Thursday, November 7, 2019

කුරුසමුත්තු - කෙටිකතාව





සාමාන්‍යයෙන් හමුදාවක නිලධාරියෙකු පුහුණු කාලය අවසන් වූ දිනයේ සිටම  බලාපොරොත්තුවෙන් සිටින්නේ ස්වාධීන විධානයක්  (command) එකක්  ලැබෙන තුරුය. තේරෙන භාෂාවෙන් කියනවා නම්, තමන් අණදෙන නිලධාරියා හෝ  අණභාර නිලධාරියා වශයෙන් කටයුතු කරන කඳවුරක් හෝ නෞකාවකි. සාමාන්‍යයෙන් යුද්ධයක් නොමැති කාලයක මෙවැනි ස්ථාන එසේත් නැත්නම් මෙවැනි තනතුරු ඉතා අල්ප වේ. මක්නිසාද යත් සාමය තිබෙන කාලයේ රටේ සෑම තැනම කුඩා කඳවුරු දැමීම හමුදාවක් විසින් නොකරන නිසාය.

එහෙත් යුද්ධයක් ඇති විට හෝ යුද්ධයක් ඇතිවීමට ඉඩ ඇති විටක නොයෙකුත් ස්ථානයන්හි, කුඩා කඳවුරු ඇති කිරීම සතුරාගේ ගමන් මාර්ග අවහිර කිරීම, සතුරාගේ සැපයුම් මාර්ග වසා දැමීම, සහ සතුරා යටතට ජනතාව පත් වීමට ඉඩ නොදීම සඳහා බොහෝවිට කෙරෙන්නෙකි. යුද්ධය පටන් ගැනීමට ටික කාලයකට පෙර, එහෙත් එසේ පටන් ගැනීමක් පෙන්වා දෙන නොයෙකුත් ලකුණු පහළ වෙද්දී, යාපනය අර්ධද්වීපයේද නොයෙක් ස්ථානයන්හි කුඩා හමුදා කඳවුරු ඇති කෙරිණ.

ත්‍රස්තවාදීන්ගේ සැපයුම් මාර්ග බහුතරයක්, ඇත්තෙන්ම සියයට  අනූ නවයක් පමණ වැටී තිබුණේ ඉන්දියාවේ සිට යාපනය අර්ධද්වීපයටය. පුහුණුවට යන මිනිසුන් ආවේ ගියේද ආයුධ ඇතුළු වෙනත් යුද්ධ ආම්පන්න ඉන්දියාවේ සිට ගෙනාවේද මුහුදු මාර්ගයෙනි.
ඉතින් මුහුදු මාර්ගය පාවිච්චි කරන විට පාරවල් අවශ්‍ය නොවන නිසා, මුහුදේ සිට පැමිණෙන බෝට්ටුවලට යාපනය අර්ධද්වීපයේ උතුරු වෙරළේ හෝ ආසන්න වෙරලවල, ඕනෑම තැනකට පහසුවෙන් වෙරළට පැමිණීමේ හැකියාව තිබුණි .

