Sunday, April 14, 2024

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි. 


එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ නොයෙකුත් පාරවල් දිගේ ඇවිදින්නට පුරුදු වී සිටි බව මම කලින් කිව්වෙමි. 


මෙලෙස ඇවිදින විට මම වීදිවල වැඩියෙන්ම දුටුවේ ආපනශාලාවන්ය. ඒවා බොහෝවිට ඉන්දියානු හෝ චීන ඒවා වෙයි. ඊළඟට දුටුවේ spa ආයතනයන්ය. ඒවා සීයට සීයක්ම වගේ ම චීන ඒවා බව පෙනුණි. සාමාන්‍යයෙන් මසාජ් එකක් ඩොලර් පනහකට වාගේ මිලකර ඇති බවත් පෙනුණි. ඒ කියන්නේ රුපියල් දහතුන් දාහක් පමණ වෙයි.


මෙම ස්පාවල වැඩ කරන සියලුම දෙනා පාහේ සිහිනයෙන් සිංගප්පූරුවට පැමිණ තාවකාලිකව වැඩ කරන කාන්තාවන් බවත් දුටුවෙමි. 


ඒවාට අමතරව ව්‍යාපාරික ස්ථානයක් දුටුවිට මම ඒවා පිළිබඳව උනන්දුවෙන් බලන්නට පටන් ගත්තෙමි. මෙසේ දුටු එක් ක්‍රියාකාරික ස්ථානයක් හාඩ්වෙයා කඩයක් විය. එය විවෘත කර තිබුණු නිසා මම එය ඇතුලට ගියෙමි. කාන්තාවන් දහ දෙනෙකු පමණ ක්ම වැඩ කළ එම ස්ථානයේ එකදු පාරිභෝගිකයෙක්වත් සිටියේ නැත. 


මම ඇතුළට ගිය විට එතන සිටි සේවිකාවන් දෙදෙනෙකුම මා වෙත පැමිණ මා කුමක් මිලදී ගැනීම සඳහා පැමිණියේදැයි විමසා සිටියහ. මම භාණ්ඩ බැලීමට පැමිණිය බවත් උනන්දුවක් ඇතිවන යමක් දුටුවොත් මිලදී ගන්නා බවත් ඔවුන්ට පැවසුවෙමි. 


ටික වේලාවක් එහි නොයෙකුත් භාණ්ඩ බලා මම පඳුරු කපන කුඩා කතුරක් මිලදී ගත්තෙමි. එය මිලදී ගනිද්දී මම එහි කැශියර්වරියගෙන් එකදු පාරිභෝගිකයෙක්වත් දකින්නට නොමැති වීම ගැන විමසුවෙමි. 


ඇය මා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් සේවිකාවන් කිහිප දෙනෙකු කාඩ්බෝඩ් පෙට්ටිවල බඩු අසුරනවා පෙන්වා කියා සිටියේ මෙහි වෙළඳාමෙන් සියයට අනූවකටත් වඩා සිදුවන්නේ online බවය. 


සිංගප්පූරුවේ සිටියදී කිහිප වතාවක් අපි ලිට්ල් ඉන්දියා පැත්තට ගියෙමු. අතිවිශාල වෙළඳ සංකීර්ණය වන මොහොමඩ් මුස්තාපා පිහිටි වීදිය දිගට පිහිටා ඇති බොහෝ කඩවල් පසුගිය කාලේ ඉන්දියානුවන්ට අයිතිව තිබුණි. නමුත් දැන් ඒ පැත්තේ ලොකු වෙනසක් සිදුවෙමින් තිබෙන බව මට පෙනුණි. ඒ බංග්ලාදේශ  පිරිස් ඒ පාරේ අලුත් ව්‍යාපාර පටන් ගැනීමට යොමුවී තිබීමයි.

දැන් ඔවුන්ගේ ව්‍යාපාර බොහොමයක් ඒ පාරේ තිබේ. ඒවා බොහෝ විට රෙදිකඩවල්ය. ශ්‍රී ලංකාවේ කවුරුන් හෝ එලෙස ඒ පැත්තේ කඩවල් කරන්නේදැයි මම සොයා බැලුවෙමි. එකක්වත් නොමැති බව දැක මම කණගාටුවට පත්වුනෙමි. මේ තරම් ඇඟලුම් කර්මාන්තයේ ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාවේ ඇඳුම් ටිකක්වත් එහි විකුණා ගන්නට කඩයක්වත් කවුරුත් නොදා සිටීම පුදුම සහගතය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා සිංගප්පුරැ වෙළඳ ගිවිසුමකුත් තිබියදී එසේ නොමැතිවීම තවත් පුදුම සහගතය.

No comments:

Post a Comment

The Story of Thomas Moore, the British Coffee Planter

My name is Thomas Moore, and I was born in Sussex, England, the eldest of seven children. My father owned four ships trading with the West I...