ අමුතු විදිහක යාත්‍රාවක් ගමනේ යෙදුන හොත් වාණිජ නෞකාවකින් හෝ ධිවර යාත්‍රාවකින් වාර්තා වීමට තිබෙන අවස්ථාව බොහෝ වැඩිවන නිසාය. පකිස්තානයේ ධිවර කර්මාන්තය එතරම් දියුණු තත්වයක නැත. නමුත් ඉරානයේ ධිවර කර්මාන්තය දියුණු තත්වයක තිබෙන අතර එහි ධීවර යාත්‍රා අපගේ මෙන් බොහෝ දුර බැහැර ප්‍රදේශ වල ධීවර කර්මාන්තයේ යෙදෙති.
එහෙයින් මෙලෙස කුඩු රන් චන්ද්‍රවංකයේ සිට මෙරටට ගෙන එන්නේ නම් එම කුඩු ඉරාන යාත්‍රාවක රැගෙන ඒමට තිබෙන අවස්ථාව බොහෝ වැඩිය.
ඇත්තෙන්ම මෙලෙස ප්‍රවාහනය කිරීමට යොදාගත හැකි ක්‍රම කිහිපයක් තිබේ.
1.     කෙලින්ම මුලාශ්‍රයේ සිට ලංකාවට ඉරාන යාත්‍රාවකින් ගෙන ඒම.
2.     කෙලින්ම මුලාශ්‍රයේ සිට ලංකාවට පකිස්තාන ධීවර යාත්‍රාවකින් ගෙන ඒම.
3.     ලංකාවේ ධීවර යාත්‍රාවක් එම ප්‍රදේශයට යවා එමගින් කුඩු ලංකාවට ප්‍රවාහනය කිරීම.
4.     1 හෝ  2 න් පටන්ගෙන අතරමඟකදී ලංකාවේ ධීවර යාත්‍රාවකට මාරු කිරීම.
මෙම ක්‍රම අතරින් වඩාත් සිදුවන්නට ඉඩ තිබෙන්නේ 1 සහ 4 යි. ඊළඟට 2 සහ 4 යි. ඊළඟට 3 වන ක්‍රමයයි. 3 වන ක්‍රමය සිදුවන්නට ඇති ඉඩකඩ අඩු යයි සිතිය හැක්කේ අප ධීවරයන් මෙලෙස පකිස්තානය හෝ ඉරානය කිට්ටුවට ගොස් මෙවැනි අපරාධයක් කිරීමට ඇති අකමැත්තයි. එසේම එම රටවල සිරගෙවල් බිහිසුණු තත්වයද පාතාලයන් සමග වැඩ කිරීමේ අනතුරුදායක කමද ඔවුන් අසා ඇත. එසේ වුවද මෙම විකල්පය සම්පුර්ණයෙන්ම පාහේ ඉවත් කරන්නට ලංකාවේ බහුදින යාත්‍රා පටන්ගන්නා ස්ථාන වලින්, බොහෝවිට ධීවර වරාය වලින්ම ක්‍රම වේදයක් ආරම්භ කරන්නට පුළුවන.
එම යාත්‍රා රටින් පිටවන විට සහ නැවත පැමිණෙන විට එම විස්තර වාර්තාවන් ලබාගන්නට පුළුවන. ඒවා ධීවර අමාත්‍යංශයේ සන්නිවේදන මධ්‍යස්ථාන මගින්ම ලබාගන්නට හැකිවන අතර වරින්වර යාත්‍රාවන් ලංකාවට පැමිණෙන විට, විශේෂයෙන්ම රාත්‍රී කාලයේ, පොලිසියට එම යාත්‍රාවන් පරීක්ෂාවට ලක්කළ හැක. යාත්‍රාවල තිබෙන GPS මගින් ඔවුන් එම ගමනේදී ගමන් කල ප්‍රදේශයන් පරීක්ෂා කළ හැක.
මේ නිසා වඩාත්ම සිදුවීමට ඉඩ ඇත්තේ 4 වන ක්‍රමයයි. එනම්  ඉරාන හෝ පකිස්තානු ධීවර යාත්‍රාවකින් ලංකාවේ දකුණු මුහුද ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමයි.
මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය හැකි ආකාරයන් සහ ඒවා මණ්ඩලීය හැකි ආකාරයන් ඊළඟ බ්ලොග් එකෙන් සාකච්චා කරමු.



