Saturday, November 30, 2019

ස්වෙච්චා ආරක්ෂක මුර සංචාරය - කෙටි කතාව





1960 ගණන්වල ලංකාව පුරාම අපරාධ රැල්ලක් වාර්තා විය. ගෙවල් බිඳීම්, මිනීමැරීම්, බැංකු කැඩීම, කඩවල් සොරකම් කිරීම, වැනි බොහෝ අපරාධ දිනෙන් දින වැඩි වෙමින් වාර්තා විය. දැන් කාලේ මෙන් එකල සීසීටීවී නොතිබුණු හෙයින්, මෙම සොරකම් කරන්නේ කවුරුන්දැයි අල්ලා ගැනීම් සිදු වුණේම නැති තරම්ය. එම සොරකම් රැල්ල පිටිපස්සේ යම් සංවිධානයක් තිබිය යුතුම යැයි බොහෝ දෙනෙක් තර්ක කළේ එසේ නොමැතිව එක්වරම රට පුරාම වාගේ, මෙවැනි අපරාධ රැල්ලක් ඇතිවීමට කිසිදු ආකාරයක හේතුවක් සොයා ගැනීමට නොහැකි වූ නිසාය.

මෙලෙස තම ගමේ සිදු වන අපරාධ වැළැක්වීමට වෙනත් ක්‍රමයක් නොතිබුන නිසා, බොහෝ ගැමියන් ඒ කාලයේ එකතු වී රාත්‍රියේ ගමේ පාරවල්වල මුර සංචාරයේ යෙදීමද, නිතරම සිදුවන්නක් විය. බොහෝ විට ගමේ තරුණ පිරිසෙන් පහළොවක් විස්සක් පමණ මෙවැනි මුර සංචාරවල යෙදෙන්නට එකතු වූහ. ඒ කාලේ එතරම් රජයේ හෝ පුද්ගලික අංශයේ ගමෙන් පිට රැකියා කරන පිරිස් නොමැති වූ නිසා, දහ පහළොස් දෙනෙක් එකතුව මෙලෙස රාත්‍රියේ අටට විතර පටන් ගෙන, පසුදින පාන්දර හතර පමණ වන තෙක් රාත්‍රී මුර සංචාරය කළහ.

රාත්‍රියේ ගමේ ගෙවල් දෙකකින් පමණ ඔවුනට තේ සාදා දීමටත්, හැකි වෙලාවක ඔය මාළු  බනිස් වැනි කෑමකුත් ආහාරයට දීමටත් ඉදිරිපත් වූහ. මෙලෙස ඉදිරිපත් වූයේ ගමේ යමක් කමක් තිබෙන පවුල් වලිනි. ඇත්තෙන්ම සොරුන්ගෙන් වඩා තර්ජනයක් තිබෙන්නෙත් ඔවුනට නිසාත්, බොහෝ විට එවැනි නිවෙස් වලින් රජයේ රැකියාවලට යන ගුරුවරයෙකු, ලිපිකරුවකු වැනි කෙනෙකු සිටි නිසාත්, ඔවුන් මෙලෙස මුර සංචාරයට සහභාගී නොවී සම්පාදන කටයුතු වලින් යම් උදව්වක් කළහ. ඇත්තෙන්ම මුර සංචාරක කටයුතු වලට සහභාගි වූ තරුණයන් බොහෝ දෙනෙකුගේ නිවෙස් වලට හොරු පැන්නත්,  ගෙන යන්නට ඇති දෙයක් තිබුණේ නැත. එහෙත් මෙය සාමූහික කර්තව්‍යයක් නිසාත්, රාජකාරි කෙරුනේ දවස් 3 කට වරක් පමණ නිසාත්, මාස ගණනක් මෙම ස්වේච්ඡා මුර සංචාරක සේවය බොහෝ ගම්වල කෙරුණි.

