අදිසි අප්පුගේ කතාව
නම අදිසි අප්පු :- වයස අවුරුදු 57 යි. උපන්ගම හාල්දඬුව. දන්කොටුව හලාවත, ආගම කතෝලික, රැකියාව හලාවත මිසමේ ආවතේව කරු,
මහේ පියා යාපනයේ දුම්කොළ ගොවියෙක්. ලන්දේසි කාලයේ පල්ලියෙන් ලබාදුන් ඉඩම්වල තමයි, අපේ සීයාගේ කාලේ ඉඳල දුම්කොළ ගොවිතැන් කර තිබෙන්නේ. සීයාගේ මරණයෙන් පස්සේ, පියා සූදුවට පුරුදු වෙලා ඉඩම් උකස් තබා දේපල නැතිකරගෙන, ගෙදරයි වත්තයි උකසකට සින්න වෙලා තියෙනවා. ඉන්පස්සේ පියා; ඔහු පැවත ආවේ ලන්දේසි කාලයේ දුම්කොල වවන්ට ඉන්දියාවෙන් අරන් ආපු වෙල්ලාල මිනිස්සුන්ගෙන් කියනවා මට ඇහිලා තියෙනවා, යාපනයේ තමන්ගේ මිනිස්සුන් අතර හිඟන්නෙක් වගේ ඉන්ට ලැජ්ජාවෙන් හලාවත අම්මගේ ගමට ඇවිල්ල මෙහෙ පදිංචි වෙලා තියෙනවා, මෙහෙ අලුතෙන් දුම්කොළ ගොවිතැන හරි, එහෙම නැත්නම් වෙළඳාමක් හරි පටන් ගන්න කියලා. අම්මගේ මල්ලිත් ඒ වෙනකොට උපන් ගමේම සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙලයි හිටියේ.
හලාවතදී අපේ නංගි ඉපදීල දවස් තුනකින් අම්ම මැරුණා. පියා නිතර ට්‍රැවන්කොර් කියන නගරෙට මෙහෙන් දුම්කොළ ගෙනියන්න ලංකාවට ආපු ඉන්දියානු වෙළෙන්දෙක් එක්ක එකතු වෙලා ඔහුට උදව් කරගෙන, කාලයක් ඔහුගේ ව්‍යාපාර වැඩ වලට උදව් කළා. යාපනේ දුම්කොළ පඳුරු වලට ආඬි ළිං වලින් වතුර හැමදාම දාන නිසා ඝනකමයි තෙල්ගතියයි වැඩි හින්ද, ඉන්දියාවේ, ඒ පැත්තේ දුම්කොළ හපන්ට පුරුදු වෙලා හිටිය මිනිස්සු යාපනේ දුම්කොළ වලට කැමතියි කියල ඒ මුදලාලි කියනවා මට ඇහිලා තියෙනවා. මගේ පියා විටින්විට කල්පිටියෙන් , මුදලාලිගේ රුවල් නැවක නැඟල ඉන්දියාවටත් ගියා. ඒ කාලේ ඉන්දියාවට යනවා එනවා කියන එක මහා දෙයක් නොවෙයි. එක පාරක් ඒ වගේ ගිහිල්ල ඔහු ආවේම නැහැ, ඊට පස්සේ අපට ඔහු ගැන කිසිම ආරංචියක් ලැබුනේ නැහැ. තාත්තා ඉන්දියාවට යනකොට මාවයි අපේ මල්ලියි අපේ මාමා කෙනෙක් ළඟ නවත්තලයි ගියේ.
මාමා දවසක් මුදලාලිගෙන් තාත්තා ගැන අහපුහම තාත්ත එහෙදි විවාහයක් කරගෙන, කුමාරපාලන් කියන නගරයේ ජීවත් වෙනවා කියල කිව්වා කියල ඔහු අපට කිව්වා. පියා නැතිවුනා කියල අපට අඩුවක් කරපු නැති මාමා අපව බොහොම හොඳට බලාගත්තා. ඔහු බොහොම ආගමට බර නිතරම පල්ලියට ගිය, පල්ලියේ ස්වාමිට බොහොම හිතවත් කෙනෙක්.