Thursday, February 21, 2019

3 කුඩු ඛේදවාචකය 3 - මාර්ගය සොයාගැනීම



https://lakshmanillangakoon.blogspot.com/2019/02/2-2.html

මෙතැන් සිට




ලංකාවට කුඩු රැගෙන එන මුලාශ්‍ර මොනවාදැයි දැනගෙන සිටීමත් කුඩු රටතුලට ඒම වැලක්වීමට පියවර ගැනීම සඳහා වැදගත්ය. දැනට කුඩු ගෙනෙන්නන් ඇල්ලීම පිලිබඳ ඉතිහාසය තරමක් අධ්‍යයනය කිරීම ප්‍රමාණවත්ය. එම අත්අඩංගුවට ගැනීම් වලින් අපට පෙනෙන්නේ පකිස්තානය මෙම මුලාශ්‍ර වලින් ප්‍රධාන තැන ගන්නා බවයි. පකිස්තානය තුල සහ ඒ අවට (පකිස්තානය ඇෆ්ගනිස්තානය සහ ඉරානය) ලෝකයේ ඔපියම් සහ හෂිෂ් නිපදවන ප්‍රදේශ අතරින් මුල් තැනක ගනියි. එම ප්‍රදේශය හැඳින්වෙන්නේ රන් චන්ද්‍රවංකය යන නමින් වන අතර අනෙක් එවැනි ආසියාතික මත්ද්‍රව්‍ය මුලාශ්‍රය රන් ත්‍රිකෝණය ලෙස හැඳින්වෙන අතර එය මුලික වශයෙන් පිහිටා ඇත්තේ බුරුමයේය.
රන් ත්‍රිකෝණයේ සිට මුහුදු මාර්ගයෙන් අප රට වෙත මත්ද්‍රව්‍ය රැගෙන ඒමක් පිළිබඳව අප අසා නැත්තෙමු. එයට හේතුව බුරුමය එතරම් දුරට මුහුදු යාත්‍රා මඟින් මෙම ව්‍යාපාරය කිරීමට තරම් හැකියාවන් ඔප දමාගෙන නොමැතිවීම විය යුතුය. අනෙක් කාරණය බුරුමයේ තිබෙන තදබල පාලනය නිසා මෙවැනි ව්‍යාපාරයක් සංවිධානය කරගැනීමේ අපහසුව විය හැක. කෙසේ වුවත් අපට මෙලෙස බුරුමය පැත්තේ සිට කුඩු මෙරටට ඇතුල්කිරීමට උත්සාහ කර අසුවූ අවස්ථා එකක්වත් අසන්නට නොලැබීමෙන්ම ඒ මාර්ගයෙන් කුඩු මෙරටට ගෙන්වීම දැනට සිදු වන්නේ නොමැති බව සිතාගන්නට පුළුවන.
පකිස්තානයෙන් නම් මෙම ව්‍යාපාරය තදින්ම සිදුවීමට සෑම කරුණක්ම සම්පුර්ණ වී ඇත්තේය. ඇෆ්ගනිස්තානය පැත්තට පකිස්තානයේ රාජ්‍ය පාලනය ඉතාමත් දුර්වලය. මත්ද්‍රව්‍ය වැවෙන්නෙත් ඒ ප්‍රදේශවලය. පවතින යුධමය වාතාවරණය නිසා එම ප්‍රදේශවල මිනිසුනට ජීවත්වන්නටද ක්‍රමයක් නැත්තේය. එවැනි ප්‍රදේශයක පරම්පරාවෙන් පොපි වැවීමට පුරුදු වී ඇති ගොවි ජනතාවක් මෙම වගාව හැරෙන්නට වෙනත් ආදායම් මාර්ගයක් ඇත්තෙත් නැත.
එහෙයින් ගුවන් තොටුපල හැරුණුවිට ලංකාවට වැඩියෙන්ම කුඩු පැමිණෙන්නේ පකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ බව කිසිම සැකයක් නොමැතිව ප්‍රකාශ කල හැක්කේය. මෙම මාර්ගයෙන් ඔවුනට එසේ කරන්නට එකම බාධාව පකිස්තානය සහ ඉන්දියාව අතර පවතින සතුරු බාවයයි. විශේෂයෙන්ම 2008 වසරේ මුම්බායි නගරයේ ටාජ් මහල් සහ ඔබරෝයි හෝටල් වල පහරදීම් වලට පකිස්තානයේ සිට ත්‍රස්තවාදීන් පැමිණීමෙන් පසුව ඉන්දියාව මෙම මුහුදු ප්‍රදේශය පිළිබඳව ඉතා විපරමෙන් සිටින බවට කිසිදු සැකය නොමැත්තේය. මෙම සතුරු බාවය සහ විපරම අප රට වෙත කුඩු ගෙන එන්නන්ට තිබෙන ප්‍රධානතම බාධකය විය යුතුය.
එම බාධකය නිසා පකිස්තානය ප්‍රදේශයේ සිට අප රට පැත්තට එන යාත්‍රාවක් ඉන්දියානු වෙරළට සෑහෙන දුරකින් පැමිණිය යුතුය. ගමන් දීර්ඝ වනවිට යාත්‍රාව විශාල විය යුතු වෙයි. යාත්‍රාව විශාල වනවිට දකින කෙනෙකුට සැක සිතන්නට හෝ පරීක්ෂාකාරී වන්නට තිබෙන අවස්ථාවද වැඩි වෙයි. මේ වනවිට අතීතයේ මෙන් නොව දැන් බොහෝ රටවල් චන්ද්‍රිකා මඟින් අමුතු ගමන් මාර්ග වල ගමන් කරන්නාවූ යාත්‍රා පිළිබඳව විපරමින් පසුවීම සිරිතක් නිසා මෙලෙස පකිස්තානයේ සිට අප රටට යාත්‍රාවකින් පැමිණීම තවත් අපහසු වෙයි.
ඒ නිසා පකිස්තානය හෝ ඉරානයේ සිට ඉන්දියානු වෙරළට මුහුදු සැතපුම් 50 ක් පමණ තබාගෙන පැමිණෙන කුඩා ප්‍රමාණයේ නැවක්, මේ සඳහා යොදාගැනීමට වඩාත්ම ඉඩ තිබෙන යාත්‍රා වර්ගයයි. මෙවැනි යාත්‍රාවක් ලංකාවේ දකුණු වෙරළට සැතපුම් 50/100 ක් දුරින් මොහොතකට නවත්වා කලින් කතා කරගෙන සිටින අපේ ධීවර යාත්‍රාවකට කුඩු කිලෝ 500 ක් පමණ පැටවීම මෙලෙස ලංකාවට මුහුදෙන් කුඩු ගෙන ඒමට තිබෙන එකම ක්‍රමය බව පෙනේ.
එසේනම් අප මුලින්ම ආරක්ෂක වැඩපිළිවෙලක් යෙදිය යුත්තේ අපගේ දකුණු වෙරළ අවට මුහුදු ප්‍රදේශයටය. එම වැඩපිළිවෙල ඊළඟ බ්ලොග් එකෙන් සාකච්චා කරමු.

