මෙතනින් අප පිටත් වූයේ සුජාතාවගේ කිරිපිඬු දානය යැයි අප අසා ඇති බුදුන් දුෂ්කරක්‍රියා කර අවසන් වූ පසු, උන්වහන්සේට කිරිපිඬු දානයක් පූජා කල සුජාතා නැමති කාන්තාව වෙනුවෙන් පිහිටුවා ඇති දේවාලය නැරඹීමටයි. ඉන්දියානු මාර්ගෝපදේශකයන්ට අනුව සුජාතා ඒ අසල ගමක ජීවත් වූ යම් ගෝත්‍රයක නායකයෙකුගේ දියණියයි. ඇය වෙනුවෙන් සාදා ඇති දේවාලය සාමාන්‍ය ඉන්දියානු හින්දු දේවාලයක පෙනුම ගන්නා අතර, එහි බොහෝ යාචකයන් මුදල් ආධාර ඉල්ලන්නන් සිටිනු දැකිය හැකි විය; මෙම ප්‍රදේශ බොහෝ දුප්පත්ය.
මෙතැනදී අපට යම් හාස්‍යජනක සිදුවීමක් අත්දකින්නට පුළුවන් විය. අප එම ස්ථානය නැරඹූ අවසන එතනට, පොතක් රැගෙන අපගේ කණ්ඩායමේ කෙනෙකු සමග පැමිණි ගුරුවරයෙකු සේ පෙනුමක් ඇති පුද්ගලයකු, අපට පැහැදිලි ඉංග්‍රීසියෙන් ඔවුන් අවට ළමයින් සඳහා පාසලක් පවත්වාගෙන යන බවත්, ඒ සඳහා අපගේ ආධාර බලාපොරොත්තු වන බවත් පැවසීය. ඔහුත් සමඟ පැමිණි අප අපගේ කණ්ඩායමේ සාමාජිකයකු දැනටමත් ඔහුට රුපියල් සියයක් දී ඇති බව පෙනුණි. ඔහුගේ කතාව අවසානයේදී අපගේ කණ්ඩායමේ සිටි කෙනෙකු, එම පාසල කරන සමිතියෙන් ඔහුට දී ඇති යම් අධිකාරියක් හෝ එසේ නැත්නම් හැඳුනුම්පතක් වත් පෙන්වන ලෙස ඉල්ලා සිටියේය. එසේ නැත්නම් අපට යම් ආධාර මුදලක් එම ස්ථානයේ තබා ඇති ආධාර පෙට්ටියට දැමිය හැකි බව අප කියා සිටියෙමු.
ඔහුට එම ඉල්ලීම ඉටු කිරීමට පෙන්වීමට යමක් නොතිබුණු නිසා, ඔහු හෙමින්ම එතැනින් පිටවී ගියේය. මුලින් මේ පිළිබඳ කිසිවක් නොදැන ඔහුට රුපියල් සීයක් පරිත්‍යාග කළ අපගේ කණ්ඩායමේ සාමාජිකයන් තමන් අසුවුන බවට තේරී ලැජ්ජාවට පත්ව, ඔහු දුන්නේද රුපියල් 100 ම නොවන බවත්, ඉතිරි රුපියල් 80 ලබා ගැනීමට එතැන සිටි බවත් පැවසීය.
ඒ ස්ථානය කිට්ටුවම බුදුන්ට කුසතන මිටි අටක් දුන් සොත්ථිය බමුණා ගේ නිවාසය තිබුණු තැනද අපේ මාර්ගෝපදේශකයා විසින් අපට පෙන්වා දෙනු ලැබීය. මේ අසල තිබෙන නේරංජනා ගඟ ඇත්තෙන්ම ඉන්දියානුවන් හඳුන්වන්නේ ෆල්ගු ගංගාව ලෙසටය.
මෙම ගංගාව ඉතා පළල වුවද, එහි ජලය ගලන්නේ ඉතාමත් පටු වූ ප්‍රදේශයකය. ගංගාවේ ඉතිරි කොටස වියළී ඇති ආකාරයට වැලිවලින් පිරී ඇත්තේය.
