Saturday, November 30, 2019

ස්වෙච්චා ආරක්ෂක මුර සංචාරය - කෙටි කතාව





1960 ගණන්වල ලංකාව පුරාම අපරාධ රැල්ලක් වාර්තා විය. ගෙවල් බිඳීම්, මිනීමැරීම්, බැංකු කැඩීම, කඩවල් සොරකම් කිරීම, වැනි බොහෝ අපරාධ දිනෙන් දින වැඩි වෙමින් වාර්තා විය. දැන් කාලේ මෙන් එකල සීසීටීවී නොතිබුණු හෙයින්, මෙම සොරකම් කරන්නේ කවුරුන්දැයි අල්ලා ගැනීම් සිදු වුණේම නැති තරම්ය. එම සොරකම් රැල්ල පිටිපස්සේ යම් සංවිධානයක් තිබිය යුතුම යැයි බොහෝ දෙනෙක් තර්ක කළේ එසේ නොමැතිව එක්වරම රට පුරාම වාගේ, මෙවැනි අපරාධ රැල්ලක් ඇතිවීමට කිසිදු ආකාරයක හේතුවක් සොයා ගැනීමට නොහැකි වූ නිසාය.

මෙලෙස තම ගමේ සිදු වන අපරාධ වැළැක්වීමට වෙනත් ක්‍රමයක් නොතිබුන නිසා, බොහෝ ගැමියන් ඒ කාලයේ එකතු වී රාත්‍රියේ ගමේ පාරවල්වල මුර සංචාරයේ යෙදීමද, නිතරම සිදුවන්නක් විය. බොහෝ විට ගමේ තරුණ පිරිසෙන් පහළොවක් විස්සක් පමණ මෙවැනි මුර සංචාරවල යෙදෙන්නට එකතු වූහ. ඒ කාලේ එතරම් රජයේ හෝ පුද්ගලික අංශයේ ගමෙන් පිට රැකියා කරන පිරිස් නොමැති වූ නිසා, දහ පහළොස් දෙනෙක් එකතුව මෙලෙස රාත්‍රියේ අටට විතර පටන් ගෙන, පසුදින පාන්දර හතර පමණ වන තෙක් රාත්‍රී මුර සංචාරය කළහ.

රාත්‍රියේ ගමේ ගෙවල් දෙකකින් පමණ ඔවුනට තේ සාදා දීමටත්, හැකි වෙලාවක ඔය මාළු  බනිස් වැනි කෑමකුත් ආහාරයට දීමටත් ඉදිරිපත් වූහ. මෙලෙස ඉදිරිපත් වූයේ ගමේ යමක් කමක් තිබෙන පවුල් වලිනි. ඇත්තෙන්ම සොරුන්ගෙන් වඩා තර්ජනයක් තිබෙන්නෙත් ඔවුනට නිසාත්, බොහෝ විට එවැනි නිවෙස් වලින් රජයේ රැකියාවලට යන ගුරුවරයෙකු, ලිපිකරුවකු වැනි කෙනෙකු සිටි නිසාත්, ඔවුන් මෙලෙස මුර සංචාරයට සහභාගී නොවී සම්පාදන කටයුතු වලින් යම් උදව්වක් කළහ. ඇත්තෙන්ම මුර සංචාරක කටයුතු වලට සහභාගි වූ තරුණයන් බොහෝ දෙනෙකුගේ නිවෙස් වලට හොරු පැන්නත්,  ගෙන යන්නට ඇති දෙයක් තිබුණේ නැත. එහෙත් මෙය සාමූහික කර්තව්‍යයක් නිසාත්, රාජකාරි කෙරුනේ දවස් 3 කට වරක් පමණ නිසාත්, මාස ගණනක් මෙම ස්වේච්ඡා මුර සංචාරක සේවය බොහෝ ගම්වල කෙරුණි.

මේවාට සහභාගි වීමට ඔවුන් උද්යෝගීමත් කෙරුණේ මෙතරම් රාත්‍රියේ එකට එකතු වී කතා කරමින්, තමන් ගමට යම් සේවයක් කරන බවට ලැබෙන හැඟීමක් නිසා විය යුතුය. එයට අමතරව සමහර ගැටවරයන් තමන් වැඩිහිටියකු බවට පත්ව ඇතැයි නෑසිය මිතුරන්ට පෙන්වීමටත්, එම තාරුනත්වය තමන්ගේම හිතට ආරූඪ කර ගැනීමටත්, මෙම ස්වේච්ඡා සේවය අවස්ථාවක් කර ගත්තේ නැතුවාම  නොවේ.

පන්විල පැත්තේ වත්තක යම් මේසන් වැඩකට සහභාගි වූ අපේ ගමේ විජේ නමැති පෙදරේරුවකු, ගෙදරින් වැඩට යාමට පිටත් වී වත්තේගමදී බසයෙන් බැස එහි තිබුණ බිම හලකට ගොස්, හොදටම වෙරි වී බසයක් අල්ලා ගැනීමට නොහැකිවී, ඒ කාලේ වෙන යාමට ත්‍රීවිල් වැනි වෙනත් වාහන නොතිබුන බැවින්, වත්තට පයින්ම යද්දි රෑ බෝවී ඇත. මොහු එලෙස රාත්‍රියේ කුඩා මල්ලකුත් අරගෙන පයින් යද්දී මෙම මුර සංචාරක කණ්ඩායමකින් ඔහු අල්ලාගෙන, ඔහුට සොරකු යැයි සැක කර වැරදීමෙන් පහරදී මියගිය සිද්ධියකුත්, මෙම මුර සංචාර නිසා සිදුවන බව අපේ ගමේ කෙනෙකු අප නිවසට පැමිණි විට කිවා මට මතකය.

ඒ අපේ ගම වුවත් අපි ජීවත් වූයේ නගරයකට කිට්ටුව නිවාස සංකීර්ණයකය. මේ ලංකාවේ සාමාන්‍යයෙන් නිවාස සංකීර්ණ බිහිවූ මුල්ම කාලයේ විය යුතුය. පැරණි ධනවත් පවුලකට අයත් වූ නීතිඥවරයෙකුගේ අක්කර දොළහක පමණ වූ ඉඩම රජයට ගෙන , එය කොටස්වලට කඩා රජයෙන්ම සුළු මුදලකට රජයේ නිලධාරීන්ට ලබා දෙන ලද්දේය. මෙම නිවාස සංකීර්ණයට දෙපැත්තෙන්ම කුඩා ගම කිහිපයක්  තිබුණු අතර, ඒවායේ ජීවත් වූයේ බොහෝ දුප්පත් මිනිසුන්ය. එක් පැත්තක ප්‍රසිද්ධ රා වෙළෙන්දෙක් සිටි නිසා ඒ ප්‍රදේශය ‘ඇරිසෝනා’ යනුවෙන් හැඳින්වූ බවත් මට මතකය.

අපගේ නිවාස සංකීර්ණය ඉක්මනින්ම ගොඩ නැගුණි. ඉඩම් කොටස් මිලදී ගත් සෑම දෙනාම පදිංචියට පැමිණියේ නැත. පවුල් තිස් දෙකක් වසරක් ගතවන විට පැමිණ පදිංචි වූහ. මේ සියලු දෙනාම රජයේ සේවකයන් නිසාත්, නිවාස සංකීර්ණ වල තිබෙන අලුත් ගතියත් නිසා අපේ පවුල්වල බොහෝ දෙනෙකු ඉතාමත් ළඟින් ආශ්‍රය කළෙමු. අපගේ පියවරුන් එකතුව නිවාස සංකීර්ණයේ සුභසාධක සංගමයක් පිහිටුවා ගත් අතර, සති දෙකකට සැරයක් ඔවුන් එකතුව සැර මත්පැන් සාදයක්ද පවත්වන්නට යෙදුණු බව මට මතකය.

ඉහත විස්තර කල හොරකම් රැල්ල සිදුවූ කාලයේ අපගේ නිවාස පද්ධතියේ කිසිදු සොරකමක් සිදු නොවූ අතර, අපට මේ පිළිබඳව අහන්නට ලැබුණේ මිතුරන් ගෙන් සහ ගුවන්විදුලියේ ප්‍රවෘත්ති වලින් පමණි. 

මේ කාලේ මගේ පියා රාජකාරි කළේය වී අලෙවි මණ්ඩලයේය. එහෙයින් ප්‍රාදේශීය කළමණාකාරවරයෙකු වූ ඔහු ගෙදර ආවේ සෙනසුරාදාට සහ ඉරිදාට පමණි.
එක් සෙනසුරාදා දවසක, අපේ නිවසට එහි සිට ගෙවල් හතරක් එහායින්  ගෙදරක වාසය කළ නිමල් අංකල් පැමිණියේය. මේ නිමල් අංකල් සමහරවිට අප නිවාස පද්ධතියේ සිටි ජනප්‍රියම පුද්ගලයා වන්නට පුළුවන. හමු වන සෑම දෙනාටම සිනාමුසු මුහුණින් කතා කල ඔහු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යෝධයකු යැයි කියන්නට පුළුවන. අඩි 6 කට වඩා උස ඔහුගේ අත පයද එයට ගැළපෙන ලෙසම ආරෝහ පරිණාහ ලෙස වර්ධනය වී තිබිණ. ඒ උසට සරිලන විශාල ඉදිරියට නෙරූ බඩක්ද තිබුණු ඔහුට, අපි ඔහු නැති තැන කීවේ යෝධයා කියාය. එකල මිහිර පත්තරේ තිබූ චිත්‍ර කතාවේ සිටි යෝධයා නිසා විය යුතුය.

