පාසල අවසන් වූ පසු මම ආපහු මම නිවසට ගමන් කළ යුත්තේ පාසලෙනි නැගෙනහිර පැත්තට වුවද මම බොහෝ දිනවල ගමන්කළේ පාසැලෙන් බස්නාහිර පැත්තටය.
ඒ මිතුරන් සමග කතා කරමින් මහනුවර නගරයට ගොස් මාකට් එකේ උඩ තට්ටුවෙ වැඩිය සෙනග නැති පඩිපෙලක ස්ටෙයා කේස් එකට වී සිගරට් එකක් ද පානයකර නගරයේ බස්ටෑන්ඩ් එකෙන් බසයක් ගෙන ගෙදරට යාමටය.
මෙලෙස නගරයට ඇවිදගෙන යන විට, වැව රවුමේ බැම්ම දිගේ යද්දි සාස්තර කරුවන් සහ තෙල් බෙහෙත් විකුණන්නන් කිහිපදෙනකු පසුකර යාමට සිදුවෙයි.
මෙලෙස සැතපුමක් පමණ පාසලේ සිට මහනුවර නගරය දක්වා කිසිම හේතුවක් නැතුව ඇවිදගෙන යාම එකල තරමක විහිළුවක් සේ පෙනුනද, ඇත්තෙන්ම දැන් බලන විට එය ව්‍යායාමයක් වශයෙනුත් ප්‍රයෝජනයක් නොලැබුණා නොවේ.
මෙලෙස ඇවිදගෙන යද්දි මා පෙර කියූ පරිදි හොඳ තෙල් බෙහෙත් කාරයෙකු අසල වෘත්තාකාර ලෙස සෙනඟ පිරී සිටියොත්, විනාඩි 5ක් 10ක් ඒ කුමක් සිදුවන්නේදැයි බලන්නට නැවතී සිටීම ද නිතර සිදුවිය.
මෙතන එක් ප්‍රසිද්ධ තෙල් බෙහෙත් වෙළෙන්දෙකු පාසල් සිසුන් එම වෘත්තයේ නැවතුනොත් කෝප වී ඔවුන් එළවා දමන්නට උත්සාහ කරයි. එහෙත් අප ඒ ලෙවල් කරන කාලයේ, තරමක වැඩිහිටි පෙනුමක් තිබූ නිසා, එසේම අප කිහිප දෙනකු සිටින සිටි නිසාත්, අපව කෙලින්ම එළවා දැමීමට තරම් එඩිතර කමක් ඔහු තුළ නොවීය.
ඔහුගේ ඒ ඇල්හේනේ තුවාල තෙල, විකුණන, වැඩි පිරිසක් පැමිණ සිටින්නේ විකුණද්දි, ඔහු විසින් බොහෝ රසවත් කතා; බොහොමයක් දෙපිට කැපෙන වචන යොදාගෙන කියන නිසා වූ අතර සමහර විට පාසැල් සිසුන් එතන සිටිද්දී එවැනි දෙපිට කැපෙන වචන පැවසීම හොඳ නැතැයි ඔහු සිතුවා වන්නටත් පුළුවන. එසේත් නැත්නම් පාසල් සිසුන් එතන රොද ගැසුනොත් පොලිසියෙන් පැමිණ ඔහු එලවෙලා දමන්නට ඉඩ තිබෙන බව ඔහු සිතුවා වන්නටත් පුළුවන.
මට මේ කතාව අද මෙතන ලියන්නට සිතුනේ මම ඊයේ මුහුණුපොතේ දැක්ක FB post එකක් නිසාවෙනි. ඒ පෝස්ට් එකෙන් කියවුනේ තමන් හොඳ නිසා තමන් අනුන්ට උදව් කරන නිසා තමන් අනුන් ඕනෑවට වඩා විශ්වාස කරන නිසා යමෙකුට ලොකු පාඩුවක් වෙන්නට පුළුවන් බවය.
වැව රවුමේ ඒ කාලයේ සාස්තර කියන මිනිසුන්ද තමන්ට සාස්තර කියන්නට කෙනෙකු අල්ලා ගන්නේ එවැනි ප්‍රකාශයක් කිරීමෙනි.
සාමාන්‍යයෙන් රැවටෙන්නට ඉඩ තිබෙන වාගේ පෙනුමක් තිබෙන කෙනෙකු, මාලිගාව පැත්තේ සිට පහළට හෝ අනෙක් පැත්තට යනවා දුටු විට, මේ සාස්තරකාරයන් මෙසේ කියයි
"තමන්ට වෙන කෙනෙකුගේ දුකක් දැක්කහම හිත උණු වෙනවා අතේ තියන සතපහ හරි දීලා දානවා නමුත් තමන්ට කරදරයක් උනහම කවුරුත් නෑ හරි නේද මං කියන එක,
තමන් ඕනෑ කෙනෙක් කියන එකත් විශ්වාස කරනවා, නමුත් තමන් කියන දේ කවුරුත් විශ්වාස කරන්නෙ නෑ හරි නේද මං කියන එක.
දැන් සාස්තරකරු ඒ අහිංසක මිනිසා ගේ අතින් අල්ලා ගනියි, මිනිසාත් දෙගිඩියාවෙන් අත බලන්නට සාස්තරකරුට ඉඩ දෙයි, දැන් මේ සාස්තර කීම පිළිබඳව ගිවිසුමට එළැඹී හමාරය. පැය භාගයක් පමණ තව බොරු කිහිපයක් කියා, රුපියල් දෙකක් පමණ අහිංසක මිනිසා ගෙන් ලබාගන්නා සාස්තරකරු ඔහුව යන්නට හරියි. සාස්තරකරු වෙතින් එතනින් ඒ රුපියල් දෙක ගෙන පහළට බැස බාර් එකට යයි.
ආපසු තව ටිකකින් පැමිණ නැවත තවත් බොහෝ විට උසාවියට හෝ රෝහලට දුර පළාතකින් පැමිණ, ඒ කරදර වලින් බේරීමට පිහිට පතන්නට දේවාලයකට හෝ මාලිගාවට පැමිණි තවත් මිනිසෙකු අල්ලාගනී.
මෙලෙස සාස්තර කරුවන් දැන් මා දන්නා විදිහට, වැව රවුමේ නැත.
No comments:
Post a Comment