Friday, November 15, 2019

22 මගේ දඹදිව වන්දනාව 22 අවසානය ; සමහරක් දුටු දෑ



ගමන් විස්තරය මෙතනින් අවසාන වෙයි. දැන් මට මගේ ගමන තුළ දුටු නොයෙකුත් විශේෂ දේවල් ගැන කෙටි විස්තරයක් කරන්නට සිතුනි.

ඒවා දුටු පිළිවෙලට නොව දැන් මට මතක්වන ආකාරයට මෙසේ ලියා තබමි.

1. 
අප සංචාරය කල ඉන්දියානු උතුරු තැනිතලාව ප්‍රදේශය ගොවිතැන පිළිබඳව - සමහර විට මේ නිරීක්ෂණය මට මුලින්ම ලියන්නට සිතුනේ මමද ගොවිතැනට ඇලුම් කරන නිසා විය හැක. ඉන්දියාවේ සෑම ගොවි ගෙදරකටම පාහේ හරකුන් රංචුවක් ඇති කරනු ලැබේ. ඉන්දියාව බොහෝ අපිරිසිදු රටකැයි අපට සිතෙන්නේද, මෙලෙස නිවසේ මිදුලේ ඇති කරන හරකුන් නිසා විය හැක. ඔවුන්ගෙන් ලබා ගන්නා ගොම සහ ඉතිරි වන කෑම යනාදිය කන්නය පුරා ගොඩගසා තබාගෙන, ඒවා තමන්ගේ ගොවිපල වලට ගෙන ගොස් මුලින් පස සකස් කරද්දී පස්සට මිශ්‍රකර සීසාන බව මම දුටුවෙමි. ඒ නිසා බොහෝ විට ඉන්දියාවේ ගොවියන්ට පොහොර මිලදී ගැනීමට අවශ්‍යතාවයක් නොමැති වනවා විය හැක. අපේ රටේද පරම්පරා දෙකකට පමණ පෙර ඉඩ කඩම් හිමි ගොවියන්ට හරක් රංචුවක් තිබීම සාමාන්‍ය දෙයක් විය. එහෙත් පසුකලෙක හරක් ඇති කිරීම  වී ගොවීන් ගෙන් සහ අනෙකුත් ඉඩම් හිමියන්ගෙන් ඉවත් වී ගියේය. සමහර විට අපගේ ගොවිතැන්වලින් ලබාගන්නා ඵලදාව ඉන්දියාව වැනි රටකට වඩා මිලෙන් වැඩි වන්නට මෙයද හේතුවක්  වන්නට පුළුවන.


2. ඉන්දියාවේ බොහෝ වගාවන් වලට ජලය ලබා දීමට කෘෂිකර්ම නල ලිං පුද්ගලිකව සෑම ගොවියකුම වාගේ සවි කරගෙන තිබෙනවා පෙනුණි. ළඟකදි තමිල්නාඩුවේ ළමයෙකු වළකට වැටී මිය ගියේද අතහැර දමන ලද මෙවැනි කෘෂිකර්ම ළිඳකට විය යුතුය. වර්තමානයේ මෙම ළිඳ වල් සීඝ්‍රයෙන් සූර්ය බලයෙන් ක්‍රියා කරවන්නට හදාගෙන යනු පෙනුණි. බොහෝ කුඩා නගරවලද කඩවල් වල සූර්යකෝෂ විකුණන්නට තබා තිබෙනවාද මම දුටුවෙමි. මේ හේතුව නිසා ඉන්දියාවේ කෘෂිකර්ම ඵලදාව පිරිවැය තවදුරටත් පහළ යාමට බොහෝ දුරට ඉඩ තිබේ. නැවත වරක් ඒවා අපේ රටේ කෘෂිකර්ම නිෂ්පාදනයන්ට වඩා බොහෝ ලෙස මිල අඩු වූ විට, පිටරටින් කෘෂිකර්ම නිෂ්පාදන මිලදී ගැනීම ලංකාවේ වඩාත් ලාභදායී දෙයක් වන්නට පුළුවන.


3.  ඉන්දියානුවන් අප මෙන් බාහිර සෝබනය ගැන එතරම් උනන්දුවක් නැති බව - ඔවුන්ගේ බොහෝ නිවෙස් වල සහ වෙළෙඳ සැල්වල ඔවුන් පිට පැත්ත කපරාදු කරන්නේ නැත. සමහරවිට පිටපැත්ත ඔවුනට එතරම් වැදගත් කමක් නොමැත්තේ විය හැක.


4.  එහි බොහෝ කුඩා නගරවල බස් එක ඇතුලේ සිටින තරමටම බසයේ වහලය සෙනග සිටිනවා මම දුටුවෙමි. මා හිතුවේ බසයේ ඉඩ නැති නිසා ඔවුන් වහලට නැග ගමන් කරනවා විය යුතුය කියාය. එක්වරම මම නවතා තිබූ වහලේ මිනිසුන් පිරි සිටින එහෙත් ඇතුළෙ තවත් ඉඩ තිබෙන බසයක් දුටිමි. ඉන් පස්සෙ මේ පිළිබඳව මම අපගේ මාර්ගෝපදේශකයා ගෙන් ඇසුවෙමි. ඔහු කීවේ වහලය යනවිට බසයේ ගාස්තුව වශයෙන් ගෙවිය යුතු වන්නේ නියමිත ගාස්තුවෙන් භාගයක් පමණක් බවයි.