ඔහු පැමිණ සිටියේ පියා මුණ ගැසීමටය. මමද සාලයේ ඉරිදා රිවිරැස පත්තරය බිම දාගෙන  කියවමින් සිටියෙමි. මේ නිසා මට ඔවුන්ගේ සංවාදයට ඇහුම්කන් දීමට ඉඩක් ලැබුණි. ටික වෙලාවක් සතුටු සාමීචියේ යෙදී සිටි නිමල් අංකල් අප නිවාස සංකීර්ණයේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවට කෙමෙන් අවතීර්ණ විය. පත්තරේ කියවමින් සාකච්ඡාවට ඇහුම්කන් දෙමින් සිටි මට, ඔහු ඇත්තටම මෙතැනට පැමිණියේ මේ පිළිබඳව කතා කිරීමට බව ඔහුගේ කටහඬ සහ විෂය පිළිබඳව දැක්වූ උනන්දුවෙන් තේරුම් ගන්නට පුළුවන් විය.

"
දැන් බලන්න මිස්ට වීරසිංහ, ලංකාව පුරහම වගේ පහුගිය කාලේ ගම්වල මිනිස්සු ආරක්ෂාව පිළිබඳව බොහොම උනන්දු වුණා, නමුත් අපි ඒක ගණන් ගත්තේ වත් නැහැ, අපි රජයේ සේවකයෝ, අපි තමයි හරි නම් ආදර්ශයක් වෙන්න අවශ්‍යය, නමුත් අපි ඔහේ හිටියා. අඩු තරමෙන් සමිතියේ මේ පිළිබඳව කතා කළේවත් නැහැ, මට මේ අදහස ආවේ ලග්ගල ඉඳලා ඒ හවස බස් එකේ නුවර එනකොට. රටේ ගම් වලට ආදර්ශයක් වෙන්ඩ අවශ්‍ය අපි ඒ කිසිම දෙයක් කරන්නෙ නැතිව පොඩි ලමයි වගේ හිටියා"

මගේ පියාට මෙම අදහස තදින්ම වැදුණු බව මම දුටුවෙමි. ඔහු ලැජ්ජාවට පත්විය. ඔහු ලැජ්ජාවට පත්වීමට වඩාත් හේතු කාරණය වූයේ, ඔහු නිවාස සංකීර්ණයේ සිටි යම් තරමකට හෝ හමුදා පුහුණුවක්ද ලද එකම පුද්ගලයා  නිසාය. ඒ පුහුණුව ඔහු ලැබුවේ ශිෂ්‍ය භට බළකායේ නිලධාරියෙකු වශයෙනි. ඔහු විදුහල්පති වරයෙකු වූවා පමණක් නොව, ශිෂ්‍ය භට බලකායේ ලුතිනන්වරයකු ලෙසද සේවය කළේය.

"
අපි මේ ගැන හෙටම රැස්වීමක් තියන්න ඕන, අපි ඉගෙන ගත්ත මිනිස්සු විදිහට මෙහෙම ගමක් ආරක්ෂාව පිළිබඳ වැඩ සටහනක් කොතරම් පිළිවෙලකට කළමනාකරණය කරලා කරන්ඩ පුළුවන්ද කියලා මිනිස්සුන්ට පෙන්නන්නත්, ඊට අමතරව අපි මේ වගකීමෙන් වැඩ කළේ නැහැ කියන එක අපේ හිතෙන් අයින් කර ගන්නත්" නිමල් අංකල් තාත්තාට තව දුරටත් කියා සිටියේය.

තාත්තාද එයට එක පයින්ම කැමැති වූ අතර, වෙනදා මෙන් සමිති රැස්වීම රාත්‍රියට නොව හෙට උදය වරුවේ දහයට පවත්වන්නටද කතා කරගෙන, ඔවුහු වෙන් වූහ. ඔහු කරන්නට භාර ගත් පරිදි දුරකථන තිබෙන ගෙවල්වලට ඒ වෙලාවේම කතාකර, මේ පිළිබඳව දැන්වීමට මගේ පියා වහාම  කටයුතු කළේය. දුරකථන නොමැති ඉතිරි ගෙවල් වලට පසුදින උදයේ මේ රැස්වීම පිළිබඳ දැන්වීමේ යම් කාර්යභාරයක් මටද කරන්නට සිදුවුණි. ඒ පාරෙන් උඩ කොටසේ ගෙවල් වලට මේ රැස්වීම පිළිබඳව දැන්වීමයි. පහල කොටස වෙනත් ළමයෙකු විසින් කරන්නට ඇත.

පසු දින රැස්වීම පැවැත්වුණේත් පෙරදින නිමල් අංකල් හා මගේ පියා තීරණය කරගත් පරිදි අපගේ නිවසේ දීමය. රැස්වීමේදී කරුණු පැහැදිලි කරද්දී මුලින්ම නිමල් අංකල් ආරක්ෂණ වැඩපිළිවෙළ ගැන කතා කරන්නට පටන් ගන්නා විටම, මෙය මගේ පියාගේ අදහසක් බව කෙලින්ම නොකියා  කීවේය. ඔහු එයට මගේ පියාගේ හමුදා පසුබිමත් සම්බන්ධ කර කියන විට, පියාගේ සහ මවගේ මුහුණු ආඩම්බරයෙන් දිලිසෙන බව මම දැක්කෙමි. එය ඇසුණු විට මටද තරමක් ආඩම්බරයක් හිතට නොදැනුනා යැයි කියන්නට නුපුළුවන. ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා වලට එතරම් දක්ෂතාවයක් නොපෙන්වන නිසා පොඩ්ඩක් කැපී සිටින මට, මෙයින් වත් නිවාස සංකීර්ණයේ මිතුරන් අතර යම් තැනක් ලැබෙන්නට ඉඩ තිබෙන්නේ යැයි මට සිතුනි.

රැස්වීමට පැමිණි 25ක් පමණ වූ පිරිසට තේ අපේ ගෙදරින් පිළියෙල කෙරුණු අතර, මාලු බනිස් ගෙනවිත් තිබුණේ නිමල් අංකල් විසිනි.

එදින සිටම ආරක්ෂක වැඩ පිළිවෙළක් පටන් ගන්නට ඒකමතිකව තීරණය කෙරුණි. හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් දෙකක් රාත්‍රී 10.00 සිට උදේ 5.00 දක්වා රවුම් පාරේ මුර සංචාරය කරන්නටත් තීරණය වුනු අතර, මේ සඳහා කණ්ඩායම් දෙක පටන් ගන්නා ස්ථාන නොයෙකුත් වේලාවන්හිදී සිටිය යුතු ස්ථානත් ලකුණු කර, දළ රූප සටහන් දෙකක්ද පිළියෙල කෙරින. මුල් කණ්ඩායම රාත්‍රියේ 3:00 ට රාජකාරිය අවසන් කරන අතර, දෙවැනි කණ්ඩායම ඒ වෙලාවට වැඩ භාරගෙන උදේ 5.00 දක්වා මුර සංචාරයේ යෙදීමට තීරණය විය. එදින රාත්‍රියේ පටන් ගත් පළමුවෙනි මුර කණ්ඩායමේ මගේ පියාද සිටි නිසා, මමත් ඔවුන් සමග පළවෙනි රවුම ගොස් රෑ 10 ට පමණ ගෙදරට ආවෙමි. මම කලින් පැමිණ මිදුලට නැග පුහුණුවන හමුදා භට කණ්ඩායමක් ලෙස පාරේ පහලට යන පියා ඇතුළු ආරක්ෂකයන් දැක මහත් ආඩම්බරයට පත්වූයෙමි.

මෙලෙස සතියක් මුර සංචාරය පැවැත්වින. අනෙක් බොහෝ ස්වේච්ඡාවෙන් වැඩකරන  කණ්ඩායමක් විසින් කරන දේවල් ලෙසටම මෙම කර්තව්‍යයද ක්‍රමයෙන් අධෛර්යට පත් වෙනවා මම දුටුවෙමි. විශේෂයෙන්ම එවැනි ආරක්ෂක වැඩ පිළිවෙලක් පවත්වාගෙන යාමට ලොකු අවශ්‍යතාවයක් නොමැති වීම, මෙලෙස මෙම ක්‍රියාවලිය අඩපණ වීමට ලොකුම හේතුව යැයි පෙනෙන්නට තිබුණි.
සතිය අවසානයේ නිමල් අංකල් සහ ඔහුගේ පවුල, ඔහුට දුවකු සහ පුතෙකු සිටියහ, රැකියා මාරු වීමක් නිසා කොළඹ පදිංචියට යාමට සිදුවිය. ස්වේච්ඡා ආරක්ෂක වැඩපිළිවෙළ මගේ පියා විසින්ද තව සතියක් පමණ ඇද ගෙන ගිය නමුත්, එය ක්‍රමයෙන් ස්වාභාවික මරණයට පත් විය. මාස කිහිපයකට පසුව නිමල් අංකල් ගේ  නිවසද විකුණා දැමුණු අතර, ඔහු ඉන් පසු අප කිසි කෙනකුට මුණ ගැසුණේද නැත. නිමල් අංකල් කොළඹට ගොස් ඇත්තේ රැකියා මාරුවක් නිසා නොව රැකියාවෙන් ඉවත් වී බව මගේ පියා මගේ මවට දවසක කියනු මට ඇසුණු නමුත්, මම එය එතරම් ගණනකට ගත්තේ නැත.

