Showing posts with label society. Show all posts
Showing posts with label society. Show all posts

Sunday, July 5, 2020

සංස්කෘතිය සදාකාලිකද ?

කෘෂිකාර්මික විප්ලවයෙන් පසුව, මානව සමාජය වඩාත් විශාල හා සංකීර්ණ වූ අතර, සමාජ පිළිවෙළ පවත්වාගෙන යන සිතිවිලි සහ අදහස්ද ඒ සමගම  දියුණු  විය. මේ මිත්‍යාවන් හා ප්‍රබන්ධයන් මිනිසුන්ව පුරුදු කර ඇත්තේ උපතේ සිටම යම් නියමිත ආකාරයකින් සිතීමට, යම් ප්‍රමිතීන්ට අනුකූලව හැසිරීමට, යම් යම් ආශාවන් ඇතිකර ගැන්මට සහ ඇතැම් නීති රීති පිළිපැදීමටය. මෙමගින් කෙනෙකුට, මිලියන ගණනක් ආගන්තුකයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට හැකිවන පරිදි, බාහිර බලපෑම් වලින් ඇති කරන පෙලබවීම් වලින්, නිර්මාණය වන කෘතිම සමාජ ජාලය, සංස්කෘතිය ලෙස හැඳින්වේ.

විසිවන සියවස මුල් භාගයේ දී, විද්වතුන් ඉගැන්වූයේ සෑම සංස්කෘතියක්ම සම්පූර්ණ සහ සංවෘත  භාවයෙන් යුතු ඒකකයක් බවය.  එහි වෙනස් නොවන හරයන් තිබීමද  සෑම විටකම හුවා දක්වා ඇත. සෑම මානව කණ්ඩායමකටම තමන්ගේම ලෝක දැක්මක් හා සමාජ ක්‍රියා පිළිවෙලක් තිබුණ අතර, සූර්යයා වටා ගමන් කරන ග්‍රහලෝක මෙන් සුමටව දිවෙන, නෛතික හා දේශපාලන විධිවිධානද එහි  විය. මෙම මතය අනුව ඔවුන්ගේ සංස්කෘතින් ඒවා තුලින්ම වෙනස් නොවීය. එම සංස්කෘතීන් එකම වේගයෙන් එකම දිශාවකට ගමන් කළහ. පිටතින් යෙද වූ බලයකට පමණක් ඒවා වෙනස් කළ හැකි විය. මනෝ විද්‍යාඥයන්, ඉතිහාසඥයන් සහ දේශපාලඥයන් "සමෝවන් සංස්කෘතිය" හෝ "ටස්මේනියානු සංස්කෘතිය" ලෙස හැඳින්වූයේ සමෝවානුවන් සහ තස්මේනියානුවන් අතීතයේ සිටම එකම විශ්වාසයන් සම්මතයන් සහ සාරධර්මයන්, වෙනස් නොවන ලෙස පවත්වාගෙන යන බව උපකල්පනය කරමිනි.

අද වන විට සංස්කෘතිය පිළිබඳ බොහෝ විද්වතුන් නිගමනය කර ඇත්තේ, මෙහි අනෙක් පැත්ත නිවැරදි බවය. සෑම සංස්කෘතියකටම සාමාන්‍ය විශ්වාසයන් සම්මතයන් හා සාරධර්ම ඇත, නමුත් මේවා සැමවිටම  ප්‍රවාහයක පවතී. සංස්කෘතිය එහි පරිසරයේ සිදුවන වෙනස්කම් වලට ප්‍රතිචාර වශයෙන් හෝ අසල්වැසි සංස්කෘති සමග අන්තර් ක්‍රියා කිරීමෙන් වෙනස් විය හැක.

නමුත් සංස්කෘතියන් ඔවුන්ගේ අභ්‍යන්තර සිදුවීම් නිසාද වෙනස්කම් වලට  භාජනය වේ. ස්ථාවර වටපිටාවක ඇති පාරිසරික වශයෙන් සම්පූර්ණයෙන්ම හුදෙකලා සංස්කෘතියකට  වුවද වෙනස් කම් වලක්වා ගත නොහැක. අස්ථිර දේවල් වලින් තොර භෞතික විද්‍යාවේ නීති රීති මෙන් නොව, මිනිසා විසින් සාදන ලද සෑම අනුපිළිවෙළක්ම අභ්‍යන්තර පරස්පරයන්ගෙන්  පිරී ඇත. නමුත් මෙම ප්‍රතිවිරෝධතා සමථයකට පත් කිරීමට උත්සාහ කරන ක්‍රියාවලිය, නොයෙකුත්  වෙනස් කම් වලට හේතු සාධක වෙයි.

උදාහරණයක් වශයෙන්, මාධ්‍යකාලීන යුරෝපයේ වංශක්කාරයන්  ක්‍රිස්තියානි ධර්මය සහ යුධ නීති යන දෙකම විශ්වාස කළහ. සාමාන්‍ය වංශාධිපතියෙකු උදේ පල්ලියට ගොස් පූජකයා, ශුද්ධවූ චරිතයන් පිළිබඳව කරණා විස්තරයන්ට කන් දුන්නේය. "නිෂ්ඵල යන්ගෙන් නිෂ්ඵලය" පූජකයා පැවසීය. සියලු දේම නිෂ්ඵලයි. ධනය, රාගය සහ ගෞරවය භයානක පෙළඹවීම් වේ. ඔබ ඒවට වඩා ඉහළ ක්‍රිස්තුස්ගේ අඩිපාරේ යා යුතුය. උන්වහන්සේ මෙන් නිහතමානී විය යුතුය, ප්‍රචණ්ඩත්වයෙන් වැළකිය යුතුය සහ පහර දීමෙන් වලකින්න. ඔබට අනෙකෙකු එසේ පහර දුන්න හොත් අනෙක් කම්මුලත් හරවන්න.

නිහතමානිව සහ දැඩි කල්පනාවකින් යුතුව ආපසු නිවසට පැමිණෙන වංශාධිපතියා ඔහුගේ හොඳම සේද ඇඳුම ඇඳගෙන, තම ස්වාමියාගේ මාලිගාවේ භෝජන සංග්‍රහයකට යයි. එහිදී වයින්, වතුර මෙන් ගලා ගියේය. ප්‍රධාන පූජකයා Lancelot and Guinevere ගීතය ගායනා කළේය. අමුත්තන්ට සුදුසු නැති විහිලු සහ ලේ වැහැරුණු යුද්ධ පිළිබඳ කතා හුවමාරු කර ගත්හ. "බියගුළු ලෙස  ජීවත්  වනවාට වඩා මියයෑම හොඳය, යමෙකු ඔබගේ ගෞරවය ගැන ප්‍රශ්න කරන්නේ නම් එම අපහාසය අතුගා දැමිය හැක්කේ රුධිරයයෙන් පමණි. ඔබේ සතුරන් ඔබ එනවිට පලා යනවා දැකීමටත්, ඔවුන්ගේ සුකුමාල දියණියන් ඔබේ පාමුල වෙවුලනවා දෑකීමත් වඩා යහපත් නේද?

