Thursday, August 5, 2021

ලක්ෂ්මන් ඉලංගකෝන්ගේ කෘෂි උපදේශ 2

 



අපේ ගෙවත්තේ පොල් ගස් හතළිහක් පමණ තිබේ. ඒ අතර මගේ ලොකු අත්තා, මගේ මව සහ මා සිටවූ ඵල දරණ ගස් ඇත. 

අපේ ගෙදර කඳු මුදුනක පිහිටා ඇති නිසා පොල් ගස්වලින් පහළට වැටුණු ගෙඩිවලින් පොල්ගස් කිහිපයක් ද ඇල්ල පල්ලේ පැලවී නැත්තේද නොවේ.

අප මේවට කවදාවත් පොහොර යොදන්නේ නැත. නමුත් ගෙදරින් ඉවත් වන දෑ අපගේ ගෙවත්තට එකතුවී මේවායේ පෝෂ්‍ය මල්ලිපදාර්ථ බවට පත්වෙයි. ගෙවත්තක පොල් ගස් තිබෙන විට ඒවායින් ලොකු ප්‍රයෝජනයක් තිබුණද ඒවායින් ඇතිවන කරදර කිහිපයක් ද විඳ දරා ගැනීමට සිදුවෙයි. පොල් ගහෙන් අත්තක් හෝ ගෙඩියක් හදිසියේ ඇගට කඩා වැටීම එක් අනතුරකි. පොල් ගස වටා බිම වෙනත් යමක් පැලකිරීමට නොහැකි වීම තවත් පාඩුවක් වෙයි. පාරකට කිට්ටුව කන්ද මුදුනේ නිවස තිබේනම් කන්ද අයිනට තිබෙන පොල් ගස් වල ගෙඩි පාරට වැටී මේ අනතුරුදායක තත්ත්වයක් ද ඇත.


ලඟකදී මම මෙවැනි ගසක් කපා ඉවත් කළෙමි.


තවත් අපේ එක් ගසක් ගබඩා මඩුවේ වහලයට කිට්ටු වී එයට පොල් ගෙඩි සහ අතු වැටීමෙන් මඩුවේ වහල කීප වතාවක් පිළිසකර කිරීමට සිදුවිය.

මම ම ඒ ගස කපන්නට අදහස් කළ ද මගේ බිරිඳ එයට තදින්ම විරුද්ධ වූයේ මේ ගස අපේ වත්තේ තිබෙන හොඳම පොල් ගස් වලින් එකක් බව කියමිනි.


දන්න අපට ඉතුරු වී ඇති එකම option එක පොල් ගස වහලෙන් පිටතට ඇද ගැටගැසීමයි. මේ සඳහා සතියකට දෙකකට වරක් ලොකු බැනර් එකකුත් දාගෙන ලවුඩ්ස්පීකර් එකින් ගස් බදිනවා කියමින් යන අයගේ සේවය ලබා ගැනීමට අපි තීරණය කළෙමු. දෙතුන් වරක් එය අල්ලා ගැනීමට උත්සහ කළද, එසේ ඔවුන් නවතා ගැනීමට අපි අපොහොසත් වූයෙමු. 

ඉන්පසු අපේ ගේ ළඟ පහල කඩයට දුරකථන ඇමතුමක් දී මේ වාහනය නැවත දුටුවොත් අප නිවසට එවන ලෙසට ඉල්ලා සිටියෙමු. ඊයේ කඩයෙන් දුරකථන ඇමතුමක් දී ඔවුන් පැමිණ ඇති බව පවසා ඔවුන් අප නිවසට එවීය. 

මම ඔහුට කරන්නට තිබෙන වැඩ ප්‍රධාන කර්තව්‍යය පෙන්නා එයට කුමන මුදලක් අවශ්‍ය දැයි ඇසුවෙමි. ගස ගැටගැසීමට සුදුසු තවත් පොල් ගසක් සොයා අතරඩියකට රුපියල් 250 බැගින් අවශ්‍ය බව ඔවුහු පැවසූහ. එවිට අවසානයේ කුමන මුදලක් ඔවුන් කිව්වත් මට ගෙවන්නට සිදුවන නිසා මම ඒ පොල් ගස් දෙක අතර දුර මැන බලන්නට කීවෙමි. එය අඩි 25 ක් විය. පයිතගරස් නියමය අනුව  බලන විට මෙයට කම්බි අඩි 40ක් වත් යන බව මට පෙනුණි. ඒ කියන්නේ රුපියල් දහදාහක පමණ මුදලකි. 

පොල් ගසින් මාස දෙකකට ගෙඩි දහයක් කැඩුනොත්, ඒ අවුරුද්දකට රුපියල් තුන්දාහකි. ඒ හා සසඳන කළ රුපියල් දහදාහක් පමණ ගෙවා පොල් ගසක් කෙලින් කර ගැනීමේ ඒ තරම් ප්‍රයෝජනයක් නැතැයි සිතූ මම එය නොකර ඉන්නට සිතුවෙමි. මම ඔවුනට ද එය කියා පැහැදිලි කළෙමි.

ඉන් පස්සේ ඔවුන් හතර දෙනකු ත්‍රීවීලයක පිළිමතලාවේ සිට පැමිණ යම් ආදායමක් ලබාගන්නට නොහැකි වූ නිසා මගේ ගෙදර මිදුලේ තිබුණු ඇද වී ඇති dragon පෘට් ගසක් කෙලින් කර දෙන්නට කියා පැවසුවෙමි. ඔවුන්ගේ උපකරණ යොදා ගෙන එය කෙළින් කර ගල් කිහිපයක් දමා සවි කළ අතර මම දැන් ඔවුන්ට රුපියල් දාහක් දී  යවන්නට සිතා ගත්තෙමි. 

ඒ වැඩේ අවසන් කළ එම කණ්ඩායමේ නායකයා, මගෙන් ලොකු පොල් ගස බැඳ තබන්නට රුපියල් හය දාහක් ඉල්ලා සිටියේය. 

මම වැඩ දෙකටම රුපියල් 6000 කට අකමැත්තෙන් වුවද කැමති බව කියා සිටියෙමි.

වචන පන්සීයේ සීමාව පනින නිසා අවසාන කොටස හෙටට තබා ගනිමි.

No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...