මෙය වැළැක්වීම සඳහා උතුරු වෙරළේ නොයෙකුත් ස්ථානවල, විශේෂයෙන්ම බෝට්ටු වලට වෙරළට පහසුවෙන් ගොඩට ඒමට හැකි ස්ථානවල හමුදා කඳවුරු ස්ථාපනය කෙරිණ. සාමාන්‍යයෙන් මෙවැනි කඳවුරු වලට සුදුසු ආරක්ෂාවක් තිබිය යුතු නිසාත්, අවට මුහුදේ අවශ්‍යතාවයක් ඇතිවුවහොත් පරීක්ෂා කිරීමට යාම සඳහාත්, ප්‍රමාණවත් භට පිරිසක් සේවයෙහි යෙදවීම අවශ්‍ය විය. අනු ඛන්ඩයේ ආරක්ෂාව සඳහා භටයන් දෙසීයක් පමණ  සාමාන්‍යයෙන් ලබා දුන් ප්‍රමාණය වන අතර, ඒ හැම කඳවුරකටම පාහේ අශ්ව බල  හතළිහේ ඇන්ජින් දෙකක් සවිකල අඩි 30 ෆයිබර් ග්ලාස්  ඩිංගි දෙකක්ද ලබාදී තිබුනි.
මට මගේ පළමුවෙනි ස්වාධීන අණ බාරය ලෙස  ලැබුණේ මෙවැනි කඳවුරකි. යාපනය අර්ධද්වීපයේ බටහිර කෙලවරට කිට්ටු වන්නට පැවති මෙම කදවුර,  කන්කසන්තුරේ සහ පොන්නාලේ හන්දිය අතර පිහිටා තිබුණි. පත්වීම බාරගැනීමට කොළඹ සිට යන රාත්‍රී දුම්රියෙන් මම යාපනයට ගොස්, යාපනය දුම්රිය ස්ථානයෙන් පිටතට පැමිණෙන විට, අප කඳවුරේ තිබුණු එකම ජීප් රථය මා රැගෙන යාමට පැමිණ සිටියේ එක් ආරක්ෂක භටයකු සමගය. ජීප් එකේ ඉදිරිපස අසුනේ ඉඳගෙන මම කදවුර වෙත ගියේ මහත් ආඩම්බරයකිනි. කඳවුර ඇතුළට යන විට එහි සේවය කරන දෙදෙනෙකු මා ආචාර කර පිළිගන්නවා දුටු, මගේ එම ආඩම්බරය තවත් වැඩි වූ බව කියන්නටත් අවශ්‍ය නොවේ.

එම කඳවුරේ සිටි අණභාර නිලධාරීවරයා ගෙන් රාජකාරි භාර ගැනීමට මට දවස් තුනක් ගත විය. අවසානයේ රාජකාරි බාරගත් බව පවසා එම සහතික අත්සන් කර ප්‍රාදේශීය බලධාරියාටද සංඥාවක් යැවූ පසු, මට කලින් එහි සිටි අණභාර නිලධාරිවරයා කඳවුරෙන් පිටවූයේ කොළඹ  බලා යාමටය.

පසු දිනම මම අනු ඛන්ඩයේ රාජකාරි පිළිබඳව දැනුවත් වීමට පටන් ගත්තෙමි. කඳවුරේ සියලු දෙනා ගෙන්වා කතා කළෙමි. ආයුධ, වාහන සහ බෝට්ටු පිළිබඳව සොයා බැලුවෙමි. දවස් දෙක තුනකින් මේ සියල්ල සම්පූර්ණ කර ගෙන ඉන්පසු දෛනික චර්යාවකට පුරුදු වන්නට පටන් ගත්තෙමි.

සතිය දවස් වල උදයේම කන්කසන්තුරය දක්වා නැගෙනහිර පැත්තට පාර දිගේ දුව ගොස්, ආපසු ඒ පාරෙම එම කඳවුරට පැමිණීම ව්‍යායාමයක් සහ ප්‍රදේශය දැනගැනීමට ක්‍රමයක් ලෙස  පටන් ගත්තෙමි. සති අන්තයේ මුහුද ප්‍රචණ්ඩ නොවූ කාලයට මුහුදේ පිහිනන්නටත්, එසේ නොවන කාලයට කොරල්පරයකට  මුවා වී තිබූ කුඩා පොකුණක් වැනි කොටසක බැස නාගන්නටත් පටන් ගත්තෙමි.

කඳවුරේ පැත්තක දමා තිබුණු අභාවයට ගිය මේස පන්දු මේසයක් අළුත්වැඩියා කරගෙන, මේස පන්දු ක්‍රීඩාවද කරන්නට පටන් ගත්තෙමි. මේසය එතරම් හොඳ තත්වයක නොතිබුණද මේස පන්දු ක්‍රීඩා  නොකර ඉන්නවාට වඩා එවැනි මේසයක් වුවත් ක්‍රීඩා කිරීම වඩා හොඳ නිසා, ඒ මේසේ ක්‍රීඩා කළද, ඊළඟ අවුරුද්දේ දී අලුත් මේසයක් ගෙන්වා ගැනීමට, ඊළඟ වසරේ ක්‍රීඩා භාණ්ඩ අවශ්‍ය තාවයට මේස පන්දු මේසයක්ද ඇතුළු කළෙමි.

