Sunday, November 3, 2019

18 මගේ දඹදිව වන්දනාව 18 ගයාව





මේ හැම දෙයක්ම සිදු වූ තැන් හරියටම මෙතනම සිදුවුණා යැයි කියන්නට අපහසුය. මක් නිසාද එම ස්ථානවල යම් සළකුණක් එසේත් නැත්නම් සිද්ධස්ථානයක් වැනි ගොඩනැගිල්ලක් සාදවන ලද්දේ, බුදුන්ගෙන් වසර 250 කට පමණ පසුව රජ වී පසු කලෙක බුද්ධාගම වැළඳගත් අශෝක අධිරාජයා විසින් වන බැවිනි.

ඔහුගේ එකල අගනුවර වන පාටලීපුත්‍ර නගරය දැන් හැඳින්වෙන්නේ පට්නා යන නමිනි. මේ නගරයේ තිබෙන්නේත් මේ බුදුන්ගේ ජීවිත කතාවේ කියවන නොයෙක් ස්ථානවලට නුදුරිනි. එහෙත් ඔහු රජවන්නේ බුදුන්ගේ කාලයෙන් පරම්පරා අටකට පමණ පසුවය. එම නිසා සමහර මුඛ පරම්පරාගතයේ තිබුණු ස්ථාන පොඩ්ඩක් එහෙ මෙහෙ යන්න පුළුවන් වුණත්, සාමාන්‍යයෙන් බොහෝ දුරක් වරදින්නට විදිහක් නැත.

අපි මිළඟට ගියේ බුදුන් බුදු වුණා යැයි සැලකෙන ගයා නගරයේ පිහිටි බුද්ධ ගයා නමැති ස්ථානයටයි. මෙම ස්ථානයේ වසර 2013 තරමක බෝම්බ කිහිපයක් පිපිරී ඇති නිසා, එහෙයින් බොහෝ ආරක්ෂාව තර කර තිබේ. මෙය  ශ්‍රී මහා බෝධිය තිබූ ස්ථානය වන අතර, එහෙත් එහි දැන් තිබෙන්නේ අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියේ අංකුරයකි. එය ඉංග්‍රීසි කාලයේ රැගෙන ගොස් මෙහි පැලකර ඇත්තේය. එසේ ශ්‍රී මහා බෝධියක් මෙතන අලුතින් පැල  කරන්නට සිදුවූයේ, තිබුණු මුල් ශ්‍රී මහා බෝධිය අශෝක අධිරාජයාගේ පසු කලෙක බිරිඳක් විසින් විෂ ගන්වා මරා දැමූ නිසාය. ඇය එය කරන්නට පෙළඹී ඇත්තේ ධර්මාශෝක අධිරාජයා ඇයට දෙන අවධානයට වඩා වැඩි අවධානයක් ශ්‍රී මහා බෝධියට ලබාදුන් නිසා යැයි කියනු ලැබේ.

මෙම ස්ථානයේ තිබෙන බොහොමයක්ම නටඹුන්ද ගොඩනැගිලිද මෑත කාලයේ ඇති වූ ඒවා බව කියනු ලැබේ. මෙම සිද්ධස්ථානයට පැමිණෙන සැදැහැවතුන්ගෙන් බොහොමයක් පිරිස් හින්දු බැතිමතුන් බව නිරීක්ෂණය විය. එයට හේතුව හින්දු බැතිමතුන් බුදුරජාණන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස සලකන නිසා යැයි අප මාර්ගෝපදේශකවරයා අපට පැවසිය.   බුදුන් වහන්සේ බුදු වුණා යැයි සැලකෙන ස්ථානයේ පිහිටි බුදුන්ගේ පිළිරුවක් සහිත කුඩා විහාරයක් වැනි ස්ථානයට, අතිවිශාල ජනතාවක් ඇතුල් වනු දක්නට ලැබුණි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු විශේෂයෙන්ම කාන්තාවන් එම විහාරගෙට ඇතුල්වන්නට තිබෙන එළිපත්තේ තම හිස ස්පර්ශ කර ගෞරව කරනවා මම දුටු වෙමි. එසේම එහි ඇති පිං පෙට්ටි වලට බොහෝ මුදල් වැටෙනවාද දුටුවෙමි. මෙම දර්ශන වලින් එතනට පැමිණෙන හින්දු බැතිමතුන් බුදුන්ට කොතරම් ගෞරව කරන්නේ දැයි සිතාගන්නට පුළුවන් විය.

