Showing posts with label sports. Show all posts
Showing posts with label sports. Show all posts

Tuesday, June 13, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ගිල්ගිට් බල්ටිස්තානය.



ඊයේ චැම්පියන් කුසලාන තරඟාවලියේ අවාසනාවන්ත පකිස්තාන ශ්‍රී ලංකා ක්‍රීඩා තරඟය බලද්දී, ශ්‍රී ලංකාව, පකිස්තානය සහ ක්‍රීකට් යන යතුරු වචන තුනම තිබෙන මිහිරි මතකයක් සිහියට නැගිණ. ඒ මා 2009/2010 වර්ෂ වල පකිස්තානයේ ඉස්ලාමාබාද් හි පිහිටි ආරක්ෂක විශ්ව විද්‍යාලයේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරමින් සිටියදීය. පකිස්තානයේ බොහෝ වැසියෝ ශ්‍රී ලාංකිකයන් ප්‍රිය කරති. යමක් මිලදී ගැනීමට වෙළඳ සැලකට ගියත්, වෙන වැඩක් කර ගැනීමට බැංකුවකට හෝ ආයතනයකට ගියත් ශ්‍රී ලාංකිකයෙකු යැයි දැනගත් විට යමක් විශේෂ සැලකිල්ලක් දක්වන අතර, සෑහෙන දුරකට මිලදී ගන්නා දෙයට මිළ අඩුකර ගැනීමටද ව්‍යාපාරිකයාගේ සැලකිල්ල අනුව කර ගැනීමටද ඉඩ ඇත්තේය. ඉහල සමාජයේ මිනිසුන්ගේ සිට පහලම ස්ථරය දක්වා පකිස්තානුවන් අප සමග කතාවට වැටුනු විට ශ්‍රී ලාංකික ක්‍රීකට් ක්‍රීඩකයන් ගැන බොහෝ උනන්දුවෙන් අපෙන් විමසති.

ක්‍රිකට් වලට අමතරව 1971 ඉන්දියා පකිස්තාන යුද්ධයේදී පකිස්තාන ගුවන් හමුදා යානයන්ට කොළඹ ගුවන් තොටුපලේ ඉන්ධන ලබාදීම සහ කුඩා රටක්ව තිබියදීත් ඉන්දියාවත් සමග කටයුතු කිරිමේදී ගෞරවය ආරක්ෂා කරගෙන ස්වාධීනව සිටීම මෙවැනි කැමැත්තකට හේතු සාධක වූවා වන්නට පුලුවන. 

මෙම උනන්දුව කොතරම්ද යත් අප සිටි විශ්ව විද්‍යාලයේ අපට මාසික දීමනා ගෙවූ මැදිවියේ ලුතිනන් කමාන්ඩර් වරයෙකුට චමින්ද වාස් ගේ සම්පූර්ණ නමම මතකයෙන් කියන්නට හැකියාව තිබුණි.  ඉතා දීර්ඝ වූ එම නම මා මුලින්ම දැන ගත්තේත් ඔහු එය කියන විටය.

මෙම විශ්ව විද්‍යාලයෙන් මසකට දෙකකට වරක් පකිස්තානයේ යම් ප්‍රදේශයකට 50 ක් පමණ වූ අපගේ පාඨමාලාවේ සිසුන් සදහා සංචාරයක් පිලියෙල කලහ. මෙම සංචාර වලට ඉරාන දේශ සීමාවේ ඇති ගවුදාර් වරාය ප්‍රදේශය, මොහෙන්දෝ ජාරෝ නටබුන්, තක්ෂිලා නටබුන්, පන්ජාබ් ගොවිපලවල්, සියාචන් හි පිහිටි ලෝකයේ උසම තැනක පිහිටුවා තිබෙනවා යැයි කියන හමුදා කඳවුර, ලාහෝර් නගරය වැනි ස්ථාන ඇතුලත් විය.



