ශ්‍රී ලංකාවේ වල් අලි සහ මිනිසුන් අතර ඝට්ටනය ඉතා සීඝ්‍ර වශයෙන් තීර්ව වන බව පෙනේ. මේ පිළිබඳව හොඳින්ම පෙන්නා දෙන දර්ශකය නම් දෙපැත්තෙන් කොපමණ ප්‍රමාණයක් මේ ඝට්ටනය නිසා මියගොස් ඇත්දැයි පරීක්ෂා කර බැලීමයි.
2020 වර්ෂය තුල මිනිස් ක්‍රියාකාරකම් නිසා වල් අලියන් තුන්සිය දහඅටක්ද අලියන් අතින් මිනිසුන් 112 ක් ද මියගොස් ඇත.
මෙයට අමතරව සමාජයීය හා ආර්ථීය වශයෙන් මේ ඝට්ටනයෙන් සිදුවන පාඩුව ඉමහත්ය. මේ අලි ප්‍රශ්නය තිරසාර ලෙස විසඳුවහොත් ඒ නිසා ඇතිවන යහපත් ප්‍රතිඵල වලින්ම රටේ ආර්ථිකය සියයට දහයකින් පමණ ඉදිරියට යනු ඇත.
ඈත ගම්වල කුඩා ගොවිපලකින් යැපෙන ගොවියන්ට; ශ්‍රී ලංකාවේ බොහෝ ගොවියන් වලින් මෙම කාණ්ඩයට අයත්ය, ජීවිතය ගැටගසා ගැනීමම මෙම ඝට්ටනය නිසා තර්ජනයට ලක්ව තිබේ. ඔවුන්ට, තම පවුල් ජීවත් කරවන කුඩා ඉඩම්වල කිසිදු ස්ථිර වගාවක් ඇතිකර ගැනීමට නොහැකි ආකාරයෙන් වල් අලින් ඒවා විනාශ කරති. නිවෙස් කඩා බිඳ දමති.
ලංකාවේ ඕනෑම ගෙවත්තක පාහේ නිවසේ සාමාජිකයන්ට තමන්ගේ ජීවිතය පහසු කරගන්නට ලොකු ගස් කිහිපයක් තිබේ. කොස් පොල් දෙල් සහ කෙසෙල් මේ අතරින් ප්‍රධාන තැනක් ගනියි. වල් අලියන් පැන විනාශ කරන නිසා මෙවැනි ස්ථිර ගස් කිහිපයක් පවත්වා ගැනීමට පවා අලි තර්ජනයෙන් පීඩාවට පත්වන ගම්මානවල ගම්වැසියනට ප්‍රායෝගික නොවේ.
තමන්ගේ ගොවිපළක් සහ නිවස අද රාත්‍රියේ කොයි මොහොතේ විනාශ වී යන්නේ දැයි ජීවත්වන මවක හා පියකු ගේ මානසික තත්වය කෙබඳු ආකාර විය හැකිද? ඔවුන්ගෙන් අනාගතය ගැන සැලසුමක් ද ඇතිව ජීවත්වීමක් බලාපොරොත්තු විය හැකිද?
මේ ප්‍රශ්නය විසඳා ගත හැක්කේ කෙසේද?
මේ සඳහා නොයෙකුත් ක්‍රමවේද උත්සාහ කර තිබේ.
මෙම උත්සාහවලින් සාකච්ඡා කිරීමට වටිනාකමක් ඇති උත්සහයක් ලෙස පෙනෙන්නේ අලින්ගෙන් ගොවිපොළවල් බේරා ගැනීමට මීමැස්සන් වැටක් ලෙස පාවිච්චි කිරීම පමණි.
මේ පිළිබඳව ඔක්සර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ලුසි කින්ග්, save the elephant පදනම හා එක්ව පරීක්ෂණයක් කළ බව පෙනෙන්නට තිබෙන නමුදු එයිනුදු ස්ථිරසාර විසඳුමක් ලැබී ඇති බවක් නම් පෙනෙන්නට නැත.
අලි මිනිස් ගැටුම ඇති වන්නේ ඇයි? ඒ ඇතිවන්නේ මිනිසුන් සහ අලින් එකට ජීවත් වන්නට යාම නිසාය. අලි වැනි දවසකට කිලෝ ග්‍රෑම් 300ක් පමණ ආහාරයට ගන්නා සතුන් කණ්ඩායමක් ගොවිතැන් කරන ගමකට පැමිණියහොත් සිදුවන හානිය කොපමණදැයි ගණන් කිරීමට අවශ්‍ය නැත. අලින්ගෙන් ගොවිතැනට සිදුවන හානිය සිතාගැනීමට ඔවුන් ගොවිපලට පැමිණෙන වාර ගණනින් නොව, ඔවුන් ගොවිපළට පැමිණි විටක සිදුවන හානියේ ප්‍රමාණය ගණනය කිරීමෙනි.
