Thursday, November 21, 2019

පුරාවිද්‍යා නිල නිවාසයේ නිධානය කෙටිකතාව 1&2

1973 වසරේ අපේ බාර්කෝර් ලෙස හඳුන්වන ගමේ විශේෂ සිදුවීමක් සිදූ  විය. සමහර විශේෂ සිදුවීම් නිතරම සිදු වෙන ගම්වලට මෙය විශේෂ සිදුවීමක් නොවන්නට පුළුවන. එහෙත් අපේ ගම අවුරුදු දහස් ගණනක් විශේෂ සිදුවීම් නොදුටු ගමක් නිසා, පුරාවිද්‍යා නිලධාරීන් පැමිණ ගමේ පැත්තක තිබෙන කුඩා බුබ්බුලාකාර කඳුගැටයක් වැනි ස්ථානයක් ගවේෂණය කරන්නට තීරණය කිරීම, ඇත්තෙන්ම සුවිශේෂී සිද්ධියක් යැයි කිව හැකිය.
මේ කුඩා කණ්ඩායමේ ප්‍රධානියා වූයේ, වයස 40ක් පමණ වූ සිහින් සිරුරක් ඇති කොණ්ඩය ඔලුවේ ඉතිරි වී ඇති ප්‍රමාණය නැති වූ ප්‍රමාණයට වඩා අඩු, පටි සපත්තු දෙකක පසුපස පටි සවි කර ගන්නේ නැතිව, ඒවා පාගා ගෙන යන්නට පැළඳගත් ශ්‍රී විජේ පාන්ඩේය. සෙරෙප්පු දෙකත් වැරදි විදිහට දමා ගෙන සිටියද, පාන්ඩේ මහතා ඉතාමත් වේගයෙන් ඇවිද්දේය. ඔහුගේ කණ්ඩායමේ ඔහු යටතේ සිටි අනෙක් දෙදෙනා ඔහුට වඩා තරුණ වුවද, ඔහුගේ වේගයෙන්ම ඇවිදින්නට මහත් වෙහෙසක් දරන්නට සිදු විය.
ඔවුන් මුලින්ම ගමේ තාවකාලිකව නැවතී සිටින්නට තැනක් සෙවූ මුත්, එවන් තැනක් අපේ ගමේ සොයා ගැනීමට නො හැකි බව, ඔවුන් පැයක් දෙකක් යන්නට කලින්ම අවබෝධ කරගත්හ. අපේ ගමේ පිටින් පැමිණෙන වැදගත් මහත්මයෙකුට නවතින්නට තබා, පින්ඩ් දානය සඳහා පැමිණෙන ශ්‍රමණයෙකුට වුවත් නවතින්නට තැනක් සොයා ගන්නට නොහැකිය. ඇත්තෙන්ම කියනවනම් අපි නැවතී සිටින්නේත්, ඉතාමත් ඉඩ පහසුකම් අඩු හරියට වහලයක් වත් නැති නිවෙස්වලය.
මේ ප්‍රදේශ බොහෝ කලකට පෙර ඉතාමත්ම සශ්‍රීකව පැවතුන බවද, සක්විති අශෝක රජු වර්තමානයේ ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඇතුළු රාජ්‍ය පවා පාලනය කළේ, අප ජීවත්වන ප්‍රදේශයේ පිහිටි පට්නා නගරයේ සිට බව අප අසා ඇත්තෙමු. එසේම ජපානය වැනි දියුණු රටවල පවා වැඩි දෙනකුගේ ආගම වන බුද්ධාගම පටන් ගත් ශාස්තෲවරයාණන්, ඔහුගේ මුළු ජීවිත කාලයම වාගේ ගත කලේ මෙය අප ජීවත්වන ප්‍රදේශය බවත් මා අසා තිබේ. එහෙත් දැන්නම් අපට ඒ ආගමෙන් ඉතුරුව ඇත්තේ කහපාට රෙදි කෑලි ඇඳගත් පිටරටින් එන බෞද්ධයන්ගෙන් කීයක් හරි කඩා ගන්නට බලා සිටින, කිසිම වැඩක් නොකරන අධ්‍යාපනයක්ද නොමැති කිහිප දෙනෙකු පමණි.
මෙම සිද්ධිය මට අදාළ වන්නේ මේ කතාවට කෙසේද යන්න මම දැන් කිව යුතුය. අපේ බාර කෝල් ගමේ ජීවත්වන පිරිස කුල ගෝත්‍ර තුනකට අයත් වූහ. එයින් අප අයත් වූයේ කන්ජාර් නැමැති කුලයටයි. මෙය ඉන්දියාවේ ජනගහනයෙන් 15% ක් පමණ වන කුලයෙන් අඩු පිරිස් වලට අයත් කුලයකි. අප භාවිත කළ භාෂාව මගහි යනුවෙන් හැඳින්වෙන අතර, අවුරුදු දෙදහස් පන්සියයකට පෙර බුදුන්වහන්සේ පාවිච්චි කළ භාෂාවද මෙය යැයි බුද්ධ ගයාහි ප්‍රධාන මහාන්ත්වරයා වරක් කියනු මා අසා තිබේ.
මෙම ප්‍රදේශයේ සිටි දහසක් පමණ වූ කන්ජාර් කුලයේ මිනිසුන්ගේඒ සෑම පවුලක්ම වාගේ එකිනෙකාට නෑදෑයන් වූහ, නිල නොලත් ප්‍රධානියා වශයෙන් එකල සලකනු ලැබුවේ මගේ පියාය.
ඔහුට අපේ භාෂාව ලියන්න කියන්නට පුළුවන් වූ අතර, එයටත් අමතරව ඉංග්‍රීසි භාෂාවද තරමක් දුරට කතා කරන්නද, ගැටගසාගෙන ලියන්නටද පුළුවන් විය. ඒ නිසාම අපේ නෑදෑයන්, හිත මිතුරන් ඔහු ඇමතුවේ මහාරාජ් යන ගෞරව නාමයෙනි.
මේ නිසාවෙන්ම විජේ පාන්ඩේ මහත්මයා 1973 වසරේ සුජාතාගාඩ් කුඩා කඳු ගැටය පරීක්ෂා කිරීමට පැමිණි පසු, ඒ සම්බන්ධව ප්‍රදේශයේ වැසියන් ගෙන් ලබාගත හැකි උදව් සහ තොරතුරු විමසා බැලීමට කෙළින්ම පැමිණියේ මගේ පියා වෙතය. මුලින්ම පියා සුජාතා ගාද් වෙතට පැමිණ, ඔහු මුණ ගැසෙන ලෙසට පණිවුඩයක් ලැබුණද, පියා එතනට ගියේ නැත. ඇත්තෙන්ම ඔහු එතැනට ගියේ නැත්තේ ඔහුගේ තිබූ ආඩම්බරකමක් නිසා නොව, එදින ඔහු ඔහුගේ දාස්පෙතියා වගාවේ වල් ගලවමින් සිටි නිසාය.