ඉන් පසු මෙම සිද්ධිය මගේ සිතටත් නැවත ආවේ මෙය සිදු වී අවුරුදු විසිපහකට පමණ පසුවය. මම විද්‍යා අංශයෙන් උපාධිය ලබා ගෙන ගුරුවරයකු ලෙස අවුරුදු තුනක් පමණ කටයුතු කළෙමි. ඉන්පස්සෙ මීට වඩා වැඩිපුර පඩි ගෙවන රැකියාවක් සොයා ගත යුතු යැයි සිතා පුවත්පත් දැන්වීම් බලා නොයෙකුත් රැකියා වලට ඉල්ලුම් කළෙමි. අවසානයේ රසායනික ද්‍රව්‍ය ලංකාවට ගෙන්වා, ඒවා ලංකාවේ නොයෙකුත් කර්මාන්ත සඳහා බෙදා හරින සමාගමක කළමනාකරුවෙකු වශයෙන් රැකියාවක් සඳහා මා තෝරා ගැනිණ. රැකියා ස්ථානය කොළඹ වුවත් එම කර්මාන්ත ශාලාව අසලම නැවතීමට නිවසක්ද ලැබෙන නිසා, මම මෙම රැකියාවට විශේෂයෙන් කැමැති වූයෙමි.

මාස කිහිපයක් රැකියාව කරගෙන යද්දී මම මේ රැකියාවට බොහෝ ඇලුම් කරන්නට පටන් ගත්තෙමි. එහි තරුණ අයිතිකරුත් මගේ වයසේම වගේ සිටි අතර, ඕස්ට්‍රේලියාවේ ඉගෙනගෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් එහිම ලබා ටික කලක් එහි රත්රන් ආකරක වැඩ කර, තම පියා මිය ගිය පසු ශ්‍රී ලංකාවට පැමිණ පියාගේ ව්‍යාපාරය කරගෙන ගිය කෙනෙකි. සෑම අවුරුද්දකම මෙම සමාගමේ විධායක තරාතිරමේ නිලධාරීන්ගේ වසර අවසානයේ පැවැත්වෙන සාදය අයිතිකරුගේ නිවසේ පැවැත්වෙන බව මම දැන සිටියෙමි. මේ වසරේ එය පැවැත්වුණේ දෙසැම්බර් 17 වැනිදාය. 

මේ සඳහා අප හත් දෙනෙකු රාජගිරියේ පිහිටි අයිතිකරුගේ නිවස වෙත හවස 06:00 ට පමණ ගියෙමු. ඉතාම සුඛෝපභෝගී එමෙන්ම කලාත්මක අයුරින් ගොඩනගා තිබූ මෙම නිවස, අප රටේ අගමැති කෙනෙකුගේ ඥාති සහෝදරයෙකු ගෙන් ඔහුගේ පියා බොහෝ කලකට පෙර මිළට ගත් බව, සමාගමේ අයිතිකරු මට එදින කීවේය. සාලෙ මැද කුඩා බීම හලක්, වැවක් අයිනෙන් ඉවර වන මිදුලේ තණ පිටියට විවෘත වන ලෙස සාදා තිබූ මෙම නිවසේ, මගේ වඩාත්ම සිත්ගත් එක් ස්ථානයක් වූයේ හොඳින් වැඩී තිබුණු  එමෙන්ම කඳේ ගෙඩි පිරී තිබුණු නංනං ගසයි.

ටික වේලාවක් උද්‍යානයේ ඇවිදීමට මට අවකාශයක් ලැබුණේ මම අනෙක් අයට වඩා ටිකක් කලින් එතනට ගොස් තිබුණ නිසාය. අනෙක් අයත් පැමිණි පසු නිවෙස තුලට ගිය පසු, නිවසේ දිග වැරැන්ඩාවේ තිබුණු ඡායාරූප කිහිපයක් ඒ දෙස අප උනන්දුවෙන් බැලුවේ සාමාන්‍යයෙන් නිවසකට ගිය විට එය කළ යුතු දෙයක් ලෙස අපට සිතුණු නිසා විය හැක්කේය.

බිත්තියේ තිබූ දෙවෙනි ඡායාරූපය දුටු විට මට අතීතයේ යම් සිදුවීමක් මතක් විය. ඒ මං මුලින් සඳහන් කළ අපගේ නිවාස සංකීර්ණයේ සතියක් පුරා පැවැත්වුණු ආරක්ෂණ වැඩ පිළිවෙළයි. දෙවැනි ඡායාරූපය එහි මූලිකයා වූ නිමල් අංකල්ගේ විශාල කළු සහ සුදු ප්‍රතාපවත් ඡායාරූපයක් වීම මා පුදුමයට පත් කළේය. මම ටික වේලාවකට පස්සේ එතනට පැමිණි අපේ අයිතිකරුට මේ බව කියා සිටියෙමි. ඔහුත් මහත් පුදුමයට පත්විය. ඔහු මට වඩා වයසින් තරමක් බාල වුවද, ඔහුටද මා සහ මගේ පියා මතක තිබුණි. මින් පසුව අප දෙදෙනාගේ මිත්‍රත්වය තවත් වැඩි වූ අතර, ඔහු හා ඔහුගේ සේවකයෙකුට වඩා මිතුරෙකු ලෙසට සලකන්නටද උත්සාහ කරන බවක් මට පෙනුණි. ඔහුගේ පියාට ලග්ගල සේවය කරද්දී මැණික් මල්ලක් ලැබී ඇති බවත්, ඔහු ඉන්පසු රැකියාවෙන් ඉවත් වී කොළඹට පැමිණ මෙලෙස ව්‍යාපාරයක් මිලට ගෙන, එය හොඳින් වැඩි දියුණු කරගෙන ජීවත් වුණු බවත්, ඔහු මට වරින් වර කියූ දෙයින් පැහැදිලි විය.

මම මේ පිළිබඳව මගේ පියාටද දුරකථනයෙන් දැන් වූයෙමි. ඔහුද ඒ පිළිබඳව බොහෝ සතුටට පත්විය.

සති කිහිපයකින් මා පියා බැලීමට නිවසට ගිය විට මේ පිළිබඳව අපි බොහෝ දෑ කථා කළෙමු.

මම ඔහුට මැණික් මල්ල පිළිබඳව කතාව කියූ විට ඔහු ශබ්ද නඟා සිනාවෙන්නට පටන් ගත්තේය.

"මේ මනුස්සයා අපි සුමානයක්ම රවුමේ අරං ගිහිල්ලනේ, අර මැණික් මල්ල විකුණන කං ගෙදර තියාගෙන හිටපු සුමානේ තමයි මේ හවුසිං ස්කීම් එකේ ආරක්ෂක සංවිධානය තර කරල තියෙන්නේ, මොනව උනත් නියම මොලේ"
ඔහු කොක් හඬලා සිනාසෙන්නට පටන් ගත්තේය. ඕක දැන් වෙන කාටවත් කියන්නට යන්න එපා, ආයේ මොකටද පරණ ඒවා අවුස්සන්නේ" ඔහු අවසානයේ කීවේය. "අම්මා හිටිය නං මට හොඳ බැනුම් ටිකක් අහගන්න තිබ්බා, එයා හැමවෙලාවෙම කියනවා වගේ මම කොච්චර මිනිස්සුන්ට අහුවෙනවද කියලා"

