Friday, November 22, 2019

පුරාවිද්‍යා නිල නිවාසයේ නිධානය - සම්පුර්ණ කතාව



1973 වසරේ අපේ බාර්කෝර් ලෙස හඳුන්වන ගමේ විශේෂ සිදුවීමක් සිදූ  විය. සමහර විශේෂ සිදුවීම් නිතරම සිදු වෙන ගම්වලට මෙය විශේෂ සිදුවීමක් නොවන්නට පුළුවන. එහෙත් අපේ ගම අවුරුදු දහස් ගණනක් විශේෂ සිදුවීම් නොදුටු ගමක් නිසා, පුරාවිද්‍යා නිලධාරීන් පැමිණ ගමේ පැත්තක තිබෙන කුඩා බුබ්බුලාකාර කඳුගැටයක් වැනි ස්ථානයක් ගවේෂණය කරන්නට තීරණය කිරීම, ඇත්තෙන්ම සුවිශේෂී සිද්ධියක් යැයි කිව හැකිය.
මේ කුඩා කණ්ඩායමේ ප්‍රධානියා වූයේ, වයස 40ක් පමණ වූ සිහින් සිරුරක් ඇති කොණ්ඩය ඔලුවේ ඉතිරි වී ඇති ප්‍රමාණය නැති වූ ප්‍රමාණයට වඩා අඩු, පටි සපත්තු දෙකක පසුපස පටි සවි කර ගන්නේ නැතිව, ඒවා පාගා ගෙන යන්නට පැළඳගත් ශ්‍රී විජේ පාන්ඩේය. සෙරෙප්පු දෙකත් වැරදි විදිහට දමා ගෙන සිටියද, පාන්ඩේ මහතා ඉතාමත් වේගයෙන් ඇවිද්දේය. ඔහුගේ කණ්ඩායමේ ඔහු යටතේ සිටි අනෙක් දෙදෙනා ඔහුට වඩා තරුණ වුවද, ඔහුගේ වේගයෙන්ම ඇවිදින්නට මහත් වෙහෙසක් දරන්නට සිදු විය.
ඔවුන් මුලින්ම ගමේ තාවකාලිකව නැවතී සිටින්නට තැනක් සෙවූ මුත්, එවන් තැනක් අපේ ගමේ සොයා ගැනීමට නො හැකි බව, ඔවුන් පැයක් දෙකක් යන්නට කලින්ම අවබෝධ කරගත්හ. අපේ ගමේ පිටින් පැමිණෙන වැදගත් මහත්මයෙකුට නවතින්නට තබා, පින්ඩ් දානය සඳහා පැමිණෙන ශ්‍රමණයෙකුට වුවත් නවතින්නට තැනක් සොයා ගන්නට නොහැකිය. ඇත්තෙන්ම කියනවනම් අපි නැවතී සිටින්නේත්, ඉතාමත් ඉඩ පහසුකම් අඩු හරියට වහලයක් වත් නැති නිවෙස්වලය.
මේ ප්‍රදේශ බොහෝ කලකට පෙර ඉතාමත්ම සශ්‍රීකව පැවතුන බවද, සක්විති අශෝක රජු වර්තමානයේ ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඇතුළු රාජ්‍ය පවා පාලනය කළේ, අප ජීවත්වන ප්‍රදේශයේ පිහිටි පට්නා නගරයේ සිට බව අප අසා ඇත්තෙමු. එසේම ජපානය වැනි දියුණු රටවල