පරස්පරතාවය කිසිවිටෙක සම්පූර්ණයෙන් විසඳී නැත.
එහෙත් යුරෝපීය වංශාධිපතීන්  පුජ්‍ය පක්ෂය සහ සාමාන්‍ය ජනයා එය විසදන්නට මහන්සි වෙද්දී ඔවුන්ගේ සංස්කෘතිය වෙනස් වුනි. එය විසදා ගැනීමට කරන ලද එක උත්සාහයක් නම් කුරුස යුද්ධයයි. කුරුස යුද්ධයේදී නයිට් වරුන්ට ඔවුන්ගේ හමුදා දක්ෂතාවය සහ ඔවුන්ගේ ආගමික භක්තිය එක් කඩු පහරකින් නිරූපණය කරන්නට හැකි විය. මෙම පරස්පරයන් ටෙම්ප්ලාර්  සහ හොස්පිටේලර්ස් වැනි හමුදාමය සංවිධාන ඇති වන්නට මුලික විය. ඔවුහු ක්‍රිස්තියානි ඉගැන්වීම් වල  සහ සටන්කාමිත්වයේ මුලික අදහස් තවත් තදින් එකතු කරන්නට උත්සාහ කළහ. ආතර් රජුගේ කතා සහ ශුද්ධ ග්රේල් වැනි පුරාතන කලාවේ හා සාහිත්‍යයේ විශාල කොටසකටද එම පරස්පරය ප්‍රධාන හේතුවක් විය. කැමිලොට් චරිතය, ඇත්තෙන්ම හොඳ ක්‍රිස්තියානුවෙකුට එලෙසම හොඳ නයිට් වරයෙකුද  වීමට හැකියාව පෙන්වීමයි. 

යුවාල් නොආ හරාරි - සේපියන්ස් 

පරිවර්තනය - සමන්තා ඉලංගකෝන් 

Tuesday, May 16, 2017

ඇවිද්ද පය - චීන ගමනේ නිරීක්ෂණ සහ නිගමන









මම අපේ ගමනේදී දුටු අපට අමුතු දේවල් දැන් ලැයිස්තු ගත කරන්නට උත්සාහ කරමි.

1. චීනයේ නොයෙකුත් ප්‍රාදේශීය පාලකයන් අතර තමන්ගේ ප්‍රදේශය දියුණු කරගන්නට තියුණු තරඟයක් තිබේ.එලෙසම එය ඉටු කරගන්නට ඔවුන්ට විශාල බලයක්ද දී තිබේ. චීන නගර බලාසිටියදී දියුණු වන්නේ ඒ නිසාය. මෙම තරගයෙන් ජයග්‍රහණය කරන පාලකයන් ක්‍රමයෙන් ඉහල තනතුරු වලට පත්වේ.නගරවල රජවරු නගරාධිපතිවරුය . ඔවුන් ලංකාවේ මෙන් පළාතේ ඇමතිවරුන්ගේ පියන් ලා නොවෙති.

2.නොමිලේ කිසිම දෙයක් චීනයේ දෙන්නේ නැත. අධ්යාපනය ද නොමිලේ ලැබෙන්නේ අවුරුදු 6 ක් පමණි

3. අපගේ වැනි ස්වාධින විලා වර්ගයේ නිවාස මම චීනයේ දැක්කෙම නැත. සියලුම නිවාස පාහේ තට්ටු නිවාස වෙයි.

4. ඔය තරම් ඇවිදින විට නොයෙකුත් ඇමෙරිකාවේ අප්‍රිකානු ඇමෙරිකානුවන් හෝ east coast සංගීත කරුවන් ලෙස ඇදුම් ඇදගෙන සිටි කව්රුත් මගේ ඇස ගැටුනේ නැත , මේ යම් රාජ්‍ය පාලන ක්‍රමයකින් සිදුවන්නේද එසේත් නැත්නම් තරුණයන්ගේ විනය නිසා සිදුවන්නේද යන්න මට ගම්‍ය කරගත හැකි වුයේ නැත.

5.කොමියුනිස්ට් විප්ලවයකින් බිහිවූ රටක් වුවද මැයි පෙළපාලි තිබුනේ නැත. මාවෝ ටෙසුන් ගේ සොහොන අසල හමුදා පෙළපාලියක් පමණක් තිබුණු අතර සියලු ජනයාට ට්‍රිප් යන්නට දීර්ග සති අවසානයක් රජයෙන් ප්‍රකාශ කෙරින. එම සති අන්තයේ ට්‍රිප් මිලියන 150 ක් පමණ සිදුවේ යයි රජය ගණන් බල ඇති බවට රජයේ රුපවාහිනියේ පවසනවා මම දැක්කෙමි.

6. චීන රජය දැන් තමන්ගේ ජනතාවට පරිබෝජනය පුරුදු කිරීමට ලොකු උත්සාහයක යෙදේ. පිට රටට විකිණීම හැර රටේ ජනතාවගේ පරිබෝජනයත් ලොකු ආර්ථිකයකට ඉතා වැදගත් බව ඔවුන් තේරුම්ගෙන ඇතිසේය.

7. එහි ජනයාට තමන්ගේ රටේ සීග්‍ර සංවර්ධනය මහත් ආඩම්බරයට කරුණකි. මෙම ආඩම්බරය ඔවුනට අනෙක් බොහෝ රටවල මෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැනි නිදහසන් නොමැති වීම ගැන ප්‍රශ්න නොකරන්නට ඔවුන් පොළඹවයි. විශ්ව විද්‍යාල ශිෂ්‍යකු වූ අප මාර්ගෝපදේශකයකු ගේ අතේ පච්ච කොට තිබු චීන අකුරු කිහිපයක තේරුම මම ඇසුවෙමි.
                         
                                 වැසි ගෙනෙන්නේ නැගෙනහිරෙන් එන වලාකුළු වලිනි

ඔහු කිවේය.
8. සැම චීන තරුණ තරුනියකගේම සිහිනය ඇමෙරිකාවේ ඉගෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබාගැනීමය.