මේවාට සහභාගි වීමට ඔවුන් උද්යෝගීමත් කෙරුණේ මෙතරම් රාත්‍රියේ එකට එකතු වී කතා කරමින්, තමන් ගමට යම් සේවයක් කරන බවට ලැබෙන හැඟීමක් නිසා විය යුතුය. එයට අමතරව සමහර ගැටවරයන් තමන් වැඩිහිටියකු බවට පත්ව ඇතැයි නෑසිය මිතුරන්ට පෙන්වීමටත්, එම තාරුනත්වය තමන්ගේම හිතට ආරූඪ කර ගැනීමටත්, මෙම ස්වේච්ඡා සේවය අවස්ථාවක් කර ගත්තේ නැතුවාම  නොවේ.

පන්විල පැත්තේ වත්තක යම් මේසන් වැඩකට සහභාගි වූ අපේ ගමේ විජේ නමැති පෙදරේරුවකු, ගෙදරින් වැඩට යාමට පිටත් වී වත්තේගමදී බසයෙන් බැස එහි තිබුණ බිම හලකට ගොස්, හොදටම වෙරි වී බසයක් අල්ලා ගැනීමට නොහැකිවී, ඒ කාලේ වෙන යාමට ත්‍රීවිල් වැනි වෙනත් වාහන නොතිබුන බැවින්, වත්තට පයින්ම යද්දි රෑ බෝවී ඇත. මොහු එලෙස රාත්‍රියේ කුඩා මල්ලකුත් අරගෙන පයින් යද්දී මෙම මුර සංචාරක කණ්ඩායමකින් ඔහු අල්ලාගෙන, ඔහුට සොරකු යැයි සැක කර වැරදීමෙන් පහරදී මියගිය සිද්ධියකුත්, මෙම මුර සංචාර නිසා සිදුවන බව අපේ ගමේ කෙනෙකු අප නිවසට පැමිණි විට කිවා මට මතකය.

ඒ අපේ ගම වුවත් අපි ජීවත් වූයේ නගරයකට කිට්ටුව නිවාස සංකීර්ණයකය. මේ ලංකාවේ සාමාන්‍යයෙන් නිවාස සංකීර්ණ බිහිවූ මුල්ම කාලයේ විය යුතුය. පැරණි ධනවත් පවුලකට අයත් වූ නීතිඥවරයෙකුගේ අක්කර දොළහක පමණ වූ ඉඩම රජයට ගෙන , එය කොටස්වලට කඩා රජයෙන්ම සුළු මුදලකට රජයේ නිලධාරීන්ට ලබා දෙන ලද්දේය. මෙම නිවාස සංකීර්ණයට දෙපැත්තෙන්ම කුඩා ගම කිහිපයක්  තිබුණු අතර, ඒවායේ ජීවත් වූයේ බොහෝ දුප්පත් මිනිසුන්ය. එක් පැත්තක ප්‍රසිද්ධ රා වෙළෙන්දෙක් සිටි නිසා ඒ ප්‍රදේශය ‘ඇරිසෝනා’ යනුවෙන් හැඳින්වූ බවත් මට මතකය.

අපගේ නිවාස සංකීර්ණය ඉක්මනින්ම ගොඩ නැගුණි. ඉඩම් කොටස් මිලදී ගත් සෑම දෙනාම පදිංචියට පැමිණියේ නැත. පවුල් තිස් දෙකක් වසරක් ගතවන විට පැමිණ පදිංචි වූහ. මේ සියලු දෙනාම රජයේ සේවකයන් නිසාත්, නිවාස සංකීර්ණ වල තිබෙන අලුත් ගතියත් නිසා අපේ පවුල්වල බොහෝ දෙනෙකු ඉතාමත් ළඟින් ආශ්‍රය කළෙමු. අපගේ පියවරුන් එකතුව නිවාස සංකීර්ණයේ සුභසාධක සංගමයක් පිහිටුවා ගත් අතර, සති දෙකකට සැරයක් ඔවුන් එකතුව සැර මත්පැන් සාදයක්ද පවත්වන්නට යෙදුණු බව මට මතකය.

