Saturday, October 5, 2024

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි 


මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි. 

මට පවුලෙන් ලැබුණු කුඹුරු අක්කර  දෙකක් පමණ මම වගා කරන අතර ඒ සඳහා මෙවර රුපියල් 25000ක පමණ සහනාධාරයක් ලැබෙන බව දැක  සතුටට පත්වීමි.


නමුත් මෙවැනි සහනාධාර,  කිසිදු සේවාවක් ගොවියාගෙන්, රටට ආපසු ලබා නොගෙන ලබාදීමෙන් සම්පූර්ණ සහනාධාර මානසිකත්වයක් ඇතිවන බව පෙනේ. ගොවියන් රටේ දෙවියන් ලෙස සැලකූ සංස්කෘතියක, ඔවුන් සහනාධාර මත යැපෙන්නන් බවට පත්වීමට ඔවුන්ගේ කිසිම කැමැත්තක් නොමැති බව අප සියලු දෙනා දන්නෙමු.


මේ සඳහා මම, ගොවියාටත් රටට යම් වැඩක් කර  සමාජයට බරක් නොවී,සහනාධාරය ලබා ගැනීම සඳහා පහත යෝජනාව කරනු කැමැත්තෙමි. 

ඒ, සහනාධාරය ලබාගන්නා සෑම ගොවියෙක්ම ඔහුගේ කුඹුරේ ප්‍රමාණය කුමක් වුවත් අඩු තරමින්, ඝන මීටරයක කාබනික පොහොර නිෂ්පාදනයක් සිදු කිරීමට ව්‍යාපෘතියක් පටන් ගැනීමයි. 

මෙම සහනාධාරය සඳහා රුපියල් බිලියන විස්සක් වැය වන බව කෘෂිකර්ම  අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කරනවා මම දුටුවෙමි. ඒ අනුව මෙහි ගොවියන් මිලියනයකට වඩා සිටින බව පෙනේ. 

ගොවියන් මිලියනයක් විසින් කාබනික පොහොර ඝන මීටරය බැගින් නිපදවුවහොත් රටට කාබනික පොහොර ඝණ මීටර  මිලියනයක නිෂ්පාදනයක් සිදුවේ. 


මෙම යෝජනා කරන ව්‍යාපෘතිය සඳහා, අමතරව කිසිම මුදලක් වැය නොවන අතර දැනට ගම්වල සිටින කෘෂිකර්ම නිලධාරීන් සහ කෘෂි සේවා මධ්‍යස්ථාන  යොදාගෙන ගොවියන්ට උපදෙස් දීම ඔවුන්ගේ කාබනික පොහොර නිෂ්පාදනය සතියකට වරක් පමණ පරීක්ෂා කිරීම යනාදිය සිදුකරගන්නට පුළුවන.


නිෂ්පාදනය වන පොහොර  එම ගොවියන්ගේම ගොවිතැන්වලට යොදාගත හැකි අතර, අතිරික්තයක් තිබේ නම් ඒවා වෙළඳපොළට නිකුත් කර ගොවියන්ට යම් ආදායමක්ද ලබා ගැනීම සඳහා ව්‍යාපෘතියෙන් සහාය ලබාදිය හැක. මෙම පොහොර නිෂ්පාදනයෙන් පමණක් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය  කාබනික පොහොර දෙසට පසුගිය කාලයේ සිදුවූවාක් මෙන් කිසිම අලුත් නීතියක් පාවිච්චි නොකර කිසිම සීමාවක් නොපනවා යොමු කර ගත හැකි බව පෙනේ.


රජය මෙම ව්‍යාපෘති යෝජනාව ක්‍රියාත්මක කරන්නට අදහස් කරන්නේ නම් මම ස්වේච්ඡා සේවාවක් වශයෙන් ඒ සඳහා මුල් වී කටයුතු කිරීමට කැමති බවද දන්වා සිටිමි.


මම ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආදි ශිෂ්‍යයකු වන අතර යාන්ත්‍රික ආරක්ෂක  උපකරණයක් සඳහා පේටන්ට් බලපත්‍රයක් හිමියකු බවද මෙතනදී දන්වා සිටීම උචිත යැයි සිතමි.


මෙයට විශ්වාසී 


එල්.ටී.බී ඉලංගකෝන් රියර් අද්මිරාල් 

2 comments:

  1. හොඳ අදහසක්. අවශ්‍ය අයගේ අවධානය යොමු වේදැයි බලමු.

    ReplyDelete
    Replies
    1. මම ඊමේල් හරහා කෘෂිකර්ම ලේකම්ට ඉදිරිපත් කළා බලමු මොකද කියන්නේ කියලා

      Delete

German traveller s diary 23rd January

 A new day in the tropics No, I don't remember the dream I had last night. The night and dream had ended with the sounding of the drums ...