                                                       taxila

මෙසේ සංචාරවල යෙදෙද්දී වරෙක අපි පකිස්තානයේ උතුරු කෙලවරේ පිහිටි ගිල්ගිට් බල්ටිස්තාන් ප්‍රදේශයේ සංචාරය කරද්දී එහි ප්‍රධාන නගරයක් වන ස්කාර්දු නගරයේ පිහිටි ෂැන්ග්‍රිලා හෝටලයේ නවාතැන් ගත්තෙමු. මනරම් වැවක් වටා විලා ක්‍රමයට සාදා තිබූ මෙම හෝටලයේ දහවල් ආහාර ගෙන හවස් වරුවේ මා සමග පාඨමාලාවේ සිටි ලාංකික ජෙනරල්වරයාද, ඔහුගේ බිරිඳද මම සහ මගේ දියණියද මුහුද මට්ටමෙන් අඩි 10,000 ක් පමණ උස් වූ ඒ ප්‍රදේශය නැරඹීමට ඇවිදින්නට ගියෙමු.

අපිට නොදැනුවත්වම ටික වේලාවකට පසු අප බොහෝ දුර ගොස් ඇති බව අපිට වැටහෙන විට තරමක් අඳුරු වෙන්නටද පටන් ගෙන තිබුණි. වැඩි ජනගහනයකුත් නොමැති මෙම කඳු සහ කැලෑ ප්‍රදේශයේ පකිස්තානයේ එකල තිබූ ආරක්ෂක තත්වයද නිසා මෙලෙස ඇවිදීම එතරම් සුදුසු නොමැති බව වැටහුනේ එවිටය.

ටික වේලාවකින් අප දැක තරමක ජීප් රථයක් අප අසල නතර කෙරිණ. එහි මිනිසුන් කිහිප දෙනෙකු සිටි අතර එම රථයේ අයිතිකරු යැයි අපට හැගුණු පුද්ගලයා අපෙන් එහි කුමක් කරන්නේදැයි ඇසුවේය. දන්නා උර්දු සහ ඉංග්‍රීිසි භාෂා වලින් සන්නිවේදනය කර ඔහුට අප වැටී ඇති තත්වය පැහැදිලි කලෙමු. ඔහු එම ප්‍රදේශයේ මන්ත්‍රී වරයෙකු බවද විවාහ මංගල උත්සවයක් සදහා යමින් සිටින බවද පවසා අප කැමති නම් අපට ඔහුත් සමග එම විවාහ මංගල්‍යයට පැමිනෙන්නේ නම් ඔහුගේ වාහනයෙන්ම අපව හෝටලයට රැගෙන ගිය හැකි බව ඔහු පැවසුවේය.

අප තරමක දෙගිඩියාවකින් යුක්තව නමුත් වාහනයට නැංගේ වෙන කරන්නට දෙයක් නොතිබූ නිසාය. තවත් කිලෝ මීටර් 10 ක් පමණ දුෂ්කර අතුරු මාර්ගයක ගොස් අපි විවාහ මංගල්‍යය තිබෙන නිවසට ගියෙමු. අප ශ්‍රී ලාංකිකයන් යැයි මන්ත්‍රීවරයා හදුන්වා දුන් පසු උත්සවයේ සිටි සියල්ලන්ම පාහේ කතා කරන්නට පටන් ගත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම පිළිබඳවය. රූපවාහිනී සේවාවන් වත් නොමැති ; ගුවන් විදුලි සේවාවන් වත් තිබුනේදැයි මට විශ්වාස නැත, මෙවැනි අති දුෂ්කර ප්‍රදේශයක ජනතාවක් අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන මෙතරම් උනන්දුවකින් කතා කරනු දැක අප පුදුමයට පත්වුනෙමු.