ඉහත විස්තර කල හොරකම් රැල්ල සිදුවූ කාලයේ අපගේ නිවාස පද්ධතියේ කිසිදු සොරකමක් සිදු නොවූ අතර, අපට මේ පිළිබඳව අහන්නට ලැබුණේ මිතුරන් ගෙන් සහ ගුවන්විදුලියේ ප්‍රවෘත්ති වලින් පමණි. 

මේ කාලේ මගේ පියා රාජකාරි කළේය වී අලෙවි මණ්ඩලයේය. එහෙයින් ප්‍රාදේශීය කළමණාකාරවරයෙකු වූ ඔහු ගෙදර ආවේ සෙනසුරාදාට සහ ඉරිදාට පමණි.
එක් සෙනසුරාදා දවසක, අපේ නිවසට එහි සිට ගෙවල් හතරක් එහායින්  ගෙදරක වාසය කළ නිමල් අංකල් පැමිණියේය. මේ නිමල් අංකල් සමහරවිට අප නිවාස පද්ධතියේ සිටි ජනප්‍රියම පුද්ගලයා වන්නට පුළුවන. හමු වන සෑම දෙනාටම සිනාමුසු මුහුණින් කතා කල ඔහු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යෝධයකු යැයි කියන්නට පුළුවන. අඩි 6 කට වඩා උස ඔහුගේ අත පයද එයට ගැළපෙන ලෙසම ආරෝහ පරිණාහ ලෙස වර්ධනය වී තිබිණ. ඒ උසට සරිලන විශාල ඉදිරියට නෙරූ බඩක්ද තිබුණු ඔහුට, අපි ඔහු නැති තැන කීවේ යෝධයා කියාය. එකල මිහිර පත්තරේ තිබූ චිත්‍ර කතාවේ සිටි යෝධයා නිසා විය යුතුය.

ඔහු පැමිණ සිටියේ පියා මුණ ගැසීමටය. මමද සාලයේ ඉරිදා රිවිරැස පත්තරය බිම දාගෙන  කියවමින් සිටියෙමි. මේ නිසා මට ඔවුන්ගේ සංවාදයට ඇහුම්කන් දීමට ඉඩක් ලැබුණි. ටික වෙලාවක් සතුටු සාමීචියේ යෙදී සිටි නිමල් අංකල් අප නිවාස සංකීර්ණයේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවට කෙමෙන් අවතීර්ණ විය. පත්තරේ කියවමින් සාකච්ඡාවට ඇහුම්කන් දෙමින් සිටි මට, ඔහු ඇත්තටම මෙතැනට පැමිණියේ මේ පිළිබඳව කතා කිරීමට බව ඔහුගේ කටහඬ සහ විෂය පිළිබඳව දැක්වූ උනන්දුවෙන් තේරුම් ගන්නට පුළුවන් විය.

"
දැන් බලන්න මිස්ට වීරසිංහ, ලංකාව පුරහම වගේ පහුගිය කාලේ ගම්වල මිනිස්සු ආරක්ෂාව පිළිබඳව බොහොම උනන්දු වුණා, නමුත් අපි ඒක ගණන් ගත්තේ වත් නැහැ, අපි රජයේ සේවකයෝ, අපි තමයි හරි නම් ආදර්ශයක් වෙන්න අවශ්‍යය, නමුත් අපි ඔහේ හිටියා. අඩු තරමෙන් සමිතියේ මේ පිළිබඳව කතා කළේවත් නැහැ, මට මේ අදහස ආවේ ලග්ගල ඉඳලා ඒ හවස බස් එකේ නුවර එනකොට. රටේ ගම් වලට ආදර්ශයක් වෙන්ඩ අවශ්‍ය අපි ඒ කිසිම දෙයක් කරන්නෙ නැතිව පොඩි ලමයි වගේ හිටියා"