පවා වැඩි දෙනකුගේ ආගම වන බුද්ධාගම පටන් ගත් ශාස්තෲවරයාණන්, ඔහුගේ මුළු ජීවිත කාලයම වාගේ ගත කලේ මෙය අප ජීවත්වන ප්‍රදේශය බවත් මා අසා තිබේ. එහෙත් දැන්නම් අපට ඒ ආගමෙන් ඉතුරුව ඇත්තේ කහපාට රෙදි කෑලි ඇඳගත් පිටරටින් එන බෞද්ධයන්ගෙන් කීයක් හරි කඩා ගන්නට බලා සිටින, කිසිම වැඩක් නොකරන අධ්‍යාපනයක්ද නොමැති කිහිප දෙනෙකු පමණි.
මෙම සිද්ධිය මට අදාළ වන්නේ මේ කතාවට කෙසේද යන්න මම දැන් කිව යුතුය. අපේ බාර කෝල් ගමේ ජීවත්වන පිරිස කුල ගෝත්‍ර තුනකට අයත් වූහ. එයින් අප අයත් වූයේ කන්ජාර් නැමැති කුලයටයි. මෙය ඉන්දියාවේ ජනගහනයෙන් 15% ක් පමණ වන කුලයෙන් අඩු පිරිස් වලට අයත් කුලයකි. අප භාවිත කළ භාෂාව මගහි යනුවෙන් හැඳින්වෙන අතර, අවුරුදු දෙදහස් පන්සියයකට පෙර බුදුන්වහන්සේ පාවිච්චි කළ භාෂාවද මෙය යැයි බුද්ධ ගයාහි ප්‍රධාන මහාන්ත්වරයා වරක් කියනු මා අසා තිබේ.
මෙම ප්‍රදේශයේ සිටි දහසක් පමණ වූ කන්ජාර් කුලයේ මිනිසුන්ගේඒ සෑම පවුලක්ම වාගේ එකිනෙකාට නෑදෑයන් වූහ, නිල නොලත් ප්‍රධානියා වශයෙන් එකල සලකනු ලැබුවේ මගේ පියාය.
ඔහුට අපේ භාෂාව ලියන්න කියන්නට පුළුවන් වූ අතර, එයටත් අමතරව ඉංග්‍රීසි භාෂාවද තරමක් දුරට කතා කරන්නද, ගැටගසාගෙන ලියන්නටද පුළුවන් විය. ඒ නිසාම අපේ නෑදෑයන්, හිත මිතුරන් ඔහු ඇමතුවේ මහාරාජ් යන ගෞරව නාමයෙනි.
මේ නිසාවෙන්ම විජේ පාන්ඩේ මහත්මයා 1973 වසරේ සුජාතාගාඩ් කුඩා කඳු ගැටය පරීක්ෂා කිරීමට පැමිණි පසු, ඒ සම්බන්ධව ප්‍රදේශයේ වැසියන් ගෙන් ලබාගත හැකි උදව් සහ තොරතුරු විමසා බැලීමට කෙළින්ම පැමිණියේ මගේ පියා වෙතය. මුලින්ම පියා සුජාතා ගාද් වෙතට පැමිණ, ඔහු මුණ ගැසෙන ලෙසට පණිවුඩයක් ලැබුණද, පියා එතනට ගියේ නැත. ඇත්තෙන්ම ඔහු එතැනට ගියේ නැත්තේ ඔහුගේ තිබූ ආඩම්බරකමක් නිසා නොව, එදින ඔහු ඔහුගේ දාස්පෙතියා වගාවේ වල් ගලවමින් සිටි නිසාය.




