මට මගේ මුල්ම වෙළඳාමට හම්බවුනේ මැරුන පේඩියා මාමාගේ වැයික්කිය, ඒ කියන්නේ මාවනැල්ල ඉඳල උතුරු පැත්තට නුවර පාර දෙපැත්තේ ගම් ටික කඩුගන්නාවේ පොළ හන්දියට යනකං. මේ හරිය වෙළඳාමට හොඳ පැත්තක් කියල අපේ වෙළෙන්දෝ ඔක්කොම වගේ කිව්වා, මගෙයි මාමාගෙයි නෑකම හින්ද, එළියෙන් නොපෙන්නුවාට, මට පටන් ගන්න කොටම හොඳම වැයික්කියක් ලැබුණු එක පිළිබඳව ඔවුන්ගේ හිතේ පොඩි කහටකුත් නැත්තේ නැති බව මට කතාවෙන් තේරුණා.
වෙළඳාමේ යනකොට අපි පාර අයිනටම හිර වෙන්නේ නැතුව, පාරවල් හොඳ නම්, වෙළඳාම සරු නම් , හුඟක් මිනිස්සු පදිංචි වෙලා ඉන්නවා කියලා තේරෙනවා නම් ඇතුලටත් යනවා.
මාවනැල්ල සිංහල, යෝනක , මැලේ, ජාති තුනම එක වගේ ඉන්න පැත්තක්. කුළුබඩු වගාවෙන් මිනිස්සු අතේ හොඳට සල්ලි තිබුනා. ඒ අතරේ ගොන් කරත්ත දහස් ගානක් කෝපි පටවාගෙන නුවර ඉඳල කොළඹ යනවා ආපහු කරත්තෙන් බාගයක් හාල් පටවාගෙන උඩහට යනවා. ඒවාට වෙළඳාම් කරලත් පාර දෙපැත්තේ මිනිස්සු කීයක් හරි හොයා ගන්නවා.
මුල් දවසෙම මාවනැල්ලේ ටවුම හරියේදී මට හිතුවට වඩා වෙළඳාමක් සිද්ද වුනා. මම නොදැනුවත්ම ටවුමට ඇවිල්ලා තිබ්බේ උසාවි දවසේ. ගම් වලින් නඩු හබ වලට ඇවිල්ලා තිබ්බ මිනිස්සුන් ගෙන් කඩ මණ්ඩිය පිරිලා.
මම අද්වකාත් මහත්තයෙක්ගේ කන්තෝරුවක් ළඟ ඉඳගෙන වරුවක් යනකොට රුපියල් තුනක දුම්කොලයි, තවත් රුපියලක චේන් පොටවල් හතරකුයි විකුණලා අහවර කරා. තවත් පැය දෙකක් විතර හිටියට ආයෙත් එතන වෙළඳාමක් වෙන්නේ නැතය කියලා තේරුනහම, හෙමිට නුවර පාරේ කොළඹ පැත්තට යන්ට පටන් ගත්තා. හවස් වෙනකොට ඊළඟට හැරෙන්ට තියෙන පාරෙන් උතුවන ගම පැත්තට ගියේ, ඒ පැත්තෙත් වෙළඳාමක් කරගෙන ගමේම නැවතිලා පහුවෙනිදා උදේට ආයෙ වෙළඳාමේ යන්ට.
මම කන්ද පාමුල තිබ්බ ගමට යනකොට හවස් වෙලා. ගෙවල් විස්සක් විතර එක මන්ඩියට තිබ්බ, මේ ගමේ වටේටම පොල්, කුරුඳු, සාදික්කා, එහෙම වැවිලා තිබුන හින්ද, මේ මිනිස්සුනට අතේ මිටේ කාසිපනන් ගැවසෙන බව මට තේරුනා. ගෙවල් පොළොවෙන් අඩි දෙකක් විතර උස්සල ලොකු පිලවල් උඩ හදල තිබ්බෙ.