මෙම ගංගාවේ ‘පින්ඩ්- දාන්’; අප ගේ වහරේ ඇති පිණ්ඩපාතය වචනය පැමිණ ඇත්තේ මෙයින් විය යුතුය, මෙහි විශාල පිරිසක් සහභාගි වන පූජාවක් ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. එය පුරුෂයන්ට පමණක් සීමා වන අතර, මෙයින් සිදුකරන්නේ තමන්ගේ මියගිය නෑදෑයන්ට එම ගං ඉවුරේදී දානයක් පූජාකර, ඔවුනට සදා ගැලවීම ලබාදීමයි. අප යන කාලයේදී මෙම පූජාව පැවැත්වෙන කාලයක් වූ අතර, බොහෝ පිරිමින් පූජකයන් මෙන් ඇඳුමක් ඇඳගෙන හිස බූ ගා ගෙන, ගඟේ ඉවුරේ මෙම පූජාව පවත්වන අයුරු අප දුටුවෙමු; මෙහි ඇති ගඟේ ඡායාරුපයේ ඈතින් පෙනෙන සෙනග එම පුජාවයි.
මෙම ගඟ මෙලෙස වියළී තිබීමට හේතුව ලෙස හින්දුන් විශ්වාස කරන්නේ, මෙතැනදී රාමා සීතා සහ ලක්ෂ්මන් මෙලෙස පින්ඩ් දානය පැවැත්වීමට මෙම ස්ථානයට පැමිණි විට ඇතිවූ ඇති වූ සිද්ධියකි. මෙහිදී රාමා සහ ලක්ෂ්මන් එතැන නොසිටි අවස්ථාවක රාමාගේ මියගිය නෑදෑයන් පැමිණ සීතාගෙන් දානය ඉල්ලා සිටි බවත්, මෙය ප්‍රතික්ෂේප කරන්නට අකමැති වූ සීතා වැලිවලින් දානය දී එම ඉල්ලීම ඉටු කළ බවත්ය. එහෙත් මෙලෙස මියගිය නෑදෑයන් පැමිණ දානය ඉල්ලා තමන් එය පිළියෙල කර දුන් බව තම සැමියා පිළිගත්තේ නැත්නම්, සාක්ෂියට ඇය එතැන සිටි බ්‍රාහ්මණයෙකු, පූජාවට යොදා ගත් ගිනි මැලයක්, එතැන සිටි එළදෙනකුත්, ගංගාවත්, ගසකුත් සාක්ෂි වන ලෙසට ඉල්ලා සිටියාය.
එහෙත් සැමියා ආපසු පැමිණි පසු මේ පිළිබඳව සැක කර විමසා සිටි විට, ගස හැරෙන්නට අනිකුත් සියලුම සාක්ෂිකරුවන් ඇය එලෙස දානයක් දුන් බවට සාක්ෂිදීමට නොමැති විය. එයට හේතුව වූයේ නැවත රාමාගෙනුත් දානය ලබාගැනීමට ඇති බලාපොරොත්තුවයි.
සීතා මෙලෙස තමන් රැවටූ සාක්ෂිකරුවන්ට ශාප කළාය. නේරංජනා ගඟට ඇය කළ ශාපය නම් ඒ ගඟ හැමදාම වියලි ලෙසට තිබිය යුතු බවයි. ඒ නිසා දැනුත් ගඟේ වැඩි කොටසක් ජලය ගලා යන්නේ පොළොව යටින් බවත්, ගඟේ මතුපිට සෑම විටම වියලි වැලි ආකාරයෙන් තිබෙන බවත්, හින්දූන් විශ්වාස කරති.
මට මේ කතාව මතක
තිබ්බේ අපගේ මාර්ගෝපදේශක සමග කතාබහකදී මහාභාරත් කතාව ප්‍රබන්ධයක් නොවේදැයි මම
ඔහුගෙන් ඇසු පසු ඔහු සැමවිටම මට මහාභාරත් කතාවට සම්බන්ධ ඓතිහාසික ස්ථාන විශේෂයෙන්
පෙන්වන්නට උත්සාහ දැරූ නිසාය.