මාමා රැකියාවට කලේ දුම්කොළ වෙළඳාම, ඔහු හලාවත ගොවියන් ගෙන් දුම්කොළ මිලට අරගෙන, රටපුරා ගම්වල වෙළඳාමේ යන වෙළෙන්දන්ට ණයට දුම්කොළ දුන්න වෙළඳාමට. ඔවුන් මුදල් ගෙව්වේ වෙළඳාමේ ගිහිල්ලා ඇවිල්ලා. ඊට අමතරව මාමා යාපනේ පේදුරු තුඩුවේ ගොවියෙක් ගෙනුත් දුම්කොළ ගෙන්නුවා, ඒවා හලාවත දුම්කොළ වලට වඩා ටිකක් ගණන්, ඒ පේදුරු තුඩුවේ දුම්කොළ වල තියෙන තෙල් ගතියටයි සැරටයි කියලා මම අහල තියෙනවා. මාමත් ඉඳ හිට හැපුවේ ඒ පේදුරු තුඩුවේ දුම්කොළ වර්ගයම තමයි.
මම පොඩි කාලේ ඉඳලම පල්ලියේ ඉස්කෝලෙට ගියා. මට වයස 15 ක් විතර වෙනකොට ලියන්ට කියන්ට පුළුවන් වුන හින්ද, මාමා මට එයාගේ දුම්කොළ වෙළඳාමේ පොත් හදන්ට බාර දුන්නා. අපේ නෑදෑ කමයි, ඒ හරියේ හිටපු කොල්ලන්ගෙන් මම ගණනක් හදන්න, ලියන්න කියන්න පුළුවන් ළමයි කිහිප දෙනාගෙන් එකෙක් හින්දයි තමයි මට මේ රස්සාව ලැබුනේ. එතරම් ලොකු වැඩ තිබුනේ නැහැ, දුම්කොළ ගන්න මිල ගනනුයි ප්‍රමාණයයි පොතේ ඒ ගොවියාගේ පිටුවේ ලියා ගන්නව, අනික් පොතේ වෙළඳාමේ යන අයගේ පිටුවේ දීපු බඩුයි ඒවගේ මිලයි ලියා ගන්නවා. වෙළෙන්දෝ ආපහු ආවහම ඉතුරු බඩු ගණන් ලියල ඒ වෙලන්දා කීයක් ණයද කියල ගණන් අඩුකරල බලනවා. එක ගමනකට එක කොලයයි.
මේ කාලේ තමයි මාමා ගෙන් දුම්කොළ ඇරන් වෙළඳාමේ යන පේඩියා මාමා අලියෙක් ගහල මැරුණේ. වයස 30 ක් විතර වුන ඒ මනුස්සයා බොහොම ජැන්ඩියට ඇඳුම් ඇඳපු වෙළෙන්දෙක්. රතු ලොකු සුම්බරයක් හැමවෙලාවෙම කරේ තිබුනා. ඉන වටේ ලොකු සාක්කු තියෙන හම් පටියක් තිබුනා. පටිය තද දුඹුරු පාටයි, සාක්කු යාන්තම් කහපාටට බරයි. වෙළඳාමේ ගිහිල්ලා ආපු වෙලාවට අපි දැක්කොත් ඒ කහපාට සාක්කුව ‘ටික්’ ගාල ඇරල අපට කාසියක් දෙනවා. නිමපු සුරුට්ටුවක් හැම වෙලාවේම කටේ ගහගෙන තමයි හිටියේ. මම කවදාවත් දැකල නැහැ ඒක පත්තුවෙලා තියෙනවා. ඒක හින්ද වෙන්ට ඇති මිනිහට ඒ වයසේ අය කිව්වෙත් ‘සුරුට්ටු පේඩියා’ කියල.