අපට ඔවුන් කොතරම් ගෞරව කලේද යත් එම කුඩා නිවසේ මනමාලිය සදහා සාදා තිබූ කාමරයේ අපට ඉඳ ගන්නට සලස්වා නොයෙකුත් රස කැවිලි සහ බීමෙන් සංගුහ කර අපට රාත්‍රී ආහාර ගැනීමටද පෙරැත්ත කලහ. අපි බොහෝ අපහසුවෙන් කෑම ප්‍රතික්ෂේප කර පිටත්වන විට හෝටලයට ගෙන යෑමට රස කැවිලි පාර්සල්ද අප වෙත ලබා දුන්හ.
පකිස්තානයේ අපේ ක්‍රිකට් වලට ඇති තැන එලෙසය.

Friday, June 17, 2016

අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ඇත්තෙන්ම ජාතිකද


වොලිබෝල් ශ්‍රි ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස නම්කර තිබේ. එහෙත් පාරක යද්දී ඉඳහිට දකින, බොහෝවිට වල් බිහි වූ වොලිබෝල් පිට්ටනි කිහිපයක් හා වාර්ෂික වොලිබෝල් තරඟාවලියක් හැරෙන්නට, වොලිබෝල් ක්‍රීඩාවේ ජාතික යැයි කියන්නට කිසිවක් නැත්තේය.
ඉහලම මට්ටමේ වොලිබෝල් තරඟයක්වත්, සජීවව රූපවාහිනී චැනලයක පෙන්නන්නේවත්, සජීවව ගුවන් විදුලියක ප්‍රචාරය කරන්නේවත් නොමැත. එසේ පෙන්නුවොත්, නරඹන්නන් හෝ අසන්නට ශ්‍රාවකයන් සිටීදැයි ලොකු සැකයක්ද ඇත්තේය. එලෙසම ශ්‍රී ලංකාවේ දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ නම් මොනවාදැයි, අහඹු නියදියකින් අසා සිටිය හොත් 1% ක් වත්, එම ක්‍රීඩකයන්ගේ නම් දැනගෙන සිටීදැයි සිතන්නට නුපුළුවන.
ඇත්තෙන්ම ශ්‍රීලංකාවේ ජනතාවගේ ජාතික ක්‍රීඩාව ක්‍රිකට්ය. තරු ක්‍රිඩකයන් පමණක් නොව, ක්‍රීඩා තරඟ දෙක තුනකට සහභාගිවන ක්‍රීඩකයන්ද, රටෙහි ජනතාව අතර ප්‍රසිද්ධ පුද්ගලයන් බවට පත්වෙති. සෑම තරඟයක්ම සජීවව විකාශණය වේ. එසේම සජීවව ගුවන් විදුලියේද ප්‍රචාරය කරනු ලැබේ. දක්ෂ ක්‍රීඩකයන් අවුරුද්දෙන් දෙකෙන් කෝටිපතියන් බවට පත්වෙති. ඔවුන්ගේ කීර්තිනාමය විකුණා වෙළෙඳ භාණ්ඩ ප්‍රචාරනය කෙරේ. මැතිවරණ කාල වලදී ප්‍රසිද්ධම ක්‍රීඩකයෝ, ඡන්ද ව්‍යාපාර වලට සම්බන්ධ වෙති. ඡන්දය ඉල්ලීමට ඉදිරිපත්වන බවට කටකථාද පැතිරේ.

ඒවාගේම, ක්‍රිකට් ක්‍රීඩාවේ කලමනාකරණයත් ව්‍යාපාරිකයින් හා දේශපාලකයින්ගේ ඉතාමත් හදබැඳ ගන්නා කටයුත්තක් බවට පත්ව තිබේ. රටේ බලවත්ම පුද්ගලයෝ ක්‍රිකට් ආයතනයේ කුමන හෝ තරාතිරමක් ලබා ගැනීමට පොර කති.

