Sunday, August 20, 2017

ටයර් යුද්ධය - 3



http://lakshmanillangakoon.blogspot.com/2017/08/2.html හි ඊළඟ කොටස 


යම් කෙනෙකු විසින් කරන ලද ක්‍රියාවක්, ක්‍රියා දාමයකට මුල පුරන ලද්දේ නම්  ඊ ලග සිද්ධියෙන්  පසුව බොහෝ විට මුල පුරන ලද තැනැත්තාටද ක්‍රියාදාමය මත පාලනයක් නොමැති වෙයි. ඔහුට ඉන්පසු මේ සිද්ධි සමුහය නවතා ලන්නට ඔහුට අවශ්‍ය වුවත් ඒ වන විටත් එම සිද්ධි සහ ඒවා එකින් එක ඇතිවීමට බලපෑ හේතු ඔහුගේ පාලනයෙන් ඔබ්බට ගොස් තිබෙන්නට පුළුවන. ඔහුට පාලනය කරන්නට ඕනෑ වුවත් හරියට ලෝකය පෙරලන ක්‍රියාදාමය පටන් ගත් හාවා මෙන් බලා ඉන්නවා මිස අන් කල හැකි දෙයක් නොමැති වන්නට පුළුවන. 

මී ලගට සිදු වූ සිද්ධිය එවැනි සීමාවෙන් ඔබ්බට ගිය එකක් දැයි ඒ සිද්ධිය පිළිබද පරීක්ෂා කීරීමේදී කෙනෙකුට සිතෙන්නට පුළුවන. ඒ  මේ සිද්ධිය කෙනෙකු විසින් කරන ලද්දක් හෝ ස්වභාවිකව සිදුවිය හැක්කක් යන දෙවර්ගයට පහසුවෙන් අයිතිවිය හැකි වීමයි. මේ සිද්ධියට විෂය වී තිබුනේ ගල උඩහා පන්සලට යන පාරේ රාත්‍රියට නවතා තිබු අභයරත්න ටුවර්ස් සහ ට්‍රවලස් බස් රථයකි .එය  උදේ 6 ට නුවර බලා ධාවනය කිරීමට ගල උඩහ පාර දිගේ පහලට එන විට පාරේ වම් පැත්තේ අලි කොන්දක් වැනි ගල පාරක් කිරීමට දමා තිබු කොන්ක්‍රීට් පතුරක් ගැලවී බසය පෞරාණික අම්බලම උඩට කඩා වැටිනි. 


අම්බලම උඩට කියා කීවත් ඇත්තෙන්ම බස් එක කකුල් කෙලින් තබා ගෙන නිදා සිටින බල්ලෙකු මෙන් හරහට වැටී අම්බල සහ ගල අතර සිර වී තිබුණි. මෙලෙස දෙබලක හිරවී සිටියා වැනි තැන්පත් වීම නිසා  බස් එක වැටෙන විට සිදුවූවාට වඩා ලොකු අලාභයක් බසය ආපසු ගනිද්දී සිදුවිය.

මුලින් පන්සලට යෑමට තිබු මේ පාර කිලෝ මීටර දෙකක් පමණ එක දිගටම තනි ගලකි. එය හැඩ වී තිබුනේ අලියෙකුගේ පිටක් ලෙසය . පසු කලෙක බොහෝ නිවාස ඇති වීම නිසා ත්‍රි වීල් වලට යාමය හැකි වන පරිධි දෙපැත්තට කොන්ක්‍රීට් දමා පළල කරන ලදී. ටික කලකට පසුව වෙනත් වාහන යාමටද පාර කොන්ක්‍රීට් දමා තවත්  චුට්ටක් පළල්  කරන ලද අතර පළල බසයක් යනවිට පාර පහල සිට බලා සිටින්නෙකුට බසය කොයි වේලේ ගලේ කොන්දේ සිර වේදැයි බියක් ඇති වෙයි.

බසය කෙසේ දෙබෝක්කට වැටුනේ දැයි ඕනෑම කෙනෙකුට පැහැදිලිය. ඒ වම්පස රෝදයේ බර පැටවෙන කොන්ක්‍රීට් කොටස බුරුල් වී ගැලවී බසය පැත්තකට ඇල වී ඉන්පසු ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රය ආපසු පැමිණිය නොහැකි ආකාරයට  වම්  පැත්තට ගමන් කිරීමෙන් බවය. 

එහෙත් මෙතරම් කලක් කිසිදු ප්‍රශ්නයක් නොවී තිබුණු සිමෙන්ති කැල්ල හරියට අභයරත්නගේ බසයක් යනවිටම ගැලවුනේ කෙසේද?එයට යම් විශේෂ හේතුවක් තිබුනේද? යම් පුද්ගලයෙකු පාන්දරින්ම රහසේ මෙතනට පැමිණ මේ කොන්ක්‍රීට් කොටස බුරුල් කරන ලද්දේද? මේ වෙලාවට හන්දියේ එක කඩයක්වත් විවුර්ත කර නොතිබීම නිසා කෙනෙකුට අවශ්‍යනම් මෙවැනි දෙයක් කරන්නට ඉඩ තිබුන බව ඕනෑම කෙනෙකුට සිතේ.එහෙත් මෙවැනි දෙයක් විවුර්ත තැනක කරන්නට; මෙය යමෙකු සිදු කලේ නම් , ඔහු කිසිවකට බිය නැති තද හිතක් ඇති ගණන් කාරයකු විය යුතුය.  යනුවෙන් බොහෝදෙනා කල්පනා කළහ, තැන තැන කථා කළහ.

දංගොල්ල ප්‍රදේශයේ සාස්තර කියන කාන්තාවක් වෙතට ගිය අභයරත්න මහත්මියට එම කාන්තාව විසින් කියන ලද්දේ ඇය පැමිණ ඇත්තේ යම් පාඩුවක් පිළිබඳව බවත් එම පාඩුව කර ඇත්තේ ඔවුන් හොඳින් දන්නා හඳුනන කෙනෙකු බවත් ඊළඟ පෝයට පෙර එය කවුරුන් විසින් කරන ලද්දේ දැයි හෙළිවන බවත්ය. පෝයට ඇත්තේ හරියටම දින දහයකි.  

  

2 comments:

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...