පසුදින උදයේම මගේ පියා පාන්ඩේ මහතා හමුවීමට ඔවුන් වැඩ කරන ස්ථානයට ගියේය. මමත් ඔහු පසුපසින් ගියෙමි. පාන්ඩේ මහතාට නිසි ගෞරව දක්වා ඔහුට අවශ්‍ය වී තිබූ තොරතුරු ඔහුට ලබා දුන්නේය.. පාන්ඩේ මහතාද දුටු ගමන්ම මගේ පියාට කැමැත්තක් ඇති වුණු බව ඔහුගේ ඉරියව් වලින් මටද පෙනුණි. ඔවුන් දෙදෙනා කතා කරනවා ඔවුන්ට නොදැනෙන්නට මම පැත්තකට වී බලා සිටියෙමි.
මගේ පියා පාන්ඩේ මහතාගේ ඉල්ලීමකට අනුව ඔවුන්ගේ පුරාවිද්‍යා ගවේෂණය වැඩවලට කම්කරුවන් සැපයීමද භාරගත්තේය. මෙවැනි ගමක හෝ කුලයක ප්‍රධානියකු හරහා මිනිසුන් ලබා ගැනීමෙන්ම, යම් වගකීමක් ඇති කම්කරුවන් සේවයේ යොදවා ගැනීමට ඒ ඔවුනට හැකි වන බව නොදන්නා ඉන්දියානු රාජ්‍ය සේවකයෙක් නොමැත්තේය. ටික කලක් යන විට මගේ පියා ඔවුනට නැතුවම බැරි කෙනෙක් වූ අතර, ඔහුට පාන්ඩේ මහතා කොතරම් ප්‍රිය කළේද යත් ඔහුගේ නමද එම ස්ථානයේ තාවකාලික කම්කරු ලැයිස්තුවට ඇතුළු කර, දවසකට රුපියල් හතරක පඩියක්ද ඔහුට ගෙව්වේය.
මෙලෙස බොරුවට නම යොදා වැටුප් ගැනීම එතරම් හොඳ දෙයක් යැයි නොසිතූ මගේ පියා, සෑම දිනකම හවසට නිකමට ඒ පැත්තට ගොස් පොඩ්ඩක් කැරකී ගලක් ඔසවා පැත්තකින් තැබීම වැනි සුළු වැඩක් වත් කර ඔහුගේ සිත්ස් හදා ගත්තේය.
මාස කින් පමණ පසු මෙම ගවේෂණයේ වැඩ කටයුතු අවසන් විය. එම ගවේෂණය කළ පස් කන්දේ යම් විශේෂ දෙයක් තිබී හමු වුණේ නැති වුවද, ඒ තුළ බොහෝ පැරණි කාසි සහ නොයෙකුත් ගෘහ උපකරණ තිබී ඒවා දිල්ලියේ කෞතුකාගාරය වෙත ගෙන යන ලදි. එම පස් කණ්ඩිය වටා යකඩ වැටක් ගැසූ අතර, තව කාලෙකින් පැමිණ ගවේෂණය ඉතිරි කොටස් සිදුකරන බව පාන්ඩේ මහතා මගේ පියාට පැවසීය. මෙය නැවැත්වීමෙන් අපේ ගමේ බොහෝ දෙනකුට රැකියා නැති වූ අතර, එහෙත් එම ගවේෂණ නැවත පටන් ගනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඔවුන් බොහෝ දෙනෙකු මාස කිහිපයක් කල් ගෙවුවත්, එය පටන් ගැනීමක් පෙනෙන්නට නැති වූ නිසා, ටික කලකට පසු අපට එම සිද්ධිය අමතක වන තත්වයට පත් විය.