5. ඉන්දියාවේ සෑම තැනම සීඝ්‍රගාමී මාර්ග තරගයකට මෙන් ගොඩනැගෙමින් තිබේ. බුද්ධාගමේ සිද්ධස්ථාන ඉතාමත් නොදියුණු ගම්මානවල පිහිටා තිබෙන හෙයින්, එම සීඝ්‍රගාමී මාර්ග වලින් එළියට පැමිණ තරමක් දුරට තදබදයෙන් යුත් මාර්ග වල ගමන් කරන්නට සිදුවන නිසා, කාලයක් ගත වන නමුත් මට හිතෙන විදිහට දැන් අවුරුදු පහකට කට පෙර දඹදිව වන්දනාවකට ගතවුවාට වඩා 30% ක පමණ  මාර්ගයේ කාලය ඉතිරි කර ගැනීමත්, වර්තමානයේ ගමන් කරන්නෙකුට ඇතිවේ.


6. ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවේ බෞද්ධ වන්දනාකරුවන්ගේ පැමිණීම ඉතා සීඝ්‍රයෙන් ඉහල යන බව පෙනේ. පසුගිය අවුරුද්දේ එසේ ඉන්දියාවට ගිය වන්දනාකරුවන්ගේ ප්‍රමාණය ලක්ෂ පහක් පමණ වන බව ගණන් බලා තිබේ. මෙයින් එක් වන්දනා කරුවෙකු ඩොලර් 500 ක් ඉන්දියාවේදී වියදම් කරන්නේ නම්, අපගේ රටෙන් ඉන්දියාවට යන මුළු ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 50 ක් පමණ වෙයි. මෙය අපේ රටේ හැටියට අති විශාල මුදලකි. තමන්ගේ රටේ බුද්ධාගම ඉතිරි වී වත් නැති ඉන්දියාවට, මෙලෙස අපෙන් පමණක් නොව තවත් ධනවත් බෞද්ධ රටවල් ගණනාවකින් ආදායම ඇදී එයි. මට හිතෙන්නේ බුදුහාමුදුරුවන් නිසා ඉන්දියාවට වසරකට ලැබෙන ආදායම ඩොලර් බිලියනයක් පමණ වන බවත් කියාය.


7. උත්තරා ප්‍රදේශ් ප්‍රාන්තයේ අගනුවර වන ලක්නව්හිදී මම ඉන්දියාවේ මංගල උත්සවයක් දැක්කෙමි. එය පැවැත් වුණේ නගරයේ වීදියක ගෙවල් දෙකක් අතර සාදා තිබූ wedding පාක් යනුවෙන් නම්කර තිබූ කුඩා උද්‍යානයකය. එවැනි ස්ථාන තවත් කිහිපයක් මම ලක්නව් නගරයේ පමණක් නොව අනෙක් නගරය හරහා යද්දීද  දුටුවෙමි. මට පෙනෙන විදියට ඉන්දියානුවන් විවාහ උත්සව පවත්වන්නේද අඩු වියදමකින් පොඩියට කුලියට ගත් මල් වත්තකය. ඕනෑ නම් හින්දි චිත්‍රපටයක ලෙසට ජෝඩුවට මල් සිංදුවක් වුණත් කියන්නටත් පුළුවන.


8.  ඉන්දියාවේ පොදු අධ්‍යාපන පද්ධතියේම නිරීක්ෂණ කළද පුදුම සහගතය. දවස් අටක් පමණ අප කිලෝමීටර් තුන් දහසක් පමණ බොහෝ නගර හරහා ගමන් කළ අතර වාරයේ, මම පුද්ගලික පාසල් දහසක් පමණ දකින්නට ඇත. ඉතා කුඩා නිවාස වැනි ඒවාගේ පවත්වාගෙන යන සිසුන් පනහේ සීයේ පුද්ගලික පාසල් වල සිට සිසුන් දහස් ගණනක් ඉගෙන ගන්න පුද්ගලික පාසල් සෑම නගරයකම කුඩා නගරයකම සහ ගමකම පාහේ දකින්නට ලැබුණි. ඇත්තෙන්ම මා රජයේ පාසලක් දැක්කෙම නැති තරම්ය. මම මේ පිළිබඳව අපගේ මාර්ගෝපදේශකයා ගෙන් විමසූ විට සාමාන්‍යයෙන් මසකට රුපියල් 300 පටන් රුපියල් 1000 දක්වා පමණ ගාස්තු අය කරන මෙවැනි පුද්ගලික විද්‍යාල තිබෙන බවයි. ඈත ගම්වල තිබෙන එම විද්‍යාල වල පවා දැන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ශීඝ්‍රයෙන් ප්‍රචලිත වී යන බවද ඔහු මට කීවේය.

9. අප ගිය එක ස්ථානයකවත් බුදු රදුන් කල සිට පැවත එන කිසිවක් අප දුටුවේ නැත. එම නටඹුන් සියල්ල පසු කලෙක සාදන ලද ඒවාය. අතිශය බහුතරය පසුගිය සියවසේ ගොඩ නගන ලද ඒවාය.

No comments:

Post a Comment

අලි මිනිස් ගැටුම විසඳීමට යෝජනාවක් ඉදිරිපත් කළෙමි

 ශ්‍රී ලංකාවේ වල් අලි සහ මිනිසුන් අතර ඝට්ටනය ඉතා සීඝ්‍ර වශයෙන් තීර්ව වන බව පෙනේ. මේ පිළිබඳව හොඳින්ම පෙන්නා දෙන දර්ශකය නම් දෙපැත්තෙන් කොපමණ ප...