අලියන් ගම්මාන වලට කඩා වැදීමට, අනෙක් හේතුව ගොවිපළවල රසවත් ආහාර තිබීමයි. කැලය හා සසඳන විට ගොවිපළවල රසවත් එසේම පහසුවෙන් ලබාගත හැකි ආහාර තිබේ. ඔවුන් ඉතාමත් කැමති වී, කෙසෙල් ගෙඩි, පලතුරු කොස් වැනි ආහාර තිබෙන්නේ අප ගොවිපොළවල්වලය. කැලයේ එවැනි ආහාර, තිබුණාත් තිබෙන්නේ ඉතාමත් මද වශයෙනි.
එසේනම් මෙම ඝට්ටනයට විසඳුම තිබෙන්නේ සත්තු කොට්ඨාස දෙක වෙන්කර තබා ගැනීමයි. අනෙකුත් සියලුම විසඳුම් පැලැස්තර ඇලවීම් පමණක්ම වෙයි.
ඝට්ටනයේ එක් පාර්ශවයකට හෝ විනාශයක් සිදු නොවී ඔවුන් වෙන්කර තබන්නට ක්‍රමයක් තිබේ.
ඒ අලියන් සඳහා වෙනම ජාතික උද්‍යානයක් ඇති කිරීමයි. ලංකාවේ ජාතික අභය භූමි 60 ක් පමණ තිබේ. ඒවායේ මුළු භූමි ප්‍රමාණය අක්කර ලක්ෂ හතක් පමණ වෙයි.මෙයින් විශාලතම අභයභූමිය වන විල්පත්තු ජාතික වනෝද්‍යානය පමණක් අක්කර 323708 භූමියක් වසා ගෙන සිටී.
දැන් විසඳුම පැහැදිලිය. අප කළ යුතු වන්නේ රටේ සිටින සියලුම හීලෑ නොවූ අලි එකතුකර විල්පත්තු කැලයට විල්පත්තු කැළයට යවා, ඒ වටා අලි වැටක් ගැසීමයි.
අලි හත්දහසකට මෙම ඉඩ ප්‍රමාණය මදි යැයි සිතන්නේ නම් අපට මේ කැලෑව විශාල කළ හැක. එලෙස අඩුම හානියකින් කල හැකි තැන්වලින් කැලය විශාල කර ඒ නිසා අස්ථානගත වන මිනිසුන් ගොවියන් සහ ගොවිපළ සඳහා ඔවුන්ට විල්පත්තුව විශාල කිරීමට වැය වූ ඉඩම් ප්‍රමාණය හා සමාන ප්‍රමාණයක් වෙනත් ගැලපෙන වනෝද්‍යානයකින් ලබා දිය හැක.
එම වනෝද්‍යානය ඇති කිරීම සහ වල් අලි ප්‍රශ්නය විසඳීම පමණක්ම ලංකාවේ සංචාරක ව්‍යාපාරයද පෙර නොසිතූ විරූ ඉහළ තලයකට ගෙනයනු ඇත.
මෙම ව්‍යාපෘතියට වියදම් වන සෑම සතයක්ම ජනනය කර ගැනීමට ක්‍රමවේද බොහෝ ගණනක් තිබේ. අප රජයට කිසිම වියදමක් නැතුව මේ වැඩය කරගත හැක. මෙම යෝජනාව මූලික වශයෙන් පිළිගන්නේ නම් ඒ සඳහා වඩා පැහැදිලි එසේම වඩාත් විස්තර සහිත ක්‍රමවේද පෙන්වාදීමටද අවශ්‍ය නම් එය ක්‍රියාත්මක කිරීම කළමනාකරණය කරදීමට, මම කැමැත්තෙමි.
මම ගැනත් කෙටි හැඳින්වීමක් මෙතනදී අවසාන වශයෙන් කිරීම සුදුසු යැයි සිතමි.
මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සහ ජයවර්ධනපුර ව්‍යවහාරික විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලත් මම නාවික හමුදාවට බැඳී අවුරුදු තිස්තුනක සේවයෙන් පසු විශ්‍රාම ගත්තෙමි. ශාස්ත්‍රපති උපාධි දෙකක් සහ ඇමෙරිකානු යුධ විද්‍යාලයේ විශිෂ්ට ශ්‍රේණියේ සමර්ථයක් ලබා ඇති, මට පේටන්ට් බලපත්‍රයක්ද තිබේ.
වසර කිහිපයක් නොයෙකුත් ආයතනවල උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන මම, වඩාත්ම සතුටක් ලබා ගන්නේ ගොවිතැනෙනි.
ඒ අතර මා පරිවර්තන පොත් කිහිපයක් ඇතුළු පොත දහයකට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත්කර තිබේ.