          I was rejected 10 times from harward - jack Ma , CEO alibaba


Jack Ma , net worth 31.1 billion $

9.මම ෂැන්හයි හි මට මතක හැටියට කෞතුකාගාරය ඉදිරිපිට city hall එකක් දැක්කෙමි, එය සදා තිබුනේද ඇමෙරිකාවේ තරමක නගරයක city hall එකක් ලෙසටමය. ඇමෙරිකාවේ මෙම ශාලාවල් දේශපාලකයන් සහ පුරවැසියන් අතර සංවාද සදහා පාවිච්චි වෙයි. මම මේ පිලිබදව අපගේ තරුණ මර්ගොපදෙෂකයාගෙන් ඇසුවෙමි. ඔහු කිවේ ඒවා පෙනුමට පමණක් සදා ඇති බවය.මෙය හරියටම ලොව වැඩියෙන්ම සංචාරකයන් පැමිණෙන කෞතුකාගාරයක් ඉදිරිපිට ගොඩ නගා තිබීම සම්පතනයක් විය නොහැක.

10. මම චීනයට යාමට පෙර සිතා සිටියේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය නොමැති කම චීනයේ සමාජය තුල කකිරෙමින් තිබෙන බවය.ඇත්තෙන්ම එහෙම එකක් පෙනෙන්නටනම් නැත. රජය සීග්‍ර දියුණුව සහ එම දියුණුවේ ආඩම්බරය වැනි කරුණු වලින් එම ඕනෑකම ඉතා හොදින් කළමනාකරණය කරයි.

to be continued

Thursday, April 20, 2017

මිතොටමුල්ල කුනූ කන්දට විසදුමක් ඇත්තේම නැද්ද





මිතොටමුල්ල ඛේදවාචකය ලංකාවට අමුතු දෙයක් නොවේ. අපි ඛේදවාචකයෙන් ඛේදවාචකයට ජීවිතය ගෙවන ජාතියක් වෙමු. දැන් මාස කිහිපයකට පෙර කලුතර බෝට්ටු ඛේදවාචකය මුලු ජාතියම ශෝකයෙන් නැහැවීය. එහෙත් එම ඛේදවාචකය කාගේ වරදකින් සිදුවීද, ඔවුන්ට කුමන දඩුවම් දුන්නේද, එවැනි ඛේදවාචක අනාගතයේදී වලක්වා ගැනිමට කුමන පියවර ගත්තේද, අපි නොදනිමු.බොහෝ විට කිසිදු පියවරක් ගන්නට නැත. මේ ඛේදවාචකය කලමනාකරණය කරන්නට සුවිශේෂී වු අමාත්‍යංශයක් තිබෙන එකම රටේය.
ඇත්තෙන්ම දැන් පේන විදිහට ආපදා කලමනාකරණ අමාත්‍යංශය දැන් කැබිනට් ප්‍රොටෝකෝල් එකේ ඉතා ඉහලට පැමිණ ඇති බවට කිසිම සැකයක් නැත්තේය. සමහර විට එය මුදල් අමාත්‍යංශයට පමණක් දෙවැනි වී දෙවන ස්ථානයේ සිටින්නට පුලුවන.
ඛේදවාචක කලමනාකරණය මදකට පසෙකින් තබා මේ කුනු ප්‍රශ්නයට කුමන විසදුමක්   තිබේදයි බලමු.
කුනු කලමනාකරනය කිරීමට ඇත්තේ ක්‍රම 5 කි.
1.කුනු කොහාට හෝ ගෙනවිත් ගොඩ කිරීම - බොහෝ දියුනුවන  රටවල කෙරෙන්නේ මෙයයි.

2.ලෑන්ඩ් ෆිල් එකක් සාදා එයට කුනු දැමීම- ඇමෙරිකාව වැනි රටවල කෙරෙන්නේ මෙයයි- මේවා භූමියෙ ජලය අපිරිසිදු නොවන හා එමෙන්ම අසල්වැසියන්ට අපහසුවක් නොවන අන්දමින් සදා ඇති අතර කුනු මේවා ඇතුලට දමීමට ටොන් එකකට රුපියල් 6000 පමන මුදලක් අය කරනු ලැබේ.

3.කුනු විශාල දාහකයක් තුල පුලුස්සා දැම්ම.

4.කුනු පුලුස්සා එමගින් තාපය, විදුලිය, ලබා ගැනීම, - මෙම ක්‍රමය සුවිඩනය ඇතුලු යුරෝපා රටවල බොහෝ ප්‍රචලිත වුවද ඇමරිකාවෙ මෙමගින් සිදුවන පරිසර හානිය නිසා විවාදයක් පවතී. සුවිඩනයේ දැන් කුනු ඉවර වී එංගලන්තයෙන් කුනු අපනයනය කිරීමට කටයුතු සම්පාදනය කෙරේ.

5.කුනු ප්‍රතිචක්‍රිකරනය කිරීම- මෙම ක්‍රමය ලංකාවෙ බොහෝතැන්වල උත්සාහ කලද සෑම ව්‍යපෘතියක්ම පාහේ අසාර්තක වී ඇති බව පෙනේ.


මේවායින් නවතම හා වඩාත්ම තාක්ශනික ක්‍රමය වනුයේ කුනු පුලුස්සාවිදුලිය නිපදවීමය. එහෙත් ප්‍රශ්නය මූලික මුදල් යෙදවීමය. සාමන්‍යයෙන් එවැනි ජනකාගාරයකට රුපියල් මිලියන 6000 ක් පමන අවශ්‍යය. බොහෝ නගර මේවා පිහිටුවීමට ශාක්‍යකතා පරීක්ෂන කර අත්හැර දමා ඇත.ඇමෙරිකාවෙ ගුවන් හමුදාව මිලියන 7 ක් වියදම් කර ප්ලාස්මා ජනක ගාරයක් සාදා අසාර්තක වූ නිසා ටෙන්ඩර් කැඳවා ඩොලර් 25 කට විකුනා දමන ලද්දේය. කැනඩාවෙ එඩ්මොන්ටන් හි 2010 අවසන් කිරීමට තිබූ මෙවැනි ජනකාගාරයක් තවමත් මෙහෙයුම් තත්වයට ගෙන ඒමට බැරිව ලතවෙයි.
මෙවන් තාක්ෂනයෙන් සහා කලමනාකරන හැකියාවන්ගෙන් ඉතා ඉහල රටවලට තවමත් මේ තරම් ලොකුවට වරදින්නේ නම් නොරොච්චෝලේ මාස තුනක් එක දිගට දුවා ගන්නට බැරි අප ගැන කියනුම කවරේද?