එහෙත්, ගැඹුරට පරීක්ෂා කර බැලුවහොත්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මනාව කලමනාකරණය වේද?, එය රටෙහි සෑම දරුවෙකුටම, සාධාරන අවස්ථාවක් ලබා දෙමින් ක්‍රීඩකයන් තෝරා ගන්නේද? එසේම රට වෙනුවෙන්,රටෙහි සිටින ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂම, එමෙන්ම ක්‍රීඩාව වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැපවූ ක්‍රීඩකයන් තෝරා ගන්නේද? එලෙස රට වෙනුවෙන් ක්‍රීඩා කලහැකි සුදුසුම ක්‍රීඩකයන් තෝරා, ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකයේ ඉහලම තලයේ තබාගෙන, රටෙහි ක්‍රිකට් ක්‍රීඩා ලෝලීනට සාධාරණයක් ඉටු කරන්නේද? යන ප්‍රශ්ණ පැන නඟී.

ශ්‍රී ලංකාවේ අ:පො:ස: සාමාන්‍ය පෙල සහ උසස් පෙල පන්තිවල සිසුන් පිලිවෙලින් 567000 සහ 478000 පමණ සිටිති. මෙය මුළු රජයේ විද්‍යාලවල ඉගෙන ගන්නා සිසුන් මිලියන හතර ගෙන් 25% ක් පමණ වේ.
මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට, තෝරා ගැනීමට භාජනය වීමට ඉඩ ලැබෙන්නේ සිසුන් කී දෙනෙකුටද? මේ ප්‍රශ්ණයට උත්තරයට ඉඟියක් ලබා ගැනීමට, ශ්‍රී ලංකාවේ විද්‍යාල කොපමණ ප්‍රමාණයක, ලෙදර් බෝල ක්‍රීඩා කරන්නේදැයි සොයා බැලිය යුතුය.  වයස අවුරුදු දහ නවයෙන් පහල ජාතික ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගිවන පාසැල් ගණන දෙස බලා, මේ පිළිබඳ අදහසක් ලබාගත හැක. සාමාන්‍යයෙන් මෙම තරඟාවලියට පාසැල් 208 ක් සහභාගි වන බව, පාසැල් ක්‍රිකට් සම්මේලනය පවසයි. ඒ පලවෙනි කොටසට පාසැල් 37 ක්ද, දෙවෙනි කොටසට 29 ක්ද, තුන්වෙනි කොටසට 142 ක්ද, අයත්වන පරිදිය.

මෙම පාසැල් අතුරින්, තුන්වන කණ්ඩායමේ පාසැල් 142 කෙන් කොපමණ ප්‍රමාණයක්, ක්‍රිකට් ක්‍රීඩාව ඕනෑකමෙන් කරගෙන යනවාදැයි සැක සහිත වුවත්, මෙම පාසැල් 208 ම පහසුකම් සහිතව ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රමානුකූලව සහ විධිමත්ව යෙදෙන්නේ යැයි උපකල්පනය කරමු. එලෙසටම දරුවාගේ ක්‍රීඩා භාණ්ඩ වලට, මුදල් යෙදවීමටවත් හැකියාවක් ඇති සහ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීම,  අනුමත කරන දෙමව්පියන් සිටින දරුවන්, මෙම එක් පාසැලක එක් වසරක 25 ක් සිටින්නේ යැයි සිතමු. එවිට සාමාන්‍ය යෙන් පාසැලේ ක්‍රිකට් කණ්ඩායමට තේරෙන වයස්වල සිටින, සිසුන් ගණන 100 ක් පමණ වේ. ඒ කියන්නේ වසර හතරක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සැපයීමයි.

