Saturday, August 19, 2017

ටයර් යුද්ධය - මගේ මුල්ම කෙටි කථාව - 1





මේ මා විසින් ලියාගෙන යන මගේ මුල්ම කෙටි කතාවයි, කොටස් හතරකින් එය අවසන් කරන්නට බලාපොරොත්තු වෙමි. 


ටයර් යුද්ධය 

මෙවැනි සිදුවීමක්, ඇත්තෙන්ම සිදුවීම් වැලක්, මෙයට පෙර ලංකාවේ එසේත් නැත්නම් ලෝකයේ කිසිම තැනක, වී ඇත්දැයි  සැක සහිතය.  මෙයට තරමක් සමානකාරි යැයි සිතිය හැකි ගණන්කාර පවුල් අතර ආරවුල්, මිනී මැරුම් කිහිපයක් දක්වා දුර දිග යන අවස්ථා අපි අසා  ඇත්තෙමු. 

මුලින් යම් ප්‍රශ්නයක්  නිසා අපරාධ කරුවෙකු යම් කෙනෙකු අතින් ජීවිතක්ෂයට පත්වෙයි. එයින් කෝපයට පත්වන පවුලේ අය සහ නෑදෑයන්  එකතු වී මීනීමරුවා හෝ, රිමාන්ඩ් කර සිටීම හෝ වෙනත් හේතුවක් නිසා ඔහු අල්ලා ගැනීමට අපහසු නම්, ඔහුගේ පවුලේ වෙනත් සාමාජිකයෙකු මරා  දමන්නට පෙළඹෙති. හරියට අලුත් බෝංචි වැලක ශාඛා අතු එක් පැත්තකට එක බැගින් වමෙන් සහ දකුණෙන් එකක් හැර එකක් ඇති වන්නා සේ පවුල් දෙකේ සාමාජිකයෝ එකිනෙකා මරා ගනිති.  

මේ කතාවේ ඒ  ක්‍රියා  දාමයම  සිද්ධ වෙයි, එහෙත් ඒ මිනිසුනට නොවේ. ඒත් එක්කම මේ කතාවේ මුලදී වින්දිතයන් සම්පුර්ණයෙන් අකර්මන්යප වන්නේත් නැත. අලාභ හානියේ ප්‍රමාණය  වැඩිවන්නේ ක්‍රමයෙන්ය. මෙහි සිදුවූ සිදුවීම් වැලේ මුල්ම  සිද්ධිය  සිදුවුයේ  පොදු ප්‍රවාහන  සේවයේ මහනුවර දක්වා ධාවනය වන බස් රථයක පසු පස දකුණු පැත්තේ ටයරයක් තියුණු ආයුධයකින් දරුණු ලෙස කපා විනාශ කර තිබීමයි. 
මේ පිළිබඳව විභාග කල පොලිස්  නිලධාරීන්ට අපරාධය සම්බන්ධව පහත කරුණු පැහැදිලිව පෙනී හියේය.

1. ලේලන්ඩ් වර්ගයට අයත් ආසන 70 කින් යුතු මේ බසය රුපියල් ලක්ෂ 70ක් වටිනා බව.
2. කල් බදු ක්‍රමයට  අයිති කරු මේ බසය මිලදී ගෙන දැන් මසකට රුපියල් 40000ක් ගෙවන බව
3. මේ මාර්ගයේ දැනට බස් රථ 20ක් දුවන අතර සතියකට දවස් දෙකක් බස් රථ අධික කම නිසා මාර්ගයෙන් ඉවත්ව සිටීමට සිදුවන බව 
4. අයිතිකරුගේ නිවසට බසයට යෑමට පාරක් නොමැති නිසා රාත්‍රියට  බසය නවතා තබන්නේ සාස්තර කියන ගෙදර ඉදිරිපිට පාරේ ඉඩ තිබෙන ස්ථානයක බව.
5. මෙදින රාත්‍රියේ  පාන්දර 2 දක්වා සාස්තර කියන ගෙදර පුජාවක් තිබි ඇති  බව.
6. බසයේ සැම රාත්‍රියකටම  එහි ගෝලයා සහ තවත් කෙනෙකු නිදාගත්තද එදින ගෝලයා මුදලාලිටද නොදන්වා තම බිරිඳගේ අසනීපයක් නිසා රැයේ තම නිවසට  ගොස් ඇති බව.
7. ටයරය කපා ඇත්තේ ඉතාම තියුණු ආයුධයකින් බව සහ බසයේ නිදාගෙන සිටි පුද්ගලයාද ඇහැරවන්නේ නැතිව මෙය කර ඇති නිසා මෙය  කර ඇත්තේ වුර්තිය අපරාධ කරුවෙකු විය හැකි බව.
8. මෙලෙස ටයරය කපා දැමීම සඳහා කිසිම හේතුවක් හෝ අභිප්‍රායක්  සිතාගැනීමට නොහැකි බව.