ඒ නිස අප අපගේ හැකියාවනට හා තාක්ශනයට ගැලපෙන පරිදි මෙයට විසඳුමක් සොයාගතයුතුය. මේ විසඳුමට නොරච්චෝලෙ හා මීතොටමුල්ල එකතුකල යුතුය.

මීතොටමුල්ලලේ ජනන දාරිතාව MW 300 කි. MW 300 ක් දවසක් හදන්නට MWH 300 X24 ක් අවශ්‍යය. ඒ සඳහා ගල් අඟුරු  ටොන් 100ක් පමන අවශ්‍යය. මේ ශක්තිය ප්‍රමානයම හදන්නට කුනු ටොන් 700ක් පමන අවශ්‍යය. හරියටම කොලඹ නිපැදවන කුනු ප්‍රමානයටම සමාන ප්‍රමානයකි.

ගල් අඟුරු බලාගාරයක විදුලිය නිපදවන්නෙ ජලය රත්කර එම හුමාලයෙන් ටර්බයින් කරකැවීමෙනි. මෙම හුමාලය සෑදීම කුනු පිලිස්සීමෙනුත සිදුකල හැක. ස්වීඩනය වැනි රටවල විදුලිය නිපදවන්නේ මෙලෙසය.
එසේනම් අප නොරච්චෝලෙ හුමාලය නිපදවීමට කොලඹ කුනු ටොන් 700 පාවිච්චි නොකරන්නෙ ඇයි? අපට වෙනස් කරගතයුත්තෙ හුමාලය උනුකරන කොටස පමනී.
ඒ සඳහා අප විශ්ව විද්‍යාල වල සහය අපට ලභාගත හැක.

ගල්අඟුරු ආනයනය කරන්නට ඩොලර් යන්නේත් නැත . කුනු ප්‍රශ්නයත් අවසානය.
අකමැති වුවහොත් ඒ ගල්අඟුරු බ්‍රෝකර් ලා සහ ගල්අඟුරු ආනයනයෙන් ප්‍රයෝජන ලබන්නන් ය .


Tuesday, April 18, 2017

තාක්ෂණයෙන් අනාගතය දැකීම; 2030 වනවිට ලෝකය





අපේ ජාතිය පටන් ගැන්මේ සිටම පාහේ අනාගත ව්‍යක්ත මතම රැදුණු ඉතිහාසයක් ඇත්තේය. විශේෂයෙන්ම ඊලග රජු තෝරා ගැනීමේදී බොහෝ විට අනාගත ව්‍යක්ත කියන්නන්ට බොහෝ බලයක් තිබුනු බව පෙනේ.

සමහර අනාවැකි නිසා අනාගතය වෙනස් වූ සැයකුත් පෙනේ. ගෝඨාභය ඇතුලු රාජ නිලධාරීන් තිදනා මහියංගනයේ සිට පයින් යන විට අන්ධ අනාවැකි කියන්නා ඔවුන් තිදෙන යම් දිනෙක රජ වේයැයි කිවූ නිසාම ඔවුන් රජ වූයේදැයි අප නොදනිමු. කපටි ගෝඨාභය මිතුරන්ට හොරෙන් ආපසු ඇවිත් අනාවැකි කියන්නා ගෙන් කාගේ පරම්පරාව පවතින්නේදැයි ඇසූ විට ලැබුනු පිළිතුර වෙනස් වූයේ නම් අපට සිරිසඝබෝ කතාවත් නැති වන්නට ඉඩ තිබුණි.

එතරම් පැරණි කාලයේ නොව වර්තමානයේ අනාවැකි කියන්නන් නිසා රාජ්‍ය බලය අහිමි කර ගත්තෝ නැත්තේ නොවේ.

බටහිර සංස්කෘතියේද මෙවැනි පුරුදු සහ විශ්වාස ඉතා ඈත අතීතයේ තිබුනද (මැක්බත්) අපට පෙර ඒවා ඉවත් කර ගන්නට ඔවුනට පුලුවන් විය. එහෙත් මෑතක සිට වෙනත් භූමියෙහි ජීවත්වන අනාගතය කියන්නන් වර්ගයක් එහි ඇති වී තිබේ. නමුත් ඔවුන් පෙර අනාවැකි කරුවන්ට වඩා විද්‍යාත්මකය. අනෙක ඔවුන් අනාගත ව්‍යාක්ත කියන්නේ ක්‍රමවත්ව දැන් තිබෙන තාක්ෂණය කුමන ආකාරයට අප ජීවිත සහ අප ජීවත්වන ආකාරය වෙනස් කරන්නට පුලුන් කෙසේදැයි පරීක්ෂා කර බලාය. ඒවා පුද්ගලික අනාවැකි නොව මනුෂ්‍ය සංහතියට ඉදිරියට ඇති විය හැකි වෙනස්කම් පරීක්ෂා කර බැලීමයි.  

මෙම අනාගතය කියන්නන් අතර ප්‍රධාන තැනක් ගන්නේ ඇමරිකාවේ ගූගල් ආයතනයේ ඉංජිනේරු අධ්‍යක්ෂකවරයා සහ අනාගතය කියන්නා වන රේමන් කර්ස්වීල්ය. ඔහු කතුවරයෙක්, පරිඝනක ඉංජිනේරුවෙක්, නව නිපයුම් කරුවෙක් සහ අනාගතය කියන්නෙකු වෙයි. බොහෝ නව නිපයුම් ත්‍යාග දිනා ඇති අතර, ඔහු ලියා ඇති පොත් හතෙන් පහක්ම නිව්යෝක් ටයිම්ස් වැඩියෙන් විකුනුනු පොත් අතරට ගොස් ඇත. ඔහුගේ එක් පොතක් වන The age of spiritual machines දැනටමත් භාෂා නවයකට පරිවර්තනය වී ඇත.