Wednesday, February 20, 2019

2 කුඩු ඛේදවාචකය 2 - බස්තියන් පයින් යාම

http://lakshmanillangakoon.blogspot.com/2019/02/blog-post_20.html සිට


මට හිතෙන විදිහට මේ සඳහා විවිද පැති ඔස්සේ කෙරෙන ක්‍රියාදාමයක් අවශ්‍යය වෙයි. පළමුවෙන්ම දරුවනට වයස 10 පමණ වද්දීම පාසල් වල සතියකයකට කාල පරිච්චේද දෙකක් හෝ තුනක් පමණ දුම්බීම සහ මත්ද්‍රව්‍ය පාවිච්චිය අධෛර්ය කිරීම සඳහා ඒවා පාවිච්චියෙන් සිරුරට මනසට සහ ඔවුන්ගේ අනාගතයට සිදුවන හානි පෙන්වාදිය හැක. දරුවන් තම දෙමව්පියන්ට වඩා විද්‍යාත්මක දැනුම තමනට තිබෙන්නේ යැයි පෙන්වන්නට කැමතිය. මෙලෙස අධ්‍යාපනය ලබාදෙද්දී ආගම් සහ වෙනත් කවි කතා කියනවාට වඩා විද්‍යාත්මක පැත්ත යොදා ගත්තොත් වඩා හොඳ ප්‍රතිපල බලාපොරොත්තු විය හැකියි මට සිතේ. මේ අනාගතයේ පාවිච්චිය නවත්වාලිමය.
දෙවැන්න කුඩු දුලබ කිරීමයි. ඒ සඳහා රූපවාහිනියේ පාරම්බානවාට වඩා බොහෝ දෑ කල හැක. පළමුවැන්න කුඩු මර්ධනය කිරීම සඳහා ජනතාව සතු සියලු සම්පත් සම්බන්ධීකරණය සඳහා එක් පුද්ගලයෙකු පත්කිරීමයි. අඩු වැඩි වශයෙන් පහත ආයතනයන්හි කුඩු මර්ධනය සඳහා යොදාගත හැකි සියලු සම්පත් ඒ පුද්ගලයා විසින් සම්බන්ධීකරණය විය යුතුය. ඔහුගේක්‍රියාකාරකම් පිළිබඳව පරීක්ෂාවෙන් සිටීමට විද්වත් කමිටුවක් පත්කළ හැක.
1.     රේගුව - රට ඇතුලට කුඩු පැමිණිය හැකි ගුවන් තොටුපල සහ වරාය වල කුඩු පැමිණීම වලක්වාලීම සඳහා ක්‍රමවේද යෙදීම.
2.     පොලිසිය - පොලිසියේ දැනට මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා යොදවා ඇති හෝ යෙදවිය හැකි සම්පත් යොදවා ගැනීම.
3.     නාවික හමුදාව - වෙරල හරහා රටතුලට කුඩු පැමිණීම වැලැක්වීම සඳහා නාවික හමුදා රේඩාර් උපකරණ සහ මුර යාත්‍රා යෙදවීම සම්බන්ධීකරණය කිරීම.
4.     ගුවන් හමුදාව - ඉතාමත් දියුණු වී ඇති එසේම මිලෙන් ඉතාම පහල ගොස් ඇති ද්‍රෝන තාක්ෂනය වෙරල ආරක්ෂණයට කුඩු මර්ධනයට යොදවාගැනීම.
5.     යුධ හමුදාව - යෙදවිය හැකි සම්පත් සම්බන්ධීකරණය කිරීම
6.     ධීවර අමාත්‍යංශය - මුහුදේ නිරන්තරයෙන්ම සිටින ධීවර යාත්‍රා වලින් සැක සහිත යාත්‍රා පිළිබඳව වාර්තාවන් ලබාගෙන එම තොරතුරු විශ්ලේෂණය කර ගැලපෙන ප්‍රතික්‍රියාවන් සිදුකිරීම.
7.     විශ්ව විද්‍යාල, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය වැනි ආයතන - වරින්වර ඇතිවන නව තාක්ෂනයන් මේ සම්බන්ධයෙන් යොදාගැනීමට උපදෙස් ලබාගැනීම.
මෙම සම්බන්ධීකරණය සඳහා තිබෙන ජාතික සම්පත් බොහෝ වෙයි. අපට මේ සියල්ලම ගැන කතා කරන්නට අපහසු නිසා උදාහරණ කිහිපයක් පමණක් දෙස බලමු.
ලංකාවේ තිබෙන ජනතාවගේ මුදල් වියදම් කර පුහුණු කළ බල්ලන් ප්‍රමාණය අප නිකමට පරීක්ෂාකර බලමු. පොලිසිය යුධහමුදාවේ නොයෙකුත් අංශවල, ගුවන් හමුදාවේ, නාවික  සහ සමහරවිට තවත්  රාජ්‍ය ආයතන වල බල්ලන් පුහුණු කරන ඒකක තිබේ. පොලිසියේ හැරෙන්නට අනික් ඒවා පටන්ගත්තේ යුද්ධ කාලයේ නොයෙකුත් අවශ්‍යතාවයන් සඳහාය. කඳවුරු ආරක්ෂාව සහ බිම් බෝම්බ ඉවත් කිරීම මෙයින් මුල්තැනක් ගත්තේය. දැන් ඒ දෙකම කරන බවක් නොපෙනේ. එසේනම් මෙම සම්පත් දැන් අපට තිබෙන යුද්ධයටත් වඩා භයානක මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා පහසුවෙන්ම යොදාගත හැක්කේය. සෑම ගුවන්තොටුපලකම වරායකම පුහුණුකළ බල්ලන් කිහිපදෙනෙකු යොදවන්නේ නම් එම මාර්ග වලින් කුඩු රට ඇතුලට එම විශාල වශයෙන් අඩුකර ගත හැක්කේය
බල්ලන් කුඩු සොයාගැනීමට 100%ක් කාර්යක්ෂම නොවිය හැක. (මේ ළඟකදී  කරන ලද පරීක්ෂණයකදී එම ප්‍රතිශතයන් 87% නිවැරිදි සහ 6% වැරදි ලෙස පෙනී ගොස් ඇත.) එහෙත් පර්යන්තයන් අවට බල්ලකු විපරමින් සිටීම පමණක්ම කුඩු රට තුලට ගෙන ඒම 80% කින් වත් අඩුකරලීමට ඉවහල් වනු ඇතැයි උපකල්පනය කිරීමේ වරදක් නැත.
තවත් පහසුවෙන්ම සම්බන්ධීකරණය කල හැකි සම්පතක් වනුයේ අපගේ ධීවර යාත්‍රාවන්ය. මේවායින් අති විශාල ප්‍රමාණයකට ධීවර අමාත්‍යංශය සමග සන්නිවේදන ක්‍රම වේද තිබේ. එම සන්නිවේදන ක්‍රමයන් මනාව සම්බන්ධීකරණය කර මුහුදේදී යම් කුඩු ගෙනෙනවා යැයි සැක සිතෙන යාත්‍රාවක් දුටුවිට එය වාර්තා කරන ලෙස ඔවුනට දැන්විය හැක. පරීක්ෂා කිරීමෙන් සනාත වන එක ඔත්තුවකට රුපියල් මිලියනයක තෑග්ගක් ලබාදෙන බවට ප්‍රසිද්ධ කල හැක. එවැනි ඔත්තුවක් ලැබුණු විට එම යාත්‍රාව පිළිබඳව පරීක්ෂාවෙන් සිට අපගේ වෙරළට කිට්ටු වනවිට නාවික මුර යාත්‍රා වලින් පරික්ෂා කල හැකි අතර වෙරළේදී බල්ලන්ගෙන්ද පරීක්ෂා කරන්නටද  පුළුවන.
තවත් සම්පත් ඊළඟ බ්ලොග් එකෙන්