මිනිහ අලියා ගහල මැරුණට පස්සේ, මිනිහගේ ආම්පන්න ටික එයත් එක්ක ගිය කණ්ඩායමේ අය ගෙනල්ලා අපේ මාමාට දුන්නා. මාමා ඒ ටිකේ වටිනාකමට මුදල් පේඩියාගෙ අම්මට දීලා, ඒ ආම්පන්න තියාගත්තේ බඩු වලට තිබ්බ ඕනෑ කමට වඩා පේඩියගේ අම්මට කීයක් හරි දෙන්ට ඕනැවට. අනික අලියා පාගපු පාරට තොරොම්බල් පෙට්ටියත් දිග අතට පුපුරලයි තිබුනේ. මාස කිහිපයකට පස්සේ මේ ආම්පන්න ටික මෙහෙම තියෙනවා දකිනකොට, මට හිතුන මමත් වෙළඳාමේ ගියා නම් හොඳයි කියලා. නමුත් මම මාමාගෙන් අහන්ට ටිකක් බයෙන් හිටියේ, මොකද මාමා, මම පොත්පත් ටික හදාගෙන ව්‍යාපාරේ කරගෙන යන පිළිවෙලට බොහොම කැමැත්තෙන් හිටියේ. ඉතින් එයාගේ හිත නරක් කරන්න මට හිත දුන්නේ නැහැ. නමුත් මේ වෙළඳාමේ යන ආසාව මගේ හිත ඇතුලේ තදින්ම ලියලන්ට පටන් ගත්තා. මේ අතරේ වෙළඳාමේ ගිහිල්ලා ආපහු එන වෙළෙන්දෝ හැන්දෑවට අඩියක් ගහන ගමන් කියන ලස්සන ගමන් කතාන්දර අහනකොට, මේ ආසාව දෙගුණ තෙගුණ උනා.
දවසක් හැන්දෑවේ මාමා රා ටිකක් එහෙම බිලා ගෙදර ඇවිල්ලා සන්තෝසෙන් ඉන්න වෙලාවක, මම ඔහු කිට්ටුවෙන් පිලේ ඉඳගෙන මගේ ඕනෑකම හෙමින් හෙමින් කිව්වා. මම හිතපු තරම් මාමාට තරහ ගියේ නැහැ. ඔහු කිව්වා ඔහුගෙ ව්‍යාපාරයට මම නැතිවෙන එකෙන් පාඩුවක් වුනත්, තරුණයෙක් උනහම ලෝකයට යන්න ඕනෑ කියලා, ලෝකය බලන්ට ඕනැ කියල. සුද්දොයි ඊට කලින් ලන්දේසියි ඔච්චර දුර රටවල ඉඳල මෙහෙ ඇවිල්ලා තියෙන කාරණේ ඔහු උදාහරණයකට ගත්තා. එච්චර දුර කෙසේ වෙතත් ලංකාව පුරහම ඇවිදලා ඉන්න එකත්, ජීවිතේ පටන් ගැන්මකට බොහොම වටිනවා කියලා කිව්වා.
සුමාන දෙකකට පස්සේ මම මගේ මුල්ම වෙළඳාමට අනික් වෙළෙන්දොත් එක්ක පිටත්වුනා. මාමාගේ යාලු ගනිතයෙක් හදල දීපු වෙලාවකට තමයි මම අපේ ලෑලි සාප්පුවෙන් මුලින්ම දකුණු කකුල එලියට තිබ්බේ.
මම අරගෙන ගියේ දුම්කොළ ටිකකුයි තොරොම්බල් පෙට්ටියකුයි, අපේ කණ්ඩායමේ වෙළෙන්දෝ තමන්ගේ වෙළඳාම කරන ප්‍රදේශ බෙදාගෙන හිටියේ.
තාත්තා කළා වගේම අදිසි අප්පුත් වෙළෙඳාමට ගිය තැනක ට විවාහයක් කරගෙන පදිංචි වෙයි වගේ
ReplyDelete