ඔහුගේ මා කැමතිම කියමන,

“දෙවියන් ඉන්නේද? යනුවෙන් කෙනෙකු මගෙන් ඇසුවොත් මගේ පිළිතුර 'තවමත් නැත' යන්නයි.“

පසුගිය කාලයේ මෙවැනි වෘතිය  අනාගතය කියන්නන් නොසිටි අතර එම කටයුත්ත තරමක් දුරට හෝ  කෙරුනේ විද්‍යා ප්‍රබන්ද කතුවරුන් විසිනි. මෙයිනුත් බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රී ලංකාවේ ජීවත්වූ ආතර් සි ක්ලාක් මහතා කැපී පෙනුනී. එහෙත් එම පරම්පරාවේ අනාගතය කියන්නන් ගේ අනාවැකි බොහොමයක් එතරම් නිවැරදි නොවුනේ බොහෝ විට ඔවුනට අන්තර් ජාලය පිලිබදව සිතාගන්නට නොහැකි වීම නිසා යයි මට සිතේ. අන්තර් ජාලය පිලිබදව නොදැන එතනින් එහාට යථාර්තික අනාවැකි කියන්නට නුපුළුවන් වනුයේ අන්තර් ජාලය අපේ තාක්ෂණයේ එතරම්ම වැදගත් සංධිස්ථානයක් වී ඇති නිසාය.


කර්ස්වීල් ගේ අනාවැකි ඇත්තෙන්ම වර්තමානයේ තිබෙන තාක්ෂණය කොයි දෙසට දියුණු  විය හැකි දැයි අනුමාන කර විද්‍යාව පදනම් කරගෙන කරන අනාවැකිය. නැතිනම ඔහුව ගූගල් සමාගමේ අනාගත අනාවැකි කියන්න ලෙසට වැටුපක් දී තබා නොගනු  ඇත. ඔහු විසින් අප ජීවත්වන  ලෝකය තාක්ෂණය නිසා වෙනස්වන ආකාරය පිලිබදව කර ඇති අනාවැකි මනස්කාන්තය, එමෙන්ම සිදුවිය හැකිය.

1. 2030 දී නැනොබෝට්ස් තාක්ෂනය අපේ මොලය කෙලින්ම දැනුම් වලාකුළු වලට සම්බන්ද කරනු ඇත. එවිට අපට ඒ අභෞතික අතත්‍ය  ලොවෙහි matrix ආකාරයට ජිවත් වන්නට පුළුවන් වෙයි. නැනොබෝට්ස් යනු meter , 1/1000000000 ට අඩු විශාලත්වයෙන්  නිපදවන යන්ත්‍රයි. 

2. එම නනොබොට්ස්ම අපගේ ස්වභාවික ප්‍රතිශක්ති අසිමිත ලෙස වැඩි කර අපට ඕනෑම ලෙඩක් , පිලික පවා , මනුෂ්‍ය සංහතියෙන් තුරන් කරන්නට හැකියාව ලබා දෙයි. ආයුෂ නොසිතු ලෙස වැඩි වෙයි.

3. එම නනොබොට්ස් අපගේ තර්ක  ඥාන ශක්තිය වැඩි කරනවා පමණක් නොව භාවාත්මක  ඥාණ ශක්තියද වැඩි කරයි. මෙය සිදුවනු ඇත්තේ අපට ඕනෑම දෙයක් සැනෙකින් මොහොතකින් දැනුම වලාකුලෙන් ලබා ගත හැකි නිසාය.

4.අපට ඕනෑම දෙයක 3D කොපියක්;  සද ගැනීමට පුළුවන් වනු ඇත. දැනටමත්  නිවාස  සහ ඉලඇට  කුඩු වැනි දෑ හි  3D කොපි සැදීම ප්‍රායෝගිකය. 

5.2030 දී අපට මිය ගිය කෙනෙකුගේ  අභෞතික අතත්‍ය ප්‍රතිරූපයක් සාදා  ගැනීමට පුළුවන් වනු ඇත. නනොබොට්ස් යන්ත්‍රයක් ඔහුගේ ජිවත්වන පවුල් සාමාජිකයන්  හා මිතුරන්ගේ  ගේ මොළ තුලට යවා ඔහු පිළිබද මතකයන් උකහා ගනු ඇත. එම මතකයන් සහ මිය ගිය අයගේ DNA සාම්පල එකතුකර ඉතාමත් පැහැදිලි අතත්‍ය ප්‍රතිරූපයක් ගොඩනගා ගත හැකි වනු ඇත.

6. 2045 දී සත්ව  පරිනාමයේ වේගය කෘතීම බුද්ධිය මගින් පරදවනු ඇත. එම අවුරුද්දේ කෘතීම බුද්ධිය මිනිස් බුද්දිය මෙන් බිලියන ගුණයකින් වැඩි වනු ඇත. අප ජිවිතයේ තේරුම,ව්‍යාපාර කරන ආකාරය ,ජිවිත කාලය ,මරණය යනාදිය පිලිබදව අපගේ දැක්ම සම්පුර්ණයෙන්ම වෙනස් වනු ඇත .

7. එකල වනවිට අපට අපගේ විඥ්ඥානය/ සිහිය අපට පරිගණකයකට අප්ලෝඩ් කිරීමට පුළුවන් වනු ඇත. මෙතැනදී අපට මරණයෙන් පසුවද ජිවත් වීමට පුළුවන් වනු ඇත.

8.අපට අතත්‍ය (virtual ) ශරීර කොටස් සවි කර ගැනීමට හැකිවනු ඇත. එය අයිති කරුට භෞතික ලෙස දැනෙන අතර අවැසි ලෙස සැලසුම් කර ගත හැකි වනු ඇත 

කර්ස්වීල් කියන්නේ ඔහුගේ මේ සියල්ල ඔහු කියන්නේ දැන් තිබෙන තාක්ෂනය පරික්ශාකර තාක්ෂනය දියුණු වන පැත්ත හා වේගය දෙස බල බවය. මෙය වරදිනවානම් වරදින්නට පුළුවන් තවත් මෙහි වේගය වැඩි වන ආකාරයටය. මක්නිසාද තාක්ෂනයට  නොසිතු ලෙස අලුත් දෑ එකතු විය හැකි නිසාය.





Friday, April 14, 2017

අළු යට ගිනි; විප්ලව ඇතිවන්නට සාර භූමි මේවාය.







1912 ඉතාලි ජාතික සංඛ්‍යානය සහ සමාජ විද්‍යාව පිළිබඳ විශාරදයෙකු වූ කොරාඩෝ ගිනි, ජාතියක සාමාජිකයන් අතරේ සම්පත් බෙදී යාමේදී, එහි ඇති අසමාන තාවයන් සහ අසමතුලුත තාවයන් පිළිබඳව නිබන්ධනයක් ඉදිරිපත් කලේය.

