https://lakshmanillangakoon.blogspot.com/2019/11/2019.html
සිට
ශ්‍රී ලංකාවේ ජනගහනය ජාතික වශයෙන් වෙන් කළ විට, සිංහල 75% කුත්, ශ්‍රී ලාංකික දෙමළ 11.2% කුත්, මරක්කල නොහොත් මුස්ලිම් 9.2% කුත්, ඉන්දියානු දෙමළ යැයි හැඳින්වෙන වතුකරේ දෙමළ ජනතාව 4.2% කුත්, අනෙකුත් ජාතීන් 0.5 % කුත්, ලෙසට වෙයි.
මෙය සරලව ගණනයක් සඳහා බැලූවිට සිංහල 75% ක් හා අනෙකුත් ජාතීන් 25% ක් යැයි සැලකීම වරදක් නොවේ. බැලූ බැල්මට සජිත් ප්‍රේමදාසට අනෙකුත් ජාතීන්ගේ ඡන්ද අති විශාල ප්‍රතිශතයක් ලැබී ඇති බව පෙනේ. ඔහුට ලැබුණු සිංහල ඡන්ද ප්‍රමාණය බලාගැනීමට ඔහුට කොතරම් සිංහල නොවන ජාතීන්ගේ ඡන්ද ලැබුනේ දැයි පරික්ෂා කර බලන්නට පුළුවන. අනෙක් ජාතීන් 25% යනු මුළු ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය වන මිලියන 13 න් 25% කි. එය මිලියන 3.25 ක් වෙයි.
මේ මිලියන 3.25 න් 75% ක් ඡන්දේ පාවිච්චි කළා යැයි සිතමු. ඒ කියන්නේ මිලියන 2.44 කි. මේ ප්‍රමාණයෙන් 15% ක් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලැබෙන්නට ඇතැයි සිතීමේ වරදක් නැත. එම ප්‍රමාණය ඡන්ද ලක්ෂ තුනහමාරක් පමණය. එය ප්‍රමාණය මුළු සුළු ජාතික ඡන්ද ප්‍රමාණය වන මිලියන 2.44 න් අඩු කළ විට, එතනින් මිලියන 2.1 ලැබී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාටය.
ඔහුට ලැබී ඇති මුළු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 55.5 කි.
එයින් හැඟෙන්නේ ඔහුට ලැබී ඇති මුළු සිංහල ඡන්ද ප්‍රමාණය මිලියන තුනයි දශම හතරක් පමණක් බවය.
මුළු සිංහල ඡන්ද ප්‍රමාණය ආසන්න වශයෙන් මිලියන දහයකි. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහතාට ලැබී ඇති සිංහල ඡන්ද ප්‍රමාණය ප්‍රතිශතය 35% ක් පමණ වන බවය.
ප්‍රධාන පක්ෂ දෙක හැර අනිකුත් අපේක්ෂකයන් ලබාගත් මුළු ඡන්ද ප්‍රමාණය 5% ක් පමණ වෙයි. මේ ප්‍රමාණය අත්හල විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබාගෙන ඇත්තේ සිංහල සිංහල ඡන්ද ප්‍රමාණය 65% ට ආසන්න බව පෙනේ.
ඒ කියන්නේ සෑම සිංහලයන් සිය දෙනෙකු ගත් විට, ඔවුන්ගෙන් හැට දෙනකු පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, තිස් පස් දෙනෙකු සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ප්‍රකාශ කර ඇති බව පෙනේ.
මේ අතර දෙමළ සහ මුස්ලිම් ඡන්ද වල හැසිරීමේ වෙනසක් 2015 සිට 2019 තෙක් දකින්නට නුපුළුවන. උදාහරණයක් වශයෙන් වන්නි දිස්ත්‍රික්ක මෙවර ඡන්ද ප්‍රතිශත සජිත් ප්‍රේමදාස 82% වී ඇති අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එම ප්‍රතිශතය 12% කි. ගියවර එය පිළිවෙලින් 78% ක් සහ 19% කි. දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මෙවර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 33% ක් ලබාගෙන ඇති අතර, සජිත් ප්‍රේමදාස මහතා 63% ක් ලබාගෙන ඇත. එහි ගිය වර ප්‍රතිපල අනුව ඒවා පිළිවෙලින් 34 සහ 65 වෙයි. මේ ප්‍රතිඵලයන්හි වෙනසක් ඇත්තේම නැති තරම්ය.
මෙයින් හැඟවෙන්නේ දෙදහස් පහළොවේ සිට දහනමයට සුළු ජාතීන්ගේ ඡන්ද වල සැලකිය යුතු වෙනසක් සිදුවී නොමැති බවයි.
වෙනස සිදු වී ඇත්තේ සිංහල ඡන්දවලය. උදාහරණයකට දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ ගියවර මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 57% ක් වූ අතර, සිරිසේන මහතා ලබාගත් ඡන්ද ප්‍රතිශතය 41.2% කි. එය මෙවර 67% සහ 27% ලෙස වෙනස් වී ඇත. ඒ කියන්නේ මෙවර පොදුජන පෙරමුණට තම ඡන්ද ප්‍රතිශතය මුළු ප්‍රමාණයෙන් 10% කින් වැඩිකර ගැනීමට හැකියාව ලැබී ඇති අතර, එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය 14 % කින් අඩුවී ඇත.
මහනුවර වැනි සාමාන්‍යයෙන් මධ්‍යස්තව පක්ෂ දෙක අතර දෝලනය වන දිස්ත්‍රික්කයක් පරීක්ෂා කර බලමු. දෙදහස් පහළොවේදී එම දිස්ත්‍රික්කයේ මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ලබාගත් ප්‍රතිශතය පිළිවෙළින් 44.23% සහ 54.56% කි. මෙවර එම දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය පිළිවෙලින් 50% සහ 47% ලෙස වෙනස් වී ඇත. දෙපැත්තටම දළ වශයෙන් වෙනස ධන සහ රින වශයෙන් මුළු ඡන්ද ප්‍රමාණයෙන් සියයට හත බැගිනි.
මෙයින් පෙනෙන්නේ පොදුජන එක්සත් පෙරමුණට මෙවර මැතිවරණයෙන් සිංහල ඡන්දවල 10% ක පමණ වැඩිවීමක් ලබා ගැනීමට හැකි වී ඇති අතර, එක්සත් ජාතික පක්ෂයට 7% ක පමණ පහත යෑමක් පෙන්නුම් කරන බවයි.
ඡන්ද ලක්ෂ14 බහුතරය ලැබී ඇත්තේ මෙම වෙනසෙනි.
ගණිතමය සොයා බැලීම මෙතනින් අවසන් වෙයි. ඊළඟට හේතු සාධක .......
Very Good Sir
ReplyDelete