Thursday, November 28, 2019

1 දඹදිව: පසුවදනක් 1






https://mail.google.com/mail/u/0/images/cleardot.gif

මම පසුගිය මාසයේ දඹදිව සංචාරයක් සඳහා ගියෙමි. ඒ පිළිබඳව දීර්ඝ ලිපි පෙලක්ද ලිව්වෙමි, කිහිපයකින් අවසන් කරන්නට සිටියද, දවසින් දවස උනන්දුව වැඩිවූ හෙයින් බ්ලොග් 22 ක් (වචන 11000 පමණ) ලියා, මෙම විස්තරය අවසන් කලේ තරමක අකමැත්තෙන් වන තරමට, මට එම ගමන් විස්තරය  ලියන්නට උනන්දුවක් ඇතිවී තිබුණි.
මම උපතින්ම බෞද්ධ පුද්ගලයෙක්මි. එහෙත් ලෝකය ගැන යමක් පිළිගන්නා  අවදියට පැමිණි කාලයේම; වයස 14 ක් වන විටම, නැවත ඉපදීම සිදුවිය නොහැක්කක් බව මට වැටහුණි. එහෙත් එය 100% ක්ම පිළිගැනීමට නොහැකි නිසා, මම හැකි සෑම අවස්ථාවකම මේ පිළිබඳව කරුණු සෙව්වෙමි. එසේ කරුණු සොයා යාමෙන්ද, මට මගේ පිළිගැනීම වූ නැවත මිනිසුන් ඉපදීම සිදු නොවන අදහස තවත් පැහැදිලි වුවා මිස, එයට විරුද්ධ පිළිගත හැකි අදහසක් මා දුටුවෙම නැත.
එහෙත් බුද්ධාගමේ මුලික ඉගැන්වීම වන චතුරාර්ය සත්‍ය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය, මගේ පරම පිළිගැනීම වන්නේය. බුදු රජුන් මම මේ ලෝකයේ වඩාත්ම ගෞරව කරන මිනිසාය. මම දඹදිව සංචාරය සඳහා ගියෙත් බුදුන්ගේ ජීවිතය හා සම්බනන්ධ කරුණු ඇසින්ම දැක ගැනීම සඳහාය.
මම එහි යනතෙක් මේ සියල්ල සිදුවී ඇත්තේ මෙතරම් කුඩා ප්‍රදේශයක බව සිතා සිටියේ නැත. මා කලින් බ්ලොග් එකක පෙන්වා දුන් ආකාරයට, බුදු රජුන්ගේ මුළු ජීවිතයම සිදුවී ඇත්තේ කිලෝ මීටර 300 x 500 භුමි ප්‍රමාණයකය. අපි දඹදිව යනුවෙන් කුඩා කාලයේ අසා ඇති එතුමාගේ ජීවිතය ගතකල ප්‍රදේශය, මෙතරම් කුඩා ප්‍රදේශයකයි මා කිසිසේත් බලාපොරොත්තු වුයේ නැත. නමුත් අනික් පැත්තෙන් බලන විට ලොව අනෙක් ප්‍රධාන ආගම් දෙකේ ශාස්තෘන්ද, තම ආගම් ප්‍රචාරය කලේ මෙවන් භූගෝලීය වශයෙන් කුඩා ප්‍රදේශයන් තුලය.
බුදුන් ඉපදුනු  ශාක්‍ය  ලෙස හැඳින්වෙන ජනතාව ඉන්දු ගංගා ශිෂ්ටාචාරය ආක්‍රමණය කර මෙම ප්‍රදේශ වලට පැමිණ ඇත්තේ ඉරානයෙන් හෝ මධ්‍යම ආසියාවෙන් යයි සිතනු ලැබේ. මෙම ශාක්‍ය  ජනයාගේ පාලක පවුලක බුදුරදුන් ඉපදෙන්නේ ලුම්බිණි උයනේදිය. ඔහුගේ මව කෝලිය ජනයාගේ දෙව්දහ නගරයේ වන අතර, පියා කපිලවස්තුවේ සිට ශාක්‍ය  ජනපදය පාලනය කරන ශුද්ධෝදන රජුය. මේ නගර දෙක අයත්වන්නේ ශාක්‍ය  සහ කෝලිය  ජනපයන්ටය.
එතුමා හැදෙන්නේ වැඩෙන්නේ කපිලවස්තු නගරයේය.  මහාමායා දේවිය ඉපදුනු දෙව්දහ නගරය  තිබෙන්නේ වර්තමාන නේපාලයේය. එය පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පවා තිබෙන දියුණු නගරයකි. එම ප්‍රදේශය පිහිටා තිබෙන්නේ ලුම්බිණියට තරමක් උතුරට වන්නටය. කපිලවස්තුව මා පෙරත් කී පරිදි දැන් ඉන්දියාවේ තිබෙන බව සිතා සිටියද, ඇත්තෙන්ම තිබී ඇත්තේ නේපාලයේ බව දැන් සොයා ගනිමින් පවතී. මටත් හිතෙන්නේ එම ප්‍රදේශය තිබී ඇත්තේ නේපාලයේ කියාය.
මෙම ශාක්‍ය ජනපදය ක්‍රිස්තු පුර්ව 7 වන සියවසේ පමණ ඇතිවූ වේද, ශිෂ්ටාචාරයේ ජනපද වලින් එකක් බව පෙනේ. මෙලෙස ඉන්දියාවට උතුරෙන් සංක්‍රමණය වූ එඩේර කණ්ඩායම්, මේ ප්‍රදේශයේ ස්ථිර පදිංචි කරුවන් වන්නේ බුදුන් ඉපදීමට අවුරුදු 200 කට පමණ පෙරය. ඔවුහු මෙම ප්‍රදේශ වල පදිංචි වන්නේ මෙය විශාල තැනි තලාවක් නිසාත්, ගංගා කිහිපයක්  මේ ප්‍රදේශය හරහා ගලා යාම නිසා ඇති තරම් ජලය තිබෙන නිසාය.


බුදුන්ගේ ජීවිත කාලයේම වාගේ මෙම ජනපදය ශ්‍රාවස්තිය අගනුවර කරගත් කෝශල ජනපදයේ බිදුදාබ රජු විසින් ආක්‍රමණය කර තම රාජ්‍යයට එකතු කරගෙන ඇත.  බොහෝවිට බුදු රජුන් පිරිනිවන් පානා විට බුදුන්  තරුණ කල ජීවත්වූ රාජධානිය නොතිබෙන්නට ඇත. මෙලෙස ආක්‍රමණයෙන් පරාජයට පත්වූ ශාක්‍ය පිරිස් බුරුමයට නේපාලයට සහ ඉන්දියාවේ ඈත පළාත්වලට පලාගොස් සැඟවී ඇත. නේපාලයේ දැනටත් ශාක්‍ය වාසගම පාවිච්චි කරන එසේම ශාක්‍ය වංශ යනුවෙන් පාවිච්චි කරන පිරිස් බොහෝ ඇත.
සිද්ධාර්ථ කුමරුන් ජීවත්වූ කාලයේ මෙම ජනපද අතර බලය ඉඩම් සහ ජලය සඳහා විශාල තරඟයක් තිබෙන්නට ඇත. බොහෝවිට සුද්ධෝදන රජුන් සිද්ධාර්ථ කුමරු සක්විති රජ කෙනෙකු කරන්නට උත්සාහ කරන බව බෞද්ධ පොත පතෙහි පෙනෙන්නට තිබෙන්නේද, මේ බල අරගලය නිසා විය හැක.
බුදුන් උපදින කාලය වනවිට මෙලෙස ජනපද ලෙස පදිංචි වී අවුරුදු 200 ක් පමණ ගතවී ඇත. මෙම සශ්‍රික වූ භූමියෙන් හොඳ පලදාවක් ලබමින්, සතුන් ඇති කරමින්,  පහසු ජිවිත ගත කරති. මේ අතර බොහෝ සශ්‍රික  එමෙන්ම සාර්ථක ශිෂ්ටාචාරයන්හි  මෙන්ම, මෙහිද තරුණයන් ජීවිතයේ අරුත කුමක්දැයි සිතන්නට පටන් ගනිති. හැට ගණන් වල  බටහිර හිපි සංස්කෘතිය "sophisticated; currently fashionable; fully up-to-date  ඇති වුයේද, මෙවන් පසුබිමක් තුලය බව අප අමතක කලයුතු නොවේ.
බුදුන්ගේ කාලයේද මෙවන් ‘තිබෙන සංස්කෘතියට විරුද්ධ සංස්කෘතියක්’ බිහිවෙමින් තිබුණි. වේද (දැනුම) මත පදනම් වූ සංස්කෘතියක ජීවත් වූ මෙම පවතින සංස්කෘතිය පිළිනොගන්නා එසේත් නොමැතිනම්, වෙනත් සත්‍යයක් තිබිය යුතු යැයි සිතා එය කුමක්දැයි සොයා බැලීමට උත්සාහ කරන තරුණ කණ්ඩායමක් ඇතිවෙයි. මෙම නව පරම්පරාව හඳුවුනේ ‘ශ්‍රමණ’ යන නාමයෙනි.
මෙය වේද සංස්කෘතියට වෙනස් සහ විරුද්ධ  සංස්කෘතියක් වූ අතර පසුකලෙක බුද්ධාගම ජෛන ආගම සහ යෝගාවචාරයට  මෙම ශ්‍රමණ රැල්ල මඟ පැදු බව පෙනේ. බහුතරයක් මෙම සත්‍ය සෙවීමේ උත්සයන්හි අරමුණ වුයේ මෝක්ෂය එසේත් නැත්නම් මෙම සසර ජිවිතයෙන් ගැලවීම බව පෙනේ.

බුදුන් ශ්‍රමණයෙකු වීම සඳහා කපිලවස්තු නගරයෙන් පිටත්ව යන්නේ ගයා ප්‍රදේශයටය. ඒ වර්තමාන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටි ගයා නගරය ආශ්‍රිත ප්‍රදේශයටය. බුදුන් මේ සත්‍ය සොයා ගමන් කරන්නේ ඉන් ටික කලකට පසු ඔහු ජීවත්වූ කපිලවස්තු දෙව්දහ ඇතුළු ශාක්‍ය ප්‍රදේශ ආක්‍රමණය කර අල්ලා ගන්නා කෝසල රාජධානිය වෙතටය...................

