Tuesday, November 12, 2019

පුරාවිද්‍යා නිවසේ නිධානය - කෙටිකතාව





1973 වසරේ අපේ බාර්කෝර් ලෙස හඳුන්වන ගමේ විශේෂ සිදුවීමක් සිදූ  විය. සමහර විශේෂ සිදුවීම් නිතරම සිදු වෙන ගම්වලට මෙය විශේෂ සිදුවීමක් නොවන්නට පුළුවන. එහෙත් අපේ ගම අවුරුදු දහස් ගණනක් විශේෂ සිදුවීම් නොදුටු ගමක් නිසා, පුරාවිද්‍යා නිලධාරීන් පැමිණ ගමේ පැත්තක තිබෙන කුඩා බුබ්බුලාකාර කඳුගැටයක් වැනි ස්ථානයක් ගවේෂණය කරන්නට තීරණය කිරීම, ඇත්තෙන්ම සුවිශේෂී සිද්ධියක් යැයි කිව හැකිය.

මේ කුඩා කණ්ඩායමේ ප්‍රධානියා වූයේ, වයස 40ක් පමණ වූ සිහින් සිරුරක් ඇති කොණ්ඩය ඔලුවේ ඉතිරි වී ඇති ප්‍රමාණය නැති වූ ප්‍රමාණයට වඩා අඩු, පටි සපත්තු දෙකක පසුපස පටි සවි කර ගන්නේ නැතිව, ඒවා පාගා ගෙන යන්නට පැළඳගත් ශ්‍රී විජේ පාන්ඩේය. සෙරෙප්පු දෙකත් වැරදි විදිහට දමා ගෙන සිටියද, පාන්ඩේ මහතා ඉතාමත් වේගයෙන් ඇවිද්දේය. ඔහුගේ කණ්ඩායමේ ඔහු යටතේ සිටි අනෙක් දෙදෙනා ඔහුට වඩා තරුණ වුවද, ඔහුගේ වේගයෙන්ම ඇවිදින්නට මහත් වෙහෙසක් දරන්නට සිදු විය.

ඔවුන් මුලින්ම ගමේ තාවකාලිකව නැවතී සිටින්නට තැනක් සෙවූ මුත්, එවන් තැනක් අපේ ගමේ සොයා ගැනීමට නො හැකි බව, ඔවුන් පැයක් දෙකක් යන්නට කලින්ම අවබෝධ කරගත්හ. අපේ ගමේ පිටින් පැමිණෙන වැදගත් මහත්මයෙකුට නවතින්නට තබා, පින්ඩ් දානය සඳහා පැමිණෙන ශ්‍රමණයෙකුට වුවත් නවතින්නට තැනක් සොයා ගන්නට නොහැකිය. ඇත්තෙන්ම කියනවනම් අපි නැවතී සිටින්නේත්, ඉතාමත් ඉඩ පහසුකම් අඩු හරියට වහලයක් වත් නැති නිවෙස්වලය.
මේ ප්‍රදේශ බොහෝ කලකට පෙර ඉතාමත්ම සශ්‍රීකව පැවතුන බවද, සක්විති අශෝක රජු වර්තමානයේ ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඇතුළු රාජ්‍ය පවා පාලනය කළේ, අප ජීවත්වන ප්‍රදේශයේ පිහිටි පට්නා නගරයේ සිට බව අප අසා ඇත්තෙමු. එසේම ජපානය වැනි දියුණු රටවල පවා වැඩි දෙනකුගේ ආගම වන බුද්ධාගම පටන් ගත් ශාස්තෲවරයාණන්, ඔහුගේ මුළු ජීවිත කාලයම වාගේ ගත කලේ මෙය අප ජීවත්වන ප්‍රදේශය බවත් මා අසා තිබේ. එහෙත් දැන්නම් අපට ඒ ආගමෙන් ඉතුරුව ඇත්තේ කහපාට රෙදි කෑලි ඇඳගත් පිටරටින් එන බෞද්ධයන්ගෙන් කීයක් හරි කඩා ගන්නට බලා සිටින, කිසිම වැඩක් නොකරන අධ්‍යාපනයක්ද නොමැති කිහිප දෙනෙකු පමණි.

මෙම සිද්ධිය මට අදාළ වන්නේ මේ කතාවට කෙසේද යන්න මම දැන් කිව යුතුය. අපේ බාර කෝල් ගමේ ජීවත්වන පිරිස කුල ගෝත්‍ර තුනකට අයත් වූහ. එයින් අප අයත් වූයේ කන්ජාර් නැමැති කුලයටයි. මෙය ඉන්දියාවේ ජනගහනයෙන් 15% ක් පමණ වන කුලයෙන් අඩු පිරිස් වලට අයත් කුලයකි. අප භාවිත කළ භාෂාව මගහි යනුවෙන් හැඳින්වෙන අතර, අවුරුදු දෙදහස් පන්සියයකට පෙර බුදුන්වහන්සේ පාවිච්චි කළ භාෂාවද මෙය යැයි බුද්ධ ගයාහි ප්‍රධාන මහාන්ත්වරයා වරක් කියනු මා අසා තිබේ.

මෙම ප්‍රදේශයේ සිටි දහසක් පමණ වූ කන්ජාර් කුලයේ මිනිසුන්ගේ; ඒ සෑම පවුලක්ම වාගේ එකිනෙකාට නෑදෑයන් වූහ, නිල නොලත් ප්‍රධානියා වශයෙන් එකල සලකනු ලැබුවේ මගේ පියාය.
ඔහුට අපේ භාෂාව ලියන්න කියන්නට පුළුවන් වූ අතර, එයටත් අමතරව ඉංග්‍රීසි භාෂාවද තරමක් දුරට කතා කරන්නද, ගැටගසාගෙන ලියන්නටද පුළුවන් විය. ඒ නිසාම අපේ නෑදෑයන්, හිත මිතුරන් ඔහු ඇමතුවේ මහාරාජ් යන ගෞරව නාමයෙනි.
මේ නිසාවෙන්ම විජේ පාන්ඩේ මහත්මයා 1973 වසරේ සුජාතාගාඩ් කුඩා කඳු ගැටය පරීක්ෂා කිරීමට පැමිණි පසු, ඒ සම්බන්ධව ප්‍රදේශයේ වැසියන් ගෙන් ලබාගත හැකි උදව් සහ තොරතුරු විමසා බැලීමට කෙළින්ම පැමිණියේ මගේ පියා වෙතය. මුලින්ම පියා සුජාතා ගාද් වෙතට පැමිණ, ඔහු මුණ ගැසෙන ලෙසට පණිවුඩයක් ලැබුණද, පියා එතනට ගියේ නැත. ඇත්තෙන්ම ඔහු එතැනට ගියේ නැත්තේ ඔහුගේ තිබූ ආඩම්බරකමක් නිසා නොව, එදින ඔහු ඔහුගේ දාස්පෙතියා වගාවේ වල් ගලවමින් සිටි නිසාය...........
මීළඟ කොටස අනිද්දා 



1 comment:

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...