අප ඊළඟට බලන්නට ගියේ අපගේ වන්දනා ගමනේ අවසාන සිද්ධස්ථානය වූ සාරනාත් වෙතය. බුදුන් වහන්සේ ගයා හිදී බුද්ධත්වය ලැබ ඔහුගේ ධර්මය අවබෝධ කරගත පසු, පස්වග මහණුන් සොයා පැමිණෙන්නේ මෙතනටය. බුදුහු එතනදී ඔවුනට ධම්ම චක්ක පවත්තන සුත්‍රය සහ අනාත්ම ලක්ඛණ සූත්‍රය දේශනා කරයි. මෙම ස්ථානයනට විශේෂ වැදගත්කමක් තිබුනේ බුද්ධ ධර්මයේ නැවත ඉපදීමක් නොමැත්තේ යැයි සිතන තවත් බෞද්ධයෙක් වන මට, මෙම සුත්‍ර දෙකෙන්ම කියවෙන්නේ ආත්මයක් අප තුල නොමැති බව කියවේ යැයි මා සිතන නිසාය.
මෙම ස්ථානය අශෝක රජ විසින් බුදුන්ගේ කාලෙත් අවුරුදු දෙසිය පනහකට පමණ පසු ගොඩනඟා ඉතාමත් අලංකාර ලෙස තිබී ඇත. 7 වන ශතවර්ෂයේ චීන ගවේෂක භික්ෂුවක් මෙම ස්ථානයට පැමිනෙන විටත් බුද්ධ ශ්‍රාවකයන් 1500 කට වඩා මෙම ස්ථානයේ සිටිය බව ඔහුගේ සටහන් වල ලියා ඇත. ඉන්පසු දොළොස් වන ශතවර්ෂයේ මුස්ලිම් ආක්‍රමණිකයන් විසින් විනාශ කළ පසු, ඉංග්‍රිසින් විසින් 1835 නැවත සොයාගෙන ප්‍රතිසංස්කරණය කරන තෙක් එසේ වනගතව තිබී ඇත. එහෙත් දැන් සාරානාත් සිද්ධස්ථානය ඉතාමත් අලංකාර ලෙස ගොඩ නංවා ඇති අතර, දඹදිව වන්දනාවේ යන අයට දකින්නට ලැබෙන වඩාත් සුන්දර වූ ස්ථානයකි.
මෙම ස්ථානය තිබෙන්නේ බුදුන් බුද්ධත්වයට පත් වූවා යැයි කියන බුද්ධගයා හි සිට කිලෝ මීටර් දෙසිය පනහක් පමණ දුරිනි. බුදුන් තමන්ගේ පළමුවැනි ධර්ම ධර්මදේශනාව පවත්වන්නට මේ තරම් දුරක් පැමිණ ඇති බව සිතන විට, කෙනකු පුදුමයට පත්වෙයි.
අපට ධර්ම දේශනාවල දී බොහෝවිට අසන්නට ලැබෙන ඉසිපතනාරාමය මිගදාය යනාදී වශයෙන් හඳුන්වන්නේ මෙම ස්ථානයයි.
මෙම ස්ථානය බැලීමෙන් පසුව අපේ හෝටලයට ගිය අතර, පහු වෙනිදා දහවල් 11 ට පමණ හෝටලයෙන් පිටත් වී වරනාසී ගුවන්තොටුපළට පැමිණ, Delhi ගුවන් තොටුපළ හරහා ලංකාවට පැමිණියෙමු.
අපි කුඩා කල සිට බුද්ධාගමේ ඉතිහාසය දහස් වාරයක් අසා ඇත්තෙමු. බුදුන්ගේ ඉපදීම, බුද්ධත්වයට පැමිණීම, ඔහු ධර්ම දේශනා කරමින් ගත ගත කළ ජීවිතය සහ පරිනිර්වාණය, කුඩා කල පාසල් අධ්‍යාපනය කරද්දීද, නොයෙකුත් පන්සල්වල ධර්ම දේශනා අසද්දීද අසා ඇත්තෙමු, එහෙත් බුද්ධාගමේ භූගෝලය අපිට කවුරුත් කියා දුන්නේ නැත. ඇත්තෙන්ම ලුම්බිණිය, ගයාව, රජගහනුවර, වැනි ස්ථාන එකිනෙකට සාපේක්ෂව කොපමණ දුරකින්, කුමන දිශාවෙන් තිබෙනවාදැයි අඩු තරමේ පාසල් බුද්ධාගම් පොතක සිතියමක් වත් මම නම් දැක නැත.
බුදුරජාණන් ඉන්දියාවේ දඹදිව සිටි බවත්, ඔහුගේ ජීවිතයට සම්බන්ධ නොයෙකුත් ස්ථාන උතුරු ඉන්දියාවේ තිබෙන බවත්, පමණක් බුද්ධාගමේ භූගෝල පැත්තෙන් අපි දන්නෙමු.
ඇත්තෙන්ම බුදුන්ගේ ජීවිතයේ බොහෝ දේවල් සිදුවන්නේ, උතුරු ඉන්දියාවේ ඉතා කුඩා භූගෝලීය ප්‍රදේශයකය. එය මේ සිතියමෙන් හොඳින් පැහැදිලි වන්නේය.
උදාහරණයක් වශයෙන් බුදුන් උපන් ලුම්බිණිය හෝ එතුමා ජීවත් වූ කපිලවස්තු ප්‍රදේශයේ සිට, ඔහු බුදුවූ බුද්ධ ගයාවට දුර සමාන්‍යයෙන් කිලෝමීටර් තුන්සීයක් පමණ වෙයි. ඒ බිහාරයේ නැගෙනහිර කෙළවර පැත්තේය. වසර ගණනාවක් එහි ජීවත් වී, ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර; රාමගේ පුතුවන උද්දක ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලබන්නේත්, අවුරුදු හයක් දුෂ්කර කරන්නෙත් මේ ප්‍රදේශයේය. බුද්ධත්වය ලැබ පස්වග මහණුන් සිටින සාරානාත් වෙත බුදුන්වහන්සේ පැමිණෙන්නේ පා ගමනෙනි. ඒ දුර කිලෝ මීටර් දෙසිය පනහක් පමණ වෙයි. ඉන්පසු බුදුන්ගේ ජීවිතයෙන් බොහෝ කාලයක් ගතවන්නේ ජේතවනාරාමයේය. එය තිබෙන්නේ සාරනාත්හි සිට කිලෝ මීටර 300 ක් පමණ වයඹ පැත්තට වන්නටය.
බුදුරජුන්ගේ ජීවිතයේ සියලුම සිදුවීම් සිදුවන්නේ කිලෝමීටර් පන්සියයක් උතුරු දකුණටත්, තුන්සියයක් පමණ නැගෙනහිර බටහිරට වන්නට, තරමක කුඩා යැයි සැලකිය හැකි භූමි ප්‍රදේශයක බව පෙනේ.
හොඳ අදහසක් දහම් පාසල් පොත්වලට මෙවැනි සිතියමක් ඇතුලත් කිරීම කාලෝචිතයි.
ReplyDelete?
ReplyDeleteබුද්ධ චරිතය ගොඩ නගා ඇත්තේ විවිධ පුද්ගලයින්ගේ ජීවිත කතා එකතු කරළා නේද?