කුඩු ඛේදවාචකය




මම සිගරට් බොන්නට පටන්ගත්තේ 9/10 පන්තිවල සිටය. කොහොම කාගෙන් පටන්ගත් බවක් මතක නැතිමුත් පටන්ගන්නට ඇත්තේ පංතියේ මිතුරෙකුගෙන් විය යුතුය. බොහෝවිට ඔහු දුම්බිමට පුරුදුවන්නට ඇත්තේ ඔහුට වඩා වැඩිමහල් අසල්වැසි මිතුරෙකුගෙන් වියයුතුය.
මෙලෙස අප පන්තියේ සිගරට් එකක් බොන සිසුන් ගණන 10 ක් පමණ වන්නට ඇත. එලෙස සිගරට් බොන්නට පුරුදුවුයේ වඩා කුතුහලයක් ඇති එසේත් නැත්නම් අනෙක් සිසුනට වඩා තරමක් එඩිතර සිසුන් කොටස වියහැක. පන්ති කට් කිරීමට, චිත්‍රපට බැලීමට යාමට වැනි දඟ වැඩකිරීමට වැඩියෙන් පෙළඹුනේද මෙම සිසුන්ය. අපොස උසස්පෙළ පන්තියේදී අප අරක්කු වලට උසස්වීම් ලැබුවෙමු. 