එතැනට පැමිණෙන බැතිමතුන්ගෙන් සියයට අනූවකට වඩා හින්දු බැතිමතුන් විය යුතු යැයි මට සිතුණි. ආගම් අතර මෙතරම් අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් කටයුතු කිරීම කොතරම් වැදගත් දැයි සිතෙන්නේ එතැන බලා සිටින විටය. එතැනට පැමිණෙන බොහෝ බැතිමතුන් නේරංජනා (ෆල්ගු) ගඟේ පින්ඩ් දාන් පූජාව සඳහා පැමිණෙන්නන් බව ඇඳුමෙන් සහ හැසිරීමෙන් පෙනුනී. ඔවුන් ඒ විහාරගෙයට පිටතින් ඉඳගෙන, ආහාර පිළියෙළ කරමින් අනුභව කරමින් යම් ආගමික වතාවතකද යෙදීමද දකින්නට පුළුවන් විය.
පසුගිය ශත වර්ෂය මුල අප රටේ සිටි ගෝලීය බෞද්ධයකු යැයි සැලකුණු අනගාරික ධර්මපාල තුමා එකල ‘බුද්ධගයාව බේරාගනිව්’ යනුවෙන් පවසා බුද්ධගයාව බේරා ගත් බවක් මා අසා තිබුනි. නමුත් ඔහු එය බේරා ගත්තේ කවුරුන් ගෙන්ද කුමක් අරභයාද යන්න මට පැහැදිළි කර ගැනීමට නොහැකි විය. ඒ පිළිබඳව යමක් දන්නා කෙනෙකු ඔහුගේ එම තොරතුරු අපටද දැනගන්නට හැරියොත්, බොහෝ ප්‍රයෝජනවත් විය හැක. මේ දිනවල මා දුටු දෙයින් නම් මට තේරුම් ගියේ, මෙම සිද්ධස්ථානයට ලැබෙන ආදායමෙන් 90% කටත් වඩා ලැබෙන්නේ ඉන්දියානු හින්දු භක්තිකයන්ගෙන් බවයි.
එම ආදායම බෞද්ධ සහ හින්දු පාලක මණ්ඩලයක් අතර බෙදී යන බව මට විමසීමකදී අසන්නට ලැබුණි.



මෙම මහා බෝධි විහාරයද මෑත කාලයේ මුලින්ම හඳුනා ගෙන ඇත්තේ, මා මුලින් සඳහන් කළ ඉංගිරිසි ජාතික ඇලෙක්සැන්ඩර් කනිංහැම් ජනරාල් වරයාය.

5 comments:

  1. ඉලංගකෝන් මහතාණෙනි,
    ඔබගේ දඹදිව සංචාරය පිළිබඳව ලිපි සියල්ල කියවා අවසන් වූ පසු අදහසක් පල කිරීමට සිතා සිටියත් බුද්ධ ගයාව ගැන අනගාරික ධර්මපාල තුමා සම්බන්ධව කරුණු ඇති ලිපි කිහිපයක් ගැන ඔබ යොමු කිරීමට මෙම සටහන පල කරමි. පහත ලින්ක් බලන්න. ඒවා සියල්ල යම් යම් අය විසින් ලියූ එවා වන අතර සත්‍ය යැයි සිතමි.
    http://anagarikadharmapala.blogspot.com/
    http://www.divaina.com/2012/10/07/feature04.html
    http://www.budusarana.lk/budusarana/2008/04/28/tmp.asp?ID=fea01
    ඔබේ ලිවීමට ස්තූතියි. එයින් වර්තමානයේ දඹදිව සංචාරයේ තොරතුරු ගැන යාවත්කාලීනවීමට හැකි විය. මම 2013 නොවැම්බරයේදී බෞද්ධයා නාලිකාව පැවැත්වූ වරණාසි ඉසිපතනයේ කඨීන පිංකමකට සහභාගී වී අනෙකුත් ස්ථාන වෙතද ගියෙමි. ඔබේ විස්තරයෙන් පසුව නැවතත් සංචාරයකට සිත්වේ.
    බන්දුල විතානගේ

    ReplyDelete
  2. බොහොම ස්තුතියි, මම ඔබේ ලින්ක් ඒක පරිදි බ්ලොග් ඒක කියෙව්වා, ඒකෙ සම්පුර්ණ විස්තරයම තිබුන. මම ඊළඟ බ්ලොග් එකක මට ඒ සම්බන්ධව හිතෙන විදිහ ලියන්නම්

    ReplyDelete
  3. ඔබේ වගේ නමක් තිබෙන කෙනෙක් චිත්‍රපට කර්මාන්තයේ කලකට පෙර හිටිය නේද

    ReplyDelete
  4. ඔබතුමාගේ ප්‍රතිචාරයට ස්තූතියි.
    බන්දුල විතානගේ නමින් ප්‍රසිද්ධ කලාකරුවෙක් සිටියා.
    https://en.wikipedia.org/wiki/Bandula_Vithanage
    ඔහු හා මා දිනක් බස් රථයකදී හමුවී තිබෙනවා. ඔහුට තවත් බන්දුල විතානගේ කෙනෙක් හමුවී ඇති බවත්,ඒ අනුව එක නමින් අප තිදෙනෙක් සිටින බව එදින මා සමග ඔහු පැවසුවා.
    මම අවුරුදු 55 න් විශ්‍රාම ගිය දුම්රිය ආරක්ෂක අංශයේ සැරයන් වරයෙකු වන අතර දැනට චෙස් ක්‍රීඩාවට සම්බන්ධව කටයුතු කරමි. මා දැනට වසර 11 කට අධික කාලයක සිට ස්වේච්චා සේවාවක් ලෙස www.lankachess.com වෙබ් අඩවිය පවත්වා ගෙන යනවා. මා ඔබේ සටහන් දැන් කාලයක සිට කියවන අතර මුල සිටම කියෙවිවා.

    ReplyDelete
  5. මතු දිනෙක දඹදිව චාරිකාවේ දීමට බලාපොරොත්තුවෙන් සිටින අප හට අනුග්‍රහයක් ලෙස මෙම චාරිකාව සැලසුම් කර ගන්නා ආකාරය පිළිබඳව ලිපි පෙළක් සපයන්න මහතාණෙනි

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...