Monday, August 21, 2017

ටයර් යුද්දය - අවසාන කොටස

http://lakshmanillangakoon.blogspot.com/2017/08/3.html පසු ඊළඟ සහ අවසාන කොටස 

පෝයට දින තුනක් තිබියදී රණසිංහගේ බසයක් නුවර සිට ආපසු එද්දී , ඔහුගේ  බස් රථ වලින් පැරණිම බසය , මාලිගාවට වන්දනාවේ පැමිණි බසයක් නවතා තබා ආපසු හරවා ගැනීමේදී වැදී තරමක අලාභහානි සිදුවිය. අවුරුදු ගණනාවකට පෙර ,රණසිංහගේ බිරිඳ කටාර් හි ගෘහ සේවිකාවක් ලෙස සේවයට ගොස් එවූ මුදල් එකතුකර , මුලික ගෙවීම් කර මිලදී ගත් මෙම  රථය ඔවුන්ට වාසනාව ගෙන ආ බසය ලෙස පවුලේ සුරතලා බවට පත්ව සිටි හෙයින් මෙම අනතුර ඔවුන්ට බොහෝ කනගාටු ගෙන දුන්නේය. විශේෂයෙන්ම ඔවුන්ට සිත්මෙ වේදනා ගෙන දුන්නේ මෙම  බස් රථය දැන් අවුරුදු 10 ක් පමණ කිසිම අනතුරකට ලක් නොවී තිබී මෙලෙස සිදුවීමය.

අභයරත්නගේ බිරිඳ තවත් දෙදෙනෙකු සමග දන්ගොල්ලේ සාස්තර කියන ගෙදරකදී දකින ලද්දේයයි රණසිංහගේ බිරිඳට මේ අතර අසල්වැසි කාන්තාවකගෙන් පන්සලේදී අසන්නට  ලැබුනි. ඇයද තම සහෝදරියක ගෙන් දැනගත් මන්තර වැඩ කරන නවයාලතන්නේ නිවසකට් තම ලොකු පුතා සමග ගියේ මේ සඳහා ආරක්ෂාවක් කරගතයුතු දැයි පරික්ෂාකර බලා ගැනීමටය. ඈ සිතුවා හරියට හරිය. යම් සතුරෙකු විසින් ඔවුනට හුනියමක් කර ඇති අතර එයි ආරක්ෂා වීමට ශාන්ති කර්මයක් කලයුතු බවත් ඒ සඳහා රුපියල් 20000 ක් වියදම් වන බවත් කපු මහතා කියා සිටි අතර වෙනදා මෙවැනි මුදල් ප්‍රමාණයකට තීරණයක් ගන්න විට තම ස්වාමි පුරුෂයාගෙන් විමසා සිටින ඇය මෙදින ඔහුගෙන් විමසන්නේවත් නැතිව මේ සඳහා එකඟතාවය පල කළාය.

පෝය දිනයට දවස් දෙකකට පෙර අසල්වැසි ඥාතියෙකුගේ නිවසක තිබු කොටහළු මඟුලකදී තම මිතුරන් කිහිපදෙනෙකු සමාඟ බිමත්වූ අභයරත්න ඔහුගේ බිරින්දෑ සහ දරුවන් නවත්වද්දීත් ඒ අසල තිබුණු රණසිංහගේ නිවස අසලට ගොස් ඔහුගේ නිවස අසල පාරේ සිට ඔහුට තර්ජනය කරමින් බැනවදුනේය. රණසිංහ ඔහුගේ බස් එකක් හෝදමින්  සිටි දෙදෙනෙකුද සමඟ පැමිණ ඔවුන් එලවා දැමීමට තැත් කරද්දී කලබලයක් ඇතිවී බිමට වැටී ඔලුව තුවාල වී අභයරත්නද පිහියා ඇනුමකින් සුළු තුවාල ලැබූ රණසිංහගේ සහෝදරයකුද රෝහල් ගත කරන ලද අතර සක පිට 6 දෙනෙකු පොලිසිය විසින් රිමාන්ඩ් ගත කරන ලදී.

පොහොය පසුවී සතියකට පසුව ප්‍රශ්නයට මුල් වූ පුද්ගලයින් එය මුල් අධියරේදීම සමතයකට පත් කරගත්තහ. මෙතරම් දරුණු ලෙස කෝපයෙන් වේලි සිටි මොවුන් එක්වරම වැස්සක් වැස  පැවූ ආකාරයෙන් සාමාදානයට  පත්වී මෙම විරසකය අවසන් කර ගැනීම ගැන සියලු දෙන පුදුමයට පත්වූ අතර අභයරත්න සැම අවුරුද්දකම ගමේ උපාසක අම්මලා සඳහා නොමිලේ සංවිධානය කරන අනුරාධපුර චාරිකාවේ අභයරත්න සහ රණසිංහ පවුල් දෙකද එක්ව ඉතාමත් සතුටින් සහභාගී වුහ. 