ඉඳහිට අතේ මුදල් තිබුවිට ; බොහෝවිට ටියුෂන් පංතිවලට ගෙවන්නට ගෙදරින් ලබාගන්නා මුදල් ආයෝජනය කර, 5/6 දෙනෙකු එකතුවී අරක්කු බෝතලයක් මිලදීගෙන පාසල් කට් කර ගෙදර කවුරුත් නොමැති එක යහලුවකුගේ ගෙදටර සෙට් වී බෝතලය හිස් කිරීම ද  කලාතුරකින්  සිදුවිය. බෝතලය අවසන් කර සිංදු කියා සතුටු වී දහවල් 2 වීමට පෙර මෙම එකතුවීම අවසන් කලයුතු වුයේ අම්මා පාසල ඇරී ආපසු ගෙදර ඒමට පෙරය.
මෙම ස්ථානය ලෙස අපගේ නිවස වැඩ්පුර යෙදුනේ අප නිවස පාසලට ලඟින් තිබීමත් දෙමව්පියන් දෙදෙනාම රැකියාවන් කල නිසාත් ගෙදර වත්තක මැද පිහිටාතිබු නිසාත් විය හැක.
එකල අප කුඩු ගැන අසාවත් තිබුනේ නැත. මේ තරම් දේවල් කල අප එලෙස කුඩු ගැන අසන්නට ලැබුනේ නම් කුඩු අත්හදා බලන්නටත් ඉදිරිපත් වන බව මට නොඅනුමානය. අපගේ වාසනාවට එකල ලංකාවේ කුඩු තිබුනේ නැත. තිබුනානම් ඒ අල්ප වශයේ විය යුතුය. එකල අප වැනි අධික කුතුහලයක් තිබෙන දරුවන් දැන් , අප ඒ ලෙසට සිමාවන්ගේ කෙලවරට ගොස් ලබාගත් ඒ අත්දැකීම් , කෙසේ ලබාගන්නවා ඇත්ද? මේ කියන විදිහට මත්කුඩු මේ තරමටම අතේ දුරින් තිබේනම් ඔවුන් එවැනි අත්දැකීම් ලබාගන්නට පෙළඹෙන්නේ නොවේද?
ලංකාවේ දැන් තියෙන මත්ද්‍රව්‍ය ප්‍රශ්නය වඩාත් භයානක කරුණු දෙකක් නිසාය. පළමුවැන්න සමාජයේ එය කොතරම් දුරට විහිදී ඇද්ද යන්නයි. මත්ද්‍රවය අසුවන්නේ කිලෝ 10 /15 වේ ප්‍රමාන වලිනි. ඒවායේ විදි වටිනාකම පොලිසිය කියන විදිහට ලංකාවේ දල ජාතික නිෂ්පාදනයටත් වඩා වැඩි වන්නේදැයි කෙනෙකුට සැක පහල  වෙයි. මේ අල්ලන ප්‍රමාණය රටට එන මුළු කුඩු ප්‍රමාණයෙන් 10% කට වඩා වැඩි වන්නට පුළුවන් කමක් නැත. අල්ලන ප්‍රමාණය ඊටත් වඩා වැඩි වන්නේ නම් කුඩු ගෙනෙන මුදලාලිලා බංකොලොත් විය යුතුය. මක්නිසාද කුඩු රටකින් රටකට ඉතාමත් සුක්ෂම ලෙස ගෙන එම විශාල ධනස්කන්ධයක් ආයෝජනය කර කලයුත්තක් වීමය.
ඒ අතරම කුඩු අසුවනවිට ඒ සමග අසුවන්නන් බරපතල ප්‍රශ්න රාශියකට මුහුණපාන්න සිදුවෙයි. අවුරුදු ගණන් බන්ධනාගාරවල ගතකරන්නට සිදුවීමද ඉන් එකක් වෙයි. මෙම හේතුව නිසාද කුඩු මෙරටට ගෙන එම සඳහා කරන්නට සිදුවන වියදම ඇති විශාල ලෙස අධික වෙයි. ඒ නිසා අප හැමදා හවස රුපවාහිනියේ කුඩු අල්ලා පෙන්නන විට සිතිය යුත්තේ මෙලෙස තව කී ගුණයක් නිරුපද්‍රතිව බෙදාහරින්නන් වෙතට සම්ප්‍රාප්ත වී ඇත්තේද යන්නයි. තවත් කරුණක් වන්නේ මේ දේශපාලකයන්, නිතිය රකින්නන් සහ බන්ධනාගාර නිලධාරින් මෙයට සම්බන්ධ වී ඇත්ද යන්නයි. ලංකාවේ මත්ද්‍රවය ව්‍යාපාරයේ kingpin බව දැනට පෙනෙන්නට තිබෙන මධුෂ් ගෙ සාදයේද පොලිස් සහ බන්ධනාගාර නිලධාරින් කිහිප පොලක් සිටින බවට තොරතුරු හෙළිවෙමින් පැවතීමයි.
අනෙක් කාරණය ලංකාවේ සැම තැනකම තිබෙන අවුල් සහගත තත්වයයි.පාරට බැස්සත්, රජයේ කාර්යාලයකට වැඩකට ගියත්, උසාවියකට ගියත් බැංකුවකට ගියත් එකී නොකී කොතැනට ගියත් ඇත්තේ  ලිහා ගන්නට බැරි අවුල් වලින් පිරි ඇති තත්වයකි. විශේෂයෙන්ම අධ්‍යාපනය සහ එහි ක්‍රම වෙද සිසුන් අවුලෙන් අවුලට පත්කරයි. දරුවෙකුට තමන් කැමති ක්ෂේත්‍රයක රැකියාවක් ලබාගැනීමට ඉගෙනගැනීමට ඉඩක් නැත. විශ්ව විද්‍යාලයකට ඇතුළුවීම ලොතරැයියක් ජය ගැනීම වැනි ජයග්‍රහණයකි. හොඳ පාසලකට ඇතුළුවීමත් එලෙසින්ම අපහසුය. මෙවැනි අසහනයෙන් පෙලෙන සමාජයක මත්කුඩු මේ පෙනෙන විදිහට ප්‍රචලිත වන්නේ නම් එය ඝන අව්වේ පදුරක වෙඩිබෙහෙත් වේලීම වැනි තත්වයකි. එය වහා නවතා නොගත්තොත් අප නොසිතු විරු ප්‍රපාතයකට ඇද  වැටීම නැවත්වීමට නොහැකිවනු නොඅනුමානය.
රීයූනියන් දුපත හරහා හෝ හොරෙන් ප්‍රංශයට, යුරෝපයට යාමට පවුල් පිටින් ජිවිත පරදුවට තබන තරමට මිනිසුන්ට රට එපාවී ඇත්තේය.
මෙම කුඩු ඛේදවාචකය  නැවැත්විය හැක්කේ කෙසේද ?

Tuesday, February 12, 2019

රජයට බැරිනම් අපිවත් බාරගමු




මම  කුඩා කල පටන්ම ගොවිතැනට ආසා කළෙමි, හැකි සෑම අවස්ථාවක ම ගොවිතැනෙහි  යෙදුනෙමි. අවුරුදු 33 ක හමුදා සේවයෙන්  සේවයෙන් පසුව රියර් අද්මිරාල් වරයෙකු ලෙස විශ්‍රාම ලබා  දැන් ලොකු විවේක කාලයක් ඇති  නිසා පූර්ණකාලීනවම ගොවිතැනෙහි  යෙදෙන්නෙමි.

හමුදා සේවයේ සිටියදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සහ පකිස්තානයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ලබා ඇති අතර යාන්ත්‍රික උපකරණයක් සඳහා පේටන්ට් බලපත්‍රයක්ද ලබාගෙන ඇති බව සඳහන් කරන්නේ මෙවැනි වැඩකට මට අතගැසීමට ඇති හැකියාව පෙන්වීමටය.

ගොවියෙක් වශයෙන් පමණක් නොව පුරවැසියෙකු වශයෙනුත් අපගේ ගොවියන්ගේ එළවලු විකුණා ගන්නට බැරි වී  මහත් අපහසුතාවයකට පත් වීම නිතර රූපවාහිනියේ ප්‍රවෘත්තිවල දැකීමෙන් මා මහත් කනස්සල්ලට පත්වෙමි.
ජපානය වැනි රටවල මෙවැනි වෙළඳපොල කඩා වැටීම වැළැක්වීම සඳහා ගොවියන්ට රජයෙන් සැලසුම් කළ වාණිජ එළවළු පමණක් ප්‍රදේශයේ පාරිභෝජන අවශ්‍යතාවයට අනුව පමණක්  වගා කිරීමට ඉඩ දෙන්නේ ඇයි මම අසා තිබේ.
එවැනි කිසිම සැලසුමක් අප රටේ නොමැති නිසා මෙවැනි අතිරික්ත නිෂ්පාදන ඇතිවීමෙන් වෙළඳපොල කඩා වැටීම ස්වභාවිකය,  එසේ නොවී සෑම බෝගයකටම ගොවියන් හා පාරිභෝගිකයන්ට  සාධාරණ මිල පරාසයක්  වර්ෂය පුරා පවත්වාගැනීමට නම් එක්කෝ  රජය සැළසුම් කළ යුතු ය එසේත් නැත්නම් රජය ගැන අමතක කර ගොවියන් තමන්ගේ වගා බෝග මොනවාදැයි සැලසුම් කරගත යුතුය.