මම මේ කඳවුරට රාජකාරි සඳහා පැමිණුනේ ජනවාරි තුන් වෙනිදාය. ඒ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා තිබුණු සාදයකින් පසුව, මම අලුත් වසරේ සිට දුම්බීම සහ මත්පැන් පානය කිරීම සම්පූර්ණයෙන් නවත්තන බවට අධිෂ්ඨාන කර සිටි නිසා, මම දැන් මේ කඳවුරට පැමිණ සති දෙකක් ගත වන තුරුත් එම අධිෂ්ඨානයේම සිටියෙමි.

එහෙත් සෑම අවුරුද්දකම මෙන් මේ අවුරුද්දේද දෙවැනි අධිෂ්ඨානය මුලින් බිඳ වැටුණි. ඒ මත්පැන් නොබී සිටිමේ අධිෂ්ඨානයයි. පැමිණ ටික දිනකට පසු  කඳවුරේ තිබුණ කුඩා සාදයකදී මම කුඩා මිලිලීටර් 50 ක පමණ ඩ්‍රින්ක් එකක් ගත් අතර, එය ක්‍රමයෙන් හතරක් පහක් පමණ විය. එහෙත් කොතරම් අවශ්‍යතාවය මතු වුවද, දුම් නොබී සිටීමේ අධිෂ්ඨානය නම් බිඳ ගත්තේ නැත.

එහෙත් මේ අධිෂ්ඨාන  දෙක එකට යන දෙකක් බව නැවත වරක් මට පෙන්වා දුන්නේය. මම පසුදින උදය නැගිට ඒ ගැන කල්පනා කරන්නෙත් නැතිව ගෝල්ඩ් ලීෆ් පැකට් එකක් ගෙන්වා ගත්තෙමි. වැඩිය කල්පනා නොකර එසේ කළේ, මා ගැන මටම ඇතිවන ලැජ්ජාව වළක්වා ගැනීමටය. ඒ අතරම මම දවසකට සිගරට් තුනක් පමණක් බොන බවට මගේ නව වසරේ ප්‍රතිඥාව තරමක් දුරට ලිහිල් කළේ, තව ටික දවසකින් මේ සියලු අධිෂ්ඨාන ඵල රහිත වි . නැවතත් මම දවසට සිගරට් දහයේ පුරුද්දට පැමිණීමට ඉඩ ඇති බව හොඳින්ම දැන ගෙනය. පුරුදු වලට වහල් වූවන්ට මෙය නිතරම සිදුවන සාමාන්‍ය දෙයක් බව පුරුදු වලට වහල් වූවන්ට රහසක් නොවේ.

කාලය සෙමෙන් ගෙවී ගියේය. ප්‍රාදේශීය ආඥාපතිවරයාගේ වාර්ෂික පිරික්සුම සහ මා විසින් පදවාගෙන ගිය මුර යාත්‍රාවකින් වැටී මා යටතේ වැඩ කළ භටයෙකුගේ කකුල කැපී, ඔහුට බොහෝ කාලයක් කොළඹ මහ රෝහලක ප්‍රතිකාර ගැනීමට සිදු වීම හැරෙන්නට විශේෂ දෙයක් සිදු වූයේ නැත.

මේ අතර මගේ යටතේ සිටි අනෙක් නිලධාරියා මට සති අන්තයට තවත් පුරුද්දක් ඇතිකර ගැනීමට ඉඩ සැලැස්සුවේය. ඒ තල් රා පානය කිරීමයි. අපේ කඳවුර අසල ජීවත් වූ කුරුසමුත්තු නම් වූ , කොට කලිසමක් ඇඳ ගත් සිහින් සිරුරකින් යුත් පුද්ගලයකු මට හඳුන්වා දෙනු ලැබුවේ මේ නිලධාරියා විසිනි. කුරුසමුත්තු යන නම අපගේ සුගත දාස සුගතපාල වැනි ආගමට සම්බන්ධ නමක් බව මට ඒ නම මුල්වරට ඇසෙදඩි සිතුවෙමි.