Friday, November 22, 2019

පුරාවිද්‍යා නිල නිවාසයේ නිධානය - සම්පුර්ණ කතාව



1973 වසරේ අපේ බාර්කෝර් ලෙස හඳුන්වන ගමේ විශේෂ සිදුවීමක් සිදූ  විය. සමහර විශේෂ සිදුවීම් නිතරම සිදු වෙන ගම්වලට මෙය විශේෂ සිදුවීමක් නොවන්නට පුළුවන. එහෙත් අපේ ගම අවුරුදු දහස් ගණනක් විශේෂ සිදුවීම් නොදුටු ගමක් නිසා, පුරාවිද්‍යා නිලධාරීන් පැමිණ ගමේ පැත්තක තිබෙන කුඩා බුබ්බුලාකාර කඳුගැටයක් වැනි ස්ථානයක් ගවේෂණය කරන්නට තීරණය කිරීම, ඇත්තෙන්ම සුවිශේෂී සිද්ධියක් යැයි කිව හැකිය.
මේ කුඩා කණ්ඩායමේ ප්‍රධානියා වූයේ, වයස 40ක් පමණ වූ සිහින් සිරුරක් ඇති කොණ්ඩය ඔලුවේ ඉතිරි වී ඇති ප්‍රමාණය නැති වූ ප්‍රමාණයට වඩා අඩු, පටි සපත්තු දෙකක පසුපස පටි සවි කර ගන්නේ නැතිව, ඒවා පාගා ගෙන යන්නට පැළඳගත් ශ්‍රී විජේ පාන්ඩේය. සෙරෙප්පු දෙකත් වැරදි විදිහට දමා ගෙන සිටියද, පාන්ඩේ මහතා ඉතාමත් වේගයෙන් ඇවිද්දේය. ඔහුගේ කණ්ඩායමේ ඔහු යටතේ සිටි අනෙක් දෙදෙනා ඔහුට වඩා තරුණ වුවද, ඔහුගේ වේගයෙන්ම ඇවිදින්නට මහත් වෙහෙසක් දරන්නට සිදු විය.
ඔවුන් මුලින්ම ගමේ තාවකාලිකව නැවතී සිටින්නට තැනක් සෙවූ මුත්, එවන් තැනක් අපේ ගමේ සොයා ගැනීමට නො හැකි බව, ඔවුන් පැයක් දෙකක් යන්නට කලින්ම අවබෝධ කරගත්හ. අපේ ගමේ පිටින් පැමිණෙන වැදගත් මහත්මයෙකුට නවතින්නට තබා, පින්ඩ් දානය සඳහා පැමිණෙන ශ්‍රමණයෙකුට වුවත් නවතින්නට තැනක් සොයා ගන්නට නොහැකිය. ඇත්තෙන්ම කියනවනම් අපි නැවතී සිටින්නේත්, ඉතාමත් ඉඩ පහසුකම් අඩු හරියට වහලයක් වත් නැති නිවෙස්වලය.
මේ ප්‍රදේශ බොහෝ කලකට පෙර ඉතාමත්ම සශ්‍රීකව පැවතුන බවද, සක්විති අශෝක රජු වර්තමානයේ ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඇතුළු රාජ්‍ය පවා පාලනය කළේ, අප ජීවත්වන ප්‍රදේශයේ පිහිටි පට්නා නගරයේ සිට බව අප අසා ඇත්තෙමු. එසේම ජපානය වැනි දියුණු රටවල පවා වැඩි දෙනකුගේ ආගම වන බුද්ධාගම පටන් ගත් ශාස්තෲවරයාණන්, ඔහුගේ මුළු ජීවිත කාලයම වාගේ ගත කලේ මෙය අප ජීවත්වන ප්‍රදේශය බවත් මා අසා තිබේ. එහෙත් දැන්නම් අපට ඒ ආගමෙන් ඉතුරුව ඇත්තේ කහපාට රෙදි කෑලි ඇඳගත් පිටරටින් එන බෞද්ධයන්ගෙන් කීයක් හරි කඩා ගන්නට බලා සිටින, කිසිම වැඩක් නොකරන අධ්‍යාපනයක්ද නොමැති කිහිප දෙනෙකු පමණි.
මෙම සිද්ධිය මට අදාළ වන්නේ මේ කතාවට කෙසේද යන්න මම දැන් කිව යුතුය. අපේ බාර කෝල් ගමේ ජීවත්වන පිරිස කුල ගෝත්‍ර තුනකට අයත් වූහ. එයින් අප අයත් වූයේ කන්ජාර් නැමැති කුලයටයි. මෙය ඉන්දියාවේ ජනගහනයෙන් 15% ක් පමණ වන කුලයෙන් අඩු පිරිස් වලට අයත් කුලයකි. අප භාවිත කළ භාෂාව මගහි යනුවෙන් හැඳින්වෙන අතර, අවුරුදු දෙදහස් පන්සියයකට පෙර බුදුන්වහන්සේ පාවිච්චි කළ භාෂාවද මෙය යැයි බුද්ධ ගයාහි ප්‍රධාන මහාන්ත්වරයා වරක් කියනු මා අසා තිබේ.
මෙම ප්‍රදේශයේ සිටි දහසක් පමණ වූ කන්ජාර් කුලයේ මිනිසුන්ගේඒ සෑම පවුලක්ම වාගේ එකිනෙකාට නෑදෑයන් වූහ, නිල නොලත් ප්‍රධානියා වශයෙන් එකල සලකනු ලැබුවේ මගේ පියාය.
ඔහුට අපේ භාෂාව ලියන්න කියන්නට පුළුවන් වූ අතර, එයටත් අමතරව ඉංග්‍රීසි භාෂාවද තරමක් දුරට කතා කරන්නද, ගැටගසාගෙන ලියන්නටද පුළුවන් විය. ඒ නිසාම අපේ නෑදෑයන්, හිත මිතුරන් ඔහු ඇමතුවේ මහාරාජ් යන ගෞරව නාමයෙනි.
මේ නිසාවෙන්ම විජේ පාන්ඩේ මහත්මයා 1973 වසරේ සුජාතාගාඩ් කුඩා කඳු ගැටය පරීක්ෂා කිරීමට පැමිණි පසු, ඒ සම්බන්ධව ප්‍රදේශයේ වැසියන් ගෙන් ලබාගත හැකි උදව් සහ තොරතුරු විමසා බැලීමට කෙළින්ම පැමිණියේ මගේ පියා වෙතය. මුලින්ම පියා සුජාතා ගාද් වෙතට පැමිණ, ඔහු මුණ ගැසෙන ලෙසට පණිවුඩයක් ලැබුණද, පියා එතනට ගියේ නැත. ඇත්තෙන්ම ඔහු එතැනට ගියේ නැත්තේ ඔහුගේ තිබූ ආඩම්බරකමක් නිසා නොව, එදින ඔහු ඔහුගේ දාස්පෙතියා වගාවේ වල් ගලවමින් සිටි නිසාය.




පසුදින උදයේම මගේ පියා පාන්ඩේ මහතා හමුවීමට ඔවුන් වැඩ කරන ස්ථානයට ගියේය. මමත් ඔහු පසුපසින් ගියෙමි. පාන්ඩේ මහතාට නිසි ගෞරව දක්වා ඔහුට අවශ්‍ය වී තිබූ තොරතුරු ඔහුට ලබා දුන්නේය.. පාන්ඩේ මහතාද දුටු ගමන්ම මගේ පියාට කැමැත්තක් ඇති වුණු බව ඔහුගේ ඉරියව් වලින් මටද පෙනුණි. ඔවුන් දෙදෙනා කතා කරනවා ඔවුන්ට නොදැනෙන්නට මම පැත්තකට වී බලා සිටියෙමි.
මගේ පියා පාන්ඩේ මහතාගේ ඉල්ලීමකට අනුව ඔවුන්ගේ පුරාවිද්‍යා ගවේෂණය වැඩවලට කම්කරුවන් සැපයීමද භාරගත්තේය. මෙවැනි ගමක හෝ කුලයක ප්‍රධානියකු හරහා මිනිසුන් ලබා ගැනීමෙන්ම, යම් වගකීමක් ඇති කම්කරුවන් සේවයේ යොදවා ගැනීමට ඒ ඔවුනට හැකි වන බව නොදන්නා ඉන්දියානු රාජ්‍ය සේවකයෙක් නොමැත්තේය. ටික කලක් යන විට මගේ පියා ඔවුනට නැතුවම බැරි කෙනෙක් වූ අතර, ඔහුට පාන්ඩේ මහතා කොතරම් ප්‍රිය කළේද යත් ඔහුගේ නමද එම ස්ථානයේ තාවකාලික කම්කරු ලැයිස්තුවට ඇතුළු කර, දවසකට රුපියල් හතරක පඩියක්ද ඔහුට ගෙව්වේය.
මෙලෙස බොරුවට නම යොදා වැටුප් ගැනීම එතරම් හොඳ දෙයක් යැයි නොසිතූ මගේ පියා, සෑම දිනකම හවසට නිකමට ඒ පැත්තට ගොස් පොඩ්ඩක් කැරකී ගලක් ඔසවා පැත්තකින් තැබීම වැනි සුළු වැඩක් වත් කර ඔහුගේ සිත්ස් හදා ගත්තේය.
මාස කින් පමණ පසු මෙම ගවේෂණයේ වැඩ කටයුතු අවසන් විය. එම ගවේෂණය කළ පස් කන්දේ යම් විශේෂ දෙයක් තිබී හමු වුණේ නැති වුවද, ඒ තුළ බොහෝ පැරණි කාසි සහ නොයෙකුත් ගෘහ උපකරණ තිබී ඒවා දිල්ලියේ කෞතුකාගාරය වෙත ගෙන යන ලදි. එම පස් කණ්ඩිය වටා යකඩ වැටක් ගැසූ අතර, තව කාලෙකින් පැමිණ ගවේෂණය ඉතිරි කොටස් සිදුකරන බව පාන්ඩේ මහතා මගේ පියාට පැවසීය. මෙය නැවැත්වීමෙන් අපේ ගමේ බොහෝ දෙනකුට රැකියා නැති වූ අතර, එහෙත් එම ගවේෂණ නැවත පටන් ගනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඔවුන් බොහෝ දෙනෙකු මාස කිහිපයක් කල් ගෙවුවත්, එය පටන් ගැනීමක් පෙනෙන්නට නැති වූ නිසා, ටික කලකට පසු අපට එම සිද්ධිය අමතක වන තත්වයට පත් විය.

