සිරිමලා ගේ පාපොච්චාරණය
මමයි සරදියෙලයි ඉගෙනගත්තේ එකම පන්තියේ ඉලුක්ගොඩ පන්සලේ. පන්සලේ ඉස්කෝලෙට ගියේ අපේ ගම්පැත්තේ රජයේ පාසලක් තිබ්බේ නැති හන්ද. පන්සලේ ඉස්කෝලේ එක පන්තියේ වයස අවුරුදු හතර පහ වෙනස තියෙන ළමයි හිටිය. මොකද ළමයි පන්සලේ ඉස්කෝලෙට බාර ගත්තේ වයසේ විදිහට නෙවෙයි, දෙමව්පියන් ගෙනා විදිහට.
මම සරදියෙල්ට වැඩිය අවුරුදු ගානක් බාල උනාට, අපේ අම්මා මාව ස්කෝලෙට බාරදෙන අවුරුද්දෙමයි සරදියෙල් වත් පන්සලේ ඉස්කෝලෙට ඇවිල්ල තිබ්බේ. සරදියෙල් හරිම මැරැටියා, ආපු දවසෙම කොල්ලොත් එක්ක ගහගෙන හාමුදුරුවන් ගෙන් ගුටි කෑවා. කිසිම බයක් නැහැ, ඕනෑ එකකට ඉස්සරහට පැනල ගහගන්ට යනවා. මේ හින්ද සරදියෙල් කොල්ලෝ රංචුවේ නායකයා වෙන්ට ලොකු කාලයක් ගියේ නැහැ. නමුත් මේ විදිහට සරදියෙල් කැපී පේනවට අකමැති කොටසකුත් පන්සලේ ඉස්කෝලේ හිටියා. විදානේ රාලහාමිගේ අයියගේ පුතා එකෙක්. ඌ ටිකක් ඇඟ පතෙනුත් අපිට ලොකුයි. හාමුදුරුවොත් ඉතින් පෝසත් හින්ද ඌ කියන දෙයක් අහනවා.
සරදියෙල් අපිට වඩා වේගෙන් අකුරුත් ඉගෙන ගත්ත. සමහරවිට අපිට වැඩිය මෝරලා හිටපු හින්දද දන්නේ නැහැ, ඉක්මනටම පාඩමුත් අල්ල ගත්තා. පන්තියේ හැම ළමයෙක්ම වාගේ මිනිහත් එක්ක රංචු ගැහෙන්ට ලොකු ආශාවක් තිබ්බා. මට මෙතෙන්දි පොඩි වාසියක් වුනා , සරදියෙල් ගෙදර, අපේ ගෙදරට බොහොම ලඟින් තිබුන එක. ඒ හේතුව හින්දම ඕන වැඩකට යනකොට මිනිහා මාව තමයි මුලින්ම හොයන්නේ. මමත් මේක ගැන ලොකු ආඩම්බරයකින් හිටියේ.
සරදියෙල්ට කොහොමටත් පාසල් යන්ට හම්බවුනේ අවුරුදු කිහිපයක් විතරයි. දවසක් ඉස්කෝලෙදි විදානේ රාලහාමිගේ අයියගේ පුතා සරදියෙල්ට මොනවහරි කියල සරදියෙල් මිනිහට ගහන්ට ගියා. මේ ගුටිකෙලිය බොහොම කාලෙක ඉඳල හැමදෙනාම බලාපොරොත්තුවෙන් හිටපු එකක්. දෙන්න කැමති වුනා ඉස්කෝලෙන් පස්සේ තනි තනියම ගහගන්ට. ඌ ඇගෙන් ගොඩක් ලොකු හින්ද මයේ හිතේ ඌ හිතුව ඌට ලෙහෙසියෙන්ම සරදියෙල්ව පරද්දන්ට පුළුවන් කියල.
පන්සලේ ගල් පඩි පෙලෙන් පල්ලහ පොඩි කමතක් තිබ්බ. පන්සලේ කුඹුරේ විතරක් නෙවෙයි පන්සලට කිට්ටුව හුඟක් කුඹුරු වල ගොයම් පාගැව්වේ ඒ කමතේ.එතන තමයි පොරපිටිය. ඉස්කෝලේ ඇරුන ගමන් අපි ඔක්කොම එතෙන්ට ගියා. දෙන්න කමතේ මැද හිටගෙන පොරකන්ට යන කොටි දෙන්නෙක් වගේ අනික් එකාගේ මුණ දිහා බලාන හිටිය. අපි පන්තියේ ඔක්කොම වටේට වෙල මේක දිහා බලාන හිටිය.