මෙතෙක් කල් මාස තුනක් පමණ වරින් වර උණුසුමට පත්වූ බස් අයිතිකරුවන්ගේ  ප්‍රශ්නය කෙසේ මෙලෙස හිටිවනම අවසන්වුයේදැයි දන ගැනීමට මමද මහත් උනන්දුවක් දක්වුයෙමි. මේ සඳහා මට ළඟකදී හොඳ අවස්තාවක් ලැබිණ. ඒ රණසිංහ ඉංග්‍රීසියෙන් ලේඛනයක් සකසා ගැනීමට  අප නිවසට පැමිණීමයි.  මම ඔහුගේ වැඩය කරදී ඔහුගෙන් මේ  ගැන විමසුවෙමි. 

"අනේ සර් , මේක කවුරුත් දන්නේ නැහැ, සර් කාටවත් කියන්නේ නැත්නම් මම සර්ට විතරක් කියන්නම් , අභයරත්නට වත් කියන්න එපා මම මේක කිව්වයි කියල " කියමින් ඔහු ලැජ්ජා සහගත  ලෙස සිනාසුනේය.
මෙය මොහුගෙන් අසාගෙන අනවශ්‍ය වගකීමක් පැටව ගන්නවා නේදැයි සිතුනද මට මගේ කුතුහලය පාලනය කර ගැනීමට නොහැකි විය.
" පිස්සුද රණසිංහ? මම කාට කියන්නද , " මා  තීරණය ගන්නටත් පෙර වචන මගේ කටින් එලියට පැන්නේය. 
"සර් ට තේරුනාද දැන් ළඟකදී ඉඳල අපේ බස් මේ හන්දියෙන් යද්දී ඉස්සර වගේ එයාර් හෝන් ගහන්නේ නැහැ "

" හ්ම්ම්ම් මට තේරුනේ නම් නැහැ , නමුත් රණසිංහ කිව්වට පස්සෙ නම් එහෙම හිතෙනවා" මම පිළිතුරු දුන්නෙමි.
"එහෙනම් සර් මේ ලියුම කියවලා බලන්ට" ඔහු සාක්කුවෙන් ලියුමක් ගෙන මට දුන්නේ මගේ ඇස් දෙස කෙලින් නොබලමිනි.

ප්‍රිය මහත්මයාණනි

මම මේ ලිපිය ලියන්නේ ඔබලාගේ ප්‍රශ්නය තව දුරටත් දුර දිග ගියහොත් මිනි මැරුමක් දක්වා ඉදිරියට යෑමට ඉඩ තිබෙන නිසාය. 
මම ඔබ බස් රථ වලින් කිසිම හේතුවක් නැතිව කරන එයාර් හොන් හැඩ වීමෙන් මහත් කරදරයට පත් වුනු කෙනක්මි. මම ඔබලාට , පළාත් සභාවට ,පොලිසියට යනාදී වශයෙන් වගකිවයුතු සියලුම තැන වලට ලිපි ලීවෙමි. මාස ගණනක් බලා සිටියෙමි. කිසිදු ප්‍රතිපලයක් නොමැති නිසා නිතිය මගේ අතට ගෙන මෙය නවත්වාලීමට තීරණය කලෙමි. 
මේ සිද්දි වලදී බසය පෙරලීම සහ හැප්පීම ඇරෙන්නට අනෙකුත් සියල්ල මා විසින් සිදුකරන ලද්දේය. නමුත් දැන්  මෙය දරුණු අතට හැරෙමින් තිබෙන නිසා මම මෙලෙස ඔබට දන්වන්නට තීරණය කලෙමි. ඇත්තෙන්ම මම තව බොහෝ දේවල් සැලසුම් කර සිටියෙමි. එහෙත් ඒවා කලකට නවත්වන්නට තීරණය කලෙමි. ඔබ දෙදෙනා එකතුව දැන්වත් අපව ශබ්දයෙන් අපහරණය නොකර සිටින්නේ යයි බලාපොරොත්තු වෙමි.
මෙයට විශ්වාශි 
පුරවැසියෙක් 

මම කියවා ඉවර වී ඔහු දෙස බැලුවෙමි.

"මෙහෙම ලියුම් දෙකක්  අපි දෙන්නට එවල තිබුන, ලැබුනහම අපි කියවල මුණගැහිලා තීරණය කරා එයාර් හෝන් ගලවල දාන්න, ඒ අතරෙම අපිට කව්ද සැක කියලත් කතාකරා, මෙහෙම වැඩක් ලස්සනට කරන්ට බොහොම පිළිවෙලට වැඩ කරන එඩිතර මනුස්සයෙක් වෙන්ට ඕනෑ කියල අපි දෙන්නම එකඟ වුණා." 
ඔහු එසේ කියා ලිපියත් මගෙන් ඉල්ලා ගෙන මට ස්තුති කර පිටව ගියේය.






.

2 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. //මෙහෙම වැඩක් ලස්සනට කරන්ට බොහොම පිළිවෙලට වැඩ කරන එඩිතර මනුස්සයෙක් වෙන්ට ඕනෑ කියල අපි දෙන්නම එකඟ වුණා//

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...