1977
 වසරේ අපට පමණක් නොව ඉන්දියාව පුරාම මෙතෙක් ඉන්දියාවේ සිදු නොවූ තරමේ දේශපාලන වෙනසක් සිදුවිය. ඒ නිදහස ලැබුණු දා පටන් ඉන්දියාව පාලනය කළ කොංග්‍රස් පක්ෂයෙන් ඉන්දියාවේ බලය ගිලිහී යාමයි. මෙම ඡන්දය පැවැත්වුණේ හැත්තෑහතේ මාර්තු මාසයේය. සාමාන්‍යයෙන් අපේ ප්‍රදේශවල සෑම ඡන්දයක්ම ජයග්‍රහණය කරන්නේ කොංග්‍රස් පක්ෂයයි. ඒ නිසා ඒ පක්ෂයේ අපේක්ෂකයන්සෑම විටම ධනවත් ඉඩම් හිමියන්, අපේ ඡන්ද ලබා ගැනීම පිළිබඳව කිසිම උනන්දුවක් දැක්වූයේ නැත. එහෙත් මෙවර කොංග්‍රස් එකට ලොකු තර්ජනයක් තිබෙන බව පෙනුණි. ජනතා දාල් පක්ෂයෙන් අපේ ප්‍රදේශයට ඡන්දය ඉල්ලූ අපේක්ෂකයා, අපේ ගමටත් ඡන්දය ඉල්ලීමට පැමිණියේය.
ඔහු අපේ පියා හමුවී අපගේ කුලයේ  ඡන්ද තුන්දාහ ලබාගැනීමට  ලක්ෂයක මුදලක් ලබා දුන්නේය. මෙතෙක් කවරදාවත් මෙලෙස ඡන්දය සඳහා මුදලක් ලබා දීමට කවුරුත් ඉදිරිපත් වී නොමැති නිසා, පියා මේ දේශපාලන පක්ෂ අතර තරඟය පිළිබඳව බොහෝ සතුටට පත්විය. පියා ඒ මුදල් ලබාගෙන අපේක්ෂකයාගෙන්  තවත් අපූරු ඉල්ලීමක් කළේය. ඒ අපගේ තරුණයන් පස් දෙනෙකුට ඡන්දය ජයග්‍රහණය කළොත්, රජයේ රැකියාවක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමයි.
මෙම අපේක්ෂකයා එයටත් එකඟ වූ නිසා අපගේ කුලයේ  ඡන්ද සියල්ල ඔහුට ලබාදීමට පියා තීරණය කළේය. එම අපේක්ෂකයා සමහර විට ඒ ඉල්ලීමටත් එකඟ වූයේ, ඔහු දිනන්නේ නැති බව ඔහු හොඳින්ම දැනගෙන සිටි නිසා වන්නට පුළුවන. ඡන්ද ප්‍රතිඵල ලැබෙන විට සියලු දෙනා පුදුමයට පත් කරමින් කොන්ග්‍රස් රජය බලවත් පරාජයකට පත් වී, පක්ෂ සමූහයක් එකතු කරගෙන සෑදුන පෙරමුණ රජයක් පිහිටුවීමට හැකි වන සේ ජයග්‍රහණය කළේය. මේ අතරේ අප ඡන්දය පාවිච්චි කළ අපේක්ෂකයාද සිටීම අපට මහත් සතුටක් ගෙන දුන්නක් විය. ඡන්දය අවසන් වී මාස තුනකට පසු මගේ පියා ඔහු හමුවී, ඔහු දුන් පොරොන්දුව මතක් කළේය.
බොහෝ දේශපාලනඥයන් මෙන් නොව ඔහු ඒ පොරොන්දුව අකුරටම ඉටු කළේය. පියා සැමටම සාධාරණ වන්නට මෙම රැකියාවන්, අපගේ කුලයේ අය ජීවත් වූ ගම්වල බෙදී යන අයුරින් අයදුම්කරුවන් තෝරා ගත්තේය. මගේ මව  බලවත්ව ඇවිටිලි කළද මගේ පියා මේ සඳහා මා තෝරා ගත්තේ නැත්තේ, අපිට කන්නට බොන්නට තිබෙන නිසා රැකියා ලබා දිය යුත්තේ ඉතාමත් දුප්පත් අයට බව පවසමිනි.