කුරුසමුත්තු  කඳවුරට අයිති ඉඩමේ තල් ගස් කිහිපයක මල් කපන්නට පුරුදුව සිටි අතර, ඔහු කඳවුරට පැමිණි අවස්ථාවල මා මුණ ගැසී, මා සමග ටිකක් කතා කරමින් ඉන්නටද පුරුදු විය. මමද ඔහුත් සමඟ කතාව රස විඳින්නට පුරුදු වූයේ, ඔහුගේ බොහෝ කතාවල යාපනය ප්‍රදේශයේ ඉතිහාසය ගැන ඒ සමාජයේ නොයෙකුත් විශේෂ ලක්ෂණ යනාදිය පිළිබඳව රසවත් කරුණු අඩංගු වූ නිසාය.  ඒ හැමටම වඩා මා ප්‍රිය කළේ ඔහුගේ කැඩුණු සිංහල උච්චාරණයයි.
මටත් යම් අයුරක දෙමළ භාෂාව තේරුම් ගැනීමේ හැකියාවක් තිබිණ. ඒ අප කුඩා කාලයේ අපේ නිවසේ සිටි මාරිමුත්තු කොලඳි  වේලු නම් අපට වඩා අවුරුදු 5 ක් පමණ වයසින් වැඩි සේවකයෙකු අවුරුදු ගණනක් ආශ්‍රය කිරීම නිසාය. අප කුඩා කාලයේ ඔහු සමඟ කොතරම් ලඟින් ආශ්‍රය කළාද යත්, මට කුඩා කාලයේ මතක් වෙන බොහෝ දේවල් ඔහු සමග කළ ක්‍රියාකාරකම්ය.

මෙලෙස දිනපතාම පාහේ ටික වේලාවක් කුරුසමුත්තු  සමග සමඟ කතා කරමින් සිටීමෙන්, මගේ දෙමළ භාෂා දැනුමද බලා සිටියදී මෙන් දියුණු වීම මට මහත් සතුටක් ගෙන දුන්නේය. මම මේ අහම්බෙන් ලැබුණු හැකියාව තවත් දියුණු කර ගන්නට දෙමළ භාෂාව ලියන්නට පුහුණු වන්නටද පටන් ගත්තෙමි.

කුරුසමුත්තු  රැගෙන එන තල් රා අප ඉරිදාට දහවලට පමණක්  පානය කරන්නට යොදා ගත්තෙමු. පොන්නාලෙයි හන්දියේ තිබූ කඩයකින් ඉරිදා උදේට; සමහරවිට එය ඉරිදා පොලක් වන්නටත් පුළුවන, මඤ්ඤොක්කා කිලෝ දෙකක් පමණ ගෙන්වාගෙන රා බොන්නට කටගැස්මක් පිළියෙල කරගත් අතර, හොඳ කට්ට සම්බෝලයක් එකතු කර, එහි රසය තවත් තීව්‍ර කර ගැනීමට අපට හැකියාව ලැබුනි.

මේ කාලයේ අපට ලැබුණු තවත් විනෝදාස්වාදයක් මට මතකය. ඒ චිත්‍රපට බැලීම සඳහා විඩියෝ ඩෙක් පැමිණීමයි. අප කඳවුරටද අපි විසින් මුදල් එකතු කර වීඩියෝ ඩෙක් එකක් මිලදී ගත්තෙමු. සතියකට පමණ  යාපනය නගරයට ගොස්, ඒ වීදියක තිබූ වීඩියෝ කැසට් පටි කුලියට දෙන කඩේකින් අපි වීඩියෝ පටි දෙකක් රැගෙන ආ අතර, එකකට සතියකට රුපියල් විස්සක් ගෙවන්නට සිදු විය. චිත්‍රපට දෙක තුනක් සතියකට කඳවුරේ දී ප්‍රදර්ශනය කෙරිණ. මම මා නැවතී සිටි ස්ථානයේ තනියම බැලූ අතර අනෙක් නිලධාරීන් ඔවුන්ගේ නිවස්නයේදී නැරඹූහ.
අනෙක් අයට චිත්‍රපටය පෙන්වූයේ ඔවුන් ආහාර ගන්නා ස්ථානයේය.

