Saturday, June 25, 2022

සිංගප්පූරුවේ වැසියෝ 12

 https://lakshmanillangakoon.blogspot.com/2022/06/11.html?m=1


අන්දමාන් හිදී


මෙම රාජ්‍ය උත්සවය, මට මතක හැටියට එරට නාවික හමුදාවේ යම් සංවත්සරයක්, සඳහා ආසියාවේ රටවල් කිහිපයකින්ම නෞකාවන් පැමිණ  තිබුණි. 

ඒවායේ කුඩා උත්සව නොයෙකුත් අවස්ථාවන්හි තිබුණු අතර මේවා ට නොයෙකුත් රටවල නියෝජිතයන්ට සහභාගි වීමට ආරාධනා ලැබුණි.


මම මෙවැනි නොයෙකුත් රටවල පැවැත්වුණු උත්සව තුනකට මගේ නාවික හමුදා සේවා කාලයේ සහභාගි වී තිබේ. ඒ මේ සිංගප්පූරුවේ පැවැත්වුණ සංවත්සරය හැරෙන්නට, ඉන්දියාව විසින් සංවිධානය කළ ආසියානු නාවික හමුදා get together එක සහ පාකිස්තානයේ කරච්චි නුවර සංවිධානය කළ එවැනි උත්සවයයි. 


ඉන්දියාව මෙම උත්සවය සංවිධානය කළේ අප දන්නවා ඉන්දියාවට බොහෝ දුරිනි. 

 ඒ අන්දමන් සහ නිකොබාර් දූපතේ දී ය. මම එකල ශක්ති නැමැති නෞකාවේ අණදෙන නිලධාරි වරයා වශයෙන් රාජකාරි කළෙමි. ඒ මට මතක හැටියට වසර 2000 පමණ විය යුතුය.


මේ සඳහා ලංකාවෙන් නෞකා දෙකක් සහභාගී වූ අතර ඒ මා අණදුන් ශක්ති නෞකාව සහ ජය සාගර නෞකාවයි


ජය සාගර නෞකාවේ නම කියන විට ඒ නෞකාවේ නම සෑදී ඇති ආකාරය පිළිබඳව ලොකු විහිලුවක් ඇති බව මතක් වෙයි. 

ලංකාවේ සාදන ලද ජය සාගර සහ සාගර වර්ධන නැමැති නෞකා 2, ලංකාවේ නිෂ්පාදනය කර සේවයට යොදවා ඇත්තේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ජනාධිපතිව සිටි කාලයේය. 

මීට කලිනුත් රාජ්‍ය නායකයන් සම්බන්ධයෙන් කර ඇති පරිදි, එම නෞකා වලට ජේ ආර් ජයවර්ධනගේ නම යොදා අධිකාරියට පත් කිරීමට කවුරුන් හෝ තීරණය කර ඇත්තේ ය. 

එය නිසා ඔහුගේ නමේ මුල් කොටස වන ජය මුහුදට සම්බන්ධ කර මුල් නැව ජය සාගර යනුවෙන් නම් කර ඇත.

දෙවැනි නෞකාව ඔහුගේ නමේ අග කොටස මුහුදට සම්බන්ධ කර සාගර වර්ධන යනුවෙන් නම් කර ඇත.

බොහෝවිට ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා මේ පිළිබඳව දැනගෙන සිටින්නටවත් නැතුව ඇතැයි මම සිතමි.

එහෙත් ඔහු සමහර විට මේ පිළිබඳව දැනගෙන නොදැන සිටි බවක් පෙන්නන්න ටත් ඇති බවක් හිතන්නට පුළුවන.


කෙසේ හෝ එලෙස නම් සාදපු කෙනා සාගර වර්ධන යන වචනයේ තේරුම කුමක්දැයි කල්පනා කළ බවක් පෙනෙන්නට නැත. 

කිසිම සතුරන් පිළිබඳව රහස් තොරතුරක් නොමැති ව මුහුදට ගොස් රෑ එළි වන තෙක් මුහුදේ එහාට මෙහාට මුරසංචාර කිරීම, 'රෑ තිස්සේ හානවා' යනුවෙන් හඳුන්වන්නට ඒ කාලේ නැව්වල පුරුද්දක් තිබුණි. සීසෑම සංවර්ධනයට සම්බන්ධ නිසා, එක් නැවකට සාගර වර්ධන යනුවෙන් දැම්ම දැයි සිතන්නටත් බැරි කමක් නැත්තේය. 😂

කෙසේ හෝ මගේ ශක්ති නැව සහ ජය සාගර දවස් හතරක මුහුදු ගමනකින් පසුව අන්දමන් සහ නිකොබාර් දූපත් වෙත පැමිණියෙමු. 

දැන් මේ කථාව තරමක් දිග ඇදෙන නිසා ම සිංගප්පූරුවේ ප්‍රදර්ශනයේ කතාව අවසන් කර එයට එන්නෙමි.

මෙලෙස අපි සතියක් පමණ සිංගප්පූරුවේ සිටිද්දී මටද පාවිච්චිය සඳහා කාර් එකක් සංවිධායකයන් විසින් ලබාදෙන ලදී. මෙහි රියදුරු ඉතාමත් හොඳින් ඉංග්‍රීසි කතා කරන, ලෝකය ගැන හොඳ දැනුමක් ඇති පුද්ගලයෙකු වූ අතර සිංගප්පූරුවේ රියදුරුනුත් මේ තත්ත්වයේ සිටින්නේ නම් නෙක් මිනිසුන් මොන තත්ත්වයක ඇද්දැයි මම ඔහු සමග මේ ටික කාලය ආශ්‍රය කර සිතුවෙමි.

අවසානයේ අප ආපසු ලංකාවට ඒමට දිනකට පෙර ඔහු මට ඔහුගේ නිවසට රාත්‍රී භෝජනයක් සඳහා ආරාධනා කළේය. මම සාමාන්‍යයෙන් අපි එකල පිටරට යන විට තෑගි දෙන්නට ලක්සලෙන් මිලදී ගන්නා, ලී අලියෙකු ද රැගෙන ඔහුගේ නිවසට ගියෙමි.

..........


4 comments:

  1. ☹️
    ඔබේ මේ වචන පන්සීයේ self-imposed සීමාව නිසා මේ කොටසේ ද මීට කලින් කොටසේ ද නිවැරදිව කතාංගයක් නැත.

    ReplyDelete
    Replies
    1. සිත දුවන විදිහට තමයි ලියවෙන්නේ, ඇත්තෙන්ම අද වචන හයසීය පැනලා,

      Delete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...