දිවේ ලපයක් තිබෙන මිනිසුන් කියන දෙයක් හරියටම හරි යන බව මම අසා තිබේ. අපේ අම්මාගේ දිවේ එලෙස ලපයක් තියෙනවා දැයි මට සිතුන නමුදු, ඇය ගෙන් එය අසන්නට හෝ දිව පරීක්ෂා කර බලන්නට මට එඩිතර කමක් තිබුනේ නැත. මෙයට පෙරද ඇයගේ දිවේ ලපයක් තිබෙනවා දැයි මට කිහිප වරක් සිතී ඇත්තේය. මෙවරද එම සැකය මට ඇති වූයේ මගේ පියා රැකියා අයදුම් කරුවන්ගේ නම් මන්ත්‍රීවරයාට දීමට ඔහුගේ කාර්යාලයට ගිය අවස්ථාවේ සිදු වූ සිද්ධියක් නිසාය.

පියා කාර්යාලට ගොස් මන්ත්‍රීවරයාට නම් පහ ලබා දුන් පසු, ඔහු එම නම් ලයිස්තුව ඔහුගේ ලිපි කරුවෙකුට බාරදී ඇත. විනාඩි දහයකින් පමණ මන්ත්‍රීවරයා වෙතට පැමිණි ලිපිකරුවා, පස් දෙනාගෙන් එක් කෙනෙකුගේ වයස දවස් දෙකකින් නියමිත වයසට වඩා වැඩි නිසා, ඔහුට එම රැකියාව ලබා දීමට නො හැකි බව දන්වා ඇත. මන්ත්‍රීවරයා මගේ පියාට කතා කර එදිනම ඒ වෙනුවට වෙනත් නමක් ඉල්ලා ඇති අතර, කර ගන්නට කිසිවක්ම නොමැති වූ නිසා, වෙනත් ගැළපෙන කෙනකුගේ විස්තර එක්වර ලබාගත නොහැකි නිසා, පියා මගේ නම සහ විස්තර ඔහුට ලබා දී ඇත. මන්ත්‍රීවරයාට ඒ විස්තර ඔහුගේ පුතාගේ බව පියා කියූ විට,  මා සඳහා විශේෂයක් කිරීමට මට කුමන දෙපාර්තමේන්තුවක රැකියාවක් ඔහු බලාපොරොත්තු වන්නේද, ඒ ඇසූ විට මගේ පියා එක්වරම පවසා ඇත්තේ මට රැකියාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලබා දෙනවා නම් ඔහු කැමැති බවයි. ඒ සඳහා බොහෝ විට හේතු වන්නට ඇත්තේ සුජාතා ගාඩ්හි අවුරුදු කිහිපයකට පෙර කරන ලද ගවේෂණය විය යුතු යැයි මට සිතේ.

අපි පස් දෙන අපගේ කුලයෙන් ගයා ප්‍රදේශයෙන් රජයේ රැකියාවකට ගිය මුල්ම පුද්ගලයන් වූයෙමු. මම නිවසෙන් බොහෝ දුර පිප්රාවා හි   කපිලවස්තු පුරාවිද්‍යා ස්ථානයේ මගේ රැකියාව පටන් ගත්තෙමි. තාවකාලික කම්කරුවකු ලෙස රැකියාව පටන් ගත් මම, අවුරුද්දක් යනවිට එහිදීම ස්ථිර කම්කරුවකු ලෙස පත්වීම් ලදුයෙමි. බුද්ධගයාවේ තණකොළ කපන්නෙකු ලෙසද, සාරනාත්හි පොකුණු නඩත්තු කරන්නෙකු ලෙසද, සංකස්සහි මුරකරුවෙකු ලෙසද, රාජකාරි කළ මම, රැකියාවට බැඳී අවුරුදු තුනකට පසු ලක්නව් සහ සංකස්ස අතර මහා මාර්ගය කිට්ටුව, බරන්බකාර් නම් පුරාවිද්‍යා ගවේෂණයක් සිදු වන ස්ථානයක මුරකරුවකු ලෙස මාරුවීමක් ලබා එහි ගියෙමි.