මගේ පියාට මෙම අදහස තදින්ම වැදුණු බව මම දුටුවෙමි. ඔහු ලැජ්ජාවට පත්විය. ඔහු ලැජ්ජාවට පත්වීමට වඩාත් හේතු කාරණය වූයේ, ඔහු නිවාස සංකීර්ණයේ සිටි යම් තරමකට හෝ හමුදා පුහුණුවක්ද ලද එකම පුද්ගලයා  නිසාය. ඒ පුහුණුව ඔහු ලැබුවේ ශිෂ්‍ය භට බළකායේ නිලධාරියෙකු වශයෙනි. ඔහු විදුහල්පති වරයෙකු වූවා පමණක් නොව, ශිෂ්‍ය භට බලකායේ ලුතිනන්වරයකු ලෙසද සේවය කළේය.

"
අපි මේ ගැන හෙටම රැස්වීමක් තියන්න ඕන, අපි ඉගෙන ගත්ත මිනිස්සු විදිහට මෙහෙම ගමක් ආරක්ෂාව පිළිබඳ වැඩ සටහනක් කොතරම් පිළිවෙලකට කළමනාකරණය කරලා කරන්ඩ පුළුවන්ද කියලා මිනිස්සුන්ට පෙන්නන්නත්, ඊට අමතරව අපි මේ වගකීමෙන් වැඩ කළේ නැහැ කියන එක අපේ හිතෙන් අයින් කර ගන්නත්" නිමල් අංකල් තාත්තාට තව දුරටත් කියා සිටියේය.

තාත්තාද එයට එක පයින්ම කැමැති වූ අතර, වෙනදා මෙන් සමිති රැස්වීම රාත්‍රියට නොව හෙට උදය වරුවේ දහයට පවත්වන්නටද කතා කරගෙන, ඔවුහු වෙන් වූහ. ඔහු කරන්නට භාර ගත් පරිදි දුරකථන තිබෙන ගෙවල්වලට ඒ වෙලාවේම කතාකර, මේ පිළිබඳව දැන්වීමට මගේ පියා වහාම  කටයුතු කළේය. දුරකථන නොමැති ඉතිරි ගෙවල් වලට පසුදින උදයේ මේ රැස්වීම පිළිබඳ දැන්වීමේ යම් කාර්යභාරයක් මටද කරන්නට සිදුවුණි. ඒ පාරෙන් උඩ කොටසේ ගෙවල් වලට මේ රැස්වීම පිළිබඳව දැන්වීමයි. පහල කොටස වෙනත් ළමයෙකු විසින් කරන්නට ඇත.

පසු දින රැස්වීම පැවැත්වුණේත් පෙරදින නිමල් අංකල් හා මගේ පියා තීරණය කරගත් පරිදි අපගේ නිවසේ දීමය. රැස්වීමේදී කරුණු පැහැදිලි කරද්දී මුලින්ම නිමල් අංකල් ආරක්ෂණ වැඩපිළිවෙළ ගැන කතා කරන්නට පටන් ගන්නා විටම, මෙය මගේ පියාගේ අදහසක් බව කෙලින්ම නොකියා  කීවේය. ඔහු එයට මගේ පියාගේ හමුදා පසුබිමත් සම්බන්ධ කර කියන විට, පියාගේ සහ මවගේ මුහුණු ආඩම්බරයෙන් දිලිසෙන බව මම දැක්කෙමි. එය ඇසුණු විට මටද තරමක් ආඩම්බරයක් හිතට නොදැනුනා යැයි කියන්නට නුපුළුවන. ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා වලට එතරම් දක්ෂතාවයක් නොපෙන්වන නිසා පොඩ්ඩක් කැපී සිටින මට, මෙයින් වත් නිවාස සංකීර්ණයේ මිතුරන් අතර යම් තැනක් ලැබෙන්නට ඉඩ තිබෙන්නේ යැයි මට සිතුනි.

