Wednesday, October 23, 2019

13 මගේ දඹදිව වන්දනාව 13 ; චුන්ද කුමාරපුත්‍ර , වෙජ් සහ නොන් වෙජ් තේරුම්ගැනීම





නේපාලයේ සිට පහළට එන විට ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ බෞද්ධ ඉතිහාසය හා සම්බන්ධ මුල්ම ස්ථානය හමුවන්නේ කුෂිනගර් නම් වූ කුඩා නගරයකදීය. එය කුඩා නගරයක් වන අතර බුදුරදුන් පිරිනිවන් පෑ ස්ථානය වන නිසාම නගරයක් වී ඇතැයි සිතන්නට පුළුවන.

ලුම්බිණි සිට එම නගරය දැන් කිලෝමීටර්150 ක් පමණ දුරින් පිහිටියේ වුවද, බුදුරදුන්ගේ කාලයේ එම දුර මීට වඩා බොහෝ අඩු වන්නට ඇති බව සිතන්නට පුළුවන. ඒ එකල මෙලෙසට පාරවල් නොතිබුණු නිසාත්, මිනිසුන් බොහෝ දුරට පයින් ගමන් කළ නිසා මෙම තැනිතලා ප්‍රදේශවල මාර්ග ඉතාමත් කෙටි විය යුතු නිසාය.

බුදුරදුන් තමන් වාසය කළ ජේතවනාරාමය වැනි ස්ථාන පිහිටි බිහාර් ප්‍රාන්තයේ සහ උත්තරා ප්‍රදේශයෙහි නැගෙනහිර පැත්තේ සිට, වයස්ගත වී අසනීපයෙන් සිටි නිසා තමන්ගේ නෑදෑයන් සිටින, තමන් තරුණ කාලේ දක්වා හැදී වැඩුණු කපිලවස්තු පුරයට යන්නට අදහස් කළා වන්නට පුළුවන. එසේ නැත්නම් කුශිනාරාවට එන්නට කිසිම විශේෂ හේතුවක් දක්නට නැත්තේය. වයස අවුරුදු 84 ක් වී සිටි බුදු රජුන් අවුරුදු 70 ක් පමණ වයස් වූ ආනන්ද හාමුදුරුවනුත්  සමග පයින්ම ඇවිදගෙන මේ දුෂ්කර ගමන එන්නට ඇත්තේ කිලෝ මීටර් 200 ක් පමණ දුර සිටය. බොහෝ වේලාවට ඔවුන් සැරයටිවල උදව්වෙන්  ඇවිදින්නට ඇති මට සිතුනි.

බුදුන් පිරිනිවන් පෑ එම ස්ථානය ඉතාමත් අලංකාර ලෙස, එමෙන්ම බුදු රජුන් ගැන කුඩා කාලයේ සිට අසා ඇති බෞද්ධයෙකුට බොහෝ සංවේදී වන ලෙසට සාදා තිබේ. එහි කුඩා චෛත්‍යයක්ද එසේම ඒ අසලින්ම බුදුන් පිරිනිවන් පෑ ආකාරය විදහා දැක්වෙන ප්‍රතිමාවන් සහිත කුඩා ප්‍රතිමා ගෙයක්ද සාදා ඇත. ඒවා ඒ තරම් පෞරාණික ඒවා යැයි සිතන්නට නුපුළුවන.
නමුත් එම ස්ථානවල දී විශේෂයෙන්ම බුදුන්ගේ පරිනිර්වාණය පෙන්වා දෙන ප්‍රතිමාව අසලදී බොහෝ බෞද්ධයන් විශේෂයෙන්ම වැඩිහිටි කාන්තාවන් සංවේදී වන බවක් පෙනෙන්නට තිබුණි. අප එතැන සිටිය දීද කාන්තාවන් හතර පස් දෙනෙකු කඳුළු වගුරමින් බිම දිගාවී හඬන අයුරු අප දුටුවෙමු.