1977
 වසරේ අපට පමණක් නොව ඉන්දියාව පුරාම මෙතෙක් ඉන්දියාවේ සිදු නොවූ තරමේ දේශපාලන වෙනසක් සිදුවිය. ඒ නිදහස ලැබුණු දා පටන් ඉන්දියාව පාලනය කළ කොංග්‍රස් පක්ෂයෙන් ඉන්දියාවේ බලය ගිලිහී යාමයි. මෙම ඡන්දය පැවැත්වුණේ හැත්තෑහතේ මාර්තු මාසයේය. සාමාන්‍යයෙන් අපේ ප්‍රදේශවල සෑම ඡන්දයක්ම ජයග්‍රහණය කරන්නේ කොංග්‍රස් පක්ෂයයි. ඒ නිසා ඒ පක්ෂයේ අපේක්ෂකයන්සෑම විටම ධනවත් ඉඩම් හිමියන්, අපේ ඡන්ද ලබා ගැනීම පිළිබඳව කිසිම උනන්දුවක් දැක්වූයේ නැත. එහෙත් මෙවර කොංග්‍රස් එකට ලොකු තර්ජනයක් තිබෙන බව පෙනුණි. ජනතා දාල් පක්ෂයෙන් අපේ ප්‍රදේශයට ඡන්දය ඉල්ලූ අපේක්ෂකයා, අපේ ගමටත් ඡන්දය ඉල්ලීමට පැමිණියේය.
ඔහු අපේ පියා හමුවී අපගේ කුලයේ  ඡන්ද තුන්දාහ ලබාගැනීමට  ලක්ෂයක මුදලක් ලබා දුන්නේය. මෙතෙක් කවරදාවත් මෙලෙස ඡන්දය සඳහා මුදලක් ලබා දීමට කවුරුත් ඉදිරිපත් වී නොමැති නිසා, පියා මේ දේශපාලන පක්ෂ අතර තරඟය පිළිබඳව බොහෝ සතුටට පත්විය. පියා ඒ මුදල් ලබාගෙන අපේක්ෂකයාගෙන්  තවත් අපූරු ඉල්ලීමක් කළේය. ඒ අපගේ තරුණයන් පස් දෙනෙකුට ඡන්දය ජයග්‍රහණය කළොත්, රජයේ රැකියාවක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමයි.
මෙම අපේක්ෂකයා එයටත් එකඟ වූ නිසා අපගේ කුලයේ  ඡන්ද සියල්ල ඔහුට ලබාදීමට පියා තීරණය කළේය. එම අපේක්ෂකයා සමහර විට ඒ ඉල්ලීමටත් එකඟ වූයේ, ඔහු දිනන්නේ නැති බව ඔහු හොඳින්ම දැනගෙන සිටි නිසා වන්නට පුළුවන. ඡන්ද ප්‍රතිඵල ලැබෙන විට සියලු දෙනා පුදුමයට පත් කරමින් කොන්ග්‍රස් රජය බලවත් පරාජයකට පත් වී, පක්ෂ සමූහයක් එකතු කරගෙන සෑදුන පෙරමුණ රජයක් පිහිටුවීමට හැකි වන සේ ජයග්‍රහණය කළේය. මේ අතරේ අප ඡන්දය පාවිච්චි කළ අපේක්ෂකයාද සිටීම අපට මහත් සතුටක් ගෙන දුන්නක් විය. ඡන්දය අවසන් වී මාස තුනකට පසු මගේ පියා ඔහු හමුවී, ඔහු දුන් පොරොන්දුව මතක් කළේය.
බොහෝ දේශපාලනඥයන් මෙන් නොව ඔහු ඒ පොරොන්දුව අකුරටම ඉටු කළේය. පියා සැමටම සාධාරණ වන්නට මෙම රැකියාවන්, අපගේ කුලයේ අය ජීවත් වූ ගම්වල බෙදී යන අයුරින් අයදුම්කරුවන් තෝරා ගත්තේය. මගේ මව  බලවත්ව ඇවිටිලි කළද මගේ පියා මේ සඳහා මා තෝරා ගත්තේ නැත්තේ, අපිට කන්නට බොන්නට තිබෙන නිසා රැකියා ලබා දිය යුත්තේ ඉතාමත් දුප්පත් අයට බව පවසමිනි.



දිවේ ලපයක් තිබෙන මිනිසුන් කියන දෙයක් හරියටම හරි යන බව මම අසා තිබේ. අපේ අම්මාගේ දිවේ එලෙස ලපයක් තියෙනවා දැයි මට සිතුන නමුදු, ඇය ගෙන් එය අසන්නට හෝ දිව පරීක්ෂා කර බලන්නට මට එඩිතර කමක් තිබුනේ නැත. මෙයට පෙරද ඇයගේ දිවේ ලපයක් තිබෙනවා දැයි මට කිහිප වරක් සිතී ඇත්තේය. මෙවරද එම සැකය මට ඇති වූයේ මගේ පියා රැකියා අයදුම් කරුවන්ගේ නම් මන්ත්‍රීවරයාට දීමට ඔහුගේ කාර්යාලයට ගිය අවස්ථාවේ සිදු වූ සිද්ධියක් නිසාය.

පියා කාර්යාලට ගොස් මන්ත්‍රීවරයාට නම් පහ ලබා දුන් පසු, ඔහු එම නම් ලයිස්තුව ඔහුගේ ලිපි කරුවෙකුට බාරදී ඇත. විනාඩි දහයකින් පමණ මන්ත්‍රීවරයා වෙතට පැමිණි ලිපිකරුවා, පස් දෙනාගෙන් එක් කෙනෙකුගේ වයස දවස් දෙකකින් නියමිත වයසට වඩා වැඩි නිසා, ඔහුට එම රැකියාව ලබා දීමට නො හැකි බව දන්වා ඇත. මන්ත්‍රීවරයා මගේ පියාට කතා කර එදිනම ඒ වෙනුවට වෙනත් නමක් ඉල්ලා ඇති අතර, කර ගන්නට කිසිවක්ම නොමැති වූ නිසා, වෙනත් ගැළපෙන කෙනකුගේ විස්තර එක්වර ලබාගත නොහැකි නිසා, පියා මගේ නම සහ විස්තර ඔහුට ලබා දී ඇත. මන්ත්‍රීවරයාට ඒ විස්තර ඔහුගේ පුතාගේ බව පියා කියූ විට,  මා සඳහා විශේෂයක් කිරීමට මට කුමන දෙපාර්තමේන්තුවක රැකියාවක් ඔහු බලාපොරොත්තු වන්නේද, ඒ ඇසූ විට මගේ පියා එක්වරම පවසා ඇත්තේ මට රැකියාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලබා දෙනවා නම් ඔහු කැමැති බවයි. ඒ සඳහා බොහෝ විට හේතු වන්නට ඇත්තේ සුජාතා ගාඩ්හි අවුරුදු කිහිපයකට පෙර කරන ලද ගවේෂණය විය යුතු යැයි මට සිතේ.

අපි පස් දෙන අපගේ කුලයෙන් ගයා ප්‍රදේශයෙන් රජයේ රැකියාවකට ගිය මුල්ම පුද්ගලයන් වූයෙමු. මම නිවසෙන් බොහෝ දුර පිප්රාවා හි   කපිලවස්තු පුරාවිද්‍යා ස්ථානයේ මගේ රැකියාව පටන් ගත්තෙමි. තාවකාලික කම්කරුවකු ලෙස රැකියාව පටන් ගත් මම, අවුරුද්දක් යනවිට එහිදීම ස්ථිර කම්කරුවකු ලෙස පත්වීම් ලදුයෙමි. බුද්ධගයාවේ තණකොළ කපන්නෙකු ලෙසද, සාරනාත්හි පොකුණු නඩත්තු කරන්නෙකු ලෙසද, සංකස්සහි මුරකරුවෙකු ලෙසද, රාජකාරි කළ මම, රැකියාවට බැඳී අවුරුදු තුනකට පසු ලක්නව් සහ සංකස්ස අතර මහා මාර්ගය කිට්ටුව, බරන්බකාර් නම් පුරාවිද්‍යා ගවේෂණයක් සිදු වන ස්ථානයක මුරකරුවකු ලෙස මාරුවීමක් ලබා එහි ගියෙමි.

මෙම ස්ථානයේ පුරාවිද්‍යා ගවේෂණ කිහිපයක්ම සිදු වන නිසා, කුඹුරු යාය කෙළවර තරමක නිවාසයක් එම නිලධාරීන්ට නැවතීමට සාදා තිබූ අතර, මම එම ස්ථානයට පැමිණියේ එම නිවාසය බාරකරු ලෙසටය. නමුත් යම් හේතුවක් නිසා මෙම ස්ථානය ගවේෂණයන් නවතා දමා තිබුණු හෙයින්, මම එම නිවාසය නඩත්තුව බලාගෙන එම නිවසේම පැත්තක නැවතී සිටියෙමි. නිවස අසලින් යන කුඩා පාර ප්‍රධාන මාර්ගයට වැටෙන තැන තේ කඩයක් තිබුන අතර, මම නිතරම බීඩි ගන්නට මෙම කඩේට යන්නට පුරුදු වී සිටියෙමි. කඩේ මුදලාලිද එම කඩේට නිතරම පැමිණ, විශේෂයෙන්ම කුඹුරු වැඩ අඩු කාලයට, කිහිප දෙනෙකු මා සමග මිත්‍ර වීමට වැඩි කාලයක් ගියේ නැත. කඩේ හිමිකරු කොතරම් හිත හොඳ මිනිහෙක් වූයේද යත්, ඔහු විකුණමින් සිටි බීඩි වර්ග වලට අමතරව මා නිසාම, මා කැමතිම ගනේෂ් 501 බීඩි වර්ගය කඩේ විකුණන්නට පටන් ගත්තේය.
දවසක් මම කඩයෙන් තේ එකක් බී රාත්‍රිය සඳහා බීඩි පහකුත් මිලදී ගෙන, බංකුවෙන් නැගිට කුඩා පාරට හැරෙන විටම කහපාට තඩි බස් එකක් කඩය අසල මිදුලට හරවා තද බ්‍රේක් පහරක් ගැසුවේය. ඒ බසයේ තේජවන්ත පෙනුම සහ එක්වරම ගැසූ බ්‍රේක් පහර නිසා, මමත් කුඩා පාරට හැරෙන්න ගිය එක නවත්වා ආපසු මහ පාර දෙසට හැරුනෙමි.
බසයේ ඉදිරිපස දොර අසල ඇතුළේ සිටි මා පමණ වයස තරුණයෙකු  ඉක්මනින්ම එළියට බැසගත් අතර, ඉන් පස්සෙ වයස 50 ක පමණ කාන්තාවන් දෙදෙනෙකු ඔහුට යමක් කියමින් කුඩා පාර දෙසට හැරුනි. මේ දුටු මමත් ඔවුන් සමග ඉදිරියට ගිය අතර, බස් එකෙන් බැස්සේ තරුණ ඉන්දියානුවා මට කතා කර, මේ හරියේ  කාන්තාවකට මුත්‍රා කිරීමට තැනක් ඇත්දැයි මගෙන් ඇසුවේය.
"
ඇයි අයියා, ඕක අහන්නත් දෙයක්ද, ඔය පාරදිගේ ඕනෑම තැනක මුත්‍රා කරන්න කියන්න, අපෙ නම් කිසිම ප්‍රශ්නයක් නෑ"  මම පිළිතුරු දුන්නෙමි.