රැස්වීමට පැමිණි 25ක් පමණ වූ පිරිසට තේ අපේ ගෙදරින් පිළියෙල කෙරුණු අතර, මාලු බනිස් ගෙනවිත් තිබුණේ නිමල් අංකල් විසිනි.

එදින සිටම ආරක්ෂක වැඩ පිළිවෙළක් පටන් ගන්නට ඒකමතිකව තීරණය කෙරුණි. හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් දෙකක් රාත්‍රී 10.00 සිට උදේ 5.00 දක්වා රවුම් පාරේ මුර සංචාරය කරන්නටත් තීරණය වුනු අතර, මේ සඳහා කණ්ඩායම් දෙක පටන් ගන්නා ස්ථාන නොයෙකුත් වේලාවන්හිදී සිටිය යුතු ස්ථානත් ලකුණු කර, දළ රූප සටහන් දෙකක්ද පිළියෙල කෙරින. මුල් කණ්ඩායම රාත්‍රියේ 3:00 ට රාජකාරිය අවසන් කරන අතර, දෙවැනි කණ්ඩායම ඒ වෙලාවට වැඩ භාරගෙන උදේ 5.00 දක්වා මුර සංචාරයේ යෙදීමට තීරණය විය. එදින රාත්‍රියේ පටන් ගත් පළමුවෙනි මුර කණ්ඩායමේ මගේ පියාද සිටි නිසා, මමත් ඔවුන් සමග පළවෙනි රවුම ගොස් රෑ 10 ට පමණ ගෙදරට ආවෙමි. මම කලින් පැමිණ මිදුලට නැග පුහුණුවන හමුදා භට කණ්ඩායමක් ලෙස පාරේ පහලට යන පියා ඇතුළු ආරක්ෂකයන් දැක මහත් ආඩම්බරයට පත්වූයෙමි.

මෙලෙස සතියක් මුර සංචාරය පැවැත්වින. අනෙක් බොහෝ ස්වේච්ඡාවෙන් වැඩකරන  කණ්ඩායමක් විසින් කරන දේවල් ලෙසටම මෙම කර්තව්‍යයද ක්‍රමයෙන් අධෛර්යට පත් වෙනවා මම දුටුවෙමි. විශේෂයෙන්ම එවැනි ආරක්ෂක වැඩ පිළිවෙලක් පවත්වාගෙන යාමට ලොකු අවශ්‍යතාවයක් නොමැති වීම, මෙලෙස මෙම ක්‍රියාවලිය අඩපණ වීමට ලොකුම හේතුව යැයි පෙනෙන්නට තිබුණි.
සතිය අවසානයේ නිමල් අංකල් සහ ඔහුගේ පවුල, ඔහුට දුවකු සහ පුතෙකු සිටියහ, රැකියා මාරු වීමක් නිසා කොළඹ පදිංචියට යාමට සිදුවිය. ස්වේච්ඡා ආරක්ෂක වැඩපිළිවෙළ මගේ පියා විසින්ද තව සතියක් පමණ ඇද ගෙන ගිය නමුත්, එය ක්‍රමයෙන් ස්වාභාවික මරණයට පත් විය. මාස කිහිපයකට පසුව නිමල් අංකල් ගේ  නිවසද විකුණා දැමුණු අතර, ඔහු ඉන් පසු අප කිසි කෙනකුට මුණ ගැසුණේද නැත. නිමල් අංකල් කොළඹට ගොස් ඇත්තේ රැකියා මාරුවක් නිසා නොව රැකියාවෙන් ඉවත් වී බව මගේ පියා මගේ මවට දවසක කියනු මට ඇසුණු නමුත්, මම එය එතරම් ගණනකට ගත්තේ නැත.