එම ඉදිරිපත් කිරීමෙන් ඔහුගේ නම ඉතිහාසයට එක්විය. දැන් ලෝකයේ රටවල් වල ආර්ථිකයන්ගේ ලක්ෂණ සන්සන්දනය කරද්දී මෙම ඔහුගේ නමින් ඇති වූ ගිනි සංගුණකය ප්‍රධාන මැනුම් කෝදුවක් වෙයි.

ඔහු එයින් පෙන්වා දුන්නේ සම්පත් බෙදී යාමේ සංඛ්‍යාත ව්‍යාප්තිය මැන ගතහැකි ආකාරයයි. සම්පත් බෙදී යාම සම්පූර්ණ සමානාත්වයෙන් තිබේ නම් ඔහුගේ එම ගිනි සංගුණකය 0 ක් විය යුතුය. ඒ කියන්නේ සංඛ්‍යාන ව්‍යාප්තියක් ඇත්තේම නැති බවයි. සියලු දෙන එක හා සමානව ජාතියේ ආදායම පරිභෝජනය කරති.

අනෙක් අතට ගිනි සංගුණකය එකක් වුවහොත්, එසේත් නැත්නම් සියයට සියයක් වුවහොත් සම්පත් බෙදී යාම සම්පූර්ණයෙන් අසමාන වෙයි. එසේ ගිනි සංගුණකය එකක් වුවහොත් මුලු ජාතියේම සම්පත් පරිභෝජනය කරන්නේ එක් පුද්ගලයෙකු විය යුතුය. සම්පූර්ණයෙන් සමාන ලෙස බෙදී යාමත්, එක් පුද්ගලයෙකු සියල්ල පරිභෝජනය කිරීමත්, ප්‍රායෝගික නොවන අන්ත දෙකක් නිසා ගිනි සංගුණකය නොයෙකුත් රටවල වෙනස් අගයන් ගනී.

ගිනි සංගුණකය රටක ගණනය කරද්දී එය ආකාර දෙකකින් කල හැක. ඒ පුද්ගලයන්ගේ වෙළඳපොල ආදායම සහ වියදම් කල හැකි ආදායම ලෙසටයි. වෙළඳපොල ආදායම ඇත්තෙන්ම බඳු අය කිරීමට පෙර ආදායමයි. පුද්ගලයෙකුගේ වියදම් කල හැකි ආදායම යනු බඳු අය කිරීමෙන් හා නොයෙකුත් රාජ්‍ය සහනාධාර වියදම් වලට මුදල් අයකර ගැනීමෙන් පසු කෙනෙකු අත ඉතිරිවන මුදලයි.

ඓතිහාසිකව ලෝකයේ ගිනි සංගුණකය ක්‍රමයෙන් වැඩි වී තිබේ. එය සමහර විට කර්මාන්ත යුගය ඇති වීමෙන් පසුව විය යුතුය. 1820 දී 0.43 ක්ව තිබූ ගිනි සංගුණකය ක්‍රමයෙන් වැඩි වී 1988 වන විට 0.80 ක් විය. එයින් කියවෙන්නේ ඇති නැති පරතරය ඒ කාලය තුල ඉතා විශාල ලෙස වැඩි වී ඇති බවයි. එහෙත් ඉන්පසු මේ දක්වා ගිනි සංගුණකය ක්‍රමයෙන් අඩු වී තිබේ. එම අගය දැන් 0.65 ක් වී තිබේ. ලෝකය මේ සහශ්‍රයේ ආර්ථික අතින් සාධාරණ වෙන්නට පටන් ගෙන තිබේ. ආදායම බෙදීයාම ක්‍රමයෙන් සමබර වන පැත්තට ගමන් කරමින් තිබේ. 1988 දී  0.80 ක් වූ එම අගය 2013 දී 0.65 ක් විය. ඒ කියන්නේ විශාල අඩු වීමකි. 

මෙම වර්ෂය ඉතාමත් කිට්ටු වන තවත් ඓතිහාසික වර්ෂයක් වන්නේ 1989 වර්ෂයයි. එම වර්ෂය ලෝකයට වැදගත් වන්නේ කොමියුනිස්ට් වාදය රාජ්‍ය පාලනයේ ක්‍රමවේදයක් ලෙස යොදා ගත් පාලන ක්‍රමයේ අවසාන ඇණය වූ බර්ලින් තාප්පය ජනතාව විසින් පෙරලා දැමූ අවුරුද්ද වීමයි. 

මෙම සිද්ධි දෙක මෙතරම් කිට්ටුවෙන් සිදුවීම පුදුම සහගතය. මක්නිසාද කෙනෙකු කොමියුනිස්ට් ක්‍රමයෙන් බලාපොරොත්තු වන්නේ ආදායම් සමාන ලෙස බෙදී යාමයි එහෙත් මෙම සංඛ්‍යාන වලින් කියවෙන්නේ ප්‍රායෝගිකව එහි විරුද්ධ පැත්තයි. එනමුත් ගෝලීය කරණය ඇත්තෙන්ම කොමියුනිස්ට් වාදයට වඩා හොද ආදායම් සැමට සමාන ලෙස බෙදන ක්‍රමවේදයක් බව කාලය පෙන්වා දී තිබේ. 

මෙම ගිනි සංගුණකය දැන් නොයෙකුත් අනික් සමාජ ක්‍රියාවලියන්ටද යොදා ගනු ලැබේ. උදාහරණයක් වශයෙන් අධ්‍යාපනයටත් ගිනි සංගුණකය යොදා ගනී. මෙම ගණනයන්ට අනුව ලෝකයේ අධ්‍යාපන ගිනි සංගුණකය අඩුම රට ඇමරිකාවය (0.14). වැඩිම රට අප්‍රිකාවේ මාලිය. එහි එය 0.92 කි. අපේ රටේ මෙය ගණනය කලහොත් එය කුමන අගයක් ගනීදැයි හිතන්නටත් අමාරුය. නගරයේ ජනප්‍රිය පාසැල් හා ඈත දුෂ්කර ගම්වල සහ වතු ජනයාගේ පාසැල් වල පහසුකම් වෙනස ගැන කල්පනා කරන විට එය මාලි රාජ්‍යයේ අගයට කිට්ටුවන බවට නම් කිසිම සැකයන් නැත්තේය.   