ඒ වුනාට එක මනුස්සයෙක් වත් පේන්ට හිටියේ නැහැ, සම්පුර්ණයෙන්ම පාලු සොහොනක් වගේ, මට පුදුම හිතුනා. සාමාන්‍යයෙන් මේවගේ ගමකට ඈතින් එනකොටම කොල්ලොකුරුට්ටන්ගේ සද්දේ ඇහෙන්ට පටන් ගන්නවා, කොල්ලෝ කුරුට්ටෝ එහෙ මෙහෙ දුවනවා, මමත් ටිකක් කල්පනාවෙන් ගෙවල් මණ්ඩිය ඇතුලට ඇවිදගෙන යනකොට, යාන්තම් එක මනුස්සයෙක් එළියේ පිලක් උඩ හාන්සිවෙලා ඉන්නවා දැකල එතෙන්ට ගියා. එතෙන්ට ගිහාම දුටුව දෙයින් මම තවත් පුදුම වුනා. මොකද එතන පිලේ හාන්සි වෙලා හිටියේ සුදු හැට්ටයක් ඇඳ ගත්ත නාඹර වයසේ ගෑනු ලමිස්සියක්. මට කිට්ටු වෙන්ටත් මොකක්දෝ වගේ, ගෑනු ළමයාගේ චිත්තෙත් දනිහ ගාවට විතර ඉස්සිලයි තිබුනේ.
ළමිස්සිට සිහිය නැති වෙලාද, එහෙම නැත්නම් ඊටත් වඩා භයානක දෙයක් වෙලාද කියලා මට හිතාගන්නට බැරිවුණා. මම උගුර පැදුවා , “ගෙදර කවුද.......” කියලා හයියෙන් කෑගැහුවා. වැඩක් වුනේ නැ, කවුරුත් ආවේ නැහැ. මම ලඟට ගිහිල්ලා බලපුවහම ළමයට පන තියෙන බව තේරුණා, මම ඊට පස්සේ හිතට දිරිය වඩාගෙන අතක් අල්ලලා බැලුවා. ඒ තමයි මම මගේ ජීවිතේටම ලමිස්සියක් ගේ අතින් අල්ලපු දවස.
මේ ළමිස්සි නැගිටින්නේ නැති හින්ද තව ඩිංගක් පිලේ එහෙම හිටියොත් බිමට වැටෙන්ටත් පුළුවන් හින්ද, මම උන්දෑ අත් දෙකින් උස්සගෙන ගේ ඇතුලට අරන් ගිහින් ඉස්තෝප්පුවේ තිබ්බ ලී ඇඳක් උඩින් තියලා, ළමිස්සි දිහා බලාගෙන කල්පනා කෙරුවා, දැන් මොකද කරන්නේ කියලා. ඒ තමයි මම ලමිස්සියක් එක්ක තනි පංගලමේ ගතකරපු පලවෙනි දවස. මට හිස්බඩ යාපනේ දුම්කොළ දෙකක් කෑවා වගේ ඇඟ ඇතුලෙන් අමුතු තෙරපිල්ලක් දැනුනා කිව්වොත් ආයේ එක බොරුවක් එහෙම නොවෙයි.
මම ඇඳ උඩින් ඉඳගෙන එයාගේ චීත්තේ පහලට දාලා හදන්ට යනකොට මම දැක්කා, එයාගේ වම් කකුලේ නාලීය උඩ රතුපාට වෙච්ච සතෙක් හැපුව ලකුණක් තියෙනවා. මුණ පාත් කරලා ඒ ලකුණ දිහා හොඳින් බලනකොට ළමිස්සි කෙඳිරි ගෑවා.
සර්පයෙක් දෂ්ට කරලා දැරිවිට සිහිය නැතිවෙලා ද ?
ReplyDeleteසර්පයෙක්ම නෙවෙයි
Deleteමුල් කොටස කියවා මා ඉවෙන් මෙන් සිතූ දෙය සැබෑවෙන ලකුණු ඇත.
ReplyDeleteකුතුහලය ඇතිවන විදිහට ලියවිලා තියනවා. හොඳින් ගලාගෙන යන ආකාරයට ලියවිලා තියනවා.
ReplyDeleteThanks
Delete