මෙලෙසට එක් අවුරුද්දක සිසුන් 25 ගණනේ, ක්‍රිකට් ක්‍රීඩා කිරීමට එකතු වුවහොත්, ක්‍රිකට් ක්‍රීඩාකරන පාසැල් 208 න් එන මුළු සංඛ්‍යාව 5200 (208 X 25) ක් වෙයි. වසර හතරට (සාමාන්‍ය පෙල හා උසස් පෙල) මුළු ගණන 20800 (5200 X 4) ක් වෙයි. මෙම ප්‍රමාණය රජයේ පාසැල්වල අ:පො:ස: සාමාන්‍ය පෙල හා උසස් පෙල පන්තිවල සිටින, මුළු ශිෂ්‍ය ප්‍රමාණය වන මිලියනයක සිසුන්ගෙන් 2% ක් වෙයි. කෙටියෙන් කිවහොත් අප ක්‍රිකට් කණ්ඩායම තෝරා ගැනෙන ක්‍රියාදාමයේදී, තෝරා ගැනීමේ පරීක්ෂණයට භාජනය වියයුතු, විභවයක් ඇති ක්‍රීඩකයන්ගෙන් 2% ක් පමණි.
මෙය මිලියන 22 ක ජනගහනයක් සිටියදී, ලක්ෂ පහක අහඹු නියදියකින් ක්‍රිකට් කණ්ඩායමක් තෝරාගෙන, එය ජාතික ක්‍රිකට් කණ්ඩායම යැයි නම් කිරීම වැනිය. එලෙසම  එය හරියට පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ක්‍රිකට් කණ්ඩායමක් තනා, එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම යැයි නම් කිරීම වැනිය.
සංසන්ධනය කර බැලීමට, උචිතම රට වන්නේ ඕස්ට්‍රේලියාවයි. මක්නිසාද, ඕස්ට්‍රේලියාවේ සිටින්නේද, ලංකාවේ ජනගහනයට දළ වශයෙන් සමාන ජනගහනයක් බැවිනි. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ සංඛ්‍යා ලේඛනයන්ට අනුව, ඕස්ට්‍රේලියානු පාසැල් ළමුන් 537000 ක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙති. තවත් 400000 ක් ක්‍රීඩා සම්ගම් සහ ප්‍රජාසමූහ වල ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙති. මේ අනුව බැලුවත්, අපට ක්‍රිකට් කණ්ඩායම තෝරා ගැනීමට ඇති ක්‍රීඩක සමූහයා මෙන්, විසි තිස් ගුණයක ක්‍රීඩකයන්, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ඇති බව පෙනේ. ප්‍රමාණය වැඩිවත්ම, දක්ෂකම් සොයා ගැනීමට තිබෙන අවස්ථාවන් වැඩිවීම, කියන්නටත් දෙයක් නොවේ.
අපට මෙම අඩුපාඩුව මඟහරවා ගැනීමට, ගතයුතු ක්‍රියාමාර්ගය ලෙස මුලින්ම පෙනෙන්නේ, මෙම පාසැල් 208 න් ඔබ්බට, එනම් අඩුතරමින් අනෙක් රජයේ විද්‍යාල වලටවත් ක්‍රිකට් ක්‍රීඩාව ගෙනයාමයි. එහෙත් එය හිතන තරම් පහසු ක්‍රියාවක් නොවන්නේ, ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගැනීමට සහ පවත්වා ගැනීමට, ආයෝජනය කලයුතු අධික මූල ධනය නිසාය. ඒ සමඟම දෙමව්පියන්ගේ වියදම් කිරීමේ හැකියාවද, ග්‍රාමීය පාසැල් දෙසට විහිදෙන විට අඩුවේගෙන යයි. 