දැන් අපි නොයෙකුත් රටවල් ගිනි සංගුණකයෙන් ගණනය වී ඇත්තේ කෙසේදැයි බලමු. ගිනි සංගුණකය වැඩියෙන්ම ඇත්තේ අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ රටවල් වලය. එයිනුත් මුලු තැන ගන්නේ දකුණු අප්‍රිකාවයි. එහි ගිනි සංගුණකය 63.38 කි. ශ්‍රී ලංකාව 38.58 ක අගයක් ගෙන 76 වන ස්ථානයේ පසුවෙයි. ඒ කියන්නේ අපේ ආදායම් බෙදීම රටවල් අතර හරි මැදට ඉතා ආසන්නවය. ගිනි සංගුණකය අගය අඩුවෙන්ම තියෙන්නේ අසර්බයිජානයේය. එහි එය 16. 64 ක් වෙයි.

 අඩු අගයන් තිබෙන රටවල් බොහොමයක් යුරෝපීය රාජ්‍යයන් වෙයි. අප කලාපයේ අපේ ගිනි සංගුණකය අපට ඉතාමත් වැඩි අගයක් ඇත්තේය. ඒ කෙසේද යත් ඉන්දියාව 33.9 ක් ගෙන 104 වන ස්ථානයද, නේපාලය 32.75 ක් ගෙන 116 වන ස්ථානයද, බංගලාදේශය 31.98 ක් ගෙන 121 වන ස්ථානයේද, පකිස්ථානය 29.59 ක් ගෙන 135 වන ස්ථානයද, පසුවෙයි. මේ අනුව කලාපයේ ඉතාමත් නරක ලෙසට අසමානාත්මක ලෙසට ජනතාව අතර ආදායම බෙදී යන රට ලංකාව සහ භූතානයයි. එම වෙනසද ඉතා විශාල වෙයි. 

මෙලෙස අඩු වැඩි ලෙස සමාන ආකාරයේ සම්පත් තිබෙන බොහෝ දුරට සමාන ඉතිහාසයන් ඇති රටවල් සමූහයකින් අප මෙලෙස නරක පැත්තට වෙනස් වූයේ කෙසේද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි. 

ඒ කියන්නේ කලාපයේ භූතානය හැරෙන්නට සමාජවාදය අඩුම රට ලංකාව බව නේද? වැඩියෙන්ම සාක්ෂරතාවය තිබෙන රටට මේ සිදුවී ඇත්තේ කුමක්ද?      

Monday, April 10, 2017

අපේ මධ්‍යසාර බීමේ ඉතිහාසය සහ වර්ථමානය.





ඊයේ මම කොළඹ සිට එන ගමන් ගුවන් විදුලියට සවන් දීගෙන පැමිණියෙමි. දැන් ගුවන් විදුලියේ ප්‍රචාරනය වන වෙළෙඳ දැන්වීම් සියල්ලම පාහේ අළුත් අවුරුද්ද සම්බන්ධ ඒවාය. ඒවායිනුත් 95% ටත් වඩා අවුරුද්දට කන්ට යෝජනා කරන කෑම වර්ගය. ඉතිරි 5% ඇඳුම් පැලඳුම් ලාභයට දෙන කඩවල් පිළිබඳවය. මෙයට අමතරව මෙවර කුඩ නිපදවන ආයතනයකින් නිර්මාණශීලී දැන්වීම් වැලක් අසන්නට ලැබුණි. 

හදිසියේ වත් ඇල්කහෝල් බීම දැන්වීම් ප්‍රචාරණය තහනම නොතිබුනේ නම් මෙිවායින් කුමන ප්‍රතිශතයක් මෙන්ඩිස්, රොක්ලන්ඩ්, ස්කාගාර, වැනි ආයතන වලින් සිදුකරනු ඇද්ද? මට සිතුණි.

මම පෙරේදා හවස අතුරුගිරියේ ආර්පිකෝ සුපිරි වෙළෙඳ සැලට ගියෙමි. එහි ගණුදෙනු කාරයන් පිරී සිටියේ ඇතුල් වන තැනම ඇති බීම කවුන්ටරය අසලය. බෝතල් 5/6 මලු වලට දමා ගන්නා ගණුදෙනු කරුවන් ගෙන් කවුන්ටරය පිරි ඉතිරී යනු දැකීමට පුලුවන් විය. අනෙක් කොටසේ සිටියේ ඉතා සුලු පිරිසකි. 

අපේ මේ බොන සංස්කෘතිය සහ කලාව අපට කාගෙන් පුරුදු වූයේ දැයි හරියටම කියන්නට බැරි වුනත් අපි බොන විදිහේ දකුණු ඉන්දියවේ බොන විදිහේත් බොහෝ සමානකම් තිබේ. නමුත් අරක්කු බීම නම් අපට පුරුදු කර ඇත්තේ 16 වන ශතවර්ෂයේ සිට ලංකාවට පැමිණි යුරෝපීයයන් විසින් බව නම් පැහැදිලිය. 

එයට හොඳම සාක්ෂිය ලිඛිතව තිබේ. ඒ 17 වන ශතවර්ෂයේ කන්ද උඩරට සිරකරුවෙකු ලෙස ජීවත් වූ රොබට් නොක්ස්ගේ පොතයි. 

එකල රජකල දෙවනි රාජසිංහ රජු (1608-1687) දක්ෂ රණශූරයෙකු වූවා පමණක් නොව රණශූරයන් සාමාන්‍යයෙන් දක්වන අමුතු හා අසාමාන්‍ය ගතිගුන පෙන්වූයේය. ඔහුගේ මෙම අමුතු ගතිගුන වලින් එක් වර්ණවත් ගතිගුනයක් වූයේ අමුතු සතුන් ඇති කිරීමයි. ඔහුට සුද්දන්ද අමුතු සතුන් වූ අතර, කන්ද උඩරට රාජධානියේ එකල නිදහසේ ජීවත්වන එහෙත් සිරකරුවන් වූ යුරෝපීයයන් සිය ගණනක් ජීවත්වූහ. නොයෙකුත් ගම් දනව් අතර බලා ගැනීම සදහා බෙදා දී තිබුණු මොවුන් බොහෝ දෙනෙකුට ආහාර ලබාදීම ඔහු සිටින ගමේ ගැමියන්ගේ වගකීමක් වුවද, අමතර ගතමනාවක් සොයා ගැනීම සදහා මොවුන් කලේ අරක්කු පෙරීමයි. 

ඇත්තෙන්ම මෙම තත්වය මතුවීමට පෙර මත්පැන් බීම කඳුරට ප්‍රදේශවල නොතිබුනු තරම් බව රොබට් නොක්ස්ගේ පහත පාඨයෙන් පෙනේ. 