අපගේ කඳවුරෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වූයේ, මුහුදෙන් පැමිණෙන ත්‍රස්තවාදීන්ගේ බෝට්ටු නැවත්වීම සහ අපට දී තිබුණු වර්ග කිලෝමීටර් 50 ක පමණ ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන් සහ ඔවුන්ගේ ඔත්තු කරුවන්ගෙන් නිදහස්ව පවත්වා ගැනීමය. නමුත් ඇත්තෙන්ම මේ වන විට  ත්‍රස්තවාදය යන්තම් පටන් ගන්නා කාලය වන බැවින්, අපට ඒ තරම් ලොකු තර්ජනයක් තිබුණේද නැත. මට මතක හැටියට එම කඳවුරේ මගේ වසරක පමණ සේවා කාලයේදී මීටර් හතර බැගින් වූ වෙරළ තීරයේ කිසිදු ත්‍රස්තවාදීන්ගේ සැපයුම් යාත්‍රාවක් ගොඩබෑමට ඉඩ නොදීමටද, එයින් ඔබ්බේ  පරීක්ෂාවෙන් සිට පුහුණුව සඳහා ඉන්දියාවට යෑමට සූදානම්ව සිටි දහ දෙනෙකුගේ පමණ ත්‍රස්තවාදී කණ්ඩායමක් රැඳී සිටි බෝට්ටුවක් අල්ලා ගැනීමටද හැකියාව ලැබුණි.

මේ කාලය වන විට අප යාපනයට නිවාඩුව අවසන් කර පැමිණෙන්නේ කොළඹ යාපනය දුම්රියෙනි. හවස කොළඹින් පටන් ගන්නා එම දුම්රිය  යාපනයට පැමිනෙන්නේ පහුවෙනිදා උදයේය. මම මේ දිනවල නිවාඩු ගොස් පැමිණෙන විට; අපට බොහෝ විට මාසයකට දින හයක පමණ නිවාඩුවක් එකල ලැබුණි, කුරුසමුත්තුට යම් තෑග්ගක් ගෙන ඒමටද, මම අමතක නොකළෙමි. බොහෝවිට මම එලෙස ගෙන ආවේ ගෙදර තිබූ පාවිච්චි කළ ඇඳුම්ය. සාමාන්‍ය පිරිමි ඇඳුම් සහ ඔහුට වැඩුණු දියණියක් සිටින බව ඔහු කියා තිබූ නිසා, මගේ බිරිඳගේ සමහර එතරම් පරණ නොවූ නමුත් ඇය දැන් පාවිච්චි නොකරන ඇඳුම්ද, මම ඔහු සඳහා ගෙනාවෙමි.

ඔහුත් මා සඳහා බොහෝ ලෙන්ගතුකමක් දක්වන බවද, මා සමග පිළිසඳරේ යෙදීමට බලවත් කැමැත්තක් දක්වන බවත් මට පෙනුණි. මෙලෙස යම් කෙනෙකු විශේෂයෙන් තමන්ට වඩා සමාජ තත්ත්වයෙන් පහළ කෙනෙකු, තමන්ට කැමැත්තක් දක්වන්නේ දැයි සොයා ගැනීමට තරමක් අපහසුය. මක්නිසාද ඔවුන් ඔබට කෙසේ හෝ තරමක අකමැත්තක් තිබුණද, එය නොපෙන්වා කටයුතු කිරීමට පුරුදුව සිටින නිසාය.
ඒ නිසා එවන් කෙනෙකු තමන්ට විශේෂ ඇල්මක් දක්වනවා නම්, ඔහු එසේ ඇල්මක් දක්වනවාදැයි දැනගැනීමට අපට කාලයක් ගතවේ. එසේ වන්නේ තවත් බොහෝ දෙනෙකු බොරුවට අපට කැමැත්තක් දක්වන බව පෙන්වන්නට උත්සාහ ගන්නා නිසාය.
ඔහු මගෙන් නොයෙකුත් නවකතා පොත්ද ඉල්ලගෙන යන්නට පුරුදුවී සිටියේය. ඔහු මෙම පොත් ගෙනගොස් කියවනවාදැයි මට සක සිතුනද මම ඒ පිළිබඳව ඔහුගෙන් විපරම් කරන්නට තැත් කලේ නැත්තේ ඔහුට ලැජ්ජාවක් සිතේවි යන අනුකම්පාවෙනි.
මෙලෙස ක්‍රමයෙන් කාලය ගතවිය. මම කඳවුරේ ප්‍රධානියා වශයෙන් පැමිණ මාස අටක් පමණ ගත වී තිබිණ. සෑම සතියේම පුරුද්දක් ලෙස අප ඉරිදාට දහවල් කෑමට පෙර තල් රා බීමට පුරුදු වී සිටියෙමු. සාමාන්‍යයෙන් අප හතර දෙනෙකුට බෝතල් 10 ක් පමණක් ගෙන්නා ගෙන පැය දෙකක පමණ  කාලයකින් රා ටික අවසන් වූ පසු, දහවල් ආහාර ගෙන පැයක් දෙකක් නිදාගැනීම මගේ  පුරුද්ද විය.