මේ සඳහා රජය සැළසුම් කරන්නේ නැත්නම් තමන්ගේ බෝග නිෂ්පාදන වලට සාධාරණ වටිනාකමක් ලබාගැනීමට ඊළඟ කන්නය සඳහා තමන් වගා කළ යුත්තේ කුමන බෝගයක් දැයි තීරණයක් ගැනීම සඳහා ලංකාවේ අනිකුත් ගොවියන්; විශේෂයෙන්ම වෙළඳාම සඳහා එළවළු වගා කරන ගොවියන්, කුමක් ඒ කන්නයේ වගා කරන්නේ දැයි අදහසක් තිබිය යුතුය.

දැනට පවතින තත්වය අනුව එවැනි ගොවියෙකුට රටේ අනෙක් ප්‍රදේශවල කුමන භෝග  වගාකරන්නට සැලසුම් කරන්නේදැයි දැනගන්න විදිහක් නැත.
මෙම තොරතුරු එසේත් නැත්නම් දැනුම ඕනෑම ගොවියෙකුට තමන්ගේ කන්න පටන් ගැනීමට පෙර දැනගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට මට අදහසක් ඇතිවිය.

මේ පිළිබඳව මා IT තාක්ෂණය පිළිබඳව ඉතාමත් දක්ෂයකු වන මාතර  අචල උත්සුක  මිතුරා  හා කතා කළෙමි. ඇත්තෙන්ම ඔහු වසර කිහිපයකට පෙර මට හඳුන්වාදුන්නේ මගේ පැරණි මිතුරෙකු වන සරත්  විමලසුරිය විසිනි. අචල  මේ සඳහා ඉතාමත් උද්‍යෝගිමත් වූ අතර අප මෙලෙස ලංකාවේ ඕනෑම ගොවියෙකුට තමන්ගේ වගාව   පටන් ගැනීමට පෙර රටේ අනෙකුත් ප්‍රදේශ වල කුමන එලවලු බෝග වෙළඳාම සඳහා වගා වගා කරන්නේ ද යන්න නොමිලේ දැනගැනීමට මුහුණු පොතේ පිටුවක් සහ app එකක් සෑදීමට සාකච්ඡා කර ගත්තෙමු.

දැන් මෙම app එක සඳහා input ලබාගැනීමට ක්‍රමවේදයක් සකස් කල යුතුය. ඒ සඳහා ලංකාවේ වෙළඳාම සඳහා එළවලු වගාකරන ප්‍රදේශවලින් තොරතුරු මසකට දෙවරක් වත් සැපයීම සඳහා නියෝජිතයන් එසේත් නැතිනම් සහාරුවන් අවශ්‍යයය.
මේ සඳහා මුලින්ම එළවලු වෙළඳාම සඳහා වගාකරන ප්‍රදේශ හඳුනාගත යුතුය. එම ප්‍රදශ හඳුනාගැනීම සඳහා මම සුරගොවියා fb පටුවේ පෝස්ට් එකක් දැම්මෙමි.එයට ලැබුණු ප්‍රතිචාරය අනුව ලංකාවේ වෙළඳාම සඳහා එළවලු වවන ප්‍රදේශ පහත පරිදිය. ලැයිස්තුව ආකරාදී පිළිවෙලට ලිවීමේ පහසුව සඳහා ඉංග්‍රීසියෙන් ලියමි.


1.  Ambiliptya
2.  Angunakola palassa
3.  Anuradhapura
4.  Balangoda
5.  Bandaragama
6.  Bandarawela
7.  Beliaththa
8.  Beruwala
9.  Dambulla
10.              Gampola
11.              Halaawatha
12.              Jaffna
13.              Koslanda
14.              Kothmale
15.              Kurunagala
16.              Mahanuwara
17.              Mandaram nuwara
18.              Marassana
19.              Melsiripura
20.              Monaragala
21.              Nuwaraeliya
22.              Polonnaruwa
23.              Polpithigama
24.              Puththalama
25.              Ranna
26.              Suriyawewa
27.              Vavuniyawa
28.              Walapane
29.              Welimada



මෙම ලැයිස්තුවට තවත් ප්‍රදේශ එකතුවිය යුතු යයි ඔබ සිතන්නේ නම් කරුණාකර යෝජනාකරන්න.

දැන් අපට මෙම ලයිස්තුවේ සඳහන්ව ඇති සම ප්‍රදේශයකින්ම වාර්තාකරුවන් එක අයෙකු හෝ වැඩි ගණනක් අවශ්‍යය වන අතර මෙම සේවය ස්වෙච්චා සේවයක් බව මුලින්ම කිවයුතුය.
එම නියෝජිතයන්ගේ වගකීම වන්නේ මසකට දෙවරක් ( 5 වෙනිදා සහ 20 වෙනිදා)තමන් ජිවත්වන ප්‍රදේශයේ ගොවියන් කුමන භෝගයක් හෝ භෝගයන් වගාකරන්නේද කුමන භෝගයන්ගේ අස්වැන්න නෙලන්නේද යන්න  අපගේ fb පිටුවේ නියමිත  ස්ථානයේ  වාර්තා කිරීමයි.

අප මෙම තොරතුරු ව්ශ්ලේෂණය කර වගුගතකර සිතියමකට ඇතුලත් කරගත් පසු  අවශ්‍ය ගොවියෙකුට අවශ්‍ය වෙලාවක නොමිලේ ලංකාවේ ඕනෑම ස්ථානයක එසේත් නැත්නම් රටපුරා පොදුවේ කුමන භෝග වැවීමට සැරසෙන්නේද, කුමන භෝග වල අස්වැන්න නෙලන්නේද හෝ කුමන භෝගයන්හි අස්වැන්න කුමන කාලයකදී වෙළඳපොළට පැමිණෙන්නේද යන තොරතුරු ලබාගත හැකිවෙයි.
මේ පටන්ගැන්මෙදිය. කාලයත් සමග අපට මෙම app එක තවදුරටත් ප්‍රවර්ධනය කර තවත් බොහෝ ප්‍රයෝජන අප ගොවියන් වෙත ලබාදිය හැකි වනු නොඅනුමානය.