මෙම ස්ථානයේ පුරාවිද්‍යා ගවේෂණ කිහිපයක්ම සිදු වන නිසා, කුඹුරු යාය කෙළවර තරමක නිවාසයක් එම නිලධාරීන්ට නැවතීමට සාදා තිබූ අතර, මම එම ස්ථානයට පැමිණියේ එම නිවාසය බාරකරු ලෙසටය. නමුත් යම් හේතුවක් නිසා මෙම ස්ථානය ගවේෂණයන් නවතා දමා තිබුණු හෙයින්, මම එම නිවාසය නඩත්තුව බලාගෙන එම නිවසේම පැත්තක නැවතී සිටියෙමි. නිවස අසලින් යන කුඩා පාර ප්‍රධාන මාර්ගයට වැටෙන තැන තේ කඩයක් තිබුන අතර, මම නිතරම බීඩි ගන්නට මෙම කඩේට යන්නට පුරුදු වී සිටියෙමි. කඩේ මුදලාලිද එම කඩේට නිතරම පැමිණ, විශේෂයෙන්ම කුඹුරු වැඩ අඩු කාලයට, කිහිප දෙනෙකු මා සමග මිත්‍ර වීමට වැඩි කාලයක් ගියේ නැත. කඩේ හිමිකරු කොතරම් හිත හොඳ මිනිහෙක් වූයේද යත්, ඔහු විකුණමින් සිටි බීඩි වර්ග වලට අමතරව මා නිසාම, මා කැමතිම ගනේෂ් 501 බීඩි වර්ගය කඩේ විකුණන්නට පටන් ගත්තේය.
දවසක් මම කඩයෙන් තේ එකක් බී රාත්‍රිය සඳහා බීඩි පහකුත් මිලදී ගෙන, බංකුවෙන් නැගිට කුඩා පාරට හැරෙන විටම කහපාට තඩි බස් එකක් කඩය අසල මිදුලට හරවා තද බ්‍රේක් පහරක් ගැසුවේය. ඒ බසයේ තේජවන්ත පෙනුම සහ එක්වරම ගැසූ බ්‍රේක් පහර නිසා, මමත් කුඩා පාරට හැරෙන්න ගිය එක නවත්වා ආපසු මහ පාර දෙසට හැරුනෙමි.
බසයේ ඉදිරිපස දොර අසල ඇතුළේ සිටි මා පමණ වයස තරුණයෙකු  ඉක්මනින්ම එළියට බැසගත් අතර, ඉන් පස්සෙ වයස 50 ක පමණ කාන්තාවන් දෙදෙනෙකු ඔහුට යමක් කියමින් කුඩා පාර දෙසට හැරුනි. මේ දුටු මමත් ඔවුන් සමග ඉදිරියට ගිය අතර, බස් එකෙන් බැස්සේ තරුණ ඉන්දියානුවා මට කතා කර, මේ හරියේ  කාන්තාවකට මුත්‍රා කිරීමට තැනක් ඇත්දැයි මගෙන් ඇසුවේය.
"
ඇයි අයියා, ඕක අහන්නත් දෙයක්ද, ඔය පාරදිගේ ඕනෑම තැනක මුත්‍රා කරන්න කියන්න, අපෙ නම් කිසිම ප්‍රශ්නයක් නෑ"  මම පිළිතුරු දුන්නෙමි.

"
නෑ මේ කාන්තාවන් ඉන්දියාවේ අය නෙවෙයි, ලංකාවේ, ඒ අය පාර දිගේ මුත්‍රා කරන්න ලැජ්ජයි" ඒ ඔහු කීවේය.
ඒ කාන්තාවන් දෙදෙනාගේ මුහුණේ තිබූ අපහසුව දුටු මට බොහෝ කනගාටු සිතින. මම ඔවුන් එකතු කරගෙන ගොස් මා විසින් බලාගන්නා පුරාවිද්‍යා නිවාසයේ නිලධාරීන් පැමිණි විට පාවිච්චි කරන වැසිකිලිය පෙන්නුවෙමි.
මෙම සිදුවීම දෙස බසය තුළ සිට බලා සිටි තවත් නෝනාවරුන් සහ මහත්වරුන් කීපදෙනකුම පැමිණ අපගේ වැසිකිලිය පාවිච්චි කළහ.
බසය පිටවී යද්දී තවත් උස මහත ඉන්දියානුවෙක් බසය අසලදී මට බොහෝ ස්තුති කර රුපියල් පනහක්ද ලබා දුන්නේය. මේ රුපියල් 50 රටන් ටාටා ට කුඩා මුදලක් විය හැක. එහෙත් මසකට රුපියල් 75 ක පඩියක් ගන්න මට මෙය ඉතාමත් විශාල මුදලක් විය.
ඒ බස් එකේම සති දෙකකට පසු නැවත වරක් මගේ තැනට පැමිණියේය. එහි සිටි ඉන්දියානු ගයිඩ්වරයා මට නැවත වරක් රුපියල් පනහක් දුනි. ඊට දින දෙකකට පසු එම කහ සමාගමේම තවත් බසයක් එතන නවත්වා මගේ නම කියන්න කියාම, මා සොයා වැසිකිළි පාවිච්චි සඳහා පැමිණි අතර මට එයින්ද රුපියල් පනහක් ලැබුනි.