මුලදී මෙලෙස තල් රා පානය කිරීමෙන් මගේ බඩේ අමාරුවක් ඇති වුණද, ටිකින් ටික එයට මගේ ශරීරය පුරුදුවීම නිසා, මාසයක් දෙකක් යන විට ඒ අපහසුව ක්‍රමයෙන් මග හැරුණි. මෙදින මම දවල් ආහාර ගෙන නිදා ගන්නට ගොස් නින්ද යාගෙන එන විටම, මගේ බඩියා කාමරේ දොරට තට්ටු කරන ශබ්දයක් ඇසුණි. මම ඒ බඩියා යයි හරියටම දැනගත්තේ අප අතර දොරට  ගැසීමේ සංඥාවත් තිබුණු නිසාය. එය ටැප් තුනකුත් ඉන්පසු ටැප් දෙකකුත් වූ  බව මට යන්තමින් මතකය. මෙසේ රහස් සංඥාවක් අප අතර තබා ගත්තේ හදිස්සියේවත් ත්‍රස්තවාදියෙකු හෝ රහසිගතව පැමිණ අනෙකා ලෙස පෙන්වා අපගේ නිවාසය තුළට පැමිණීම වළක්වා ගැනීමටය.

ඔහු පැමිණ කියූ දෙයින් මට බලවත් කණගාටුවක් සහ තිගැස්සීමක් ඇතිවිය. ඔහු කිව්වේ අපිට රා ගෙනත් දෙන මගේ මිතුරු කුරුස මුත්තු අසල කැලයක ගසක එල්ලී මියගොස් ඇති බවයි.

එය පරීක්ෂා කිරීමට අපගේ කණ්ඩායමක් එතනට ගිය බවත්, ඔවුන් පරීක්ෂණ අවසන් වන තුරු මා එතනට යෑම සුදුසු නැති බවත්, ඔහු මට කියා සිටියේය.  එහෙත් එයට ඇහුම්කන් නොදී, මම කඳවුරේ මෝටර් බයිසිකලේ ඔහු දමා ගෙන මෙම ස්ථානයට ගියෙමි. ගෙවල් පහළොවක පමණ කුඩා ගම්මානයක් අසල තිබූ කුඩා කැලයක කොහොඹ ගසක පහත අත්තක ඔහු එල්ලී සිටියේය. අඩි පහක්  පමණ උස වූ ඔහු එල්ලී සිටි ආකාරයට ඔහුගේ කකුල් දෙකේ සිට බිමට අඩි දෙකක්වත් උසක් නොතිබුනි. ඒ දෙස එක්වරම බලන කෙනෙකුට මරණය සිදු වූ ආකාරය පිළිබඳව, යම් සැකයක් ඇති වන තරමටම ඒ පරතරය  කුඩා  විය.
මම ආපසු කඳවුරට පැමිණ පොලිසියට සහ කොරනල් වරයාට දුරකථනයෙන් මේ  පිළිබඳව දන්වා, කඳවුරේ අනික් අයගෙන්ද මේ පිළිබඳව විමසා සිටියෙමි. කිසිකෙනෙකු වැඩිදුර විස්තරයක් දැනගෙන සිටියේ නැත. සාමාන්‍යයෙන් කඳවුරේ කෙනෙකුගේ පවුලේ කෙනෙකු මිය ගිය විට අප එකතු කරන පරිදි මුදල්ද එකතු කර, කඳවුරේ ආහාර ගබඩා වෙන් සීනි සහ බිස්කට් පැකට් කිහිපයක්ද මළ ගෙදරට යැව්වෙමු.