පසුදින උදයේම මගේ පියා පාන්ඩේ මහතා හමුවීමට ඔවුන් වැඩ කරන ස්ථානයට ගියේය. මමත් ඔහු පසුපසින් ගියෙමි. පාන්ඩේ මහතාට නිසි ගෞරව දක්වා ඔහුට අවශ්‍ය වී තිබූ තොරතුරු ඔහුට ලබා දුන්නේය.. පාන්ඩේ මහතාද දුටු ගමන්ම මගේ පියාට කැමැත්තක් ඇති වුණු බව ඔහුගේ ඉරියව් වලින් මටද පෙනුණි. ඔවුන් දෙදෙනා කතා කරනවා ඔවුන්ට නොදැනෙන්නට මම පැත්තකට වී බලා සිටියෙමි.

මගේ පියා පාන්ඩේ මහතාගේ ඉල්ලීමකට අනුව ඔවුන්ගේ පුරාවිද්‍යා ගවේෂණය වැඩවලට කම්කරුවන් සැපයීමද භාරගත්තේය. මෙවැනි ගමක හෝ කුලයක ප්‍රධානියකු හරහා මිනිසුන් ලබා ගැනීමෙන්ම, යම් වගකීමක් ඇති කම්කරුවන් සේවයේ යොදවා ගැනීමට ඒ ඔවුනට හැකි වන බව නොදන්නා ඉන්දියානු රාජ්‍ය සේවකයෙක් නොමැත්තේය. ටික කලක් යන විට මගේ පියා ඔවුනට නැතුවම බැරි කෙනෙක් වූ අතර, ඔහුට පාන්ඩේ මහතා කොතරම් ප්‍රිය කළේද යත් ඔහුගේ නමද එම ස්ථානයේ තාවකාලික කම්කරු ලැයිස්තුවට ඇතුළු කර, දවසකට රුපියල් හතරක පඩියක්ද ඔහුට ගෙව්වේය.
මෙලෙස බොරුවට නම යොදා වැටුප් ගැනීම එතරම් හොඳ දෙයක් යැයි නොසිතූ මගේ පියා, සෑම දිනකම හවසට නිකමට ඒ පැත්තට ගොස් පොඩ්ඩක් කැරකී ගලක් ඔසවා පැත්තකින් තැබීම වැනි සුළු වැඩක් වත් කර ඔහුගේ සිත්ස් හදා ගත්තේය.

මාස 6 කින් පමණ පසු මෙම ගවේෂණයේ වැඩ කටයුතු අවසන් විය. එම ගවේෂණය කළ පස් කන්දේ යම් විශේෂ දෙයක් තිබී හමු වුණේ නැති වුවද, ඒ තුළ බොහෝ පැරණි කාසි සහ නොයෙකුත් ගෘහ උපකරණ තිබී ඒවා දිල්ලියේ කෞතුකාගාරය වෙත ගෙන යන ලදි. එම පස් කණ්ඩිය වටා යකඩ වැටක් ගැසූ අතර, තව කාලෙකින් පැමිණ ගවේෂණය ඉතිරි කොටස් සිදුකරන බව පාන්ඩේ මහතා මගේ පියාට පැවසීය. මෙය නැවැත්වීමෙන් අපේ ගමේ බොහෝ දෙනකුට රැකියා නැති වූ අතර, එහෙත් එම ගවේෂණ නැවත පටන් ගනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඔවුන් බොහෝ දෙනෙකු මාස කිහිපයක් කල් ගෙවුවත්, එය පටන් ගැනීමක් පෙනෙන්නට නැති වූ නිසා, ටික කලකට පසු අපට එම සිද්ධිය අමතක වන තත්වයට පත් විය.