ඉන් පසු මෙම සිද්ධිය මගේ සිතටත් නැවත ආවේ මෙය සිදු වී අවුරුදු විසිපහකට පමණ පසුවය. මම විද්‍යා අංශයෙන් උපාධිය ලබා ගෙන ගුරුවරයකු ලෙස අවුරුදු තුනක් පමණ කටයුතු කළෙමි. ඉන්පස්සෙ මීට වඩා වැඩිපුර පඩි ගෙවන රැකියාවක් සොයා ගත යුතු යැයි සිතා පුවත්පත් දැන්වීම් බලා නොයෙකුත් රැකියා වලට ඉල්ලුම් කළෙමි. අවසානයේ රසායනික ද්‍රව්‍ය ලංකාවට ගෙන්වා, ඒවා ලංකාවේ නොයෙකුත් කර්මාන්ත සඳහා බෙදා හරින සමාගමක කළමනාකරුවෙකු වශයෙන් රැකියාවක් සඳහා මා තෝරා ගැනිණ. රැකියා ස්ථානය කොළඹ වුවත් එම කර්මාන්ත ශාලාව අසලම නැවතීමට නිවසක්ද ලැබෙන නිසා, මම මෙම රැකියාවට විශේෂයෙන් කැමැති වූයෙමි.

මාස කිහිපයක් රැකියාව කරගෙන යද්දී මම මේ රැකියාවට බොහෝ ඇලුම් කරන්නට පටන් ගත්තෙමි. එහි තරුණ අයිතිකරුත් මගේ වයසේම වගේ සිටි අතර, ඕස්ට්‍රේලියාවේ ඉගෙනගෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් එහිම ලබා ටික කලක් එහි රත්රන් ආකරක වැඩ කර, තම පියා මිය ගිය පසු ශ්‍රී ලංකාවට පැමිණ පියාගේ ව්‍යාපාරය කරගෙන ගිය කෙනෙකි. සෑම අවුරුද්දකම මෙම සමාගමේ විධායක තරාතිරමේ නිලධාරීන්ගේ වසර අවසානයේ පැවැත්වෙන සාදය අයිතිකරුගේ නිවසේ පැවැත්වෙන බව මම දැන සිටියෙමි. මේ වසරේ එය පැවැත්වුණේ දෙසැම්බර් 17 වැනිදාය. 

මේ සඳහා අප හත් දෙනෙකු රාජගිරියේ පිහිටි අයිතිකරුගේ නිවස වෙත හවස 06:00 ට පමණ ගියෙමු. ඉතාම සුඛෝපභෝගී එමෙන්ම කලාත්මක අයුරින් ගොඩනගා තිබූ මෙම නිවස, අප රටේ අගමැති කෙනෙකුගේ ඥාති සහෝදරයෙකු ගෙන් ඔහුගේ පියා බොහෝ කලකට පෙර මිළට ගත් බව, සමාගමේ අයිතිකරු මට එදින කීවේය. සාලෙ මැද කුඩා බීම හලක්, වැවක් අයිනෙන් ඉවර වන මිදුලේ තණ පිටියට විවෘත වන ලෙස සාදා තිබූ මෙම නිවසේ, මගේ වඩාත්ම සිත්ගත් එක් ස්ථානයක් වූයේ හොඳින් වැඩී තිබුණු  එමෙන්ම කඳේ ගෙඩි පිරී තිබුණු නංනං ගසයි.

ටික වේලාවක් උද්‍යානයේ ඇවිදීමට මට අවකාශයක් ලැබුණේ මම අනෙක් අයට වඩා ටිකක් කලින් එතනට ගොස් තිබුණ නිසාය. අනෙක් අයත් පැමිණි පසු නිවෙස තුලට ගිය පසු, නිවසේ දිග වැරැන්ඩාවේ තිබුණු ඡායාරූප කිහිපයක් ඒ දෙස අප උනන්දුවෙන් බැලුවේ සාමාන්‍යයෙන් නිවසකට ගිය විට එය කළ යුතු දෙයක් ලෙස අපට සිතුණු නිසා විය හැක්කේය.