ඔහුගේ මරණය පිළිබඳව කිසිම සැකයක් නැති බව හදිසි මරණ පරීක්ෂකවරයා ප්‍රකාශ කළ හෙයින්, මරණය සිදු වී දවස් දෙකකට පසුව අවමගුල් කටයුතු කෙරුණි. ඔහුගේ දුවද සති දෙකකට පමණ පසු නිවස අතහැර, කොළඹ සිටින තම මාමා කෙනෙකු සමග වසන්නට ගිය බව අපට ආරංචි විය. මා  කුරුස මුත්තු මියයන තෙක්ම ඔහුගේ දුව දැක තිබුණේ නැත. අවමංගල දිනයේ එම නිවසට ගිය විට, මම ඇය දුටු විට පුදුමයට පත්වීමි. කුරුස මුත්තු බොහෝ මිටි පුද්ගලයෙක් වුවද ඇය පැහැපත් සිහින් සිරුරක් ඇති ප්‍රියමනාප පෙනුමකින් යුක්ත තරුණියක් විය. සාමාන්‍යයෙන්  එවැනි දුප්පත් ගමක තරුණියක් යැයි එකවර දුටු කෙනෙකුට කෙසේවත් සිතාගත නොහැක. ඇය කතා කරනවා දුටු  විටත් ඒ අදහසම කෙනෙකුගේ සිතට නැගෙයි. කුරුස මුත්තුගේ භාර්යාව ටික කලකට පෙර මිය ගිය බවක් මට කියා තිබුණි. දියණිය ඔහුගේ භාර්යාවගේ පෙනුම සහ හැසිරීම ලැබෙන්නට ඇතැයි මා සිතා ගත්තෙමි.

මාස කිහිපයකට පස්සේ මම එම කඳවුරෙන් මාරු වීමක් ලැබ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අලුත් පත්වීමකට ගියෙමි. එසේ කාලය ගත වද්දී දිනක් මා වෙත, මා මුලින් සිටි කඳවුරට ලැබී තිබුණු පිට රටකින් පැමිණි ලිපියක්, ආපසු හමුදා මූලස්ථානයට යවා මා වෙත ලැබුණේ සති කිහිපයකට පසුවය.

ඉංග්‍රීසියෙන් ලියා තිබුණු එම ලියමනේ කිහිප තැනකම භාෂාව වරද්දා තිබුණද, අදහස් පැහැදිලි කර ගන්නට අපහසුවක් තිබුණේ නැත.

හිතවත් සමරසිංහ මහතා වෙත ලියමි.