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි ගිනි අනුපාතය Gini Coefficient) ඉහල රටක, මෙම වියදම් කලහැකි අනුපාතය අඩුවීම, නගරයෙන් ඈතට යනවිට ශීඝ්‍රයෙන් වැඩිවේ.
මෙම සියලු අපහසුතා මඟ හරවාගෙන, දක්ෂතා හඳුනා ගැනිමට, ප්‍රාග්ධනය අඩුවෙන්ම යොදවා, අඩු වයසින්ම ක්‍රීඩක දක්ෂතා සොයා ගැනීමට ඇත්තේ එක ක්‍රමයකි. ඒ Talent scouts යනුවෙන් බටහිර හැඳින්වෙන, ක්‍රිකට් කෞශල්‍යය සහ සහජ දක්ෂතාවයන් හඳුනා ගැනීම සඳහා ගවේශකයින් යෙදවීමයි. මේ සඳහා ක්‍රිකට් ආයතනයට, දීර්ඝ කාලීන වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට සිදුවේ. මෙම කෞශල්‍ය ගවේශකයින් පලාත් මට්ටමෙන්, සේවයේ යෙදවිය හැකි අතර, ඔවුන්ට තම පළාතේ සෑම විදුහලකටම සහ ක්‍රිකට් ක්‍රීඩා කරන කුඹුරු සහ පිටි වලට, ස්ථීර හා ක්‍රමානුකූල ලෙස පැමිණීය යුතු වේ.  එම විදුහලේ සහ ගමේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන, සිසුන්ගේ දක්ෂයන් තෝරාගෙන, ඔවුන් දැල් පුහුණුව සඳහා ඒ සඳහා විශේෂයෙන් සකස් කරන ලද, ස්ථානයකට රැගෙන ගොස්, ලෙදර් බෝල ක්‍රීඩාවට හඳුන්වා දීය යුතුය.


සතියක් පමණ මෙවැනි පුහුණුවකින් පසු, ක්‍රිකට් ආයතනයෙන් පත් කරන ලද, මණ්ඩලයක් මගින් පරීක්ෂා කර, මෙම විශේෂ වැඩ සටහන සඳහා ක්‍රීඩකයන් තෝරාගත හැක. ක්‍රිකට් ආයතනයෙන් මෙලෙස තෝරා ගන්නා ලද, වසරකට සියයක් පමණ වූ ක්‍රීඩකයන් සඳහා විශේෂ පාසැලක් සංවර්ධනය කර, ඔවුනට සාමාන්‍ය අධ්‍යාපනය ලබාදෙන ගමන්ම, ක්‍රිකට් පුහුණුව සඳහාද යොමුකල හැක.
මෙවැනි ව්‍යාපෘතියකින් මධ්‍යම හා දීර්ඝ කාලීනව, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව, විශාල දියුණුවකට පත්වෙනවා පමණක් නොව, ග්‍රාමීය පාසැල්වල දරුවන්ට, මුහුණ දීමට සිදුවන බලවත් සමාජ අසාධාරණයක්ද, ඉවත් කිරීමට හැකි වන්නේය. කෞශල්‍යය ගවේශකයන්ට සත්‍ය වශයෙන්ම කෞශල්‍යය සොයා ගැනීමට දිරි දීමක් ලෙසට ඔවුන් සොයාගත් ක්‍රීඩකයෙකු, ජාතික සංචිතයට තේරෙන්නේ නම්, ගවේශකයාට මුදලින් ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු කලහොත්, මෙම ව්‍යාපෘතිය තවත් කාර්යක්ෂම වන බව නොඅනුමානය.
මෙම කෞශල්‍ය සොයා යාමේ ක්‍රමවේදය බොහොමයක් බටහිර රටවල, විශේෂයෙන්ම ඇමරිකාවේ බේස් බෝල්, බාස්කට් බෝල් සහ ඇමරිකානු ෂුට්බෝල් සඳහා ප්‍රචලිත ක්‍රමවේදයකි. බොහොමයක් පාපන්දු, බේස් බෝල්, රග්බි සහ අනෙකුත් ජනප්‍රිය ක්‍රීඩා සඳහා එලෙස කෞශල්‍යය ගවේශකයන් එම ක්‍රීඩා සමාජ මගින් සේවයේ යෙදවීම, සෑම දියුණු රටකම පාහේ සිදුවේ.

     

මරණ දඬුවම ලබාදීම

 පූජිත් සහ මම එකම සහ පාසලේ එකම විශ්ව විද්‍යාලයේ. ඉගෙන ගත්තෙමු. හේමසිරි සහ මම නවික හමුදාවෙ සේවය කළෙමු. අසූ ගණන්වල මුල් හරියේ කොළඹ වර්ජන රැල්ල...