“ඔවුන්ගේ පොදු බීම ජලය පමණකි; නමුත් ඔවුන් අරක්කු බොන්නේ නම්, බොන්නේ කෑමට පෙරය. ඒ මත්පැන්වලින් හොඳටම වෙරි දැනෙන්නටය.“ 

අපේ පැරණි ඉතිහාසයේ මහා වංශයේ සඳහන් පරිදි අප ඒ තරම් බීමට ඇබ්බැහි වී සිටියේ නැති බව පෙනේ. දුටුගැමුණු රජ කාලයේ කණ්ඩුලට රා පෙවූ පුවත හා මේඝවර්ණාභය සෙනෙවියා මහසෙන් රජු වෙත කෑම සහ බීම රැගෙන ගිය බව හැරෙන්නට මහා වංශයේ මත්පැන් බීම ගැන එතරම් සදහන් වන්නේ නැත. 

නමුත් වර්තමානයේ මත්පැන් බීම අප සංස්කෘතියේ ප්‍රධාන කොටසක් බවට පත්ව තිබේ. අද උදේ අප නිවසට පොල් කඩන්නට පැමිණි දෙදෙනෙකු ඔවුන් සමග පැමිණි අනෙකා ගැන විපරම් කරන දැක මා ඇසූ පසු ඔවුන් කීවේ අනෙකා බීමත්ව සිටින බවය. මත්පැන් බී ගස් නැඟීම අනතුරුදායක නොවේදැයි මා ඇසූ විට ඔවුන් කීවේ ඔහුට ගස් නැඟීමට නම් මත්පැන් පානය කලයුතු බවත්, එසේ නොමැති නම් ඔවුන්ගේ අත්පා වෙව්ලන බවත්ය. 

නොයෙකුත් විවාහ මංගල්‍ය වැනි උත්සව වල මධ්‍යසාර නොමැතිව පැවැත්වීම දැන් හිතන්නටත් නොහැකිය. නෑයෙකු හෝ මිතුරෙකු නිවසට පැමිණිය හොත් ඩ්‍රින්ක් එකක් නොදී ආපසු යැවීම මධ්‍යම පන්තියේ නිවසක කලාතුරකින් සිදුවන්නකි. කාර්යාල වල, ආදි ශිෂ්‍ය යනාදී එකතුවීම් වල මූලික පරමාර්ථයක් වන්නේ මත්පැන්ය. විනෝද ගමන් වල මෙය නැතිවම බැරිය.  

මෙලෙස සමාජ ගතව ඇති පුරුද්දක් නවතන්නට ගත හැකි ක්‍රියා මාර්ග කිහිපයක් තිබේ. 

  • මධ්‍යසාර සම්පූර්ණයෙන්ම තහනම් කිරීම. 
  • මධ්‍යසාරවල මිළ මිලදී ගැනීම අපහසු වන පරිදි වැඩි කිරීම. 
  • තරුණයන්ට මධ්‍යසාර හැර වෙනත් සතුටු ගෙන දෙන දෑ සදහා කාලය ගත කිරිමට අවස්ථා ඇති කිරීම. 


මෙහි පළමු වැන්න 1920 ගනන්වල ඇමරිකාවේ උත්සාහ කෙරිණ. එයින් වූයේ මධ්‍යසාර වෙළඳාම සංවිධානාත්මක පාතාල කල්ලි අතට පත්වීමයි. මෙයින් මධ්‍යසාර ප්‍රශ්නය පමණක් නොව වෙනත් බොහෝ නීතිය කඩා වැටීමේ ප්‍රශ්න රට පුරා ව්‍යාප්ත විය. ඇල් කැපීනෝ (scarface) වැනි පාතාල නායකයින් බිහි වන්නේ මේ කාලයේය. 

ගණන් වැඩි කිරිමෙන් සිදු වන දෑ පිළිබඳව හොඳ උදාහරණයක් මෙලෙසය. මා හොඳින් දන්නා හදුනන බීමහල් අයිතිකරුවෙකු සමග මම කතා කරමින් සිටියෙමි. ඔහුගෙන් ව්‍යාපාර ගැන ඇසූ විට ඔහු කියා සිටියේ ව්‍යාපාර බොහෝ අඩු වී ඇති බවත් ගණන් වැඩි වීමට පෙර බියර් තුනක් පානය කල පාරිභෝගිකයෙකු දැන් බොන්නේ එක බියර් බෝතලයක් පමණක් බවය.         

“එවිට ඔවුන් දැන් ඒ ප්‍රමාණයෙන් තෘප්තියට පත්වෙනවාද?“ මම ඇසුවෙමි. 

“නැහැ, දැන් ඔවුන් ඒ ඉතිරි ටිකට කේරල ගංජා බොනවා“ අයිතිකරු පිලිතුරු දුන්නේය. 

මෙතරම් කේරළ ගංජා ගැන අපට ප්‍රවෘත්ති වල දකින්නට ලැබෙන්නේ මේ වෙළෙඳපොල ඉල්ලීම නිසාම විය යුතුය.   

මෙලෙස මධ්‍යසාර වලින් ජනතාව ඈත් කරන්නට අවශ්‍ය නම් ඒ සදහා කල යුත්තේ ක්‍රීඩාවන්ට කියවීමට වැනි මිතුරන් සමග කාලය ගතකල හැකි, එසේම බීමත් කමත් සමග එකට යා නොහැකි අවස්ථාවන් විශේෂයෙන්ම තරුණයන් සහ ළමුන් සදහා ගම්වල ඇති කිරීමයි. සෑම ගමකම ලොකු මුදලක් වියදම් නොවන මේස පන්දු. බැඩ්මිංටන්, දාන්, වැනි ක්‍රීඩාවන්ද, කුඩා පුස්තකාලයක් ඇති කරන්නේ නම් බොහෝ තරුණයන් මිතුරු ආශ්‍රය සදහා මධයසාර වෙත යාම වලක්වා ගත හැක්කේය. 

එසේ නොමැතිව රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට මධ්‍යසාර මිළ ඉහල දැමීම, මධ්‍යසාර වලට වඩා ජාතියට වින කරන මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පරම්පරාවක්  ඇති කරන්නට තුඩු දීමට පුලුවන.    

සත්ව ලෝකය

 ගැහැනු මේ ෆ්ලයි මැස්සා ගැන පමණක් පොඩි පැහැදිලි කිරීමක් ලියා මේ වටිනා තොරතුරු ටික ලියා පළ කරමි.  ලියද්දි කොටියා ඉන්නේ මේ තරම් අඩු කාලයක් දැය...