බුදුන් මෙම ස්ථානයේ පරිනිර්වාණය කළ පසු ඔහුගේ සිරුර ආදාහනය කර එම ධාතූන් වහන්සේලා කොටස් අටකට බෙදා, එතනට පැමිණ සිටි පහත සඳහන් කණ්ඩායම් වලට ලබාදුන් බව සඳහන් වේ.
වයිශාල් හි ලිච්ඡවී රජවරු
මගධයෙහි රජවූ  අජාසත්ත රජු (මේ තම පියා මැරවූ අජාසත්තම විය යුතුය)
කපිලවස්තුවේ ශාක්‍යයෝ
අල්ලකප්පයෙහි බුලිස් වරු
රාම ග්‍රාමයෙහි කෝලිය වරු
විත්තිප් බ්‍රාහ්මණයා
පල්ලව සහ කුශිනගර් හි මල්ලවයන්
මෙම කණ්ඩායම් වලින් බාගයක් පමණ වර්තමානයේ නේපාලයේ සිට පැමිණි අය බව පෙනේ.

ඔවුනට එලෙස බෙදා දුන් අස්ථි ධාතු තමන්ගේ ගම් ප්‍රදේශවලට රැගෙන ගොස්,  නිධන්කර නොයෙකුත් ස්තූප සෑදූ බව කියනු ලැබේ.

පසු කලෙක අසෝක රජතුමා ඒවා සියල්ල ආපසු ගොඩට ගෙන, එම ධාතූන් නැවත කොටස් අසූහාර දාහකට බෙදා, ඉන්දියාව පුරා ව්‍යාප්තව තිබුණු තමන්ගේ අධිරාජ්‍යයේ සහ සමහරවිට ඉන් පිටතද නොයෙකුත් ස්ථානවල නිදන් කර, ස්ථූප කරවන ලද බව මම එහි කෞතුකාගාරයක තිබු සටහනක දැක්කෙමි.

ඒ ස්ථානය නරඹා දහවල් ආහාරයද ඒ අසල භෝජන ශාලාවකින් ලබාගෙන, පිටත් වූයේ වයිශාල් එසේත් නැත්නම් අපේ භාෂාවෙන් විශාලා මහනුවර වෙතටය. අප කුඩා කාලයේ පොතක විශාලා මහනුවර විලාපය නමින් කවි පන්තියකුත් තිබුණා මට මතක් විය. ඒ තිබෙන අපිරිසිදු කම නිසා දැන් වුවත් නැවත වරක් තුන්බිය ඇතිවීමට ඉඩ තිබෙන බව මගේ සිතට යම් හාස්‍යකුත් සමග නැගුණි.



                             ඔහුගේ ආහාර පිළියෙළ කිරීමේ තායිලන්තයේ පන්සලක චිත්‍රයක් 
බුදුරදුන් පිරිනිවන් පෑ ඒ ස්ථානයට කිට්ටුවෙන් එතුමාට අවසන් දානය දුන් චන්ධ කුමාරපුත්ත ගේ නිවස තිබූ පාවා අඹ වනයද, අපගේ මාර්ගෝපදේශකයා අපට පෙන්වා දුන්නේය. ඔහු කම්මල් කරුවෙකු වූ බවද මම දැනගතිමි. අප බොහෝ දෙනෙකු සිතා සිටින්නේ එම දානයෙහි ඌරු මස් අඩංගු වී තිබුණු බවය. එයට පරධාන හේතුව එහි බත්, කැවුම්, සහ සූකරමද්ධව නමැති අහරක්ද තිබුණු බව කියවේ. සූකරමද්ධව යන වචනයේ තේරුම

1.මෘදු ඌරු මස්
2.ඌරන්  කැමති කෑමක් (මඤ්ඤොක්කා, හතු වැනි )
යනුවෙන් තේරුම් ගත හැක.

බුද්ධාගමේ අනෙක් බොහෝ තැන්වල මෙන්ම මෙහිදීද ඉතිරි ටික අසන්නා තම සිහි බුද්ධියෙන් තේරුම් ගත යුතුය. හරියට පුනරුත්පත්තිය තේරුම් ගැනීම වැනිය.

No comments:

Post a Comment

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...