ඔබ මෙහි ප්‍රාදේශීය නියෝජිතයෙකු වීමට කැමැත්තේ නම් කරුණාකර ඉන්බොක්ස් කරන්න. මේ සඳහා ඔබ ගොවියෙකුම වීමට අවශ්‍ය නැත. රට අවුලින් ගොඩගැනීමට සැමවිට සිතන පුරවැසියෙකු වීම ප්‍රමාණවත්ය.

කරුණාකර මේ පිලිබඳ ඔබට යම් යෝජනාවක් හෝ අදහසක් ඇත්නම් කොමෙන්ට් කරන්න . එසේත් නැත්නම් පහත ලිපිනයන්ට දන්වන්න.
whatsap - 0702526565
1/38 sirimalwatta gunnapana 20270



කීඩ්නි වසංගතයේ තවත් පැත්තක්






අපි දැන් මාස කිහිපයකට පෙර පොලොන්නරුව ප්‍රදේශයේ සංචාරයක යෙදුනෙමු. නැරඹිය යුතු ප්‍රධාන දේශීය සංචාරක ස්ථාන වලට අමතරව අපත් සමග ගිය පවුල කලකට පෙර පොළොන්නරුවේ රැකියා කරද්දී ඔවුන් දැන  අඳුනාගත් පවුල් කිහිපයක් බැලීමටද ඔවුන් සමග ගියෙමු. ඔවුන් සමග කතාකරද්දී  මේ ප්‍රදේශ වල දැන් පවතින වකුගඩු වසංගතය ගැන මා ඔවුන්ගෙන් අසන්නට උත්සුක වුනෙමි. 

විශේෂයෙන් මෙම වසංගත තත්වය නිසා එහි ජන ජිවිතයේ බොහෝ වෙනස්කම් පිටතින් පැමිණ දවසක් දෙකක් ගතකරන කෙනෙකුට හෝ පැහැදිලිව පෙනෙන්නට තිබේ. වතුර පෙරා විකුණන කඩ බොහෝ තැන්වල ඇතිවී ඇත. අප සෝමාවතිය කිට්ටුව නිවසකට ගිය පසු මම ඒ නිවසේ අය ගෙන් මේ පිළිබඳව විමසුවිට ඔවුන් එම ව්‍යාධිය ඒ අවට නොමැති බව පෙන්නන්නට විශේෂ උනන්දුවක් ගන්නා  හැටියක් ද මට හැඟුනි. ඒ එවැනි රෝගයක් තිබෙන ප්‍රදේශයක ජිවත් වීම ලැජ්ජාවට කරුණක් නිසාද එසේත් නැත්නම් අප ඒ ගෙදරින් තේ බිමට අදිමදි කරයිදෝ යන සැකයෙන්ද දන්නේ නැත. 

නමුත් ලංකාවේ මෙම වකුගඩු වසංගතය ඔඩු දුවන තත්වයකට පත්ව තිබේ. සෞඛය අමාත්‍යංශයට අනුව මේ වනවිට රෝගීන් 400000 පමණ අප අතර සිටිති. ගණනට වඩා  භයානක කාරණය මේ රෝගයට කාරකය තවම සොයාගෙන නොමැති වීමයි. අනෙක් සැම ප්‍රශ්නයකදීම මෙන් අපේ විසේසඥයන් නොයෙකුත් හේතු ගෙනහැර පාති. එහෙත් තවමත් හරි හේතුවක් විද්‍යාත්මකව පෙන්නාදී නැත්තේය.

බොහෝ දෙන මෙම වසංගත තත්වය ඇතිවී ඇත්තේ ගොවිතැනට  රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා යයි කියති. මේ හේතුව නිසා ග්ලයිපොසේට නමැති වල් නාශකය ලංකාවට ගෙන්වීමද තහනම් කෙරින. ඇමෙරිකාවේ නිපදවන මෙම වල් නාශකය තවමත් ලෝකයේම  තහනම් කර ඇත්තේ රටවල් හතරක  පමණි. ඒ මෝල්ටාව, ලංකාව, නෙදර්ලන්තය සහ ආජන්ටිනාවයි. අප හැරෙන්නට  මේ ඒක රටකවත් මෙය තහනම් කර ඇත්තේ වකුගඩු අසනීප වලට මෙය හේතු වන බව නිසා නොවේ, වෙනත් හේතුන් මතය.

යුරෝපයේ හා  බටහිර බොහෝ දියුණු රටවල්  කෘෂිකාර්මික කටයුතු වලට පමණක් නොව දුම්රිය හා මහාමාර්ග දෙපස වල් පාලනය කිරීමට යොදාගන්නේද මෙවැනි වල් නාශකය. එසේනම් එම නාශක වලින් මෙවැනි වකුගඩු වසංගතයක් ඇතිවන්නේ නම් ඔවුනට අපට පෙර එම වසංගත ඇති විය යුතුය. එසේනම් ප්‍රංශය වැනි දියුණු, පරිසර පක්ෂ බලගතු  එමෙන්ම ලිබරල් රටවල් මෙවැනි වල් නාශක පාවිච්චිය නැවත්වීමට වහා පියවර ගනු ඇත.ඔවුන් තවමත් එවන් පියවරක් ගෙන නැත්තේය.