දැන් මම මගේ මුළු වැටුප මගෙ මව වෙත යැව්වද, මාසයකට රුපියල් 1000 කටත් වඩා මෙම අහම්බෙන් ලැබුන ව්‍යාපාරයෙන් උපයා ගැනීමට හැකි විය. අවුරුදු තුනක් මෙලෙස මම පුරාවිද්‍යාවේ මුරකරුවකු ලෙස සේවය කරන ගමන්ම, වන්දනාකරුවන්ට ඔවුන්ගේ ගමන පහසු කර රුපියල් ලක්ෂයකට වඩා බැංකුවේ එකතු කර ගත්තෙමි.

එහෙත් සෑම වාසනාවකටම කාල සීමාවක් තිබේ. ඒ ප්‍රදේශයේ පුරාවිද්‍යා ගවේෂණ නැවත පටන් ගැනුණු අතර, පුරාවිද්‍යා නිලධාරීන් පැමිණ එම නිවසේ තාවකාලිකව ලැගුම් ගත්හ. දිනක් මම කොහෙදෝ ගොස් සිටියදී බසයක් පැමිණ නවත්වා රාජකාරි නිවාසයට පැමිණ, වැසිකිළි පාවිච්චි කිරීමට උත්සාහ කරද්දී, එහි ප්‍රධාන නිලධාරියා පැමිණ ඔවුන් ගෙන් කරුණු විමසා, පසු දින සිට මා නාලන්දා විශ්වවිද්‍යාලයේ නටඹුන් නඩත්තු කිරීමේ අංශයට මාරු කර හැරියේය.

නමුත් මට දැන් මේ සුළු  රැකියාව එපා වී ඇත. මම ඒ කිට්ටුවෙන්ම අක්කර 3ක කුඹුරක් මිලට ගෙන, එහි පාරේ සිට අඩි කිහිපයක් ඇතුළතින් අලංකාර වැසිකිලියක් ගොඩනැඟු වෙමි. එය තුළ වැසිකිලි පමණක් නොව නාන කාමර තුනක් සහ ඇඳුම් මාරු කිරීමේ කාමර දෙකක්ද, අඩංගු කළෙමි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මගේ කෘතගුණ සැලකීමට වැසිකිලියට 'ආකී ටොයිලට් කොම්ප්ලෙක්ස්' යනුවෙන් නමක් දැම්මෙමි.
පුරාවිද්‍යාවේ වැඩ කරන අයට ගවේෂණ කරද්දී නිධානයන් හමු වෙනවා යැයි මම අසා තිබේ, මේ මට ලැබුණු නිධානය වෙයි.

8 comments:

  1. This how you together what you saw in India. +++++

    ReplyDelete
  2. හොඳ නිර්මාණයක්.

    ReplyDelete
  3. ඉන්දියවෙ ගිය වන්දනා ගමනේ ඉතා සුලු අත්දැකීමක් කතාවක් විදිහට ගොඩනගපු ආකාරය විසිස්ටයි,

    ReplyDelete
  4. ++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...