"
නෑ මේ කාන්තාවන් ඉන්දියාවේ අය නෙවෙයි, ලංකාවේ, ඒ අය පාර දිගේ මුත්‍රා කරන්න ලැජ්ජයි" ඒ ඔහු කීවේය.
ඒ කාන්තාවන් දෙදෙනාගේ මුහුණේ තිබූ අපහසුව දුටු මට බොහෝ කනගාටු සිතින. මම ඔවුන් එකතු කරගෙන ගොස් මා විසින් බලාගන්නා පුරාවිද්‍යා නිවාසයේ නිලධාරීන් පැමිණි විට පාවිච්චි කරන වැසිකිලිය පෙන්නුවෙමි.
මෙම සිදුවීම දෙස බසය තුළ සිට බලා සිටි තවත් නෝනාවරුන් සහ මහත්වරුන් කීපදෙනකුම පැමිණ අපගේ වැසිකිලිය පාවිච්චි කළහ.
බසය පිටවී යද්දී තවත් උස මහත ඉන්දියානුවෙක් බසය අසලදී මට බොහෝ ස්තුති කර රුපියල් පනහක්ද ලබා දුන්නේය. මේ රුපියල් 50 රටන් ටාටා ට කුඩා මුදලක් විය හැක. එහෙත් මසකට රුපියල් 75 ක පඩියක් ගන්න මට මෙය ඉතාමත් විශාල මුදලක් විය.
ඒ බස් එකේම සති දෙකකට පසු නැවත වරක් මගේ තැනට පැමිණියේය. එහි සිටි ඉන්දියානු ගයිඩ්වරයා මට නැවත වරක් රුපියල් පනහක් දුනි. ඊට දින දෙකකට පසු එම කහ සමාගමේම තවත් බසයක් එතන නවත්වා මගේ නම කියන්න කියාම, මා සොයා වැසිකිළි පාවිච්චි සඳහා පැමිණි අතර මට එයින්ද රුපියල් පනහක් ලැබුනි.

දැන් මම මගේ මුළු වැටුප මගෙ මව වෙත යැව්වද, මාසයකට රුපියල් 1000 කටත් වඩා මෙම අහම්බෙන් ලැබුන ව්‍යාපාරයෙන් උපයා ගැනීමට හැකි විය. අවුරුදු තුනක් මෙලෙස මම පුරාවිද්‍යාවේ මුරකරුවකු ලෙස සේවය කරන ගමන්ම, වන්දනාකරුවන්ට ඔවුන්ගේ ගමන පහසු කර රුපියල් ලක්ෂයකට වඩා බැංකුවේ එකතු කර ගත්තෙමි.

එහෙත් සෑම වාසනාවකටම කාල සීමාවක් තිබේ. ඒ ප්‍රදේශයේ පුරාවිද්‍යා ගවේෂණ නැවත පටන් ගැනුණු අතර, පුරාවිද්‍යා නිලධාරීන් පැමිණ එම නිවසේ තාවකාලිකව ලැගුම් ගත්හ. දිනක් මම කොහෙදෝ ගොස් සිටියදී බසයක් පැමිණ නවත්වා රාජකාරි නිවාසයට පැමිණ, වැසිකිළි පාවිච්චි කිරීමට උත්සාහ කරද්දී, එහි ප්‍රධාන නිලධාරියා පැමිණ ඔවුන් ගෙන් කරුණු විමසා, පසු දින සිට මා නාලන්දා විශ්වවිද්‍යාලයේ නටඹුන් නඩත්තු කිරීමේ අංශයට මාරු කර හැරියේය.

නමුත් මට දැන් මේ සුළු  රැකියාව එපා වී ඇත. මම ඒ කිට්ටුවෙන්ම අක්කර 3ක කුඹුරක් මිලට ගෙන, එහි පාරේ සිට අඩි කිහිපයක් ඇතුළතින් අලංකාර වැසිකිලියක් ගොඩනැඟු වෙමි. එය තුළ වැසිකිලි පමණක් නොව නාන කාමර තුනක් සහ ඇඳුම් මාරු කිරීමේ කාමර දෙකක්ද, අඩංගු කළෙමි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මගේ කෘතගුණ සැලකීමට වැසිකිලියට 'ආකී ටොයිලට් කොම්ප්ලෙක්ස්' යනුවෙන් නමක් දැම්මෙමි.
පුරාවිද්‍යාවේ වැඩ කරන අයට ගවේෂණ කරද්දී නිධානයන් හමු වෙනවා යැයි මම අසා තිබේ, මේ මට ලැබුණු නිධානය වෙයි.

Thursday, November 21, 2019

පුරාවිද්‍යා නිල නිවාසයේ නිධානය කෙටිකතාව 1&2

1973 වසරේ අපේ බාර්කෝර් ලෙස හඳුන්වන ගමේ විශේෂ සිදුවීමක් සිදූ  විය. සමහර විශේෂ සිදුවීම් නිතරම සිදු වෙන ගම්වලට මෙය විශේෂ සිදුවීමක් නොවන්නට පුළුවන. එහෙත් අපේ ගම අවුරුදු දහස් ගණනක් විශේෂ සිදුවීම් නොදුටු ගමක් නිසා, පුරාවිද්‍යා නිලධාරීන් පැමිණ ගමේ පැත්තක තිබෙන කුඩා බුබ්බුලාකාර කඳුගැටයක් වැනි ස්ථානයක් ගවේෂණය කරන්නට තීරණය කිරීම, ඇත්තෙන්ම සුවිශේෂී සිද්ධියක් යැයි කිව හැකිය.
මේ කුඩා කණ්ඩායමේ ප්‍රධානියා වූයේ, වයස 40ක් පමණ වූ සිහින් සිරුරක් ඇති කොණ්ඩය ඔලුවේ ඉතිරි වී ඇති ප්‍රමාණය නැති වූ ප්‍රමාණයට වඩා අඩු, පටි සපත්තු දෙකක පසුපස පටි සවි කර ගන්නේ නැතිව, ඒවා පාගා ගෙන යන්නට පැළඳගත් ශ්‍රී විජේ පාන්ඩේය. සෙරෙප්පු දෙකත් වැරදි විදිහට දමා ගෙන සිටියද, පාන්ඩේ මහතා ඉතාමත් වේගයෙන් ඇවිද්දේය. ඔහුගේ කණ්ඩායමේ ඔහු යටතේ සිටි අනෙක් දෙදෙනා ඔහුට වඩා තරුණ වුවද, ඔහුගේ වේගයෙන්ම ඇවිදින්නට මහත් වෙහෙසක් දරන්නට සිදු විය.
ඔවුන් මුලින්ම ගමේ තාවකාලිකව නැවතී සිටින්නට තැනක් සෙවූ මුත්, එවන් තැනක් අපේ ගමේ සොයා ගැනීමට නො හැකි බව, ඔවුන් පැයක් දෙකක් යන්නට කලින්ම අවබෝධ කරගත්හ. අපේ ගමේ පිටින් පැමිණෙන වැදගත් මහත්මයෙකුට නවතින්නට තබා, පින්ඩ් දානය සඳහා පැමිණෙන ශ්‍රමණයෙකුට වුවත් නවතින්නට තැනක් සොයා ගන්නට නොහැකිය. ඇත්තෙන්ම කියනවනම් අපි නැවතී සිටින්නේත්, ඉතාමත් ඉඩ පහසුකම් අඩු හරියට වහලයක් වත් නැති නිවෙස්වලය.
මේ ප්‍රදේශ බොහෝ කලකට පෙර ඉතාමත්ම සශ්‍රීකව පැවතුන බවද, සක්විති අශෝක රජු වර්තමානයේ ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඇතුළු රාජ්‍ය පවා පාලනය කළේ, අප ජීවත්වන ප්‍රදේශයේ පිහිටි පට්නා නගරයේ සිට බව අප අසා ඇත්තෙමු. එසේම ජපානය වැනි දියුණු රටවල පවා වැඩි දෙනකුගේ ආගම වන බුද්ධාගම පටන් ගත් ශාස්තෲවරයාණන්, ඔහුගේ මුළු ජීවිත කාලයම වාගේ ගත කලේ මෙය අප ජීවත්වන ප්‍රදේශය බවත් මා අසා තිබේ. එහෙත් දැන්නම් අපට ඒ ආගමෙන් ඉතුරුව ඇත්තේ කහපාට රෙදි කෑලි ඇඳගත් පිටරටින් එන බෞද්ධයන්ගෙන් කීයක් හරි කඩා ගන්නට බලා සිටින, කිසිම වැඩක් නොකරන අධ්‍යාපනයක්ද නොමැති කිහිප දෙනෙකු පමණි.
මෙම සිද්ධිය මට අදාළ වන්නේ මේ කතාවට කෙසේද යන්න මම දැන් කිව යුතුය. අපේ බාර කෝල් ගමේ ජීවත්වන පිරිස කුල ගෝත්‍ර තුනකට අයත් වූහ. එයින් අප අයත් වූයේ කන්ජාර් නැමැති කුලයටයි. මෙය ඉන්දියාවේ ජනගහනයෙන් 15% ක් පමණ වන කුලයෙන් අඩු පිරිස් වලට අයත් කුලයකි. අප භාවිත කළ භාෂාව මගහි යනුවෙන් හැඳින්වෙන අතර, අවුරුදු දෙදහස් පන්සියයකට පෙර බුදුන්වහන්සේ පාවිච්චි කළ භාෂාවද මෙය යැයි බුද්ධ ගයාහි ප්‍රධාන මහාන්ත්වරයා වරක් කියනු මා අසා තිබේ.
මෙම ප්‍රදේශයේ සිටි දහසක් පමණ වූ කන්ජාර් කුලයේ මිනිසුන්ගේඒ සෑම පවුලක්ම වාගේ එකිනෙකාට නෑදෑයන් වූහ, නිල නොලත් ප්‍රධානියා වශයෙන් එකල සලකනු ලැබුවේ මගේ පියාය.
ඔහුට අපේ භාෂාව ලියන්න කියන්නට පුළුවන් වූ අතර, එයටත් අමතරව ඉංග්‍රීසි භාෂාවද තරමක් දුරට කතා කරන්නද, ගැටගසාගෙන ලියන්නටද පුළුවන් විය. ඒ නිසාම අපේ නෑදෑයන්, හිත මිතුරන් ඔහු ඇමතුවේ මහාරාජ් යන ගෞරව නාමයෙනි.
මේ නිසාවෙන්ම විජේ පාන්ඩේ මහත්මයා 1973 වසරේ සුජාතාගාඩ් කුඩා කඳු ගැටය පරීක්ෂා කිරීමට පැමිණි පසු, ඒ සම්බන්ධව ප්‍රදේශයේ වැසියන් ගෙන් ලබාගත හැකි උදව් සහ තොරතුරු විමසා බැලීමට කෙළින්ම පැමිණියේ මගේ පියා වෙතය. මුලින්ම පියා සුජාතා ගාද් වෙතට පැමිණ, ඔහු මුණ ගැසෙන ලෙසට පණිවුඩයක් ලැබුණද, පියා එතනට ගියේ නැත. ඇත්තෙන්ම ඔහු එතැනට ගියේ නැත්තේ ඔහුගේ තිබූ ආඩම්බරකමක් නිසා නොව, එදින ඔහු ඔහුගේ දාස්පෙතියා වගාවේ වල් ගලවමින් සිටි නිසාය.