ලංකාවේ මෙම වසංගත තත්වය ඇතිව ඇත්තේ අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වලය. මේ දෙකම ලංකාවේ අනෙක් ගොවිතැන් කරන දිස්ත්‍රික්ක වලට වඩා උෂ්නාධිකය, විවෘත අවකාශයේ මහන්සිවී වැඩකරන්නන් අධික ලෙස විජලනයට ලක්වේ. මේ ලෙස  නිතර විජලනය වීම වකුගඩු රෝග වලට නියත හේතුවකි. අපේ ගොවියන් ; වෙනත් බොහෝ මහන්සිවී වැඩකරන්නන් මෙන්ම, වැඩ කරනවිට ලඟින් ජලය බෝතලයක් තබාගෙන පානය කිරීමක් සිදුවන්නේද නැත. 
මම මේ ලඟකදී චීනයේ සංචාරයක් කලෙමි. එහි එකල උෂ්නත්වය මෙහි තරම් නොවුවද සැම මිනිසෙකුම පාහේ වතුර බෝතලයක් අතේ තබාගෙන සිටි බව මම දුටිමි. මම චීනයේ දවසකට කොතරම් ප්ලාස්ටික් බෝතල් පාවිච්චි වෙනවා ඇද්දැයි ඒ වෙලාවේ කල්පනා කලෙමි. සමහරවිට මෙය රජය විසින් ධෛර්යමත් කරන්නක් විය හැක.

ලෝකයේ  දැනට වකුගඩු වසංගත තත්වයට  පත්ව ඇත්තේ ප්‍රදේශ කිහිපයක් පමණි. ඒවා නම් අප උතුරු මැද , දකුණු  ඉන්දියාවේ ඔඩිෂා සහ  අන්ද්‍රා ප්‍රදේශය, ඉහල ඊජිප්තුවේ අල් මිනියා ප්‍රදේශය, එල් සැල්වදෝර්, නිකරගුආ සහ මැක්සිකෝ සමහර ප්‍රදේශය. මෙම ප්‍රදේශ  භූගෝලීය පිහිටීමේ යම් විශේෂයක් ඇත. එනම් ඒවා සමකයට රළු වශයෙන් සමාන දුරකින් සමකයට උතුරින්  පිහිටා තිබීමය. මේවායින් ඊජිප්තුව හැරෙන්නට අනෙක් සියලුම තැන් වල මෙම වසංගතයට අසුවී සිටින්නේ ගොවියන්ය. අප අර්ධද්වීපයේ වී ගොවියන්ය, මධ්‍යම ඇමෙරිකාවේ උක් වගා වල කම්කරුවන්ය. 

මේ ගොවියන් හෝ කම්කරුවන් දහවල අව්වේ වැඩ කරති. වතුර බෝතලයක් වත් දවසකට පානය නොකරති. බොහෝ දෙනෙකු හැන්දෑවට කසිප්පු බොති. http://lakshmanillangakoon.blogspot.com/2016/06/blog-post.html

මේ ලඟකදී නිකරගුවාවේ උක් වගාවල කම්කරුවන් යොදා ගෙන කරන ලද පරීක්ෂණයකදී හේතුව  මේ පැත්තට යොමුකරන නිරීක්ෂණයන් ලැබී තිබේ. උක් වගාවක  නොයෙකුත් වර්ග වල රැකියාවන් කරන පිරිස් උක් කපන වාරය අවසන් වූ පසු වකුගඩු පරීක්ෂණයකට භාජනය කල පසු දහවල කට්ට අව්වේ මහන්සියෙන් වැඩ කරන්නන් ගේ වකුගඩු අසනීප වීමට වඩා ප්‍රවනතාවයක් ඇතිවී ඇති බව නිරීක්ෂණය වී ඇත.

අප රටේද කාන්තාවන් මෙම රෝගයට ගොදුරු වීම බොහෝ පිරිමින් හා  සසඳනවිට  බොහෝ අඩු බව පෙනේ. මෙයත් ඉහත නිරීක්ෂණය ශක්තිමත් කරන බව පෙනේ.

එසේම උතුරු මැද ගොවියන් මෙයට ගොදුරු වීමටත් එවැනිම දේශ ගුණික තත්වයන් තුල ගොවිතැන් කරන උතුරේ ගොවියන්ට මෙයට ගොදුරු වීම අඩු වීමටත් හේතුව කුමක් විය හැකිද?

මම කලකට පෙර යාපනේ රාජකාරි කරද්දී හදිසි පරික්ෂාවකට කණ්ඩායමක් සමග ගියෙමි. යම් සැකයක් නිසා නිවාස කිහිපයක් වටකර නිවෙස් එකින් එක පරීක්ෂා කරද්දී එම ගමේ තැපැල් ස්ථානාධිපති වරයා ඔහුගේ වත්තේ  පැලවලට වතුර දමමින් සිටියේය.

 "
ඔබ රෑත් වැඩද  ?" 

"
ඔව් අපි හඳ එලියෙමුත් වැඩක් ගන්න ඕනෑ ( යර්ස් , වී මස්ට් මේක් යුස් ඔෆ් ද මුන් ලයිට් ටු  " ඔහු පෙරලා පිළිතුරු දුන්නේය.
මෙය මට මතක් වුනේ යාපනේ ගොවියන්ගේ වැඩ කරන ආකාරය අපේ ගොවියන්ගෙන් වෙනස් වන්නේ කෙසේදැයි කල්පනා කරන විටය. මම එකල උදේ පාන්දර ඇවිදින්නට යනවිට ගොවියෝ තම කෙත්වතු වලට දැමීමට  පාරේ වැටි ඇති ගොම එකතු කරති.

මට හැඟෙන විදිහට ඔවුන් උදේ පාන්දර සහ හවස වැඩ කර පට්ට දවාලට වැඩ කිරීම මඟ අරිති. එයි විජලනය වැළකෙයි. මා දන්නා හැටියට උතුරේ ගොවියෝ අපේ ගොවියන් තරම් හැන්දෑවට බොන්නෙත් නැත. ඒකටත් එක්ක බොන්නේ ධිවරයන්ය.

මේ සියල්ල දෙස බැලුවිට මේ වකුගඩු ප්‍රශ්නය විසදන්නට ජිවත්වන ක්‍රම වේද වෙනස්කිරීම බොහෝ ප්‍රයෝජනවත් විය හැකි යයි පෙනේ. එයින් මෙයට ගොදුරු වුන අපේ සහෝදර ලාංකිකයනට එයින් එතරම් ප්‍රයෝජනයක් නොවුනද තවත් පරම්පරාවක් එයින් බේරාගැනීමට අපට හැකි විය හැක.

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...