1977
වසරේ අපට පමණක් නොව ඉන්දියාව පුරාම මෙතෙක් ඉන්දියාවේ සිදු නොවූ තරමේ දේශපාලන වෙනසක් සිදුවිය. ඒ නිදහස ලැබුණු දා පටන් ඉන්දියාව පාලනය කළ කොංග්‍රස් පක්ෂයෙන් ඉන්දියාවේ බලය ගිලිහී යාමයි. මෙම ඡන්දය පැවැත්වුණේ හැත්තෑහතේ මාර්තු මාසයේය. සාමාන්‍යයෙන් අපේ ප්‍රදේශවල සෑම ඡන්දයක්ම ජයග්‍රහණය කරන්නේ කොංග්‍රස් පක්ෂයයි. ඒ නිසා ඒ පක්ෂයේ අපේක්ෂකයන්; සෑම විටම ධනවත් ඉඩම් හිමියන්, අපේ ඡන්ද ලබා ගැනීම පිළිබඳව කිසිම උනන්දුවක් දැක්වූයේ නැත. එහෙත් මෙවර කොංග්‍රස් එකට ලොකු තර්ජනයක් තිබෙන බව පෙනුණි. ජනතා දාල් පක්ෂයෙන් අපේ ප්‍රදේශයට ඡන්දය ඉල්ලූ අපේක්ෂකයා, අපේ ගමටත් ඡන්දය ඉල්ලීමට පැමිණියේය.
ඔහු අපේ පියා හමුවී අපගේ කුලයේ  ඡන්ද තුන්දාහ ලබාගැනීමට  ලක්ෂයක මුදලක් ලබා දුන්නේය. මෙතෙක් කවරදාවත් මෙලෙස ඡන්දය සඳහා මුදලක් ලබා දීමට කවුරුත් ඉදිරිපත් වී නොමැති නිසා, පියා මේ දේශපාලන පක්ෂ අතර තරඟය පිළිබඳව බොහෝ සතුටට පත්විය. පියා ඒ මුදල් ලබාගෙන අපේක්ෂකයාගෙන්  තවත් අපූරු ඉල්ලීමක් කළේය. ඒ අපගේ තරුණයන් පස් දෙනෙකුට ඡන්දය ජයග්‍රහණය කළොත්, රජයේ රැකියාවක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමයි.
මෙම අපේක්ෂකයා එයටත් එකඟ වූ නිසා අපගේ කුලයේ  ඡන්ද සියල්ල ඔහුට ලබාදීමට පියා තීරණය කළේය. එම අපේක්ෂකයා සමහර විට ඒ ඉල්ලීමටත් එකඟ වූයේ, ඔහු දිනන්නේ නැති බව ඔහු හොඳින්ම දැනගෙන සිටි නිසා වන්නට පුළුවන. ඡන්ද ප්‍රතිඵල ලැබෙන විට සියලු දෙනා පුදුමයට පත් කරමින් කොන්ග්‍රස් රජය බලවත් පරාජයකට පත් වී, පක්ෂ සමූහයක් එකතු කරගෙන සෑදුන පෙරමුණ රජයක් පිහිටුවීමට හැකි වන සේ ජයග්‍රහණය කළේය. මේ අතරේ අප ඡන්දය පාවිච්චි කළ අපේක්ෂකයාද සිටීම අපට මහත් සතුටක් ගෙන දුන්නක් විය. ඡන්දය අවසන් වී මාස තුනකට පසු මගේ පියා ඔහු හමුවී, ඔහු දුන් පොරොන්දුව මතක් කළේය.
බොහෝ දේශපාලනඥයන් මෙන් නොව ඔහු ඒ පොරොන්දුව අකුරටම ඉටු කළේය. පියා සැමටම සාධාරණ වන්නට මෙම රැකියාවන්, අපගේ කුලයේ අය ජීවත් වූ ගම්වල බෙදී යන අයුරින් අයදුම්කරුවන් තෝරා ගත්තේය. මගේ මව  බලවත්ව ඇවිටිලි කළද මගේ පියා මේ සඳහා මා තෝරා ගත්තේ නැත්තේ, අපිට කන්නට බොන්නට තිබෙන නිසා රැකියා ලබා දිය යුත්තේ ඉතාමත් දුප්පත් අයට බව පවසමිනි.


මුළු කතාවම පහත ලින්ක් එකෙන් 

https://lakshmanillangakoon.blogspot.com/2019/11/blog-post_22.html

No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...