මගේ පියාගේ මරණය සිදු වූ පසු ඔහුගේ අවමංගල්‍යයකට කටයුතු අවසන් වන තෙක් අපට කළ උපකාර වලට ස්තුති කරන්නට සහ වෙනත් වැදගත් දෙයක් ඔබට කියන්නට මෙම ලිපිය ලියමි. මගේ පියා මිය යන්නට මාස දෙකකට පමණ පෙර, ඔහු පොන්නාලේ හන්දියට ගිය විට තරුණයන් දෙදෙනෙකු ඔහු සමඟ මිතුරුව අප නිවසට ඔහු සමඟ පැමිණියහ. ඔවුන් රා බෝතලයක්ද බී ගමේදී ධීවරයෙකුගෙන් මාළුද මිලදී ගෙන ආපසු ගියහ. ඔවුන් දෙතුන් වාරයක් ගමට පැමිණි පසු දිනෙක මගේ පියා ඔබේ කඳවුරට ඉරිදා දිනයේ රා කළ ගෙඩිය රැගෙන යන විට එය දැක තිබේ. ඉන්පසු වරෙක ඔහුට යාපනය නගරයට පැමිණෙන ලෙස පවසා, එම රා කල ගෙඩිය කඳවුරට ගෙන යාමට මොහොතකට පෙර, මුසු කරන ලෙස උපදෙස් දී කුඩා කුප්පියක් ලබාදී ඇත. ඔහු එලෙස කිරීම ප්‍රතික්ෂේප කළ විට, එසේ නොකළහොත් ඔහු සහ මා මරා දමන බවට තර්ජනය කර ඇත. මේ හේතුව නිසා දින ගණනක් ඔහු කනස්සල්ලෙන් පසුවිය. මම කිහිප වතාවක්ම මේ පිළිබඳව ඔහුගෙන් විමසුවත්, ඔහු මට පිළිතුරක් දුන්නේ නැත. ඔහුට එම ත්‍රස්තවාදීන් විසින් අවසාන දිනය දී තිබුණේ ඔහු මියගිය ඉරිදා දිනයේය. ඔහුගේ ඉතා කුළුපග මිතුරෙකු වූ කන්දයියාට ඔහු මේ පිළිබඳව සෙනසුරාදා කියා ඇති අතර, එහෙත් කන්දයියා කොතරම් බියට පත්වී ඇත්තේද යත්, ඔහු සෙනසුරාදා රාත්‍රියේම ගමෙන් පළා ගොස් ඇත.

මම කොළඹ කොටහේනේ අපේ මාමාගේ නිවසට පැමිණි පසු, කන්දයියා ඒ අසල නිවසක සිට කම්කරු වැඩකට යන බව දැනගෙන, මම ඔහු මුණගැසීමට ගියෙමි. මා දුටු විට බලවත් කනගාටුවට පත් වුණු ඔහු, මේ සම්පූර්ණ කථාව මට කීවේය.

මගේ පියා ඔබතුමාට මහත් ගෞරවයක් දැක්වීය. එලෙසම ඔබට දරුවෙකුට මෙන් ආදරේ කළේය. ඒ නිසා සමහර විට ඔහු ඔබ මරා දැමීමට උදව් කරනවට වඩා තමන්ගේ ජීවිතය නැතිකර ගැනීම හොඳ යැයි සිතන්නට ඇත. ඔහු පොත් වල ඇති කතාන්දර දැනගැනීමට බොහෝ ආසා කළේය. නවකතා පොත් ඉල්ලා ගෙන ඇවිත් මට කියා ඔහු ඒවා කියවා ගත්තේය.

මම ඉපදුන දෑ සිට සිංහලයකු මුණගැසී තිබුනේ නැත. නමුත් මගේ පියා මට ඔබ පිළිබඳව කිවූ විස්තර වලින් මම ඔබ කුමන ආකාරයේ පුද්ගලයෙකු දැයි සිතින් මවා ගත්තෙමි. පියාගේ අවමඟුල දවසේ ඔබ දුටුවිට මගේ සිතේ අඳි තිබු මිනිසාත් ඔබත් අතර කිසිම වෙනසක් මා දුටුවේ නැත.

දැන් අපට ඔහු වෙනුවෙන් කරන්නට දෙයක් නැත. මමද තව මාසයකින් පමණ මලයාසියාවේ සිටින මගේ අම්මාගේ නෑදෑ තරුණයෙකු සහ විවාහ වීමට පිළියෙල කර ඇති අතර එය සඳහා ඉක්මනින්ම පිටත් වන්නෙමි.

මා පියා මිය යාමට හේතුව දැනගත් විගසම ඔබතුමාට එය ලියා දන්වන්නට හිතුවේ, එසේ නැත්නම් ඔහු තමන්ගේ ජීවිතය පූජා කළ පුද්ගලයා වත්, ඒ පිළිබඳව නොදැන සිටීම කොතරම් අභාග්‍යයක් දැයි කල්පනා කළ නිසාය.
මම ජීවිතය තිබෙන තාක්කල් ඔහුගේ ආත්මය වෙනුවෙන් කෝවිලේ පූජාවන් පවත්වන්නෙමි. ඔබ සහ ඔබගේ පවුලේ සියලු දෙනාට හොඳක්ම වේවා.

පාර්වති.



5 comments:

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...