බිත්තියේ තිබූ දෙවෙනි ඡායාරූපය දුටු විට මට අතීතයේ යම් සිදුවීමක් මතක් විය. ඒ මං මුලින් සඳහන් කළ අපගේ නිවාස සංකීර්ණයේ සතියක් පුරා පැවැත්වුණු ආරක්ෂණ වැඩ පිළිවෙළයි. දෙවැනි ඡායාරූපය එහි මූලිකයා වූ නිමල් අංකල්ගේ විශාල කළු සහ සුදු ප්‍රතාපවත් ඡායාරූපයක් වීම මා පුදුමයට පත් කළේය. මම ටික වේලාවකට පස්සේ එතනට පැමිණි අපේ අයිතිකරුට මේ බව කියා සිටියෙමි. ඔහුත් මහත් පුදුමයට පත්විය. ඔහු මට වඩා වයසින් තරමක් බාල වුවද, ඔහුටද මා සහ මගේ පියා මතක තිබුණි. මින් පසුව අප දෙදෙනාගේ මිත්‍රත්වය තවත් වැඩි වූ අතර, ඔහු හා ඔහුගේ සේවකයෙකුට වඩා මිතුරෙකු ලෙසට සලකන්නටද උත්සාහ කරන බවක් මට පෙනුණි. ඔහුගේ පියාට ලග්ගල සේවය කරද්දී මැණික් මල්ලක් ලැබී ඇති බවත්, ඔහු ඉන්පසු රැකියාවෙන් ඉවත් වී කොළඹට පැමිණ මෙලෙස ව්‍යාපාරයක් මිලට ගෙන, එය හොඳින් වැඩි දියුණු කරගෙන ජීවත් වුණු බවත්, ඔහු මට වරින් වර කියූ දෙයින් පැහැදිලි විය.

මම මේ පිළිබඳව මගේ පියාටද දුරකථනයෙන් දැන් වූයෙමි. ඔහුද ඒ පිළිබඳව බොහෝ සතුටට පත්විය.

සති කිහිපයකින් මා පියා බැලීමට නිවසට ගිය විට මේ පිළිබඳව අපි බොහෝ දෑ කථා කළෙමු.

මම ඔහුට මැණික් මල්ල පිළිබඳව කතාව කියූ විට ඔහු ශබ්ද නඟා සිනාවෙන්නට පටන් ගත්තේය.

"මේ මනුස්සයා අපි සුමානයක්ම රවුමේ අරං ගිහිල්ලනේ, අර මැණික් මල්ල විකුණන කං ගෙදර තියාගෙන හිටපු සුමානේ තමයි මේ හවුසිං ස්කීම් එකේ ආරක්ෂක සංවිධානය තර කරල තියෙන්නේ, මොනව උනත් නියම මොලේ"
ඔහු කොක් හඬලා සිනාසෙන්නට පටන් ගත්තේය. ඕක දැන් වෙන කාටවත් කියන්නට යන්න එපා, ආයේ මොකටද පරණ ඒවා අවුස්සන්නේ" ඔහු අවසානයේ කීවේය. "අම්මා හිටිය නං මට හොඳ බැනුම් ටිකක් අහගන්න තිබ්බා, එයා හැමවෙලාවෙම කියනවා වගේ මම කොච්චර මිනිස්සුන්ට අහුවෙනවද කියලා"

3 comments:

  1. ඩේසි ආච්චිගේ මැණික් මල්ල ආරක්‍ෂා කරන්න තමයි නිල් බලකාය පිහිටුවලා තියේනේ!

    ReplyDelete
  2. කතාවේ මුල හරිය කියවන කොට මට සිහිවුනේ එදිරිවීර සරච්චන්ද්‍ර ලියා ඇති "වටපුළුවෙ ගෙවල් බිඳල" කියන නාට්‍යය. මං හිතන්නේ රේඩියෝ නාට්‍යයක්.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...