බසය අයිතිකාර මුදලාලි බස් කිහිපයක අයිතිකරුවෙකු වූ නිසාත් බලයේ තිබෙන දේශපාලන පක්ශයේ ආසන සංවිධායක වරයාගේ මිතුරෙකුත් නිසා නිල පොලිස් සුනඛයන් ද පරීක්ෂණය සඳහා රැගෙන ආවද ඔවුන් ටික වෙලාවක් ඉව කරමින් සිට පාරක් අසා ගැනීමට ත්‍රිවිල්  කාරයෙකු සොයන කෙනෙකු මෙන් අතරමන් වූ ආකාරයක් පෙන්වූ නිසා ආපසු රැගෙන යන ලද්දේය. 

ඇත්තෙන්ම මෙවැනි පොලිස් සුනඛයන් යොදාගෙන  අපරාධ කිසිවක් හෙලිකරගන්නට  කිසිදිනෙක පොලිසියට නුපුළුවන් වී ඇති බවටත් ගමේ මිනිසුන් කියන්නට පටන් ගත්හ. ගමේ ජීවත්වූ විශ්‍රාම ගත  පොලිස් සාජන් වරයකු එය එසේ නොවන බවත් බොහෝ මිනීමැරුම් වැනි දරුණු අපරාධ පොලිස් බල්ලන් විසින් විසඳා ඇති බවට තර්ක කලද ඔහු පැන්ෂන් ගත්  පොලිස් කාරයකු නිසා පෙර සේවය කරන කාලයේ මෙන් ඔහු කියන දෑ පිළිගන්නට කවුරුත් කැමති වුයේ නැත.

අවසානයේ අයිතිකරු විසින් රුපියල්   40000 ක් ගෙවා රිබිල්ට් කරන ලද ටයරයක් නුවරින් ගෙන්වා බසයට සවිකරගෙන බසය රැගෙන ගියේ මේ අපරාධය කරන ලද රස්තියාදුකාරයා පොලිසියට අල්ලා ගැනීමට බැරි වුවද තමන් කෙසේ හෝ අල්ලා ගන්නා බවට ශපත කරමිනි.

ඔහු බසය පෙර මෙන් පාර අයිනේ  නැවත්විමද නතර කරන ලද අතර මෙම ටයරය විනාශ කිරීමේ සැකය එදින රාත්‍රියේ  බසයේ නොනිදා තම නිවසට ගිය  බසයේ ගෝලයා වෙත යොමුවී ඇති බවට කතාවක් ගමේ පැතිරෙන්නට පටන් ගත්තේය. ටයරය කැපුමට පෙරදින හැන්දෑවේ බසයේ දෛනික මුදල් එකතුව  බාරදීමේදී එදින මුදල් අසාමාන්‍ය  ලෙස අඩුවී තිබීම පිළිබඳව යම් බහින් බස් වීමක් ඇතිවී මුදලාලි මේ ගෝලයාටම කම්මුල් පාරක් ගසා තිබීම මේ සැකය තවත් තිර්ව කළේය.

http://lakshmanillangakoon.blogspot.com/2017/08/2.html

to be continued  

2 comments:

  1. සුභ පැතුම්.. ඉදිරිය බලමු.. මුල් කොටස නං වාර්තාමය ස්වරූයක් දැක්කේ

    ReplyDelete
  2. කතාව කියවලා ඉවරවෙලාම හොඳ කමෙන්ට් එකක් දාන්නම්
    විචාරක දියණිය

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...