පසුදින උදයේම මගේ පියා පාන්ඩේ මහතා හමුවීමට ඔවුන් වැඩ කරන ස්ථානයට ගියේය. මමත් ඔහු පසුපසින් ගියෙමි. පාන්ඩේ මහතාට නිසි ගෞරව දක්වා ඔහුට අවශ්‍ය වී තිබූ තොරතුරු ඔහුට ලබා දුන්නේය.. පාන්ඩේ මහතාද දුටු ගමන්ම මගේ පියාට කැමැත්තක් ඇති වුණු බව ඔහුගේ ඉරියව් වලින් මටද පෙනුණි. ඔවුන් දෙදෙනා කතා කරනවා ඔවුන්ට නොදැනෙන්නට මම පැත්තකට වී බලා සිටියෙමි.

මගේ පියා පාන්ඩේ මහතාගේ ඉල්ලීමකට අනුව ඔවුන්ගේ පුරාවිද්‍යා ගවේෂණය වැඩවලට කම්කරුවන් සැපයීමද භාරගත්තේය. මෙවැනි ගමක හෝ කුලයක ප්‍රධානියකු හරහා මිනිසුන් ලබා ගැනීමෙන්ම, යම් වගකීමක් ඇති කම්කරුවන් සේවයේ යොදවා ගැනීමට ඒ ඔවුනට හැකි වන බව නොදන්නා ඉන්දියානු රාජ්‍ය සේවකයෙක් නොමැත්තේය. ටික කලක් යන විට මගේ පියා ඔවුනට නැතුවම බැරි කෙනෙක් වූ අතර, ඔහුට පාන්ඩේ මහතා කොතරම් ප්‍රිය කළේද යත් ඔහුගේ නමද එම ස්ථානයේ තාවකාලික කම්කරු ලැයිස්තුවට ඇතුළු කර, දවසකට රුපියල් හතරක පඩියක්ද ඔහුට ගෙව්වේය.
මෙලෙස බොරුවට නම යොදා වැටුප් ගැනීම එතරම් හොඳ දෙයක් යැයි නොසිතූ මගේ පියා, සෑම දිනකම හවසට නිකමට ඒ පැත්තට ගොස් පොඩ්ඩක් කැරකී ගලක් ඔසවා පැත්තකින් තැබීම වැනි සුළු වැඩක් වත් කර ඔහුගේ සිත්ස් හදා ගත්තේය.

මාස 6 කින් පමණ පසු මෙම ගවේෂණයේ වැඩ කටයුතු අවසන් විය. එම ගවේෂණය කළ පස් කන්දේ යම් විශේෂ දෙයක් තිබී හමු වුණේ නැති වුවද, ඒ තුළ බොහෝ පැරණි කාසි සහ නොයෙකුත් ගෘහ උපකරණ තිබී ඒවා දිල්ලියේ කෞතුකාගාරය වෙත ගෙන යන ලදි. එම පස් කණ්ඩිය වටා යකඩ වැටක් ගැසූ අතර, තව කාලෙකින් පැමිණ ගවේෂණය ඉතිරි කොටස් සිදුකරන බව පාන්ඩේ මහතා මගේ පියාට පැවසීය. මෙය නැවැත්වීමෙන් අපේ ගමේ බොහෝ දෙනකුට රැකියා නැති වූ අතර, එහෙත් එම ගවේෂණ නැවත පටන් ගනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඔවුන් බොහෝ දෙනෙකු මාස කිහිපයක් කල් ගෙවුවත්, එය පටන් ගැනීමක් පෙනෙන්නට නැති වූ නිසා, ටික කලකට පසු අපට එම සිද්ධිය අමතක වන තත්වයට පත් විය.

1977
වසරේ අපට පමණක් නොව ඉන්දියාව පුරාම මෙතෙක් ඉන්දියාවේ සිදු නොවූ තරමේ දේශපාලන වෙනසක් සිදුවිය. ඒ නිදහස ලැබුණු දා පටන් ඉන්දියාව පාලනය කළ කොංග්‍රස් පක්ෂයෙන් ඉන්දියාවේ බලය ගිලිහී යාමයි. මෙම ඡන්දය පැවැත්වුණේ හැත්තෑහතේ මාර්තු මාසයේය. සාමාන්‍යයෙන් අපේ ප්‍රදේශවල සෑම ඡන්දයක්ම ජයග්‍රහණය කරන්නේ කොංග්‍රස් පක්ෂයයි. ඒ නිසා ඒ පක්ෂයේ අපේක්ෂකයන්; සෑම විටම ධනවත් ඉඩම් හිමියන්, අපේ ඡන්ද ලබා ගැනීම පිළිබඳව කිසිම උනන්දුවක් දැක්වූයේ නැත. එහෙත් මෙවර කොංග්‍රස් එකට ලොකු තර්ජනයක් තිබෙන බව පෙනුණි. ජනතා දාල් පක්ෂයෙන් අපේ ප්‍රදේශයට ඡන්දය ඉල්ලූ අපේක්ෂකයා, අපේ ගමටත් ඡන්දය ඉල්ලීමට පැමිණියේය.
ඔහු අපේ පියා හමුවී අපගේ කුලයේ  ඡන්ද තුන්දාහ ලබාගැනීමට  ලක්ෂයක මුදලක් ලබා දුන්නේය. මෙතෙක් කවරදාවත් මෙලෙස ඡන්දය සඳහා මුදලක් ලබා දීමට කවුරුත් ඉදිරිපත් වී නොමැති නිසා, පියා මේ දේශපාලන පක්ෂ අතර තරඟය පිළිබඳව බොහෝ සතුටට පත්විය. පියා ඒ මුදල් ලබාගෙන අපේක්ෂකයාගෙන්  තවත් අපූරු ඉල්ලීමක් කළේය. ඒ අපගේ තරුණයන් පස් දෙනෙකුට ඡන්දය ජයග්‍රහණය කළොත්, රජයේ රැකියාවක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමයි.
මෙම අපේක්ෂකයා එයටත් එකඟ වූ නිසා අපගේ කුලයේ  ඡන්ද සියල්ල ඔහුට ලබාදීමට පියා තීරණය කළේය. එම අපේක්ෂකයා සමහර විට ඒ ඉල්ලීමටත් එකඟ වූයේ, ඔහු දිනන්නේ නැති බව ඔහු හොඳින්ම දැනගෙන සිටි නිසා වන්නට පුළුවන. ඡන්ද ප්‍රතිඵල ලැබෙන විට සියලු දෙනා පුදුමයට පත් කරමින් කොන්ග්‍රස් රජය බලවත් පරාජයකට පත් වී, පක්ෂ සමූහයක් එකතු කරගෙන සෑදුන පෙරමුණ රජයක් පිහිටුවීමට හැකි වන සේ ජයග්‍රහණය කළේය. මේ අතරේ අප ඡන්දය පාවිච්චි කළ අපේක්ෂකයාද සිටීම අපට මහත් සතුටක් ගෙන දුන්නක් විය. ඡන්දය අවසන් වී මාස තුනකට පසු මගේ පියා ඔහු හමුවී, ඔහු දුන් පොරොන්දුව මතක් කළේය.
බොහෝ දේශපාලනඥයන් මෙන් නොව ඔහු ඒ පොරොන්දුව අකුරටම ඉටු කළේය. පියා සැමටම සාධාරණ වන්නට මෙම රැකියාවන්, අපගේ කුලයේ අය ජීවත් වූ ගම්වල බෙදී යන අයුරින් අයදුම්කරුවන් තෝරා ගත්තේය. මගේ මව  බලවත්ව ඇවිටිලි කළද මගේ පියා මේ සඳහා මා තෝරා ගත්තේ නැත්තේ, අපිට කන්නට බොන්නට තිබෙන නිසා රැකියා ලබා දිය යුත්තේ ඉතාමත් දුප්පත් අයට බව පවසමිනි.


මුළු කතාවම පහත ලින්ක් එකෙන් 

https://lakshmanillangakoon.blogspot.com/2019/11/blog-post_22.html

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...