Saturday, November 9, 2019

අස්වැන්න නෙලීම









1996 ඒ වසරේ ඇමෙරිකානු නාවික යුද විද්‍යාලයේ ඉගෙන ගතිමි. මෙම විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමට ලෝකයේ නොයෙකුත් රටවලින් සිසුන් පැමිණෙන අතර මා ඉගෙනගත් පාඨමාලාවේ රටවල් 24 ක සිසුන් සිටියහ. මෙලෙස එම විද්‍යාලයට පැමිණෙන සිසුන්ට එය පිහිටා ඇති newport නගරයේ පවුලක් ස්පොන්සර් පවුල නමින් එම පවුල කැමති රටවල් මත සම්බන්ධ කරනු ලැබේ. මෙසේ මා හා සම්බන්ධ වූයේ ඇමරිකාවේ නාවික හමුදාවේ හිටපු කපිතාන් වරයෙකු සහ ඔහුගේ අයර්ලන්ත ජාතික වෛද්‍යවරයෙකු වූ බිරිඳ හා සමගයි. ඔවුන් සාමාන්‍යයෙන් සිකුරාද හවසට මා රැගෙන ගොස් ඔවුන්ගේ නිවසේ තබාගෙන,  ඔවුන් ඒ සති අන්තෙ කරන්නට සැලසුම් කර සිටී නොයෙකුත් ක්‍රියාකාරකම් වලට මාද සහභාගි කරවා ගැනීමේ ක්‍රමයක් තිබුණි. මෙයින් විද්‍යාලය බලාපොරොත්තු වුයේ, අපට ඒ රටේ මිනිසුන් ජිවත්වන ආකාරය අත්දැකීමට සැලැස්වීම වියයුතුය.

මුල් සතියේම මා රැගෙන ගිය පසු ඔවුන්ගේ වටපිටාවේ ඇවිදින්නටත්, ඉන්පසු පොඩි ඩ්‍රින්ක් එකක් ඔවුන් සමග ගෙන රාත්‍රී ආහාර ගෙන නිදා ගන්නටත් ලැබුණි. උදේ පාන්දර සමහර විට හඳ එළිය නිසා මට අවදිවී බලන විට ජනෙල් වල තිර රෙදි යොදා තිබුණු අතර, එයින් එළියෙ මා දුටුවේ ඉතා විශාල එමෙන්ම මනාලෙස නඩත්තු කල සොහොන් භූමියකි.
එම සොහොන් භූමිය පටන් ගෙන තිබුනේ මා නිදා සිටි කාමරයේ විශාල වීදුරු ජනෙල් පේළියේ සිටය.

ඊට පස්සේ මට හරියට නින්දක් ගියා දැයි මට මතක නැත, පසුදින උදේ ආහාර ගනිද්දී මම ඔවුන්ගෙන් මේ ගැන විමසුවෙමි. ඔවුන් මට කිව්වේ මේ නිවස ගොඩනැගීමට ඉඩම මිලදී ගත් අවස්ථාවේම, එම ඉඩමේ කොටසක් ලෙස මෙම සොහොන් භූමිය තිබුන නිසා, ඔවුන් එය එලෙසම තියෙන්න ඇරි බවය.
"
ඒක අපගේ උද්‍යානයට අමුතු ලස්සනක් එකතු කරනවා නේද?" ඔවුන් මගෙන් ඇසූහ.

මම නාවික යුද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කාලය තුළ, ඔවුන් මා නිදහස් සෑම සති අන්තයකම සිකුරාදා හවස පැමිණ, මා උන්ගේ නිවසට රැගෙන ගොස් මට හොඳින් සැලකූහ. නොයෙකුත් ගමන් එකතු කරගෙන ගියහ. වරෙක නයගරා දිය ඇල්ල බැලීමට පවා මා එකතු කරගෙන ගියහ.
සොහොන් පිට්ටනිය කෙළවරක තිබූ ඉඩකඩෙහි ඔවුහු එළවළු සහ මල් වගා කළහ. මම නිවසට ගිය සමහර දිනවල එළවළු පාත්තිය සුද්ද කිරීමට ඔවුන් සමග සමග එකතු වුනෙමි. මෙම එළවළු පාත්තිය ඔවුන් වගා කළේ අසල නිවසක පවුලකුත් සමග එකතුවය. ඒ දිනවල එහි පිරිමියා කුඩා ෆයිබර් ග්ලාස් බෝට්ටුවක් තනමින් සිටියේය. මම එයටද උදව් වුනෙමි.
වරක් මගේ සත්කාර පවුලේ පිරිමියා මට එම එළවළු පාත්තියේ අස්වැන්න නෙළන කාලේ සිත්ගන්නා සුලු කතාවක් කීවේය. එනම් සෑම දිනම ඔහුට කලින් අවදි වන අසල්වැසියා පැමිණ, මෙම පාත්තියේ එළවළු කඩන බවයි. ඔහු එසේ එළවළු කඩාගෙන, මගේ සත්කාර පවුලෙ නිවසට ඒවා ගෙන ඇවිත්, ඔවුනට අවශ්‍ය දෑ තෝරා ගන්නා ලෙස දන්වන බවයි.

මම ඔහුගෙන් එහි ඇති වැරැද්ද කුමක්දැයි ඇසූ වේ ඔහු එය පැවසුවේ පැමිණිල්ලක් නියාවට මෙන් පෙණුන නිසාය.
එවිට ඔහු කීවේ මෙලෙස විනෝදයට එලවලු හදන විට එහි උපරිම ආස්වාදය ලැබෙන්නේ එළවලු කඩන විට බවයි. ඔහුගේ අසල් වැසියා උදේම නැගිට ඔහුට එම ආශ්වාදය ලබා ගැනීමට ඉඩ නොතියන බවද, ඔහු මට කීවේය.

මට අවුරුදු විස්සකටත් ආසන්නව මේ කතාව මතක් වූයේ, මගේ බොහෝ එළවළු සහ පලතුරු ගස් වලද ගෙඩි කඩන්නෙ මගේ බිරිඳ නිසාය. මේ ඊයේ ඈ එසේ කඩාගෙන වූ මට පෙන්වු අස්වැන්නයි.

2 comments:

  1. අපේ නිවසේ නම් වෙන්නේ ඕකේ අනිත් පැත්ත.
    බිරිඳ වගා කර සාත්තු සප්පායම් කළත්, මං තමයි පලදාව කඩලා ෆොටෝ අරගෙන මගේ වගේ පෙන්නන්නේ.

    ReplyDelete
  2. විදෙස් රටකට ගිහින් බැලුවාම තමයි පෙනෙන්නේ තියෙන චූටි ඉඩක මල්- එළවලු පැළ කිහිපයක් වවාගෙන කෙනෙකු ලබන සතුටක තරම. මට පෙනුණු විදිහට නම් ඒ සඳහා කෙරෙන වියදම නම් ඒවා වෙළෙඳ සලකින් ගන්නවාට වඩා වැඩියි!

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...