එක පාරටම පොඩි අප්පුහාමි පැනල සරදියෙල් බදාගත්තා. ටිකක් වේලා ගියා සරදියෙල්ට මොකුත් කරගන්ට බෑ වගේ පෙනුන. අපි හිතුව පුදන කොටම කෙලපි යකා කියල. පොඩි අප්පුහාමි වම අත බුරුල් කොරල ඒකෙන් සරදියෙල්ගේ බඩට ගහන්ට පටන්ගත්ත. මං හිතන්නේ ඌ වමත් කාරයා. එක පාරටම සරදියෙල් පොඩි අප්පුහාමිව ඉනෙන් අල්ලාගෙන පොලවට වැටුන, අල්ලාගෙන හිටපු අත බුරුල් කරගෙන. එහෙමම බිම ඉඳල පොඩි අප්පුහාමිගේ කකුල් දෙක තදකරගෙන, ඔලුවෙන් තල්ලු කෙරුව මිනිහ පිටිපස්සට. මිනිහට පොලවේ අඩිය පැටලුනා. කෙහෙල් කඳ කැපුවා වගේ පිටිපස්සට වැටුන. සරදියෙල් උගේ ඇඟ දිගේ බඩ ගාගෙන ගිහිල්ල, පොඩි අප්පුහාමිගේ ඔලුව අත් දෙකෙන්ම අල්ලා ගත්ත. පපුව උඩ ඉඳගෙන ඔලුව බිම ඇනගෙන ඇනගෙන ගියා. පොඩි අප්පුහාමි “බුදු අම්මෝ මිනී මරනවෝ” කියල කෑ ගහල, අතක් බිම ගහල සිහි නැති වුනා.
ඒ සද්දෙට හාමුදුරුවෝ දුවගෙන ආවා. ඇවිල්ල ඔලුව උස්සල බලනකොට පොඩි අප්පුහාමි ඔලුව බිම ගහපු තැන පොඩි ගල් කැල්ලක් තිබිල ඒක ඔලුව ඇතුලටම කා වැදිලා. අපි දැනගත්ත මේක ලේසි වෙන්නේ නෑ කියල අපි දිව්වා ගෙදර.
සරදියෙල් උතුවන්කන්ද පැත්තේ කැලේ හැංඟුණා, ඒ වුනාට විදානේගේ මිනිස්සු පොලිසියත් එක්ක එකතුවෙලා කැලේ පීරුවා. හොයාගන්න ලැබුනේ නැහැ. ඒත් දවස් දෙකකට පස්සේ බඩගිනි වෙලා කන්ට ගෙදරට එනකොට මඟදී අල්ලා ගත්ත.
https://lakshmanillangakoon.blogspot.com/2024/07/4-4_13.html?m=1
Next episode
https://lakshmanillangakoon.blogspot.com/2024/07/4-4_13.html?m=1
සරදියෙල් ඉගෙන ගන්නත් දක්ෂයෙක්ද?
ReplyDeleteපස්සේ කරලා තියෙන වැඩ ටික දැක්කහම brainy පොරක්යලා පේනවා
Deleteකතාව කියවන්නට පෙළඹෙන විදියට හොඳින් ගලාගෙන යනවා.
ReplyDeleteThanks
Deleteඔව් කතාව ගොතන ආකාරය අපූරුයි.. සරදියෙල්ගෙ ජීවිතේට සමීපව හිටපු අයගෙ
ReplyDeleteදෘශ්ටිකෝණ වලින් බලන්නට කියවන්නාට හැකි වන නිසා පැතැලි චරිතයක් වෙනුවට පොලොවෙ ඉන්න ත්‍රිමාන කලු/සුදු චරිතයක් අපිට මවා ගන්න පුලුවන්. පස්සෙන්පහු සරදියෙල්ට විරුද්ද පාර්ශවත් කතා කරයි කියල බලාපොරොත්තු වෙනව.
ඒ වගේම ඔබේ හැකිනම් ඔබේ මූලාශ්‍ර පිලිබද සඳහනක් කලානං තවත් හොඳයි කියල හිතෙනව.
මේක ලියල ටිකක් කල් දැන්, මම බලන්නම් මූලාශ්‍ර නැවත වරක් හොයාගන්න පුළුවන්ද කියලා
ReplyDelete